16 September, 2024

Blog

වාර්ගිකාගමික ෆැසිස්ට්වාදය සහ ‘ආරක්ෂා කිරීමේ වගකීම’ නැමති උගුල: අනුමිති චිත්‍රය

දයාන් ජයතිලක

ආචාර්ය දයාන් ජයතිලක

මහරගම දී මෑතක ඇති වූ සිදුවීම් පිළිබඳ වාර්තා ඇස ගැසීමේ දී, අද අප දකිමින් සිටින්නේ, සිංහල සමාජයේ අඳුරු යටිතලයෙන් මතුවෙන වාර්ගිකාගමික ෆැසිස්ට්වාදයකට අඩු දෙයක් නොවේ ය යන පැහැදිළි සහ නිශ්චිත නිගමනයට නොපැමිණ ඉන්නට, දේශපාලන විද්‍යාඥයෙකු වශයෙන් මට නොහැකිය. හැනා ආරෙන්ඞ් සහ රයින්හෝල්ඞ් නිබහ (සහ වඩාත් මෑතක දී ඇලන් වුල්ෆ්) වැනි දේශපාලන දර්ශනවාදීන් ‘දේශපාලනික නපුර’ වශයෙන් හැඳින්නුවේ මෙවැන්නකි. (ජනාධිපති රාජපක්ෂව හිට්ලරීය ෆැසිස්ට්වාදියෙකු වශයෙන් හඳුනාගන්නා අතිශය වාදශීලී ප‍්‍රහාරකයන්ගේ වට්ටෝරුවට ළඟින්ම යන සැබෑ ව්‍යාපාරයක් දැන් ලැබී තිබේ).

සෝවියට් දේශයත්, වඩාත් පෘථුල සමාජවාදී විකල්පයත් බිඳ වැටීමෙන් ඉක්බිතිව උදාවූ ඒකධ‍්‍රැවීය ලෝකය (ලෝක බලය එක අන්තයකට= ඇමරිකාවට= සීමා වීම) තුළ වාර්ගික හෝ වාර්ගිකාගමික උමතු ව්‍යාපාර ලෝකය පුරා හිස එසැවූයේ යම් සේ ද, අපේ පශ්චාත්=යුද්ධ ඒකධ‍්‍රැවීය දේශපාලනික ක‍්‍රමය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය විපක්ෂයේ ඉරිතැලීමෙන් ශේෂ කළ රික්තය තුළ එහි ප‍්‍රතිරූපය දැන් ලංකාවේ ද හිස ඔසවමින් තිබේ.

වඩාත් පරීක්ෂාවෙන් බැලූ විට, මේ ව්‍යාපාරයේ මතුවීම සිදුවන සංයුක්ත සන්දර්භය, සාධක පහක සමාගමයෙන් ගොඩනැගෙන්නක් බව පෙන්වා දිය හැකිය.

1. පාලක රෙජීමයෙන් සැපයෙන ළදරු අනුග‍්‍රාහකත්වයක්ම නොවේ නම්, අඩු වශයෙන්, එවැනි ව්‍යාපාරයක් කෙරෙහි පාලක රෙජිමය දක්වන හුරතල් ඉවසීමක්: මේ ව්‍යාපාරයේ පූර්වගාමි කර්තව්‍යයක් ඉටු කළ ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක මුස්ලිම් විරෝධී ප‍්‍රචාරණය, නව සටන්කාමී ව්‍යාපාරය සමග අගේට හේත්තු වෙයි. කොළඹ නගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි මේ අන්තවාදී ව්‍යාපාරයේ සුවිසල් ගොඩනැගිල්ල, එය ලබන අනුග‍්‍රාහකත්වයේ තරම විදහාපායි.

2. සියල්ලන් ඇතුළත් කරගන්නා, බහුත්වවාදී දූරදර්ශී ස්ථාවරයක් සහ කතිකාවක් ජාතියේ දේශපාලනික නායකත්වයට නොමැති කම සහ එවැනි ස්ථාවරයක් භාර ගැනීම එම නායකත්වය විසින් ප‍්‍රතික්ෂේප කිරීම: ඒ වෙනුවට, වෛර=කථනය මතුරමින් රෙජීමය සහ රාජ්‍යය කප්පමට ගන්නා එදිරිවාදී පතුරු සුජාත කෙරෙන මහජාතික රණකාමීත්වයේ අධිකාරීවාදී පන්නයේ ‘තන්ත්‍රයේ කතිකාවක්’ ආදේශ කර ගැනීම.

3. මධ්‍යස්ථ ජාතිකවාදී සහ සමාජයීය ප‍්‍රගතිගාමී, එනම්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපක්ෂයක් නැති කම: අන්තෝනියෝ ග‍්‍රාම්ෂි විස්තර කළ ආකාරයේ, යම් පක්ෂයක සාම්ප‍්‍රදායික සමාජ පදනම ගරාවැටීමක ප‍්‍රතිඵලයක් වශයෙන් එක දිගට ඇදෙන ‘ඓන්ද්‍රීය අර්බුදයක’ අද ලංකාවේ විපක්ෂය එරී සිටී. විපක්ෂයේ මේ ඓන්ද්‍රීය අර්බුදයේ මූලය වන්නේ, ඒ විපක්ෂ නායකත්වයේ අනෛන්ද්‍රීය/අක‍්‍රමික ස්වභාවයත්, ‘ප‍්‍රජා=රාජ්‍යයේ සාමූහික අභිමතය’ නියෝජනය කෙරෙන ඓන්ද්‍රීය විපක්ෂයක මතු නොවීමත් ය. (ග‍්‍රාම්ෂි)

4. නීතිය ක‍්‍රියාත්මක කරන රාජ්‍ය බලධාරීන්ගේ ව්‍යංගිත හවුල්කාරීත්වය: මහජාතික අන්තවාදී ව්‍යාපාර මට්ටු කරනවා තබා, ඒවා ගැන නිසි පරීක්ෂණවත් මෙවැනි බලධාරී ආයතන අතින් සිදු කෙරෙන්නේ නැත. මන්ද යත්, මහජාතික නියමයන් බලාත්මක කිරීම සහ සුළුජාතිකයන්ගේ සංස්කෘතික පොලීසියක් වශයෙන් කටයුතු කිරීම ස්වකීය රාජකාරිය විලසින් ඔවුන් වෙත සංඥාකරණය කොට, ඒ අනුව කටයුතු කිරීම ඔවුන්ගේ භූමිකාවත්, කාර්ය භාරයත් වන බවට ඔවුන්ගේ චින්තනය හැඩගස්වා ඇති බැවිනි.

5. වම දුර්වල වීම: මෙයින් මා අදහස් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තෙයාකාර බිඳී යාමයි. එක පැත්තකින්, විමල් වීරවංශගේ ජනතාවාදී දකුණට පීලි පැනීම ය. අනිත් පැත්තකින්, රැුඩිකල් වමට ගිය පෙරටුගාමී සමාජවාදී පෙරමුණ ය. ඊළඟට, ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පෙරමුණ අතර වන එක්සත් පෙරමුණක් මත හෝ ක‍්‍රියාන්විත කණ්ඩායම්ගතවීමක් මත ඔවුන්ගේ අනාගත පැවැත්ම රඳා පැවතියත් (එය එසේම වන්නේය), එසේ කිරීමට මේ පක්ෂ දෙක අතර ඇති නිකායවාදී නොහැකියාව.

නව අන්තවාදී ව්‍යාපාරය ‘පස්සෙන්’ සිටින්නේ කවුරුන් ද යන්නවත්, එහි අභිපේ‍්‍රරණයන් කවරේ ද යන්නවත්, මම නොදනිමි. ඒ ගැන සමපේක්ෂණය කිරීමේ උවමනාවක් ද මට නැත. මට කළ හැක්කේ, මේ ආගමික=ෆැසිස්ට්වාදී සැඩ පහරින් ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන ශික්ෂිත අනුමානයක් කිරීම පමණි. එසේ නම්, මේ හිස ඔසවන දිශානතියේ අනාගත චිත්‍රය කවරාකාර ද?

* බිම දිගේ ඉන්ධන ගලා යයි. එක ගිනිකූරක්, එක ගිනි පුපුරක්= මොන තරම් කුඩාවට හෝ එක තනි සිද්ධියක්= මගින් ධ‍්‍රැවීකරණයේ සහ ඝට්ඨනයේ නවතම චක‍්‍රයකට අත වනන, ප‍්‍රචණ්ඩකාරී රැුල්ලක් බිහි කළ හැකිය.

* සිංහලයන් වන අපව සහ අපේ දෙමළ පුරවැසියන්ව දැන් පවා එකිනෙකා දෙස කෙලින් බැලිය නොහැකි ලෙසින් වෙන්කොට ඇත්තේ යම් සේ ද, එසේම, අපත් අපේ සහෝදර මුස්ලිම් පුරවැසියනුත් මානසිකව භින්න කොට අපව එකිනෙකා දෙස කෙලින් බැලිය නොහැකි මට්ටමට පත්කළ හැකිය.

* නව සිංහල=බෞද්ධ අන්තගාමීත්වය විසින් ලංකාවේ බිහි කෙරෙනු ඇත්තේ, මධ්‍යස්ථ මුස්ලිම් නායකත්වය සහ කණ්ඩායම් අභිභවනය කෙරෙන මුස්ලිම් අන්තවාදයකි. විශේෂයෙන් දකුණු ආසියාවේ බලවත්ව සිටින ජගත් මුස්ලිම් ජිහාඞ් ව්‍යාපාරයට මෙවැනි ප‍්‍රතික‍්‍රීයක මුස්ලිම් අන්තවාදයක් කාන්දමක්ම වනු ඇත.

* ඉතිරි වී සිටින එල්.ටී.ටී.ඊ. කොටස් මෙවැනි මුස්ලිම් අන්තවාදීන් සමග සන්ධානගතව, ඔවුන්ගේ සම්පත් සහ ශ‍්‍රම විභජනය එක්තැන් කොට= තමිල්නාඩුවට ඇතුළත් වීමේ හැකියාවත් සහිතව= ලංකාවට එරෙහි ක‍්‍රියාන්විතයන් දියත් කිරීමට සමත් වනු ඇත. එය, අද අප භුක්ති විඳින, අසීරුවෙන් දිනා ගත් සාමයේ නිමාවයි.

* හමුදාවේ සිටින බොහෝ මුස්ලිම් නිලධාරීන් සහ සොල්දාදුවන් අතර මානසික කඩාවැටීමක් ඇති වීම හමුදාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති කිරීමට සමත් වන්නේය.

* යුද්ධයේ දශක කිහිපය තුළ ශ‍්‍රී ලංකාවට බෙහෙවින් ආධාර කළ රාජ්‍යයන් ඇතුළු, බිලියනයක් ප‍්‍රජාව නියෝජනය කරන ‘ඉස්ලාමීය සම්මේලන සංවිධානයේ’ සහාය ශ‍්‍රී ලංකා රාජ්‍යයට අහිමි වෙනු ඇත.

ඉස්ලාමීය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක මොනම හෝ සළකුණක් පවා නැති අවස්ථාවක සිංහල=බෞද්ධ අන්තවාදයේ මෙම හිස එසැවීම මගින් ලෝකයාට කියාපානු ඇත්තේ, අපේ ඛේදවාචකයේ හේතුකාරකය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය වුණා නොව, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය සිංහල අන්තවාදයේ නිර්මාණයක් වූ බවයි. දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී කොටස් මහරගමට ඇඟිල්ල දිගු කොට, අපට සිදුවුයේ ද ඔය දේම තමා යැයි ඉතා පහසුවෙන් එවිට ලෝකයාට පෙන්වා දෙනු ඇත: අපට කළ දේම, දෙමළ බෙදුම්වාදයට එරෙහි යුද්ධයේ දී රාජ්‍යයට සහාය දැක්වූ මුස්ලිම් ජාතිකයාටත් අද ඔවුන් කරමින් සිටින බව ඔවුන් කියාවි: එනම්, සදාචාරමය=ආචාරධාර්මික වරද, ලංකාවේ දකුණ සහ සිංහලයා වෙත විතැන් වෙනු ඇත.

මීට අමතරව, කතෝලික සහ ක‍්‍රිස්තියානි භක්තික වෙනත් සුළුජන කොටස්වල සැකමුසු බිය උද්දීපනය කිරීමත් තවත් පැත්තකින් සිදුකෙරේ: මන්ද යත්, ක‍්‍රිස්තියානි මූලධර්මවාදීන්ව (එනම්, ක‍්‍රිස්තියානි ශුභාරංචිකරුවන්ව) සතුරා වශයෙන් සැළකීමටත්, ඔවුන්ට එරෙහිව කතෝලිකයන් බලමුළු ගැන්විය යුතු බවටත් සිංහල=බෞද්ධ වර්ගවාදීන් දෙන නිස්කාරණ ඔවදන් පිළිගැනීමට තරම්, හයහතර තේරෙන කිසිවෙකු, අඥාන නොවන බැවිනි. 2003 නත්තල් සමයේ සෑම නිකායකම පල්ලිවලට එල්ල කළ ප‍්‍රහාරයන්, තෙරේසා මව්තුමියගේ පර්ෂදයට අයත් කන්‍යා සොහොයුරියක් අත්අඩංගුවට ගැනීම, (කාදිනල් මැල්කම් රංජිත් පියතුමාගේ දෝෂාරෝපණීය නිවේදනයකට දැනටමත් නිමිති වී ඇති) කන්‍යාමරියතුමියගේ පිළිරුවක් ගිනි තැබීම සහ අනතුරුව ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ හැසිරීම ආදී සිදුවීම්වලින් පැහැදිළි කෙරෙන්නේ, කිතුණුවන් ප‍්‍රජාවක් වශයෙන් දැනටත්, මත්තටත්, සිංහල=බෞද්ධයාගේ ඉලක්කයක් වන බවයි. බිලියන දෙකක බලවත් ලෝක ප‍්‍රජාවක කොටසක් වන එවැනි සුළුතරයක් පරාරෝපණය වීම, ශ‍්‍රී ලංකාව සහ සිංහලයා තනි කිරීමට බලන අයවළුන්ටම සහායක් වනු ඇත.

මුස්ලිම්=විරෝධී සිංහල=බෞද්ධ අන්තවාදයේ නව සැඩපහරින් විවර කෙරෙන්නේ, නවතම ඊශ‍්‍රායලයක් වශයෙන් ශී‍්‍ර ලංකාව ස්ථානගත කොට රූපගැන්වීමට ඇති ඉඩකඩක් නොව, ‘ආරක්ෂා කිරීමේ වගකීම’* නැමති හබකට ශ‍්‍රී ලංකාව හසු කර ගැනීම සඳහා බොහෝ කාලයක් තිස්සේ ඇතැමුන් ඉදිරිපත් කළ තර්ක ශක්තිමත් කිරීමකි. ‘ආරක්ෂා කිරීමේ වගකීම’ නැමැති ප‍්‍රතිපත්තිය පදනම් වන්නේ, වාර්ගික ශෝධනයක් අරභයා යෙදෙන මහ පරිමාණ හිංසනයක් මගින් රටක වැසියන් හෝ වැසියන්ගෙන් සෑහෙන කොටසක් විනාශ වීමෙන් ආරක්ෂා කිරීමට යම් රාජ්‍යයක් අකමැති හෝ අසමත් වන විට උද්ගත විය හැකි තත්ත්වයකි. ඊට එරෙහිව ජාත්‍යන්තරයේ ක‍්‍රියාත්මක වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මතයක් අවශ්‍ය කරන බව සැබෑවක් වෙතත්, එවැනි අවසරයකින් තොරවත් එම ප‍්‍රතිපත්තියේ පදනම් තර්ක මත යැපෙමින් ජාත්‍යන්තරය මැදිහත් වන බව පැහැදිළිව දක්නට තිබේ.

මුස්ලිම් විරෝධී ස්ථාවරය මගින් සිංහලයන්වත්, ඔවුන්ගේ රාජ්‍යය සහ රටත්, බටහිර ලෝකයාගේ ආදරයට පාත‍්‍ර වෙතැ යි, ළිං මැඩි ‘උපායික චින්තනයෙන්’ ඔද්දල් වූ සිංහල ජාතිවාදී රැුල්ල හෝ එහි පෙරකලාසිකරුවන් සිතනවා විය හැකිය. සෝවියට් රුසියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ මුසිලිම් ජිහාඞ් සටන්කරුවන්ට බටහිර ලෝකයා සහාය දැක්වූ බව මේ නෝනාවරු, මහත්වරු නොදන්නා පාටකි. ලිබියාව සහ සිරියාව සම්බන්ධයෙන් තවමත් බටහිර රටවල් කරන්නේ එය යි. එය, ස්වකීය ඕනෑඑපාකම් පවා නොසලකා බටහිර රටවල් ගෙන යන ප‍්‍රතිපත්තියකි. යුගෝස්ලාවියාව විනාශ කරමින්, (කෙසේ වෙතත්, එය ඒ වන විටමත් ස්වයං=විනාශයකට පාර කපාගෙන සිටි රටකි), බොස්නියාව සහ කොසෝවෝ යනුවෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් දෙකක් අළුතෙන් බිහි කිරීමට, ක‍්‍රිස්තියානි සර්බියානු ජාතිකයන් මතට බටහිර ජාතීන් බෝම්බ හෙලූ බවත් මේ සිංහල ජාතිවාදියෝ නොදනිති. බහු=වාර්ගික සහ බහු=ආගමික යුගෝස්ලාවියාව මත තමන්ගේ තනි අධිකාරය පැටවීමට යාමෙන් සර්බියානු ජාතිකයන් කරගත්තේ, යුගෝස්ලාවියාවේ සර්බියානු නොවන කොටස් (ඔවුන්ගේම පූජණීය ස්ථාන පිහිටි කොසෝවෝ ද ඇතුළත්ව) තමන්ට අහිමි කර ගැනීම යි. අවසානයේ දී, තම වරිගයා බහුතරයක් ඓතිහාසිකව ජීවත්ව සිටි පෙදෙසට පමණක් ඔවුන්ට සීමා වීමට සිදුවුණි.

කිසි හමුදාමය ජයග‍්‍රහණයක්= 2009 මැයි මාසයේ ලද තීරණාත්මක ජය පවා= සමාජයේ භූකාරක තට්ටු එකිනෙකින් ඉවත් වීමට ගත්තොත්, දිගු කාලීන නොවෙනු ඇත. ඔවුන්ව පසෙකට තල්ලූ කළොත් හෝ එයින් ඕනෑම පිරිසක් මත අධිකතර පීඩනයක් මුදා හැරියොත් සිදුවන්නේම වෙන්වීමකි. ශ‍්‍රී ලංකාව, දකුණු ආසියාවේ ඊශ‍්‍රායලය නොවෙනු ඇත. සියලූ සුළුතරයන් මත අභ්‍යාස කෙරෙන සිංහල=බෞද්ධ අධිපතිත්වය විසින් බිහි කරනු ඇත්තේ, දකුණු ආසියාවේ සර්බියාවකි. මේ බහු=වාර්ගික, බහු=ආගමික සහ බහු=භාෂාමය රට, බලහත්කාරයෙන් සහ ඒකපාර්ශ්වීයව සිංහල=බෞද්ධ වශයෙන් නැවත නිර්=වචනය කළොත් එය, උත්ප‍්‍රාසාත්මක අරුතකින්, ස්වයං=සිද්ධ අනාවැකියකට සරිලනු ඇත: රට හැකිලේවි. පිටස්තර කිසිවකට අයිතිය නැති, සිංහල=බෞද්ධ අරටුව සහිත හදබිමට පමණක් අයිතිය පාන ප‍්‍රදේශයට ලෝකයා විසින් එය හකුලනු ඇත. එවිට, රට ඉරිතලා වියැකී යනු ඇත.

* [රටක ස්වෛරීත්වයක් යනු අයිතියක් නොව, වගකීමක් යන ප‍්‍රතිපදාව මෙහි පදනමයි. ඒ අනුව, මහා ජන සංහාර, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ වාර්ගික ශෝධනය, (එනම් යම් වාර්ගික හෝ ආගමික ප‍්‍රජාවක් බලෙන් පිටුවහල් කිරීම, අවතැන් කිරීම හෝ ඝාතනය කිරීම හරහා අතුගා දැමීම) යන අපරාධ වැළැක්වීම මේ මගින් අපේක්ෂා කෙරේ. මේ ආරක්ෂාව සිය රටවැසියන්ට සැපයීමට යම් රාජ්‍යයක් අපොහොසත් වෙතොත්, එකී ජන කොට්ඨාශය වෙනුවෙන් ඒ ආරක්ෂා සැපයීම සඳහා එම රටට මැදිහත් වීමට අයිතියක් ජාත්‍යන්තර ප‍්‍රජාවට තිබේ]= පරිවර්තක

*2013 පෙබරවාරි 23 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවු Ethno-Religious Fascism & The R2P Trap: The Scenario ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.