21 January, 2025

Blog

ජනාධිපතිවරණය: අපට අවශ්‍ය​ අධිකාරිවාදී ජනතාවාදයක්ද වම ගොඩනැඟීමක්ද?

දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම

වර්තමාන අර්බුදය පටන් ගැන්ම

මේ ජනාධිපතිවරණය තීරණාත්මකය​. අද අප මුහුණ පාමින් සිටින්නේ ජේ ආර් ජයවර්ධන 1978 විධායක ජනධිපතිවරයා ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පත් කල පසුව මැවී පෙනුණු අදුරු සෙවනැලි වලට අසමාන නොවූ කාල පරිච්ඡේදය​ට සම කල හැකි දේශපාලන වකවානුවක ඉස්මත්තේය. අද අප පසුකරමින් සිටින අර්බුදයේ දෘෂ්ටිමය,දේශපාලනමය සහ ආර්ථික පුර්විකාව ලියනු ලැබුවේ ජේ ආර් ගේ මර්ධන​කාරී ප්‍රතිපත්තීන්ය. එම නිසා ඒ ගැන යම් සදහනක් කිරීම් වටී.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වීමට තිබු අනතුර පැහැදිලි ලෙසම අද මෙන් එකලද දකින්නට ලැබුණි. ඒ අනතුර පැහැදිලි ලෙස පසු කාලීනව සැබෑවුයේ අපේ රට ලේ විලක් කිරීමෙනි. බලයට පත්වූ පසුව ඔහු කියා සිටියේ ලංකාවේ දේශපාලන සිතියම වසර 10 කට අකුලා දමන බවය. නමුත් ඇත්තටම එය අකුලා දැම්මේ දශක කිහිපයකට ය. ඒ නිසා එදා මැවී පෙනුන සෙවනැලි හුදෙක් සෙවනැලි පමණක් නොවිය. ඔහුගේ පාලන කාලය තුල දකුණේ මෙන්ම උතුරේද ඇතිවූ සන්නද්ධ නැගිටිම් සහ ඒ හරහා දියත් කල ම්ලේච්චත්වය මෙන්ම වසර 30ක් දිග්ගැස්සුන කෲර යුද්ධය අපේ රටේ බරපතල දේශපාලන සහ ජනතා ව්‍යාසනයකට මග පෑ දුවේය. ආණ්ඩුව ඉතාමත් ම්ලේච්ච ලෙස කල මර්දනයන්ට ඒ හා සමාන ලෙස අවිගත් ආණ්ඩු විරෝධී දේශාපාලන සංවිධානද ප්‍රතිචාර ද දැක්වුහ. නීතියේ ආධිපත්‍ය අබිබවා කැලෑ නිතිය රජ කරවන්නට විය. නීතියට පරිබාහිරව පැහැරගෙනගොස් මරා දැමීමේ බියකරු සමාජ භීතියකින් ජනතාව වෙලී ගොස් තිබුණි. නීතියේ ආධිපත්‍ය පාලකයන්ගේ දේශපාලන වුවමනාවන්ට නතු කොට රාජ්‍යයේ බිහිසුණු භාවය එලි පිටම පවත්වා ගෙන ගියා පමණක් නොව පාතාල රාජ්‍ය නොහොත් නීතියට පිටතින් ක්‍රියාත්මක වූ රහසිගත රාජ්‍යයද ද බැලු බැල්මට පෙනුණු නිත්‍යානුකූල රාජ්‍යයට වඩා සමහර අවස්ථාවලදී බලවත් විය. බොහෝ ඝාතන ක්‍රියාත්මක කිරීමට යොදාගත් යාන්ත්‍රණය වුයේ එයයි. තිස් අවුරුදු යුද්ධය තුල දකුණේ ආණ්ඩු මාරුව එජාපයෙන් ශ්‍රීලනිපයට මාරු වුවද මර්ධනකාරී ප්‍රතිපත්තිවල වෙනසක් නොවිය. උතුරේ කොටි සංවිධානය 2009 දී යුද්ධමය වශයෙන් පරාජය ලබනවිට දකුණේ රාජපක්ෂලා විසින් නිර්මාණය​ කොට ගොඩ නගා තිබුන දක්ෂිණාන්ශික ජනප්‍රියවාදී හෙජමොනිය ඔවුන්ට සිය පාලන කාලය 2015 වන තෙක් ගෙනයාමට හැකියාව ලබාදුන්නේ කොටි සංවිධානය පරාජය කිරීමෙන් ලබාගත් ‘කීර්තිය​’ විසින් ජනිතකල ම්ලේච්ච යුද්ධයේ ප්‍රමෝදයයි. යුද්ධය ජයග්‍රහණයෙන් පසුව රාජපක්‍ෂවාදය​ අර්බුදයට ගමන් කලේ දකුණේ මෙන්ම උතුරේද දශක ගණනාවක් දියත් කල මර්ධනකාරී යුද්ධය නිසා ඔවුන් නායකත්වය දුන් රාජ්‍යයට සමාජ සහ දේශපාලන සසංක්තභාවය තබා ගැනීමට නොහැකි වීමය.

අර්බුදය මෝරා යාම

මේ දේශපාලන සසංක්තභාවය (Coherence) අද පවා ගොඩ නගා ගැනීමට ලංකාවේ දේශපාලන පන්තීන් අසමත් වී ඇත.

මෙය මේ අර්බුදය තව තවත් තීව්‍ර​වීම මුලික ගැටළුවක් ලෙස අද පවා පවතී. ඇත්තටම මෙය ලංකාවේ ජාතික ගැටලුවට ප්‍රජාතන්ත්‍රවාදී විසදුමක් දීමට නොහැකි වීමේ ගැටලුවයි. ලංකාවේ සියලුම දේශපලන පක්ෂ වෙනසක් නොමැතිව නොයෙක් ආකාරයෙන් මෙයට දායකවීමේ අප්‍රසන්න ඉතිහාසයක් හිමි කර ගනියි. ලංකාවේ දේශපාලන පක්ෂ මේ අතින් බලනවිට අර්බුදය නිර්මාණය කිරීමේ කොටස්කරුවන්වීම සදහා පවතින දේශපාලන දුෂ්කරතාවයක් ද ඇත. එම නිසා ඔවුන්ට එම අතීතය නිශේධනය කරන්නේ නොමැතිව ජාතික ගැටලුවට විසදුමක් දිය නොහැකිය. ලංකාවේ වර්තමාන අර්බුදය ගෝලීය සහ කලාපීය​ අර්බුද්යේම කොටසක් ලෙසද පවතී. නව ලිබරල්වාදී ආර්ථිකය අපේ ජනතාව සහ සම්පත් සුරාකනවා පමණක් නොව එමගින් අපේ රට කලාපීය සහ ලෝක බලවතුන්ගේ බල පොරයේ දඩබිමක් වීමේ අනතුරට මුහුණ දෙමින් සිටි. අපේ රටේ ජනාධිපතිවරණය පිළිබද ඔවුන් දක්වන උනන්දුව පාලක කල්ලින්ගේ ජය නිශ්චය කරන සහ ඔවුන් තම බල පෑම සදහා දිනා ගත හැකිනොමසුරු පරිත්‍යගයන්ගෙන් සහ මුල්‍යයමය අධාරයන්ගෙන් ආඩ්‍ය​ වෙයි. මේ අර්බුදයේ තවත් අනර්ථකර ලක්ෂණයක් වන්නේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ලුහු බදිමින් සෑම ආණ්ඩුවක්ම මේ රටේ ජනතාව දිනාගත් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණයට ලක් කිරීමයි. එපණක් නොවේ. ජාතික ප්‍රවාහන​ට සිදුවෙමින් පවතින්නේද මෙයයි. මෙය අපේ සමාජයේ පන්ති ව්‍යුහය තීව්‍ර​ කරමින් දේශපාලන අස්ථීර භාවයට මග පාදනු ඇත. සන්නද්ධ කැරලි තුනක් ඇති වූ රටක මෙවැනි තත්වයක් ඇති කිරීමෙන් රටේ දේශපාලන ස්ථාවරත්වයට තරජනයන් එල්ල කරන අතර එමගින් ජනිත​ කරන්නා වූ දේශපාලන සටන්වලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මහත් තර්ජනයක් එල්ල වීම ගැන අමුතුවෙන් කියුතු නොවන්නේ 30 අවුරුදු යුද්ධය තුල මෙය හොදින් විද්‍යමාන වූ බැවිනි. මේ අර්බුදයේ අනෙක් ලක්‍ෂණය​ වන්නේ දුෂණය සහ මහජන දේපල සොර ගැනීම මගින් දේශපාලන ප්‍රභූන් පෙලන්තියක් බිහි වීමත් ඔවුන් එක් පැත්තකින් නීතියේ රැහැනෙන් බේරීම සදහා නිතිය වක ගසා අධිකරණ සහ නීතියේ ආධිපත්‍ය අහෝසි කර දැමීමයි. අනික් අතට යුද්ධ කාලයේ සිදු වූ දහස් ගණන් පැහැරගෙන ගොස් ඝාතනය කොට මරා දැමීම වසන් කිරීමට ද නීතියේ ආධිපත්‍ය අහෝසි කර දැමීමයි. ලංකාවේ පරිසර පද්ධතියද අද දැඩි විනාශයකට ලක්වෙමින් පවතී. රක්ෂිත ප්‍රදේශවල කැලෑ හෙලිකිරීම මගින් වන සම්පත විනාශ කිරීම සහ එමගින් ජල උල්පත් විනාශ වීමට ඉඩ දීම දැඩි ව්‍යසනයක් ලෙස හැදින්විය හැකිය. රසායනික පොහොර භාවිතය හේතුකොට ගෙන අනාරක්ෂිත ගොවිතැන් ක්‍රම මගින් අපේ රටේ ගොවි ජනතාව වකුගඩු රෝගීන් බවට පත් කොට ඇත.

දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම

2005 සහ 2015 අතර කාලය පරිච්චේදය රාජපක්ෂවාදය සිය දක්ෂිණාංශික ජනතාවාදී පෙරමුණ ගොඩ නැගු කාලය විය. උතුරේ සහ නැගෙනහිර ද්‍රවිඩ විරෝධී සිංහල බෞද්ධ ජාතිවාදයේ අග්‍රපලය වුයේ අද බලගතු ද්‍රව්‍යමය බලවේගයක් බවට පත්ව ශ්‍රීලනිපයේ සිට නව පක්ෂයක් ලෙස සවිධාන ගත වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. වර්තමාන ජනාධිපති අපේක්ෂක ගෝටාභය​ ආරක්ෂක ලේකම් වශයෙන් සේවය කල ඔවුන්ගේ පාලන කාලය තුල අතිශයින් භයානක වූ මර්දනකාරී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. ඔවුන් ද්‍රවිඩ කොටි සංවිධානය පරාජයට පත් කලද ද්‍රවිඩ ජනතාව ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රට බෙදීම නමැති සිංහල දේශප්‍රේමී කතිකාවේ ව්‍යාජය තුල දිය කර හරිනලදී. එම කතිකාවේ න්‍යායික අන්තර්ගතය සත්තකින්ම ද්‍රව්‍යමය බලවේගයක් ලෙස අපේ සිංහල සමාජයේ සෑම පන්තියක් හරහාම දිවයයි. අපේ දේශපාලන දේහය ජාතිවාදී විස එන්නත් කිරීමෙන් රෝගා තුර කොට ඇත්තේ එයයි. මෙහි මුළු වගකිම රාජපක්ෂවරු භාර ගැනීමට පැකි ලෙන්නේ නැත. එය ඔව්නු දකින්නේ දේශප්‍රේමය සහ නොබෙදූ රටකට ගෙවන මිලක් ලෙසය.

එපමණක් නොව නොයෙක් ආකාරයේ දුෂණයන් සහ අල්ලස් මගින් මුදල් ඉපයූ ප්‍රභූ දේශපාලන පංතියක් බිහි වූ අතර​ ඔව්හු රාජපක්ෂවාදයේ දුෂිත පෙරටු බල ඇණිය බවට පත් වුහ. ‘සුදුවෑන්’ එක මර්ධනයේ සහ පැහැරගෙන ගොස් මරාදැමීමේ නින්දිත​ වචනය බවට පත් විය.

රාජපක්ෂලා මහත් විශ්වාසයෙන් සහ නොසැලෙන විශ්වාසයකින් යුතුව ඉදිරිපත් වූ ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 දා අනපේක්ෂිත පරාජයකට පත් වුයේ මේ දේශපාලන තත්ත්වයන් තුලය. විපක්ෂ බලවේගයන් ජයග්‍රහණය කල ජනාධිපතිවරණය සමහරු හඳුන්වා දුන්නේ ‘නොනිමි විප්ලවයක්’ ලෙස වුවද ඔවුන් බලයට පත් වූ දා සිටම වාගේ සිදු වුයේ ජනතාවට වූ පොරොන්දු එකිනෙක පාවා දී මයි. ඔවුන් ඉන් කරන ලද්දේ ප්‍රති විප්ලවය ආරම්භ කිරීමයි. දැන් අප හමුවට පැමිණ ඇති ජනාධිපතිවරණය එක අතකින් මේ ප්‍රතිවිප්ලවයේ අවසාන ජයග්‍රහණයට කලින් අපට කරන අනතුරු හැඟවීමයි. මේ අනතුරු හැඟවීමට ප්‍රජාතනත්‍රවාදය රැක ගැනීම පැත්තෙන් එයට ප්‍රති විරුද්ධ බලවේගයන් කරන සුදානම කුමක් විය යුතුද? 2015 ජනවාරි 8දා රාජපක්ෂලා පරාජය කරන ලද එජාපය සහ සිවිල් සංවිධාන මෙන්ම ජවිපෙ විසින් එයට ලබා දුන් උපක්‍රමික සහයෝගය අද නැත. අද එජාපය සිය මිතුරන් කිහිප දෙනෙක් සමග තනි සටනක් දියත් කරයි. ජවිපෙ ජාතික ජන බලවේගය(ජාජබ) ලෙස තනිව ජනාධිපතිවරණය සදහා තරඟ​ කරයි. වර්තමාන ජනාධිපතවරයා සිය ජයග්‍රහණයෙන් පසුව අත්පත් කරගත් රාජපක්ෂලාගේ ශ්‍රීලනිපය එහි සහාසික අවසානය ළඟා කරගත්තේ රාජපක්ෂලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ(SLPP) පිහිටිවිමෙන් පසුව එය හිස්කර දැමීමෙනි. අද ජනාධිපතිවරණය සදහා එජාපය, පොහොට්ටුව සහ ජවිපෙ ජන බලවේගය වශයෙන් තරඟ කරයි. මොව්හු මුලික තරඟකරුවන් ලෙස හැඳින් විය හැකිය. රාජපක්ෂවාදයට නායකත්වය දෙන ගෝටාභය ඉදිරි පත් කරන අනාගත බල ව්‍යාපෘතිය පැහැදිලි ලෙසම එජාපයේ සජිත්ගේ බල ව්‍යාපෘතියට වඩා බිහිසුණුය. මර්දනකාරී විය හැකිය. එමෙන්ම එය 2005-2015 පුරාවට පැවති මහින්ද රාජපක්ෂ ව්‍යාපෘතියට වඩා මර්දනකාරී විය හැක්කේ අද අපේ රට පසු කරමින් පවතින අර්බුදයේ සවභාවය සහ කලාපිය තත්වයන් නිසා පමණක් නොවේ. ගෝටාබය නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සීමිත කරන යුධවාදී දෘෂ්ටියක් තුලින් මේ රට පාලනය කිරීම් මේ අර්බුදයට විසදුමක් ලෙස දකින බැවිනි. ඔහු වටා රොක් වී ඇති විශ්‍රාමික හමුදා නිලධාරීන් කර ඇති බිහිසුණු ප්‍රකාශයන් දැනටමත් ප්‍රජත්නත්‍රවාදී බලවේගයන් කනස්සල්ලට පත් කොට ඇත.

ගොටාගෙන් එල්ලවන අනතුර

මෙහිදී ගෝටා ජයගතහොත් ඔහු ෆැසිස්ට්වාදී පාලනයක් ගොඩ නගන බවට මා තර්ක ඉදිරිපත් කිරීමට ඉක්මන්වන්නේ නැත. එසේ ද වුවත් ඔහු විසින් බලය ලබාගතහොත් එය සිදුවන්නේ ජනාධිපතිවරණය තුලින් ලබාගත් මහජන කැමැත්ත නිසා බැවින් “අධිකාරිවාදී ජනතාවාදයක්” (Authoritarian populism) ගොඩ නගනු ඇත. මෙය 2005 -2015 අතර පැවති පාලනයට වඩා බිහිසුණු එකක් වනු ඇත. ඔහුවටා සිටින ‘වියත්මග’ තුලින් සංවිධිත විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉතාමත් මර්දනකාරී යාන්ත්‍රණයක් ගොඩ නගනු ඇත්තේ ඔවුන්ගේ සියලුම ඇත දැකීම් ප්‍රයෝජනයට ගැනීම මගිනි. දැනටමත් සමාජ මාධ්‍ය හරහා ඔවුන් සමාජ ක්‍රියාකාරීන්හට තර්ජනයන් එල්ල කොට ඇත. මේ අනතුරට එරෙහිව සටන් කරන අනෙක් අපේක්ෂකයන් මේ අනතුර එසේම දකින බවක් පෙනෙන්ට නැත. දැනට ගෝටාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස හැදින් වියහැකි සජිත් ප්‍රේමදාස මේ අනතුර දකින්නේ නැත්තේ ඔහු ඉදිරි පත්කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් බරවන්නේ දක්ෂිනංශයට නිසාය. ආර්ථික මෙන්ම දේශපාලන ප්‍රතිපත්තිද නව ලිබරල්වාදී පීඩක ව්‍යුහයන් තුල සිර කරමින් ඔහු අනාගතයේදී කරන ඇන ගැනීම ගැනීම කල් තියා දැකීමද අවශ්‍ය වෙයි. මෙබදු තත්ත්වයක් තුල ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය(ජාජබ) ගෝටා පරාජය කිරීම සදහා සජිත් සමග සන්ධානයක් ගොඩ නොනගන්නේ ඇයිදැයි ප්‍රශ්න කිරීම යුක්ති සහගතය. ජාජබ තම ජයග්‍රහණය දුෂ්කර බව දන දැනත් ගෝටා පරාජය කිරීම එකග නොවන්නේ බාගදා ඔවුන් එවැනි සන්ධානයකින් 2015 ජනවාරි 8 දා ජයග්‍රහණයෙන් පසුව ලබාගත් නිශේධාත්මක අත්දැකීම් සහ තනිවම තරග කිරීමෙන් තමන්ගේ කතිකාවත ඉදිරියට ගෙනයාමට ඇති හැකියාව ගැන පවතින් අධි විශ්වාසය නිසාය. සාමාන්‍යයෙන් දේශපාලනයේදී අපට වඩා ප්‍රතිවාදියා බලවත්ව සිටින අවසථාවක දකින්නට ලැබෙන සන්ධානයන් ගොඩ නැගීම ප්‍රතික්ෂේප කිරීම ඇතිවන වාසියට වඩා හානිය වැඩිවිය හැකිය.ඒ අවසථාවේදී මර්දනයට එරෙහිව නැගීසිටීමේ න්‍යාය සහ එබදු භාවිතයන් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයන්ට හානි කර ලෙස බලපායි.

ගෝටා පාලනයක් යටතේ විරුද්ධ මතධාරීන්ට​ අත් විය හැකි ඉරණමට අටුවා ටීකා ලිවිය යුතු නැත. 2005 සිට 2015 දක්වා ඔහු රාජපක්ෂ පාලන කාලය තුළ ආරක්ෂක ලේකම් ලෙස සේවය කල කාලය තුල පුවත්පත්කලාවේදීන්ට ඇතිවූ මරණිය සහ අනෙක් පහර දීම් වලට පරීක්ෂණ පවා නොපැවැත් විනි. හරියටම විරුද්ධ දේශපාලන මත දරන්නන් ජිවත් වුයේ ජීවිතය ගෙන යාමට ලැබුන බලපත්‍රයක් අතතැතිව මෙන් ය.එහි නීති රීති කඩ කල හොත් බල පත්‍රය අවලංගු වෙයි. එම නිසා ඔහුගේ පාලනයක් තුල ඇතිවිය හැකි ව්‍යසනය අති මහත් ය.

ගෝටාභය සහ සජිත්

එජාපයේ සජිත් ප්‍රේමදාස මොහුගේ ප්‍රතිවාදී අපේෂකයා වෙයි. අනික් අතට ගෝටාභය සහ සජිත් යන දෙදෙනාම එකම ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ඇත. නව ලිබරල්වාදය දෙදෙනාගේම ආර්ථික ප්‍රතිපත්තියේ මුල් ගලය.

සජිත් ප්‍රේමදාස දෙන්නා වූ පොරොන්දු සහ ඔහු කතා කරන දේවල සාරය ජනතාවගේ සබුද්ධික​ කොටස් වලට කොතරම් දුරට ගෝචර​වන්නේද යන්න බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු වුවද ඔහු ප්‍රතික්ෂේප කිරීම ගෝටාභය ඉදිරියට ඒමේ හැකියාව වැඩි කරන්නකි. මේ දෙදෙනාටම නිදහස් අධ්‍යාපනය සහ නිදහස්සෞඛ්‍ය සේවයක් මේ රටේ ස්ථාපිත කිරීමේ දේශපාලන වුවමනාවක් නැත. ලංකාවේ දේශපාලන ප්‍රභූන් සහ ඔවුන්ගේ ළමා ලපටින්ද මේ සේවා දෙකටම තම දුෂිත ධනයෙන් හරි හම්බ කරගත් මුදල් එම සේවාවන් ලබා ගන්නේ පිට රටිනි. එම නිසා ඔවුන්ට මේ සේවාවන්හි ගුණාත්මකභාවය  හෝ නිදහස් ප්‍රවේශය අදාළ කාරණයක් නොවේ. ලංකාවේ නීති පද්ධතිය ප්‍රභූන්ගේ නිවරදිබව ඔප්පු කරන සාමාන්‍ය ජනයා සුළු වැරද්දක් හෝ කල හොත් දැඩි දඩුවම් ලබා දෙන ක්‍රමයක් දක්වා ලඝු වී ඇත.

මහින්ද රාජපක්ෂ සහ ගෝටා ගේ අවනීතික හිංසාකාරී මෙන්ම අතිශය මර්දනකාරී කාලය තුල ඒ අඳුරු යුගයේ බිහිසුන කම ඍජු ලෙස අත් විදි ජනතාවක් වූ ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට ගෝටා පරාජය කිරීමේ ප්‍රමුඛ අවශ්‍ය තාවයක් ඇත. එයට හේතුව වන්නේ ඔවුන්ගේ ඒ ඉතිහාසය ගෝටාගේ ජයග්‍රහණය තුලින් වර්තමානය තුල ප්‍රතිව්‍යුහගත කරන බැවිනි. කොටින්ම​ කියතොත් එම වේදනාකර ඉතිහාසය ඔවුන්ගේ වර්තමානය ලෙස ඔවුන්ට දිස්වෙන බැවිනි. එබදු දේශපාලන වශයෙන් අහිතකර තත්වයන් නිශේධ කොට ඔවුන් යුක්ති ගරුක අභිමානවත් පුරවැසියන් ලෙස පිළිගැනීමට වැඩ පිළිවෙලක් ඉදිරිපත් කල එකද දේශපාලන සංවිධානයක් හෝ දකුණේ සොයා ගැනීමට නොහැකිය. එම නිසා ඔවුන් ද්‍රවිඩ එක්සත් පෙරමුණේ දේශපාලන ක්‍රියාමාර්ගයට නතු වීම නොසෙල්විය හැකි දේශපාලන සංසිධියක් ලෙස තහවුරු වී ඇත. එය හුදෙක්ම මැතිවරණ කාල වලදී පමණක් දකුණේ පක්ෂ විසින් තම ඡන්ද​ගොඩ ලොකු කර ගැනීමේ ව්‍යායාමයක් ද නොවිය යුතුය. එසේම 30 අවුරුදු යුද්ධයේදී එබදු වැඩ පිළිවෙලක් නොතිබුනේ නම් යුද්ධයෙන් පසුව දැන් දශකයක් ගතවී ඇතත් පීඩිත ජනතාවගේ දැවෙන ප්‍රශනයන්ට දුන් ප්‍රතිචාරයක් නොමැත.

ජාතික ජන බලවේගය(ජාජබ)

ජාතික ජන බලවේගය සහ ජවිපෙ ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයා වශයෙන් ඉතිරිපත් කරන්නේ අනුර කුමාර දිසානායකය​. ජාජබ ය සංඛ්‍යාත්මක වශයෙන් බලගතු නොවුවද ඔවුන් ප්‍රධාන පක්ෂ දෙක වෙනුවට ඉදිරිපත් කරන විකල්පය නව දේශපාලන හැරවුමකි. එය ප්‍රධාන පක්ෂ දෙකට විකල්පයක් වශයෙන් සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් අඩ​ සියවසකටත් වඩා පැරණි පක්ෂයක ලෙස​ තම භාවිතය ගැන නව ආකාරයකට සිතීම ප්‍රශංසා කල යුතුය. නමුත් ග්‍රාම්සියානු අර්ථයෙන් ජනතාවාදී ප්‍රති හෙජමොනියක් ගොඩ නැගීමට ඔවුන් සමත් වී නැත. එසේම අද ඔවුන් වටා එකතු වී සිටින බොහෝ දෙනෙක් 1971 සිට ජවිපෙට සම්බන්ධව සිටි පවුල්වලින් පැවත එන්නන්ය. කිසිම මැතිවරණයකදී ජවිපෙට තම ඉලක්කයන් සම්පූර්ණ​ කර ගත නොහැකිවිය. එයට බලපාන ඓතිහාසික හේතු තිබුනද ඒවායේ දේශපාලන අවාසිය කොතරම් කොතරම් දුරට අඩුකර ගැනීමටඔවුන් ක්‍රියාකර ඇත්දැයි විමසා බැලීම මෙහිදී කල නොහැකිය. ජාජබ වාමාංශික විකල්පයක් වශයෙන් නොව ප්‍රජාතනත්‍රවාදී විකල්පයක් ලෙස සැලකීම යුක්තිසහගතය. එසේනම් මේ දේශපාලන මොහොත තුල ඔවුන් නියෝජනය කරන්නේ වාමාංශය ද යන්න විවාද සාහිතය. මේ ජනාධිපතිවරණයේදී ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ නාගරික මද පන්තික කොටස් වලටය. ජාජබ මේ රටේ මිහිතලයේ අසරණයන්ට ආමන්ත්‍රණය කරන විකල්පයක් වශයෙන් ගොඩ නැගීමට නම් අනෙක් වාමාංශික​ පක්ෂයන්ගේ සහ සංවිධානවල ක්‍රියාකාරී සහභාගිත්වය ලැබිය යුතුය. ලාංකීය අර්බුදයේ විශාල වූ ගැටළු සහ ප්‍රශ්නයන් 21වන​ සියවසට උචිත සමාජවාදී කතිකාවකින් තොරව විසදිය නොහැකිය. එයට හේතු ව අපේ රට වෙලා ගෙන ඇත්තේ මේ ධනපති ක්‍රමය විසින් ජනිත කරන ලද ගැටලු වලින්ය. මෙය යම්කිසි ආකාරයක බලගතු විකල්පයක් විය හැකිව තිබුනේ පෙරටුගාමී පක්ෂය ජාජබ ට එකතු වුයේ නම් පමණි. නමුත් දැඩි න්‍යායික වෙනස් කම් මෙයට බාධාවක් බව පෙනේ.

එම නිසා මේ තත්ත්වය යටතේ ජාජබ යේ අනුර කුමාර දිසානායකට ඡන්දය දීම අනාගතයට කරන ආයෝජනයක් මිස එයින් ඔහුගේ ජග්‍රහණය හෝ ගොටාගේ පරාජය සහතික කල නොහැකිය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.