1 July, 2022

Blog

රනිලාගමනයෙන් පසු ගෝඨාගෝගම

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

රනිල් ප්‍රයානය

අර්බුදයේ හෙළ බොහෝ ගැඹුරුය. සැබවින්ම එහි පත්ලක් නොපෙනේ. ඉදිරි කාලය නිසැකවම වඩා අසුබවාදී වනු ඇත. නව අග්‍රාමාත්‍යවරයා මේ කරුණුමය සත්‍යය නොසඟවා හෙළි කළේ එම තත්ත්වය නිර්මාණය වීම කෙරෙහි ඔහු කිසිසේත්ම වග කිව යුතු නැතැයි හැඟෙන පරිදිය. ඒ, සිංහල ජන වහරට අනුව මැරී ඉපදුණු අයෙකුගේ ස්වරයෙනි. එක් අතකින් රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව මැරී ඉපදුණු අයෙකු යැයි කීම සාධාරණය. මෙතෙක් මෙරට අධිපති ජාතිකවාදී කතිකාව තුළ දුෂ්ටත්වයේ සංකේතීය මූර්තිය වූ ඔහු දැන් කතිකාමය ලෙස නැවත උපත ලබා ඇත්තේ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගන්නා ගැලවුම්කරුවෙකුගේ වේශයෙනි.

රාජපක්ෂ කඳවුරේ ප්‍රධානතම දෘෂ්ටිවාහකයෙකු වන බෙංගමුවේ නාලක හිමියෝ පසුගියදා මාධ්‍ය ඉදිරියට පැමිණ රටේ ආර්ථික අර්බුදය විසඳිය හැකි එකම නායකයා රනිල් යැයි දෙසා වදාළහ. බටහිර ගැති රනිල්ව තම ජාතිකත්ව කඳවුරට සාදරයෙන් පිළිගන්නා බවට සිංහල ජාතිකවාදී නලින් ද සිල්වා නිවේදනය කළේය. විමල් වීරවංශගේ ඊනියා පක්ෂ දහයේ කණ්ඩායමත්, ශ්‍රීලනිපයත්, සමගි ජන බලවේගයත් තනතුරු භාරගෙන හෝ නොගෙන රනිල්ගේ ආණ්ඩුවේ සංක්‍රමණීය වැඩ පිළිවෙලට සහාය දෙන බවට ශපථ කොට තිබේ. මේ අනුව, දේශපාලන අර්බුදයේ අනිශ්චිත නිමේෂය තුළ සියළු විසඳුම් රැගෙන එන ‘දෛවයේ මිනිසාගේ’ භූමිකාවට පන පොවා ඇත්තේ මෙරට සිව්වරක් අග්‍රාමාත්‍ය ධූරය දරා ඇති නව-ලිබරල් යහපාලනවාදයේ නියමුවා වූ රනිල් වික්‍රමසිංහ ය.

සියළු දක්ෂිණාංශික ප්‍රවාහයන්හි ආශීර්වාදය හිමි කරගත් ලාංකීය දෛවයේ මිනිසා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසුව කළ පළමු ජාතිය ඇමතීමේදී තමන්ව හඳුන්වා ගත්තේ බර්ටෝල්ඩ් බ්‍රෙක්ට්ගේ කොකේසියන් හුණුවටය නාට්‍යයේ ගෘෂා මෙන් අනුන්ගේ දරුවෙකු රැගෙන දුෂ්කර වැල් පාළමක් තරණය කරන්නෙකු ලෙසිනි. නමුත්, ඔහුට එක් දෙයක් කීමට අමතක විය. එනම්, ඔහුගේ පණිවිඩය ලියැවී ඇත්තේ හෙන්රි ජයසේන විසින් සිංහලට පරිවර්තනය කරන ලද හුණුවටය නාට්‍යයේ වැල් පාළමේ ගීතයේ පදවැල අනුසාරයෙන් බවයි: “අපට පුතේ මගක් නැතේ – මේ මග මිස – යමන් පුතේ.” රනිල්ගේ පණිවිඩය වන්නේ අප මුහුණ දී සිටින මහා ව්‍යසනය හමුවේ අපට තෝරාගත හැකි වෙනත් විකල්පයක් නොමැති බවයි. “වෙනත් කිසිදු විකල්පයක් නොමැත” (there is no alternative – TINA) යන්න 1980 දශකයේදී නව-ලිබරල් ව්‍යාපෘතිය ඉහළට ඔසවමින් මාගරට් තැචර් දෙසූ කුප්‍රකට ධර්මයකි. රනිල් ආරම්භයේදීම අනුන්ගේ දරුවෙකු යැයි හඳුන්වන දරුවා (එයින් කුමක් අදහස වුවද) රැගෙන වැල් පාළම තරණය කිරීම කෙසේ වෙතත්, ඉදිරි කාලයේදී තැචරියානු වැල් පාළමේ ගීතය නම් නිසැකවම උස් හඬින් ගායනා කරනු ඇත!

වෙනස් වන පොළොව

අග්‍රාමාත්‍යවරයා ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ජේදය සඳහා සූදානම් වන්නැයි ජනතාවට ආරාධනා කරන අතරම මෙතෙක් කලක් මෙරට දේශපාලකයින් ප්‍රසිද්ධියේ කීමට මැලිවන බොහොමයක් දේ නොපැකිළව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට ඔහු කළ යෝජනාව එවැන්නකි. එම යෝජනාව ක්‍රියාවට නැගිය යුතුද නැත්ද යන විවාදය මදකට පසෙකින් තැබූවද, එවැන්නක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට හැකි වූයේ කෙසේද යන්න විමසා බැලීම වටී. මිචෙල් ෆූකෝ පෙන්වා දී ඇති පරිදි වඩා වැදගත් වන්නේ කිසියම් ප්‍රකාශනයක අන්තර්ගත තේරුමටත් වඩා එම ප්‍රකාශය කළ හැකි වූයේ/වන්නේ කවර තත්ත්වයන් යටතේද යන්නයි.

ලංකාවේ ජනප්‍රිය දේශපාලන සංවාදය තුළ රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය සතු සමාගම් පෞද්ගලීකරණය කිරීම යනු බොහෝ දේශපාලකයින් ප්‍රසිද්ධියේ පිළිගන්නට මැලි වන දෙයකි. 1980 දශකයේ අගභාගයේදී ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙන ලද ව්‍යුහාත්මක ගැළපුම් (structural adjustment) වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළේ පෞද්ගලීකරණය වෙනුවට ‘ජනතාකරණය’ යන අලංකාර යෙදුම භාවිත කරමිනි. නමුත්, දැන් අභිනව අග්‍රාමාත්‍යවරයාට ඉතාම පැහැදිලිව රාජ්‍යය සතු සමාගම් පෞද්ගලීකරණය කිරීම ප්‍රසිද්ධියේ යෝජනා කරන්නට හැකිව තිබෙනවා පමණක් නොව, ඔහු යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සඳහා ඔහුගේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවා සහයෝගය ලබාගත හැකිව තිබේ. මෙම පරිවර්තනය වටහාගැනීම ලාංකීය සමකාලීන දේශපාලන ක්‍රියාවලිය විශ්ලේෂණය කර ගැනීමේදී ඉතාම ප්‍රයෝජනවත්ය.

ආපදා ධනවාදය

ඉහත පරිවර්තනය කෙරෙහි බලපෑ සාධක ගණනාවක් පවතින බව නිසැකය. විශේෂයෙන්ම 1990 දශකයේ ආරම්භක අවදියේ පටන් නව-ලිබරල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් විවෘතව හෝ වක්‍රව පෙනී සිටින බුද්ධිමය ධාරාවක ක්‍රමානුකූල නැගීමක් සිදුවීම එවන් වැදගත් සාධකයකි. එම බුද්ධිමය ධාරාවේ උච්චාස්ථානය සලකුණු වූයේ 2015 ඊනියා ජනවාරි විප්ලවයෙනි. ඒ අතරම රනිල්ගේ ප්‍රකාශය වියහැකියාවක් බවට පත් කරන ලද තවත් ආසන්න සංසිද්ධීන් දෙකක් අඩුතරමින් අපට හඳුනාගත හැකිය. එනම්, කොරෝනා වසංගතය පසුබිම් කොටගෙන නිර්මාණය වූ ඊනියා නව-සාමාන්‍ය තත්ත්වය සහ ඉනික්බිති ආර්ථික අර්බුදය පසුබිම් කොටගෙන නිර්මාණය වූ අරාජක තත්ත්වයයි. මෙකී බහුවිධ අර්බුදය පසුබිම් කොටගෙන නයෝමි ක්ලයින් සඳහන් කරන ආකාරයේ ‘ආපදා ධනවාදයක්’ (disaster capitalism) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නට ප්‍රයත්න දැරෙමින් තිබේය යන්න මගේ අදහසයි.

ක්ලයින් ආපදා ධනවාදය යනුවෙන් හඳුන්වන්නේ ක්ෂණික අර්බුදයක් හමුවේ සමාජය ආතතියට සහ නිර්වින්දනයට ලක් වන තත්ත්වයක් හමුවේ නිදහස් වෙළඳපලවාදී ප්‍රතිපත්ති වේගයෙන් ක්‍රියාත්මක කරනු ලැබීමයි. එක්සත් ජනපදයේ කැත්‍රිනා සුළි කුණාටුව හමුවේත් ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය හමුවේත් එවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරුණු ආකාරය ක්ලයින් නිදසුන් කොට දක්වයි. නව-ලිබරල්වාදයේ පීතෘවරයා වූ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ උපදෙස වූයේ සමාජය නිර්වින්දනයෙන් මිදී පියවි සිහිය උපදවා ගැනීමට පෙර අවශ්‍ය වෙනස්කම් සිදුකොට හමාර කළ යුතු බවයි.

නමුත්, එවන් ආපදා ධනවාදයක් වත්මන් ලංකාව තුළ ක්‍රියාවට නැගීම දුෂ්කර කරන්නා වූ වැදගත් සාධකයක් වන්නේ නිදහසින් පසු ඉතිහාසයේ අන්කවරදාකවත් නොපැවති ආකාරයේ ස්වේච්ජාමය මහජන දේශපාලන අවදිවීමක් අද දිනයේ සිදුවෙමින් පැවතීමයි. රනිල් උපුටා දැක්වූ හුණුවටය නාට්‍යයේම කියැවෙන පරිදි දැන් අප ප්‍රවේශ වී සිටින්නේ මහජන යුගයකට ය. මෙවන් යුගයක “අන් කාගෙන් බේරුණද මහජනයාගෙන් බේරීමට නොහැකිය.”

රනිලියානු උපාය

නමුත්, නිදහස් වෙළඳපලවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික-දක්ෂිණාංශය සතුව තවත් උපායක් තිබේ. එනම්, සමාජ-දේශපාලන ලෝකයෙන් ආර්ථිකය වෙන් කිරීමයි. එම උපාය අද දිනයේ ඇතැම්විට වඩාත් හොඳින් ප්‍රකාශයට පත්වන්නේ රනිල්ගේ නව දෘෂ්ටි සහායකයින් බවට පත්ව සිටින ජනවාර්ගික ජාතිකවාදීන් වෙතිනි. නලින් ද සිල්වා මෑතකදී රනිල්ව වක්‍රව අගයමින් මෙසේ පැවසීය; “රනිල්ට නියම වී ඇති කාර්යභාරය වන්නේ ආර්ථිකය ගොඩ දැමීම මිස දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම නොවේ.” මේ දිනවල ප්‍රජාතාන්ත්‍රික ජනතා අරගලයට සහාය දක්වන ඇතැම් පිරිස් අතරද රනිල්ට අවස්ථාව දී බැලිය යුතුය යන ආකල්පය ගොඩ නැගෙමින් තිබීමෙන් පෙනෙන්නේ ප්‍රජාතාන්ත්‍රික අරගලයෙන් ආර්ථිකමය ක්ෂේත්‍රය වෙන් කොට දැක්වීමේ උපාය කිසියම් දුරකට වැඩ කරන බවය. ඒ අනුව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ මුදා හැරෙන්නට ඉඩ තිබෙන ආර්ථිකමය පීඩනය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට අදාළ නැත.

එම උපාය සාර්ථක වීමට නම් ජනතා අරගලය තුළ කේන්ද්‍රීය බෙදීමක් නිර්මාණය කළ යුතුව තිබෙන බව ශූර දක්ෂිණාංශික දේශපාලකයෙකු වන රනිල් හොඳින්ම දන්නවා ඇත. එම බෙදීම වන්නේ අරගලයේ නිරත නාගරික මධ්‍යම පන්තික කොටස් සහ කම්කරු-ගොවි-ධීවර-සුළුතර ජනවාර්ගික සහ පරිවාර ජනකොටස් සූක්ෂම ලෙස එකිනෙකින් වෙන් කිරීමයි. රනිල්ගේ ජාතිය ඇමතීමේ ප්‍රධාන ඉලක්කය වූයේ තම පාරිභෝජනවාදී ජීවන පිළිවෙලට පහර වැදුණු මධ්‍යම පන්තික සමාජ කොටස් ය. ඒ අතරම ඔහු ගාලු මුවදොර ගෝඨාගෝගමට පහසුකම් සැපයීමට පවා ඉදිරිපත් වී තිබේ! රනිල් දකින්නට කැමති ගෝඨාගෝගමක් තිබේ නම්, ඒ අධි-සංස්කෘතිකකරණයකට ලක් වූද, අව-දේශපාලනීකරණයකට ලක් වූද, ආර්ථිකමය ගැටළු ප්‍රජාතාන්ත්‍රික අරගලයෙන් වෙන් කරනු ලද්දා වූද ගෝඨාගමකි. ගාලු මුවදොරින් ඇරඹුණු ජනතා අරගලයේ ඉතාම වැදගත් ජයග්‍රහණයක් වූයේ දේශපාලන අරගලය පොහොසත් සංස්කෘතික ක්‍රියාකාරීත්වයකින් පෝෂණය වීමය යන්න සත්‍යයකි. නමුත්, එම සංස්කෘතික දේශපාලනය කිසියම් ලෙසකින් ආර්ථික අරගලයෙන් සහ දේශපාලන අරගලයෙන් දුරස් වන තරම් දුරට ගමන් කළහොත්, නිර්මාණය වනු ඇත්තේ රනිල් දකින්නට කැමති ගෝඨාගෝගමයි. අධි-සංස්කෘතිකකරණයේ ගැටළුව වන්නේ එයයි.

අනෙක් අතින්, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය මර්දන මෙහෙයුමද කිසියම් සූක්‍ෂම තෝරා ගැනීමේ තර්කනයක් අනුව සිදු වන්නක් බව පෙනේ. අත්අඩංගුවට පත් වන බොහෝ ක්‍රියාකාරීන් ප්‍රාදේශීය ගෝඨාගෝගම් සංවිධානය කළවුන් බව වාර්තා වේ. ගාලු මුවදොර සංස්කෘතික ගෝඨාගෝගමක් සඳහා අනුග්‍රහය දක්වන අතර ග්‍රාමීය ජන අරගල ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ ද්විත්ව උපායක් ක්‍රියාවට නැගෙමින් පවතින බව පෙනේ. අගනාගරික කලාකරුවන්ට ඉඩ සලසන අතර අන්තරයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට පාලනාධිකාරය උත්සුක වූයේ දැන් බොහෝ කලක සිටය. දැන් දකින්නට ලැබෙන්නේ එම උපායෙහි වර්ධනීය ප්‍රකාශමාන වීමකි.

ජන අරගලයේ අභියෝග

මේ අනුව, නිර්මාණය වී තිබෙන නව තත්ත්වය තුළ ජන අරගලය හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ආර්ථික-ප්‍රජාතන්ත්‍රීයකරණය පිළිබඳ තේමාව අරගලයේ කේන්ද්‍රයට රැගෙන ඒමත්, සමාජයීය මෙන්ම භූගෝලීය පරිවාරයේ නියෝජනයන් ඇතුළත් කරගැනීමත්ය. ඒ අතරම අරගල බිම හුදු සංස්කෘතික බිමක් බවට පමණක් පරිවර්තනය වීමට ඉඩ නොදී දේශපාලනය සහ සංස්කෘතිය අතර අන්‍යෝන්‍ය පරිපූරකත්වයක් නිර්මාණය කර ගැනීමට සෑම මොහොතකදීම පරික්ෂාකාරී වීමයි. රනිල් දකින්නට කැමති ගෝඨාගෝගමක් වෙනුවට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට ප්‍රයත්න දැරෙන ආපදා ධනවාදයේ මෙහෙයුමට මුහුණ දිය හැකි ආකාරයේ ප්‍රති-හෙජමොනික ගෝඨාගෝගමක් නිර්මාණය කිරීමේ අභියෝගයට මුහුණ දීමට නම්, ගෝඨා ගෙදර යැවූ පසුව අප දකින්නට කැමති ලෝකය කුමක්ද යන ප්‍රශ්නය විමසන බුද්ධිමය ව්‍යායාමයක්ද ඒ සමග අතිනත ගෙන යා යුතුය.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    සුමිත්, GGG කතිකාවත තුල දී මා දුටු ඉතාම හොඳ විමර්ශනයක් ඔබ මේ කරලා තියෙන්නේ!

    “…..රනිල් දකින්නට කැමති ගෝඨාගෝගමක් තිබේ නම්, ඒ අධි-සංස්කෘතිකකරණයකට ලක් වූද, අව-දේශපාලනීකරණයකට ලක් වූද, ආර්ථිකමය ගැටළු ප්‍රජාතාන්ත්‍රික අරගලයෙන් වෙන් කරනු ලද්දා වූද ගෝඨාගමකි…..”

    ඔබ ඉතාම නිවැරදි ලෙස රනිල්ගේ උපායන් ගලපා දක්වා තියෙනවා. ඇත්තෙන්ම වරක් ලක්ෂ පහකට වැඩිය මනාප ගත්ත මනුස්සයෙක් ඊට අවුරුදු පහක් වත් යන්ට පෙර චන්ද විසි දහසකට සීමා වීමෙන් ඔහු කොතරම් අවලංගු කාසියක් වී ඇත්දැයි ඔප්පු උනා. හැබැයි තමුන් උපායශීලී යැයි සිතා ඉන්නා නමුත් අතිශය දීන දේශපාලන චරිතයක් වන රනිල්ට හෝ කෙක්කෙන් හෝ කොක්කෙන් බලය පවත්වා ගන්ට තැත් දරනා රාජපක්ෂලාට ඒ කිසිවක වගක් නැති බවත් තව තවත් ඔප්පු කරලා තියෙනවා. අපේ කාලයේ අප දුටු ඉතාම ජුගුප්සාජනක දේශපාලන පිළිකාව වන රනිල් ගැන මා තව දුරටත් වචන නාස්ති නොකරමි. නමුත් GGG තුලින් දෙස් විදෙස් යහපත් ලාංකිකයන් බලාපොරොත්තු වූ යහපත්, ගුණාත්මක හා ප්‍රගතිශීලී දේශපාලන සංස්කෘතිය විනාශ කිරීමට ඉතාම කනගාටුදායක ලෙස රනිල් නමැති ලාංකීය දේශපාලන පුස්සා ලෝ පරසිඳු රාජපක්ෂ පාදඩයන් සමග එක් යහන්ගත වීමට එරෙහිව තව තවත් තරුණ බලවේගයන් බිහිවේවා යන්නයි මගේ පැතුම!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.