15 December, 2017

Blog

වාර්ගික ලේබල්කරණය සහ වෛරී භාෂණය නතර කරන්න

courtesy Foreign Correspondents' Association of Sri Lanka Facebook page

වාර්ගික අසාධාරණය දුරලීමේ ලෝක දිනය මාර්තු 21 වැනි දාට යෙදී තිබේ. මේ වසරේ එහි තේමාව වන්නේ, රට රටවල්වල විදේශික සංක‍්‍රමණිකයන් පිළිබඳ සන්දර්භය තුළ විවිධ ජන ප‍්‍රජාවන් වාර්ගිකව ලේබල් කිරීම සහ ඔවුන්ට එරෙහිව වෛරය උසි ගැන්වීම පිළිබඳ ප‍්‍රශ්නයයි. ඇමරිකාවේ ජනාධිපති තනතුරට ආන්දෝලනාත්මක චරිතයක් වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් පත්වීමත්, මුස්ලිම් රටවල් හයක සංක‍්‍රමණික ජනයා ඇමරිකාවට පැමිණීම තාවකාලිකව තහනම් කරමින් ඔහු පැනවූ විධායක නියෝග දෙකක් පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැගී ඇති තත්වයකුත් තුළ මේ මාතෘකාව මහත් වැදගත් කමක් ගන්නේය. හවායි සහ මේරිලන්ඞ් ප‍්‍රාන්ත රාජ්‍යයන් දෙකේ ෆෙඩරල් විනිසුරුවරුන් දෙන්නෙකු ඉහත කී ජනාධිපති නියෝග දෙක නීති විරෝධී බවට තීන්දු කොට තිබේ. නීතියේ ලියැවී ඇති අකුරුවලට එහා යමින් ඒ නීතිය පසුපස ඇති සාරය අනුව මේ තීන්දුවට විනිසුරුවරුන් එළැඹ තිබීම නිසා, ඔවුන් තමන්ගේ සීමාව ඉක්මවා ගොස් ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා චෝදනා කෙළේය. එහෙත් බොහෝ නීති විශාරදයින් මේ තීන්දු, අධිකරණමය සමාජ සක‍්‍රීයත්වයට සාක්ෂියක් වශයෙන් වශයෙන් පැසසුමට ලක්කොට තිබේ. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් බ්‍රෙක්සිට් තීන්දුවත් සමග කරලියට පැමිණි ජනතාවාදී ප‍්‍රවණතාව, දේශපාලනික න්‍යෂ්ටික පිපිරීමක් වැන්න. ඉන් අනතුරුව, ඇමරිකානු ජනතාව ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැන්නෙකු තම ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. ඊට අමතරව, ප‍්‍රංශය සහ ජර්මනිය වැනි ප‍්‍රධාන පෙළේ යුරෝපා රටවල යථා කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණවලින් අන්ත දක්ෂිණාංශික දේශපාලඥයන් බලයට පත්වීමට ඇති ඉඩකඩ පිළිබඳ මහත් වූ භීතියක් ඇති කොට තිබේ. වාසනාවකට මෙන්, පසුගිය බදාදා ඕලන්දයේ පැවති මහ මැතිවරණයේදී එරට ජනතාව ඉහත කී අන්තවාදී ජනතාවාදයට යට නොවී, යම් සංයමයක් සහිත මැද මාවතක් පිළිබඳ අපේක්ෂා දල්වා ගත හැකි තීන්දුවක් ලබා දුන්හ. එම මැතිවරණ ප‍්‍රතිඵලය, විවිධ ජන කොටස් අතර පවතින විවිධත්වය ඉවසීමට සූදානමක් ඇති බව කියාපාන බලාපොරොත්තු දල්වන්නකි.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනයකට අනුව, මානව හිමිකම් සඳහා වන අයිතියක් සෑම පුද්ගලයෙකුටම තිබේ. එහිදී කිසි කෙනෙකු වෙනස් කොට සැළකිය යුතු නැත. එහෙත් ලෝකයේ බොහෝ තැන්වල තවමත්, වෙනස් ආකාරයෙන් විවිධ ජන කොටස්වලට සළකනු දක්නට ලැබේ. එහිදී, ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී සහ ජාතිකවාදී ලේබල් ගසා මිනිසුන්ට සළකනු ලැබේ. ඔවුන්ට එරෙහිව ඒ පදනම් ඔස්සේ වෛරය වපුරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායකයන්ට අනුව, වාර්ගික වශයෙන් ලේබල් කිරීම දක්නට ලැබෙන්නේ, වර්ගය, හමේ පාට, ජාතික හෝ වාර්ගික මූලය මත පදනම්ව නීතිය ක‍්‍රියාත්මක කරනු ලබන ආයතන, ආරක්ෂක අංශ සහ දේශසීමා මුරකාවල් අංශ විසින් ඇතැම් පුද්ගලයන් සහ පුද්ගල කොටස් සාපරාධීත්වයට සම්බන්ධතා ඇත්දැයි සෙවීම සඳහා අසාමාන්‍ය සේ පරීක්ෂාවට ලක්කරනු ලැබීම් සහ පීඩාවට පත්කරනු ලැබීම් තුළ බව පෙන්වා දෙති.

ලේබල් ඇලවීම සහ වෛරයට පාත‍්‍ර කිරීමට බොහෝ විට ලක්වන්නේ සරණාගතයන් සහ සංක‍්‍රමණිකයන් ය. ගිය වසරේ සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ වෙනත් එවැනි තැන්වල ඇති වු යුද්ධ හේතුකොටගෙන අවතැන්වූවන්ගේ, සරණාගතයන් සහ සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව, දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇති වූවාටත් වඩා බරපතල අන්දමින් ඉහළ ගොස් තිබේ. මේ යුද්ධ තත්වයෙන් ජීවිත බේරාගෙන පළා එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට තමන්ගේ රටවල දොරටු වැසීමට ඇමරිකාව, බි‍්‍රතාන්‍ය සහ තවත් එවැනි රටවල් ගණනාවක් කටයුතු කළ අතර ජර්මනිය වැනි රටවල් එම ජනතාව කෙරෙහි මානුෂීය ආකල්පයක් දැක්වීය. එහිදී, ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල්, තමන්ගේ දේශපාලනික අනාගතය පවා පරදුවට තබමින් අර කී සරණාගතයන් මිලියනයක් පමණ තමන්ගේ රටට භාර ගත්තාය. ඇගේ ඒ ලිබරල් සහ මානවවාදී ආකල්පය, ඇමරිකාවේ අලූතෙන් බලයට පත් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නිර්දය විවේචනයට ලක්විය. මේ නායකයන් දෙන්නා පසුගිය බ‍්‍රහස්පතින්දා ධවල මන්දිරයේදී හමු වූහ. එහිදී, ඇමරිකාව සහ ජර්මනිය අතර සම්බන්ධතා වර්ධනය කරගත යුත්තේ, සමාජ සාර්ධර්ම මත පදනම්ව මිස හුදෙක් ව්‍යාපාරික හවුල්කාරීත්වයක් මත පමණක් නොවන බව ඇන්ජෙලා මර්කෙල් ඇමරිකානු රාජ්‍ය නායකයාට පෙන්වා දී තිබේ.

2016 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කර ගන්නා ලද, ‘සරණාගතයන් සහ සංක‍්‍රමණිකයන් සඳහා වන නිව්යෝර්ක් ප‍්‍රකාශනය’ තුළ, ජාතිවාදය, වර්ගවාදී නොසැළකීම්, විදේශික වෛරය සහ සරණගාතයන් සහ සංක‍්‍රමණිකයන් කෙරෙහි දක්වන වෛර සහගත ආකල්පය තදබල ලෙස හෙළාදැක තිබේ. එවැනි ආකල්ප සහ හැසිරීම්, විශේෂයෙන් වෛරය මත පදනම්ව කෙරෙන අපරාධවලටත්, වෛරී භාෂණය සහ ජාතිවාදී හිංසනයටත් එරෙහිව කටයුතු කිරීම සඳහා පියවර ගන්නැයි එම ප‍්‍රකාශනය තුළින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වකීය සාමාජික රටවල්වලින් ඉල්ලා සිටියේය.

ගිය වසරේ සැප්තැම්බර් මාසයේ සරණාගතයන් සහ සංක‍්‍රමණිකයන් පිළිබඳ සමුළුවක් පැවැත්වුණි. ‘එක්ව විසීම’ යන තේමාව යටතේ එහිදී ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් තුළින් සරණාගතයන් සහ සංක‍්‍රමණිකයන් කෙරෙහි නිසි ගෞරවය දක්වන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ අභිමානය ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්, සිවිල් සමාජ සහ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් යුතුව, සරණාගතයන් සහ සංක‍්‍රමණිකයන් කෙරෙහි දක්වන වැරදි ආකල්ප වෙනස් කැරැුවීමට ඒ මගින් අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය, ලොව පුරා වෙසෙන ජනතාවගෙන් අද ඉල්ලා සිටින්නේ ‘යමෙකුගේ අයිතීන්’ වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. 2016 මානව හිමිකම් දිනයේදී දියත් කරන ලද මේ ව්‍යාපෘතිය ඔස්සේ, අනෙක් අයගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට අපේ දෛනික ජීවිතයේ දී අප වගබලාගත යුතු බව පෙන්වා දෙයි. අප කොහේ සිටියත්, එවැනි භාවිතාවක් හරහා ලෝකයේ යම් වෙනසක් කිරීම සඳහා අපට දායක විය හැකිය. එවැනි ලෝක වෙනසක් පටන්ගත යුත්තේ අප තනි තනි පුද්ගලයන් වශයෙන් ඊට මැදිහත් වීම ඔස්සේ ය.

ශ‍්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුව, විවිධත්වය තුළ බහු-වාර්ගික, බහු-ආගමික එක්සත් භාවය ආරක්ෂා කර ගැනීම සඳහා ප‍්‍රමුඛත්වය දෙයි. සංහිඳියාව සහ තිරසාර සාමය සඳහා සියලූ දේශපාලන පක්ෂ, ආගමික කණ්ඩායම් සහ වෙනත් සියල්ලන් එකා වන්ව පෙරට ආ යුතු බව, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නැවත නැවතත් අවධාරණය කරති. අපේ ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් සහ සම්ප‍්‍රදායන්ට අප ගරු කරන අතරේම අනෙක් අයගේ ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් සහ සම්ප‍්‍රදායන්ටත් අප ගරු කළ යුත්තේය. අපට අපේ එක්සත් කම රැුක ගත හැක්කේ එවිට ය. ඒ සමගම, ඊට සරිලන ධනය සහ සම්පත් සාධාරණ අන්දමින් බෙදා හැරෙන ක‍්‍රමයක් ද අප සකසා ගත යුතුව ඇත්තේය. ඉතිං, මේ වසරේ දී, වාර්ගික හෝ ආගමික ලේබල් ඇලවීමෙන් ගැලවී, වෛරී භාෂාවෙන් වැළැකී කටයුතු කිරීමට අපි අදිටන් කර ගමු.

*2017 මාර්තු 18 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Stop Ethnic Profiling & Hate Speech” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.