19 April, 2024

Blog

ශ්‍රී ලංකාවේ අන්තර් කාලීන ආණ්ඩු කතිකාව

ධම්ම දිසානායක

ධම්ම දිසානායක

සමහර විට ඔබ මෙම ලිපිය කියවන මොහොත වනවිට පරණ කෙනෙක් ලංකාවේ අලුත් අගමැති ලෙස පත් වී තිබෙන්නට පුළුවන. එසේම පරණ මන්ත්‍රීන් අලුත් ඇමතීන් ලෙස පත් වී තිබෙන්නටත් පුළුවන. එහෙත් පරණ ජනතාව පරණ සහ අලුතින් එකතුවෙන දහසකුත් එකක් වූ ප්‍රශ්න ගැටළු සහ පීඩාවන්ට කිසිදු වෙනසකින් තොරව මුහුණ දෙමින් සිටිනවා ඇත. සිදුවෙන වෙනස්කම් මහා ජනකායකගේ යහපැවැත්ම සඳහා උපකාරී වන්නේ සහ ගලපා ගන්නේ කෙසේ ද යන්න අප සියල්ල ඉදිරියේ ඇති ප්‍රමුඛ අභියෝගය ය. අන්තර් කාලීන ආණ්ඩුවක් මිස තවත් ආණ්ඩුවක් අපේක්ෂා නො කරන මෙරට සිතන මතන පුරවැසියන්ගේ අභිලාශ යටපත් වන්නේ නම් ප්‍රශ්නවලට සහ අර්බුදයට උත්තරත් විසඳුනුත් නැතිව රට නැවත පරණ පාරටම වැටෙනු ඇත. අයාලේ යනු ඇත. මහජන පීඩාව දෙගුණ තෙගුණ වනු ඇත. දේශීයවත් ජාත්‍යන්තරවත් මේ රටේ රාජ්‍යය අසමත් නොව කඩා වැටුණු ලැයිස්තුවලට එකතු වනු ඇත. විවිධ ධනකාමී සහ බලකාමී න්‍යාය පත්‍රවල ගොදුරක් වනු ඇත. අන්තර් කාලීන ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඒ ඉරණමෙන් රට රාජ්‍යය ගලවා ගැනීමට ය. 

රට තුල සිදුවෙන තීරණාත්මක කතාබස්වලින් පැහැදිලිවනුයේ ආණ්ඩුවක් මිස අන්තර් කාලීන ආණ්ඩුවක් පිළිබඳව අරමුණක් සහ විධිමත් අදහසක් බොහෝ දේශපාලකයින්ට නොමැති බවය. ඒ තත්ත්වය ජනසමාජයටත් අදාලය. ඒ නිසා ඊට අදාළ පැහැදිළි කිරීමක් සමාජගත කළයුතු බව මගේ අදහස ය. මෙම ලිපියේ අරමුණ එයය. 

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික, දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය සහ අර්බුදය විසඳා ගැනීමේ එක මූලෝපායක් ලෙස යෝජනා වී තිබුණේ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමය. එය, දිවයිනෙහි දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන, ආගමික සංවිධාන, බුද්ධිමතුන් සහ මත සකසන්නියන් වෙතින් ඉදිරිපත්ව සංවාදයට බඳුන් ව ඉදිරිපත්වුණ ප්‍රබල යෝජනාවකි. බලයේ සිටින ජනාධිපති සහ හිටපු ආණ්ඩුව ද කල් පසුවී හෝ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ලා සිය කැමැත්ත සහ මැදිහත් වීම ප්‍රදර්ශනය කළේය. ඒ 2022 අප්‍රේල් මුල සිට රට පුරා මතුවුන ආණ්ඩු සහ පාලක ප්‍රභූ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරවලට ප්‍රතිචාරයක් වශයෙනි. නමුත් පසුගිය මැයි 9 වැනිදා සිදුවීම් මාලාවත් සමඟ අන්තර්කාලීන ආණ්ඩුවක් පිලිබඳ අදහසට වඩා අලුත් අගමැති කෙනෙකු සහිත අලුත් ආණ්ඩුවක් පිලිබඳ අදහස ප්‍රබල වී ඇත. 

මෙය මුළුමනින් ම වෙනස් එළඹුමකි. ව්‍යවස්ථානුකුල රාමුවට අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගත හැකි යැයි ජනාධිපතිට හැඟෙන මන්ත්‍රීවරයෙකු අගමැති ලෙස පත් කළ හැකි බව ඇත්තකි. එසේම ඒ අගමැතිගේ අනුදැනුම ද සහිතව ඇමති මණ්ඩලයක් ද පත් කරගත හැකිය. සර්ව පාක්ෂික වුවත් එය බල දේශපාලන ආකෘතියක් වීම අනිවාර්ය කරුණකි. ඒ ඒ පක්ෂ, ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, ලේකම්කම්, සභාපතිකම්, තානාපතිකම්, ආණ්ඩුකාරකම්, සහ විෂයපථ වැනි දේවල් සඳහා කේවල් කිරීම්, මෙවැනි ආණ්ඩුවක සාමාන්‍ය තත්ත්වයක් ය. එනම් පරණ පක්ෂ, කල්ලි, සහ තනතුරු ගැටුම් අලුත් ආණ්ඩුවටත් පොදු කාරණා ය. එසේම පැරණි සටකපට බල ක්‍රීඩාව අලුත් ආණ්ඩුවේත් බලවත් වෙනු ඇත. ජාතික අභිලාශ වෙනුවට තම බලය තහවුරු කරගැනීමේ සහ ඊ ළඟ වතාවේ බලය ලබාගැනීම සඳහා වන උපක්‍රම සහ කූටෝපායන් ප්‍රබල වෙනු ඇත. ඒ බල අරගලවලට නොදෙවෙනි ආකාරයෙන් ධන අරගලත් බලවත් වෙනු ඇත. එසේ වුවහොත් අලුත් ආණ්ඩුව පරණ වැඩේටම බසිනු ඇත; එහි ම ගොදුරක් වනු ඇත.  

නමුත් අන්තර්කාලීන ආණ්ඩුවක් යනු ඊට වෙනස් එකකි. එය ජාතික අභිලාශ මිස බල-දේශපාලන අරමුණු කේන්ද්‍ර කරගත යුතු එකක් නොවේ. අන්තර් කාලීන ආණ්ඩුවකට එළඹෙන සියලු පාර්ශව ජාතික අරමුණු සහිතව ජාතික අර්බුද, ව්‍යසන, අස්ථාවරතා, පිටුදැකීමේ අවංක ජාතික අරමුණු සහිතව එය පිහිටුවා ගත යුතු ය. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අන්තර් කාලීන ආණ්ඩුවක් යනු පොදු ජාතික අරමුණක් වෙනුවෙන් කැපවුණු දේශපාලන එකමුතුවක් විය යුතු දෙයකි. අන්තර් කාලීන ආණ්ඩු සංකල්පය සහ ක්‍රියාවලිය ගෝලීය සන්දර්භය තුළ දීර්ඝ ඉතිහාසයක් ඇති සුලබ ප්‍රපංචයක් වුව ද ශ්‍රී ලාංකීය සමාජ-දේශපාලන සම්භාෂණය තුල එය එතරම් ජනප්‍රසිද්ධ නැත. මෙම පැහැදිලි කිරීම වඩාත් වැදගත් වනුයේ ඒ නිසාය. අවබෝධයක් නැති නිසා පරණ අනුපාන සහිත අලුත් ආණ්ඩුවකට අන්තර් ආණ්ඩුවක් කියා රැවටෙනු ඇත. ඉන් වැලැක්වීම මේ ලිපියේ අරමුණ ය.

අන්තර්කාලීන ආණ්ඩුවක් යනු සාමාන්‍ය කාලයක් සඳහා සාමාන්‍ය ජනවරමක් සහිත නව ආණ්ඩුවක් තේරී පත්වන තෙක්, පවතින කෙටි කාලයකට ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීම සඳහා කෙටි කාලීන ජනවරමක් සහිතව විධිමත් ලෙස පිහිටුවන ලද තාවකාලික ආණ්ඩුවකි. පාලන තන්ත්‍ර බිඳවැටීම, සාකච්ඡා මත එළඹෙන ගිවිසුම්, විශේෂ මැතිවරන හෝ ජාත්‍යන්තර මැදිහත්වීම ඇතුළු විවිධ තත්වයන් යටතේ අන්තර්කාලීන ආණ්ඩු නිර්මාණය වේ. ඒවා ජාතික හෝ උපජාතික මට්ටමින් පැන නැගිය හැකි අතර, සංයුති අසංඛ්‍යාත ප්‍රමාණයක් තිබිය හැක. එනම් ජාතික, ජාත්‍යන්තර හෝ මිශ්‍ර, එක් පක්ෂයක් හෝ බලය බෙදාගැනීමක්, සිවිල්, හමුදා හෝ දෙමුහුන් යනාදී වශයෙනි. මූලික රාජ්‍ය සේවා සැපයීමේ හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සිට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වැනි විශේෂ කාර්යයන් දක්වා ඔවුන්ගේ අභිනියෝග (mandate) නැතහොත් කාර්ය පරාසය  හෝ කාර්ය වපසරිය පවතී.

ෂේන් සහ ලින්ස් (Shain and Linz,1995) දක්වන ආකාරයට අන්තර්වාර ආණ්ඩු වර්ග හතරක් වේ. එනම් 1.විපක්ෂයේ නායකත්වයෙන් යුත් තාවකාලික ආණ්ඩු, 2.බලය බෙදාගැනීමේ අන්තර්කාලීන ආණ්ඩු, 3.බලයේ සිටින භාරකාර ආණ්ඩු සහ 4.එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අන්තර්වාර ආණ්ඩු වශයෙනි.

අන්තර්කාලීන ආණ්ඩු පිලිබඳ පැරණි උදාහරණ කීපයක් ම තිබුණ ද 1946 සැප්තැම්බර මස ඉන්දියාවේ පිහිටුවන ලද අන්තර්කාලීන ආණ්ඩුව පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ වැදගත් සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. එම අන්තර්කාලීන  ආණ්ඩුව යනු ඉන්දීය ජාතික කොංග්‍රසය, සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය සහ කොංග්‍රස් නොවන, ලීගවලට අයත් නොවන දේශපාලන චරිතවල අද්විතීය සභාගයකි. එහි මුලසුන් දැරුවේ යටත්විජිත ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර මවුන්ට් බැටන් සාමිවරයා ය. උප සභාපති වූයේ ජවහර්ලාල් නේරු ය. 1946 සිට මාස එකොළහක් පැවති එම ආණ්ඩුවේ තාවකාලික පැවැත්ම අධිරාජ්‍යයේ විධිමත් පිටවීම සහ වෙන්ව යාමේ අපේක්ෂාව එසේම නිදහස් ඉන්දියාවක ආරම්භය සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වී තිබිණ. 

රොබර්ට් ෆොස්ටෙර් (2020) දක්වන ආකාරයට අන්තර් කාලීන ආණ්ඩුවක් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලමකි. අන්තර්කාලීන ආණ්ඩුකරණ විධිවිධාන සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී අංග කීපයක් තීරණාත්මකය. ඒ අනුව අන්තර් කාලීන ආණ්ඩුවක් යනු රටක පවතින  දේශපාලන හෝ ප්‍රචණ්ඩකාරී අර්බුදයෙන් වඩාත් සාමකාමී, ඇතුළත් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කරා ‘පාලමක්’ නිර්මාණය කිරීම සඳහා පිහිටුවා ගනු ලබන ආයතනික රාමුවකි.  හැබැයි ඒ පාලම මත අධික බරැති පරණ වාහන නොපැටවිය යුතුය. එසේම වැඩි බර නොපැටවිය යුතු ය. මන්ද පාළම කඩා වැටීමට ඉඩ ඇත.  

අන්තර්කාලීන විධිවිධාන සැලසුම් කිරීම තුළ සංරචක තුනක් අඩංගු වේ. එනම්, (අ) ප්‍රධාන පාර්ශවකරුවන් අතර බලය බෙදාගැනීමේ ආණ්ඩුවක් පිහිටුවීම (ආ) පසමිතුරුකම්/සතුරුකම් අත්හිටුවීමට කැපවීම සහ (ඇ) සාමාන්‍ය මැතිවරණයක් හරහා පශ්චාත් සංක්‍රාන්ති ආණ්ඩුවක, එනම් අන්තර් කාලීන ආණ්ඩුවකට පසු  මැතිවරණයකින් තේරීපත්වන ආණ්ඩුවකට බලය පැවරෙන යාන්ත්‍රණයක් සකස්කිරීම යන ඒවාය. 

එසේම අන්තර් කාලීන ආණ්ඩුවක ප්‍රමුඛ ක්‍රියාමාර්ග නැතහොත් ගමන් මාර්ග හතරක් තිබිය යුතු ය. එනම් දේශපාලන ගමන්මඟ, ආරක්ෂක ගමන්මඟ, ව්‍යවස්ථා ගමන්මඟ , සහ ආර්ථික ගමන්මඟ වශයෙනි. මේ ගමන්මඟවල් තුන එක්තරා ආකාරයකට අන්තර්කාලීන ආණ්ඩුවක සීමාමායිම් ලකුණු කරන්නකි. මන්ද අන්තර්කාලීන ආණ්ඩුවකට වැඩි කාර්යභාරයක් පවරන්නේ නැත. පවරන්නේ කාර්යයන් අඩු ගණනකි. එනම් හතරක් හෝ පහක් වැනි ප්‍රමාණයකි. එහෙත් ඒ හතර හෝ පහ රටේ 1. ප්‍රජාතන්ත්‍රීය යහආණ්ඩුකරණයට සහ යහපැවැත්මට, 2.ආර්ථික ස්ථාවරත්වයට, 3.දේශපාලන ස්ථාවරත්වයට, සහ 4.නෛතික ස්ථාවරත්වයට  අතිශයින්ම වැදගත් අතිශයින්ම අදාල අතිශයින්ම තීරනාත්මක කාර්යයන් ය. එකී කාර්යයන් වෙනුවෙන් ජාතික අරමුණු සහගතව කැපවීමෙන් වැඩකිරීම අන්තර් කාලීන ආණ්ඩුවක වගකීමය. 

එම වගකීම් ඉටුකිරීම සඳහා අවශ්‍ය වැදගත්ම කොන්දේසියක් වන්නේ ජනසමාජය තුළ අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් වන විශ්වාසය ගොඩනැගීමය. ආර්ථික දේශපාලන නෛතික සහ සමාජයීය වශයෙන් වූ පිපුරුම් සහ අස්ථාවරතා සහිත සමාජයක එය ලෙහෙසි පහසු නැත. විශේෂයෙන්ම පැරණි දේශපාලක පන්තිය හෝ ප්‍රභූන් කෙරහි වන අවිශ්වාසය සහ ප්‍රතික්ෂේපිත හැඟීම ඊට හේතුවක් විය හැකිය. එබැවින් අන්තර්කාලීන ආණ්ඩුවක පැරණි දේශපාලකයින් සිටීනම්, ඔවුන්ට අවංක ජාතික හැඟීමක් තිබේ නම්, කළ යුත්තේ තමන්ලා අලුත් ප්‍රජාතන්ත්‍රීය ජනතා න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට සුදානම් බව භාවිතාවෙන් ඔප්පුකර පෙන්වීමය. ඒ සඳහා කිසිම අයුරකින් ඊ ළඟ මැතිවරණයේ දී පුද්ගලික හෝ කණ්ඩායම් වාසි ලබාගැනීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුව පාවිච්චි නොකරන බවට වූ විශ්වාසයක් ගොඩනගා ගත යුතු ය. එසේම අන්තර්කාලීන ආණ්ඩුවේ සාමාජිකයින් ඊ ලඟට පැවැත්වෙන මැතිවරණය සඳහා තරඟ නොකරන බවට වූ පොරොන්දුවක් සමාජය හමුවේ තැබීමට හැකිනම් එය ජන විශ්වාසය ගොඩනැගීම සඳහා වන ප්‍රබල හේතුවක් වනු නො අනුමානය. එක්කෝ සිදුවිය යුත්තේ ඉහත කී ක්ෂේත්‍ර අරබයා වූ ප්‍රායෝගික සහ විශේෂඥ දැනුම ඇති අය අන්තර් කාලීන ආණ්ඩුවේ සැලකියයුතු පිරිසක් බවට පත් කිරීමය. 

කෙසේ වෙතත් රට මුහුණපා ඇති දැවැන්ත ආර්ථික-සමාජ අර්බුදය සුළුපටු නැත. එය අති දැවැන්ත මානුෂයීය අර්බුදයකි; ඛේදවාචකයකි. එය විසඳා ගැනීම කෙසේ වෙතත් අවම හානි සිදුවන තත්ත්වයකට පත්කර ගැනීම සඳහාවත් අවශ්‍ය වනුයේ බලය සහ ධනය වෙනුවෙන් ගැටෙන අලුත් බල-දේශපාලන ආණ්ඩුවක් නොව ජාතික අරමුණක් සහිත අන්තර් කාලීන ආණ්ඩුවක් ය. එය සර්ව පාක්ෂික හෝ සර්ව පාර්ශවීය ගුණයෙන් යුක්තවන්නේ නම් වඩා පලදායී ය. එහෙත් එකී පක්ෂ සහ පාර්ශව අර්බුදයට මුහුණ දීමේ පොදු ජාතික අරමුණකින් වැඩට බැසිය යුතුමය. 

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    Dear Dhamma,
    .
    අපි මොහොතකට සිතමු, අද සන්දර්භය තුළ මේ මොහොතේ තීරණාත්මක හරි දේ කුමක්ද, අපගේ බොහෝ මිනිසුන් දෛනික ප්‍රශ්නවලදී අනපේක්ෂිත දේවලට මුහුණ දෙයි.
    අනෙක් සියලුම නායකයින් එම ආරාධනාව පිළිගත්තේ නැත. සජිත් සහ අනුර ප්‍රතිචාර දැක්විය යුතුව තිබුණේ ජනතාවට පක්ෂව ය. කෙසේ වෙතත්, නායකයින් දෙදෙනාම ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වැඩිය. ඒ නිසා වෙන්න ඇති ගෝඨා රනිල්ව ඒ තනතුරට පත්කරන්න. ඒ වගේම පාර්ලිමේන්තුවක් නැතිව ව්‍යවස්ථා අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? අපිට එකට වැඩ සිංදු කියන්න පුළුවන්, නමුත් තීරණ ගන්න නම් අපි තීරණ ගන්න ඕනේ, මට ප්‍රේමදාස සහ දිසානායක දෙන්නම වගකීම් විරහිතව ප්‍රතිචාර දැක්වූවා.
    .
    උපන් ශ්‍රී ලංකිකයෙකු ලෙස දැන් විදේශගත වී සිටින මගේ අවබෝධයට අනුව වඩාත් තීරණාත්මක වන්නේ ජාතියට අත්‍යවශ්‍ය දෑ ඉටුකරමින් කිසිඳු ප්‍රශ්නයක් නොමැති සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම බව මම සිතමි. එය සාක්ෂාත් කර ගත හැක්කේ බලගතු විදේශ රටවල සෘජු සහයෝගයෙන් පමණි. යුක්තිය ඉටු කිරීම මත පදනම් වූ අනෙකුත් සියලුම තර්ක සහ අනෙක් සියල්ල පසුව පැමිණේ. ඔහුගේ රජයට යුරෝපා සංගමය, ඇමරිකාව, ජපානය, චීනය සහ ඉන්දියාවේ බලවත් ජාතීන්ගේ හදවත සහ මනස දිනා ගත හැකි නම් නව අගමැතිට එම කාර්යය කළ හැකිය.
    ජාතිය ඉදිරියේ ඇති තත්වය ඔහුගේ අවසාන කාලයට ටික කලකට පෙර මාරාන්තික රෝගියෙකුට සමාන වේ. ජනතාවගේ ඉන්ධන, ඖෂධ සහ දෛනික අවශ්‍යතා ආරක්ෂා කළ හැකි කිසිවක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ නොමැත. මිනිසුන් එය තේරුම් නොගත්තේ නම්, දූපත් ජාතිය පැයෙන් පැයට තවත් ගැඹුරට වැටෙනු ඇත. …. මන්දපෝෂණය, තරුණ අසහනය සහ අනෙකුත් සියල්ල ඉස්මතු වනු ඇත. මේක srialnka ට නෙවෙයි කිසිම රටකට පොදුයි. ඉන්ධන සම්පත් සහ අනෙකුත් පෘථිවි සම්පත් සමඟ අප බලවත් නම්, ඇත්ත වශයෙන්ම, අපගේ ප්‍රදර්ශන මිනිසුන් අපෙන් බලාපොරොත්තු වන පරිදි අපි උද්‍යෝගයෙන් ප්‍රතිචාර දක්වන්නෙමු.

  • 3
    0

    කියමනක් තියෙනවා කන්න ඕන නම් කබරගොයා තලගොයා කරන්න ලෑස්තියි කියලා. මාධ්‍ය භූමිකාව වී ඇත්තේ ගණිකාවන් මෙන් ප්‍රතිචාර දැක්වීමයි. මේ ජාතියට හැම විපතක්ම පාහේ නිර්මාණය කරන්නේ ඔවුන්ය. රනිල් පිළිතුරු දුන් අතර, සියලු දුෂ්කරතා මධ්‍යයේ චර්චිල්ට හැකි නම් ඇයි බැරි
    රනිල් – කෙසේ වෙතත් එය ප්‍රති තර්කයක් ඉදිරිපත් කරමින් ඉදිරියට ගෙන යාමට මාධ්‍යවේදීන් බුද්ධිමත් නොවීය. ඒක තමයි මේ රටේ ලාංකීය දේශපාලනයේ ස්වභාවය.
    එසේම, වත්මන් තත්ත්වය මත පියාසර කරන සියලු උපකල්පන සහ උපකල්පන තොරතුරු ඕපාදූප පමණි. එය වෙන්කර හඳුනා ගැනීමට මිනිසුන්ට අවම දැනුමක් නැත. එය වඩාත් ශෝචනීයයි. OLEVEL වත් නැති අන් අයට වඩා රනිල්ට සහය දීමට සතුටු වන බව Wigie ගේ ප්‍රකාශය. මම හිතන්නේ විශාල ජනතාවක් එය ඔබ්බට දැකීමට උත්සාහ කළ යුතුයි.
    NPP/JVP කිසිදා එය සාක්ෂාත් කර නොගනු ඇත, ඔවුන් ඉඩ දීමට සහ තත්වය විශාල පින්තූරයකින් දැකීමට සූදානම් නොවන්නේ නම්. ශ්‍රී ලාංකීය ජනතාවගේ ඇසට අලුත් නොවුනත්, ඔවුන්ගේ දේශපාලන පෙළපාලි සඳහා ඔවුන් රැස්වන රැස්වීම් දෙස බලා ඔවුන් ප්‍රීති ඝෝෂා නඟනු ඇත. කෙසේ වෙතත්, ඡන්දය ප්‍රකාශ කරන විට, ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි තවමත් විශ්වාසයක් නැත. ඔවුන් මැර ප්‍රහාරයන් සතුටු කරන්නන්, පරස්පර විරෝධී ලෙස, යුක්තිය ඉටු කිරීම ගැන වෙනත් යමක් පවසති. මේ සියල්ල ඔවුන් තුළ සහජයෙන්ම තහවුරු වී ඇති පරිදි පවතිනු ඇත. ඇත්තටම මම දන්නේ නැහැ මේ රටේ සැබෑ ගැලවුම්කරුවා කවුද කියලා. අරගලය තුලින් මතුවන අපේක්ෂකයෙකු විය හැක. ඔහු හෝ ඇය යෞවනයෙකු වනු ඇත, නමුත් ඔවුන්ගේ සංවිධානය පළපුරුදු පුද්ගලයින්ට එය සෑදූ පසු ඒ අනුව ක්‍රියා කිරීමට ඉඩ දෙනු ඇත.

  • 3
    0

    සියලු ගැලවුම්කාරයා ලෙස චෙරිපික් කිරීමට දේශපාලන මිනීවළේ වළ දැමූ පුද්ගලයා පරස්පර විරෝධී ය. විදේශගත වූ අපට හෝ රටේ සමහර කොටස්වලට මෙය රස නැති දෙයක් ලෙස පෙනෙනු ඇත, නමුත් රට තුළ ජීවත් වන සහ දවස අත්විඳින අයට එය එසේ නොවේ. එය අඩු වැඩි වශයෙන් කුණු ගොඩවල් ආසන්නයේ පදිංචිව සිටින අයගේ ඉරණමට සමානය.
    කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ කැඩපතයි. අපේ රන්ජන් පැහැදිලිවම කිව්වා වගේ දේශපාලකයන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් බනින්න වෙනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.