3 May, 2024

Blog

රනිල් ජනාධිපති වීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද? (3)

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

ශෝක වීමේ දිනය

මේ වර්ජනය පසුපස කොටි හස්තය ක‍්‍රියාත්මක වූ ආකාරය දැන් කවුරුත් දනිති. ජනාධිපතිවරණ දිනය, ශෝක දිනයක් වශයෙන් ප‍්‍රකාශයට පත්කොට ජනතාව ගෙවල්වලට වී සිටිය යුතු බවට නිවේදනය කෙළේ උතුරේ ක‍්‍රියාත්මක වූ ශිෂ්‍ය පෙරමුණක් විසිනි. මැතිවරණ රාජකාරිවල නිරත රජයේ නිලධාරීන් පවා නිවෙස්වලට වී සිටිය යුතු බවට එයින් නිවේදනය කෙරුණි.

රනිල් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර හොර ගිවිසුමක් ඇති බවත්, දෙමළ ඡන්ද කුට්ටිය පිටින් රනිල්ට පවරා දීමට එම ගිවිසුම අනුව කොටි සංවිධානය ක‍්‍රියාත්මක වෙන බවටත් කලින් චෝදනා කළ මහින්දවාදී කොටස්, දැන් කොටි සංවිධානය ජනාධිපතිවරණය වර්ජනය කිරීම දෙස කෙල හලාගෙන බලා ඉන්ට වූහ. රනිල්ව ජයග‍්‍රහණය කැරැුවීමට රහසින් ගිවිස ගත්තා යැයි කියන සංවිධානයක් දැන් එම මැතිවරණය වර්ජනය කිරීම තුළින් රනිල්ව ජයග‍්‍රහණය කරවන්නේ කෙසේද යන පැනයට පිළිතුරු නොදී ඒ මහින්දවාදී කොටස් අහක බලාගෙන ඉඳීම ඇත්තෙන්ම විහිළුවකි.

වික‍්‍රමසිංහගේ හිතවාදීන් සහ ජාත්‍යන්තර ප‍්‍රජාවේ ඇතැම් කොටස් මේ අළුත් තත්වයෙන් බලවත් සේ විමතියට පත්වූහ. ඔවුන් සහ කිලිනොච්චිය අතර හදිසි පණිවිඩ එහාමෙහා ගියේය. ජාත්‍යන්තර ප‍්‍රජාවේ ඇතැම් නියෝජිතයන් සහ රටේ තවත් විවිධ දේශපාලඥයන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මේ තීරණය ගැන නැවත සිතා බලන සේ ආයාචනා කරන්ට විය. තවත් සමහරු ලන්ඩන් නුවර දී ඇන්ටන් බාලසිංහම්ව හමු වී සාකච්ඡුා කළහ. කඳුරට ජනතා පෙරමුණේ හිටපු නායක පී. චන්ද්‍රසේකරන් කිලිනොච්චියට ගියේය. එහිදී තමිල් චෙල්වම්ව හමු වීමෙන් පසු වව්නියාවට පැමිණි ඔහු වික‍්‍රමසිංහට ටෙලිෆෝන් කෙළේය. අනතුරුව නැවතත් කිලිනොච්චියට ගොස් යළිත් වරක් තමිල් චෙල්වම්ව මුණගැසුණේය. ඊට අමතරව, දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් පිරිසක් ද වික‍්‍රමසිංහ වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට කරුණු කියා සිටියහ.

මේ ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිඵලයක් වශයෙන්, අදාළ වර්ජනය තමන් අකුරට ක‍්‍රියාත්මක කරන්නේ නැති බවට, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිලිනොච්චි නායකත්වය සහතික විය. වර්ජනයක් සඳහා තමන් නිල කැඳවීමක් කළත් එය හුදු ප‍්‍රකාශනයකට පමණක් සීමා කරන බවට ඔවුහූ සපථ කොට සිටියහ. ඒ අනුව, ගත යුතු තීරණය ජනතාවටම භාර කෙරෙනු ඇත. එම ජනතාව තමන්ගේ ඡන්දය අයිතිය පාවිච්චි කරන්නේ නම්, ඊට හරහට සිටීමට තමන් ඉදිරිපත් නොවන බව ඔවුහූ කියා සිටියහ.

මේ වනාහී, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඇටුවම් බැස්ස දෙපිටකාට්ටු ස්වරූපයයි. එහෙත්, එක්සත් ජාතික පක්ෂය එදා ඔවුන්ව විශ්වාස කෙළේය. කොටින්ට නොරැුවටෙන්නැ යි, ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගට වරක් මා කීවා මට මතකයි. එහෙත් ඔහු කෙළේ මගේ අවවාදය එක කණකින් අසා අනිත් කණින් පිට කිරීම පමණි. පසුව කොටින්ගේ සැබෑ නිය එළියට ආ පසු ඔහු ඒ ගැන මගෙන් සමාභජනය කෙළේය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය

එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, කොටින්ගේ ‘වචනය’ භාරගත්තේය. ඒ ගැන එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සෘජු ගනුදෙනුවකට වික‍්‍රමසිංහ සූදානම් නොවීය. එදා ඔහුට අවශ්‍ය කළ එකම දෙය වුණේ, බලහත්කාරයෙන් වර්ජනයක් දියත් කිරීමෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය වැළැකී සිටිනු දැකීම පමණි. තීරණය කිරීම දෙමළ ජනතාවට භාර කරන්නේ නම්, ඔවුන් තමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන බවට විශ්වාසයක් වික‍්‍රමසිංහට තිබුණි.

ඉතිං, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතය වෙනස් වී ඇති බවට, දකුණේ ඇතැම් පුවත්පත් වාර්තා පළකෙළේය. එදා කොටි හොරණෑව වූ ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවිය තමන්ගේ ස්ථාවරය ‘පැහැදිළි කිරීම’ සඳහා වික‍්‍රමසිංහ සමග සම්මුඛ සාකච්ඡුාවක් ඉල්ලා සිටියේය. ඉතා නිවැරදිව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ වික‍්‍රමසිංහ, කොළඹ පුවත්පතකට දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවක් දෙමින්, රූපවාහිනී නාලිකාවක් ඔස්සේ තම ස්ථාවරය පැහැදිළි කෙළේය. එහි දී දෙමළ ප‍්‍රශ්නය ගැන තම මතය ඔහු දීර්ඝ වශයෙන් විස්තර කරන්ට විය. ඒ මගින්, ඊට කලින් මිලින්ද මොරගොඩ සහ නවීන් දිසානායක කර තිබු ප‍්‍රකාශයන් නිසා ඇතිව තිබූ සැකසාංකා, බොහෝ කොටි හිතවාදීන්ගේ සිත් තුළින් පහ විය. එහෙත්, අනිත් පැත්තට එසේ දෙමළ ප‍්‍රශ්නය ගැන සංවේදී වීම, සිංහල ඡන්ද යම් ප‍්‍රමාණයක් වික‍්‍රමසිංහට අහිමි කිරීමටත් හේතු විය.

බලහත්කාර වර්ජනය දියත් වුණේ මේ පසුබිම යටතේ ය. මැතිවරණයේ දී ‘මැදිහත් නොවී සිටීමට’ සපථ කළ කොටි සංවිධානය, තමන්ට සුපුරුදු පරිදි එම සහතිකය පසෙක ලෑවේය. අනතුරුව, දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැක්වීමට කෙලින්ම වැඩට බැස්සේය. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා තමන් යැයි කීව ද, ඔවුන්ව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැක්වීමට බරපතල භීෂණ ව්‍යාපාරයක් අහිංසක සිවිල් වැසියන් අතරේ දියත් කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සිදුවිය.

තැන් කිහිපයක බෝම්බ පුපුරා ගියේය. ඡුන්දයට ඔන්න මෙන්න කියා තිබියදී, ඊ.පී.ඞී.පී. කාර්යාල පහකට ග්‍රෙනේඞ් ප‍්‍රහාර එල්ල වුණි. එසේම පොලිස් මුර සංචාරක වාහනවලටත්, හමුදා මුරපොළවල්වලටත්, ග්‍රෙනේඞ් සහ බෝම්බ ප‍්‍රහාර එල්ල කෙරුණි. යාපනේ හින්දු විද්‍යාලයේ ක‍්‍රීඩා පිට්ටනියේ දී, තරුණයෙකුව ප‍්‍රසිද්ධියේ වද දී මරා දැමුණි. මඩකලපුවේ උප තැපැල් ස්ථානාධිපතිනියක් ඡන්ද පත‍්‍රිකා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ ඒවා භාර දීම ප‍්‍රතික්ෂේප කිරීම උඩ මරා දැමුණි.

මැතිවරණ දවසේ උදේ පාන්දර සිට මේ ප‍්‍රචණ්ඩත්වය දිගටම ක‍්‍රියාත්මක විය. රජයේ කාර්යාල, ඡන්ද මධ්‍යස්ථාන, ආරක්ෂක මුරපොලවල් සහ යානවාහන බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්වුණි. ටයර් සහ තල් අතු හන්දි ගානේ ගොඩගසා ගිනි මැලවල් දැල්වුණි. මාර්ග බාධක ඇති කෙරුණි. ඡන්ද පාවිච්චි කිරීමට එන්නේ කවුරුන්දැ යි බැලීමට තරුණයෝ ඒ මේ අත ගියහ. එල්.ටී.ටී.ඊ. මෝටර් බයිසිකල් වීදි සංචාරය කෙළේය. ඡන්දය පාවිච්චි කිරීමට යමින් සිටි බොහෝ මහල්ලෝ පහර කෑමට ලක්වූහ. බස් සහ වෙනත් වාහනවලට ගල් ගැසුණි. ගිනි තැබුණි. ඡන්දය පාවිච්චි කොට පැමිණෙන එක් අයෙකුගේ තීන්ත ගෑ ඇඟිල්ල කපා දැමුණි. මේ සමස්ත ක‍්‍රියාවලිය හරහා දුන් පණිවිඩය ඉතා පැහැදිළි විය: ඡන්දය දැමීමෙන් වළකිනු.

බරපතල චෝදනාව

‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මණ්ඩපය’ ප‍්‍රකාශයක් නිකුත් කරමින් බරපතල චෝදනාවක් එල්ල කෙළේය: ‘‘නව වාමාංශික පෙරමුණ මගින් ඡන්ද පොළ නියෝජිතයන් වශයෙන් පත්කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව එල්.ටී.ටී.ඊ. සංවිධානය පාවිච්චි කෙළේ, ඡන්ද පොළවල් ඇතුළේ සිටි ඡන්දදායකයන්ව බිය ගැන්වීමටත්, එසේ ඡන්දය පාවිච්චි කරන්නන්ව හඳුනා ගැනීමත් සඳහා ය.’’ මෙය සැබවින්ම ඉතා භයානක තත්වයක් විය.

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති ප‍්‍රදේශවල සිට ආණ්ඩුවේ පාලනය ඇති ප‍්‍රදේශවලට ඡන්දදායකයන්ව ගෙන ඒම සඳහා බස් රථ යොදවා තිබුණි. එහෙත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වර්ජනයක් දියත් කර ඇති නිසා ඡන්දය පාවිච්චි කිරීමට කවුරුත් බිය වූහ. යාපනය දිස්ත‍්‍රික්කයේ ඡන්දය පාවිච්චි කළ ප‍්‍රතිශතය වුණේ සියයට 1.5 ක් පමණි.

මුළුමණින් කොටි පාලනය යටතේ පැවති කිලිනොච්චි ඡන්ද කොට්ඨාශයේ ඡන්දය පාවිච්චි කෙළේ එක පුද්ගලයෙකු පමණි. මෝටර් සයිකලයකින්, කාරයකින් සහ අනතුරුව බසයකින් ඡන්ද පොළට පැමිණි බව කී මේ තනි පුද්ගලයාව ඡන්ද නිලධාරියෝ සහ මාධ්‍යකරුවෝ වට කරගත්හහ. එහෙත් ඔහුව එවා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බව හෙළි විය. කිලිනොච්චියෙන් පාවිච්චි වු එකම ඡන්දය වැටුණේ රනිල් වික‍්‍රමසිංහටයි. විහිළුව වන්නේ, මේ එක ඡන්දය ගණන් කොට අවසන් වුණේ රාත‍්‍රී 9.13 ට වීමයි.

(ඊළඟ කොටස හෙට)

*2014 ඔක්තෝබර් 24 වැනි දා “How The LTTE Enforced A Boycott In 2005 To Prevent Ranil Becoming President” නමින් පළ වූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.