19 March, 2024

Blog

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චර්යාව පිළිබඳ රෝග විනිශ්චය

ඊයේ පැවති ඊනියා වැඩ වර්ජනයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳව පළවෙන පරස්පර වාර්තා මධ්‍යයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භූමිකාව පිළිබඳ ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් මතුවෙයි. පහළොස් දහසක සාමාජිකත්වයක් ඇති තමන්ගේ සංගමය ආසියාවේ තිබෙන බලගතුම වෘත්තීය සංගම්වලින් එකක් වන බවට එම සංගමය පාරම්බායි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සහ සාමාජිකයන් රජයේ රෝහල්වල දහස් ගණන් අසරණ රෝගීන් පීඩාවට පත්කරන අතරේ හැන්දෑ වරුවෙත්, විටෙක රාත්‍රිය බෝ වන තෙක්මත් පෞද්ගලික රෝහල්වල චැනල් සේවාවේ නියුක්ත වන බවට ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතැම් ඇමතිවරු චෝදනා කළහ. සමහර වෛද්‍යවරුන් මේ ආකාරයෙන් දිනකට රුපියල් දස දහස් ගණනින් උපයන බව කවුරුත් දනිති. ඊයේ සවස හතරට වෛද්‍ය සංගමයේ සභාපතිවරයාගෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට මුදල් ගෙවා තිබූ රෝගීන්ගේ කුවිතාන්සිවල ඡායා පිටපත් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මෙවැනි අවස්ථාවක රෝගියෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 1900 ට වැඩි ය. විවිධ පරික්ෂණ සඳහා – සමහර විට අත්‍යාවශ්‍ය වන, සමහර විට අත්‍යාවශ්‍ය නොවන සහ තවත් විටක කොහෙත්ම අවශ්‍ය නොවන පරීක්ෂණ සඳහා – වැය වන ගාස්තුවත් එකතු වූ විට වියදම රුපියල් 8000 ක් පමණ විය හැකිය. මේ සියල්ලට අමතරව, ඖෂධ මිලත් ඊට එකතු කළ විට මුළු වියදම රුපියල් 10,000 ක් පමණ විය හැකිය. එවැනි වියදමක් දැරිය හැක්කේ ධනපති සහ ඉහළ මධ්‍යම පංතිකයන්ට පමණි. දුප්පතාට ඇත්තේ නිශ්ශබ්දව විඳවීමට හෝ මියයාමටයි. එක් රූපවාහිනී නාලිකාවක් ඊයේ එක් රෝගියෙකු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කෙළේය. ඊයේ කිලෝ මීටර් සියයකට වැඩි දුරක් ගෙවා මේ රෝගියා තමාගේ සායන දිනය සඳහා පැමිණ ඇත. ඔහු හෘද රෝගියෙකි. එහෙත් ඊයේ පැවති වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය නිසා ඔහුට කරකියාගත හැකි දෙයක් නොවිණ. අවශ්‍ය කරන ඖෂධ පිටතින් මිලදී ගැනීමට හැකියවක්ද ඔහුට නොවිණ.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ චෝදනා ප‍්‍රතික්ෂේප කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කියන වැඩ වර්ජනය පැවැත්වෙන දවසේ උදේ 8 සිට පසුව දා උදේ 8 වන තෙක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන ලෙස තම සාමාජිකත්වයට දැනුම් දී ඇති බව කියයි. එහෙත් ඊයේ දවසේ පෞද්ගලික රෝහල්වලට ගිය මේ පිළිබඳව විමර්ශනයේ යෙදෙන වාර්තාකරුවන් සහ වෙනත් අය දුටු පරිදි, වෙන දාට වඩා නොවේ නම් වෙන දා තරමේම සෙනගක් එම රෝහල්වලට මේ දවසේත් සිටි බව නිරීක්ෂණය කොට තිබේ. සමහර රෝහල්, වෙළඳ පොළවල් ගානට සෙනගින් පිරී තිබුණි. එහි අදහස වන්නේ දහස් ගණන් වෛද්‍යවරුන්, එක්කෝ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊනියා දැනුම්දීම් නොතකා හැර ඇති බව ය. නැත්නම්, දෙපිටකාට්ටු ක‍්‍රියාවක නිරතව ඇති බව ය. එනම්, රජයේ රෝහල්වල දුප්පත් රෝගීන්ට පිළියම් කිරීමෙන් වැළකී සිටින අතරේ පෞද්ගලික රෝහල්වල අතමිට සරු රෝගීන්ට ප‍්‍රතිකාර කර ඇති බව ය.

දේශපාලනයේදී වේවා, වෛද්‍ය වෘත්තියේ හෝ වෙනත් ඕනෑම අංශයක වේවා, ඒකාධිකාරය සහමුලින්ම අහිතකර දෙයකි. දේශපාලනිකව ගතහොත්, තනි පක්ෂයක පාලනයක් අවසානයේ ගමන් කරන්නේ ඒකාධිපතිත්වයක් කරා ය. අධිකාරීවාදයක්, මිනිසුන් තලාපෙලා දැමීමක් සඳහා එවැනි ක‍්‍රමයක් අවසානයේ යොමු වන්නේය. වෛද්‍ය ක්ෂේත‍්‍රයේදී සිදුවන්නේත් එවැන්නකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාධිපති ස්වරූපයක් අත්කරගෙන තිබේ. අවාසනාවකට, සමහර විට අන්තරායකාරී ලෙස, එහි වින්දිතයන් බවට පත්වන්නේ දුප්පත් රෝගීන් ය.

පසුගිය මාස කිහිපය තිස්සේම, සයිටම් වෛද්‍ය පීඨය රජයට පවරාගත යුතු බව කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිතර වැඩ වර්ජන දියත් කෙළේය. සයිටම් යනු කුමක්ද කියාවත් දුක් විඳින අහිංසක රෝගීහූ නොදනිත්. පොලොන්නරුවේ සිට ඊයේ ප‍්‍රකාශයක් කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සයිටම් ප‍්‍රශ්නයට අදාළ සියලූ පාර්ශ්ව සමග තමන් සාකච්ඡා කොට ඇති බවත්, සියල්ලන්ට සාධාරණ විසඳුමක් ලබා දීමට රජය කටයුතු කොට ඇති බවත් කියා සිටියේය. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යස්ථ තැනකට ඒම ප‍්‍රතික්ෂේප කරමින්, සයිටම් ආයතනය රජයට පවරා ගැනීමට කීම ගැන තමන් කණගාටු වන බව ඔහු කීය. වෛද්‍යවරුන් කියන පරිදි රජයක් එසේ කළොත්, විදේශීය සහ ශ‍්‍රී ලාංකීය ආයෝජකයන් මේ රටේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුබට වනු නිරනුමානයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙනිය පෝයට සිල් සමාදන් වන බෞද්ධයෙකු වන තත්වයක් තුළ, ඊළඟ සතියේ එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබෙන මෙවැනි මොහොතක දුප්පත් රෝගීන්ව මෙසේ පීඩාවට පත්කිරීම තමාට සිතා ගත නොහැකි බවත් ජනාධිපතිවරයා කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙලෙන මේ වැඩ වර්ජන පිස්සු නිසා, අතිධාවනික වාමවාදී ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම්වල නිරන්තර විරෝධයන් නිසා, මෙවැනි වැඩ වර්ජන සහ විරෝධතා මර්දනය කිරීම සඳහා පියවර ගැනීම කෙරෙහි ආණ්ඩුව තල්ලු වෙමින් සිටී. එක් යෝජනාවක් වන්නේ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව, අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, හදිසි අවස්ථාවලදී දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමටත් යොදාගත යුතුව ඇති බවයි. වෘත්තීය සමිති හෝ ශිෂ්‍ය සංගම්වල අයිතීන් ජනතාවගේ පොදු යහපත සඳහා වන ඔවුන් සතු වගකීම් සමග බැඳී නැතොත්, එවැනි සංගම්වලට තමන්ගේ අයිතීන් වෙනුවෙන් ඇති සදාචාරමය අයිතියත් අහිමි වන්නේය.

*2017 මැයි 06 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Diagnosis of the GMOA’s Conduct” නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.