19 April, 2024

Blog

පල්ලෙවත්ත ගමරලලාගේ මෛත්‍රිපාල යාපා සිරිසේන නම් ඔහු

කොල්වින් ගුණරත්න –

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ වත්මන් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුනි, සම්භාවනීය මහත්ම මහත්මියනි,

උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙවැනි දේශනවලදී දේශකයා සභාවට හදුන්වාදීම පිණිස යම් අයකු කතාකිරීම සම්ප්‍රදායට අනුකුල චාරිත්‍රයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පුරවැසියනට හදුන්වාදිමනම්, පැහැදිලිවම අනවශ්‍ය වුවද, චාරිත්‍රානුකුලව එසේ කිරීමේ ගෞරවය, සතුට හා නිහතමානි අභිමානය අද සිට මට හිමි වී තිබෙනවා. ඒ කාර්යය මා මෙසේ ආරම්භ කරන්නෙමි.

Maithripalaපල්ලෙවත්ත ගමරලලාගේ මෛත්‍රිපාල යාපා සිරිසේන, මැද පන්තියක ගැමි ගොවි පවුලකට හිමිවූ පුත්‍ර රත්නයක්, කඩවසම්, ප්‍රසන්න, යහපත් පෙනුමැති, විනීත මෛත්‍රිපාල සිරිසේන තරුණයා ප්‍රථමවරට මා මුණ ගැසුනේ මට මතක හැටියට 1973 වසරේ, එවකට මින්නේරිය පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න දේශප්‍රිය සේනානායක මැතිතුමාගේ දේශපාලන වැඩකටයුතු වලට සහභාගී වීම සදහා ඒ කාලයේදී මා නිතරම පොළොන්නරු පෙදෙසට ආ ගිය නිසාය. මෛත්‍රිපාල සිරිසේන තරුණයා ද ඒ දේශපාලන වැඩ කටයුතුවල නියැලී සිටි ආකාරය මට හොදට මතකයි.දින කිහිපයකට පසු මා දැනගත්තා මෛත්‍රිපාල පොලොන්නරුව ශ්‍රී.ල.නි.ප යේ 1967 වසරේ සිටම තරුණ සංවිධානයේ සාමාජිකයකු බව. නොබෝ දිනකින් ඔහු එහි ලේකම් වී, 1970 වසරේ ජයග්‍රාහි මහමැතිවරණ කාලයේ පක්ෂයේ දේශපාලන, සංවිධාන, සහ ප්‍රවර්ධන කටයුතු මනාව ඉටුකළ බව ප්‍රදේශ වාසීන්ගේ බහුතර මතයයි. එවිට ඔහු පොලොන්නරුව රාජකීය විදුහලේ ජ්‍යෙෂ්ට සිසුවකු වීමද විශේෂත්වයකි.

71 වසරේ කැරැල්ල මර්ධනය කිරීමේදී ඔහු ජ.වි.පෙ සාමාජිකයෙක් බවට සාවද්‍ය සැකයක් මතුවී, ඔහු සිරභාරයට ගනු ලැබුවා.එහෙත් ඔහු කිසි දිනෙක ඒ පෙරමුණේ සාමාජිකයකු වී සිටියේ නැති බව අපි හොදාකාරව දන්නවා.

ශ්‍රී.ල.නි.ප. යේ මෛත්‍රිපාල සිරිසේනගේ සීග්‍ර ඉහලට නැගුම මෙසේ කෙටියෙන් සදහන් කරන්නෙමි. 1976 වසරේ පොලොන්නරුව ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ ලේකම් පදවියටද, 79 වසරේ පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලේකම් පදවියටද, 81 වසරේ ශ්‍රී.ල.නි.ප. යේ දීප ව්‍යාප්ත දේශපාලන මණ්ඩලයේ (Central Committee) සාමාජිකයකු ලෙසද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙසද ඔහු පත්වීම් පිලිවෙලින් ලැබුවා.

79 වසරේදී දෙවන වරටත් ඔහුට සිරබත් කෑමට සිදුවිය. සිද්ධිය මෙසේය සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතීන් අහෝසි කිරීමට තරම් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ ක්‍රෝධය එවිට උත්සන්න වී තිබුනා ඔහුගේ සහ එවකට ඒ.ජ.ප ප්‍රභලයන්ගේ මිනීමරු මැර කල්ලි වලට ඇති වූ බිය නිසාම ශ්‍රී.ල.නි.ප. ශාකා බහුතරයක් විරෝධතා ව්‍යාපාර දියත් නොකර නිහඩ වුවා.පොලොන්නරුව දිස්ත්‍රික්කය විරෝධතා ව්‍යාපාරයක් ප්‍රභල ලෙස පැවැත්වූ එක දිස්ත්‍රික්කයක්. එහිදී ප්‍රධාන පෙළපාලියකට නායකත්වය දෙමින්, පොලිසියේ තර්ජන සහ අහසට වෙඩි තැබීම්වලට නොබියව, මෛත්‍රිපාල සිරිසේන ඉදිරියටම ගමන් කරමින් දැක්වූ අභීත ගමන රුපවාහිනියේ ක්‍රිකට් තරගවල ACTION REPLAY එකක් වාගේ මට දැන් නැවත වරක් මැවීපේනවා. ඔහු සමග රත්න දේශප්‍රිය සේනානායක, වයි.පි.ද. සිල්වා සහ ටියුඩර් දයාරත්න යන අයද එදින සිර භාරයට ගත්තා මට මතකයි.

මෛත්‍රිපාල සිරිසේන ප්‍රථම වරට 89 වසරේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූවා. 94 මැතිවරණයේදී ඔහු එය ජයගත්තේ මනාප ඡන්ද වැඩිම සංක්‍යාවක් ලබාගෙනය.
94 වසරේදී ඔහු කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති ලෙසද, 97 වසරේදී මහවැලි ප්‍රවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු පිලිබදව පුර්ණ කැබිනට් ඇමතිවරයකු ලෙසද, 2000 වසරේ නැවත මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී.ල.නි.ප. මහලේකම් ලෙසද පත්වීම් ලැබුනා.2015 ජනවාරි වනවිට වසර 14ක් ඔහු ශ්‍රී.ල.නි.ප. මහලේකම් තනතුරේ ඉතා සාධාරණ ලෙස හා ඉතා සුහද ලෙස සේවය කර තිබුනා. හැබැයි මෙම තනතුර ඔහුට ලැබිය යුතුව තිබුනේ මිට වසර කිහිපයකටම පෙරය. එය ව්‍යර්ථ වුයේ සහෝදර කැබිනට් ඇමතිවරයකු දියත් කරපු ව්‍යාපාරයක් නිසාය. මා මෛත්‍රිපාල ඇමතිතුමාට මේ සිදුවීම ගැන සන්දේශයක් යවමින් මාගේ කනගාටුව ප්‍රකාශ කළා. එහි මෙන්න මේ වගන්තිය ද ඇතුලත් විය. “ කතාන්දරය මෙතනින් නිමවන්නේ නැති බව සහ ඔබතුමාගේ ඉදිරි ගමන අඩාල වන්නේ නැති බවද මම තරයේ විශ්වාස කරමි.” මා එකල හිතාගෙන සිටියේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමා නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ අගමැති වේය කියාය. එය එසේ සිදු වුයේ නැති උනාට, 2014 දෙසැම්බර් සහ 2015 ජනවාරි මාසයේ මුලදී මාගේ අනාවැකිය නම් නිවැරදි වුවා.

2004 වසරේ ඔහු මහවැලි ගන්ගාධාරයේ සහ රජරට සංවර්ධන කැබිනට් ඇමති සහ පාර්ලිමේන්තු සභානායක ලෙසද, 2005 වසරේ කෘෂිකර්ම, වාරිමාර්ග සහ රජරට සංවර්ධන ඇමති ලෙසද, 2010 වසරේ සෞඛ්‍ය ඇමැති ලෙසද පත්වීම් ලැබුවා. සෞඛ්‍ය ඇමති ලෙස ඔහු සටන් වැදුනේ ජාත්‍යන්තර මට්ටමේ දැවැන්තම බහුජාතික සංවිධාන ව්‍යාපාර දෙකකට එරෙහිවයි. එනම් දුම්කොළ සහ දුම්වැටි ව්‍යාපාරය සහ බටහිර ඖෂධ ව්‍යාපාර යන මේ දෙකය. මේ දෙකම දැවැන්ත, ජනතාව සූරාකන, අනුකම්පා රහිත බහුජාතික සංවිධාන හා ව්‍යාපාර වේ. මේ දෙකම ව්‍යාපාරික බහුජාතික ආයතන ලෙස දෙවැනි තැන ගන්නේ, යුධ අවි ආයුධ සහ මිලිටරි උපකරණ නිෂ්පාදනය කරන ආයතන වලට පමණක්ය. දහසක් තර්ජන ගර්ජන, සුවිසල් ලෙස අල්ලස් දීම, සහ ඉතාම ඉහලින් දියත් කරන ලද කඩාකප්පල් කාරී ව්‍යායාම පරදවා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජය ලැබුවේ ඔහු දුර්වල ඇමතිවරයකු නිසාද යන ප්‍රශ්නය, එසේ නිතරම ප්‍රචාරය කල ඊනියා දේශපාලන විචාරකයන් සහ දේශපාලන විශ්ලේෂකයන් ලෙස පෙනී සිටින, හැසිරෙන, ලියන හා දොඩන අයගෙන් කෙලින්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. එතුමා සෞඛ්‍ය ඇමති ධුරය හොබවන කාලයේ හමුවූ අවස්තාවක මා සමග කතාකරමින් නම් කළා ඔහුගේ ව්‍යාපාරට විරුද්ධව ක්‍රියා කිරීම පිණිස පෙළ ගැසී සිටින ඉහලම දේශපාලන මට්ටමේ සිට නොමසුරුව අල්ලස් බෙදා දෙන සහ සියලුම ඖෂධ කොම්පැනි නියෝජිතයින්ගෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ එකතු කරමින් සුපිරි යාචකයන් ලෙස නගරය වටේ යන අයගේ විස්තර. ඒ කිසි උත්සාහයකට තමා යටත් නොවන බවද තමාගේ අරමුණ සාර්ථකව ඉටු කරන බවද එතුමා කිවා. දුම්වැටි ඇසුරුම්වල වෛවර්ණ චායාරුප මගින් අනතුරු හැගවීම පිළිබද සටන, එතුමා උසාවියේ තීන්දුවටත් අභිබවා නැගී සිටිමින් පාර්ලිමේන්තුව හරහා ජයග්‍රහණය කළා. බටහිර ඖෂධ අධිකාරියේ පුර්ණ බලතල සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරි පැලැන්තියේ දුෂිත ටික දෙනකු විසින්, දිනපතාම රත්රන් බිජු දමන පාත්තයකු ලෙස පාවිච්චි කිරීම සදහටම නතරකර, සේනක බිබිලේ ප්‍රතිපත්ති මාලාවේ මුලධර්ම නුතන යුගයට ගැලපෙන සහ අදාලවන අයුරින් සකස්කරන ලද ඖෂධ අධිකාරිය පිළිබද පනත මගින් ජනතාවට ඉටුකළ මිලකළ නොහැකි මෙහෙය, ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඔබාමා සාර්ථක ලෙස යාත්‍රා කල OBAMA CARE සංකල්පයට සමාන කළහැකි බව මාගේ අවංක නිගමනය වේ.

එතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2013 වසරේ WORLD NO TOBACCO DAY AWARD සම්මානය ලැබුනේ නිකන් නොවේ.මෙය ප්‍රථම වරට දිනු ශ්‍රී ලාංකිකයා ඔහුය. 2013 වසරේදී ඔහුට තවත් ගෞරවනිය ජාත්‍යන්තර සම්මානයක් ලැබුනා. එනම් 2013 HARVARD MINISTERIAL LEADERSHP IN HEALTH සම්මානයයි. එය ප්‍රධානය කලේ ඇමරිකාවේ සුප්‍රකට HARVARD SCHOOL OF PUBLIC HEALTH AND KENNEDY SCHOOL OF GOVERNMENT ආයතනයෙන්ය. එහිදී ප්‍රකාශයට පත්කළ නිල ප්‍රශංසාත්මක CITATION වාර්තාවේ මෙසේ සදහන්. “IN RECOGNITION OF HIS COMMITMENT TO INNOVATIVE LEADERSHIP AS MINISTER OF HEALTH, SRI LANKA” මෙයද ප්‍රථම වරට හිමිවූ ශ්‍රී ලාංකිකයා ඔහුය.

දැවැන්ත මොරගහ කන්ද – කලුගග ව්‍යාපෘතියේ නිර්මාතෘ වරයා මෙන්ම ක්‍රියාකාරී අධික්ෂණය මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගේ වැඩක් බවද අප මෙහිදී අමතක නොකළ යුතුය.

2015 ජනාධිපතිවරණයේදී ඔහුට විජයග්‍රහණය ලැබුනේ, සියලු රජයේ බලතල, සියලු රජයේ ඒ කියන්නේ ජනතාවගේ ආයතන වාහන, මාධ්‍ය, කොටි ගණනින් මුල්‍ය සම්පත්, පුද්ගල සම්පත් යනාදිය අපයෝජනය කරමින්, නීති රීති උල්ලංගනය කරමින්, අපහාස, අවමාන, වහසි බස් ගොරහැඩි ලෙස පවසමින්, කළහැකි නපුරුකම්, දුෂ්ටකම්, සියල්ල කල ඒකාධිපතියකු අන්ත පරාජයට පත් කරමින්ය. ජාති භේද, ආගම් බේද, කුල බේද, නොසලකා මෛත්‍රිපාල සිරිසේනට විවිධාකාරයෙන් සහාය දුන් බුද්ධිමත් සකල ජනතාවගේ නොමියන පරිශ්‍රමය තුලින් ඒ ෛඑතිහාසික හා තීරණාත්මක අවස්ථාවේදී ඉටු කලේ සාමකාමී විප්ලවයකි. එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකාවේ රාජ්‍ය ලේකම් JHON KERRY මහතාගෙන්ද, බ්‍රිතාන්‍යයේ අගමැති කැමරන් මහතාගෙන්ද, එහි රාජ්‍ය නායිකාව වන එලිසබෙත් රජිනගෙන්ද, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි අගමැති තුමාගෙන්ද, විවිධ දෙස් විදෙස් විද්වතුන් සහ නිරීක්ෂක අයගෙන්ද, ආයතන වලින්ද ලැබුන ප්‍රශංසනීය ප්‍රතිචාර අපට මතකයි.

මෑතකදී පුජ්‍ය කාර්දිනල් මැල්කම් රන්ජිත් පියතුමා වතිකානුවට නිල සංචාරයකට ගොස් ආපසු ලංකාවට පැමිණ ST BENEDICT විද්‍යාලයේ තිලින ප්‍රධානය කිරිමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මෛත්‍රිපාල ජනාධිපතිතුමා ගැන ශුද්ධ වූ ඇති පුජ්‍ය පාප්තුමා මෙසේ පැවසු බව අනාවරණය කලේ, “ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා මට හමුවී තිබෙන රාජ්‍ය නායකයින් රාශියටම ඉහලින් වඩාත්ම නිහතමානි, වඩාත්ම ආචාර සම්පන්න හා ඉතාමත්ම සරල දිවි පැවැත්මක් අනුගමනය කරන රාජ්‍ය නායකයා වේ. ඔහු අනිකුත් රටවල වල රාජ්‍ය නායකයින්ටද ආදර්ශයකි.” මා මෙහිදී සදහන් කලේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත ගලාගෙන ආ ප්‍රශංසා ධාරාවෙන් බිදකි.

2015 වසරේ ජනවාරි 9 වැනිදා අලුයම 1.30ට 2.00ට පමණ අරලිය ගහ මැදුරට හමුදාපති, පොලිස්පති, නීතීපති, ගොටාභය, ජි.ඒල්. පීරිස් සහ දුප්‍රකට අගවිනිසුරු යන අයට පැමිණෙන ලෙස නියෝග කර, පරාජය වනබව දැනගත් රාජපක්ෂ මහතා සිදුකරන්නට උත්සාහ කල මහා ජාතික අපරාධය ගැන ආරංචි වූ විට අප සියලු දෙනා සිටියේ මහත් භිතියකින්ය. ඡන්ද ප්‍රතිපල වල නොකැඩි ගලා එනවිට අපට හුස්ම ගැනීමට යලි හැකි වුනා. එදිනම පස්වරුවේ සිතට සහ ගතට සිසිලස ගෙනදුන් මල් වැස්සකට හා මද සුලගකට භාජනය වෙමින් නිදහස් චතුරශ්‍රයේ ඔබතුමා අප මව්බිම ජනාධිපති ලෙස දිවුරුම් දෙන දර්ශනය දුටු මාගේ සිතට සීරුවෙන් මෙන් ඇතුළු වුයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශයේ කවියක මෙමෙ පද දෙකය.

“සැප රිසි දෙන වැනි රසබසැති සිතුමිණි
“තොප දකුමින් අප පින්කළ බව දැනිණි.”

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 6 වැනි ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මතිදුනි, “වෛද්‍ය වෘත්තීය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන අභියෝග” මාතෘකාව යටතේ, 18 වැනි දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සමරු දේශනය, මේ පදක්කම පිළිගෙන, පවත්වන ලෙස භාරකාර මණ්ඩලය හා පාලක මණ්ඩලය වෙනුවෙන් ගෞරවයෙන් ඔබතුමාට ආරාධනය කරමි.

*18 වන දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සමරු දේශනයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් හදුන්වා දෙමින් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා විසින් සිදුකල හදුන්වාදීමේ කතාව.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.