Colombo Telegraph

‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්

ෆ්‍රාන්සස් හැරිසන්
එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය – පළමු කොටස

ෆ්‍රාන්සස් හැරිසන්

‘මම අන්තිමටම කළකිරුණා. සමස්ත සංස්ථාපිත පද්ධතියම අසමත් වුණා. එක්සත් ජාතීන් විතරක් නෙවෙයි, මුළු මහත් ජාත්‍යන්තර ප‍්‍රජාවම. ශ‍්‍රී ලංකා ආණ්ඩුව දස දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් සංහාරය කරන අතරවාරයේදී ලෝකය කරබාගෙන නොනැවතී ගමන් කළා. ඔවුන් නිකම්ම අපිව මඟහැර ගියා.’  – එක්සත් ජාතීන්ගේ සහන සේවක

හීන්දෑරී බි‍්‍රතාන්‍ය ජාතික සහන සේවකයා තම අව නිල් පැහැගත් වෙඩි නොවදින සැට්ටය සහ ආරක්‍ෂණ හිස්වැසුම තුළ ඩහදියෙන් නැහැවෙමින් සිටියේය. ඒ, උතුරු ශී‍්‍ර ලංකාවේ නිවර්තන ග‍්‍රීෂ්මය නිසා හෝ ඉදිරියෙන් ඇති පාලූවට හළ මාර්ගය ගැන බිය මුසු උකටලී බව නිසා නොවේ – ලැජ්ජාවෙනි. තම රැකවරණයෙහි සිටි මිනිසුන්හට තම පිළිසරණ වැඩියෙන්ම ඇවැසි මොහොතක ඔවුන් අත්හැර දමා යන්නට ඩික්සී සැරසෙමින් සිටියේය. ඒ වනවිටත් ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයෙකු ලෙස කැරළිකරුවන්ගේ පාලන ප‍්‍රදේශ තුළ සිව් අවුරුද්දක් ගෙවා දමා තිබිණ. ඒ මොහොත වනවිට ඔහු සහ සෙසු ජාත්‍යන්තර සහන සේවකයින් සත් දෙනාට යුද කලාපයෙන් පිටව යන්නැයි ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ නියෝග නිකුත්ව තිබුණේය.

ඒ 2008 සැප්තැම්බරයයි. යුද්ධයේ අවසාන අදියර – ඒ කල්පවිනාශක සංහාරය – අරඹන්නට සියල්ල ලකලෑස්තිව තිබිණ.

ශී‍්‍ර ලංකා සෙබළු මුළු ඒ වනවිටත් සිටියේ කඩින් කඩ සැපයුණු විදුලි බලයෙන්ද, ග‍්‍රාමීය ජීවන විලාසයෙන්ද සංලක්‍ෂිත නිදිබර කෘෂිකාර්මික නගරයක් වූ කැරළිකරුවන්ගේ අගනුවර – කිලිනොච්චිය – ට යාන්තම් කිලෝ මීටර පහ-හමාරක් දුරිනි. නොනවතින ෂෙල් ප‍්‍රහාරයන්ගෙන් කෙසේ හෝ දිවි ගළවාගැනීමේ විගීෂාවෙන් මඩිනා ලද හාමත්, වැහැරුණු දස දහස් සංඛ්‍යාත ජනයා නගරයට රොද බැන්දාහ. ශී‍්‍ර ලංකා යුද හමුදාව දකුණින්ද, බටහිරින්ද වඩ වඩාත් භූමිය අත්පත් කරගනිමින් කැරළිකරුවන්ගේ පාලන ප‍්‍රදේශ තුළට නිර්දය ලෙස කඩා වදිමින් සිටියහ. පසුබසිනු හැර අන් විකල්පයක් ඉතිරි නොවූ කොටි සාමාජිකයින්, ජනයා මිනිස් පළිහක් සේ යොදා ගනිමින් තමන් හා පසුබසින්නට බල කළහ. ඉතා ඉක්මණින්ම මහ සයුර හැර යන්නට අන් අතක් ඔවුන්ට ඉතිරි නොවීය.

තව එක් වරක් හෝ මරණය මගහැර රවටාලනු රිසියෙන් රෑ මැද නැගිට දිවගොස් අගල් තුළ සැඟවුණු වාර ගණන කෙතරම්දැයි ගම්මුන්ට අමතකව තිබිණ. දොර උළුවහුද පුටු හා ඞීසල් බුලිද, පොල් අතු පැළලිද පැරණි අබල ට‍්‍රැක්ටර් තට්ටු මත පටවාගත් බොහෝ දෙනා නිල් පැහැ කෙසෙල් වතු, තල් ගස් මණ්ඩි හා කෙත් යායන් හරහා පසු බැස්සාහ. ඉක්බිති, කටු අකුල් පිරි ලඳු මූකලන් හරහා වැටුණු ධූලි ගහණ මං ඔස්සේ නිරුවත් දෙපයින් පලා ගියහ. පවුලේ හැම අයෙක්ම අතට අසුවූ යමක් – ඔතාගත් ඇතිරිල්ලක්, බාල්දියක්, සූට් කේසයක්, දරු සිඟිත්තෙක් – රැගෙන යන්නට වගබලා ගත්තේය. ඇතැමෙක් රන් ආයිත්තම්ද, අධ්‍යාපන සහතිකද, ඔප්පු තිරප්පුද පිරවූ ගමන් මලූ සමග පැදුරු මිටි පටවාගත් පා පැදි තල්ලූ කොටගෙන ගියහ. හැඳි වත පමණක් ඉතිරිව දර ඉපල් මෙන් කෘෂව ගිය මිනිසුන්ගේ ඉතිරිව ඇති කාය ශක්තියත්, ආහාර පානත් යුද්ධය වඩා දරුණු වන්නට පෙරාතුවම සිඳී යමින් තිබිණ. ඒ දෑස් විඩාබර කම්පිත හැඟුම් කියා පෑ නමුත් යන එන මග අද්දර හිඳ සේයා රූ ගන්නා කෙසඟ උස් සිරුරැ‘ති සුදු මිනිසාට සිනහවකින් සංග‍්‍රහ කරන්නට ඔවුහු තවමත් සමත් වූහ. විදේශික මුහුණක හුදු ඡායා මාත‍්‍රයක් විසින් පවා සුරක්‍ෂිතතාව පිළිබඳ අපේක්‍ෂා ඔවුන් තුළ දල්වන ලදී.

ශී‍්‍ර ලංකා ආණ්ඩුව තමන්හට යුද කලාපයෙන් පිටවන්නැයි නියෝග කරන ලද්දේ, එළඹෙන ව්‍යසනය ඇසින් දුටු එකදු ස්වාධීන සාක්‍ෂිකරුවෙකු හෝ නොසිටින බවට සහතික කරගනු පිණිස බැව් ඩික්සී ඒකාන්ත වශයෙන් දැන සිටියේය. බඩු බාහිරාදිය අසුරාගෙන යුද කලාපයෙන් පිටව යන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලක ලෑස්ති වන මොහොත වනවිටත්, ජනගහණයෙන් අඩක්වත් තම එදිනෙදා ආහාර වේල සපයාගනු වස් රඳා පැවතියේ එක්සත් ජාතීන් මත ය. කොතරම් මිනිසුන් දුගී අසරණ බවෙහි ගිලී ඇතිදැයි අන් කවරෙකුටත් වඩා ඩික්සී දැන සිටියේ, අවතැන් ජනයාට තාවකාලික සෙවණක් සැපයීමේ වගකීම ඔහුගේ දෙඋර මත පැටවී තිබූ හෙයිනි.

‘‘ඒ තරම් දෙයක් ඉතිරිව නැති මිනිස්සුන්ව ගස් යට අතහැර දමලායි අපි පිටවෙලා ආවේ. ඒ වෙනකොටත්, ඒ අයට හැම දේම අහිමි වෙලා ඉවරයි. දහ වතාවක්වත් අවතැන්වීම ඒ වෙනකොට පොදු ධර්මතාවයක් බවට පත්වෙලායි  තිබුණේ. බොහොමයක් දෙනා අවේ පයින්මයි. අඹ ගස් යටට වෙලා ඉන්න මිනිස්සු අපිට දිගටම හමුවුණා. හිටි හැටියේ මහ රෑ කාලතුවක්කු ප‍්‍රහාර එල්ල වුණොත්, ඒ ප‍්‍රදේශයෙන් පිටවෙලා යන පළමුවෙනි ට‍්‍රැක්ටරේ එල්ලිලා හැම කෙනෙක්ම පලා ගියා. උයන්න පිහන්න බඩුවක් මුට්ටුවක් ඒ අයට තිබුණේ නැහැ. අපි පටන්ගත්තේ මුලින්ම හිසට හෙවණක් අටවාගන්න අවශ්‍ය මෙවලම් කට්ටල ජනයා අතර බෙදා හැරීමෙන් වුණත් අපිට ඉක්මණටම වැටහුණා දවස් පහක් ඇතුළත දී ඒ මිනිස්සුන්ම ආයෙමත් අවතැන්වීම්වලට ගොදුරු වෙන බව. ඒ අතින් බැලූවම ඒ වැඩේ තේරුමක් නැති වැඩක්. ඒ නිසා අපි ඒ අයට කූඩාරමක් අටවාගන්න අවශ්‍ය ලී රිටි තුනක් සහ ටාපෝලීන් රෙදි දෙන්න පටන්ගත්තා. එතකොට ඒ අය ආයෙමත් අවතැන් වුණාම ඒක ගළවාගෙන යන තැනකට ගෙනියන්න පුළුවන්කමක් තිබුණා.’’

දෙසතියක් තිස්සේ නිරන්තර ප‍්‍රහාරයන් එල්ල විණ. පය ගසා හුන් බිම සසලවාගෙන පෙරට ඇදෙන කාල තුවක්කු සේනාංකයන්ගේ නිර්දය බර අවි හඬට සවන් දෙමින් එළඹි සෑම රැයක්ම ප‍්‍රබලිත කොන්ක‍්‍රීට් බන්කරයක් තුළ ගෙවා දැමීමට ඩික්සීට සිදුවිය. ඒ, එක් අළුයමක ඔහු නිදා හුන් සයනයෙන් බිම ඇදලමින් අතිධ්වනික (Supersonic) ජෙට් යානාවක් විසින් ප‍්‍රත්‍යන්ත නිවසට බෝම්බ තුනක් හෙළීමෙන් ඉක්බිතිව ය. ඉන් එක් උණ්ඩ කැබලිත්තක් ඔහුගේ පාදයක ගෑවී නොගෑවී ගිය අතර යාබද නිවසේ සිටි සිව් දෙනෙක් ප‍්‍රහාරයෙන් මරුමුවට පත් විය. (එක්සත් ජාතීන්ගේ අනුදැනුමකින් තොරව අදාළ නිවස යොදා ගැනී තිබුණේ කැරළිකරුවන්ගේ ඔත්තු සේවා කඳවුරක් වශයෙනි.) විදේශිකයන් ප‍්‍රත්‍යන්තයේ ජීවත්වීම ආරක්‍ෂා සහගත වනු ඇතැයි කොටි ඔත්තුකරුවන් සිතුවාට සැක නැත.

සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමුගෙන යාම ඩික්සීට වේදනා සහගත අත්දැකීමක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව කටයුතු කළ දෙමළ ජාතිකයින් බොහෝමයක් දෙනාට යුද කලාපයෙන් පිටව යාමට තහනම් පැන වූ කැරළිකරුවෝ ඔවුන් හෝ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ප‍්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගත්හ. නගරය පුරා සැරිසෑරූ ඩික්සි තමන් හා සේවය කළවුන්ට ඉතිරිව තිබූ වටිනා ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන බෙදා දුන්නේ එළඹෙන මාස කිහිපය තුළ රැකෙන්නට ඉන් පිටුබල සැපයෙනු ඇතැයි විශ්වාසයෙනි.
මුලින්, කැරළිකරුවෝ ඩික්සීට මෙන්ම ඔහුගේ සගයින්ටද පිටව යාමට අවසර නොදුන්හ. දුර්වර්ණව වියැකුණු ගවුමින් සැරසී සෙරෙප්පු පය ලා ගත් ගැහැණුන්ද, සුදු – නිල් කොටු වැටුණු සරම් හැඳි වැහැරුණු පිරිමින්ද එක්සත් ජාතීන්ගේ කාර්යාල අංගණයෙන් පිටත මාර්ගය අවුරාලමින් හිටි හැටියේ ප‍්‍රාදූර්භූත වූහ. ඩික්සී මුල්වරට දුටුවේ පිළිසරණ අයදිමින් ලෙළවෙන දෑත් ය: දැවැන්ත ධවල පැහැ පිවිසුම් ගේට්ටුවේ ඉහළ ගරාදි විවරයෙන් රිංගා ළෙලවෙන දුඹුරුවන් දෑත් රාශියෟ විදේශිකයන්ට තෙරුම් ගනු පහසුවනු වස් ඉංගී‍්‍රසි බසින් ‘තමන් තනිකොට නොයන්නැ’යි  ලියූ කාඞ්බෝඞ් පුවරු ඔසවාගත් ඔවුහු ‘‘යන්න එපාෟ’’ යැයි හඬ දුන්හ. සහන සේවා සැපයීම අවදානම් සහගත නම් එසේ නොකොට යුද්ධයේ සාක්ෂිකරුවන් වශයෙන් පමණක් හෝ රැඳී සිටින්නැයි උද්ඝෝෂණකරුවෙක් යෝජනා කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලොරි රථ පිටව යනු වළකනු වස් මහමග අවුරා වාඩි ලා සිටියවුන් අතර ඩික්සී දන්නා හඳුනන මුහුණු බොහෝමයක් විය.

කැරළිකරුවන්ගේ ගුවන් විදුලි මධ්‍යස්ථානය මෙහෙය වූ ජවාන්ගේ බිරිඳ – ජවාන් මහත්මිය ද – ඒ සෙනග මැද එදා සිටියාය. ‘ඒ අයට යන්න එපා කියලා අපි පින්සෙණ්ඩු වුණා’ ඇය අතීතාවර්ජනය කරමින් කියන්නීය. ‘අපි හැමෝම මරා දමාවි කියා අපි හිටියේ බයෙන්.’

පිටව යාමට උත්සාහ කළ පළමු දින රැයේ, කැරළිකරුවන් සමග අතාත්වික රාත‍්‍රී භෝජනයක් සූදානම්ව තිබිණ. භෝජන සංග‍්‍රහයක සන්සුන් සුව පහසුව බිඳලමින් පසුබිමෙහි ඇද වැටෙන නිරන්තර ෂෙල් වෙඩි හඬ සහන සේවකයින්ට ඇසුණි. පිටත ජනයා හාමත්ව හිඳියදී, සුදු අත් වැසුම් පැළැඳි වේටර්වරු, පිරවූ කකුළුවන් හා පොකිරිස්සන් මේසයට ගෙන ආහ. සංග‍්‍රහය අතරවාරයේ දී කොටින්ගේ සිනහමුසු ප‍්‍රකාශක පුලිතේවන්, සහන සේවකයින්ට පිටව යන්නට අවසර දිය නොහැකි යැයි කීවේය. දහවල උද්ඝෝෂණය, පිටව යන දිනය කල් දමන්නට එක්සත් ජාතීන්ගේ සේවක පිරිසට බලකිරීමේ අරමුණින් කැරළිකරුවන් විසින් උසිගන්වන ලද එකක් බව ඔහුගේ ප‍්‍රකාශයෙන් ප‍්‍රත්‍යක්‍ෂ කෙරුණි. ඊට හේතු කවරේදැයි නොපමාව පැහැදිලි විය.

ගිගිරුම් ඝෝෂාව ඩික්සීට ඇසුණේ මධ්‍යම රාත‍්‍රියේ දීය. තම බංකරයෙන් රිංගා පිටතට ආ ඔහු, පොළොව සසලවන ගිගිරුම් හඬ නංවාගෙන නගරයෙන් බැහැරට ගෙන යමින් තිබෙන කැරළිකරුවන්ගේ කාලතුවක්කු සහ සන්නාහ රථ පෙළ, ප‍්‍රධාන මාර්ගයේ අඳුරු සෙවණළු මුවාවෙහි සිටගෙන නැරඹීය. යුද කලාපය තුළ එක්සත් ජාතීන්ගේ රැඳී සිටීම, උපක‍්‍රමික පසුබැසීමකට ආවරණයක් වශයෙන් යොදාගන්නට කැරළිකරුවෝ කටයුතු කර තිබුණාහ. කොටින් සිය බර අවි සියල්ල බැහැරට ගෙන යනු ලැබූ අතර ඉක්බිති සහන සේවකයින්ට පිටව යන්නට අවකාශ සළසමින්, ඉන්ද්‍රජාලයකින් මෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාල අංගනයෙන් පිටත උද්ඝෝෂණ නැවතිණ.

අනතුරුව නික්ම යන දිනය එළඹිණ: 2006 සැප්තැම්බර් 16. මහ හඬින් ඞීසල් දුම් වමාරන, පමණ ඉක්මවා බර පැටවූ යල් පැන ගිය කෘෂි රථ වාහන  මැද, එක්සත් ජාතීන්ට අයත් සවිමත් ලොරි රථ වෙනත් ග‍්‍රහලොවකින් පැමිණි ඒවා සේ පෙණුනි. පාරේ එක් පසෙක, මටසිළිටි නවීන තාක්‍ෂණය මූර්තිමත් කළා වූ, නික්ම යන්නට නියමිත එක්සත් ජාතීන්ට අයත් රථ පෙළ විය. එහිම අනෙක් පස, කඩා වැටෙන්නට ඔන්න මෙන්න සේ පෙණුනු භංගුර පාපැදි හා කරත්ත පෙළ විය.

නිල් පැහැ ආරක්‍ෂක හිස් වැසුම් පැළැඳගත් සහන සේවකයෝ, රේඩියෝ ඇමතුම් යන්ත‍්‍ර ඔස්සේ  රජයේ පාලන ප‍්‍රදේශ තුළ සිටි සිය සගයින් අමතමින් චින්තාපරව ඔබ මොබ ගියෝය. ඔවුහු කැළඹී සිටියහ. යුද කලාපයෙන් පිටව යන්නට තිබූණේ එක් මාර්ගයක් පමණක් වූ අතර එයද අනාරක්‍ෂිත එකකි. එය අල්ලා ගනු වස් එක් පසෙක කොටින්ද අනෙක් පසින් හමුදාවන්ද සූදානම්ව සිටියහ. කවර හෝ පාර්ශ්වයක් විසින් ප‍්‍රහාරයක් එල්ලකොට අනෙක් පාර්ශ්වයට වරද පටවන්නට ඉඩක් තිබිණ. ආරක්‍ෂාව පිළිබඳ තමන්ට සහතික විය නොහැකි බව හමුදාව කී අතර එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය මිනිස් පළිහක් වශයෙන් යොදාගන්නට කැරළිකරුවන්ද දෙවරක් නොසිතනු ඇත. අත්හැර දමා ආ ජනයා විසින්ද පසුව අනාවරණය කරගත් පරිදි අතරමැදට කොටුවීම බිහිසුණු එකකි.

එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ නික්ම යාම උදෑසන දහයට ඇරඹෙන බව යුද වන් දෙපාර්ශ්වයටම දන්වා තිබිණ. නමුත් පිටව යන්නට මිනිත්තු කිහිපයකට පෙරාතුව රජයේ ප‍්‍රහාරක ජෙට් යානාවක් ගිගුම් දී මතුව විත් බෝම්බයක් හෙළීය. එය ද ඉතා ආසන්නයෙනි. මහත් වූ පිපිරුම් හඬින් කම්පිත වූවෝ ඉබේම මෙන් ආරක්‍ෂණ මුවාවක් සොයා වහා දිව ගියහ. ‘මට නම් බෝම්බ සද්දේ නෙවෙයි, ඒ ඇන්ජින් සද්දෙයි භයානක. වේගයෙන් පහළට බහින යානය එක පාරටම අතිධ්වනික (Supersonic) පන්නෙට මාරුවෙනවා – ඒක මරණීය ඝර්ජනාවක්. මම නම් අත් දෙකෙන්ම කන් වහගන්නවා. දැන් වුණත් ඒ සද්දය මතකයෙන් ඇහෙනකොට මගේ ඇඟ වෙවුලනවා’ ඩික්සී අතීතාවර්ජනයෙන් කියයි. බන්කරයෙන් පිටතට විත් වාහනවල නැගී පිටව යන අතරවාරයේ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ට‍්‍රැක්ටරයක් පුපුරුවා හැර ඇති අයුරු ඔවුහු දුටහ. ‘මම හිතන්නේ නැහැ ඔවුන්ට අවශ්‍ය වුණේ අපිට පහර දෙන්නයි කියලා’ ඩික්සී කියයි. ‘ඒක පිටවෙන්න කියලා දුන්න පැහැදිලි සංඥාවක්. තැති ගැන්වීමේ උපක‍්‍රමයක්.’

එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට ඒ සා ආසන්නයෙන් එල්ල කළ ප‍්‍රහාරයක්, සාමාන්‍ය වශයෙන් නම් ප‍්‍රධාන රාජ්‍ය තාන්ති‍්‍රක සිද්ධියක් විය යුතුව තිබුණ ද නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානීහු ප‍්‍රසිද්ධියේ කිසිත් නොබිනූහ. හුදෙක්, ශී‍්‍ර ලංකා ආණ්ඩුව ඒ ආකාරයෙන් අභියෝගාත්මකව අභිමුඛ කිරීමේ පිළිවෙතක් ඔවුන්ට නොතිබිණ.

කැරළිකරුවන්ගේ පාලන ප‍්‍රදේශයෙන් පිටව යාමේ ගමන බියජනක නිහඬතාවක ගිළී තිබුණි. සාමාන්‍යයෙන් ජනාකීර්ණ මංසන්ධි පාළුව ගොස් ගම්බිම් ජන ශූන්‍යව තිබිණ. මාර්ගයේ අද්දරක හුදකලාවේ කොටි සාමාජිකයෙකු රැඳී සිටියේ ආරක්‍ෂාවටත් වඩා හුදු සැරසිල්ලක් වශයෙනි. හෝරාවකින් ඔවුහු කැරළිකරුවන්ගේ අවසාන මුරපොළට ළඟා වූහ. කොටි ධජය තවමත් ලෙළ දෙමින් තිබුණද, මුරපොළ මාස ගණනාවකට පෙරම අතහැර දමා තිබුණි. නිල වශයෙන් නොවූවද, කලෙක දී සෝදිසි පිරික්සුම්වලින් ද, රේගු සහ අනන්‍යතා පරීක්‍ෂාවන්ගෙන්ද පරිපූර්ණ දේශ සීමාව මෙය විය.

මහළුව වැහැරුණු අයාලේ යන එළදෙණුන් දෙතුන් දෙනෙක් යුද මුක්ත කලාපයේ කටු කම්බි අතරින් ඔහේ නෙත් දල්වාගෙන සිටියහ. හමුදා මුරපොළේදී, ශී‍්‍ර ලංකා සෙබළු සෑම සහන සේවකයෙකුගේම සියළු බඩු බාහිරාදිය සහ වාහන එකක් නෑර අවුස්සා  පිරික්සමින් පුරා පැයක් ගෙවා දැමුවෝය. තමන් විසින් ගන්නා ලද සටන් ඡායාරූප සඟවා ලූ ලැප්ටොප් පරිඝණකය හේතුවෙන් ඩික්සී සිටියේ කැළඹීමෙනි.

නොබෝ වේලාවකින්, ශීත කළ බීර බෝතල් කඩමින්, සුරක්‍ෂිතව පිටව ඒම ගැන එකිනෙකා වෙත සුබ පතා ගනිමින් සහන සේවකයෝ ප‍්‍රීති සම්භාෂණයක් ඇරඹූහ. සිය සමීප මිතුරන් අත්හැර දමා ආ ඩික්සී, එය මෙනෙහි කරන්නේ තම ජීවිතයේ වඩාත්ම හැඟුම්බර මොහොත වශයෙනි. ‘ජයපැන් බොන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අපි සංහාරයකට ඉඩ තියලා පිටව ආවා’යි ඔහු කියයි.

තත්ත්වය වඩා භයානක වීම පිළිබඳ තමන්ගේම තක්සේරුව මත පදනම්ව තාවකාලිකව අන් තැනක සිට ක‍්‍රියාත්මක වන්නට තමන්ට බලකෙරී ඇති බවට වූ නිවේදනයක් අගනුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් නිකුත් කරන ලදී. තමන්ට වහා පිටවන්නැයි ආණ්ඩුව අණ කළ බව කියන්නට ඔවුහු අපොහොසත් වූහ.

ජාතික ඇඳුමින් හා ඔහුටම ආවේණික කුරහන් සාටකයෙන් සැරසුණු ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, සහන සේවකයින්ට පනවන ලද තහනම ‘තාවකාලික පියවරකැ’යිද, එක්සත් ජාතීන්ට ගැටුම් කලාපයට පෙරළා ඉක්මණින් යා හැකියැයිද  කීමෙන් චිත‍්‍රය තවදුරටත් ව්‍යාකූල කළේය. ලෝකයාගේ හෘදය සාක්‍ෂිය මෙමගින් සැහැල්ලූ කළා විය හැකි වුවද, එය හුදු මුසාවක් විය. තමන් විසින් ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් බැඳි සිටි ජනයාට කිසිදු හෝ ලෙසකින් ප‍්‍රවේශ වන්නට හැකියාවක් ජාත්‍යන්තර සංවිධානයන්ට ඉතිරි නොවීය. කවර හෝ මිලක් ගෙවා කැරළිකරුවන් මුලිනුපුටා දැමීමට අදිටන් කොටගත් හමුදාවක් හමුවට 400,000කට වැඩි දෙමළ ජනයා අත් හැරදමනු ලැබ තිබිණ. කැරළිකරුවන්ගේ පාලන ප‍්‍රදේශයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත සංවිධාන පිටව ඒම වනාහී මෙම මගෙහි ගත් පළමු පියවර වූ අතර අත්හැර දමනු ලැබ ආ ජනයා ආරක්‍ෂා කරන්නට ඔවුන් ඇත්තෙන්ම ප‍්‍රමාණවත් තරම් සටන් කළාද යන්න ගැටළු සහගත ය. එසේ කළේ යැයි ඩික්සී සැබැවින්ම නොසිතයි. වරදකාරී බවින් හා කළකිරීමෙන් මඩනා ලද හෙතෙම රැකියාවෙන් ඉල්ලා අස්ව, තමන් ඇසින් දුටු දෑ පිළිබඳ ප‍්‍රසිද්ධියේ කතා කරන්නට පටන් ගත්තේය. ඒ වනාහී අදාළ ක‍්‍රියාවන් වහාම නවතන්නැයි එක්සත් ජාතීන් නිශ්චිත ලෙසම ඔහුට දන්වා සිටින තෙක් පමණි.

(මතු සම්බන්ධයි)2000 සිට 2004 දක්වා කාලය තුළ BBC ආයතනයේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වශයෙන් කටයුතු කළ ෆ්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලද Still Counting the Dead: Survivors of Sri Lanka’s Civil War පළමු මුද්‍රණය 2012 ඔක්තෝබරයේදී එළි දුටුවේය.

Back to Home page