22 October, 2020

Blog

නිසි පරිපාටිය සහ සිවිල් නිදහස ද, නැතහොත් ආරක්ෂක රාජ්‍යය ද?

දයාන් ජයතිලක

ආචාර්ය දයාන් ජයතිලක

නොබැඳි සමුළුවේ සත්කාරක රට සහ එම ව්‍යාපාරයේ සභාපතිත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ‍්‍රී ලංකාව තෝරාගත් අවස්ථාවේ, එම තේරීම අනුමත නොකළ මතයක් එම ව්‍යාපාරය තුළවත්, ලෝකයේ වෙන කිසි තැනකවත් තිබුණේ නැත. එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ පවත්වන්නට සැලසුම් කෙරෙන මේ මොහොතේ එම තීරණයට එරෙහි විරෝධතා තිබේ. තවත් ඉදිරියට, රට අපහසුතාවට පත්කෙරෙන සහ රටේ නාමයට කැළැල් වන ආකාරයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සහ සිවිල් සමාජ ව්‍යාපාර තුළ මේ විරෝධතාව තීව‍්‍ර වීමට හැම ඉඩක්ම ඇත. ඒ නිසාම, ලංකාව මේ තනතුරට සුදුසු වන්නේ මන්දැ යි සාධාරණ සැකයකින් තොරව ලෝකයාට පෙන්නුම් කිරීමේ වගකීමක් ලංකාවට පැවරෙයි. ඒ සඳහා, දෙවසරක සභාපතිත්වක් දැරීමට තරම් ප‍්‍රජාතන්ත‍්‍රීය වටිනාකම් සහ සාරධර්මවලට අප අනුගත වන බව සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ජීවසාරය අප සුරකින බවට සපථ කළ යුතුව තිබේ. අසාද් සාලිගේ සිද්ධිය මතුවන්නේ එවැනි පසුබිමක් යටතේ ය.

එම සිදුවීම සම්බන්ධයෙන් ස්වකීය ක‍්‍රියාකලාපය යුක්ති සහගත කිරීමට ශී‍්‍ර ලංකා රාජ්‍යයත්, ඊටත් වඩා, රාජ්‍යයේ තදබල කොටස් සහ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයත්, කැසකවයි. එසේ කිරීමෙන් සිදුවන්නේ, බොහෝ දේවල් හෙලිදරව් වීමයි. පළමුව, බහුත්වවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක ගාමක න්‍යාය සහ අධිපති දෘෂ්ටිවාදය බවට, අති-ආරක්ෂකවාදී න්‍යායක් පත්ව ඇති බව ඒ මගින් හෙළිකෙරේ. දෙවැනුව, අසාද් සාලිගේ සිද්ධිය යුක්ති සහගත කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන තර්ක, මෑතක දී අවසන් වූ ඒ දිග් ගැස්සුණු යුද්ධයේ පාඩම් උගෙන නැති බව සනාථ කරයි. තෙවැනුව, තිස් අවුරුදු යුද්ධයෙන් උකහාගත්තේ යැයි ආණ්ඩුව ගෙනහැරපාන පාඩම්, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිගමනවලට සපුරා පරස්පර බව පෙන්නුම් කෙරේ. සිව්වැනුව, ආණ්ඩුවේ වර්තමාන මතය, ඕනෑම ශිෂ්ට සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයක, විශේෂයෙන්, අප නායකත්වය සැපයීමට දැන් සැරසෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රමිතීන්ට සහ භාවිතාවන්ට අසමමිතික බව විදහාපායි. පස්වැනුව, අද ගෙනහැරපාන තර්ක විතර්ක සහ න්‍යායන්, නස්පැත්තිකාරී අඳුරු අනාගතයක පෙරනිමිති බව පෙන්නුම් කරයි.

රජයේ ආරක්ෂක නිලධාරී තන්ත‍්‍රයේ මුඛ්‍ය තර්කය වන්නේ, අසාද් සාලි තමිල්නාඩුවේ සඟරාවකට කළ ප‍්‍රකාශයක් තුළින් ආයුධ අතට ගන්නැ යි ඉල්ලීමක් කළ බවකි. එය අපි කෙලින්ම විමසා බලමු. හිංසනයට උසිගැන්වීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ දී අත්අඩංගුවට පත් ඉස්ලාම් න්‍යායධරයාගේ සිදුවීමේ දී මෙන්, බැහැර කළ නොහැකි වීඩියෝ සාක්ෂි අසාද් සාලි සම්බන්ධයෙන් නැත. මෙතැන ඇත්තේ, චූදිතයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන ප‍්‍රකාශයකි. සඟරාවකට කෙළේ යැයි කියන ප‍්‍රකාශයක් අරභයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් දින 90 ක කාලයකට පුද්ගලයෙකුව හිරභාරයට ගන්නේ නැත. එවැනි අවස්ථාවක කරන්නේ, අදාළ පුද්ගලයා ගෙන්වා කටඋත්තරයක් ලබා ගැනීමයි. යමෙකුට එරෙහිව පැමිණිල්ලක් කෙරී ඇති අවස්ථාවක වඩාත්ම එසේ විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකවත්, නීතියේ ආධිපත්‍යය ඇති වෙනත් මොනම හෝ සමාජයකවත්, කෙනෙකු කළා යැයි කියන ප‍්‍රකාශයක් අරභයා හෝ පැමිණිලි රාශියක් ඇතැ යි කියා හෝ කෙනෙකු හිරභාරයට ගන්නේ නැත. සාමාන්‍ය ක‍්‍රමය වන්නේ, ප‍්‍රශ්න කිරීම සහ කටඋත්තරයක් ලබා ගැනීම සඳහා අදාළ පුද්ගලයාව පොලීසියකට ගෙන්වීමයි. අනතුරුව, පොලීසියේ නීති නිලධාරීන්ට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට කාරණය යොමු කෙරෙන අතර, අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට තරම් වන, බැලූ බැල්මට පෙනෙන තරමේ නිමිත්තක් ඇත්තේ ද යන්න ඔවුන් නිගමනය කරනු ඇත. ‘‘නිසි පරිපාටිය’’ යනුවෙන් හැඳින්වෙන්නේ එය යි.

කුපිතකාරී භයානක ප‍්‍රකාශයක් අසාද් සාලි සැබවින්ම කෙළේ යැයි අපි උපකල්පනය කරමු. එය දැන සිටියේ කවුද? ‘‘ජූනියර් විකටන්’’ සඟරාවේ පාඨකයන් පමණි. ආයුධ අතට ගන්නැ යි ඔහු කළා කියන එම ප‍්‍රකාශය දැන් දන්නෝ කවරහු ද? මුළු රටම, එහි වෙසෙන සමස්ත මුස්ලිම් ප‍්‍රජාවම සහ ලෝකයේ ඇතැම් කොටස් ද දැන් එය දනිති. මුස්ලිම් පල්ලියේ සිකුරාදා යාච්ඤාව පතුරුවන කාලඝෝෂකයාට වඩා සක‍්‍රීය සහ සාර්ථක ආකාරයකින් එම පණිවිඩය රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ප‍්‍රචාරය කළෝ කවරහු ද? ඒ වෙන කිසිවෙකු නොව, සියල්ලන්ටම අසා දැකගත හැකි පරිද්දෙන්, අසාද් සාලිව අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් ආණ්ඩුවේ බලධාරීන් ය. ඔවුන්ගේ එම වැරදි ගණනය නොවන්නට, ඔහුගේ එම ප‍්‍රකාශය සීමා වනු ඇත්තේ, අර කී සඟරාව කියවන තමිල්නාඩුවේ ප‍්‍රදේශවලට පමණි. මා මේ කියන්නේ, අසාද් සාලි එන්.ඞී.ටී.වී. තිරය ඉදිරියේ කළ ප‍්‍රකාශයක සම තත්වයේ ලා මෙය නොසැළකිය යුතුව තිබුණු බවයි.

පිටරට අප‍්‍රකට සඟරාවකට කළා යැයි කියන ප‍්‍රකාශයක් වෙනුවෙන් අසාද් සාලිව අත්අඩංගුවට ගැනීම පසුපස තවත් තර්කණයක් තිබේ. එනම්, යුද්ධයකට පාර කැපූ අතීතයේ වරද වන්නේ, ඕනෑවට වඩා අපේ රාජ්‍යය ලිහිල් වූ බවයි: ප‍්‍රමාණවත් පරිද්දෙන්, සැරට නොසිටි බවයි. හිංසනයට උසිගැන්වීම ගැන ප‍්‍රභාකරන්ව අත්අඩංගුවට ගත යුතුව තිබුණු බවට විවාදයක් නැත. එහෙත් 1987 සුදුමලේ වන තෙක්, ප‍්‍රභාකරන් ප‍්‍රසිද්ධ කතාවක් කොට නැත. එනම්, ඒ දක්වා ප‍්‍රසිද්ධ වේදිකාවක ඔහු හිංසනයට උසිගන්වා නැත. ඇත්ත වශයෙන්ම, ඇතැම් දෙමළ ජාතිකවාදී දේශපාලඥයන් සංවිධානය කරමින් තිබූ එවැනි වේදිකා ඔහු කඩාකප්පල් කෙළේය. ‘තම්බි’ සංවිධානය වෙමින් සිටියේ පාතාලගත රහස්‍ය භාවයේ ය. මෙයින් මා අවධාරණය කරන්නේ, පාතාලගත සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයන් සමග, ‘මතුපිට’ දේශපාලන ක‍්‍රියාකාරකම් සහ සටන්කාමී වාගාලාප පටලවා ගැනීම, ඉතා බිහිසුණු අනපේක්ෂිත ප‍්‍රතිවිපාකවලට තුඩුදිය හැකි බවයි. දෙවැනුව කී ‘මතුපිට’ දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක සුජාත ක‍්‍රියාකාරීත්වයකි. ප‍්‍රසිද්ධ තලයේ ඉදිරිපත් කෙරෙන සාවද්‍ය -සමහර විට භයානක ආකාරයෙන් සටන්කාමී වන අදහස් පවා- අභියෝගයට ලක්කළ යුත්තේ, නිවැරදි අදහස් මගින් මිස මර්දනයෙන් නොවේ.

පාලකයන් අතර සිටින උකුස්සන්ගේ තර්කයේ අංගයක් වන්නේ, ගතවූ දශක ගණනාව පුරා දෙමළ දේශපාලඥයන් කරන ලද ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ වැළැක්විය යුතුව තිබුණු බවත්, ඒවාට කිසි ඉඩක් නොදෙමින් පාලකයන් තදට සිටියේ නම්, යුද්ධය වැළැක්විය හැකිව තිබුණු බවත් ය. මෙය, කරුණු ගණනාවක් නිසා, අති සරළ ව්‍යාජයක් බව කිව යුතුය. දෙමළ දේශපාලඥයන්ව බොහෝ අවස්ථාවල අත්අඩංගුවට ගැනුණි. රඳවා තබා ගැනුණි. ඒ මගින් සන්නද්ධ ගැටුම වැළකුණේ නැත. සන්නද්ධ අරගලය ගෙන යන්නන් ඔවුන් නොවීම ඊට හේතුවයි. දෙමළ බෙදුම්වාදී දේශපාලනය ගැන අද බණ කියන්නන් එහි ඉතිහාසය අධ්‍යයනය කළ යුතුව ඇත්තේ එබැවිනි. එම ඉතිහාසය පෙන්නුම් කරන්නේ, මතුතලයේ හෙවත් ප‍්‍රධාන ධාරාවේ දෙමළ ජාතික දේශපාලඥයන් වූ කලී, යටිතලයේ කැරලිකාරී සහ සටන්කාමී තරුණ ව්‍යාපාරයට පස්සෙන් ගිය සහ එය විසින් උඩට තල්ලූ කරන ලද පිරිසක් මිස, එහි අනිත් පැත්ත නොවන බවයි. ඔවුන් කෙළේ, යටිතලයේ සහ සමාජ ඉමේ පවතින ගතිකත්වයන්, ස්වකීය වාගාලාප හරහා ප‍්‍රසිද්ධ වේදිකාවක නින්නාද කැරැුවීම පමණි. ඒ ප‍්‍රධාන ධාරාවේ දේශපාලඥයන් ගැන කිපී ඔවුන්ව විලංගුවේ දැමීමෙන් කිසි සෙතක් වීමට ඉඩක් නොතිබුණා පමණක් නොව, ඔවුන්ව හිරේ විලංගුවේ දාන තරමට සන්නද්ධ අරගලයේ සටන්කාමීත්වය ද වර්ධනය කෙරුණේය.

ආණ්ඩුවේ ප‍්‍රචාරකවාදීන් රටට කී තවත් කතාවක් වන්නේ, අසාද් සාලි හුදෙක් නාගරික, ව්‍යාපාරික=දේශපාලඥයෙකු වන බවයි. එසේ නම්, ජාතික ආරක්ෂාවට එවැන්නෙකුගෙන් තර්ජනයක් වෙතැ යි සිතුවේ ඇයි? ආයුධ සන්නද්ධ වන්නැ යි සැබවින්ම ඔහු ඉල්ලීමක් කළත්, එය ඔහුගේ ප‍්‍රජාවේ ප‍්‍රකාශනයක් වශයෙන් ගත යුත්තේ ඇයි? එවැන්නෙකුගේ මෝඩ කතාවක් එම සමාජය තඹේකට මායිම් නොකරනු ඇතැ යි නොසිතන්නේ ඇයි? කෙඳිරිල්ලක් විකාශනය කළ යුතු ද? එවැනි පුද්ගලයෙකුට ජාත්‍යන්තරයේ නමක් නිර්මාණය කර දිය යුතු ද? මේ කිසිවක තාර්කිකත්වයක් තිබේ ද?

මේ සියල්ලට ප‍්‍රති-තර්කයක් වශයෙන් කෙනෙකුට මෙසේ කිව හැකිය: යුද්ධයෙන් පසුව ඇති කරගත් සාමය ආරක්ෂා කර ගැනීමට නම්, වෛරී භාෂණය සහ එදිරිවාදී හැඟීම් ඇවිස්සීමේ සියලූ ප‍්‍රයත්නයන් ලත් තැන ලොප් කළ යුතුව ඇත. කරුණු එසේ නම්, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ප‍්‍රසිද්ධ වේදිකාවල වෛරය වැපිරූ සහ එම වෛරය ප‍්‍රජා හිංසනයට පවා යොමු කළ අයවළුන් සම්බන්ධයෙන් එම මර්දනය දියත් නොකෙළේ මන්ද යන පැහැදිළි ප‍්‍රශ්නය පැනනගී. ඒ අවස්ථාවේ, මේ කියන සුපරීක්ෂාව, උද්‍යෝගය සහ මැඩලීමේ ආවේශය, පැවතියේ කොහිද? සිංහල හෝ සිංහල බෞද්ධයා ප‍්‍රජාවක් වශයෙන් ගෙන අපවාදයට ලක් නොකළ අසාද් සාලිගේ වාගාලාපය, ඇත්ත වශයෙන්ම ඔහු එවැන්නක් කෙළේ යැයි මොහොතකට පිළිගත්තේ වී නමුත්, එය සිදු වුණේ, ඉහත කී මුස්ලිම්-විරෝධී වෛරී ව්‍යපාරයට පසුව මිස, පෙරාතුව නොවේ.

ආරක්ෂකවාදයේ පරමාධිපති ආකෘතියක අල්තාරයක් ඉදිරියේ, සාමකාමී කාලයක පවා, නීතියේ නිසි පරිපාටිය සහ සිවිල් අයිතිවාසිකම් බිලි දීම, ශ‍්‍රී ලාංකීය පුරවැසි සමාජය ඉවසා වැදෑරිය යුතු ද?

*2013 මැයි 09 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Due Process And Civil Liberties Or Security State? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.