26 April, 2024

Blog

නිදහස් නිවහල් සහ දිළිඳුකමින් තොර දේශයක් බිහිකෙරුමට කැපවුණු පෙම්දස් ජනපතිඳුන්

ආචාර්ය එස්. ඩබ්ලිව්. හිරන්ත –

ආචාර්ය එස්. ඩබ්ලිව්. හිරන්ත

2022 මැයි 1 දිනට යෙදී ඇති දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ විසිනව (29) ගුණසමරුව වෙනුවෙන්

ලක්මවට අසීමිතව ආදරය කල ඒ අසහාය ජන නායකයා බෙදුම් වාදී ත්‍රස්තයන්ගේ කුරිරු මිනිස් බෝම්බයකින් සදහටම නිහඩ කර අදට විසි නව (29) වසරක් සපිරෙයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස එදා ලොව පුරා ප්‍රචලිතව තිබු අපේ මාතෘ භුමිය මේවන විට පවතින්නේ ඉතිහාසයේ කෙදිනක්දී වත් මුහුණ නොදුන් ආකාරයේ අර්බුද රැසකින් පීඩා විදිමින්ය. රටේ ප්‍රමුඛතාවයන් සහ අවශ්‍යතාවයන් නිවැරදිව හදුනානොගත් නායකයින් ඔවුනොවුන්විගේ සිතැඟි සහ පොද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් අපේ රට ලෝකයට ණය කරමින් ක්‍රියාත්මක කරන ලද රටට දැරිය නොහැකි ව්‍යාපෘති නිසා දැඩි විදේශ විනිමය සහ ගෙවුම් ශේෂ අර්බුදයකට අප මුහුණ දී ඇත. ඖෂධ කිරිපිටි ගැස් සහ විදුලිය වැනි එදිනෙදා ජනජීවිත සඳහා අත්‍යාවශ්‍ය වන භාණ්ඩ හා සේවා හිඟ වීම, සාමාන්‍ය ජනතාව දරාගත නොහැකි අයුරින් භාණ්ඩ හා සේවා වල මිල දිනෙන් දින සීග්‍ර ලෙස ඉහල යාම වැනි අනේකවිද දුෂ්කරතා වලට ජනතාවට මුහුණ දීමට සිදුවීම නිසා සහන ලබාදෙන ලෙස ඉල්ලමින් මහජනතාව විරෝධතා, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වල නිරතවීම නිසා සාමාන්‍ය ජන ජීවිතය අවුල් සහගත තත්වයකට පත්ව ඇත.

සංවර්ධනය යනු හුදෙක් කොන්ක්‍රීට් ගොඩනැගිලි සහ පාරවල් තැනීම, සහ නගර අලංකරණයම පමණක් නොවන බවත්, වේගවත් සංවර්ධනයක් සහ ආර්ථික වර්ධනයක් ලඟා කරගැනීම උදෙසා රටක මාර්ග පද්ධතිය, ගුවන් තොටුපල, වරාය ඇතුළු යටිතල පහසුකම් නඟා සිටුවීම සහ වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වූවද එමඟින් සමස්ථ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබාදෙන දායකත්වයේ තරම ඉතාමත් වැදගත් බවත් ප්‍රේමදාස මැතිතුමා මැනවින් වටහා ගෙන සිටි බව මා හොදින් දන්නා කරුණකි. ගමේ නිපැයුම් පහසුවෙන් නගරයේ වෙළද පල වෙත ගෙනයාමටත්, රටේ නිෂ්පාදනය කාර්යක්ෂම ලෙස සහ අවම පිරිවැයකින් විදේශ වෙළද පල කරා යොමු කිරිමටත් ඉන් හොද පිටුවහලක් ලැබේනම් සහ විදේශ වෙළද පල තරඟකාරිත්වයට මුහුණ දීමට අවශ්‍ය ලෙස දේශීය කර්මාන්තවල කාර්යක්‍ෂමතාවය නංවාලීමට එය රුකුලක් වීම මගින් රටේ නිෂ්පාදන හැකියාව සහ සමස්ථ නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන් හැකියාවක් ලැබේනම් එවන් ව්‍යාපෘති රටට යහපත් ප්‍රතිපල අත්කර දෙන බව එතුමා මැනවින් අවබෝධ කරගෙන සිටියේය. එමඟින් රට තුල නව රැකියා අවස්ථා බිහිවී සේවා වියුක්තිය මට්ටම පහල ගොස් රටේ වැඩි දෙනාගේ ආදායම් තත්වය යහපත් වීමට එය හේතු වනු ඇත.

ඩොලර් බිලියන ගණන් වලින් ලෝකයට ණයවී සිදු කරන මෙගා සංවර්ධන ව්‍යාපෘති තුලින් රටේ නිෂ්පාදනය කටයුතු අපේක්‍ෂිත අයුරින් පුළුල් නොවුහොත් අවසානයේ සිදුවනුයේ පරම්පරා ගණනාවකටවත් ගෙවා අවසන් කල නොහැකි ලෙස ලෝකයට ණයවූ ජාතියක් ලෙස සුසුම් හෙලන්නටය. එසේ ලබා ගන්නා ණය මනා කළමනාකරණයකින් යුතුව ඵලදායි ව්‍යාපෘති සදහා යොමු කිරීම සහ ඉන් ජනිත වන ආදායමින් ණය ආපසු ගෙවා දැමීමේ හැකියාව පිළිබදව නිසි අවධානය යොමුකිරීම ඒ නිසා අත්‍යාවශ්‍ය කරුණකි.

ලොව පිළිගත් විශ්ව විද්‍යාල හෝ විද්‍යායතන වලින් ලබාගත් ඉහළ උපාධි හෝ අධ්‍යාපන සහතික නොමැති වුවද අප රටේ සංවර්ධනය අත් කරගැනීමට වඩාත් උචිත කුමන ආකාරයේ සැලසුම් ද යන්න පිලිබදව ප්‍රේමදාස මැතිදුන්ට මනා අවබෝධයක් තිබුණි. ගම හදා රට හැදිම ශ්‍රී ලංකාව වැනි කෘෂි ආර්ථිකයක් මත පදනම් වූ රටකට වඩාත් සුදුසු වන බව පසක් කරගත් එතුමා ප්‍රාදේශීය සහ ග්‍රාම සංවර්ධන වැඩ සටහන් වලට මුල් තැන ලබා දුන්නේය. ශ්‍රම බහුල රටක් වූ ශ්‍රී ලංකාව වැනි රටකට වාසිය පවතිනුයේ මිනිස් ශ්‍රමය බහුලව යොදාගත හැකි නිෂ්පාදන කටයුතු තුලින් බව එතුමා අවබෝධ කරගෙන සිටියේය. එතුමා විසින් හදුන්වාදෙන ලද ඇගලුම් කර්මාන්ත වැඩ පිළිවෙල, ජන සවිය, කර්මාන්ත පහළොස්දහසේ ව්‍යාපෘතිය, ගම් උදාව වැඩ පිළිවෙල ආදී සියලුම වැඩසටහන් ඒ අවබෝධය මත පදනම් ව ක්‍රියාත්මක වුවකි. එකල එතුමා ගේ ප්‍රතිවාදීන් විසිත් සුද්දියන්ට ජංගි මහණ කර්මාන්ත ලෙස අවඥාවට සහ සමච්චලයට භාජනයට කල ඇගලුම් කර්මාන්ත අදටත් රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන අපනයන මාර්ගයක් ලෙස සැලකේ.

බලය ලබා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවමින් රට තුල ජාතින් අතර සහජීවනය වනසමින් කටයුතු කරන වර්තමාන නායකයින් මෙන් නොව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම සහ සෑම ආගමකටම සමසේ සලකමින් ආගමික සහ ජාතින් අතර සහජීවනය ප්‍රවර්ධනය සඳහා කටයුතු කල සහ කැපවූ ජන නායකයෙකි. විවිධ ජන කොටස් වලින් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල ජන වාර්ගික සහ ආගමික සහජීවනයේ ඇති වැදගත් කම එතුමා තරම් මැනවින් වටහාගෙන ජන නායකයකු තවත් නොසිටියා තරම් ය. රටක ඉදිරිගමන සහ සංවර්ධනය උදෙසා එහි ඇති වැදගත් කම හොදින් අවබෝධ කරගෙන සිටි ප්‍රේමදාස මැතිතුමා, සෑම ජන වර්ගයක්ම සෑම ආගමික කොටසක්ම තම දේශපාලන සහ ආර්ථික වැඩසටහන් වලට සම්බන්ධ කර ගැනීමට නිරතුරුවම උත්සුක වුහ. එතුමාගේ සෑම ව්‍යාපෘතියක් ම ආරම්භ කිරීමේදී සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දුන්නේය. සෑම ශ්‍රී ලාංකිකයකුම රට ගොඩනංවන ව්‍යාපෘති තුල කොටස් කාරයෙකු කරගැනීමට ප්‍රේමදාස මැතිතුමා කටයුතු කලේය.

සියළු ආගම් වලට සමසේ සැලකුවත් බුද්ධාගම වෙත විශේෂ සැලකිල්ලක් සහ ගෞරවයක් එතුමා තුල පැවිතිණි. බෞද්ධ සංකල්ප මත පදනම් වූ දර්ශනයක පිහිටා කටයුතු කල ප්‍රේමදාස මැතිතුමා කුඩා කල සිටම පැලැණේ ශ්‍රී වජිරඥාන නාහිමිපාණන්, නාරද මහ හිමිපාණන්, බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය​ නාහිමිපාණන් සහ මඩිහේ පඤඤාසීහ මහ නායක හිමිපාණන් වැනි සුපේශල ශික්ෂාකාමි සංඝ පිතෘ වරයන් වහන්සේලාගේ ඇසුර ලබමින් තම ජීවිතය සකස් කරගත්තේය. එතුමා තම පෞද්ගලික ජිවිතයේදී මෙන්ම දේශපාලන ජිවිතයේ වැදගත් අවස්ථාවලදී ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ම ලබා ගත් ජන නායකයෙකි.

ඇති හැකි අයගේ බල පුළුවන්කාරකම් වලට යටවී සිටි නැති බැරි අයගේ දහඩිය මහන්සියට වටිනාකමක් ලබාදීමට එතුමා නිරතුරුවම කටයුතු කළේය. දිළිදු බව මුලිනුපුටා දැමිය හැක්කේ දුප්පතුන් සවිබල ගැන්වීමෙන් පමණක් බව එතුමා පසක් කරගෙන සිටියේය. මිනිසුන් අතර මුදල් හදල් බෙදාදීමෙන් හෝ අවශ්‍ය දැ නොමිලේ ලබාදීමෙන් ජනප්‍රසාදය පහසුවෙන් දිනා ගත හැකිමුත් එමගින් දිළිදු බව චිරස්ථායින ලෙස මුලිනුපුටා දැමීය නොහැකි බව එතුමා මැනවින් අවබෝධ කරගෙන සිටියේය.

ජනසවිය සහ ගම් උදාව වැනි වැඩ සටහන් තුලින් දුගී දුප්පත් ජනතාවගේ ශ්‍රම දායකත්වය එම ව්‍යාපෘති සදහා ලබා ගැනීමට එතුමා ක්‍රියා කළේය. තම ජීවිතයේ සාර්ථකත්වය රදා පවතිනුයේ තමා මත බවත් ඒ සදහා අවශ්‍ය වනුයේ නිසි මග පෙන්වීමක් යටතේ නිවැරදි කැපවීම සහ උත්සාහය පමණක් බව එතුමා නිරතුරුවම පෙන්වා දුන්නේය. තවකෙකු මත රැදී සිටිනවාට වඩා ‘තම හිසට තම අතමය සෙවනැල්ල’ යන්නෙහි පිහිටා කටයුතු කිරීමේ වැදගත් කම එතුමා සැමවිටම අවධාරණය කරණ ලදී .

උත්සාහය උක් දණ්ඩක් වැනි බවත්, උත්සාහයේ ප්‍රතිථල අත් කර ගත හැක්කේ උක් දණ්ඩේ රස විදීමට නම් එය නිසි ලෙස සපමින් අනුභව කළ යුතුවාක් මෙන් මහන්සිවී කැපවීමෙන් වැඩ කිරීමෙන් පමණක් යැයි එතුමා විසින් පබැදුණු ගීත රචනාවක දැක්වේ. නිකමුන් වී රටට බරක් වී සිටිනවාට වඩා මහන්සි වී වැඩකිරීමෙන් තම ජිවිතයේ සෞභාග්‍ය මෙන්ම රටේ සමෘද්ධිය ද ලගා කරගත හැකිබව එතුමා තරයේ විස්වාශ කළේය. වත්මන් දේශපාලකයන් මෙන් වැදී බණ දෙසමින් නොසිටි ප්‍රේමදාස මැතිතුමා අන් අයටද ආදර්ශයක් ලබා දෙමින් හිමිදිරියේ ම අවදි වී මධ්‍යම රාත්‍රිය පසුවෙන තුරුම වෙහෙස නොබලා කටයුතු කලේ පොදු ජනයාගේ සැපත තම සැපත ලෙස සැළකු හෙයිනි.

සෑම විටෙකම ශ්වේත වර්ණයෙන් සැරසුණු එතුමා පාසැල් දිවියෙන් පසු තම ජිවිත කාලය තුලදී යුරෝපිය ඇදුමකින් සැරසී තිබුනේ එකම එක් වතාවක් පමණි. ඒ එතුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී සුචරිත ළමා සමාජය මගීන් රඟ දැක්වූ වේදිකා නාට්‍යක චරිතයක් නිරුපනය කිරීම සදහා පමණි.

එකල සුරා සුදුවෙන් සහ දුසිරිතෙන් පෝෂණයවී තිබු කොළොම්පුරවරය ඉන් මුදවා ගැනීමට කුඩා ප්‍රේමදාසයන් දැඩි වෙහෙසක් මහන්සියක් දැරීය. එහිදී ඔහුට අනේක විධි දුෂ්කරතා සහ කරදර රැසකට මුහුණ දීමට සිදුවීය. හන්දියක් හන්දියක් ගානේ විවෘතව පැවති සුරාසැල් ජන සමාජයට කර ඇති විනාශය දැක මහත් කම්පාවට සහ කණස්සල්ලට පත්වූ තරුණ ප්‍රේමදාසන් තමාගේ සහෝදර සහෝදරියන් සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් රැස් කරගෙන සුරා සැල් වසා දැමීම සදහා වන ව්‍යාපාරයක් දියත් කරන ලදී. එය ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ ආරම්භය වීය. සමාජ අසාධාරණයට සහ දුසිරිතට එරෙහිව කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සහ පන්නරය පසුකලෙක එතුමාට තම දේශපාලන ජීවිතය හරහා හමාගිය චණ්ඩ මාරුතයන් පහසුවෙන් ජයගැනීම උදෙසා උපකාරී වූ බව නොසැකය.

ප්‍රේමදාස මැතිතුමා ජිවිතයේ කිසි දිනෙක මදුවිත තොල ගා නොමැති දුම්වැටියක් දෙතොලඟ නොරැදු පුද්ගලයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මතට තිත සංකල්පය ප්‍රයෝගිකව අනුගමනය කල එකම නායකයා එතුමා බව පැවසීම අතිශෝක්තියක් නොවේ. මා දන්නා පරිදි පසුකාලීනව එතුමා නිර්මාංශික ආහාර පමණක් අනුභව කලේය. ප්‍රතිවාදින් එතුමාට කුමන ආකාරයේ චෝදනා එල්ල කලද පොදු ජනතාව කෙරෙහි එතුමා දැක්වුයේ අසීමිත ආදරයක් සහ ඇල්මකි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගේ මිලේච්‍ය මනුෂ්‍ය ඝාතන වලින් මෙන්ම දකුණේ පැවති භීෂණ නිසා අහිමිවී ගිය මිනිස් ජිවිත පිළිබදව එතුමා දැඩි සේ කම්පනයකට පත් ව සිටියේය. ජන ජිවිතයට ඇතිවී තිබු දුෂ්කරතා දුරලීමට සහ මිනිස් ඝාතන වැලැක්වීමට එතුමා ගත හැකි සැම පියවරක් ම ගත්තේය.

1988 වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති වරයා ලෙස දෙකොණ පත්තුවී තිබු විලක්කුවක් හා සමාන වූ රටක වගකීම අභිතව භාර ගත් ප්‍රේමදාස මැතිතුමා ඉන්දු ලංකා ගිවිසුම යටතේ ලංකාවට පැමිණ උතුර නැගෙනහිර ආරක්ෂක කටයුතු වල නිරත ව සිටි ඉන්දියානු සාම සාධක හමුදා පවා යලි පිටත් කර හැරීමට කටයුතු කලේ එවකට දකුණු ප්‍රදේශයේ මතුව තිබු ඉන්දීය විරෝධයට කන් දීමක් ලෙසට මෙන් ම දකුණේ පැවති භිෂණය අවසන් වනු දැකීම සදහා එතුමා තුල තිබු අවංක අහිලාෂය නිසාය.

සාමාන්‍ය පවුලක ඉපදී ස්වකීය උත්සාහයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම තනතුර දක්වා ගමන් කල ප්‍රේමදාස මැතිදුන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිව සිටීම ඇසේ කටු ඇනෙන්නාක් මෙන් සැලකු රටේ ප්‍රභූ පැලැන්තියට අයත්වූ පිරිස් ප්‍රේමදාසයන් ජනාධිපති තනතුරින් පහකර දැමීමට විවිධාකාර කුමන්ත්‍රණ සිදු කළේය. ඔවුන් එතුමාගේ පාලනය නිර්දය ලෙස විවේචනයට ලක් කලහ. එතුමාගේ ජනතාවාදී වැඩපිළිවෙලවල් කඩාකප්පල් කිරීමට නිරතුරුවම සැලසුම් කළහ. එතුමා මානසික වශයෙන් පෙළීමට ඔවුන් නිරන්තර ව උත්සහයක යෙදුණි. ප්‍රේමදාස මැතිතුමා සිටිනා තෙක් රටේ බලය ලබාගැනීමට නොහැකි බව ඊනියා ප්‍රභූ දේශපාලකයින් දැන සිටියේය. ලලිත් ඇතුලත්මුදලි ඇමති තුමාගේ ඝාතනය පිලිබදව එතුමාට ඇගිල්ල දිගු කරමින්, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට ප්‍රේමදාස මැතිතුමා ගේ ප්‍රතිවාදීන් එම අවස්ථාවේදී සමත් වීය.

බහුතරයකට එතුමාගේ අගය එදා අවබෝධ කරගැනීමට නොහැකිවීම රට ජාතියේ අවාසනාවකි. අද දවසේ රට පුරා අධි වේගී මහා මාර්ග ඉදිකළද, අහස සිඹින කුළුණු, වෙළද සංකීර්ණ සහ ගොඩනැගිලි ඉදිවුණද, ගමේ කැඩුණු පාර පිළිසකර කරගන්නට, ගමට යන්න පාරක් හදා ගන්න හෝ ගඟින් එගොඩ මෙගොඩ යන්න කැඩුණු පාලම හදා දෙන්නැයි හෝ අළුතින් පාලමක් හදා දෙන්නැයි කියමින් මාර්ග හරස් කරමින් කරන උද්ඝො‍ෂණ දිනපතා රූපවාහිනී ප්‍රවෟත්ති විකාශන වල සහ පුවත්පත් සිරස්තල වල නිරතුරුවම දක්නට ලැබේ. මෙයින් පැහැදිලිවනුයේ අද පුරසාරම් දොඩන සංවර්ධනයේ ප්‍රතිලාභ ඈත ගම්දනව් කරා පැතිර ගොස් නැතිබවය. අද ප්‍රේමදාස ජනාධිපති තුමා සිටියානම් යැයි මෙසේ උද්ඝො‍ෂණය කිරීම් අනවශ්‍ය බව එම උද්ඝො‍ෂකයන් සිතනවාට කිසිදු සැකයක් නැත.

එදා වේල සරි කරගන්නට නොහැකිව ලතවන දුගී දුප්පත් ජනතාවගේ ජිවිත සුඛිත මුදිත නොකර ධනවතුන්ගේ, තම දේශපාලන හිතවතුන්ගේ සහ නෑ හිතමිතුරන්ගේ මඩිය පමණක් තරකර වන වැඩ සටහන් ප්‍රේමදාස මැතිතුමා ගේ න්‍යාය පත්‍රය තුල නොතිබිණි. ඥාති සංග්‍රහය එකහෙලා ප්‍රතික්‍ෂේප කල එතුමා කිසිවිටෙක තම පරපුර දේශපාලන කේෂ්ත්‍රය තුළ ඔටුනු පැළදවීම මට යත්න නොදැරීය. දේශපාලනය ජනතා සේවයක් ලෙස සැළකු එතුමා අද බොහෝ දේශපාලකයින් කරන අකාරයට එය කිසිවිටෙක ධනය උපයන ව්‍යාපාරයක් ලෙස යොදා නොගත්තේය.

ජනාධිපති ජංගම සේවාව තුලින් අග නගරයට සිමා වී තිබු රාජ්‍ය සේවය ගමට ගෙන ගිය ප්‍රේමදාස ජනාධිපති තුමා ගමේ ප්‍රශ්ණ සදහා විසදුම් කොළඹ පිහිටි රජයේ ආයතන වල වායු සමීකරණය කරන ලද ශිත කාමර වල සිට තීරණය කරන යුගය අවසන් කළේය. එලෙස ගැමියාගේ දෙපතුල ළගට රාජ්‍ය සේවය ගෙනගිය එතුමා පොදු ජනතාවගේ ප්‍රශ්න විසදීම කිසිම හේතුවක් නිසා කල් නොතැබිය. “නිමා කරනු මිස වැඩ ඇති තමා අත, පමාවට කරුණු මට වුවමනා නැතැයි” යන ශ්‍රී ජවාහල් ලාල් නේරු මැතිතුමාගේ රුවන් වැකියට අනුව කටයුතු කල ප්‍රේමදාස මැතිතුමා රාජකාරි අතපසු කරන වෙලාවට වැඩ නොකරන නිලධාරීන් නොරිස්සුවේය.

සති අන්ත වල පවා ගම් දනව් සිසාරා ඇවිදිමින් ජන ජීවිතය නඟා සිටුවීමට කාලය මිඩංගු කල එතුමා එයින් නොනැවතී නටබුන් ව තිබු බෞද්ධ සිද්ධස්ථාන, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට නිබදව කටයුතු කළේය. මාලිගා විල බුදු පිළිමය ප්‍රතිෂ්ඨාපනය, මිරිසවැටිය දාගැබ ප්‍රතිසංස්කරණය, කතරගම නව නගරය, අනුරාධපුර නව නගරය මුල් කරගත් සංවර්ධන වැඩ සටහන්, ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ඉදිකිරිම සහ සෝමාවතී සෑය ප්‍රතිසංස්කරණය ව්‍යාපෘතිය යනාදිය එතුමා විසින් ඉටු කරන ලද බෞද්ධ ආගමික සිද්ධස්ථාන සංවර්ධන වැඩසටහන් වලින් කිහිපයකි. වැවයි දාගැබයි ගමයි යන සංකල්පය එතුමාගේ පදනම විය. වැව් දියෙන් ගොවිතැන් සරුවී අටුකොටු පිරුණු අතර දාගැබෙන් සංකේතවත් වූ ගමේ පන්සලෙන් ගැමියාගේ ආධ්‍යාත්මය සංවර්ධනය වුණි. ආධ්‍යාත්මයෙන් තොරවූ භොතික සංවර්ධනය නිසරු බව එතුමා මැනවින් දැන සිටියේය.

හේවාවිතාරණ දහම් පාසලෙන් සහ බම්බලපිටිය වජිරාරාම දහම් පාසලෙන් උගත් බෞද්ධ දර්ශනයෙන් ද ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, පියදාස පලන්සුරිය ශුරින් වැනි වියතුන් ගේ ඇසුරින් පෝෂණය වූ දැනුම් සම්භාරයකින් ද අනූන වූ ප්‍රේමදාස ජනාධිපති තුමා තම ජීවිතය බෞද්ධ වත් පිළිවෙත් අනුව හැඩ ගස්වා ගත් පරමාදර්ශී නායකයෙකි. සෑම පුර පොහොය දිනකම පෙහෙවස් සමාදන් වූ එතුමා වෙසක් පොහෝ දිනය තම නිල නිවස වූ කොටුවේ ජනාධිපති මැදුර සාමාන්‍ය ජනතාවට විවෘත කළේය. එතුමා අග්‍රාමාත්‍ය පදවිය දරන කල අරලිය ගහ මන්දිරයද වෙසක් පොහෝ දිනයන් හිදී එලෙස ම මහජනතාවට විවෘත කර තිබුණා මට මතකය.

කුඩා පවුලක ඉපදී රටේ ඉහළ තනතුර දක්වා පියනැගු ප්‍රේමදාස ජනාධිපති තුමා ශ්‍රී ලංකාව තුල විශාල සමාජ පෙරලියක් කල යුග පුරුෂයෙකි. සාමාන්‍ය ජනතාව අතර ඉපදී හැදී වැඩී අද වැනි ලෝක කම්කරු දිනයකදී සාමාන්‍ය ජනතාව අතර සිටියදීම අප අතරින් වියෝවූ ප්‍රේමදාස මැතිතුමා ගේ ශ්‍රී නාමය කළගුණ දන්නා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුල සදානුස්මරණිය බවට නිසැකය. එදාටත් වඩා ඔබවැනි ජනනායකයින් අවශ්‍ය අදටය. ඒ ගිනිගෙන දැවෙන මේ දේශය සුවපත් කරන්නටය.

එතුමා විසින් පබැඳි ගීතයක කොටසක් සිහිපත් කරමින් මෙම කෙටි ලිපිය අවසන් කරමි. “මිනිසා මිනිසාට එරෙහිව එන්නේ සිතුවිලි නපුරට හැරෙන නිසයි , නපුරට නොහැරෙන සිතුවිලි සරණා ධර්ම විජය වේ ලොව රකිනා”.

ප්‍රේමදාස හිටපු ජනපතිතුමනි, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!

*ආචාර්ය එස්. ඩබ්ලිව්. හිරන්ත – ශේෆිල්ඩ් විශ්ව විද්‍යාලය (University of Sheffield), එක්සත් රාජධානිය

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    ජ්‍යෙෂ්ඨ ප්‍රේමදාස ගැන ඔබේ ප්‍රශංසාවට ස්තූතියි. ප්‍රේමදාස හෝ රාජපක්ෂ ගැන කියන්න, කවුරුන් හෝ ඔවුන්ගේ පරිපාලනය හොඳින් අධ්‍යයනය කරන්නේ නම්, ඔවුන් සමහර කොටස් වලට හොඳ වැඩ කරන අතරම මැරයන් සහ අපරාධකරුවන් ප්‍රවර්ධනය කළහ. ප්‍රේමදාස දේශපාලනය ආරම්භ කළ අධ්‍යාපන මට්ටම විනාශ කරමින් නූගත් අය පාසල්වල ගුරුවරුන් බවට පත් විය. මමම දැනගෙන හිටියා OLEVEL නැති අය ගුරුවරු විදියට පත් කරනවා කියලා.
    .
    අද මට ඔහුගේ පුතා ගැන හොඳ හැඟීමක් ඇත, මන්ද ඔහු ඔහුගේ පියා නොවන නමුත් වර්තමාන දේශපාලනය ගැන හොඳ උගත් සහ සංවේදී ය. ඉතින් මගේ සිතුවිලි අද NPP සහ SJB අතර පැද්දෙනවා. ඒත් අද එහෙම වෙලා තියෙන්නේ SJB වටේ වගේම NPP එකටත් සමානව බලවතුන් ඉන්නවා මම දකින නිසා. සමාන ලෙස සිතන මගේ ස්වභාවය තවත් තිබිය හැකි බව මම විශ්වාස කරමි. රාජපක්ෂලා උසාවි ගෙනියන ඕනෑම පාර්ශ්වයකට නැවත නැවතත් මගේ විශාල සහයෝගයක් ලබා දෙනවා නම්, ඔවුන් කළ අපරාධ හා දූෂණවල තරම මගේ ඇසට වාර්තා කළ නොහැකි තරම්ය.
    .
    අද ආපසු හැරී බලන විට, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළද ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කළ සියල්ල යහපත් වූයේ නැත.
    ඒ මීට දශක තුනකට පෙර ශ්‍රී ලංකාවේදී බව අප දැනගත යුතුයි. ඔහුගේ පුත් එස්බීජේ නායකයා ඔහුගේ පියාගේ මාවතේම ගමන් කරනු ඇතැයි මම නොසිතමි. අද මහජනතාව (යෞවනයන් ප්‍රමුඛ) පහසුවෙන් දේවල් මිල දී නොගන්නා නිසා ඔහු සමහර අවස්ථාවලදී බොහෝ පූර්වාපේක්‍ෂාවන් සිදු කරනවා හැර, ඔහුට කළමනාකරණය කිරීමට සිදුවනු ඇත. දේශපාලකයන්ට පහසුවෙන්ම බලය අල්ලා ගැනීමට මුවා විය හැකි කාලය ගෙවී ගොස් ඇත.
    .
    2010-2015 මහින්ද රාජපක්ෂ පාලනයට වඩා වෙනස් නොවන රාජ්‍ය අරමුදල් ඛාදනය කළ ගම්දාව හෝ එවැනි යෝධ අරමුදල් නාස්ති කිරීමේ ව්‍යාපෘති හේතුවෙන් ශිෂ්‍ය හා තරුණ අසහනය ඇති විය. තරුණ අසහනය ජවිපෙ සහ ඔවුන්ගේ ආධාරකරුවන් මට්ටම් දක්වා වර්ධනය විය. හොඳ හේතුවක් නොමැතිව පවුල්වලින් පළිගැනීමට ඔවුන්ව පොලඹවා ගත්තා. ආපසු හැරී බලන විට ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව රාජ්‍ය පාතාල කල්ලි ද රට පුරා අහිංසක තරුණ තරුණියන් මරා දැමුවේය. විශ්වවිද්‍යාල නැවත විවෘත නොකර වසා දැමුණු අතර නොසන්සුන්තාව වසර කිහිපයක් දක්වා දීර්ඝ විය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.