Colombo Telegraph

වවුනියා ළමා නිවාසයේ අපචාර: සැකකාර​ භික්‍ෂුව කොන්දේසි විරහිත ඇප මත නිදහස්

නව හැවිරිදි දරුවකු ලිංගිකව අපහරණය කිරීම නිසා 2013 ඔක්තෝබර් මාසයේදී ඇටඹගස්කඩ සෙත් සෙවණ ළමා නිවාසය භාර කල්යාන හිමියන් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදී. මේ පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී, ඔක්තෝබර් 12 දින ලිංගික අපචාරයක් සිදු වී ඇති බව වෛද්‍ය සාක්ෂි මගින් තහවුරු විය. එම නිසා එහි ඉතිරි ළමයින් 22 දෙනා 2013 ඔක්තෝබර් 15 දින සිට ජාතික ළමාරක්ෂක අධිකාරියේ භාරයට පත් කරන ලදී. එම ළමයින් 22 දෙනා ද අපචාරවලට මුහුණ දී තිබෙන්නට ඉඩ ඇති බැවින් ඔවුන් ද වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කරන ලෙස වවුනියා මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙම හිමියන් නිදහස් කරනවාට විරුද්ධ නැති බව ප‍්‍රකාශ කිරීම නිසා නීතිපතිවරයා උපදෙස් මත මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් 2013 දෙසැම්බර් 31 දින කල්‍යාන හිමියන් කොන්දේසි විරහිතව ඇප මත නිදහස් කරන ලදී. නඩුව පෙබරවාරි 11 දින විභාගයට ගැනීමට නියමිතය.

කල්යාන හිමි

මෙම නිවාසයේ දරුවන් අතරින් වැඩි දෙනෙක් යුද්ධයෙන් පීඩාවට පත් දරුවෝය. ඔවුන් මෙහි රඳවනු ලැබුවේ ඔවුන්ගේ මව්පියන් හට මෙම දරුවන්ට අවශ්‍ය රැුකවරණය හා අධ්‍යාපනය වැනි අවශ්‍යතා සැපයීමට අපහසු වූ නිසා ය. මෙම ළමයින් අතරින් ඇතැමෙකුගේ පියවරුන් යුද්ධයෙන් මිය ගොස් තිබෙන අතර මව්වරුන් කරන්නේ එදිනෙදා යම් මුදලක් උපයා ගැනීමට පමණක් ප‍්‍රමාණවත් වන ගල් කැඞීම වැනි රැුකියා ය. එම මව්වරුන් දරුවන් මෙම ස්ථානයට භාර දුන්නේ ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් හා රැුකවරණයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එම සංදර්භය තුළ මෙම ස්ථානයේ භාරකරු කෙතරම් දුරට එම දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළේ ද යන්න ප‍්‍රශ්නයකි.

මෙම ළමයින් දෙමළ දරුවන් වන මුත් ඔවුන්ව අධ්‍යාපනය ස`දහා ඇතුළත් කර තිබෙන්නේ කාටුමංකුලම් සිංහල මිශ‍්‍ර පාසලටයි. මෙමගින් ඔවුන්ට තමන්ගේ මව් බසින් ඉගෙනීමටත්, තමන්ගේ ආගම හා සංස්කෘතිය අනුගමනය කිරීමටත්, තම වාර්ගික අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමටත් තිබෙන අයිතිය උල්ලංඝනය වී තිබේ. ඔවුන්ව බලහත්කාරයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය වෙත අනුකලනය කර තිබේ. සිවිල් සමාජය හා වෙනත් අය විසින් කර ලද පැමිණිලි නිසා වවුනියාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරියා, පරිවාස නිලධාරියා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් පරීක්ෂණයක් කර 2010 නොවැම්බර් 29 දින වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. එහෙත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙම ළමයි දිගින් දිගටම භාවමය හා මානසික වශයෙන් පීඩාවට පත් වෙමින් සිටිති.

ශ‍්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව හා රැුකවරණය සම්බන්ධයෙන් වගකියන ජාතික ළමාරක්ෂක අධිකාරිය, ළමා ආරක්ෂාව සඳහා වන කාර්ය බලකාය ආදිය තිබෙන්නේ වනිතා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ය. මෙම ආයතන විසින් සෑම පළාතක් ම හා දිස්ත‍්‍රික්කයක් ම භාරව නිලධාරීන් පත් කර තිබේ. මෙම සිද්ධියේදී විත්තිකරුට ඇප ලබා ගත හැකි වූයේ ජාතික ළමාරක්ෂක අධිකාරිය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව නිසා ය. සුළුතර ප‍්‍රජාවන්ගේ ළමයින් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක‍්‍රියාකලාපය පිළිබඳ බරපතල ගැටලූ මතු වේ. මෙම බෞද්ධ භික්ෂුවට එරෙහිව 2010 සිටම ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි ඉදිරිපත් වුණ මුත්, දිගින් දිගටම සිදු වුණේ ළමයින් වෙනුවට වැරදිකරු ආරක්ෂා කිරීමයි. අත් අඩංගුවට ගැනීම සිදු වුණේ ක‍්‍රියාත්මක නො වී සිටීම ගැන වවුනියාවේ ළමාරක්ෂක නිලධාරීන් විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියට විරෝධය පළ කිරීමෙන් පසුව බව ද සටහන් කළ යුතු ය.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ දැක්ම හා මෙහෙවර ලෙස දැක්වෙන්නේ ළමයින්ට මිත‍්‍රශීලී හා ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම හා ළමයින් සියලූ ආකාරයේ අපචාරවලින් නිදහස් කර ගැනීමයි. ඔවුහු අංක 1929 යටතේ, භාෂා තුනෙන් ම ප‍්‍රතිචාර දක්වන, පැය 24 පුරා ම ක‍්‍රියාත්මක දුරකථන සේවාවක් ද පවත්වාගෙන යති. වැරදිකරු අත්අඩංගුවට ගැනීමට දැක්වූ මැලිකම හා ඔහු නිදහස් කිරීම නිර්දේශ කරමින් ඉදිරිපත් කරන ලද වාර්තාව හේතුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පිළිබඳ බලවත් සැකයක් ඇති වේ.
නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබියදී, එ් වෙනුවට ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටීම නිසා නීතිපති දෙපාර්තමේන්තුව ගැන ද ප‍්‍රශ්නයක් පැන නගින බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ. එස්. රත්නවේල් පවසයි. ‘‘වින්දිතයන් ආරක්ෂා කිරීම වෙනුවට සැකකරුවන් ආරක්ෂා කිරීම හේතුවෙන් නීතිපතිවරයා හා ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් බැඳියා පිළිගැටුමක් මතු කර තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරිය පිහිටුවා තිබෙන්නේ ළමයින්ගේ ආරක්ෂාවටයි. එහෙත්, මෙම නඩුවේදී අනෙකුත් ළමයින් 22 දෙනා සම්බන්ධයෙන් අධිකරණයට හා නීතිපතිවරයාට වාර්තා ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වී තිබේ. එසේ වෙතත්, ඔවුන් පරීක්ෂණ අවසන් බව පවසමින් අධිකරණය නොමග යවා තිබේ. සැකකරු නිදහස් කිරීම හේතුවෙන් සාක්කිකරුවන්ට තර්ජන ඇති වීමට ඉඩ තිබේ. මෙමගින් නිරූපණය වන්නේ රජයේ ආයතන මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට අසමත් වීමයි. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ම මේ අන්දමින් කටයුතු කරන කල නීතියේ රැුකවරණය හා යුක්තිය තහවුරු කරන්නේ කෙසේද?’’

යුද්ධය නිසා පවුලේ අය අහිමි වූ හා හිමිකම් උල්ලංඝනය කිරීම් ගණනාවකට මුහුණ දුන් දරුවන්ගේ ආරක්ෂාව විශේෂකොට තහවුරු කිරීම රාජ්‍ය ආයතනවල වැදගත් වගකීමකි. එම වගකීම විශේෂයෙන් ම පැවරෙන්නේ ළමාරක්ෂක හා පරිවාස නිලධාරීන්ටයි. එම ආයතන හා නිලධාරීන් විසින් වාර්ගික හේතු මත ළමා ආරක්ෂාව හා ළමයින්ට සිදු වන අපචාර නො තකා හරින්නේ නම් එවැනි ආයතනවල හැකියාව හා අරමුණු පිළිබඳ බරපතල ගැටලූවක් ඇති වේ.

යුද්ධයේ අවසානයේ සිට කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය වැඩි වෙමින් තිබේ. කඳවුරෙන් පළා ගිය නාවික නිලධාරියකු විසින් මෑතදී ත‍්‍රිකුණාමලයේ සිව් හැවිරිදි දරුවකු දූෂණය කිරීමේ සිද්ධියෙන් එවැනි සිද්ධිවලදී නීතිය ක‍්‍රියාත්මක නො වන ආකාරය පිළිබිඹු කෙරේ. ජාතික ළමාරක්ෂක අධිකාරිය ළමයින් ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කිරීමට අසමත් වී තිබෙන බව අප සටහන් කරන්නේ මහත් කණගාටුවෙනි. රට පුරාම වාර්තා වන ළමා අපචාර සිද්ධිවලින් හා වැරදිකරුවන්ට එරෙහි පරීක්ෂණ හා දඬුවම් පමා වීමෙන් මෙම තත්වය ඔප්පු වේ.

ළමා ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් ප‍්‍රතිපත්තියක් ඇති, ළමාරක්ෂාව වෙනුවෙන් නීති ගණනාවක් ම සම්මත කර තිබෙන හා ආයතන ගණනාවක් ම පිහිටුවා තිබෙන, එම ආයතනවල නිලධාරීන් පළාත් හා දිස්ත‍්‍රික් මට්ටම දක්වාම විහිදී සිටින රටක් ලෙස නිසි පරීක්ෂණ පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් කිරීම ශ‍්‍රී ලංකාවට අභියෝගයක් විය නො හැකිය. එසේ තිබියදීත් ළමයින් හා කාන්තාවන් හිමිකම් උල්ලංඝනය වීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට ලක් වෙමින් සිටින බව පැවසීම කණාගාටුවට කරුණකි.
පශ්චාත් යුද සමයේ ශ‍්‍රී ලංකාව සාමය හා සංවර්ධනය වෙත යොමු වී තිබෙන බව ප‍්‍රකාශ කරන හා ජාත්‍යන්තර සංසදවලදී තම රට ආසියාවේ ආශ්චර්යය ලෙස හඳුන්වා දෙමින් තිබෙන සංදර්භයක් තුළ විශේෂයෙන් ම සුළුතර ප‍්‍රජාවන්ගේ කාන්තාවන් හා ළමයින් ඇතුළුව රටේ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය පැතිරීම ඉහළ යාම වහා අවධානයට ලක් විය යුතු ප‍්‍රශ්නයකි.

*Women’s Action Network කාන්තාවන්ගේ ක‍්‍රියාකාරී ජාලය ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ පදනම් කර ගත් කාන්තා සංවිධාන අටක ජාලයකි

Back to Home page