20 April, 2024

Blog

සිරගෙදරයි පාර්ලිමේන්තුවයි සුලෝහිත සටනක 

ධම්ම දිසානායක

ධම්ම දිසානායක

“සටනක සටහන්” නමැති කෘතිය උඩකැන්දවල සරණංකර හාමුරුවන්ගේ ය. එය උන් වහන්සේගේ දිවි සැරියෙන් කොටසකි. යටත්විජිත පාලකයින්ට එරෙහිව සටන්කළ උන්වහන්සේ මෙරට පමණක් නොව ඉන්දියාවේදී ද සිරගත වූ හිමි නමකි, ඒ හිරගෙවල් කඩාගෙන එලියට විත් නැවත අධිරාජ්‍ය විරෝධී සටනට පණ දුන් අයෙකි. එසේම ලංකාවේ සම්භාව්‍ය වාමාංශික ව්‍යාපාරයට නායකත්වය දුන් හිමි නමකි. “හේන්පිටගෙදර සිට වැලිකඩ දක්වා” කෘතිය ලියුවේ හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවෝ ය. උන් වහන්සේද ප්‍රතිගාමී දේශපාලනයට එරෙහි සටනේ දී සිරබත් කෑ හිමි නමකි. ආචාර්ය ඇන් ඇම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, එස් ඒ වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, විවියන් ගුණවර්ධන ඇතුළු යටත්විජිත පාලනයට සහ ප්‍රතිගාමී දේශපාලනයට එරෙහිව සටන් කළ බොහෝ අය සිරබත් කෑ සහ සිරගෙවල් කඩාගෙන එලියට ආ අය ය. ලෝකයේ මෙවැනි උදාහරණ බොහෝය. ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් අන්තෝනියෝ ග්‍රාම්ෂි මියගිය පසු පොතක් වූ “සිරගෙදර සටහන්” ලියුවේ ෆැසිස්ට්වාදී ඉතාලි නායක මුසොලිනීගේ සිර දඬුවම් විඳිමින් සිරගතව සිටිය දී ය. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා යනු එවැනි සිරගත වූවන් පිළිබඳව අතිශයින්ම ජනප්‍රිය උදාහරණයෝ වෙති. එහෙම බලනකොට හිරගෙදර යනු ප්‍රගතිශීලී, රැඩිකල්, බුද්ධිමත් සහ චමත්කාරජනක මිනිසුන් සිටි අපූරු තැනකි.

මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රධාය සහ ක්‍රමය දිහා බලමු. එහි ආකර්ශනීය අවධියේ එහි ජන නියෝජිතයින් වූ ආචාර්ය ඇන් ඇම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, එස් ඒ වික්‍රමසිංහ, ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර, පිලිප් ගුණවර්ධන, විවියන් ගුණවර්ධන, විජයානන්ද දහනායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක, ටී බී ඉලංගරත්න, කේ ඒ එස් පලන්සුරිය, ටී බී තෙන්නකෝන්, ටී බී සුබසිංහ, කේ බී රත්නායක, පීටර් කෙනමන්, ලෙස්ලි ගුණවර්ධන, චම්ලි ගුණවර්ධන, අනිල් මුණසිංහ, සරත් මුත්තෙට්ටුවේගම, ඩිව් ගුණසේකර වැනි ජන නියෝජිතයින් වෙත අපගේ අවධානය යොමුකරමු. නම් වශයෙන් නම් තවත් බොහෝ දෙනෙකු ඊට ඇතුලත් විය යුතුය. 

මේ පැහැදිළි කිරීම් දෙකම, එනම් හිරගෙදර සහ පාර්ලිමේන්තු අතීතය ගැන කතා කළේ දශක කීපයක සිට අපේ රටේ හිරගෙදරත් පාර්ලිමේන්තුවත් කුටප්‍රාප්තියට පත් වී ඇති ආකාරයේ භයානක කම ගැන හිතා බැලීමට අපේ පාඨකයා යොමු කරවා ගැනීමට ය.

පසුගිය සතියේ අනුර කුමාර දිසානායක කීවේ පාර්ලිමේන්තුව පිරී ඇත්තේ ජාවාරම්කරුවන්, සොරුන් සහ අපරාධකරුවන්ගෙන් බවය. ඒක ඇත්ත නම් පාර්ලිමේන්තුව හිරගෙදරින් වෙනස්වන්නේ ගොඩනැගිළි ආකෘතියෙන් පමණකි. අන්තර්ගතය සමානය. ලංකාවේ මත්ද්‍රව්‍ය සහ මත් ද්‍රව ජාවාරම සහ වෙළඳාම, පස්-වැලි-ගල් ජාවාරම සහ වෙළඳාම, වනාන්තර විනාශකිරීම, වගුරු බිම් ගොඩකිරීමේ ජාවාරම, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය, සුරැකුම්පත් ජාවාරම, කොන්තරාත් ජාවාරම, කොමිස් ජාවාරම, දීම සහ නොදී සිටීම සඳහා වූ අල්ලස, ප්‍රති අපනයන ජාවාරම (උදාහරණ ලෙස ගම්මිරිස් සහ කුණු ප්‍රති අපනයනය) සහ බලහත්කාරී වෙළඳාම් වැනි විවිධ ජාවාරම් සහ අපරාධ සඳහා, ඡන්දවලින් තේරීපත්ව පාර්ලිමේන්තුවේ සිටින අය සම්බන්ධය යන කතාව, අනුර දිසානායකට පෙර, මේ රටේ ජනයා ඉවෙන් මෙන් කලක සිට කියන කතාවක්ය. නමුත් අනුර දිසානායක ද පාර්ලිමේන්තුව ඇතුළේ සිටින කෙනෙක් නිසා ඔහු එය කියන්නේ නිකම්ම නිකම් නොවිය යුතුය. ඔහුගේ කතාවෙන් වුණේ අර ජනමතය වඩාත් තහවුරු වීමය. මන්ද පාර්ලිමේන්තුවේ කිසිවෙකුත් ඒ කතාවට එරෙහිව යමක් කියා නැත.ඒ නිසා ජනයා කියන දේට වඩා ඔහු කියන දේට අපේ අවධානය වැඩියෙන් යොමුවීම සාධාරණය. නැවතත් කිව යුත්තේ ඒක එහෙම නම් පාර්ලිමේන්තුවේ සහ හිරගෙදර අන්තර්ගතය සමානය. එහෙම සමාන නම් ඒ දෙක අතර අන්තර් සම්බන්ධයක් ද ඇති බව අප වටහා ගත යුතුය.

රටේ සිදුවන මහා පරිමාන භයානක අපරාධ සැලසුම් කරන්නේ, සම්බන්ධීකරණය කරන්නේ සහ මෙහෙයවන්නේ හිරගෙදර සිට බව කලක සිට ඇසෙන කතාවකි. ඒ අපරාධ නිසිලෙස සිදුවන්නේද යන්න වයිබර් තාක්ෂණය ඔස්සේ අධීක්ෂණය කිරීමේ පහසුකම් සිරගෙදර තිබෙනවාය යන්න තහවුරු වන්නේ පසුගිය දා සිදුවූ කඩවත පොලිස් නිලධාරියාගේ ඝාතනය එසේ නිරීක්ෂණය සහ අධීක්ෂණය කලාය කියන තොරතුර මාධ්‍ය විසින් හෙලිකල නිසා පමණක්ම නොවේ. මීට පෙරද එවැනි තොරතුරු අප අසා ඇති නිසාවෙනි. ඒ අපරාධ ප්‍රබල සිරකරුවන්ගේ මෙහයුම් නම්, රට පාලනය කිරීමේ කාර්යයෙන් කොටසක් සිදුවන්නේ සිරගෙදර සිටය. අපරාධකරුවන් සිරගත වූ පසු, ඉස්සර සාමකාමී ජනයාට තිබූ සැහැල්ලුව සහ නිදහස දැන් අපිට නැත. මන්ද අපරාධකරුවන් සිරගත වුනාට අපරාධ සිරගත නොවන නිසා ය. එසේම නිදහසේ සැරිසරන අපරාධ සිරගෙදර සිට මෙයවන නිසාය.

පාර්ලිමේන්තුවත් ඒ වගේය. ඉස්සර පාර්ලිමේන්තුවට ගියේ ජනතාවගේ නියෝජිතයින් ය. සමහර අය නිසි සංකල්පවලට අනුව බලනවිට නියෝජිතයින්ම නොවුණත් ඔවුන් තමන් බලයට පත්කළ ජනතාව අමතක කළේ නැත. ඒ ජනයාගේ ඕනෑ එපාකම් පිළිබඳව සොයා බැලුවේ ය. රුපියල් දහස් ගණන්වලට හෝ ලක්ෂ ගණන්වලට රස්සා, ඉන්ධන පිරවුම්හල්, බාර්, වැනි දෑ ඒ ජනයාට විකිණුවේ නැත. නමුත් දැන් තත්ත්වය ඊට සහමුලින්ම වෙනස්වී ඇති බව තහවුරුවන්නේ අනුර දිසානායකගේ කතාව නිසා ම නොව ඒ ගැන ලොකු සාකච්ඡාවක් ජනයා අතරද තිබෙන නිසා ය. දැන් පාර්ලිමේන්තුවේ අය ඡන්දය ගන්නේ ජනතාවගෙන් වුනාට නියෝජනය කරන්නේ තමන් සහ තම ඥාතීන්, හිතවතුන්, ගැවසෙන්නන් සහ පුලන්නන්ය. ඒ නිසා දැන් පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ අයට ගැලපෙන්නේ ජන නියෝජිතයා හෝ මන්ත්‍රී යන නම්වලට වඩා පාර්ලිමේන්තුකාරයා යන්න ය. 

ඒත් කමක් නැත. අඩුම ගානේ රටේ අපරාධ සහ ජාවාරම්වලට අනුබල නොදෙන පාර්ලිමේන්තුකාරයින් සිටිනවානම් ඒකත් හිතට සහනයක් ය. සිදුවී ඇත්තේ කොරේපිටට මරේය. හිරගෙදරත් පාර්ලිමේන්තුවත් එකම කුසලානයක් සඳහා සුලෝහිත සටනකය, සංග්‍රාමයකය. කවුරු දිනුවත් පැරදුනත් කම් නැත.  දෙපිලම ජයග්‍රාහකයෝ ය. මන්ද දෙගොල්ලෝම එක ගොල්ලක් නිසා ය. තව ටික කලකින් පාර්ලිමේන්තුවට යාමට තිබෙන තරඟය ම හිරගෙදරට යෑම සඳහාත් ඇතිවුනොත් අප ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද ඒ අයට කොතනත් සැප ය, කළයුතුවන්නේ අපේ සල්ලිවලින් සියලු පහසුකම් වැඩිකොට හිරගෙදර රජගෙදරක් බවට පත්කර දීමය. එසේ කොට එළියේ සිටින අප සැබෑ සිරගත ජීවිතයකට සුදානම් වීමය.

ඇත්තටම මේ කරුමය අපේ රටට පමණක් උරුම වූවක් නොව අප වැනි නොදියුණු රටවල් ඇති දකුණු ආසියාවටම පොදු කාරණයකි. මේ කලාපයේ අල්ලස දුෂණය වැහි වැහලා ය. මිනීමැරුම්, සොරකම්, රාජ්‍ය ත්‍රස්තවාදය, පාතාලය, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, නීත්‍යානුකුල සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මත් ද්‍රව ජාවාරම, පරිසර විනාශය, පොදු දේපොළ අවභාවිතය සහ කොල්ලකෑම යනාදී අපරාධවලින් පෝෂිතය. ඉන්දියානුවන් මේ ඉරණමෙන් ගැලවීමට ගාන්ධි, නේරු, ලාල් බහදුර් ශාස්ත්‍රි, ඉන්දිරා ගාන්ධි, මොරාජ් දේශායි, චරාන් සිං, රජීව් ගාන්ධි, ප්‍රතාප් සිං, චන්ද්‍ර සේකර්, නරසිම්හ රාවෝ, අතාල් බිහාරි වජ්පායි, ඉන්ද්‍රකුමාර් ගුජ්රාල්, මන්මෝහන් සිං යනාදීන් ට තබා නරේන්ද්‍ර මෝඩි ට වත් බැරිවිය. පාකිස්ථානය මේ කරුමයෙන් ගලවන්නට මොහොමඩ් අලි ජින්නා, අලි ඛාන්, සුල්ෆිකාර් අලිභුටෝ, ඛාන් ජුනේජෝ, බෙනාසීර් භූටෝ, නවාස් ෂරීෆ්, ශෞකට් අෂීස්, රාෂා ගිලානි යනාදීන්ට තබා ඉම්රාන් ඛාන් ට වත් තවම හැකි වී නැත. බංග්ලාදේශය මේ ඉරණමෙන් ගලවා ගැනීමට ශික් මුජිබර් රහමන්, රහමන් ඛාන්, ඛලීඩා ෂියා, ෂෙයික් හෂීනා යනාදීන්ට තවම හැකිවී නැත. 

ලංකාවට අවධානය යොමු කරමු. ඩී එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, කොතලාවල, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන කිසිවෙකුටත් අර දකුණු ආසියාතික සමාජ-දේශපාලන-ආර්ථික කරුමයෙන් මේ රට ගලවා ගැනීමට නොහැකි විය. සිර ගෙදරින් වෙන්වූ සහ වෙනස් වූ තැනක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමට නොහැකිවිය. පාර්ලිමේන්තුකාරයින් සහ කාරියන් වෙනුවට මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යන සම්ප්‍රධායක්, ක්‍රමයක් හැදීමට අසමත් විය. සැනසීමකට ඇත්තේ කොටි ත්‍රස්තවාදය පැරදවීම පමණි. පාස්කු ප්‍රහාරය නිසා ඒ සැනසීමත් නැතිවිය.

එවැනි පසුබිමක මේ දකුණු ආසියාතික කරුමයෙන් ගැලවෙන්නට අපට මඟක් ඇත්තේම නැත්ද? දැන් රටට අවශ්‍යවන්නේ ශීලාචාර, ප්‍රජාතාන්ත්‍රීක සහ සමාජ ආරක්ෂණය සහිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි සහ ඒ සඳහා අවංක වුවමනාවක් ඇති පාර්ලිමේන්තුවකි. ඒකට නම් ඉන්න පාර්ලිමේන්තුකාරයින්ගෙන් විශාල ප්‍රමාණයක් එලියට ගත යුතුම ය. අලුතින් ඇතුළට යන්න හදන අය අධ්‍යාපන සහතික පමණක් තියෙන අය නොවිය යුතුය. රට ගොඩනැගීමට අවංක වුවමනාවක් නොතිබෙන, අතිශයින්ම ආත්මාර්ථකාමී එහෙම අයට පාර්ලිමේන්තුකාරයින් මිස ජනතා නියෝජිතයින් බවට පත්වීම අසීරු ය. මේ ගැන දෙගිඩියාවෙන් සිටින අතිමහත් ජනකායකගේ මහා අපේක්ෂාව සහ විශ්වාසය වන්නේ අර දකුණු ආසියාතික කරුමයෙන් මේ රට ගලවා ගැනීමට ගෝඨාභය ජනාධිපති ට නම් හැකියාව ඇතිය යන්නය. ඇත්තටම මේ දකුණු ආසියාතික කරුමයෙන් හෝ සාපයෙන් රට බේරා ගැනීමට ගෝඨාභයට පුලුවනිද? එය ඉටු කිරීම ට අවශ්‍ය නම් ඊට අදාළ සෙනෙවි මඬුල්ලක් සකසා ගැනීමේ දී හුදු පාර්ලිමේන්තුකාරයින්ගෙන් පරෙස්සම් විය යුතුය යන්න පමණක් දැනට සදහන් කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.