26 April, 2024

Blog

මේ ජනාධිපති ප්‍ර​තිපත්ති ප්‍ර​කාශන වලංගු ඒවාද?

සරත් සී. මායාදුන්නේ

සරත් සී. මායාදුන්නේ

පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදී මජනගත කළ විවිධ චින්තන හා ප්‍ර​කාශනවල මෙන් මෙවරද ඉදිරිපත් කෙරෙන ජනාධිපති ප්‍ර​තිපත්ති ප්‍ර​කාශනවල අඩංගු කරන බව පෙනෙන කරණු අනුව පැහැදිළිව පේන්නේ ජනාධිපති තනතුරට පත්වුණු, පත්වීමට පෙරුම්පුරන හා ඔවුන්ට ආවඩන බොහෝ දෙනාට ජනාධිපති තනතුරට අයිති හා අයිති නැති කටයුත්ත මොකක්ද කියා නොතේරෙන බවයි. නැතහොත් හිතාමතාම ජනතාව මුලා කරන බවයි. ඒ හැර අප රටේ මේ දක්වා ජනාධිපති තනතුරට පත් වූ බොහෝදෙනා කළ කියූ, එසේම අදත් කරන කියන දේවලින් පේන්නෙත් එම තනතුරට අයිති හා අයිති නැති කටයුත්ත මොකක්ද කියා කිසිම අවබෝධයක් නැති විත්තියයි. ජනාධිපති ප්‍ර​තිපත්ති ප්‍ර​කාශනවල අඩංගු කෙරෙන බොහොමයක් කරුණු සැබැවින්ම තිබිය යුත්තේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක ප්‍ර​තිපත්ති ප්‍ර​කාශනවලයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට අයිති කාර්යයන්, ජනාධිපති තනතුරට අයිති කාර්යයන් ලෙස සලකා ජනාධිපති ප්‍ර​තිපත්ති ප්‍ර​කාශනවල අඩංගු කළ හා අඩංගු කිරීම් ගැන බුද්ධිමත් පාඨකයා විමසිලිමත් වියයුතු වෙනවා.

අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තිසම්මත කිරීම හෙවත් ව්‍යවස්ථාදායක කටයුත්ත ඉටු කරන්නේ හා කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිනුයි. පාර්ලිමේන්තු මහ මැතිවරණයක එක් ප‍්‍රධාන අරමුණක් වන්නේ රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ගැන එක් එක් දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් ජනතා අනුමැතිය ඉල්ලන යෝජනාපත‍්‍ර ගැන ඡන්දය මගින් ජනතා අනුමැතිය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමයි. පාර්ලිමේන්තුව පනත් ලෙස සම්මත කර කි‍්‍රයාත්මක කළ යුතුවන්නේ එලෙස මහ මැතිවරණයකදී ජනතා අනුමැතිය ලබන ප‍්‍රතිපත්ති මාලාවයි. රාජ්‍යයසඳහා භාවිතා කිරීමට යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන, ජාත්‍යන්තර සම්බන්ධතා කරුණු, ජාතික ආරක්‍ෂාවට හා සංහිදියාවට අදාල කරුණු, ආර්ථික සංවර්ධනයට, විරැුකියාවට, උද්ධමනයට, විදේශ සංචිතවලට මෙන්ම අධ්‍යාපනයට, සෞඛ්‍යයට ආදී සියලූ ජාතික ප‍්‍රතිපත්තිවලට අදාල කරුණු ගැන ජනතා අනුමැතිය ප‍්‍රකාශවන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයකදීයි. පොදු රාජ්‍ය මණ්ඩල ආකෘතිය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර ජනතා අනුමැතිය නියෝජනය කරන කණ්ඩායමෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ මහ මැතිවරණයකදී ජනතා අනුමැතිය ලබන එම රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවයි. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන්නත් රාජ්‍ය ප‍්‍රතිපත්තිසම්මත කිරීම හෙවත් ව්‍යවස්ථාදායක කටයුත්ත ජනාධිපතිවරයාට නොවපාර්ලිමේන්තුවට එලෙසින්මභාර දී තියෙනවා. ඒ බව 4(අ) ව්‍යවස්ථාවේ “ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්තී‍්‍රවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද කි‍්‍රයාත්මක කළ යුත්තේය​.” යනුවෙන් දක්වා තියෙනවා. ව්‍යවස්ථාදායක බලය යන්නෙන් අදහස් කරන්නේ රට කරගෙන යාමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සමුදාය පනත් ලෙස සම්මත කර රටේ නීතිය බවට පත් කිරීමට ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරන ජනතාවගේ බල වරමයි. ඒ අනුව රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය පනත් ලෙස සම්මත කරනු ලබන්නේ හා කළ යුතුවන්නේ පාර්ලිමේන්තුව විසින් මිස ජනාධිපතිවරයා විසින් නොවේ.

4(ආ) ව්‍යවස්ථාව අනුව දැක්වෙන “රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේය.” යන්න ජනාධිපතිවරයාට අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී ඇති ප‍්‍රධාන කාර්යභාරයයි. එහිදී ජනතාවගේ විධායක බලය යන්නෙන් කියැවෙනුයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීමේ බලය නොව,පාර්ලිමේන්තුව අනුමත කරන නීතියට යටත්ව රට කරවීම හෙවත් ආණ්ඩුකරණයයි. එහි සඳහන් නීතිය වන්නේජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නොව, පාර්ලිමේන්තුව විසින් නීතිය ලෙස සම්මත කරන රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවයි.ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩංගු කළයුතු වන්නේ ජනාධිපතිිවරයාතම කටයුතු ඉතාමත් උචිත ලෙස ඉටු කරන ආකාරය මිස තමන් පාර්ලිමේන්තුවේ කටයුතු ආක‍්‍රමණය කරන ආකාරය නොවේ.

ඉහත කී විධිවිධානයේ “රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය….” යන්නද අප නිවැරදිව තේරුම් ගතයුතු වෙනවා. එය “රටේ ආරක්‍ෂාව හා ජනතාවගේ විධායක බලය….” යනුවෙන් දක්වා තිබුණේ නම් ජනතාවගේ විධායක බලය යන්නට රටේ ආරක්‍ෂාව ඇතුළත් නොවන බව සැලකීමට ඉඩ තිබුණා. එනමුත් ඉහත දැක්වෙන විධිවිධානය අනුව ජනතාවගේ විධායක බලය යන්නට රටේ ආරක්‍ෂාවද ඇතුළත්වන බව පැහැදිළියි. එ් අනුව නිශ්චය වනුයේ රටේ ආරක්‍ෂාව පිළිබඳ නීති සම්පාදන බලය හෙවත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවටත්, එයක‍්‍රියාත්මකකිරීමේ බලය ජනාධිපතිවරයාටත් පැවරී ඇති බවයි. එනම් රටේ ආරක්‍ෂාව පිළිබඳව ජනාධිපතිවරයාට අයිති වගවීම වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන නීතියට යටත්ව රටේ ආරක්‍ෂාව ක‍්‍රියාත්මක කළ යුතු බවයි. මෙය අපට වැදගත්වනුයේ සැකසෙමින් පවතින සමහර ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අදහස් දක්වනුයේ ඔවුන් පත් කරන ඊළඟ ජනාධිපතිවරයා රටේ ආරක්‍ෂාව පිළිබඳ පූර්ණ බලධරයා ලෙස, එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවිධිවිධාන ඉක්මවා බලය හිමිකර ගන්නා අයෙකු ලෙස හඳුන්වන නිසයි. එසේ කිරීමක්ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව සතු බලය, ජනාධිපතිවරයාගේ අතට දීමක් වෙනවා.

විධායක බලය ක‍්‍රියාත්මක කිරීමට අමතරව රාජ්‍ය නායකයා වශයෙන්ද ජනාධිපතිවරයාට කටයුතු ගණනාවක් පැවරී තියෙනවා. එලෙස ජනාධිපති කාර්යභාරය පිළිබඳවඅනිකුත් විස්තරාත්මක විධිවිධාන 33 හා 34 ව්‍යවස්ථා වලත් 41 ව්‍යවස්ථාව ඇතුළු තවත් ව්‍යවස්ථා වල සඳහන් වෙතත් මේ කිසිදු ව්‍යවස්ථා විධිවිධානයක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක බලතල හෙවත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීමට අදාළ රටේ නීති ව්‍යුහය සැකසීමට කවර හෝ බලයක් පවරා නැහැ. ඔහු නායකත්වය දෙන විධායකයට පවරා ඇත්තේ පාර්ලිමේන්තුව පනවන රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවට අනුව රටේ ආණ්ඩුකරණය හෙවත් රාජ්‍ය පාලනයේ විධායක කාර්යයයි. එනිසා ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩංගු වියයුත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය කුමක් වියයුතුද යන්න නොව පාර්ලිමේන්තුව අනුමත කරන නීති රාමුව යටතේ ජනතාව වෙත රාජ්‍ය සේවය ලබා දීමේදී හා රාජ්‍ය නායකයා ලෙස කි‍්‍රයා කරද්දී අනුගමනය කරන ප‍්‍රතිපත්තිහා කි‍්‍රයාකාරකම් මොනවාද යන්නයි. එනම් රාජ්‍ය පාලනයේදී තම කාර්යය යහපත්ව ලබා දෙන්නේ කෙසේද යන්න පැහැදිළි කිරීමයි.

පාර්ලිමේන්තුව අනුමත කරන රාජ්‍ය ප‍්‍රතිපත්තියට අදාල පනත්සඳහා වන කෙටුම්පත් වලින් අතිබහුතරය සැකසෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් බව ඇත්තය. එම පනත් කෙටුම්පත් කරන අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා බවත් ඇත්තය. එසේ වුවද එම කෙටුම්පත්වල අන්තර්ගතය විය යුත්තේ ජනාධිපති ප‍්‍රතිපත්ති නොව ජනතාව රාජ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී කළඅනුමත කිරීම්ය. ඒ, ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරනුයේ අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය කරුණු නීතිගත කිරීමට නොව මහ මැතිවරණයකදී ජනතා අනුමැතිය ලබන ප‍්‍රතිපත්ති මාලාව රටේ නීතිය බවට පත් කිරීමටවන නිසයි.

ප‍්‍රජාතාන්ත‍්‍රික පාලන ව්‍යුහයකදී ජනතාව විසින්, ජනතාව උදෙසා, ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමේදී ජනතාවට තමාව පාලනය වියයුතු රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාව නිශ්චය කිරීමට දේශපාලන පක්‍ෂ ක‍්‍රමය අත්‍යාවශ්‍ය වෙනවා. ඒත් රටක​ දේශපාලන පක්‍ෂ ක‍්‍රමය අවශ්‍යවන්නේ ව්‍යවස්ථාදායක කාර්යයට මිස නිර්දේශපාලනික වියයුතු විධායක කාර්යයට හෙවත් ආණ්ඩුකරණයට නොවෙයි.

ජනාධිපතිවරණයකදී රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවක් ජනතා අනුමැතියට ඉදිරිපත් කිරීම මෙතෙක් සිදුවුවත් කරුණු කිහිපයක් නිසාම එය වැරදි කි‍්‍රයාවක් බව මේ අනුව පෙනී යනවා. එක අතකින් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අරමුණට පටහැනි වෙනවා. අනිත් අතින් ඉන් ඉතාම බරපතල වැරදි පණිවිඩයක් ජනගත වෙනවා. එනම්,පාර්ලිමේන්තු මැතිවරණයක් ජයගන්නා පක්‍ෂයක් ලබාගන්නා ඡන්ද ප‍්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා ලැබීමකදී ජනතාව ඉහළ ප‍්‍රතිශතයකින් අනුමත කර ඇත්තේ ජනාධිපති රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාව බවටත්, එනිසා කි‍්‍රයාත්මක කළ යුත්තේ ජනාධිපති රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාව බවටත්සහමුලින්ම වැරදි අර්බුදකාරී අර්ථකථනයකට එය ඉඩසලසනවා. ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයට සැබෑ හේතුව ඔහුගේ ප‍්‍රතිපත්ති මාලාව නොව වෙනත් හේතූන් වුනත් ඉහළ ජනතා අනුමැතිය ලැබී ඇත්තේ ඒ ප‍්‍රතිපත්ති මාලාවට බවට තර්කයකටද එය ඉඩ සලසනවා. ජනාධිපතිධුරය හා පාර්ලිමේන්තු බලය ප‍්‍රතිවිරුදධ දේශපාලන පක්‍ෂවලට අයත් වුවහොත් හා එහිදීඅසමාන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දෙකක් අනුමත වුවහොත් එය මුළු රටම මහා අර්බුදයකට ගෙන යනවා. අද ඇති අර්බුදය ඊට නිදසුනක්.

ඉහත දැක්වෙන ජනාධිපති ප‍්‍රතිපත්ති මාලාවට අයත් වියයුතු ආණ්ඩුකරණයේ ප‍්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඉන් එකක් නම් ජනතාවට යහපත්ව රාජ්‍ය සේවය ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන් ඉතාම යහපත් අයුරින් සේවයේ යෙදවිය හැකි රාජ්‍ය සේවා නිලධාරීව්‍යුහය සකස් කරන ආකාරයයි. වැදගත් වන අනිත් කරුණ නම් ඉතාම යහපත් අයුරින්, භීෂණයෙන් හා දුෂණයෙන් තොරව, තම දේශපාලන පාක්‍ෂික නෑදෑ හිතවතුන්ට ප‍්‍රමුඛතාවය ලබාදෙන පක්‍ෂ, පාට, ජාති, භාෂා, ආගම්, කුලමල ආදී භේදයන්ගෙන් තොරව, සමාජ සාධාරණත්වය ඉටුවන පරිදි, ජනතාවට යහපත්ව රාජ්‍ය සේවය ලබා දෙන ආකාරයයි. ආණ්ඩුකරණයේදී ඉතාම වැදගත් මේ ප‍්‍රධාන කොටස් දෙකම පසු ගිය කාලය පුරාම ජනාධිපති ප‍්‍රතිපත්තිවල නොතිබීම නිසා ගෙන දුන්විනාශයමනාව පැහැදිළි වුණා.

ජනතාවට රාජ්‍ය සේවය ලබාදීමට අදාල ඉහළම රාජ්‍ය නිලධාරී ව්‍යුහය පත්කර ගැනීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට අභිමතානුසාරී බලයක් ඍජුවමලබා දීතියෙනවා. ඒ, මුළු රාජ්‍ය සේවයටම නිකැළල්, පිරිසිදු, පලදායී, කාර්යක්‍ෂම හා සුපිළිපන්න ආදර්ශමත් නායකත්වයක්ලබා දිය හැකි ඉහළම රාජ්‍ය නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහායි. පසුගිය දශක කිහිපය පුරාම මෙම ඉහළම නිලධාරීන්ගෙන් බහුතරය තෝරාගෙන ඇත්තේ කිසිදු සාධාරණ පදනමක් නැතිව දුෂිත ආකාරයට බවත්, එම නිලධාරීන්ගෙන් බහුතරය කි‍්‍රයාකර ඇත්තේද ඉතාම දුෂිත ආකාරයට බවත්, අද සනාථ වී තියෙනවා. මුළු රාජ්‍ය සේවයටම නායකත්වයක් දෙන ජනාධිපති ලේකම් ඇතුළු සම්පූර්ණ ජනාධිපති කාර්ය මණ්ඩලය, අමාත්‍යමණ්ඩල ලේකම්, අගමැති ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරු තම අභිමතයම අනුව පත් කිරීමට ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට පූර්ණව බලය දී තියෙනවා. අග‍්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු සියළුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, සභාපතිතුමා ඇතුළු සියළුම අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, ඔම්බුඞ්ස්මන්වරයා සහ පොලිස්පතිවරයා පත් කිරීමට ජනාධිපතිවරයාගේ නිර්දේශය අත්‍යාවශ්‍ය වෙනවා. ඒ තනතුරකට ජනාධිපතිවරයා නිර්දේශ නොකරන කිසිම නමක් අනුමත කරන්නට ව්‍යවස්ථා සභාවට බලයක් නැහැ. පසුගිය කාලයේදී සුදුස්සන් නොසලකා හැර නුසුදුස්සන් නිර්දේශ වූ අවස්ථා අනන්තවත් තිබුණා. එම කිසිම පත්කිරීමකදී ජනාධිපතිවරයා කිසිවෙකුගේ උපදේශයක් තබා නිර්දේශයක් ලබා ගැනීමකටවත් බැඳිමක් ඇති කර නැහැ. තානාපතිවරුන්, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, ජනාධිපති නීතිඥවරුන් ආදී පත්කිරීම්වලදීද එලෙසින්ම විශාල අභිමතානුසාරී බලයක් ව්‍යවස්ථාව අනුවම ජනාධිපතිවරයාට ලැබී තියෙනවා. එනමුත් ඒ ජනාධිපතිවරු කිසිවෙක් එම විශ්වාසය හා වගවීම මෙතෙක් ආරක්‍ෂා කර ඒ කටයුතු බොහොමයක් සිදුකර ඇත්තේ ඉතාමත් දුෂිත හා ප‍්‍රශ්ණකාරී ආකාරයකටයි.ජනාධිපතිවරණයකදී අපේක්‍ෂකයන් තම ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කළයුතු ප‍්‍රධාන ප‍්‍රතිපත්ති අතර තම අභිමතය අනුව සිදුකරන මෙබඳු සෑම පත්කිරීමක්ම ඉතාමත්ම උචිත ලෙස කිරීමට භාවිතා කරන සංවරණ හා සංතුලන ක‍්‍රම මොනවාද යන්න හා එ්වා නිසි ලෙස ක‍්‍රියාත්මක කෙරෙන බව තහවුරු කෙරන පාලන ක‍්‍රම මොනවාද යන්න නිශ්චිතව දැක්වීම සුදුසු වෙනවා.

ව්‍යවස්ථාව අනුව ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුතු ජනතාවගේ විධායක බලය යන්නට අයත් වන අනිත් වැදගත් කරුණ නම් ඉතාම යහපත් අයුරින්, සමාජ සාධාරණත්වය ඉටුවන පරිදි ජනතාවට යහපත්ව රාජ්‍ය සේවය ලබා දීමයි. මෑත යුගය තුළ මෙම කාර්යභාරය ඉතාමත්ම නින්දනීය ආකාරකට සිදු වූ බව ජනතාව දන්නවා. මෑතක සිට අද දක්වාම රට තුළ පවතින අන්ත දුෂිත රාජ්‍ය පාලනයට අපගේ ව්‍යවස්ථාව අනුව ජනතාවට ඍජුවම වගවිය යුතු පුද්ගලයා ජනාධිපතිවරයා වුවත්, වගේ වගක් නැතිව යස අපූරුවට අනිත් අයට ඇඟිල්ල දිගු කරමින් සිටීමෙන් තහවුරු වන්නේ ජනාධිපතිවරයාලෙස තම වගවීමවත් තේරුම් ගෙන නැති බවයි.”රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසිින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේය.” යනුවෙන් ඇති විධිවිධානය අනුව ජනතා පරමාධිපත්‍යයේ පාලන බලතල ති‍්‍රත්වයෙන් එකක් වන ජනතාවගේ විධායක බලය ක‍්‍රියාත්මක කිරීම සහමුලින්ම රඳවා ඇත්තේ ජනාධිපතිවරයා මතයි. තමාට පවරා ඇති රටේ ආරක්‍ෂාව පිළිබඳවක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික සංවිධාන කටයුතු ඉටුකිරීම පැහැරහැර පසුගිය අපේ‍්‍රල් මාසයේ සිදු වූ මහා ජීවිත හා දේපල විනාශය වැනි බරපතල කරුණු අනුව නිගමනය වන්නේ ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල මෙබඳු බැ?රුම් කරුණු පවා නොතකා තිබූබවයි. එසේම, මෑත වසර කිහිපයේ තාවකාලිකව නිහඬ වී ඇති රාජ්‍ය භීෂණය තිබුණාටද වඩා වැඩි විනාශකාරී වේගයකින් යළි ඇති වේද යන සැකය ජනාධිපතිවරණ පණිවිඩය සමඟම සකි‍්‍රය වී ඇති නිසා එබඳු දේ ගැනදතම සැලසුම් පැහැදිළිව ප‍්‍රකාශනවල දක්වා තිබීම අත්‍යාවශ්‍යය වෙනවා.

පොදු ජනතාව වෙත රාජ්‍ය සේවයඉතාම යහපත් අයුරින් ලබාදීම ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නත්, ඒ කටයුතු සැලසුම් කරන්නේ, ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපත්ති සදන්නේ, තීරණ ගන්නේ, ක‍්‍රියාත්මක කිරීම්වල උචිතානුචිතභාවය අගැයීමට ලක්කරන්නේ, අපේක්‍ෂිත ප‍්‍රතිපල හා සැබෑ ප‍්‍රතිපල සසදන්නේ, පසුවිපරම් කටයුතු කරන්නේ, විචලතාවයන් හඳුනාගන්නේ හා එමවිචලතා පිළිබඳ කි‍්‍රයා කරන්නේ කෙසේද යන්නත් ජනතාවට අවබෝධවන අයුරින් ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කිරීම අවශ්‍ය වෙනවා. පසුගිය දශක ගණනාව තුළම පොදු ජනතාව වෙත ඉතාමත් අශීලාචාර ලෙස රාජ්‍ය සේවය ලබාදුන්නේ මේ කටයුතු කිසිවක් ජනතාවට විවෘත නොකර පාර්ලිමේන්තුවට අයිති කටයුතුවලින් තම ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පුරවා ජනතාව මංමුලා කරමිනුයි.

රාජ්‍ය නායකයා ලෙසත් විධායකයේ ප‍්‍රධානියා ලෙසත් ජනාධිපතිවරයා පසුගිය කාලයේ කි‍්‍රයා කර ඇති ආකාරය කෙතරම් අශිෂ්ඨ හා පිළිකුල් සහගතද යන්න ගැනද අපගේ ජනතාවට ඇත්තේ ඉතා අමිහිරි මතකයන්.තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම, අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආදී අවස්ථාවල ජනාධිපතිවරුන් තම දේශපාලන වාසියට මුල් තැන දෙමින්, තම අභිමතානුසාරී බලය කෙතරම් අශීලාචාර අයුරින් මෑත ඉතිහාසයේ සිදු කළේදයන්න ඊට අදාල උදාහරණ කීපයක් ලෙස ගන්නට පුළුවන්. මුළු රටටම නායකත්වය දෙන රාජ්‍ය නායකයා ලෙසින් සමස්ත රට වැසියාගේම ආදරයට, ගෞරවයට පාත‍්‍ර වියයුතු ජනාධිපතිවරයා දුෂිත, වංචාකාර, රාජ්‍ය සම්පත් මංකොල්ල කන, රේස්බුකි හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, මිනීමරු, දේශ ද්‍රෝහී තම දේශපාලන සහචරන්ගේ ආරක්‍ෂකයා හා ගැලවුම්කරුවා ලෙස පෙනී සිටි අවස්ථා සුලභය. එ්වා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් වී නෑ.

මේ සියළුම කාරණා සලකා බලා බැසිය හැකි සරලම නිගමනය නම් ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් විය යුත්තේ ජනාධිපතිවරයාගේ කාර්යභාරයට අදාල කරුණු බවයි. ජනාධිපතිවරයා වශයෙන් කරන්නේ කුමක්ද යන්න පමණක් නොව කරන්නේ කෙසේද යන්න දැක්වීමද අත්‍යාවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම,තම බලතල ක‍්‍රියාත්මක කිරීමේදී එ්වා අත්තනෝමතිකව නොකොට සම්මුතිකභාවය, සහභාගිත්වය, නීතියේ පාලනය, වගවියයුතුභාවය, විනිවිදභාවය, ප‍්‍රතිචාරාත්මකභාවය, පිරිමැසුම්භාවය, කාර්යක්‍ෂමතාවය හා සඵලතාවය, සමානාත්මකතාවය ආදී ගුණාංගවලින් පරිපූර්ණව සදාචාරසම්පන්නව කරන්නේ කෙසේද යන්න පැහැදිළිව දැක්වීම අත්‍යාවශ්‍ය වෙනවා. උදාහරණ ලෙස එක් එක් වර්ගයේ පත්වීම් කිරීමේදී හෝ අධිකරණයෙන් වරදකරුවන් කළ අයට සමාව දීමේදී කොයි කොයි මණ්ඩල හෝ කණ්ඩායම් විමසන්නේද, නිර්දේශ හෝ උපදේශ ලබාගන්නේද ආදී කරුණු එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කිරීම උචිත බව පෙනෙනවා.

ඒ සියල්ල එසේ නමුත් ජනාධිපතිවරණයකදී ඡන්දදායකයා තම ඡන්දය දීමේදී එකී එක් එක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කුමක්ද යන්නෙන් ඔබ්බට ගොස් එම ජනාධිපතිධුරාපේක්‍ෂකයා හා ඔහුගේ ප‍්‍රකාශන කෙතරම්දුරට විශ්වාස කළ හැකිද යන්න තේරුම්ගෙන සිටිය යුතු වෙනවා. එසේ කියනුයේ ඔබ රැවටුනහොත් එහි හානිය ඔබට පමණක් සීමා නොවෙන නිසයි.

*සරත් සී. මායාදුන්නේ – විශ්‍රාමික විගණකාධිපති

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.