21 August, 2019

Blog

ඉහළ ආදායම් ආර්ථිකයක් දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ වර්ධනයේ ගමන් මග

මහාචාර්ය ලලිත් සමරකෝන් –

2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක් බවට පත්විය. එය ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කඩඉමකි. එබැවින් රටේ ආර්ථිකයේ ඉදිරි මාවත ගැන සලකා බැලීමටත්, ‘මධ්‍යම ආදායම්ලාභි’ රටක සිට ‘ඉහළ ආදායම්ලාභී’ රටක් බවට වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන සැලසුමක් සකස් කර ගැනීමටත් මෙය කාලයයි.

මෑතකාලීන වර්ධනයේ අතුරුකතා

විසිහය අවුරුදු සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, 2009-2013 අතර පස් අවුරුදු කාලය තුළ ලංකාවේ ආර්ථිකය සියයට 6.5 වාර්ෂික අනුපාතිකයකින් වර්ධනය විය. යුද්ධය අවසන් වීමත් සමගම ඇති වූ වර්ධනය එහිදී විශේෂයෙන් කැපී පෙනෙයි. 2010 දී එය සියයට 8.0 ක් ද, 2011 දී සියයට 8.4 ක් ද, 2012 දී සියයට 9.2 ක් ද විය. එහෙත් මේ ගාමක වේගය දිගටම පැවතුණේ නැත. 2013 වන විට එය සියයට 3.4 දක්වා පහළ ගියේය. 2014 සිට 2018 දක්වා කාලය තුළ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 4.2 වේගයෙනි. එය, ඊට කලින් අවුරුදු 5 සමග සසඳද්දී, සියයට 2 කටත් වැඩි ප‍්‍රමාණයකින් වර්ධන වේගය අඩු වීමකි. ඊටත් වඩා, 2015 සිට මෙසේ මධ්‍යම ප‍්‍රමාණයේ වේගයක් පෙන්නුම් කළ වර්ධනය, 2018 දී සියයට 3.2 ක් දක්වා පහළ වැටුණි. එය, ගතවූ අවුරුදු 16 තුළ ලංකාව ලබා ඇති අඩුම ආර්ථික වර්ධන වේගයයි. 2019 අපේ‍්‍රල් මාසයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයන් නිසා ආර්ථිකයට සිදුවූ විනාශය හේතුවෙන් මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් හෝ ඊටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒක-පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

ශ‍්‍රී ලංකාවේ ඒක-පුද්ගල නාමික දළ දේශීය නිෂ්පාදිතය 2013 දී රුපියල් 465,976 ක් විය. එය 2018 වන විට රුපියල් 666,817 ක් දක්වා වැඩි විය. ඒ අනුව, රුපියල් අගයෙන් ගත් විට, ගත වූ වසර 5 ක කාලය තුළ, ඒක-පුද්ගල දළ දේශීය ආදායමේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 7.4 ක් විය. එය ඇමරිකානු ඩොලර් වටිනාකමින් ගත් විට, (2013* ඩොලර් 3609 සිට (2018* ඩොලර් 4102 දක්වා වර්ධනය වීමකි. එනම්, ඩොලර් 493 කින් වර්ධනය වීමකි. ඩොලර් අගයෙන් ගත් විට මෙය සියයට 2.6 ක වර්ධනයක් පමණි. එවැනි අඩු වර්ධනයක් ඩොලර් අනුපාතිකය තුළ පෙන්නුම් කරන්නේ, රුපියලේ අගය මේ කාලය තුළ වාර්ෂිකව සියයට 4.7 කින් අවප‍්‍රමාණ වීම නිසා ය.

දැන්, ඉහළ මධ්‍යම-ආදායම්ලාභී රටකි

2019 දී ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණියේය. ඒ, ලෝක බැංකුව විසින් ලංකාව ඉහළ මැද-ආදායම් රටක් වශයෙන් වර්ග කරනු ලැබීම නිසා ය. ලෝක බැංකුව රටවල් වර්ග කරනු ලබන්නේ, ඒ ඒ රටවල දළ දේශීය ආදායම මත පදනම් වෙමිනි. රටක දළ දේශීය ආදායම මනින්නේ, සියලු රටවැසියන්ගේ සහ ව්‍යාපාරවල ආදායම සහ ශුද්ධ විදේශීය ආදායම් එකට ගැනීමෙනි.

2019 දී ඉහළ මැද-ආදායම්ලාභී රටක් වශයෙන් ගැනෙන්නේ, රටක ඒක පුද්ගල දළ දේශීය ආදායම ඩොලර් 3996 සීමාවට පැමිණි විට ය. 2018 දී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය ආදායම ඩොලර් 4060 ඉක්මැවීය. එහි ප්‍තිඵලයක් වශයෙන් අප දැන් සිටින්නේ, චීනය, මැලේසියාව සහ තායිලන්තය අයත් වන ‘ඉහළ මැද-ආදායම්’ කාණ්ඩයේ ය. වර්ගීකරණයෙන් එසේ සමාන වෙතත්, ඒ කියන රටවල් ලංකාවට වඩා බෙහෙවින් විශාල ආර්ථිකයන් වන බව මතක තබාගත යුතුය. උදාහරණයක් වශයෙන් ගතහොත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 89 ක් පමණක් වන විට, චීනයේ එය ඩොලර් ට්‍රිලියන 13.6 කි. තායිලන්තයේ ඩොලර් බිලියන 505 කි. මැලේසියාවේ ඩොලර් බිලියන 354 කි. ඒක-පුද්ගල ආදායම වශයෙන් ගතහොත්, මැලේසියාවේ එය ඩොලර් 10,460 ක් වන අතර, චීනයේ 9470 ක් ද, තායිලන්තයේ 6610 ක් ද වෙයි.

ඉහළ ආදායම්ලාභී ආර්ථිකයක් වීමට බැලීම

රටක ආදායම් මට්ටම පිළිබඳ වර්ගීකරණයේ ඊළඟ අදියර වන්නේ, ඩොලර් 12,376 ක් වන ‘ඉහළ ආදායම් කාණ්ඩයයි’. එහි අදහස වන්නේ, ශ‍්‍රී ලංකාවට ඒ මට්ටමට ළඟා වීමට නම් වර්තමාන දළ දේශීය ආදායම තුන් ගුණයකින් වැඩි කරගත යුතු බව ය. මෙවැනි ඉහළ ආදායම් සහිත ආසියානු රටවල් වන්නේ, හොංකොං, සිංගප්පූරුව, කොරියාව සහ තායිවානය වැනි රටවල් ය.

ඒ මට්ටමට ළඟාවීම පිළිබඳ ශී‍්‍ර ලංකාවේ අනාගතය කෙබඳුද? ‘ඉහළ මැද-ආදායම්’ රටක සිට ‘ඉහළ ආදායම්’ රටක තත්වයට ළඟා වීම සඳහා සාමාන්‍යයෙන් රටකට ගතවන කාලය අවුරුදු 15 කි. 2010 දී ඉහළ මැද-ආදායම් තත්වයට ළඟා වූ තායිලන්තය සහ චීනය දැන් වසර 10 ක් එම තත්වයේ පසුවෙයි. 1994 දී ඉහළ මැද-ආදායම් මට්ටමට පැමිණි මැලේසියාව දැන් අවුරුදු 25 ක් තිස්සේ ඒ මට්ටමේ පසුවෙයි. වර්තමාන ආර්ථික වර්ධන වේග අනුපාතිකය අනුව ගත් විට, මැලේසියාව 2024 වන විට ඉහළ ආදායම්ලාභී රටක තත්වයට පත්විය හැකි බව ලෝක බැංකුව කියයි. එහි අදහස වන්නේ, ‘ඉහළ මැද-ආදායම්’ රටක සිට ‘ඉහළ ආදායම්ලාභී’ රටක් වීමට මැලේසියාවට අවුරුදු 30 ක් ගතවන බව ය.

මෙසේ ඉහළ ආදායම්ලාභී තත්වයට පත්වීම සඳහා රටකට ගතවන කාලය කොපමණද යන්න තීරණය වන්නේ, එම රටේ අනාගත ආර්ථික වර්ධන වේගය, විනිමය අනුපාතිකය, උද්ධමන අනුපාතිකය සහ ජනගහන වර්ධනයේ වේගය ආදියයි.

ශ‍්‍රී ලංකාවේ ඉදිරි ජනගහන වර්ධන වේගය සියයට 0.5 ක්ද, උද්ධමනය සියයට 5 ක්ද, රුපියලේ අගය අවප‍්‍රමාණය වීම සියයට 3 ක් සහ වාර්ෂික මූර්ත ආර්ථික වර්ධන වේගය සියයට 6 ක්ද වන්නේ යැයි උපකල්පනය කළොත්, තව අවුරුදු 10 කින් (2029* ඩොලර් 8000 ක ඒක-පුද්ගල දළ දේශීය ආදායමක් ලබන මට්ටමට අපට පැමිණිය හැකිය. තව අවුරුදු 15 කින් (2034* ඩොලර් 12,000 ක ඒක-පුද්ගල දළ දේශීය ආදායමක් ලබන තත්වයට අපට පත්විය හැකිය.

අනිත් අතට, සියයට 5 ආර්ථික වර්ධනයක්ද, සියයට 6 උද්ධමනයක්ද, සියයට 6 කින් රුපියල අවප‍්‍රමාණ වීමක්ද, සියයට 1 ජනගහන වර්ධන අනුපාතිකයක්ද තිබෙතැයි උපකල්පනය කළොත්, ‘ඉහළ ආදායම් කාණ්ඩයේ’ රටක් බවට පත්වීමට අපට අවුරුදු 20 ක් ගත වනු ඇත.

ඉහළ ආදායම් සහිත රටවල් අතරට ප‍්‍රවිෂ්ට වීමේ මාර්ගය අභියෝගාත්මක ය. එහෙත්, ආයෝජන ප‍්‍රවර්ධනය සමග ශ‍්‍රම සහ ප‍්‍රාග්ධන ඵලදායීතාව ඉහළ නංවා ගැනීම අරමුණු කරගත්, දීර්ඝ-කාලීන ඒකාබද්ධ ජාතික සමාජාර්ථික සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුවක් තුළ උසස් මට්ටමේ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමේ ශක්‍යතාව ලංකාවට තිබේ.

*2019 අගෝස්තු 7 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ “Sri Lanka’s Growth Path to a High Income Economy” නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.