24 April, 2024

Blog

ආඥාදායකත්වය පරදවා ලිබරල්වාදය ශක්තිමත් කරමු

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

යහ පාලනය සදහා 2015 දී ඇති කර ගත් රාජ්‍ය පාලනය විසින් ඒ අරමුණු  පාවා දෙමින් ප්‍රතිවාදීයා සමග සම්මුතියක් ඇති කර ගැනීම අවසානයේ යහ පාලනයේ ප්‍රතිවාදී අපේක්ෂකයා බවට ගෝටාභය රාජපක්ෂව පත් කළේ ය. ගෝටාභය රාජපක්ෂ කාලයක පටන්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් සූදානමින් වෙමින් සිටියේ ය. මිලිටරි රණකාමී ඔහුගේ හිතවතුන් ඊට නායකත්වය දුන් අතර වියත්මග සංවිධානය අවශ්‍ය න්‍යායාත්මක මග පෙන්වීම කළේ ය.

සමාජයේ බොහෝ විවේචකයන්කල් ඇතිවම ප්‍රකාශ කළේ රණකාමී මිලිටරි නායකයකුට ශක්තිමත් දේශපාලන නායකයකු විය නොහැකි බව ය. ඒ බව අද භෝටාභය රාජපක්ෂ විසින්ම තහවුරු කරමින් සිටී. පසුගිය දා කොළඹ දී පැවැති පුවත්පත් සාකච්ඡාවක දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරුදීමේ දී ඔහු පෙන්නුම් කළ ආධුනික ස්වභාවය රාජ්‍ය නායකයකුට තිබිය යුතු පෞර්ෂය ඔහුට නොමැති බවට හොදම සාක්ෂිකි. මතු කරන ප්‍රශ්න හමුවේ ඝෘජුව පිළිතුරු සැපයීමට  අපහසුවීම වෙනම ප්‍රශ්නයකි. එහෙත් පිළිතුරකට සුදුසු කරුණු කාරණා හා අදහස් ඔහු සතුව නොවීම බරපතල ගැටළුවකි. 

රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නේ සාමූහිකව ය. එය තනි පුද්ගලයකුගේ කාර්යයක් නොවේ. එහි එසේ සකස් කරන ප්‍රතිපත්ති සමාජය තුළට ගෙන යෑමේ කාර්යභාරය කළ යුත්තේ රාජ්‍ය නායකයා ය. නැතහොත් රාජ්‍ය නායකත්වයට තරග කරන්නා ය. පසුගිය කාලය තුළ ගෝටාභය රාජපක්ෂගේ හැසිරීම තුළින් පැහැදිලි වූයේ ඔහුට සන්නිවේදන හැකියාවක් නොමැති බව පමණක් නොවේ. රට පාලනය සදහා අවශ්‍ය දැනුම, අවබෝධය හා දෘෂ්ටියක් ද ඔහුට නොමැති බව කදිමට පැහැදිලි විය.

ගෝටාභය රාජපක්ෂ ඒ අන්දමින් ඔප්පු කළේ තමා ශක්තිමත් මිලිටරි නායකයකු බව ය. මිලිටරි නායකයකු ක්‍රියා කරන්නේ මිලිටරිමය අවකාශයක ය. එතුළ දැඩි බව, ඝෘජුබව හා අනුකම්පා විරහිතබව ප්‍රමාණවත් ය. එහෙත් දේශපලාන නායකයකු වන්නට එසේ නොහැකිය. යමෙක් දේශපාලන නායකයකු වන්නට නම් තමන්ට දේශපාලන දෘෂ්ටියක් තිබිය යුතුය. ඒ දෘෂ්ටිය ශක්තිමත් කිරීමට දේශපාලන කරුණු කාරණා හා අදහස් වලින් පරිපූර්ණ විය යුතුය. සාමුහිකව වැඩ කිරීමට හැකිවිය යුතුය.  මේ කිසිවක් නොමැති ගෝටාභය මහජන හමුවීම් වල දී හා මාධ්‍ය සාකච්ඡා වල දී අසරණ වී තම සහෝදරයාගේ පිහිට පැතුවේ එබැවිනි.

බරපතල විවේචන ඇතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පලාන ආකෘතිය අගය කළ යුතු තරමේ ප්‍රජාතන්ත්‍රවාදී නිර්මිතයකි. බලයට පත්වන්නන් ආඥාදායක ලෙස වැඩ කරන්නට සූදානම් වන සෑම අවස්ථාවකම ක්‍රමය විසින් සීමා මායිම් පෙන්වා දෙයි. උදාහරණයකට පසුගිය ඔක්තෝබරයේ දී රට තුළ බරපතල දේශපාලන අර්බූදයක් ඇති වූ විට එය විසදා ගැනීමට මූලිකත්වය ගත්තේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රාමුවයි. විධායකය විසින් අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද අභියෝගයට ලක් වූයේ ඒ අන්දමිනි. ඒ සදහා ශක්තිමත් ආයතනික රාමුව්ක නොවන්නට ජය ගන්නේ ආඥාදයකත්වයයි.

එපමණක් නොව ඒ ආයතනික රාමුව ක්‍රියාත්මක කිරීමේ දී ආචාර ධර්ම පද්ධතියක් තිබීම ද අතිශය වැදගත් ය. රටේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තිබුණ ද අධිකරණ පද්ධතියට විධායකය විසින් ඇගිළි ගැසීමේ අශ්ලීල ක්‍රියාව සිදුවූවා නම් නැවතත් වටයකින් ආඥාදායකත්වය බලවත් වන්නේ ය. එහෙත් 2015 මැතිවරණ වලින් පසුව ස්ථාපිත කළ යහපාලන ය විසින් එවැනි අශ්ලීල ක්‍රම අහෝසි කර තිබුණි. එනිසා අධිකරණය තම හෘද සාක්ෂියට එකගව ක්‍රියා කළේ ය. පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ශක්තිමත්ව තහවුරු විය. 

බොහොදෙනෙකුගේ දේශපාලන තර්කයක් වන්නේ ගෝටාභය රාජපක්ෂ ආඥාදායකයකු ලෙස හැසිරිය හැකි නමුත් සජිත් ප්‍රේමදාස එසේ නොවන බවට සහතිකයක් නොමැති බව ය. පෘතග්ජන කිසිවකු සම්බන්ධයෙන් සහතික දිය නොහැකි බව ඇත්තකි. එහෙත් පවතින දේශපාලන රාමුව අනුව පෘතග්ජන පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කළ හැකිය. රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හා 2015න් පසුව ඇති කළ ශිෂ්ඨ සම්පන්න දේශපාලන භාවිතය විසින් සජිත් ප්‍රේමදාස එලෙස හැසිරෙන්නට සූදානම් වන පළමු පැයේදීම ඔහුව පාලනය කරනු ඇත. ඊට හේතුව සජිත් ප්‍රේමදාස බලයට ඒම සදහා මහජන සම්මුතියක් ඇති කර ගන්නේ යහපාලන අභිලාශයන් සහිත මහජනතාව සමග වන බැවිනි.

නමුත් ගෝටාභය රාජපක්ෂ එවැනි මහජන සම්මුතියක් ඇති කර ගන්නේ යහ පාලන බලාපොරුත්තු සහිත මහජනතාව සමග නොවේ.  ශ්‍රී ලංකා පොදුජන පක්ෂය වටා සන්නද්ධව සිටින්නේ 1978 දී ඇති කළ වෙළෙද පළ ආර්ථික ක්‍රමයේ පාදඩ සමාජ තීරුවයි. එම පාදඩ සමාජ තීරුවට අවශ්‍ය වන්නේ තම මජර ආශාවන් ඉටු කර ගැනීමට මිස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන යහ පාලන අභිලාශයන් නොවේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ බලයට ඒමට පමණි. එවැනි රාමුවක මිලිටරිමය නායකයකු කළමනාකරණය වීමක් සිදු නොවන අතර ඔහු ශ්ක්තිමත් ආඥාදායකයකු බවට පරිවර්තනයවීම කාලය පිළිබද ගැටළුවක් පමණි. එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ බලයට පත්වීම තුළ ඇතිවිය හැක්කේ ආඥාදායක පාලනයක් බව ස්ථිරය.

ශ්‍රී ලංකාවේ ධනපති විරෝධී දේශපාලන කොටස් වෙනම සම්මුති ගත වෙමින් තම අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ මෙවැනි මොහොතක ය. ධනපති බලවේග දෙකම රටට අවශ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරන නිසා විකල්පයක් නියෝජනය කිරීම ඔවුන්ගේ අභිලාශයයි. එහෙත් ජනාධිපතිවරණයක දී වෙනම තරග කිරීම සෑම අවස්ථාවකදී ම සාධාරණ වන්නේ නැත. වෙනම විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කර රටට යම් ප්‍රතිලාභයක් ලබා ගැනීමට නම් ඔවුන් මුළු වැර යොදා තරග කර තුන්වන ජයග්‍රාහී අපේක්ෂකයාගේ ශක්තිය පෙන්විය යුතුය. ඒ සදහා පළමු වටයෙන් කිසිවකුට ජයග්‍රහණය කළ නොහැකි අන්දමේ තත්ත්වයක් නිර්මාණය කළ යුතුය.

එසේ නොවන්නට එනම් දෙවැනි මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින්නට විකල්ප අපේක්ෂකයාගේ තරග කිරීමත් යම් ජන්ද ප්‍රමාණයක් ලබා ගැනීමත් හුදු ආත්ම තෘප්තියකට පමණක් සීමා වී කිසිම වරදානයක් සමාජයට නොලැබෙන තත්ත්වයක් උදා කරන්නේ ය. එවැන්නක් විකල්ප දේශපාලනයකට අංශු මාත්‍රයකින් හෝ වාසිදායක නොවන්නේ ය. එහෙත් කොළඹ කේන්ද්‍රීය සමහර බුද්ධිමතුන් හා අතර මැද පන්තියේ වාමංශිකයන් මුළු වැර යොදා සූදානම් වන්නේ හුදු ආත්ම තෘප්තිය සදහා අනුර කුමාර දිසානායක පාවිච්චි කරන්නට ය. එය ධනපති විරෝධී දේශපාලනයක් බලාපොරුත්තු වන්නන්ට කිසිම අන්දමක ප්‍රගතිශීලී අරමුණක් නොවේ.

එහෙත් ප්‍රධාන ධනපති අපේක්ෂකයන් දෙදෙනාගෙන් කිසිවකු පළමු වටයෙන් ජයග්‍රහණය නොකරන අන්දමක චන්ද බෙදී යෑමක් ශක්තිමත් කරන්නට විකල්ප අපේක්ෂකයා ශක්තිමත් වන්නේ නම් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම විකල්ප අපේක්ෂකයාගේ දෙවැනි මනාපය ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වන්නේ ය. එවිට ඔවුන් දෙදෙනාටම විකල්ප අපේක්ෂකයා මත දේශපාලනිකව රදා පැවතීමට සිදුවන්නේ ය. එය විකල්ප දේශපාලන න්‍යාය පත්‍රය ශක්තිමත් කරන සාධකයකි. එසේම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම විකල්පය හා යම් තරමක සම්මුතියකට යන්නට සිදුවන අවස්ථාවකි. 

විකල්ප අපේක්ෂකයා වටා රොක්වී සිටින්නේ කවදාවත් ප්‍රධාන පක්ෂ දෙක සමග හවුල් දේශපාලනයක් කළ පිරිසක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ 1994, 2005, 2010 හා 2015 දී පැවැති ජනාධිපතිවරණ වල දී සම්මුති ඇති කර ගත්තේ ධනපති අපේක්ෂකයා සමග ය. එනිසා ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අත්දැකීමක් පවතී. නමුත් මෙවර බොහෝ අය විකල්පය වටා එකතු වෙමින් සම්මුතික ආණ්ඩුව සමග පවතින දේශපාලන වෛරය සමහන් කර ගැනීමට උත්සාහ කරන නිසා ගෝටාභය රාජපක්ෂගේ හා සජිත් ප්‍රේමදාසගේ දේශපාලන න්‍යාය පත්‍රයන් දෙක එකම අන්දමින් විග්‍රහ කර ගනී. එහෙත් ඒ විග්‍රහ කර ගැනීම නිවැරැදි නොවන අතර ගෝටාභය රාජපක්ෂගේ ආඥාදායකත්වය පැරදවීම ඔවුන්ගේ ද අරමුණ බව ස්ථිරසාරව තේරුම් ගත යුතු ය.

2015 දී ඇති කළ සම්මුතික ආණ්ඩුව කොතෙක් පාවාදීම් සිදු කළ ද ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීමට ඔවුන් ගත් මහන්සිය අවතක්සේරු කළ නොහැක. එනිසා නිදහස් දේශපාලන අවකාශයක් නිර්මාණය වූ අතර සමහර මර්දනීය අවස්ථාවන්හි දී පවා ඉදිරියට පැමිණ ඒ මර්දනයට එරෙහිව සටන් කළේ නිර්මාණය කර ගත් දේශපාලන අවකාශයයි. එනිසා 2015 න් පසුව ඇති වූ යහපත් දේශපාලන ආයතනික රාමුව අවතක්සේරු කරමින් ප්‍රතික්ශේප කරන්නට කිසිවකුට නොහැකිය. කළ යුත්තේ ඒ රාමුව තව තවත් ශක්තිමත් කර ගැනීම සදහා දේශපාලනික තීන්දු ගැනීමයි. 

විකල්ප ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සටන් වදින අනුර කුමාර දිසානායක වටා එක් රොක් වී සිටින දේශපාලන බලවේගය මේ මොහොතේ තීන්දුවක් ගත යුත්තේ අවම වශයෙන් තම දෙවැනි මනාපය හෝ ලිබරල් ධනේශ්වර අපේක්ෂකයාට ලබා දී ගෝටාභය රාජපක්ෂගේ ආඥාදායකත්වය පරාද කිරීමට බව අවධාරණය කළ යුතුව ඇත. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.