2 May, 2024

Blog

දූෂණයට එරෙහිව දැන් ක‍්‍රියාත්මක වන්න: හෙට ප‍්‍රමාද වැඩියි

පැවති පාලන සමය තුළ සිදු වී තිබෙන පෙර නොවූ විරූ තරමේ සහ සිතාගත නොහැකි තරමේ දූෂණ ගැනත්, බලයට පත් වී දින 10 ක් ගත වී තිබෙන මෛත‍්‍රීපාල සිරිසේන පාලනය විසින් ඒවාට එරෙහිව නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම ගැනත්, ජනවාරි 8 වැනි දා ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයෝ දිනෙන් දින කෝපයට පත්වෙමින් සිටිති.

රුපියල් ප‍්‍රකෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි පුද්ගලයෙකුට, ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමගම රටින් පිටව යාමට ඉඩ හැරීම ගැන, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක, ජනාධිපතිවරයාටත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටත් දෝෂාරෝපණය කෙළේය. පසුගිය මැතිවරණය තුළ විපක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨය බවට පත් වූ දූෂණ විරෝධය සහ යහපාලනය ගැන සැලකිල්ලක් දැක්වූ මිනිස්සු, වර්තමාන ආණ්ඩුවේ අයවළුන් විසින් ‘හොරුන් සහ මංකොල්ලකරුවන්’ වශයෙන් එදා හැඳින්වූ පුද්ගලයන්ට දැන් නිදහසේ රටින් පිටව යාමට ඉඩ දෙන්නේ ද යන්න ගැන විපිළිසර වෙති.

Basil LAXමැතිවරණ කාලයේදී බලයේ සිටින ආණ්ඩුවේ දූෂණ ගැන විපක්ෂයේ පක්ෂ බෙරිහන් දෙයි. එහෙත් වංචා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් දඬුවමට ලක්වූ හෝ නීතිය ඉදිරියට පැමිණවූ දේශපාලනික නායකයන් විරල ය. එවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් එකම උදාහරණයකට ඇත්තේ, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් හිටපු අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීම කරනු ලැබීම පමණි.

වර්තමාන ආණ්ඩුවේ සිටින එක් ඇමතිවරයෙකු 1994 පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහ පරිමාණ දූෂණ චෝදනා සම්බන්ධයෙන් එදා විපක්ෂයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවට ලක්විය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ මැතිවරණයෙන් බලයට පත්වූ පසු ඔහුට විරුද්ධ කිසි ක‍්‍රියා මාර්ගයක් ගත්තේ නැත. ඒ නිසා, පාලක පක්ෂයේ දූෂණ සහ අපරාධ ගැන චෝදනා ගැන විපක්ෂයේ සිටියදී මොන තරම් චෝදනා නැගුවද, ඔවුන්ට එරෙහිව ක‍්‍රියා නොකිරීමේ අප‍්‍රකාශිත සම්මුතියක් දේශපාලඥයන් අතර ඇතැ යි ජනතාව සිතති. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව මේ ආණ්ඩුව විසින් ද නිසි ක‍්‍රියා මාර්ග නොගනිති යි ජනතාව සිතන්නේ එබැවිනි.

අනිත් අතට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්ව ඇත. ජනතාවගේ සම්පත් කොල්ලකෑ බවට චෝදනාවට අද ලක්වන්නේ එම පක්ෂයේ නායකයන් ය. දූෂණ විරෝධය සහ යහපාලනය සම්බන්ධයෙන් මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු කිරීමට නම් වර්තමාන ජනාධිපතිවරයාට තමාගේම පක්ෂයේ නායකයන්ට එරෙහිව පියවර ගැනීමට සිදුවෙයි. එම චෝදනාවන්ට ලක්ව සිටින අය අතරට එම පක්ෂයේ හිටපු අනුග‍්‍රාහක නායකයෙකු ද ඇතුළත් ය.

කෙසේ වෙතත්, පැවති පාලන තන්ත‍්‍රයේ නායකයන් සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇත්තේ පැමිණිලි දෙකක් පමණි. එකක් වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂට සහ තවත් අයවළුන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලයි. දෙවැන්න වන්නේ, මැතිවරණ පරාජය අභිමුව සිටියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වැනි දා හිමිදිරියේ කුමන්ත‍්‍රණයක් කිරීමට සැලසුම් කිරීමක් ගැන වර්තමාන විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් කරන ලද පැමිණිල්ලයි. පසුගිය මැතිවරණ කාලය තුළ ජනතාව අතර බෙදා හරින ලද, නව රජයේ 100 දිනයේ වැඩ පිළිවෙලට අනුව, හිටපු පාලන තන්ත‍්‍රයේ දූෂණ සොයා බැලීම සඳහා වන විශේෂ විමර්ශන කොමිසම පත් කිරීමට නියමිතව ඇත්තේත් අද හෙටම නොව, පෙබරවාරි 5 වැනි දා ය. එහෙත් වඩාත් ඥානාන්විත වන්නේ, වහාම ක‍්‍රියාත්මක වීමයි. හෙට ප‍්‍රමාද වැඩි විය හැකිය.

*2015 ජනවාරි 20 වැනි දා ඬේලි මිරර් පුවත්පතේ “Act Now Against Corruption: Tomorrow will be Too Late” නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.