1 October, 2020

Blog

ශ‍්‍රී ලංකාවේ දේශපාලන විමුක්තිය

දයාපාල තිරාණගම

වර්තමාන පාර්ලිමේන්තු මැතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලවේග අතර පැහැදිලි බෙදීමක් පෙන්නුම් කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයගතහොත් එමගින් ශ‍්‍රී ලාංකීය සමාජය තුළ ගැබ් වී තිබෙන ඇතැම් දෝෂයන් නිරවුල් කිරීම සඳහා පරම්පරා ගණනාවකින් එලැඹෙන අවස්ථාවක් උදාවනු ඇත. රාජපක්ෂ රෙජීමය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජයග‍්‍රහණය කළ නමුත් එම ජයග‍්‍රහණය පාවිච්චි කරනු ලැබූයේ දෙමළ ජනතාවගේ යුක්තිසහගත ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් පරාජය කිරීම සඳහාය. මුස්ලිම් ජනතාවට පහර දෙනු ලැබූ විට නීතිය ක‍්‍රියාත්මක නොවීය. එම ප‍්‍රහාරය දියත් කළ අය නීතියට හසු නොවී ආරක්ෂිතව පසුවූහ. රාජ්‍ය දේපළ කොල්ලකෑම සඳහා, වංචා සහ දූෂණ වසා ගැනීම සඳහා එසේම පුද්ගලයින් අත ධනය ගොඩගසා ගැනීම සඳහා ද යුද ජයග‍්‍රහණය භාවිතා වූයේය. ජීවත්වීමේ අයිතිය උල්ලංඝණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ අධිකාරිවාදී පාලනය සුදු වෑන් සංස්කෘතියක් නඩත්තු කළ අතර දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම ජනමාධ්‍යවේදීන් ද ඒ අනුව ‘අතුරුදහන්’ වූහ. අහිංසක මිනිසුන්ට එරෙහිව කෙරෙන බියගැන්වීම් හා ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම් අතිමහත් වූ අතර දශක ගණනාවක් තිස්සේ දිග්ගැස්සුණු යුද්ධ හා හදිසි තත්වයන් මධ්‍යයේ වුව රට තුළ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ඉතිහාසය මත , මෙම බියගැන්වීමේ හා ප‍්‍රචණ්ඩකාරීත්වයේ සංස්කෘතිය සිය ආධිපත්‍යය පතුරුවා හළේය. සාම්ප‍්‍රදායික වාමාංශික පක්ෂවල සාමාජිකයෝ තම ගමන කෙලවර කරගත්තේ මෙම වැරදි ක‍්‍රියාවලට සම්මාදම් වීමෙනි.

ranill-anura- colombotelegraphපසුගිය වර්ෂයේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂය දිස්වූයේ දකුණේ වීදිවල එකිනෙකා හා රණ්ඩුකරන විවිධ පාර්ශවවලින් සමන්විත ගැඹුරින් බෙදීමට ලක්වූ පක්ෂයක් ලෙසය. එහෙත් මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ගත් තීරණයත් සමග එම පක්ෂය එක්වරම අතිමහත් අධිෂ්ඨානයකින් යුක්තව ප‍්‍රතිසංවිධානය වූවා සේ විය. එජාපය සහ මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දුන් සිවිල් සංවිධාන රාජපක්ෂ රෙජිමයේ ප‍්‍රතිවාදය ලෙස පෙනී ගිය අතර ඒ අනුව සිවිල් සමාජය වෙත වූයේ අව්‍යාජ තෝරාගැනීමකි. රාජපක්ෂ රෙජිමයේ දීර්ඝ රාත‍්‍රිය නිමා වූයේ එසේය. එහිදී පීඩාවට පාත‍්‍ර වූවන්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් පිබිදී ආ අතර මිලියන සංඛ්‍යාත මහජනයා ස්වකීය ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් කෙරෙහි අවදි වූහ. රාජපක්ෂ රෙජිමය තමා විසින් සිදුකළ බරපතල වැරදි සම්බන්ධ කිසිදු වගකීමක් ගැනීමට තවමත් සුදානම් නැත. ඒ වෙනුවට වත්මන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී බලය ඩැහැ ගැනීම පිණිස සිංහල බෞද්ධ ජනයාගේ සැක සංකා අවුලූවනු උදෙසා රාජපක්ෂ විසින් ආගම හා භාෂාව පිළිබඳ ආවේගාත්මක ව්‍යාජෝකීත් පතුරුවා හරිමින් සිටී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතිශය තීරණාත්මක දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සලකන මෙම ලිපිය ඓතිහාසික සමාන්තර අත්දැකීම් යොදාගනිමින් බලය බෙදීම නමැති ප‍්‍රශ්නය කෙරෙහි විශේෂිත අවධානයක් යොමු කරයි. ඒ මෙම ප‍්‍රශ්නය මෙම මැතිවරණයේ දී බලය සඳහා තරග වැද සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලවේග අතර අරගලයේ ප‍්‍රධාන සංඝටකයක් නියෝජනය කරන බැවිනි. මෙම අරගලයට මැතිවරණයට ස්වාධීනව තරග වදින, එසේම දෙමළ ජනතාව වෙත සිදුකරන කවර හෝ බලය බෙදාහැරීමකට විරුද්ධත්වය පළ කරන ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළත්ය. අරගලයේ ඉතිහාසය නැවත නැවතත් පුනරුච්චාරණය වෙමින් තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපෘතිය සඳහා මුල පුරනු ලැබූයේ පැරණි වාමාංශයයි. ඒ 1930 ගණන්වල මැද භාගයේදීය. මෙම ව්‍යාපෘතිය පැරණි වාමාංශය විසින් හැඩගස්වනු ලැබූ අතර කෙසේ වුවද ජාතිකවාදී ප‍්‍රවාහයේ නැගීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය චිරස්ථායී වූයේ නැත. පීඩනය ඉදිරියේ පැරණි වාමාංශය පසු බැස ගිය අතර වාර්ගික ප‍්‍රජාවන්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් නියෝජනය කිරීම එය විසින් අත් හැර දැමීය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන් මුහුණ දුන් මැතිවරණ පරාජයත් සමග ඔවුන් විසින් අත්හැර දැමීම් මගින් තනුක කරගනු ලැබූ එම ව්‍යාපෘතිය ඔවුන් සමගම අභාවයට ගියේය. ප‍්‍රජාතාන්ත‍්‍රීය බලවේග වෙත ලැබෙන ජයග‍්‍රහණයක් විසින් අප මුහුණ දී සිටින ඓතිහාසික ප‍්‍රශ්න විසඳාගැනීම සඳහා පරම්පරා ගණනාවකින් එලැඹෙන අවස්ථාවක් සපයා දී ඇති බව මා කීවේ එම නිසාය. එහෙත් මෙහි තිබෙන උත්ප‍්‍රාසය නම්, මෙම පොරොන්දුව මෙවර ඉදිරිපත් වී තිබෙන්නේ වාමාංශයෙන් නොව ධනේශ්වර දේශපාලන සැකැස්ම වෙතින් වීමයි !

ශ‍්‍රී ලාංකීය ජනතාවගේ විමුක්තිය සඳහාත් සාමකාමී, ප‍්‍රජාතාන්ත‍්‍රික සහ සමාජ සාධාරණත්වයෙන් යුක්ත දේශපාලන සංස්කෘතියක වර්ධනය සඳහාත් ශක්තිමත් සිවිල්, දේශපාලන හා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහයක් අතිශයින් වැදගත් වන්නේය. ඒ තුළ සියලූම මූලික ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් අන්තර්ගත විය යුතු අතර විශේෂයෙන්ම සුලූතර ප‍්‍රජාවන්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ඒ තුළ ආරක්ෂා විය යුතුය. මීට තවත් අනෙක් වැදගත් මූලික සංඝටක තුනක් එකතු කළ යුතුය. ඒවා නම් ජීවත්වීමේ අයිතිය, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා තිබෙන ප‍්‍රවේශයයි. ඓතිහාසිකව රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වයට එරෙහි දේශපාලන පක්ෂ සහ සන්නද්ධ කණ්ඩායම් මෙන්ම බලයේ සිටි ආණ්ඩු ද මෙකී අයිතිවාසිකම් සහ මූලික අයිතීන්වලට එරෙහි ප‍්‍රහාරයන්හි නියැලී තිබේ.

මෙකී අභිලාෂයන් මත එල්ල වූ ප‍්‍රහාරයන් විවිධ කාලවල් වල දෘෂ්ටිවාදී, දේශපාලන හා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ආදී විවිධ වේශයන්ගෙන් පැමිණියේය. 1948 තරම් ඈත කාලයක වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය සීමා කිරීම සඳහා නීති ඉදිරිපත් වූ විට එය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රහාරයක් විය. දෙමළ ජනතාවගේ භාෂා අයිතිය සීමා කරමින් 1956 දී සිංහල පමණයි පනත සම්මත වූ විට ද මේ හා සමාන තත්වයක් උද්ගත වූයේය. නැවත 1972 දී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානයක් පිරිනැමීය. මෙකී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් වල ප‍්‍රතිඵලයක් ලෙස අපගේ රටේ බහු වාර්ගික හා බහුත්වවාදී ස්වභාවය දුර්වල වූයේය. ඉන් ඇති වූ අනෙක් ප‍්‍රතිවිපාකය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ව්‍යාපෘතියේ තිබූ විමුක්ති විභවය බොඳ වී යෑමයි. නිම නොවු කර්තව්‍යයක් ලෙස මෙය තවමත් අපගේ දේශපාලන න්‍යාය පත‍්‍රය තුළ පවතී. ඉතිහාසය තුළ හඳුන්වා දුන් ඇතැම් වෙනස් කොට සැලකීමේ නීති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුග‍්‍රහය සහ සාම්ප‍්‍රදායික වාමාංශික නායකයින්ගේ සහයෝගය සහිතව හඳුන්වා දෙන ලද ඒවාය. එම නිසා ශ‍්‍රීලනිපය මෙන්ම පැරණි වාමාංශික නායකයින් මෙම මැතිවරණයේ දීත් ජනතා සහයෝගය ලබාගැනීම සඳහා සිංහල භාෂාව හා බුද්ධාගම පාවිච්චි කිරීමට වෑයම් කිරීම ගැන පුදුම විය යුතු නැත. තමා පරාජය වූවොත් රට බෙදෙනු ඇතැයි ඔවුහු ප‍්‍රකාශ කරති. මෙම තර්කය නගන්නේ දෙමළ ජනතාව වෙත කෙරෙන බලය බෙදා හැරීමක් වැලැක්වීම උදෙසාය. සැබැවින්ම මෙබඳු බලය බෙදීමක් විසින් දෙමළ ජනතාව ඓතිහාසිකව මුහුණ දුන් අයුක්තීන් නිවැරදි කිරීම සහ ඒවාට පිලියම් යෙදීම සිදුවනු ඇති අතර එවැන්නක් දෙමළ ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා දායක වනු ඇත.

වර්ෂ තිහකට අධික කාලයක් තිස්සේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ 1987-89 කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කළ සන්නද්ධ හිංසනය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සංස්කෘතිය වෙත ඇති කරන ලද්දේ අති මහත් හානියකි. දේශපාලන ක‍්‍රියාධරයින් සහ විසම්මුතික අදහස් දැරූ පුද්ගලයින් ඉලක්ක කොට ගෙන දියත් වූ මෙම සන්නද්ධ හිංසනය පිළිබඳ මතකයන් තවමත් නින්නාද වේ. මෙකී හිංසනකාරී ක‍්‍රියා විසින් ස්වකීය අදහස් ප‍්‍රකාශ කිරීමට මහජනයාට තිබෙන අයිතිය සීමා කළා පමණක් නොවේ, එලෙස විසම්මුතික අදහස් ප‍්‍රකාශ කළ පුද්ගලයින් ඝාතනය කිරීම ද සිදුවිය. 2009 දී පරාජය ලැබුවාට පසු එල්ටීටීඊ සංවිධානය තවදුරටත් සක‍්‍රීයව නොපවතී. 1989 පරාජයෙන් ඉක්බිති ජවිපෙ ප‍්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂයක් ලෙස ප‍්‍රතිසංවිධානය වී තිබේ. අද එම පක්ෂය මෙහෙයවනු ලබන්නේ එහි දෙවැනි හා තුන්වන පරම්පරාවේ නායකයින් විසිනි. තමා සන්නද්ධ අරගලය අත්හළ බව ජවිපෙ පවසයි. මෙය මහත් සාදරයෙන් යුක්තව පිලිගත යුතු වර්ධනයකි. ඔවුන් එය කළ යුතුව තිබුණේ 1971 කැරැල්ලට පෙරය. ඡන්දයෙන් තේරී පත්වූ ජනප‍්‍රිය ආණ්ඩුවකට එරෙහිව ගසන ලද එම කැරැල්ලෙහි ප‍්‍රතිඵල ලෙස රටේ තරුණයන් දහස් ගණනකගේ ජීවිත අනවශ්‍ය ලෙස කැප විය. ජවිපෙ චේ ගෙවාරාගේ ධජය යටතේ සිය අරගලය දියත් කළේ චේ ගෙවාරාගේ සුප‍්‍රකට උපදේශය මුලූමනින්ම අමතක කරමිනි. ‘‘ යම් ආකාරයක ජනප‍්‍රිය ඡන්දයක් තුළින් ආණ්ඩුවක් බලයට පත්වී සිටින අවස්ථාවක, එම ඡන්දය වංක එකක් වූවත් නැතත්, එම ආණ්ඩුව අඩු තරමින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය සුජාතභාවයක සේයාවක් හෝ නඩත්තු කරන්නේ නම්, එවැනි අවස්ථාවක ගරිල්ලා සටනක් ප‍්‍රවර්ධනය කළ නොහැක. මන්ද යත් සාමකාමී අරගලයක් සඳහා වූ සම්භාවිතාවය එවැනි තත්වයක් තුළ අවලංගු වී නොමැති බැවිනි ’’ ( ගරිල්ලා යුධ උපක‍්‍රම , පිටුව 8 ) 1987 හා 1989 කාලය තුළ ඔවුන් සිය දෙවැනි කැරැල්ල දියත් කළ අතර එම අරගලය දියත් කරනු ලැබූයේ 13 වන සංශෝධනය යටතේ දෙමළ ජනතාව වෙත කෙරුණු බලය බෙදීමට විරුද්ධවය. මේ යුගයේ දීත් ඡන්දයෙන් තේරී පත්ව සිටි එවකට ආණ්ඩුව ‘ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථානුකූල නීත්‍යනුකූලභාවය’ සහිත ආණ්ඩුවක් ලෙසය පැවැතියේ.

දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සන්නද්ධ හිංසනය භාවිතා කිරීම සෑම විටම ඕනෑම රටක සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සමග යම් කිසි ආකාරයක ගැටුමක් නියෝජනය කරයි. ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් යම් ප‍්‍රමාණයකින් සීමා කිරීම සන්නද්ධ අරගලය තුළ ‘අවශ්‍ය කරන’ බවට ඔවුන් ඇතැම් විට තර්ක කිරීමට පුලූවන. එහෙත් ඉතිහාසය පෙන්නුම් කරන්නේ එලෙස මහජනයාගේ අයිතිවාසිකම් ‘එක්තරා ප‍්‍රමාණයකට’ සීමා කිරීම මෙබඳු අරගලවල ස්ථිර ලක්ෂණයක් බවට පත්වන බවත්, ඒවා විසින් නිර්මාණය කරන රාජ්‍යයන්වල ස්ථිර ලක්ෂණයක් බවට එය පත්වන බවත්ය. උතුරු නැගෙනහිර පළාත්වල එල්ටීටීඊ සංවිධානය විසින් නිර්මාණය කළ තත්වාකාර රාජ්‍යය මේ සම්බන්ධ කදිම උදාහරණයකි.

ජවිපෙ සහ එල්ටීටීඊය ඔවුන්ගේ සන්නද්ධ අරගල දියත් කළ ආකාරය දෙස සමීපව බලන විට වටිනා පාඩම් රාශියක් ඉන් උගත හැක. තමුන් සන්නද්ධ අරගලය අත්හළ බවට ජවිපෙ කරන ප‍්‍රකාශය එම පක්ෂයෙන් කැඞී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනය කරන පිලිවෙත නම් වූ සන්දර්භය තුළ අප විසින් කියැවිය යුතුය. හැකි සෑම අවස්ථාවකදීම හා හැකි සෑම ස්ථානයකදීම ජවිපෙ පෙසප සාමාජිකයින්ට එරෙහිව ශාරීරික හිංසනය පාවිච්චි කරයි. වත්මන් මැතිවරණ ව්‍යාපාරය දෙස බලන විට පෙනී යන්නේ ස්වකීය ප‍්‍රචණ්ඩ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අතීතය පිළිබඳ කිසිදු සඳහනක් නොකොටම ජවිපෙ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ’ ලෙස සාර්ථක පෙනී සිටීමක් කරන ආකාරයයි. කෙසේ වූවද ජවිපෙ තවමත් දෙමළ ජනයාට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් වූ ස්වකීය ඓතිහාසික විරෝධය එලෙසම නඩත්තු කරයි. මෙය දෙමළ ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතියක් වන අතර මේ කාරණයේ දී ඔවුන් ස්ථානගත වන්නේ රාජපක්ෂ කඳවුර ස්ථානගත වන ලක්ෂ්‍යයේමය.

බලය බෙදාහැරීමට එරෙහි මනෝභාවයන් සජීවීව පවතින්නේ එය ඡන්ද දිනාගත හැකි මාධ්‍යයයක් වී තිබෙන නිසාය. මෙම ඡන්ද වූ කලී දෙමළ ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් කැප කරමින් දිනාගනු ලබන ඡන්දය. අපගේ ප‍්‍රජාවන් අතර භේදය වැඩි කරන්නේ බලය බෙදීම නොව එවැනි අර්ථාන්විත බලය බෙදාගැනීමක් සිදු නොවී තිබීමය. රටේ භෞමික අඛණ්ඩතාවයට සැබෑ තර්ජනය ඇති වන්නේ බලය බෙදාහදා ගැනීම තුළ නොව බලය ඒකරාශී කරගෙන සිටීම තුළය. මෙය වටහා ගැනීමට ශ‍්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ අමුතු ඥානයක් අවශ්‍ය නැත. එය එතරම්ම පැහැදිලි කරුණකි. බලය බෙදීමට සහ බලතල බෙදාහදා ගැනීමට විරෝධතාවය දක්වන පක්ෂ අපගේ දේශයේ හා ජනතාවගේ සුසංවාදී අනාගතය සම්බන්ධයෙන් තමාගේ පාර්ශවයෙන් තිබෙන කැපවීමේ අඩුකම අවංකව පිලිගත යුතුය.

තමා ‘දේශයේ හෘද සාක්ෂිය’ බව ජවිපෙ ස්වකීය මහත් ප‍්‍රචාරයක් සහිතව දියත් කොට තිබෙන මැතිවරණ ව්‍යාපාරයේ දී කියයි. එහෙත් සැබැවින්ම ඔවුන් සිංහල බෞද්ධ අධිපතිවාදයේ හෘද සාක්ෂියට වැඩි යමක් නියෝජනය නොකරයි. 13 වන සංශෝධනයට හා දෙමළ ජනතාවට බලය බෙදීමට පක්ෂ වූවන් සොය සොයා මරා දැමූ 1987-89 අඳුරු යුගයෙන් ඉක්බිති ඔවුන් තවමත් තමන්ගේ ස්ථාවරයන් වල වෙනසක් සිදුකොට ගෙන නැත. දෙමළ ජනතාවට ඔවුන් තවමත් ලබාදෙන පණිවුඩය නම් ජවිපෙ නායකත්වයෙන් ඇතිවන අනාගත සමාජවාදී ආණ්ඩුවක් එලැඹෙන තුරු තමා පෙළ ජාතික පීඩනය ඉවසා වදාරාගෙන දෙමළ ජනතාව කල් ගත කළ යුතු බවයි ! ජවිපෙ දේශපාලන සැකැස්ම සහ සටන්කාමී සිංහල පක්ෂයක් ලෙස ඊට තිබෙන මූලය නිසා ජාතික ප‍්‍රශ්නය ගැන ස්වකීය ස්ථාවරය විවේචනාත්මකව යලි සලකා බැලීමක් වෙත යොමුවීමේ නෛසර්ගික දුෂ්කරතාවයකින් එම පක්ෂය පෙළේ.

දෙමළ ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් යථාර්ථයක් කරගැනීම සඳහා කිසිදු ස්පර්ශීය යෝජනාවක් සාම්ප‍්‍රදායික හෝ වේවා නව හෝ වේවා වාමාංශික පක්ෂ වෙතින් ඉදිරිපත් වන්නේ නැත. මෙහි ප‍්‍රතිඵලය නම් දෙමළ ජනයා බෙදුම්වාදී පක්ෂ වෙත තල්ලූ වී යෑමයි. රාජපක්ෂ කඳවුර තුළ ඉතිරි වී සිටින සාම්ප‍්‍රදායික වාමාංශික නායකයින් දැන් වේගයෙන් අභාවය වෙත ගමන් කරමින් සිටී. දෙමළ ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් ඉෂ්ට කරන බවට ඔවුන් ලබාදුන් ඓතිහාසික ප‍්‍රතිඥාව දැන් ඔවුන් සමගම මියයමින් තිබේ. මෙහි ප‍්‍රතිවිපාකය නම් වෙනත් අය බැහැර කොට තමාගේම වූ දේශපාලන ව්‍යාපෘතියක් වර්ධනය කරගැනීම කෙරෙහි යොමු වූ උපනතියක් දෙමළ සමාජය තුළ බලවත් වීමයි. මෙවර මැතිවරණයේ දී දෙමළ ජනයා ලබා දෙන ඡන්දය, පෙර පරිදිම, මෙකී කරුණ සනාථ කරනු ඇත.

ජනවාරි මාසයේ දී සිදුවූ රාජපක්ෂ රෙජිමයේ ඇද වැටීමත් සමග විවෘතව දේශපාලන අදහස් දැක්වීමට අවස්ථාව ලැබී තිබීම සහ භීතිය රජැයූ පරිසරය වෙනස් වී තිබීම විසින් නිදහස පිළිබඳ නව රැල්ලක් ඇති කොට තිබේ. මෙම රැල්ල ඇති වී තිබෙන්නේ මැතිවරණ ව්‍යාපාරය තුළ භීතිය සහ ඇතැම් විට හිංසනය පවා පාවිච්චි කිරීමට රාජපක්ෂවාදී මැරයින් ගන්නා උත්සාහයන් මධ්‍යයේය. යම් හෙයකින් ඔවුන් නැවත බලයට පත්වුවහොත් මෙම වර්ෂයේ ඇති වූ කවර හෝ ප‍්‍රගතියක් වේද එය නැවත ආපසු හැරවෙනු ඇත. රාජපක්ෂගේ කඳවුරට එරෙහිව යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ ලබන මැතිවරණ ජයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපෘතිය සවිබල ගැන්වීමේ දිශාවට තබන අතිශය වැදගත් පියවරක් වනු ඇත.

භෞතික ජීවිතයේ සැබෑ වර්ධනයක් ඇති නොවන්නේ නම් හුදෙක් ජනතාවට ප‍්‍රජාතාන්ත‍්‍රීය නිදහස සහතික කිරීම අර්ථාන්විත නොවනු ඇත. ශ‍්‍රී ලාංකීය ජනතාවගෙන් අති බහුතරයකට අදාලව අපගේ ප‍්‍රජාතන්ත‍්‍රය වඩාත් අර්ථාන්විත වන ඉතාම වැදගත් ආකාරයන් දෙකක් වන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමයි. දැනටමත් මේ අංශ දෙක තුළ පෞද්ගලිකකරණය නැගී එමින් තිබේ. මෙය වහා නතර විය යුත්තකි. ප‍්‍රමාණවත් අරමුදල් වෙන් නොකෙරෙන්නේ නම් මෙම අංශ දෙකම කඩා වැටෙනු ඇත. ඉන් ඇති වන රික්තය පුද්ගලික අංශය විසින් පුරවනු ඇත. පුද්ගලික අංශය මෙහෙයවනු ලැබෙන්නේ ලාභය සඳහා වූ ලෝභීත්වය මත විනා රටේ පීඩාවට පත්වූ ජනතාව කෙරෙහි වූ අව්‍යාජ හැගීමක් අනුව නොවේ. ඉහත කී සේවාවන් ආරක්ෂා කිරීම මේ රටේ දරුවන්ට සැබෑ පුරවැසියන් ලෙස නැගී සිටීම සඳහා අතිශය තීරණාත්මක ලෙස උපකාරී වනු ඇත.

මෙම සුබසාධන පරමාර්ථයන් මුදුන් පත් කරගැනීමට නම් රාජ්‍යය සතුව සංවිධානාත්මක ව්‍යුහයන් පැවැතිය යුතුය. වැදගත්ම ප‍්‍රශ්නය නම් එවැනි ව්‍යුහයන් ඇති කළ හැක්කේ කාටද? යන්නය. වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය විසින් ඡන්දදායකයා වෙත ඉදිරිපත් කොට තිබෙන්නේ දේශපාලන බලවේගයන් හි සංකීර්ණ එසේ නමුත් අතිශයින් අසාමාන්‍ය පෙලගැස්මකි. මෙම සංකීර්ණත්වය හා අසාමාන්‍යබව පැන නගින්නේ මෙම බලවේග වල අභිලාෂයන් සහ ප‍්‍රතිඥාවන් සලකා බැලීමේ දීය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරම අභිලාෂය ලෙස පෙනෙන්නට තිබෙන්නේ දූෂිත, පවුල්වාදී සහ අධිකාරිවාදී රෙජිමය නැවත බලයට ගෙන ඒමය. තමාට එරෙහිව එල්ල වී තිබෙන බරපතල චෝදනාවලින් ආරක්ෂා වීමටත් තමාගේ වැරදි වසා ගැනීමටත් එම පක්ෂයේ නායකත්වය බෙහෙවින් යුහුසුලූ වී තිබේ. ඔවුන් මේ සඳහා යොදාගන්නා සටන් පාඨය නම් දෙමළ ජනයාගෙන් රට ආරක්ෂා කිරීමේ උද්‍යොග පාඨයයි. මේ සඳහා සිංහල බෞද්ධ ප‍්‍රජාව අතර බිය සහ සැක සංකා පෝෂණය කිරීම ඔවුන් විසින් සිදුකරමින් සිටී. පසුගිය වර්ෂ ගණනාව තුළ මෙම මැතිවරණ උපාය මාර්ගය නැවත නැවතත් සාර්ථකව උරගා බලන ලදී. ඔවුන්ගේ මෙම අසම්මුතිකාමී, බලය බෙදීමට විරුද්ධ ව්‍යාජ දේශපේ‍්‍රමී ව්‍යාජෝක්තීන් වාර්ගික ප‍්‍රතිසන්ධානය වෙනුවට බරපතල වාර්ගික අසමගියක් ජනනය කිරීමෙහිලා හේතු වනු ඇත.

ජවිපෙ මහජන රැලි සහ රූපවාහිනි වැඩසටහන් තුළ රාජපක්ෂ රෙජිමයේ අවක‍්‍රියා හෙලිදරවු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පුරෝගාමීව හඩ නගන පක්ෂයක් ලෙස නමක් ඇති කරගෙන තිබේ. එහෙත් ඔවුන්ගේ ඉතිහාසය සහ ඔවුන්ගේ හැසිරීම ස්ථානගත වන්නේ ඔවුන්ගේ මෙම ප‍්‍රතිරූපයට සපුරා පටහැනි තැනකය. විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ව්‍යාපෘතිය විසින් සුරක්ෂිත කරනු ලැබූ බොහෝ අයිතීන් උල්ලංඝනය කරමින් ඔවුන් 1987-89 කාලයේ දී ක‍්‍රියා කළ අන්දම මෙහිලා සිහි කැඳවනු වටී. තම දේශපාලන අපරිණතභාවයෙන් තමුන් මිදී තිබෙන බවට ඔවුන් ප‍්‍රකාශ කළත් එම ප‍්‍රකාශවල වලංගුතාවය තවමත් එතරම්ම පැහැදිලි නැත. දෙමළ ජනතාවට බලය බෙදාහැරීම වෙනුවෙන් පෙනී සිටි බොහෝමයක් වාමාංශික නායකයින්, පුරෝගාමී ක‍්‍රියාධරයින් සහ නම් දත් නොදත් විශාල පිරිසක් සහෝදරවරුන් මරා දමමින් තමුන් කළ වැරදි සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමක් එම පක්ෂය විසින් කළ යුතුව තිබේ. මෙවැන්නක් ඔවුන්ගේ ස්ථාවරය වඩාත් සවිමත් කිරීමට හේතුවනු ඇති අතර සියලූ වාර්ගික ප‍්‍රජාවන්ට සමානාත්මතාවයෙන් යුක්තව ජීවත් විය හැකි නූතන ශිෂ්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතියක් ලෙස රට ගොඩනැගීමට ඔවුන්ට තිබෙන හැකියාව සම්බන්ධයෙන් සහතිකයක් එබඳු සමාව ඉල්ලා සිටීමක් විසින් ලබාදෙනු ඇත. මෙවර මැතිවරණයේ දී සංඛ්‍යාත්මකව ජවිපෙ නියෝජනය වැඩි වනු ඇත. එහෙත් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් සහයෝගයක් එම පක්ෂය වෙත නැත. බලය බෙදීම සම්බන්ධ ඔවුන්ගේ ආකල්පය දේශපාලනික වශයෙන් යල් පිනූ එකක් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එකක් ද වන්නේය.

මෙවර මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කිරීමේ මැතිවරණමය හැකියාව පවතින්නේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සතුවය. එසේම ජනවාරි 08 වන දා ජයග‍්‍රහණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සම්බන්ධ හොඳම බලාපොරොත්තුව තැබිය හැක්කේද එම පෙරමුණ වෙතය. එසේම දෙමළ ජනතාව වෙත බලය බෙදාහැරීමේ පැකේජයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ඇත. එජාප ආණ්ඩුව ඉදිරිපත් කළ 13 වන සංශෝධනයට සහයෝගය දෙන අතර ජවිපෙ සන්නද්ධ ප‍්‍රතිවිරෝධයට මුහුණ දිමට සාම්ප‍්‍රදායිකව සිවිල් සංවිධානවලට සිදුවූ ඉතිහාසමය මොහොත හා වර්තමාන මොහොත අතර ඇත්තේ විශාල සාම්‍යත්වයකි. යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබාදෙන සිවිල් සංවිධානවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූත් සමාජ සාධාරණත්වයෙන් යුක්ත වූත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ දී කැපී පෙනෙන භූමිකාවට ඉටු කළ හැකි වනු ඇත. ජනවාරි මැතිවරණ ජයග‍්‍රහණයේ අපේක්ෂා සහ ඉන් ඔබ්බට විහිදෙන අපේක්ෂා වෙනුවෙන් සවිඥානික වන්නේ නම්, අනාගත රැඩිකල් හා වාමාංශික විකල්පයක් සඳහා මග පෙන්වන දර්ශකයක් බවට මෙකී සිවිල් සංවිධාන පත්වනු ඇත.

ස්වකීය දේශපාලනයේ විශ්වසනීයත්වය නැවත ගොඩනගාගන්නේ කෙසේද යන්න ගැනත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ සමාජවාදයේ රාමුව තුළ ස්ථානගත කරගන්නේ කෙසේද යන්න ගැනත් වාමාංශය නැවත බරපතල ලෙස සිතා බැලිය යුතුය. එය ඉදිරියට ගෙන යාමට නම් අපට නැවත වතාවක් මුල සිට පටන් ගැනීමට සිදුවේ. අපගේ නව ව්‍යායාමය වන, රටේ ජීවත්වන සියලූ පුරවැසියන්ට අයත් වූ ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ ව්‍යායාමය ආරම්භ කිරීමේ දී සහ එය නැවත හැඩගැස්වීමේ දී එබඳු උත්සාහයක් සඳහා දේශපාලන අවකාශයක් විවෘත වී පවතී.

*2015 අගෝස්තු 07වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ “The Political Emancipation Of Sri Lanka” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.