18 June, 2026

Blog

මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපූ 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය

ක්ලයිව් ශාන්ත –

1976 නොවැම්බර් 12 හිමිදිරි උදයේ 6.30 ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදු වූ වීරසූරිය සිසු ඝාතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සරසවි සිසු ඝාතනය විය. පොලිස් රයිෆල් වෙඩි පහරින් හද සිදුරු වූ වීරසූරිය සිසුවාගේ උණුසුම් ලෙයින් හන්තාන සරසවි අඩවිය එදා තෙත් විය. ඔහු වෙඩි කා ඇද වැටුනේ පේරාදෙණි සරසවියේ නිර්මාතෘ සර් අයිවර් ජෙනිංග්ස් නමින් නම් කර ඇති ජෙනිංග්ස් වටරවුම මතටයි. එම සීතල උදයේ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයට ලක් වූ සංඝයා වහන්සේලා ඇතුළු සිසු සිසුවියන් 200 කට අධික පිරිසකගේ ගලා ගිය ලේ දහරාව ද ඊට එක් විය. 76 නවක සරසවි සිසුන් ලෙස අපට මෙන්ම හැම වසරකම සිටි සිසුන්ට එය අදත් සදා නොමැකෙන සිහිවටනයක් බවට පත් වී හමාර ය. මෙම සටනට උපහාර පිදෙන වාර්ෂික සමරුව නොවැම්බර් 12 දිනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී යෙදී ඇත.

එම රුදුරු ඛේදවාචකයට පසුබිම් වූ සමාජ, දේශපාලන හා සරසවි පාලන තන්ත්‍රයේ ස්වභාවය තම සජීවි අත්දැකීම් තුළින් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන රාජසිංහ බණ්ඩාරයන්ගේමණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපූ 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලයනැමැති  මුද්‍රිත කෘතිය එම සිද්ධිදාමය ප්‍රබල රූ රටාවක් සේ පෙළ ගස්වයි. එම ග්‍රන්ථය අපගේ බුද්ධිමය නිම්වලලු පුළුල් කරයි. මෙම ශිෂ්‍ය අරගලය ගැන දේශපාලන වුවමනාකම් මත හෝ පැලපදියම් වූ මත ඔස්සේ හෝ හඹා යමින් දී ඇති විකෘති හා නොමඟ යවනසු`ඵ ප්‍රකාශන, ලිපි ආදිය මා කියවා ඇති අතර සමස්ත ශිෂ්‍ය සටනේ සැබෑ ඉතිහාසය අලලා ලියවී ඇති එකම කෘතිය මෙය බව මා පසක්කොට ගත්තේ මගේ ම අත්දැකීම් තුලිනි. සිරිමාවෝ ආණ්ඩුවේ පාලනය යටතේ පැවති ජනමාධ්‍ය ශිෂ්‍ය සටනේ සැබෑ තතු ජනතාවට දැනගැනීමට ඉඩ නොතැබීය

කතුවරයා පර්යේෂණාත්මක දෘෂ්ටියෙන් කරුණු හැදෑරීම විශේෂිත ය. ඔහු විමලරත්න කොමිසමේ සාක්ෂි විභාගය වෙත ද අවධානය යොමු කරයි. නොවැම්බර් 12 වන දා ශිෂ්‍යයින්ට වෙඩි තැබූ අයෙකු වන මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක රොනී ගුණසිංහගේ සාක්ෂිය අප හෘද සාක්ෂියට යොමු කර වින්දිත පාර්ශවයට සිද්ධිය ප්‍රත්‍යාවලෝකනය කිරිමට සලස්වයි. “පොලිසිය වෙඩි තබනවායැයි කෑ ගැසූ පීරිස‌ සී සී කඩ විසිර ගියා. අපි ඉදිරියට ගියා. වටරවුම අසල තුවාල ලත් කෙනෙකු වැටී සිටිනු දක්නට ලැබුණා. ඔහු කළු කොට කළිසමක් ඇඳ සිටි අතර උඩුකය කිසිවක් නොවීය. පිටේ තුවාලයකින් ලේ ගලමින් තිබුණා. ඔහුට වෙඩි වැදි ඇති බව මම තේරුම් ගත්තා. පසුව ඔහු රෝහලට පිටත් කරන ලදී. ඔහු ජීවත් නොවන බව මට වැටහුණා. මම ඒ ගැන වොන් හාට් (Von Heart) (සහකාර පොලිස් අධිකාරී) මහතාට කිවුවහම ඔහු ටිකක් තිගැස්සුණා පෙනුනා. මම ඇතුළු පොළිස් පිරිස ගිය වාහනවලට අරුණාචලම් ශාලාව අසලදී ගල් ගැසුවා. අපි ගිය රිය පෙරහැරේ වාහනවල ඉඳලම පොලිසිය වෙඩි තිබ්බා.”

කතුවරයා ජ්‍යෙෂ්ඨ සිසුවෙකු ලෙස 75-76 සිදුවීම් මාලාවට මුහුණ දෙමින් ඒවා නිරීක්ෂණය කරන අයුරු මෙහිදී පැහැදිලිය. විරෝධතා මතු වූ නේවාසිකාගාර, දේශන ශාලා, ස්ට්‍රයික් ගහ යට, සේවක මහතා නැග උපවාසය කළ පොල් ගස ඔහුගේ නිරීක්ෂණ පථයට යොමු වූ සමහර ස්ථාන විය.

එසේ ම මහාචාර්ය විතානගේ හා සිසු සබඳතා ගැන කතා කරන විට මණ්ඩාධිපති ලෙස ඔහුගේ යම් උපක්‍රම රසවත්ව හා උපහාසාත්මකව මෙම පොතේ දැක්වේ. නිදසුනක් ලෙස ඔහුගේ කාර් රථයෙන් මහනුවර නගරයට ඇරලූ ඔහුගේ ම ශිෂ්‍යයෙකු වූ පෙම්වතෙකු මුහුණ පෑ අකරතැබ්බය දැක්විය හැකිය.

මණ්ඩපාධිපති:මොකද අයිසෙ වලේ නාට්‍යය පෙන්නන දවස්වල ලයිට් නිව්වහම හාමුදුරුවරු වැටවල් කඩාගෙන කෙල්ලො ඉන්න තැන්වලට රිංගනවා කියන්නේහාහාහාහාමුදුරුවන්ට සංගීතේ බෑ”'” මහාචාර්ය විතානගේ තමන්ගේ ප්‍රශ්න කීමට ඔහු වෙත පැමිණි ශිෂ්‍ය නියෝජිතයින් සිනහගැස්සූ එක අවස්ථාවකි

විශ්ව විද්‍යාලයේ කුමන ප්‍රශ්න පැවතියත් මණ්ඩපාධිපතිවරයා නේවාසික ශාලාවල පැවැත්වෙන රාත්‍රී සාද (Social Nights) වලට බිරිඳ සමඟ පැමිණ රංගනයේ යෙදෙන සැටි ද කතුවරයා නාට්‍යාකාරයෙන් චිත්ත රූප මවමින් ඉදිරිපත් කරයි.

මෙම ග්‍රන්ථය මගින් සිරිමාවෝ බණ්ඩාරනායක තුන් හවුල් රජය 75-76 කාල වකවානුව තුළ සරසවි වෙත මුදාහල කුරිරු මර්දනය විස්තර කරයි. රූපා රත්නසීලි නේවාසිකාගාර උඩුමහලින් බිම වැටීම සිද්ධිය නවක වදයට සම්බන්ධ කරමින් සත්‍යය විකෘති කිරීම ද පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිසු අවශ්‍යතා ඉටුකරලීමට උනන්දු වූ මණ්ඩාධිපති මහාචාර්ය කොඩිතුවක්කු නෙරපා හරිමින් මහාචාර්ය විතානගේ එතැනට පත්වීම සිදු වූ අයුරු මෙහිදී පැහැදිලි කර ඇත. සැබවින්ම රූපා රත්නසීලි නවක වදය දරා ගත නොහැකිව රාමනාදන් ශාලාවේ උඩුමහලින් පැන දිවි නසා ගැනීමට තැත් කළා ද එසේ නැතිනම් මුත්‍රා කිරීමට ගොස් ඇද වැටුණේ ද යන්න ගැනත් එවකට රාමනාදන් ශාලාවේ නේවාසිකව සිටි ශිෂ්‍යාවකගෙන් ලබාගත් තොරතුරු අනුව හෝ පිරිමි නේවාසික ශාලාවක් ලෙස පැවති විට එක් ශිෂ්‍යයෙකු එහි නානකාමරයක ගෙල වැලලාගෙන මරණයට පත්වීමත් පසුව පැවැති හොල්මන් භූත විශ්වාසවලට ද සම්බන්ධ කරමින් පූර්ව විග්‍රහයක් කොට ඇත. මහාචාර්ය විතානගේ බලයට පත්වන්නේ රූපා රත්නසීලි සිද්ධියත් නවක වදයත් දඩමීමා කරගෙන ය. එහෙත් සත්‍ය කුමක්ද යන්න කතුවරයා මෙහි නවක වදය ගැන කෙලිලොල් තරුණ වියේ තමා ලැබූ අත්දැකීම් විස්තර කරනුයේ හාස්‍ය උත්පාදනය කරමින් පාඨකයාට මධ්‍යස්ථ තීරණයක් ගත හැකි වන සේ ය

එදා 1975 වන විට රජයට සිසු අයිතීන් හා පහසුකම් ලබා දීමට නොහැකි වන විට මණ්ඩාධිපති විතානගේ පත්වීම හරහා සිසු අයිතින් තවදුරටත් කප්පාදු කිරිම, නිරන්තරව පොලිසිය මණ්ඩපයට කැඳවීම යන සිදුවීම්වලට සාපේක්ෂව සිසු උද්ඝෝෂණ, පෙළපාලි, දේශන හා විභාග වර්ජන රැල්ල උඩට මතු විය. ඊට ප්‍රතිචාර දැක්වූ පාලකයෝ බැටන් පොලු, කදුලු ගෑස් හා තුවක්කු බටවල සරණ පැතූහ. හන්තානේ කදු වැටියෙන් ගලා එන මීදුම් පටල යටකරමින් ගලා ආ කඵ දුමාරයක් මෙන් සරසවිය ගොදුරු කරගත් මර්දනයේ රුදුරු ස්වභාවය රාජසිංහ බණ්ඩාර තම කෘතිය හරහා හද කම්පනය කරනසුළු චිත්ත රූප මවමින් ඉදිරිපත් කරයි. එදා ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස සැබෑ අත්දැකීම් සහිතව කතුවරයා සිසුන්ගේ තරුණ ස්වභාවයට අනුව හැසිරීම් විලාශයන් මෙන්ම පොදු හූ හඩ, නවක වදයට අදාළ වූ රසවත් සිදුවීම් මෙන්ම පරිසරයේ යම් ගුප්ත ස්වභාවයන් ද කතන්දර ශෛලියෙන් ඉදිරිපත් කරයි.  ශිෂය සටන් හරහා හඬ දුන් සටන් පාඨ පිළිබඳ හැදෑරීමක් වුව ද මෙහිදී කළ හැකි ය.

කතුවරයා මෙම ග්‍රන්ථය තුළ එදා තත්කාලීන ජාත්‍යන්තර සිසු අරගල ස්වභාවයන්, 71 කැරැල්ල මෙන්ම ශ්‍රි ලංකාවේ දේශපාලනය පිළිබඳව ද අවධානයට ලක් කරයි. එහි දී ඔහු 75-76 මෙන්ම 80 දශකය ද සැලකිල්ලට ගැනීම වැදගත් ය.  නොවැම්බර් 12 කුරිරු ශිෂ්‍ය මර්ධනයට එරෙහිව පැන නැගි මහජන විරෝධතා ප්‍රයෝජනයට ගනිමින් බලයට පැමිණි JR ජයවර්ධන ආණ්ඩුව අපගේ ජාතික වස්තුවක් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය 1986 දී වසා දැමීමට ගත් තීරණය හකුලා ගනු ලැබුවේ මෙම කතුවරයා ඇත්ත පතරය මගින් කළ හෙළිදරව්ව අනුව ය. එම ලිපිය ද මෙම කෘතියට ඇතුලත් ය. මෙලෙස පුළුල් අයුරින් ශිෂ්‍ය අරගලය දෙස බැලීම අගය කළ යුතු වේ. මෙම ග්‍රන්ථය පිළිබඳව විචාරකයන් සපයන එදා ශිෂ්‍ය සංගමයේ සභාපති ජී.ජි.පී. අබේසේකර මෙහි දී ආචාර්ය දයාන් ජයතිලකගේ අදහසක් උපුටා දක්වා ඇත.  එනම්, “Sirimawo and JR showed the same political ideologies” ආණ්ඩු දෙකෙහිම දේශපාලන චින්තනය එකක්ම වූ බවයි.

හන්තාන තණනිල්ල ලෙයින් රතු වූ නොවැම්බර් 12 දා මැයින් ලියා ඇති මෙහි එන පරිච්ඡේදය තුළ සිසු විරෝධතාවය පසුබිමෙන් මතු වූ ඔවුන්ගේ සටන්කාමිත්වය ප්‍රබල වදන් පෙළක් ඔස්සේ චිත්‍රණය කර ඇත. වෙඩි හඬ ජාතික රාජ්‍ය සභාවේ ගිගුම් දෙයි යන පරිච්ඡේදය ද එදා දේශපාලන ඇසින් එය දුටු අයුරු විදහා පෙන්වන සම්පිණ්ඩනයක් සේ දක්වා තිබීම වැදගත් ය.

රාජසිංහ බණ්ඩාරයන්ගේ මෙම කෘතිය විශ්ව විද්‍යාල සිසුන්ට, දේශපාලන ක්‍රියාකාරිකයින්ට මෙන්ම සමාජයේ එදිනෙදා භාවිතාව ගැන උනන්දු කා හටත් ඔවුන්ගේ විමසුම් ඇස හා අර්ථවත් වින්දනය තීව්ර කර ගැනීමට අත්වැලක් වනු නොඅනුමාන ය.

*ක්ලයිව් ශාන්ත (M.A.)  සම්මානලාභී වේදිකා නාට්ය නිශ්පාදනයෙකු, ලේඛකයෙකු හා අධ්යාපනඥයෙකු වන අතර පේරාදෙනිය විශ්ව විද්යාලයේ ශිෂ්ය අරගලයේ සැබෑ අත්දැකීම් ලද ආදි ශිෂ්යයෙකු ද වේ.

ඔබගේ අදහස් දන්වන්න. – Whatsapp 077 9078099

මෙම කෘතිය සරසවි, ගොඩගේ, Grantha.lk යන පොත් අලෙවිසැල්වලින් ලබාගත හැක.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.