‘ඬේලි මිරර්’කතුවැකිය –
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල මැතිවරණ ප‍්‍රතිඵල විග‍්‍රහ කිරීම ව්‍යාකූල කාර්යයකි. මන්ද යත්, එක තැනක බලපෑ යම් සාධකයක් තවත් තැනකට එයාකාරයෙන්ම ආදේශ කළ නොහැකි නිසා ය. කරුණු දෙකක් නිසා එම තත්වය වෙනත් රටවලට වඩා ඉන්දියාවේ දී සත්‍යයක් වෙයි: ඉන්දියාව වාර්ගික වශයෙන්, භාෂාමය වශයෙන් සහ ආගමික වශයෙන් ඉතා ප‍්‍රබල විවිධත්වයක් සහිත රටක් වීම ඉන් එකකි. විවිධ ජාතිකත්වයන් සහ විවිධ අවශ්‍යතාවන් සහිත අසල්වැසි රටවල් ගණනකින් ඉන්දියාව මායිම්ව පිහිටීම අනිත් කාරණයයි.
ඉන්දියාවේ මෙතෙක් බලයේ සිටි කොන්ග‍්‍රස් පක්ෂයේ නින්දනීය පරාජය බොහෝ විචාරකයන් බැර කරන්නේ, පසුගිය සියවසේ ප‍්‍රථම අර්ධයේ දී ඉන්දියානු නිදහස් අරගලයට නායකත්වය සැපයූ ඒ මහා පැරණි පක්ෂය තමන්ගේ පසුගිය පාලන සමය තුළ අන්ත දූෂණ සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වීමේ කාරණයටයි. එහෙත් එම තර්කය, තමිල්නාඩුවේ තත්වය සමග සසඳන විට බරසාර සත්‍යයක් වශයෙන් නොපෙනෙයි. මන්ද යත්, එවැනිම බරපතල චෝදනා සහ විෂම පරිපාලනය පිළිබඳ චෝදනාවන්ට ලක්ව පැවති ජයලලිතාගේ පක්ෂය මේ මැතිවරණයේ දී තමිල්නාඩු ප‍්‍රාන්තය තුළ මහා ජයග‍්‍රහණයක් අත්පත් කර ගත් බැවිනි.
විවාදයට පාත‍්‍ර වන, ගුජරාටයේ හිටපු මහ ඇමති නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වය යටතේ භාරතීය ජනතා පක්ෂය මෙවර ලැබූ අති විශාල ජයග‍්‍රහණය, ඉන්දියාවේ සහ වෙනත් රටවල බොහෝ විචාරකයන්ව මවිතයට පත්කොට තිබේ. ඔහුගේ නායකත්වය යටතේ අනාගත ඉන්දියාව ගත හැකි මාර්ගයත්, අසල්වැසි රටවල් සමග එම පාලනය ගෙන යාමට ඉඩ ඇති සම්බන්ධතාවත් ගැන එම විචාරකයන් අතර එකඟත්වයක් නැත.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට බොහෝ කලක් පැවති ජනප‍්‍රිය මතය වුණේ, ලංකාවට එරෙහිව තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව ඉන්දියාවේ මහ ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාවකින් යුක්ත වන බවයි. විශේෂයෙන්, ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව බහුතර බලයක් හොබවන ආණ්ඩුවක් නොවන විට ඒ තර්කය වඩාත් ශක්තිමත් විය. මෙවර මැතිවරණ ප‍්‍රතිඵලවලින් පසු නවතම තර්කය වන්නේ. ඉස්සර මෙන් එරටේ මහ ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාවක් දැන් තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුවට නොමැති බවයි. හේතුව වන්නේ, ජයලලිතාගේ පක්ෂය එම ප‍්‍රාන්තයේ ආසන 39 න් 37 ක්ම දිනාගෙන සිටියත්, භාරතීය ජනතා පක්ෂය ඉන්දියානු මහ ආණ්ඩුව තුළ මේ මැතිවරණයෙන් පසු බහුතරයකට හිමිකම් කීමයි. කෙසේ වෙතත්, ජයලලිතා තවදුරටත් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට වැදගත් නොවන්නේය යන එම මතය, පවතින තත්වය වැරදියට ගණනය කිරීමක් විය හැකිය. මන්ද යත්, ඉන්දියාවේ ප‍්‍රතිපත්ති සම්පාදනයේ ගමන්මග සහ තමිල්නාඩුව සමග ඊට ඇති සම්බන්ධතාව අරභයා හේතුකාරක වන එකම සාධකය, ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ ස්ථාවර භාවය පිලිබඳව පවතින එකී සැලකිල්ල පමණක්ම නොවන බැවිනි. තමිල්නාඩුවේ දැඩි බලපෑම් තිබියදී පවා, ගිය වර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී, ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට ඉන්දියානු මහ ආණ්ඩුව තීරණය කිරීම, එම තත්වය පෙන්නුම් කෙරෙන මෑත කාලීනම උදාහරණයයි.
එසේම, ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව ඉතා ශක්තිමත්ව සිටි 80 දශකයේ ඉන්දිරා ගාන්ධිගේ පාලන කාලය තුළදීත්, ශ‍්‍රී ලංකාව පිළිබඳ ඉන්දියානු ප‍්‍රතිපත්තිය සකස් කිරීම කෙරෙහි තමිල්නාඩුවේ අවශ්‍යතා සැලකිල්ලට ගැනුණු බවත් මෙහි දී පෙන්වා දිය හැකිය. ඒ තරමට තමිල්නාඩුව, වෙනත් සාධක අතරේ, එදා වැදගත් සාධකයක් විය. එසේ හෙයින්, තමිල්නාඩු ප‍්‍රාන්තය තුළ ජයලලිතා ලැබූ අති විශාල ජයග‍්‍රහණය, විශේෂයෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන්, අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවීම තුළින් තමන්ගේ කේවල් කිරීමේ ශක්තිය අහිමි වීම ඔස්සේ ෆෙඩරල් පක්ෂය බෙදුම්වාදය දෙසට තල්ලූ වූ සැටි මෙහි දී මතක් කර ගැනීම වටී. එබැවින් තමිල්නාඩුවේ දඩබ්බර නායිකාව, මධ්‍යම ආණ්ඩුවේ අවධානය දිනා ගැනීම සඳහා වඩාත් දඩබ්බර නොවෙතියි කීමට සහතිකයක් නැත. එසේම, මෝඩි සමග ඉතා හොඳ සම්බන්ධතාවක් ජයලලිතාට ඇති හෙයින්, එවැනි තත්වයක් තුළ මධ්‍යම ආණ්ඩුව ඈට කන්නොදෙතියි කීමට ද සහතිකයක් නැත. එසේ හෙයින්, එක්සත් ජාතික පක්ෂ සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දි ඇති පරිදි, ඉන්දියාව පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තිය ගැන නැවත සිතා බැලීමකට යාම යෙහෙකි.
*2014 මැයි 20 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “The Modi Factor Impact on Sri Lanka” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’