5 December, 2020

Blog

පරිකල්පිත ප්‍රජාවන් දෙකක්; එක් ජාතික රාජ්‍යයක් 

සුමිත් චාමින්ද

ජාතිය සහ ජාතිකත්වය වැනි තේමා ගැන සාකච්ජා කිරීමේදී අප එළඹිය යුතු පළමු එකඟතාව වන්නේ එම යෙදුම්වලින් හඳුන්වනු ලබන දේ පවතින බවයි. එවන් දේ පවතින්නේ ස්පර්ෂ කළ හැකි ඝනීභූත දේවල් ලෙස නොවේ. ඒවා පවතින්නේ මිනිසුන් ඒවායෙහි පැවැත්ම ගැන විශ්වාස කරන බැවිනි. මේ අනුව, ජාතිය පවතින්නේ යම් ප්‍රජාවක් විසින් බෙදා ගනු ලබන පොදු විශ්වාසයක් පදනම් කොටගෙනය. එම විශ්වාසය හැමවිටම අර්ථවත් වූවක් නොවේ. තම ජාතිකත්වය ගැන කතා කරන කවර ජාතිකවාදියෙකු වුවත් යම් “ජාතික දෙයක්” වෙනුවෙන් පෙනී සිටියි. එම දෙය කුමක්දැයි අන්‍යයන්ට තේරුම් කිරීමට ඔවුන් අසමත් වුවද, එවැන්නක් ඇතැයි ඔවුහු විශ්වාස කරති. ජාතිය පවතින්නේ මෙසේ ජාතික දෙයක් පිළිබඳව බෙදාගත් පොදු විශ්වාසයක් පදනම් කොටගෙනය.

ස්ලේවෝයි ශිෂෙක් ඔහුගේ Tarrying with the Negative: Kant, Hegel, and the Critique of Ideology (1993) නමැති කෘතියේ අවසන් පරිච්ජේදය තුළ කදිමට පෙන්වා දෙන පරිදි සාමාන්‍යයෙන් ජාතික දෙය ඉදිරිපත් කරනු ලබන්නේ එම ජාතියට අයත් වූවන්ට පමණක් වටහාගත හැකි දෙයක් ලෙසය. පරයන්ට එය නොවැටහේ. ජාතික දෙය කුමක්දැයි කිසිවෙකුට නිශ්චිතවම අර්ථකථනය කළ නොහැකිය. එය යම් යම් වටිනාකම් සහ සම්ප්‍රදායන්වල එකතුවක් ලෙස පෙන්වාදීමට ගියද, එයද මුළුමනින්ම සාර්ථක වන්නේ නැත. එම අර්ථවත් සංකේතීය දෙයට වඩා වැඩි යමක්, එනම් තේරුම් කළ නොහැකි යමක් නිතරම ඉතිරි වේ. ඒ ගැන පරයන් විමසන ප්‍රශ්නවලට දිය හැකි පිළිතුර වන්නේ එය අපගේ ජීවන රටාව තුළින් ප්‍රකාශ වන්නේය යන්න පමණි. මේ අනුව, ජාතිය යන්න තැනී ඇත්තේ මුළුමනින්ම සංකේතීය අරුත්වලට රැගෙන ආ නොහැකි, එබැවින් හිස් යමක් අප සාමූහිකව විශ්වාස කරන බැවිනි. ශිෂෙක්ට අනුව විශ්වාසය පවතින්නේ නිතරම අනෙකාගේ විශ්වාසය ලෙසයි. සරලව, යමෙකු ජාතික දෙය විශ්වාස කරන්නේ අන් අයද එය විශ්වාස කරන බැවිනි; නොඑසේනම්, අන් අය එය විශ්වාස කරන්නේ යැයි යමෙකු විශ්වාස කරන බැවිනි.

නූතන ජාතියේ පැවැත්මේ කොන්දේසි

නූතන ජාතිය වටහාගැනීමේදී ඉහත කී මනෝ විශ්ලේෂණාත්මක මානය ඉතාම වැදගත් බවට කිසිදු සැකයක් නොමැත. නමුත්, ඒ සමගම අප සිහි තබා ගත යුතු කාරණයක් නම් එයින් පමණක් තේරුම් කළ නොහැකි වැදගත් ඓතිහාසික මානයක්ද ජාතියට ඇති බවයි. සරලව කිව හොත්, ශිෂෙක් පවසන ජාතික දෙය විශ්වාස කිරීම සෑම කලෙකම පැවතී නොමැත. ඒ මන්ද? ජාතිය සහ ජාතිකත්වය පිළිබඳ පරිකල්පනය සර්වකාලීන නැත. එසේ නම් එය ගොඩ නැගී ඇත්තේ කවර යුගයකදීද? කවර තත්ත්වයන් යටතේද? මේ පිළිබඳව කල්පනා කිරීමේදී ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී තේරුම් කිරීමෙන් යම් සහායක් ලබා ගත හැකිය. මාක්ස්වාදී විධි ක්‍රමයේ ඇති වැදගත් අංගයක් වන්නේ කිසිවක් හුදෙකලාව නොගැනීමයි; ඒ වෙනුවට යමක් පවතින්නේ නැතහොත් පැවතිය හැකි වන්නේ කවර නම් කොන්දේසි යටතේද යන ප්‍රශ්නය මතු කිරීමයි. පැවැත්මේ කොන්දේසි (conditions of existence) විභාග කිරීමේ මෙම විධි ක්‍රමය පසුකාලීනව වෙනස් ආකාරයකින් මිචෙල් ෆූකෝද අනුගමනය කළේය. ඔහු විමසා බැලූ කාරණයක් නම් යම් ප්‍රකාශයක් (නිදසුනක් ලෙස, “දෙවියන් මිය ගොස් ඇත” යන ප්‍රකාශය) සිදු කළ හැක්කේ කවර නම් (කතිකාමය) තත්ත්වයන් යටතේදීද යන්නයි. ඕනෑම ප්‍රකාශයක් ඕනෑම තත්ත්වයක් යටතේ සිදු කළ නොහැකිය.

අප මේ විධික්‍රමය ජාතියට අදාළ කොට යෙදීමට පෙර පැහැදිලි කර ගත යුතු තවත් කාරණයක් තිබේ. එනම්, යම් දෙයක් සඳහා පැවැත්මේ කොන්දේසි තිබූ පමණින් ඒ දෙය පැවතීම අනිවාර්යයක් නොවන බවයි. මාක්ස්වාදී තේරුම් කිරීම අනුව “මිනිසුන් යනු තත්ත්වයන් සහ ශික්ෂණයන්ගේ නිර්මාණයක් වන අතරම තත්ත්වයන් වෙනස් කරනු ලබන්නේද මිනිසුන් විසිනි; ශික්ෂකයාද ශික්ෂණය වේ.” මෙයින් අවධාරණය වන්නේ ඓතිහාසික තත්ත්වයන් පරිවර්තනය කිරීමේ නිර්මාණශීලී මානවීය මැදිහත්වීමයි. ජාතිය සම්බන්ධ නිදසුනට අදාළව ගත හොත්, වෙනස් සමාජයන් තුළ වෙනස් ආකාරවලින් ජාතිය ගොඩ නැංවීම නිරීක්ෂණය කළ හැක්කේ එබැවිනි. දේශපාලන ඉතිහාසය යනු සක්‍රීය මානවීය මැදිහත්වීම් ඔස්සේ ඉතිහාසය නිර්මාණය කිරීමේ ඉතිහාසයයි.

මුද්‍රණ තාක්ෂණය සහ භාෂානුරාගය

හොඳයි. අප දැන් නූතනයේ ජාතිය නැතහොත් ජාතිකත්වය යනුවෙන් හඳුනාගන්නා දෙයෙහි ඓතිහාසික සුවිශේෂතා විමසා බලමු. එහි මූලිකම සුවිශේෂතාවක් වන්නේ එය පොදු ජනයාගේ ව්‍යවහාරික භාෂා පදනම් කොටගෙන ගොඩ නැගුණු සාමූහික අනන්‍යතාවක් වීමයි. නිදසුනක් ලෙස, ඉංග්‍රීසි ජාතියේ ප්‍රධාන සංරචකය වන්නේ පොදු ජනයාගේ ඉංග්‍රීසි බසයි. මෙය සෑම කල්හිම පැවතුන තත්ත්වයක් නොවේ. මන්ද යත්, බෙනඩික්ට් ඇන්ඩර්සන් පෙන්වා දෙන පරිදි මුද්‍රණ තාක්ෂණ ධනවාදය බිහි වීමට පෙර යුරෝපයේ ප්‍රධාන ලිඛිත භාෂාව ලෙස පැවතියේ ලතින් බසයි; එය වටහාගත හැකි වූයේ සහ එය සමග ගණුදෙණු කළ හැකි වූයේ උගත් ප්‍රභූ සුළුතරයකට පමණි. එපරිදිම, සිංහල ජාතිකවාදීන් තම ඓතිහාසික පුරාවෘත්තය ලෙස ගෙන හැර දක්වන මහා වංශය රචනා වී ඇත්තේ පාලි බසිනි. එය බොහෝ දුරට ආගමික උගත් ප්‍රභූ තන්ත්‍රයේ භාෂාව විය. මහා වංශය 1837 වසරේදී මෙරට යටත් විජිත සිවිල් සේවකයෙකු සහ ඉතිහාසඥයෙකු වූ ජෝජ් ටර්නර් විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරිණ. එය මෙරට පොදු ජන භාෂාවක් වූ සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ 1877 වසරේදීය. එබැවින්, සිංහල බස ව්‍යවහාර කරන ජනයාට මහා වංශය සමග අනන්‍ය විය හැකි වීමේ කොන්දේසි සැකසුණේ ඉන්පසුවය.

සිංහල යනු පොදු ජන භාෂාවක් මුල් කොටගත් සාමූහික අනන්‍යතාවක් ලෙස සැලකූ කල, එම සාමූහික අනන්‍යතාව ගොඩ නැගීම සඳහා පැවතිය යුතු කොන්දේසි තිබේ. සිංහල භාෂාවෙන් දේවල් මුද්‍රණය කොට අළෙවි කරනු ලැබීම එම කොන්දේසි සැපිරීමට මහෝපකාරී විය. ඇන්ඩර්සන් කතා කරන මුද්‍රණ තාක්ෂණ ධනවාදය ඒ ආකාරයෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක වූ බවක් මින් නොකියැවේ. නමුත්, සිංහල භාෂානුරාගය ඉතාම බලවත් සමාජ ව්‍යාපාරයක් ලෙස මතු වීම නිරීක්ෂණය කළ හැක්කේ මුද්‍රණ තාක්ෂණයේ ව්‍යාප්තියට සමගාමීවය. මේ අතරම දහනම වන සියවසේ විසූ ඇතැම් යුරෝපීය වාග් විද්‍යා පර්යේෂකයින්ද සිංහල භාෂාවේ ආර්ය සම්භවයක් ඇතැයි යන මතය ප්‍රචලිත කිරීමට විශාල දායකත්වයක් දැක්වූහ. ඊට වෙනස්ව, දෙමළ භාෂාව ද්‍රවීඩියානු භාෂා පවුලට සම්බන්ධ බැව් කියැවිණ. සිංහල ජාතිකවාදීන් ඉතාම ඉක්මනින් මෙම ආර්ය න්‍යාය උපුටා ගත්හ. මෙලෙස දහනම වන සියවසේදී සිංහල ජාතිකවාදී විඥානය බිහි වී හැඩ ගැසී විපරිණාමය වූයේ කෙසේදැයි ආර්.ඒ.එල්.එච්. ගුණවර්ධන “සිංහයාගේ ජනතාව: ඉතිහාසය සහ ඉතිහාසවේදය තුළ සිංහල අනන්‍යතාව සහ දෘෂ්ටිවාදය” (1979) නම් අධ්‍යයන පත්‍රිකාවේ කදිමට විශ්ලේෂණය කොට ඇත.

රාජධානි-කේන්ද්‍රීයත්වය සහ දේශ සීමා-කේන්ද්‍රීයත්වය

නූතන ජාතියේ තවත් වැදගත් සුවිශේෂකත්වයක් බෙනඩික්ට් ඇන්ඩර්සන් හඳුනාගනී. එනම්, එය පරිකල්පිත ප්‍රජාවක් වන අතරම සීමිත වූවක්ද වීමයි. ජාතිය පරිකල්පිත දෙයක් වනුයේ එකම භාෂාවක් කතා කරන ජනයා සැබවින්ම එකිනෙකාව මුණ නොගැසුනද, ඇසුරු නොකළද තමන් එක් ප්‍රජාවකට අයත් යයි කල්පනා කිරීම නිසාය. එය සීමිත දෙයක් වනුයේ කොතරම් විශාල ජාතියක් වුවත් තමන්ට හිමි දේශ සීමාවක් ඇතැයි හඳුනාගන්නා නිසාය. එයට ස්වාධිපති බලය ඇත්තේ එම දේශ සීමාව තුළ පමණි. ඉන් ඔබ්බෙහි වෙනත් ජාතීන් පවතින බව එය දනී. වත්මන් ලෝකයේ ජාතියක් යනු ජාතික රාජ්‍යයන්ගෙන් සමන්විත ලෝක පර්යායක සාමාජිකයෙකි. මෙයින් කියැවෙන තවත් වැදගත් කාරණයක් නම් ජාතික පරිකල්පනය දේශ සීමාවක් පිළිබඳ පරිකල්පනයක්ද වන බවයි. වත්මනෙහි ජාතිකවාදීන් තම ජාතිය ගැන පවසන විට ඔවුනගේ මනසේ ඇඳෙන්නේ තම ජාතික රාජ්‍යයේ දේශ සීමාවෙන් සලකුණු වූ සිතියමයි; එහි ප්‍රතිරූපයයි. මෙරට ජනවාර්ගික යුද්ධය පැවති කාල පරිච්ජේදයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද ඊනියා දෙමළ ඊළාම් සිතියමෙන් බාධාවට ලක් වූයේ සිංහල ජාතිකවාදීන්ගේ මෙම පරිකල්පනීය ප්‍රතිරූපයයි. විශේෂයෙන්ම මාධ්‍ය ප්‍රතිරූප විසින් සමාජ පරිකල්පනයට විශාල බලපෑමක් ඇති කරමින් තිබෙන සමකාලීන යුගයේ ජාතික සිතියමට පෙර නොවූ විරූ වැදගත්කමක් ලැබීම අපේක්ෂා කළ යුතුය.

මෙම ජාතික දේශ සීමාව පිළිබඳ පරිකල්පනයේ වැදගත්කම කුමක්දැයි මනාව පැහැදිලි වන්නේ එය ඓතිහාසික පර්යාලෝකයක් තුළ පිහිටුවා තේරුම් කළ විටය. ඇන්ඩර්සන් පෙන්වා දෙන පරිදි නූතන ජාතික රාජ්‍යය බිහි වීමට පෙර දේශපාලන පරිකල්පනය සැකසුණේ රාජ්‍යයේ මධ්‍යය එනම් රාජ වංශය කේන්ද්‍ර කොටගෙනය. පුද්ගලයන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය නිර්වචනය වූයේ ඔවුන් එම මධ්‍යය සමග අනන්‍ය වන්නේ කෙසේද යන්න මතය. රාජ්‍යයේ පරිවාරය නොහොත් දේශසීමාව දේශපාලන පරිකල්පනයට අදාළව එතරම් වැදගත් කාරණයක් නොවීය. දේශසීමාවන් බොහෝ විට නිර්වචනය වූයේ මධ්‍යයෙහි නොහොත් රාජ වංශයේ බල පරාක්‍රමය ව්‍යාප්ත වී ඇති දුරට අනුවය. මේ කාරණය මෙරටට අදාළ කළ හොත්, මෙරට පූර්ව යටත් විජිත යුගයේ පැවති රාජාණ්ඩු තුළ දේශපාලන අනන්‍යතාව සම්බන්ධයෙන් තීරණාත්මකව වැදගත් වී ඇත්තේ රාජ්‍යයේ දේශ සීමාව නොවේ; රාජ වංශය, රජ පවුල නොහොත් රජ මාළිගය සමග දක්වන සම්බන්ධතාවයි. මහා වංශය රාජ වංශවල ඉතිහාස කතාවක් ලෙස ලියැවී තිබීමෙන් කියැවෙන්නේ එයයි. නමුත්, වත්මනෙහි සිංහල බෞද්ධ ජාතිකවාදීන් බොහෝ විට සිදු කරමින් සිටින්නේ රාජ්‍යත්වය මුල් කොටගත් වංශ කතා ඉතිහාසය, රට (එනම් දේශ සීමාව පිළිබඳ පරිකල්පනය) පිළිබඳ ඉතිහාසයක් ලෙස නැවත අර්ථකථනය කිරීමයි. එය වර්තමානයේ දෘෂ්ටිවාදීමය ප්‍රිස්මයන් තුළින් අතීතය දෙස බැලීමකි; වර්තමානයට අනුව අතීතය පසු ආවර්තීයව නැවත ගොඩ නැංවීමකි.

ඉහත විග්‍රහයෙන් පැහැදිලි වන පරිදි, නූතන ජාතික අනන්‍යතා ගොඩ නැගීමෙහිලා අවශ්‍ය වන ඉතාම වැදගත් කොන්දේසියක් වන්නේ මෙසේ රාජ්‍යත්වයේ කේන්ද්‍රය වෙතට යොමු වූ දේශපාලන පරිකල්පනය රාජ්‍යයේ පරිවාරය නොහොත් දේශ සීමාව වෙතට යොමු වූ පරිකල්පනයක් බවට පරිවර්තනය වීමයි. ඒ සඳහා සිතියම් ශිල්පයේ සහ භූගෝල විද්‍යාවේ දියුණුව මහෝපකාරී විය.

ජාතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය

අවසන් වශයෙන්, නූතන ජාතිය යනු ප්‍රභූ-දේශපාලන ප්‍රජාවක පරිකල්පනයක් නොව පොදු ජන පරිකල්පනයක් බව සැලකිල්ලට ගත යුතුව ඇත. ජාතිය අයිති ජනතාවටය. ජාතිය වෙනුවෙන් දිවි පුදන්නේ එහි පුරවැසියන්ය. එබැවින්, එවන් ජාතියක් පරිකල්පනය කළ හැක්කේ පොදු ජනයා දේශපාලන ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී වන යුගයක් තුළය. එනම්, ෆූකෝ ගේ වචනයෙන් කිව හොත්, දේශපාලන චින්තනය තුළ රජුගේ ගෙල සිඳ දැමීමෙන් පසුවය. ජාතික පරිකල්පනය නඩත්තු කරනු ලබන්නේ සාමූහික අතීතයක් පිළිබඳ ඉතිහාස කතා, කෞතුකාගාර, ජාතිකානුරාගී ගී සහ සෙසු කලා නිර්මාණ, ජාතිය වෙනුවෙන් දිවි පිදූ “නොහඳුනන සොල්දාදුවාගේ” පිළිරූ යනාදිය මගිනි. මේ සියල්ල විය හැකි දේ වූයේ ප්‍රජාතාන්ත්‍රික නූතනත්වයෙන් පසුවය.

දැන් අපට ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයේ දේශපාලනික සහ දෘෂ්ටිවාදීමය පැතිමාන වටහා ගැනීමේදී ප්‍රයෝජනවත් වන යම්කිසි සංකල්පීය ප්‍රවේශයක් තිබේ. ඉංග්‍රීසි යටත් විජිත පාලකයින් මෙරට මුහුදෙන් වට වූ සමස්ත භූමිය තනි දේශ සීමාවක් ලෙස ගත් දේශපාලන පරිකල්පනයක් ගොඩ නැගූහ. ඒ අතරම ඔවුන් ස්වදේශික ජනයා අතර එකිනෙකට පරස්පර පරිකල්පිත ප්‍රජාවන් දෙකක් එකවර පැවතීමේ තත්ත්වයන්ද සැකසූහ. එසේ තනි ජාතික රාජ්‍යයක් තුළ පරස්පර (සහ පසමිතුරු) පරිකල්පිත ප්‍රජාවන් දෙකක් එකවර පැවතීමෙන් නිපන් ගැටළුව අදටත් විසඳා නොමැත. ධනවාදී සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍ය යැයි පවසන පාලකයින් පහසුවෙන් නොතකා හරින කාරණය නම්, මෙරට දේශපාලන අස්ථාවරත්වය ඇති කරන ව්‍යුහාත්මක ගැටළුවක් ලෙස ඉහත කී ගැටළුව දිගටම පවත්නා බවයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.