Colombo Telegraph

නීතිඥවරුනි, ඔබේ දැක්ම සහ මෙහෙවර විය යුත්තේ මෙයයි

ඬේලි මිරර්’කතුවැකිය –

නීතියේ ආධිපත්‍යය බිඳ වැටී, නොපනත්කම් රජයන මෙවන් උග‍්‍ර අර්බුදකාරී යුගයක, ශ‍්‍රී ලංකාවේ දහස් ගණනක් වන නීතිඥයන්ට, ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් නීතිවේදියෙකුගෙන් මනා ඔවදනක් ලැබුණි. එනම්, නීති පොත්වලින් සහ උසාවියේ නඩුවලින් එළියට ගොස්, සාමය, සමාජ සාධාරණත්වය සහ යහපාලනය වෙනුවෙන් සකී‍්‍රයව නිරත වන ලෙසයි. එසේම, සමානාත්මතාව මත පදනම් වන නව ලෝක ක‍්‍රමයක් බිහි කර ගනු වස්, දේශ සීමාවන්ගෙන් ඔබ්බට පවා යා යුතුව ඇති බවත් ඔහු මතක් කර දුන්නේය.

විනිසුරු වීරමන්ත‍්‍රී

‘එක ලෝකයක් කරා’ නමැති තම මතක සටහන් නිබන්ධනයක දෙවැනි වෙළුම ජනගත කිරීමේ උළෙලේ දී රැුස්ව සිටි සභාව අමතමින් පසුගිය අඟහරුවාදා ලංකාවේ නීතිඥ ප‍්‍රජාවෙන් මෙම අනාගතවාදී ඉල්ලීම කෙළේ, ජාත්‍යන්තර අධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති, සී. ජී. වීරමන්ත‍්‍රී විනිසුරුවරයා ය. මේ වෙළුමට අඩංගු වන්නේ, ඔස්ටේ‍්‍රලියාවේ ඔහුගේ ක‍්‍රියාකාරකම් ය. ඊටම ගැලපෙන ලෙසින්, කොළඹ ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලයේ දී පැවති මේ ජනගත උළෙලේ මූලාසනය හෙබැවූයේ, ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්වරයා ය.

සුපුරුදු පරිදි තමාගේ භාවිතාව අනුන්ටත් ඔවාදෙමින් සභාව ඇමතූ වීරමන්ත‍්‍රී විනිසුරුවරයා, නීතිය යනු වෘත්තියක් පමණක් නොව, අභිනියුක්තියක් ද වන බව නීතිඥ ප‍්‍රජාවට මතක් කර දුනි. එහි දී, ජනතාව වෙනුවෙන් උසාවියේ දී පමණක් නොව, රටතොටේ දී, සමාජයේ දී සහ මුළු ලෝකය පුරාමත් සේවය කිරීමට නීතිඥයෙකු බැඳී සිටී. එම සද්කාර්ය සඳහා, නීති අධ්‍යයන විෂය මාලාව තුළට, දර්ශනවාදය, සමාජ විද්‍යාව, ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා වැනි ක්ෂේත‍්‍රයන් ද ඇතුළත් කොට, එකී විෂය පථය පුළුල් කරමින්, තමන්ගේ අභිනියුක්තිය පිළිබඳ නව දැක්මක් සහ ඉලක්කයන් නීති වෘත්තිකයන් සඳහා සම්පාදනය කරගත යුතුව ඇති බව ඔහුගේ විශ්වාසයයි. ශ‍්‍රී ලංකාව වැනි රටවල නීති අධ්‍යාපනය, බෙහෙවින් නීති පොතටම සීමා වීම ගැන ඔහු කණගාටුව පළ කෙළේය. නීතියේ අකුරුවලට වඩා නීතියේ හරය වැදගත් කොට සළකන්නේ නම් ඒ මගින් ජනතාව මත පැටවෙන විශාල බරක් සහ ඔවුන්ගේ නෛතික වියපැහැදම් අවම කර ගැනීමෙන් ඔවුන්ට සේවයක් කළ හැකි බව ඔහු පෙන්වා දුනි. එවැනි දැක්මක්, ඈත අතීතයේ පටන් ජීවත් වු කීර්තිමත් ජාත්‍යන්තර නීතිවේදින් විසින් පමණක් නොව, ආගමික ශාස්තෘවරුන් විසින් පවා පෙන්වා දී ඇති බව ඔහුගේ අදහසයි.

වීරමන්ත‍්‍රී විනිසුරුවරයාගේ ග‍්‍රන්ථය, මිනිස් වර්ගයාගේ අනාගතයට තර්ජනයක් වන ජගත් පරිමාණයේ ප‍්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් තනි නීතිඥයෙකුගේ මැදිහත් වීමෙන් ඇති කරගත් අති විශාල ප‍්‍රතිඵල පිළිබඳ ආශ්වාදජනක කතාන්තරයකි. වර්ණ භේදවාදයට එරෙහි සටනටත්, න්‍යෂ්ටික අවි සපුරා තහනම් කිරීම මගින් අනාගත පරම්පරාවන්හි අයිතීන් ආරක්ෂා කර දීමටත්, ශිෂ්ටාචාර අතර ගැටුමක් වැළැක්වීමටත්, ජගත් ආගමික සාරධර්ම ජාත්‍යන්තර නීති පද්ධතිය තුළට සංගෘහිත කිරීමටත්, ජාත්‍යන්තර භාරකාරත්වය උල්ලංඝණය කිරීම් සඳහා පිළියම් සෙවීමටත්, නැගී එන තාක්ෂණයේ බලය හරහා මානව හිමිකම් ඛාදනය වීම වැළැක්වීමටත්, පරිසරය සුරැුකීමටත් ඔහුගෙන් සැපයුණු දායකත්වය එම ග‍්‍රන්ථයෙන් හෙළි කෙරේ. ‘මේ නම් සැබෑම මිනිසෙකි’ යි, ෂේක්ස්පියර් සහ කිප්ලින් කියනු ඇත. ශ‍්‍රී ලංකාවේ නීතිඥයන් සහ විනිසුරුවරුන් මේ මිනිසාගෙන් සහ ඔහුගේ පොතපතින් උගත යුතුව තිබුණි. එසේ විණි නම්, අධිකරණය දේශපාලනීකරණය වීමේ අර්බුදයක අප නොගිලෙනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බලකොටුවක් වනු ඇත.

ඔහුගේ මේ සිහිවටන තුළ සඳහන් ඔහුගේ දැක්ම, පර්යාලෝකය සහ ඉලක්කයන්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් අගය කරන ලද ආකාරයත්, අභිනව සමාජ සොයා ගැනීම් පිළිබඳ විශ්ව කෝෂයට ඒවා අන්තර්ග‍්‍රහණය කරගත් ආකාරයත් දැක්වේ. සමාජ ප‍්‍රශ්න විසඳීම සහ මිනිසුන්ගේ ජීවන තත්ව නගා සිටුවීම සඳහා වන ශ්‍රේෂ්ඨතම සංකල්ප පන්සීයක් මේ විශ්ව කෝෂයට ඇතුළත් වෙයි. ඔහුගේ අන්තර්=ආගමික කාර්යයන් අගය කළ අය අතරේ දලයි ලාමා ද වෙයි. වර්ණ භේදවාදයට එරෙහිව ඔහුගෙන් සැපයුණු ලියවිලි දකුණු අප‍්‍රිකාවේ වර්ණ භේදවාදී රෙජිමය විසින් තහනම් කරනු ලැබුවත්, එරටේ විරෝධතා ව්‍යාපාරය මගින් රහසේ මුද්‍රණය කොට එකල බෙදාහරින ලදි. ලෝකයේ විවිධ නීති පද්ධති තුළ ඇති අර්බුද විසඳීම කෙරෙහි ඔහුගෙන් සැපයුනු සම්මාදම, වික්ටෝරියාහි ‘ලෝ වීක්’ ආයතනය බිහිවීමට තුඩු දුනි. තිස් වසරක් තිස්සේ පැවති එම ආයතනය අද වන විට ඕස්ටේ‍්‍රලියාව පුරා ව්‍යාප්ත වී ඇත.

අසූහත් වියැති වීරමන්ත‍්‍රී විනිසුරුවරයාගේ දැක්ම සහ ආදර්ශය, අවාසනාවට, ලංකාවේ භාවිතයට ගැනී නැති තරමි. ඒ කෙතෙක් ද යත්, බොහෝ දෙනාගේ කල්පනාවට අනුව, ලංකාවේ නීතිය බූරුවෙකු වෙනවා පමණක් නොව, ධනවතුන්ගේ බූරුවෙකු ද වන්නේය. සමහර විට හොඳටම තවමත් පමා වූවා නොවිය හැකිය. ලංකාවේ තවමත් වෙසෙන යහපත් නීතිඥයන්ට, වීරමන්ත‍්‍රී විනිසුරුවරයාගේ මේ ආදර්ශය ප‍්‍රකාරව, සාමය, සමාජ සාධාරණත්වය සහ යහපාලනය වෙනුවෙන් නීති පොතට පිටින් සමාජ ක‍්‍රියාකාරීත්වයේ නියැලීමට ඇති හොඳම අවස්ථාව මෙයයි.

*2013 සැප්තැම්බර් 27 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ  “Lawyers, Here Is Your Vision & Mission”නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page