Colombo Telegraph

‘කනට ගහන’ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

චරිත හේරත්

චරිත හේරත්

අපේ පාර්ලිමේන්තුව ගැන සටහනක් ලිවීම සුදුසුයැයි සිතුණේ පසුගිය සති කීපයේ එහි සිදු වුණු සමහර දේවල් කීපයක් නිසාය. පාර්ලිමේන්තුවක් සහිත ප්‍රජතන්ත්‍රවාදි පාලනයක් අපේ රටේ ස්ථාපිත වී වසර හැත්තෑවක් ගත වන්නට ඇත්තේ තවත් අවුරුදු දෙකක් පමණය. 2018 වන විට වසර හැත්තෑවක ඉතිහාසයක් ඇති ‘වැඩිහිටියකු’ ලෙස සැලකිය හැකි අපේ රටේ පාර්ලිමේන්තුව තුළ සිදු වන සමහර දේවල් දෙස බලන විට පෙනී යන්නේ එය තවමත් පසු කරන්නේ ‘ළදරු වයස’ වගේ කියාය.

අපේ රටට පාර්ලිමේන්තුව පැමිණියේම මෙරට තුළ සිදු වූ බරපතළ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස නොව, අපව පාලනය කළ බ්‍රිතාන්‍යයන් ස්වකීය යටත්විජත පාලනයෙන් ඉවත් වීමේදී හඳුන්වා දුන් පාලන ආකෘතියක් ලෙසිනි.

මේ ආකෘතිය මෙරට සමාජය තුළ සථාපිත වීම කෙරෙහි බලපෑමට තිබිය යුතු වූ මුලික කොන්දේසී කිසිවක් මෙරට සමාජයේ එවකට නොපැවති බව නොරහසක් වුවත් ඡන්දයෙන් ස්වකීය පාලකයන් පත් කර ගැනීමට හැකි දැනුමක් සහ විනයක් අපි සතුයැයි උපකල්පනය කරමින් බ්‍රිතාන්‍යයන් විසින් මේ ක්‍රමය හඳුන්වා දී තිබිණි. මෙය හරියට ‘ඇඟේ හැටියට ඇඳුම කපාගැනීම’ නොව, ‘ඇඳුමේ හැටියට ඇඟ කපා ගැනීමේ’ ආකාරයේ ක්‍රියාවකි. ඒ කෙසේ වෙතත් දැන් අපි පසුගිය වසර හැට ගණනක සිට මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින්නෙමු.

මේ පාලන ක්‍රමයේ පදනම වන්නේම එක් ප්‍රධාන උපකල්පනයක් මතය. එනම්: රටේ අයිතිය ඇත්තේ එහි ජනතාවට බවත්, ඒ අයිතිය (ස්වාධිපත්‍යය) වෙනත් කිසිම බලයකට යටපත් කළ නොහැකි බවත් යන උපකල්පනය මතය. ප්‍රසිද්ධ අමෙරිකානු කියමනක් මඟින් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු: ජනතාව විසින් ජනතාව සඳහා ජනතාවගේ ගැටලු විසඳාගන්නා ක්‍රමය’ ලෙස අර්ථ දක්වා ඇත්තේ ඒ නිසාය. මේ අනුව රටේ අයිතිකාරයන් එකට එක් වී හැමෝටම ගැළපෙන (හෝ වැඩි පිරිසකට ගැළපෙන) තීන්දු-තීරණ ගැනීම ප්‍රජාත්ත්‍රවාදි ක්‍රමය ලෙසින් හඳුන්වනු ලැබේ. මෙය හරියට සාමාජිකයන් සියලු දෙනා එකතු වී ගමේ මරණාධාර සමිතියේ තීරණ ගන්නවා වැනි ක්‍රියාවක් ලෙස ආරම්භයක් හැටියට තේරුම් ගැනීමේ වරදක් නැත. ගමේ මරණාධාර සමිතියේ සාමාජිකයන් සියලු දෙනාට එකට ඉඳගෙන තමතමන්ගේ අදහස්වලට අනුව තීන්දු-තීරණ ගැනීමේ හැකියාවක් තිබුණත් රටේ අයිතිකරුවන් වූ ස්වාධිපත්‍යය හිමි ජනතාවට එසේ එක තැකනට එක් වී තීන්දු-තීරණ ගැනීමට ප්‍රායෝගිකව හැකියාවක් නැත. ඒ නිසාම නියෝජතයන් 225ක් පමණක් තෝරාගෙන, ඒ අය අනෙක් සමස්ත ජනතාව නියෝජනය කරමින් තීන්දු-තීරණ ගැනීමේ ක්‍රමයට අපි මාරු වී ඇත්තෙමු. ඒ අනුව අප වෙනුවෙන් අපේ මතය නියෝජනය කරන්නටත් අප වෙනුවෙන් මතයක් දැරීමටත් වෙනත් මතයකට එරෙහි වීමටත් බුද්ධියක් හා විශ්වාසයක් ඇති පළාතේ සිටින ‘හොඳම’ නියෝජිතයා අපි පාරලිමේන්තුවට යවන්නේමු.

අපේ රටේ පාර්ලිමේනතු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය පටන් ගන්නේ මෙතැන් සිටය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මේ නිශ්චිත තේරුමට ගැළපෙන ආකාරයේ ක්‍රියාවලියක් අපේ රටේ තිබෙන්නේද යන කාරණය මෙහිදී ඉතාමත් වැදගත් ප්‍රශ්නයයි. අපි කරන්නේ අපිව නියෝජනය කරන්නට හැකි සුදුසුම කෙනා ඡන්දයෙන් පත් කර යැවීම නොව, අපේ ඡන්දය අපිට අයිති එකක් නොව ඒ ඒ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට අයිති දෙයක්යැයි සිතා මන්තී‍්‍රට කැමැති තාක් කල් පාලනයේ සිටීමට එම ඡන්දය පාවිච්චි කරන්නා බවට පමණක් අප පත් වීමය. අපේ ඡන්දයෙන් නියෝජතයා විය යුතු කෙනා ඡන්දයේ අයිතිකරුවා වී ඡන්දදයකයා මන්ත්‍රීවරයාගේ නියෝජිතයා බවට පත් වීමය. මේ අලකලංචිය හේතුවෙන් ටිකක් දුර යන විට ස්වාධිපත්‍යය හිමියා කවුද සහ එම ස්වාධිපත්‍යය තාවකාලික නියෝජනය කරන්නට පත් කර ගත් නියෝජිතයා කවුද යන්න නොපෙනෙන තරමට තත්ත්වය සංකීර්ණ වන්නේය. මෙය හරියට ගෙදර කුලියට ගත් කෙනා ගෙයි අයිතිකරුවා වී ගෙදර අයිතිකරුවා කුලී නිවැසියා වීම වැනි උඩ යට මාරු වීමකි. අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භයේම තියෙන මේ අපැහැදිලිතාවත් සමග අපි සෑම වසර හයකට සැරයක්ම අලූත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්නෙමු.

දැන් පසුගිය සති කීපයේ පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් කීපයක් දෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අපි වැටී ඇති තැන පෙනී යන්නේය. මීට සති කීපයකට පෙර එක් දිනයක පාර්ලිමේන්තුව වාර්තා කළේ එදින තිබූ බරපතළම ප්‍රශ්නය වූයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකු එකම නිළියක සඳහා අයිතිවාසිකම් කීම බවය. ‘නිළිය කාගේද?’ කියා චිත්‍රපටයක් සැදිය හැකි පන්නයේ ඉතාමත් ප්‍රාථමික, සදචාර විරෝධී සංවාදයක් රට ඉදිරියේ මේ මන්ත්‍රීවරුන් දෙදෙනා පෙන්නුම් කළෝය. මේ මන්ත්‍රීවරුන් රාත්‍රීයට කරන්නේ කුමක්දැයි හෝ නිඳාගත්තේ කොහේදැයි කියා දැනගැනීමේ අවශ්‍යතාවක් රටේ ජනතාවට නැත. එසේම තමන් පෙම් කරන්නේ කාටදැයි දැනගැනීමේ අවශ්‍යතාවක්ද රටේ ජනතාවගෙන් බහුතරයකට නැත (එවැනි ඕපාදූප අවශ්‍ය කුඩා කණ්ඩායමක් සිටිය හැකිය). අනෙක් අතට පාර්ලිමේන්තුවේ නොමැති කාන්තාවක් විෂයවස්තුව ලෙසින් ගනිමින් ඇය ගැන හබයක් කරන තැනක් බවට පාර්ලිමේන්තුව පත් වීම මගින් එක් අතකින් පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තුවේ පරමාර්ථය වූ අපේ මතය නියෝජනය කරන්නට යැවූ නියොජතයාට සිදූ වී ඇති දේය. අනෙක් අතට මෙයින් බරපතළ සදචාර ප්‍රශ්නයක්ද මතු කරන්නේය. එම කාන්තාවට පිළිතුරු දිය නොහැකි සභාවක ඇය ගැන බලසම්පන්න පිරිමින් දෙදනකු රටම ඉදිරියේ සිදු කරන මේ අපහාසය මගින් පෙන්නුම් කරන්නනේ බරපතළ සදචාර කඩා වැටීමකි (මානව අයිතිවාසිකම් ගැන හෝ ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කථා කරන රටේ ප්‍රසිද්ධ කිසිදු එන්ජීඕ-එකක් මේ ගැන කථා නොකළ බවද මෙහිදි කිව යුතුය).

මාගේ දෙවැනි නිරික්ෂණය වුයේ පසුගිය සතියක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදනකු එකිනෙකා අතර සිදු වූ පහර දී ගැනීම ගැනය. මරණාධාර සමිතියේ වත් නැති ආකාරයේ තීන්දු-තීරණ ගැනීමක් ලෙස මෙය දැක්විය හැකිය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන දී ඇති එක් නිර්වචනයක් වන්නේ ‘සාකච්ඡාවෙන් පාලනය කිරීම’ ය. මේ මන්තීවරුන්ගේ පහරදී ගැනීමේ තත්ත්වය වර්ධනය වුව හොත් ඇති විය හැකි ප්‍රතිඵල විය හැක්කේ සාම්ප්‍රදායික සමාජ සම්මුතිවාදි පදනමින් ඉවත් වී බාහුබලවාදයක් බවට ලංකාවේ පාර්ලිමේන්තුව පත් වීමය. පහර දුන්නායැයි සැක කරන මන්ත්‍රීවරයකු පසුව වහසි බස් දෙඩවා තිබුනේ තමන්ගේ ‘ෂොට් එක හරියට වැදුණේ නැති බවත්’ තමන්ගේ ‘පාරක් හරියට කෑවොත් හොඳින් ඉන්න අමාරු බවත්’ ය. මේ තත්ත්වය ගැන අවධානයෙන් සිටීම පිට සිටින අපට කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සිටින අයට වැදගත්ය.

මාගේ තුන් වන නිරීක්ෂණය වූයේ තවත් එක් ඇමැතිවරයකුගේ භාෂා ව්‍යවහාරය ගැනය. එම ප්‍රකාශය වැරැද්දක් ලෙස දකිමින් ඔහුම එය ඉල්ලා අස් කරගෙන තිබීම මෙහිදී වැදගත් ය. දැන් මේ තත්ත්වයෙන් ඉවත්වීමට නොහැකි වුවහොත් ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලෝකයේ කොහේ වත් නැති ආකාරයේ විකෘතියක් වීමේ බරපතළ ඉඩක් පවතින බව මෙහිදී අපගේ අවධානයට ලක් විය යුතු කාරණයයි. පාර්ලිමේන්තුත් ගිහින් ගුටිත් නොකා එන්න’ ප්‍රාර්ථනා කරන ජනතා නියෝජතයන් බිහි වීමේ ඉඩ පරාජයට පත් කිරීම අපගේ වගකීම විය යුතුය.

Back to Home page