Colombo Telegraph

මහා පාවාදීම

ගාමිණී ජයවීර

ගාමිණී ජයවීර

2015 ජනවාරි 8 වැනි දා, ශ්‍රී ලංකාවේ ජනතාව රටේ අනාගතය ගැන, නිදහසින් පසු උද්ගත වූ අතිශය බරපතල ප්‍ර​ශ්නයකට මුහුණදුන්හ. එනම්, තනි පවුලක් සහ එහි සහායකයන්ගෙන් පාලනය වෙමින් පැවති ඒකාධිපති තන්ත‍්‍රය සඳහා සහාය පළ කරන්නේ ද, නැතහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, දයාබර, සාමකාමී, නීතිගරුක, ස්වෛරී රාජ්‍යයක් සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල සහාය ලබන ප්‍ර​ජාතන්ත‍්‍රවාදී නායකයෙකුට සහාය පළ කරන්නේ ද යන්නයි. සිංහල, දෙමළ, මුස්ලිම්. බර්ගර් සහ මැලේ ආදී ජාතීන්ට අයත්, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ඇන්ග්ලිකන් ආදී ආගමික ප‍්‍රජාවන්ට අයත්, හැට දෙලක්ෂයක ජනතාවක්, ඉහත කී දෙවැනි කඳවුරේ පොදු අපේක්ෂකයා වූ මෛත‍්‍රිපාල සිරිසේනව, ශ්‍රී ලංකා ප්‍ර​ජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. ඉන් පසු, ඇති කර ගත් සභාග රජයේ අගමැතිවරයා වශයෙන්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහව පත්කර ගැනුණි. රට ඉදිරියේ ඇති අභියෝග, මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව ජය ගනු ඇති බවටත්, ශිෂ්ට සම්පන්න සාමකාමී සමාජයක් රටේ ඇති කර ගැනීම සඳහා එතෙක් පැවති දේශපාලනික සංස්කෘතිය වෙනස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙන ලද පොරොන්දු ඔවුන් ඉටු කරනු ඇති බවටත් විශ්වාසයක් සහ අපේක්ෂාවක් එම ජනතාව තුළ විය.

දිළිඳු කාර්ය සාධනය සඳහා වන සමාභජනය

බොහෝ තීරණාත්මක ප‍්‍රශ්න සම්බන්ධයෙන් මන්දගාමී ප‍්‍රගතියක් සහිත තුන් වසරක් ඇවෑමෙන් පැවති පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අන්ත පරාජයට පත්විය. ඒ වන විට ගතව තිබූ තෙවසරක කාලය තුළ කරන ලද වැරදි හේතුවෙන් තම පක්ෂය ලද පරාජය ගැන ජාතියෙනුත්, පක්ෂ ආධාරකරුවන්ගෙනුත් අගමැතිවරයා සමාව අයැද සිටියේය. ඔහු සහ ඔහුගේ පක්ෂයේ කැබිනට් සගයන් විසින් කරන ලද වැරදි හදා ගැනීම සඳහා, එතෙක් ආ ගමන් මග වෙනස් කරමින් නිශ්චිත පියවර ගැනීමට කටයුතු කරන බවට සහතිකයක් ඔහු රටට දුන්නේය. පවතින අමාත්‍ය මණ්ඩලය තුළ පැහැදිළි වෙනසක් කිරීමට අගමැතිවරයා අපොහොසත් වුවත්, ඔහු එක් වැදගත් වෙනසක් යෝජනා කෙළේය. එනම්, නීතිය හා සාමය ඇමතිවරයා වශයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාව නිර්දේශ කිරීමයි. මහජන සුභසිද්ධියට අදාල බරපතල ප‍්‍රශ්න කළමනාකරනය කරගත නොහැකි වීම නිසා බොහෝ කාලයක් තිස්සේ එම අමාත්‍යාංශය පිළිබඳ දරුණු විවේචනයක් රටේ තිබුණි. එහෙත් අගමැතිවරයාගේ එම ඉල්ලීම, පැහැදිළි හේතුවක් නොදක්වා, ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කෙළේය. එසේ කිරීමට හේතු කවරේදැ යි දැන ගැනීමේ අයිතියක් රටේ ජනතාවට ඇතැයි මම විශ්වාස කරමි.

ගත වූ වසර තුන තුළ තමන් අතින් සිදු වූ වැරදි ගැන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායකත් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබුණි. එහෙත් මා දන්නා තරමින්, තම පක්ෂයේ අන්ත පරාජය ගැන රටේ ජනතාවගෙන්වත්, පක්ෂයේ ආධාරකරුවන්ගෙන්වත් ජනාධිපතිවරයා සමාව ඉල්ලා නැත. එසේ කරනවා වෙනුවට ඔහු උත්සාහ කෙළේ, අගමැතිවරයාව අයින් කොට තමන්ගේ පක්ෂයේ කෙනෙකු එම තනතුරට පත්කර ගැනීමටයි. හරියට, පළාත් පාලන මැතිවරණයේදී ලද අන්ත පරාජය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ වරදක් වශයෙන් ගැනීමක් මෙනි.

වෙනත් බොහෝ දෙනා මෙන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්ත පරාජය පසුපස ඇති සැබෑ හේතු ගැන සොයා බලනවා වෙනුවට ඔහු වැළඳ ගත්තේ ‘අනිකා මත වරද පැටවීමේ සංස්කෘතියයි’. එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහව, පක්ෂය විසින් සිය නායකත්වයෙන් ඉවත් කරනු නොලැබෙන්නේ නම්, සන්ධාන ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් සිටීමට සෑම අයිතියක්ම ඔහුට ඇත්තේය. එක්සත් ජාතික පක්ෂයේ එවැනි අභ්‍යන්තර ප‍්‍රශ්නයකට මැදිහත් වීමට අයිතියක් ජනාධිපතිවරයාට හෝ වෙනත් පිටස්තරයන්ට හෝ ඇත්තේ නැත. අගමැතිවරයා ඉවත් කිරීම සඳහා ඉදිරිපත් වීමට කලින්, තමා සහ තම පක්ෂයේ කැබිනට් සගයන්ගේ තුන් වසරක කෙරුවාවේ ප‍්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් ජනාධිපතිවරයා කෙළේ නම් එය මීට වඩා තාර්කික වන්නට තිබුණි. ඵලදායී වන්නට තිබුණි.

කණාපල්ලන් වැඩ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාම තමන්ට සහයෝගය දෙන්නේ නම් තනිකර ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් හැදීමට තමාට හැකි බව වරක් ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. එවැනි ක‍්‍රියාවක් සඳහා වර්තමාන ව්‍යවස්ථාව යටතේ ඉඩක් නැති බව අවබෝධ කර නොගෙන, යම් වැරදි උපදේශයක් මත පිහිටා ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය කළ බව පෙනේ. එසේම, තමාගේ ධුර කාලය වසර පහේ සිට හය දක්වා දීර්ඝ කර ගැනීමේ හැකියාවක් ඇත්දැයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේය. හේතු දෙකක් නිසා එවැනි විමසීමක් කළා විය හැකිය. එක්කෝ, එවැනි ධුර කාලයක් සඳහා කිසි ඉඩක් ඉතිරි නොකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තමන් විසින්ම ගෙනා බව ඔහුට අමතක වී තිබුණා විය හැකිය. නැත්නම්, එම ධුරයේ තත්වය, බලය සහ වරප‍්‍රසාදවල ස්වභාවය අනුව තවත් අවුරුද්දක් වැඩිපුර ඒ රස විඳීමේ ආශාවක් ඔහුට ඇති වුණා විය හැකිය. ඒ සමගම, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙණ ඉදිරියේ සපථ කරමින්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට තමන් පොරොන්දු වූ ආකාරය ඔහුට අමතක වී තිබීම කණගාටුවට කරුණකි.

මැතිවරණයෙන් පරාජයට පත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ව ඇමතිවරුන් වශයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීමේදී, ජනාධිපතිවරයා ඒ සදාචාර-විරෝධී තීරණය ගන්නට ඇත්තේ සමහර විට, ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තමා විසින් දෙන ලද පොරොන්දු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීම සඳහා විය හැකි යැයි ඡුන්දදායකයෝ අකමැත්තෙන් වුවත් හිත හදා ගත්හ. එහෙත් ඡුන්දදායකයන්ගේ ඒ අවංක අපේක්ෂාවට ජනාධිපතිවරයා පිටුපා ඇත. මන්ද යත්, මේ දක්වා ඒ කී පොරොන්දුවලින් බහුතරයක් ඉටු කොට නැති බැවිනි. ඒ තත්වය තුළ, එක පැත්තකින් ජනතාව විසින් මැතිවරණය තුළින් ප‍්‍රතික්ෂේප කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයන්ව කැබිනට් අමාත්‍ය තනතුරුවලට පත්කරන අතරේම, අනිත් පැත්තෙන් අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කැසකැවීම, මොනම තර්කයකටවත් හසු වන්නක් නොවේ.

ජනාධිපතිවරයාගේ මේ ඉවක්බවක් නැති ක‍්‍රියාවන්ගෙන් පෙනී යන්නේ, මහ බලගතු හිටපු ජනාධිපතිවරයාව පරාජය කිරීම සඳහා ඉතා දුෂ්කර තත්වයන් යටතේ පෙරට එමින්, ඔහුව ජයග‍්‍රහණය කැරැුවීම සඳහා ඉදිරිපත් වූ අවංක ජනතාවට ඔහු දුන් පොරොන්දු ඔහුට දැන් අමතකව ඇති බවකි.

ස්වාර්ථය නොතැකූ ආධාරකරුවෝ

පැවති රජයම ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ නම් අත්විඳිය හැකිව තිබූ වධ බන්ධන, අතුරුදහන් කිරීම් සහ ජීවිත අවදානම් පවා දරමින්, ස්වාර්ථය පසෙක ලා ආධාරකරුවන් විසින් ඔහුව ආරක්ෂා කළ සැටි ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ මතක් කර දීම වැදගත් ය. කුලියට ගත් හෙලිකොප්ටරයක ඔහුව නංවාගෙන, වෙඩි නොවදින ආරක්ෂක වැඩපිළිවෙලවල් ඔහු වෙනුවෙන් සකස් කරමින්, ඔහුගේ අවසාන මහජන රැුලිවලදී ඔහුගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක සේවා පවා ලබා දෙමින් ඔහු වටා එදා ආධාරකරුවන් රැුස් වූ සැටි ජනාධිපතිවරයාට දැන් අමතකව ගොසිනි. අවසානයේ ඔහුට ශ‍්‍රී ලංකාවේම නායකත්වය ලබා දුන්නේ, සෝභිත හිමියන්ගේ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංගගේ, එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික‍්‍රමසිංහගේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතලොස්සකගේ සහ ‘පුරවැසි බලය’ වැනි සිවිල් සංවිධාන ගණනාවක ඇපකැප වීම සහ ස්වාර්ථකාමී නොවූ ක‍්‍රියාදාමයක් විසින් මිස, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් විසින් නොවන බව ජනාධිපතිවරයා අද අමතක කොට තිබේ.

පැවති රජය සමග දැමූ ‘ඞීල්’

තමාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පතුර සහ ඒකාබද්ධ විපක්ෂය අතර යළි සමාදානයක් සඳහා ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂට කිට්ටු කළ බව මාධ්‍ය වාර්තා කෙළේය. හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වන විට කිහිප වරක් අත්අඩංගුවට පත්ව තිබේ. මහජන මුදල් අපයෝජනය සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවන්ට ලක්ව අද ඔහු සිටින්නේ ඇප මත ය. මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු පාලන කාලය තුළ මහජන දේපළ අපයෝජනය සහ දූෂණය සම්බන්ධයෙන් තවත් රාජපක්ෂ පවුල් සාමාජිකයෝ චෝදනාවන්ට ලක්ව සිටිති. මෑතකදී ජනාධිපතිවරයා නුවරට ගිය අවස්ථාවේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ඔහු හමු වූ බවටත් මාධ්‍ය වාර්තා කොට තිබුණි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් කරන ලදැයි කියන දූෂණ ක‍්‍රියා සහ මහජන දේපළ අපයෝජනය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවට එක පැත්තකින් පොරොන්දු දෙමින්, අනිත් පැත්තෙන් එම පවුලේ සාමාජිකයන් සමග යළි හාද වීමට ජනාධිපතිවරයා යත්න දැරීම අතිශය උත්ප‍්‍රාසාත්මක ය.

අගමැතිවරයාගේ වැරදි විනිශ්චයන්

අගමැතිවරයා ගත් වැරදි තීන්දු ගණනාවක් තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනවල උසස් තනතුරුවලට වැරදි පුද්ගලයන් නම් කිරීම සහ පත්කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත් වීම ඒ අතර දක්නට ලැබේ. මේ අයගෙන් සමහරුන්, ඇතැම් රාජ්‍ය ආයතන තුළ මහ වින්නැහියක් කොට තිබේ. අගමැතිවරයාගේ වඩාත් බරපතල වැරදි විනිශ්චය දැක ගත හැක්කේ, හිටපු මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සහ බැඳුම්කර වංචාව පිළිබඳ තොරතුරු හෙලිවීමෙන් පසුව බොහෝ කාලයක් යනතෙක්මත් ඔහුව එම තනතුරේම තබා ගැනීම තුළිනි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් නැගුණු විෂමාචාර චෝදනා නින්දනීයයි. ඊට අදාළ හරස් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු දුන් නිදහසට කරුණු සිනාගන්වන සුළුයි. එම රවි කරුණානායක සමග අගමැතිවරයා ප‍්‍රසිද්ධියේ ඇයිහොඳයි කම් පෑම කෙනෙකුට අදහා ගත නොහැකියි. කටින් බතල සිටුවීම නතර කොට, පක්ෂයේ සිටින දූෂිතයන්ට එරෙහි නිශ්චිත දැඩි පියවර අගමැතිවරයා වහා ගත යුතුව තිබේ. මන්ද යත්, දැනටමත් පක්ෂ ආධාරකරුවන් සහ ඡුන්දදායකයන් නායකත්වයේ ඇති අකර්මණ්‍ය භාවය ගැන බලවත් කලකිරීමට පත්ව සිටින බැවිනි. එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන්, පක්ෂ සාමාජිකත්වයට සවන්දීමට ඔහු දැන්වත් පටන්ගත යුතුව තිබේ. වැඩිහිටි තලතුනා මිනිසුන්ට බණ කීමෙන් පලක් නැත. එබැවින් එක්ටැම් ගෙයි කල් මරන්නේ නැතිව, මහජන සුභසිද්ධියට අදාළ වන වැදගත් කරුණු සම්බන්ධයෙන් තමන්ගේ හැසිරීම සහ අකාර්යක්ෂමතාව ගැන ඡුන්දදායකයන් සිතන්නේ කෙසේදැ යි ඔහු දැනගත යුතුව තිබේ.

සිදු වූ වැරදි පිළිබඳව අගමැතිවරයා ජාතියෙන් සමාව ඉල්ලා සිටීමට තරම් නිහතමානී වීම අගේ කළ යුතුය. එසේ නම් ඒ සමාව භාරගෙන, වෙනස්කම් ඇති කරන්නැයි ඉල්ලමින්, පොරොන්දු ඉටු කිරීම සඳහා නිශ්චිත කාල වකවානු යොදාගෙන ඉදිරියට යන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා නොසිටීම අභිරහසකි. ඡුන්දදායකයාගේ පැත්තෙන් බලන විට ප‍්‍රමුඛ වැදගත් කමක් ගන්නේ දුන් පොරොන්දු ඉටු කිරීම පිළිබඳ කාරණයයි. පළාත් පාලන ඡුන්දයෙන් පරාජයට පත්වීම සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ජනතාවට වැඩි වැදගත් කමක් ඇති දෙයක් නොවේ.

විශ්වාස භංග යෝජනාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් කතානායකරවරයා වෙත භාර දී තිබේ. මාධ්‍ය වාර්තා කරන අන්දමට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත‍්‍රීවරු ඊට සහාය දක්වති. මේ දක්වා ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් කියා නැත. එසේ වෙතත්, අමාත්‍ය මණ්ඩලය තුළ සිටින ඔහුගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ සහ පත් කළ ඇමතිවරුන්ගෙන් බහුතරයක් ඊට සහාය පළකොට ඇති බව පෙනේ. දැනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් තුන් දෙනෙක් ඊට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. මේ අතර, ජනතා විශ්වාසය දිනා ගත නොහැකිව පසුගිය ඡුන්දයෙන් පැරදුණු එක්තරා බලගතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙකු, ප‍්‍රසිද්ධියේ මේ විශ්වාස භංගයට සහාය දක්වයි.

විශ්වාස භංගය ගෙන ඒමට කලින් අගමැතිවරයාව අස් නොකරන්නේ නම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් විශ්වාස භංගයට සහාය දක්වන බව අමාත්‍ය දයාසිරි ජයසේකර ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එසේ කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැති බව මේ උගත් ඇමතිවරයා වටහාගෙන නැති පාටයි. මෙවැනි ඇතැම් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් මේ සන්ධාන ආණ්ඩුවට එක්ව සිටින්නේ, පසුගිය ජනාධිපතිවරණයේ දී මේ ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටු කරලීමට නොව, බදු ගෙවන්නන්ගේ වියදමින් ඇමති තනතුරු ලබාගෙන, මූල්‍ය ප‍්‍රතිලාභ සහ වෙනත් සුඛ විහරණ, මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන, භුක්ති විඳීමටයි. තමන්ගේ පෞද්ගලික වාසි තකා පක්ෂ පාට වෙනස් කරන දේශපාලඥයන්ට, සාරධර්ම කියා දෙයක් හෝ ප‍්‍රතිපත්ති සහ ආචාර ධර්ම කියා දෙයක් හෝ තමන්ට ඇතැයි කීමට පුළුවන් කමක් නැත.

මහජන ඡුන්දයෙන් ප‍්‍රතික්ෂේප කෙරුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්, මහජන ඡුන්දයෙන් තේරී පත්වූ අගමැතිවරයෙකුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම කුහක කමකි. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයක් ගෙන ඒමට කලින්, මහජනතාව විසින් පසුගිය ඡුන්දයේදී ප‍්‍රතික්ෂේප කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ යුතු නැත් ද? ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය සිතා බැලිය යුතුව තිබේ.

මහා පාවාදීම

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වය සහ ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගත වීමේ අවකාශයක් ජනාධිපතිවරයා විසින් සොයා බලනු ලැබීම ඇදහිය නොහැකි තරමි. රට තුළ සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික සහ තාක්ෂණික දියුණුවක් ඇති කර ගන්නා අතරේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, දයාබර, සාමකාමී, නීතිගරුක සහ ස්වෛරී රාජ්‍යයක් යළි ගොඩනගා ගැනීමේ ප‍්‍රයත්නයක් ජනාධිපතිවරයා විසින් දියත් කරනු ඇතැයි රට බලා සිටියේය. 2015 ජනවාරි 8 වැනි දා ලැබූ ජනවරමට ජනාධිපතිවරයා පස්ස හරවනු ඇතැයි, වෙනසක් අපේක්ෂා කළ කිසිවෙක් නොසිතූහ. දුෂ්කර තත්වයන් පාලනය කර ගනිමින්, පටු පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට යමින්, ජාතිය, ආගම, ලිංගිකත්වය සහ සමාජ තරාතිරම නොබලා, සියල්ලන්ට සාමයෙන් සහ සංහිඳියාවෙන් එකට විසිය හැකි නීතිගරුක රටක් යළි ගොඩනැගීමේ හයිය සහ හැකියාව ජනාධිපතිවරයාට ඇතැයි ඔවුහූ අවංකවම විශ්වාස කළහ.

විවිධ හේතු නිසා, දෙන ලද පොරොන්දු සියල්ල ඉටු කරලීමේ හැකියාවක් ආණ්ඩුවකට නොලැබෙන බැවින්, ජනතාවක් තුළ ඇති විය හැකි අපේක්ෂා-භංගත්වය දේශපාලනයේම ආනුශංගික අංගයක් බව මම දනිමි. එහෙත් ජනාධිපතිවරයා තමන් ලද ජනවරමට පස්ස හැරවීමට සැරසෙන බවට පළවෙන මාධ්‍ය වාර්තා සත්‍ය නම්, එය සාමාන්‍ය දේශපාලනික අපේක්ෂා-භංගත්වයක් නොවන අතර, එය සැලකෙනු ඇත්තේ, ශ්‍රී ලාංකේය දේශපාලනික රංගභූමි ඉතිහාසයේ මහා පාවා දීම වශයෙනි.

*2018 මාර්තු 23 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ‘The Great Betrayal!’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page