23 April, 2024

Blog

ෆෙඩරල් විරෝධී පොදු වේදිකාවක් අවශ්‍යයි

දිනේෂ් දොඩම්ගොඩ

දිනේෂ් දොඩම්ගොඩ

මෙම ලිපියෙහි අරමුණ ෆෙඩරල් විරෝධී පොදු වේදිකාවක් අවශ්‍ය බව පනවා දීමයි. ආචාර්ය දයාන් ජයතිලක විසින් ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ හි ඉංග්‍රීසි බසින් මැයි මස 2 දා පළ කළ ලිපියෙහි මතු කර ඇති කරුණු දෙස බැලීමේ දී පෙනී යන්නේ ඔහු මූලික වශයෙන් පහත තර්ක ඉදිරිපත් කරන බවයි.

ආචාර්ය දයාන් පවසන පරිදි චන්ද්‍රිකා-මංගල-රාජිත ත්‍රිත්වය විසින් ෆෙඩරල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවට තර්ක කළද, එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සහ මතවාදයන්ට අනුව ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කිරීම හෝ එවැන්නකට සහය දැක්වීම කළ නොහැක්කකි. එනයින් බලන විට දයාන් පෙන්වා දෙන්නේ චන්ද්‍රිකා-මංගල-රාජිත ත්‍රිත්වය විසින් කරනුයේ හුදෙක් ගෝලීය නව ලිබරල්වාදී මතවාදයන්ට අනුව යමින් ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය බවට තර්ක කිරීම පමණකි. එසේම චන්ද්‍රිකා-මංගල-රාජිත දේශපාලනමය වශයෙන් සහාය දැක්වූ ප්‍රධාන දේශපාලන පෙරමුණු තුළද ෆෙඩරල්වාදයකට ඉඩ තිබී නැත. එසේම එයට ශ්‍රී ලාංකික සමාජ දේශපාලනයෙන් මතවාදීමය බහුතර සහයෝගයක් නොමති අතරම එබැවින් චන්ද්‍රිකා-මංගල-රාජිත ත්‍රිත්වය විසින් ගෙනයන ප්‍රචාරණ ව්‍යාපාරය මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවට විශාල දේශපාලන පාඩුවක් සිදු කරමින් කරගෙන යන්නක් බවද ආචාර්ය දයාන් පෙන්වා දෙයි.

ආචාර්ය දයාන් විසින් කරුණු පෙළ ගස්වමින් මතුකරන මතවාදය කියවා ඉවත දමන්නට නොහැකි තරම් ප්‍රබල ලෙස ඔහුගේ කෙටි ලිපිය මගින් ඔහු එය මතුකර දක්වා ඇත. එබැවින් ඒ මත පදනම්ව මෙම ලිපිය ඉදිරිපත් කරමි.

ෆෙඩරල් ෆේල්

ෆෙඩරල් ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ලක් නොවේය යන කරුණු පුන පුනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ වෙනුවට ෆෙඩරල්වාදය අද ලෝක දේශපාලනය තුළ ගැටුම් නිරාකරණය කර දිගු කල පවත්නා සාමයක් ගොඩනැගීමට ඉවහල් වන ක්‍රම වේදයක් ලෙස දැඩි මතවාදීමය සහ ප්‍රායෝගික අර්බුදයන්ට ට මුහුණ දී ඇති ක්‍රමවේදයක් බව පෙන්වා දීමට කැමැත්තෙමි. විශේෂයෙන්ම මෙම ක්‍රමවේදයේ පුරෝගාමියෙකු වූ මහාචාර්ය අරීන් ලයිපාට් වර්ෂ 2002 දී පවා ලියා පළ කළ මත අද දැඩි අභියෝගයකට ලක්ව ඇත. මහාචාර්ය ලයිපාට් සාර්ථකයැයි කියූ රටවල් දහසයෙන් තුනක් හැර අන් සෑම තැනකම එක්කෝ ලයිපාට් කියනා ආකාරයේ ෆෙඩරල් ක්‍රමයක් නැත, නැතිනම් එම ෆෙඩරල් ක්‍රමය දැඩි අර්බුදයන්ට ලක්වී විනාශ වී ඇත. ඇතැම් තැනක නොනවතින ගැටුම් ද, තවත් තැනක බෙදී වෙන්වී වෙනත් රාජ්‍යයන් නිර්මාණයවීම් ද සිදු කෙරී ඇත. ඒ අනුව ෆෙඩරල් ක්‍රමයේ අඩුපාඩු ඉතා ශ්‍රාස්ත්‍රීය මට්ටමින් සාකාච්ඡා කොට, ෆෙඩරල් වෙනුවට වෙනත් විකල්ප ක්‍රමවේදයන් කෙරෙහි යොමු විය යුතු බවට මහාචාර්ය ෆිලිප් රෝඩර් සහ මහාචාර්ය ඩොනල්ඩ් රෝත්චයිල්ඩ් ප්‍රබල මතවාද මේවන විටත් ඉදිරිපත් කර ඇත.

ලයිපාට් කරේ

මෙ සියල්ල නොතකා නියෝ ලිබරල්වාදී ගෝලීය බලවේගත්, චන්ද්‍රිකා-මංගල-රාජිත ත්‍රිත්වයත් දිගු කල පවත්නා සාමයක් ගොඩනැගීමට ෆෙඩරල් හැර වෙනත් විකල්පයක් නැති බවට තර්ක කරති. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ද මේ සම්බන්ධයෙන් ලියා පලකළ සිය කෘතිය මගින් ද මහාචාර්ය ලයිපාට් කරේ තබාගෙන යනවා විනා ලෝකයේ නව දැනුම සම්බන්ධයෙන් සමබර දෘෂ්ඨියකින් සිය මත පළ නොකරයි.

මහාචාර්ය ලයිපාට් නෙදර්ලන්තයේ පවතින බලය බෙදීමේ ක්‍රමවේදය පදනම් කර ගනිමින් වර්ෂ 1960 ගණන්වලදී Consociationalism නමින් ෆෙඩරල් ක්‍රමවේදයක් විශේෂයෙන් බෙදී වෙන්වුණු සමාජයන්හි දීර්ඝ කාලීන සාමය ගොඩනැගීම සඳහා ඉදිරිපත් කළේය. විශේෂයෙන්ම ඔහු වර්ෂ 1970 ගණන්වලදී උතුරු අයර්ලන්තයේ බලය බෙදීමෙන් දිගු කල් පවත්නා සාමයක් ගොඩනැගීමේ ගිවිසුම් සකස් කිරීමෙහි පෞද්ගලිකව දායක වුණද, ඒ එකඟතාවන් බරපතල ලෙස උල්ලංඝනය වී, ගිවිසුම අසාර්ථක විය. අනතුරුව ඔහුගේ ක්‍රමය පදනම් කර ගනිමින් ලෙබනනයේ බලය බෙදීම සඳහා ආගමික පදනම මත ක්‍රම වේදයක් සකස් වුණද එයද මෙ වන විට අසාර්ථක වී තිබේ. කෙසේවෙතත්, උතුරු අයර්ලන්තයේ ‘යහපත් සිකුරාදා’ සාම ගිවිසුම මෙම ක්‍රමය පදනම් කරගෙන ඇති වුවද එහි පැවැත්ම සඳහා වෙනත් බාහිර සාධක ප්‍රබල ලෙස සහ සුවිශේෂී ලෙස දායක වී ඇත. එබැවින් එය තවත් තැනක ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර ව්‍යායාමයකි.

මහාචාර්ය ලයිපාට් පෙන්වා දෙන පරිදි මෙ වන විට ඔහු විසින් හඳුනා ගත් ක්‍රමයට අනුව සමාජය ජනවාර්ගික වශයෙන් බෙදී ගැටුම් පවත්නා, ‘ස්වාධීන’ රටවල් දහසයක ෆෙඩරල් ක්‍රමය මූලික කර ගත් Consociational මූලධර්මය අනුව ඇතිකර ගත් එකඟතාවන් සාර්ථක වී ඇත. ඔහු තර්ක කරන ආකාරයට සුරිනාමය, නෙදර්ලන්තයේ දූපත්, උතුරු අයර්ලන්තය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, ලක්ෂම්බර්ග්, කොලොම්බියාව, චෙකොස්ලෝවෙකියාව, සයිප්‍රසය, ලෙබනනය, මැලේසියාව, ෆීජි, දකුණු අප්‍රිකාව, ස්විටර්ලන්තය, බෙල්ජියම සහ ඉන්දියාව යන රටවල් දහසයේ මෙම ක්‍රමය සාර්ථක වී තිබේ.

නව මත නොසැලකීම 

එහෙත් මහාචාර්ය ලයිපාර්ට්ගේ මතය විවේචනය කරන මහාචාර්ය රෝඩර් පෙන්වා දෙන්නේ සුරිනාමය, නෙදර්ලන්තයේ දූපත්, උතුරු අයර්ලන්තය යන ඒවා ස්වාධීන රටවල් නොවන බවයි. එසේම ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, ලක්ෂම්බර්ග්, කොලොම්බියාව යන රටවල් ජනවාර්ගික බෙදීම් ඇති රටවල් නොවන බවත්, චෙකොස්ලෝවෙකියාවේ වසර හතරක (1989-1993) කාලය පුරා මෙම ක්‍රමය අත්හදාබැලීම් වලින් පසු එම රට දෙකඩ වූ බවත්, ලෙබනනයේ අත්දැකීම සිවිල් යුද්ධයකින් කෙළවර වූ බවත්, මැලේසියාව දෙකඩ වී සිංගප්පුරුව නිර්මාණය වූ බවත්, ඊට අමතරව මැලේසියාවේ ‘සබා’ ප්‍රාන්තය බලයෙන් රඳවා තබා ගෙන සිටින බවත්, එසේම මැලේසියානු අත්දැකීම අවසානයේ ජනවාර්ගික ගැටුමකට තල්ලු වූ බවත්, එමෙන්ම ෆීජි හි එක් වසරක අත්හදා බැලීම හමුදා කුමන්ත්‍රණයකින් කෙළවර වූ බවත්, දකුණු අප්‍රිකානු අත්දැකීම බහුතර ජනවර්ගයේ මතය ජයගනිමින් අවසන් වූ බවත් මහාචාර්ය රෝඩර් සිය පර්යේෂණාත්මක කෘති මගින් පෙන්වා දී ඇත.  එසේම ඔහු පෙන්වා දෙන්නේ ස්විටර්ලන්තය, බෙල්ජියම සහ ඉන්දියාව යන රටවල බලය බෙදීම සාර්ථක වී ඇත්තේ එය ‘බහුවාදය’ පදනම් කර ගත් multiple majorities approach මත පදනම්ව බලය බෙදා ඇති නිසා බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බලය බෙදන්නට සැලසුම් සකස් කරන ඊනියා උගතුන් විසින් සිදු කරනුයේ ලෝකයේ නව දැනුම වෙනුවට දශක ගණනාවක් පිළුණු වූ, යල් පැන ගිය ක්‍රමවේදයක් රාජ්‍ය බලය යොදා ගනිමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ශ්‍රී ලංකාව මත පැටවීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා ලෝකයේ ජනවාර්ගික බෙදීම් ඇති රටවල අසාර්ථකත්වයට පත්වූ ෆෙඩරල් ක්‍රමවේදයක් ස්වයං නීර්ණ අයිතියද සමග ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මෙම ෆෙඩරල්වාදී  කණ්ඩායම කඩි කුලප්පුව හැදුනාක් මෙන් ක්‍රියා කරනු ඉතා පැහැදිලිව පෙනේ.

මෙම පසුබිම තුළ ආචාර්ය දයාන් ජයතිලකගේ ෆෙඩරල්වාදී චන්ද්‍රිකා-මංගල-රාජිත ත්‍රිමුර්තිය නිරාවරණය කරමින් පළ කළ ලිපිය ඉතා වැදගත්කමක් දරයි. එහෙත් එම ලිපිය මගින් ඔහු නොකියන දෙයක් ඇත. ඒ මෙම ෆෙඩරල්වාදීන්ගේ අන්ධ කයිප්පු බලවේගය පරාජය කරන්නේ කෙසේද යන්නයි.

ෆෙඩරල් විරෝධී පොදු වේදිකාව

මා කල්පනා කරන ආකාරයට ෆෙඩරල් මතවාදය මතවාදීමය වශයෙන් පමණක් නොව සමාජ සහ දේශපාලනික වශයෙන්ද එයට නියමිත පරාජය කරා තල්ලු කරවිය හැකි පොදු වේදිකාවක් අවශ්‍ය වී තිබේ. එය පක්ෂ දේශපාලන අරමුණු වලින් ඔබ්බට ගිය ජාතික අරමුණක් පෙර දැරි කරගෙන නිර්මාණය කළ යුතු අතර මෙතෙක් දේශපාලන සහ පෞද්ගලික හේතු මත බෙදී වෙන්වී සිටින සියලුම නායකයන්, විශේෂයෙන් බෞද්ධ නායකයන් මෙම වේදිකාවට ගොඩවිය යුතුව ඇත. එහි එකම අරමුණ ‘ෆෙඩරල්’ මතවාදීමය වශයෙන් මෙන්ම සමාජ සහ දේශපාලනික වශයෙන් පරාජය කිරීමයි.

එබැවින් මහින්ද රාජපක්ෂගේ සිට විජේදාස රාජපක්ෂ දක්වාත්, බෙන්ගමුවේ නාලක හිමියන්ගේ සිට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් දක්වාත්, චම්පික රණවකගේ සිට අද්මිරාල් සරත් වීරසේකර දක්වාත් මෙම වේදිකාව මත දැකිය හැකි විය යුතුය. මෙම නායකයන් සිහිතබා ගත යුතු කරුණ වන්නේ ඔවුන්ගේ අනුග්‍රහය ඇතිව හෝ නැතිව මේ වන විටත් ස්වාධීන තරුණ කණඩායම් ගණනාවක් විවිධ ‘ලේ’ සහ ‘බලකායන්’ගේ නම් යොදා ගනිමින් පහළ මට්ටමින් සංවිධානය වෙමින් සිටින බවයි. එහි ඇති අනතුර නම් මෙවැනි කණ්ඩායම් වලට නියමාකාරයෙන් නායකත්වයක් නොලැබුණහොත් ඔවුන් රැඩිකල් සටන්කාමීන් වීමේ ප්‍රවනතාවයක් නිර්මාණය වීමට බොහෝ ඉඩ කඩ ඇති බවයි. එවැනි ප්‍රවනතාවක් ඇතිවීම ශ්‍රී ලංකාවේ යහ පැවැත්මට සහ ජනවර්ග අතර සහජීවනයට බාධාවක් වනු නොඅනුමානය.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    පෙබරල් කෝකටත් තෛලයක් ගැන දොඩන, හීන දකින, ප්ර්ථනා කරන කාගෙ කාගෙත් ඇස් අරවන ලිපියකි. අගෙයි දොඩම්ගොඩ මහතා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.