20 April, 2024

Blog

විල්පත්තු රිළවාට සිදුවන්නේ කුමක්ද ?

නව්ෆාල් ඒ සමඩ් –

විවිධ මාධ්‍ය හරහා දිනෙන් දින මාධ්‍ය සංදර්ශනයක් ලෙස නැවත නැවත උලුප්පා තබමින් විශාල පාරිසරික ප්‍රශ්ණයක් ලෙස රට ඉදිරියේ තැබීමට උත්සාහ කරන විල්පත්තුව ආශ්‍රිත කල්ආරු රක්ෂිතය ආසන්නයේ මන්නාරම්-පුත්තලම මාර්ගය දෙපස කොටස් කීපයක් හෙලිපෙහෙලි කිරීම සම්බන්ධව විශාල ආන්දෝලනයක් පවතියි. පරිසරය ආරක්ෂා කරගැනීම කාගේත් යුතුකමක් හා වගකීමකි. මෙම සිද්ධියට අදාල වන රක්ෂිතය ලෙස හුවා දක්වන කොටස පැරණි ගමිමාන දෙකකට අයත් ප්‍රදේශ වන බව ප්‍රකාශවේ.

Wilpattu.Sri.Lanka.WEBවිල්පත්තුව ජාතික වනෝද්‍යානය හා තබ්බෝව වනජීවී රක්ෂිතය සම්බන්ධවී ඇති ආකාරය ගුවනින් දළවශයෙන් දිස්වන්නේ රිළවෙකුගේ හැ‍ඩයෙනි. මෙම වනාන්තර පද්ධතියේ උතුරු මායිම ලෙස දක්වා ඇති කොටසෙහි එනම් මන්නාරම දිස්ත්‍රික්කයට අයත් මුසලි ප්‍රා.ලේ. කොට්ඨාශයේ දකුණු කොටසේ මහා වන සංහාරයක් සිදුවන බව පවසති. එහෙත් එම කොටස අයත්වන්නේ නැගෙනහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් කි.මී. 10 ඈතින් සහ දකුණින් කි.මී. 3ක් ඇතින් පිහිටි කොටසකය. ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට මෙම ජනාවාසයේ කිසිඳු හානියක් සිදුවී නැති බව සනාථවේ. මෙම විරෝධතා ක්‍රියා දාමය නිසා සැබැවින්ම විල්පත්තු වනාන්තර පද්ධතිය වටා වෙනත් ජන කොටස්වලින් සිදුවූ වන විනාශය සහ සිදුවෙමින් පවතින දැවැන්ත වන විනාශය වෙනත් දිශාවකට හරවා ඇත.

සැබෑ විල්පතු වනාන්තර පද්ධතියේ දකුණු මායිම ආසන්නයේ පිහිටි, පොම්පරිප්පු, ගගේ වාඩිය, වනාතවිල්ලු, මුරුන්ඩන්වෙලි, එලුවන් කුලම, හම්මිල්ලගොල්ලෑව ඉහළ පුලියන්කුලම පුලියන්කුලම සහ වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේත් ඒ අවට පිහිටි කුකුල්කටුව, හුණුවිලගම, කටුපත්වැව, ඔයාමඩුව ආදී ගම්මාන අවට හෝ ඒවා ආසන්නයේ පිහිටි වන රක්ෂිතවල අතිවිශාල වන විනාශයක් සිදුවී ඇත. එම ප්‍රදේශ විල්පත්තු නැගෙනහිර සීමාවට යාබද ඉතාමත් ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයන්ය. මහවිලච්චිය වැව් රක්ෂිතය විල්පත්තු වනාන්තරයේ නැගෙනහිරින් පිහිටි ප්‍රධානතම වන රක්ෂිතයයි. එය එම වැවේත් මෝදරගම් ආරු ගංගාවේත් ප්‍රධාන රක්ෂිතය හා පෝෂක ප්‍රදේශය වුවත් අද වනවිට ශේෂවී ඇත්තේ එයින් තුනෙන් එකක් පමණ කොටසකි. විල්පත්තුව ආශ්‍රිතව ගංවතුර තර්ජන ඇතිවීමට හෝ නියං බලපැම් ඇතිවීමටත් මෙම වන විනාශය හේතුවිය හැකිය. විල්පත්තු සීමාවෙන් ඔබ්බට වන විනාශයක් සිදුවී ඇති අකාරය දැන් ගුවනින් මනාව පැහැදිලිය.

විල්පත්තු නැගෙනහිර මායිම් ප්‍රදේශවල මහ වනය තුළ විශාල ගස් ඉවත්කර ඇති ආකාරයද බලාගත හැකිය. මෙම ක්‍රියාවලිය විල්පත්තු රිළවාගේ අත් පා කපා දමා බඩවැල් ඇද දැමීමක් බඳුය. සැබැවින්ම පරිසරවේදීන් කියා ගන්නා අය සඳහන් කරනු ලබන ශාඛ විශේෂද ඇත්තේ මෙම ප්‍රදේශයේය.

තවද ඊසානදිගට වන්නට තන්ත්‍රිමලේ ආශ්‍රිතව සැබෑ විල්පත්තු වනාන්තරයේ කොටසක් ආක්‍රමණය කොට ජනාවාසකරණයක් සිදුවී ඇත. මෙම සිදුවීම ගූගල් විචිත්‍ර ආශ්‍රිතව බැලීමෙන් ඕනෑම කෙනෙකුට වටහා ගතහැකිය. මෙය මා දකින්නේ විල්පත්තු රිළවාගේ මුහුණට සිදුකළ බරපතල හානියක් ලෙසය. එමෙන්ම විල්පත්තු වනයේ උතුරු කොටස විල්පත්තු රිළවාගේ හිස කොටස ලෙස සැලකිය හැකිය. දැනට රිළවාගේ හිස් මුදුන් කොණ්ඩය කපා ඇති අයුරුද දැකගත හැකිය.

විල්පත්තු දකුණු සීමා ප්‍රදේශවල රක්ෂිත විශාල ලෙස හෙලිපෙහෙළි කොට ඇති බව පෙනේ. තබ්බෝව වනජීවී උද්‍යානයේ ශේෂ වී ඇත්තේ තුනෙන් දෙකක පමණ කොටසකි. විල්පත්තු රිළවාගේ වලිගය ලෙස සැලකිය හැකි තබ්බෝව වනෝද්‍යානය වෙන්වන්නට ආසන්නවෙමින් පවතියි. එම විනාශය සිදුකරමින් තිබෙනුයේ නැවත පදිංව්යට ආ අයනොව වනපෙත් සංහාරයට රුචි සුලුජාතීන් නොවන පිරිසකි. වර්තමානයේ අතිවිශාල ගංජා වගාබිම් තිබෙනුයේ විල්පත්තු නැගෙනහිර හා දකුණු මායිම් ප්‍රදේශවල බවට මතයක් පවතියි.

මේ සියල්ල බැලීමේදී විල්පත්තු උතුරේ කල්ලාරු රක්ෂිතයට යාබද මරිචිචිකට්ටි සහ කරඩික්කුලි රක්ෂිත ලෙස 2012 දී සීමා නිර්ණය කළ කොටස තුළ තල්ලඩි, අරිප්පු-පුත්තලම් මාර්ගය දෙපස මුසලි ප්‍රදේශයෙන් 1990 සිට අවතැන්ව සිට නැවත පැමිණෙන පිරිස් පදිංචිකරමින් සිටින මුස්ලිම් ජනාවාස ප්‍රදේශය අයත් වන්නේ විල්පත්තු රිළවාට අලුතින් වැඩුණු කොණ්ඩය ආශ්‍රිතවය. මෙම සිද්ධිය රිළවාට අලුතින් පැලැන්දූ බොරු කොණ්ඩය කැපීමකට සමානය.

මෙම සිද්ධිය ඉදිරියේදි ජාත්‍යයන්තර මට්ටමක් දක්වා විහිදීයන ගැටලුවක් බවට පත්වෙමින් ඇත. දැනට සිදුවන විරෝධතාවය නැවත පදිංචියට පැමිණෙන පිරිසගේ මානව හිමිකම් උලලංගනයක් ද වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ප්‍රකාශිත නැවත පදිංචිකිරීමේ ප්‍රතිපත්තිවලටද පටහැනිය. වසර 25කට වඩා කාලයක් පුත්තලම ආශ්‍රිත අවතැන් කඳවුරුවල ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගෙවා නැවත පදිංවියට යන අවස්ථාවේ පැන නැගී ඇති මෙම ගැටලුව පරිසරවේදයේ නිර්නායකවලටත් රටේ නීතියටත් පිටස්තරව සිට සිදුකරන බව පවසමින් ජාතිවාදී දෘෂිඨිකෝණයෙන් කරනු ලබන ප්‍රකාශ අතිශයින් වේදනාකාරීය. එක්තරා පිරිසකගේ යටි අරමුණ වන්නේ මෙම ජනාවාස නවතා දැමීමටය. මරිචිචිකට්ටි සහ කරඩික්කුලි යනු මොවුන් 1990ට පෙර වාසයකළ පාරම්පරික ගමිමානයන්ය. අවුරුදු 25කින් වනාන්තර වැවුණු පලියට එම ගම්මාන රක්ෂිත බවට පත් කළ හැකිද?. පසු යුධ සමයේ සහ ඊට පෙර හමුදා විසින් අත්පත් කරගෙන තිබු මුස්ලිම් ගම්මාන කීපයක් ද මෙහි පිහිටා ඇත. නැවත පැමිණෙන අයට ඒ පැරණි ගමිමාන අහිමිය. දැන් ඔවුන් යායුත්තේ කොයබද? ඇතැම් මාධ්‍ය උත්සාහ කරනුයේ ඔවුන්ව වළපල්ලට යැවීමට හෝ තවදුරටත් අවතැන් කිරීමටය. සිදුවෙමින් පවතින සිද්ධීන් එම ජනාවාසවල සිටින අයව විශාල භීතියකට පත්කොට ඇති අතර අලින් සමග ජීවත්වු ඔවුන්ට තර්ජනයක්ව ඇත්තේ අලින්ගෙන් නොව මාධ්‍ය ආයතන තුනක් පෙරදැරිකරගෙන සිදුකරන පරිසර භීතිකාවය. මෙම ගම්වාසීන් රජ දවස මහනුවර දළදා මාළිගාවටත් අලි සැපයූ පිරිසක් බවද පැවසේ. ඒ නිසා අලි සමග ඔවුන් ජීවත් වීමේ ක්‍රම දැන සිටියහ.

ඩ්‍රොන් කැමරා යොදාගෙන නැවත නැවතත් උලුප්පා දක්වනුයේ එකම දෙයයි. සැමදාම පෙන්වනුයේ සුළගින් කඩා වැටී ඇති ගසක මුදුන් කොටසය. මුල් කොටස කොහේ හෝ ගස් කැපූ ස්ථානයකි. මෙම මාධ්‍ය සන්දර්ශණයට අනුග්‍රාහකයින් කවුදැයි දැන්දැන් පැහැදිලි වෙමින් පවතියි. කණගාටුවට කරුණ වන්නේ පරිසර ඇමති තුමාට විල්පත්තුවේ නැගෙනහිරින් සහ දකුණින් හෙළිකර පත්තුවී අවසන් ප්‍රදේශ හෙලිකොප්ටරයෙන් ගොස් නොපෙන්වීමය. විල්පත්තු රිළවාගේ මුහුණ හා බඩ කපා ඇති අයුරුත් වලිගය වෙන්වීමට ළංවී ඇති අයුරුත් මනාව දර්ශණය වනු ඇත. රිළවාට 1990 න් පසුව වැඩුණු කොණ්ඩයෙන් කොටසක් කැපීමෙන් මෙතරම් කළබල වූවානම් සැබෑ විල්පත්තුව හා ඒ ආශ්‍රිත රක්ෂිත නැගෙනහිරින් හා දකුණින් පත්තු කිරීමට ඉඩදී බලාසිටින පරිසරවේදීන් යයි කියාගන්නා අය ගැන කුමක් කිව යුතුද?. පරිසරවේදයට ජාතිවාදය මුසුවූවිට දර්ශනය වන්නේ පරිසරජාතිවාදය මිස පරිසරවේදය නොවේ. මෝදරගම් ආරු රක්ෂිතයේත් විල්පත්තු වනෝද්‍යානයේ නැගෙනහිර මායිම තුළ සිදුවන මහා වන විනාශය ඔවුන්ගේ ඇස් වලට නොපෙනෙන්නේ ඒ නිසාමය.

මරිචිචිකට්ටි සහ කරඩික්කුලි වන රක්ෂිතයක් ලෙස 2012-10-10 දින ප්‍රකාශිත ගැසට් පත්‍රෙය් ඇතුළත් ඇතැම් ඛණ්ඩාංක වැරදිය. එයින් එක් ඛණ්ඩාංකයක් ඇත්තේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මයිලගස්වැව ආසන්නයේය. ඒ නිසා මේ සීමා නිර්ණය මරිචිචිකට්ටි සහ කරඩික්කුලි ජනාවාස නැවත ඇතිවීම වැලැක්වීම සඳහා කඩිමුඩියේ සිදුකරන ලද්දක් බව පැහැදිලිය.

අවුරුදු 25-30 කාලයේ සෙසු ප්‍රදේශවල වනාන්තර අක්කර ලක්ෂ ගනනින් රිසිසේ කපා ඇතිබව පැහැදිලිය. යමෙකු උතුරේ යුද්ධය නිසා ආරක්ෂාවු වනපෙත් පමණක් ආරක්ෂා කළයුතුයැයි පැවසීම විහිලුවකි. මෙතරම් පරිසර සංවේදී නම් හෝ රක්ෂිත ආරක්ෂා කරන්නේ නම් එලෙස අවු 30ක් තිස්සේ විවිධ නම් යටතේ දකුණේත් නැගෙනහිර පළාත්වලත් කඳුකර ප්‍රදේශයේත් වනරක්ෂිත ලෙස හෝ වනජීවි රක්ෂිත 81 න් විනාශ කළ රක්ෂිත කොටස් ද ජාතික ප්‍රතිපත්තියක් යටතේ නැවත රජයට පවරාගෙන වනාන්තර වැඩීමට ඉඩහැරිය හැකිය. දේශපාලකයින් එකිනෙක අවස්ථාවල ගන්නා තීරණ අනුව ඉඩම් බෙදීම හා ජනාවාසකරණය සිදුවේ. ඒවාට පරිසර බලපෑම් තක්සේරු වාර්තා, පුරාවිද්‍යා වාර්තා, අර අවසර මේ අවසර ඉල්ලුවේ නැත. දැනට අවතැන්ව අසරණව සිටි පිරිසකට සරණක් නැත්තේ ඒ පිරිසගේ ජාතිය නිසා නොවේදැයි අසන්නට සිතේ. එහෙත් අහිංසක දුක්විඳින ජනතාවට සහනය සලසා ඔවුන් නැවත පදිංචි කරන්නේ කෙසේද යන්නත් කාගෙත් අවධානයට යොමුවිය යුතු කරුණකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.