23 April, 2024

Blog

සරසවි ගාලගෝට්ටිය නතර කරනු

වෛද්‍ය උපාධි පිරිනැමීමේ ලංකාවේ එකම පෞද්ගලික විශ්ව විද්‍යාලය වන ‘දකුණු ආසියා තාක්ෂණික සහ වෛද්‍ය ආයතනය’ හෙවත් සයිටම් ගැන හාහෝව නැවත කරලියට විත් තිබේ. නැවතත් එය සිදුවෙමින් තිබෙන්නේ වැරදි හේතු පාදක කොටගෙන ය.

ශිෂ්‍ය සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ වෘත්තීය සමිති මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැ යි රජයට බල කරති.

රජය මගින් නොමිලේ සපයන අධ්‍යාපන වැඩපිළිවෙල යටතේ ප‍්‍රතිලාභ ලබන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය ශිෂ්‍යයන් සහ රාජ්‍ය නොවන ඇතැම් සංවිධාන පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් වෛද්‍ය උපාධි පිරිනැමීම දකින්නේ නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් වශයෙනි. තමන්ගේම වන ශික්ෂණ රෝහලක් නැතිව ලෝකයේ පිහිටුවා ඇති එකම වෛද්‍ය පීඨය සයිටම් බව වෘත්තීය සංගම්කාරයෝ කියති. මෙය අමූලික බොරුවකි.

වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය සයිටම් ආයතනයට පැවරීමට විරුද්ධ කණ්ඩායම්වලට ‘ඒකාබද්ධ විපක්ෂයේ’ සහයෝගයත් ලැබේ. රජයේ නොමිලේ අධ්‍යාපන වැඩපිළිවෙලට මෙවැනි විශ්ව විද්‍යාල තර්ජනයක් වන බව ඔවුන්ගේද මතයයි. මොවුන්ගේ මේ හැසිරීම පිළිබඳව පැනනගින ප‍්‍රශ්නය වන්නේ, වෛද්‍ය උපාධි පිරිනමන මේ කියන සයිටම් ආයතනය පිහිටුවන අවස්ථාවේ එදා රට පාලනය කරමින් සිටි ඔවුන්ගේ අනුමැතියත් ඊට නොඅඩුව ලැබුණු කාරණයයි. එය පිහිටුවන ලද්දේ ඔවුන්ගේ අනුමැතිය ඇතිව ය. 2011 අගෝස්තු 30 වැනි දා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, එම්.බී.බී.එස්. උපාධිය පිරිනමන ආයතනයක් වශයෙන් සයිටම් ආයතනයට අනුමැතිය දී ලියාපදිංචි කෙළේය. එසේ කෙළේද, අද ‘ඒකාබද්ධ විපක්ෂයේ’ සිටින අයවළුන් එදා රට පාලනය කළ ආණ්ඩුව යටතේ ය.

ඇත්ත වශයෙන්ම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දහස් ගණනින් මහ පාරේ පෙළපාලි ගිය අවස්ථාවේ අද ‘ඒකාබද්ධ විපක්ෂයේ’ සිටින සහ එදා රට පාලනය කළ අයවළුන් කෙළේ, කැරලි මර්දන පොලීසිය යොදවා කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කොට ඒ විරෝධතා මර්දනය කිරීමයි. මේ විරෝධතාවයෙන් තුවාල ලත් ශිෂ්‍යයන් දහ පහළොස් දෙනෙකු එදා රෝහල්ගත කිරීමටත් සිදු විය.

සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ව මොන හේතුවක් යටතේවත් තමා ලියාපදිංචි නොකරන බව ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ’ සභාපතිවරයා කියා තිබේ. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ හේතුවලින් එකක් වන්නේ, ‘‘සයිටම් ශිෂ්‍යයන් වෝහාර වෛද්‍ය විද්‍යාව හදාරා නැති වීමත්’’, ඒ හේතුවෙන් සායනික පුහුණුව ප‍්‍රමාණවත් නොවීමත් ය. එය සාධාරණ තර්කයකි.

2015 දෙසැම්බර් මාසයේ සයිටම් ශිෂ්‍යයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගැනුණු අවස්ථාවේ මේ ශිෂ්‍යයන්ට අවිස්සාවේල්ල මූලික රෝහලේ සහ කඩුවෙල රෝහලේ එම සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත්තේය. සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබා පිට වන ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීම ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය’ විසින් ප‍්‍රතික්ෂේප කොට ඇති තත්ත්වය ඉදිරියේ තමන් මුහුණදී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා සයිටම් ආයතනයේ එම්.බී.බී.එස්. උපාධිධාරිනියක් අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළාය. සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම්වලින් පසු, මේ වසරේ ජනවාරි 31 වැනි දා සිය විනිශ්චය ප‍්‍රකාශයට පත්කරමින්, සයිටම් ආයතනයෙන් පිට වන එම්.බී.බී.එස්. උපාධිධාරීන්ව ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව’ විසින් තාවකාලිකව ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය නියෝග කෙළේය.

මේ විනිශ්චයට තමන් එරෙහි වන බවට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තර්ජනය කළහ. කෙසේ වෙතත් පසුව එළඹි සිහියෙන් යුතුව කටයුතු කරන බවක් පෙනෙන අතර, මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා යෝජනාවලියක් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටක පීඨාධිපතිවරුන් විසින් දැන් ඉදිරිපත් කොට තිබේ. සංක්ෂිප්තව ගත් කල්හි, රටේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප‍්‍රමිතීන් පවත්වා ගත යුතු බව අවධාරණය කරන ඔවුන්, එම ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා යොදාගත යුතු ක‍්‍රියාවලියක්ද යෝජනා කොට තිබේ.

මීට අදාළ සැබෑ දත්ත දෙස අපි දැන් අවධානය යොමු කරමු: වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් අපට තිබේ. මහාචාර්ය ලලිත මෙන්ඩිස් විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන පරිදි, ලංකාවේ ජනගහනය සහ වෛද්‍යවරුන් සංඛ්‍යාව අතර ඇති අනුපාතය වන්නේ 100000 : 55.2 කි. එනම්, පුද්ගලයන් 1811 කට සිටින්නේ එක වෛද්‍යවරයෙකි. වෛද්‍ය විශේෂඥයන් සම්බන්ධයෙන් ගත් විට තත්වය මීටත් වඩා බරපතල ය. එය, 100000 : 4.8 කි. හෙවත්, පුද්ගලයන් 25,000 කට එක් විශේෂඥ වෛද්‍යවරයෙකි.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව 2006 දී නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව, විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබන ශිෂ්‍යයන්ගෙන් විශ්ව විද්‍යාල වරම ලැබෙන්නේ සියයට 14.34 කට පමණි. හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය ආචාර්ය තාරා ඩි මෙල් 2009 දී පෙන්වා දුන් කරුණු අනුව, අපොස උසස් පෙළ ‘ඒ’ 3 ක් සහිත ශිෂ්‍යයන් 164 කට ද, ‘ඒ’ 2 ක් සහ ‘බී’ 1 සහිත ශිෂ්‍යයන් 1464 කට ද සරසවි වරම් නොලැබී ගොස් ඇත.

රටේ අවශ්‍යතාවට ප‍්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් බිහි කිරීමට රජයේ විශ්ව විද්‍යාලවලට හැකියාවක් ලැබී නැත. විභාගය සමත් වුණත් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් විය නොහැකි, එහෙත් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසු ශිෂ්‍යයෝ සිටිති. ඒ නිසා, ඉහත කී වෛද්‍යවරුන්ගේ හිඟය පියවා ගැනීමට උදව් වීමේ වගකීමක් රටට තිබේ. එසේ තිබියදී, නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් වෙතැයි කියන පුහු තර්ක මත, රටත් ජනතාවත් ගෙලග‍්‍රහණයෙන් ගැනීමට ඉඩ දිය නොහැක.

දැනටමත් අපට පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබේ. එසේ තිබියදීත් නිදහස් අධ්‍යාපනය දිගටම කෙරීගෙන යයි. ඒ නිසා දැන්වත් සිහි බුද්ධිය මෙහෙයැවිය යුතුව තිබේ. දැන්වත් සරසවි ගාලගෝට්ටිය නතර කළ යුතුව තිබේ.

*2017 පෙබරවාරි 13 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Stop The Rumpus at the Campus” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.