24 May, 2019

Blog

යහපාලකයන් නැති යහපාලනයක්?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

යහපාලනය සඳහා මූලික කොන්දේසි තුනක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකිය. පළමුවැන්න වන්නේ, යහපාලනික පද්ධති ජාලයක් පැවතීමයි. දෙවැන්න වන්නේ ඒ පද්ධති නිසියාකාරයෙන් හැසිරවීමට උරදෙන යහපාලකයන් සිටීමයි. තෙවැන්න වන්නේ, එවැනි යහපාලකයන් බිහි කළ හැකි සමාජයක් තිබීමයි. මේ ලිපියේ සාකච්ඡා කෙරෙන්නේ පළමු කාරණා දෙක ගැන පමණි.

මේ යහපාලනික පද්ධති යනු මොනවාද? මුලින්ම, සර්වජන ඡන්දය ගත හැකිය. එය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක එක් මූලික යහපාලනික පද්ධතියකි. 1931 ට කලින් ලංකාවේ ඡුන්ද ක‍්‍රමය තිබුණත් එය සීමා වුණේ ‘සර්වජන’ නොවුණි. දේපළ හිමිකාරීත්වය සහිත පුරුෂ පක්ෂයට පමණක් එය සීමා විය. එහෙත් 1931 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණවලින් ලංකාවේ වැඩිහිටි සියල්ලන්ට, ගැහැනු පිරිමි භේදයකින් තොරව, ඡන්ද බලය හිමි විය. මෙහි අදහස වන්නේ, තමන්ව පාලනය කරනු ලබන ක‍්‍රමය පාලනය කිරීමේ අයිතිය, උස් පහත් භේදයකින් තොරව, සියලූ ජනතාවට හිමි වුණු බවයි. එනම්, බලය අභ්‍යාස කරන්නාව පාලනය කිරීමේ පූර්ණ අයිතිය බලය අයිතිකරුවා අතට පූර්ණ වශයෙන් පවරා ගත් බවයි. බලයේ පරම අයිතිකරුවා ජනතාව වශයෙනුත්, පාලකයා යනු ඒ ජනතාව වෙනුවෙන් බලය අභ්‍යාස කරනු ලබන තාවකාලික තැනැත්තා පමණක් වශයෙනුත් පිළිගැනීමේ තත්වය මේ මගින් ස්ථාපිත විය. ඒ යටතේ, පාලකයන්ගේ බලය පාලනය කෙරෙන යාන්ත‍්‍රණයක් නිර්මාණය වෙතැයි උපකල්පනය කෙරිණ. උදාහරණයක් වශයෙන්, යම් නිශ්චිත කාලයක් තුළ පාලකයා ජනතාව ඉදිරියට පැමිණ තමන්ගේ පාලක කොන්ත‍්‍රාත්තුව ලබා ගත යුතුව හෝ අලූත් කර ගත යුතුව ඇති නිසා ඔහුගේ බලයට සීමාවක් පැනවෙයි. කිසිවෙකු විසින් පාලනය කරනු නොලබන පැරණි රජ ක‍්‍රමය සමග සසඳන විට මෙය සමාජ ශිෂ්ටාචාරයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය.

තවත් පද්ධතියක් වශයෙන් පාර්ලිමේන්තුව සැලකිය හැකිය. එහිදී, අර කී ජනතාවගේ ස්වෛරී බලය ලබා ගන්නා සෘජු නියෝජිතයන් වශයෙන්, තනි පුද්ගලයෙකු විසින් වෙනුවට සමූහයක් විසින් බලය අභ්‍යාස කරනු ලැබීම අපේක්ෂා කෙරුණි.

තවත් පද්ධතියක් වන්නේ, විධායකයයි. ඉහත කී ක‍්‍රියාවලිය මගින් ඇති කරගන්නා ප‍්‍රජාතන්ත‍්‍රීය සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීමේ බලය හිමිවන්නේ විධායකටයි. කැබිනට් මණ්ඩලයක් සහ විධායක ජනාධිපතිවරයෙකු යටතේ එය පවතී.

තවත් පද්ධතියක් වන්නේ, අධිකරණය සහ නීතියයි. ඉහත කී ආයතන අතරේත්, ඒ ආයතන සහ ජනතාව අතරේත් පවතින නෛතික සහ ව්‍යවස්ථාමය සම්මුතීන් ආරක්ෂා කර දෙන බවට වගබලා ගැනෙන්නේ අධිකරණය සහ නීතිය මාර්ගයෙනි.

ඊට අමතරව, පොලීසිය, රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශයත්, සමස්ත ජාතික ක‍්‍රියාකාරීත්වය අධීක්ෂණය කරනු ලැබෙන තවත් ආයතන පද්ධතියකුත් තිබේ. ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ආදිය ඉන් සමහරකි.

මෙකී සමස්ත පද්ධති සමූහය කළමනාකරණය කරනු ලබන පාලකයන් වශයෙන් සැලකෙන්නේ, ජනාධිපති, අගමැති ඇතුළු ඇමති මණ්ඩලයත්, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන වැනි මහජන ආයතනත් ය.

2015 ජනවාරියේ ඇති කර ගත් වෙනස ඉලක්ක කෙරුණේ, ඉහත කී ආයතන පද්ධතිය තවත් ශක්තිමත් කෙරෙන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් දිසාවට ය. ඒ සඳහා අපට අවශ්‍ය කොට තිබූ යහපාලනිකයන් ඊට කලින් සිටි රාජපක්ෂ පාලකයන්ට වඩා හැම අතකින්ම වෙනස් විය යුතුව තිබුණි. අපරාධ සහ සුදු වෑන්කරුවන් පිළිබඳ ක්ෂේත‍්‍රයේදී අලූත් පාලකයන්, හිටපු පාලකයන්ගෙන් පැහැදිළි වෙනසක් පෙන්නුම් කෙළේය. එහෙත්, දූෂණය සහ වංචාව සම්බන්ධයෙන් බරපතල සාධනීය වෙනසක් පෙන්නුම් කිරීමට අලූත් පාලකයන් පොහොසත්ව නැති බවක් විටින් විට පෙනෙන්ට තිබුණි. අපේ මාතෘකාවට අදාළ කාරණයට පමණක් මේ අවස්ථාවේ සීමා වන්නේ නම්, යහපාලනික පද්ධති ශක්තිමත් කිරීමේ කාර්යයට අලූත් පාලකයන් යම් ආකාරයකින් උරදුන් බව ඉතා පැහැදිළි ය. ‘ව්‍යවස්ථා සභාව’ සහ ස්වාධීන කොමිෂන් සභා ආදිය පත්කර ගැනීමත්, තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්ථාපිත කිරීම වැනි කාරණාත්, ඊට දෙස් දෙයි. එහෙත් මෙවැනි ආයතනික ප‍්‍රමිතීන් ස්ථාපිත කර ගත් පමණින්, අප අපේක්ෂා කළ යහපාලනික පද්ධති පොළොවට උරා ගැනීමක් සිදුවන්නේ නැත. ඒ සඳහා (සමස්ත සමාජය මොහොතකට පැත්තකින් තිබ්බොත්) නායකයන් නිරන්තරයෙන් තත්පර විය යුතුව තිබේ. ඒ කෙසේද යත්, ඇති කර ගත් සාධනීය වෙනස්කම් සමාජය ලවා නිතිපතා අපරානුමත කර ගැනීමේ පරිසරයක් එක දිගටම නඩත්තු කරගෙන යාමට උරදීමෙනි.

උදාහරණයක් විදිහට, ව්‍යවස්ථා සභාව, ස්වාධීන කොමිෂන් සභා, පොලිස් මූල්‍ය අපරාධ අංශය සහ විශේෂ මහාධිකරණ ආදියේ අර්ථවත් භාවය, සංයුක්ත සහ සාධනීය ආකාරයකින් සමාජගත නොකරන්නේ නම්, ඒ ආයතනවල පැවැත්ම තාවකාලික වීමට බොහෝ විට ඉඩ තිබේ. විශේෂයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සහ විශේෂ මහාධිකරණ ආදී නව වැඩපිළිවෙල්, හුදෙක් මූනිච්චාවට කරන සහ දේශපාලනික අවශ්‍යතාවන් විසින් ඉල්ලා සිටින තරමට ප‍්‍රමාණවත් පරිද්දෙන් පමණක් ඒ ඒ අවස්ථාවලදී ඉදිරියට ගන්නා සහ පස්සට තල්ලූ කරන ව්‍යාජ අභ්‍යාසයන් බව ජනතාවට හැඟී ගියොත්, මෙවැනි ආයතනවලට කොහොමත් විරෝධය දක්වන දූෂිතයන් සහ අපරාධකරුවන් ඇතුළු ඔවුන්ගේ අනුග‍්‍රාහකයන් එකී යහපාලනික ආයතන පද්ධති ඉතා පහසුවෙන් අසාර්ථක කර දැමීමට සමත් වෙනු ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේ ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කෙළේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මුළු මන්ත‍්‍රීවරුන් අතරින් එක් පුද්ගලයෙකු පමණි. හේතුව, ඒ තරමට ඒ යහපාලනික ක‍්‍රියාව සමස්ත සමාජයේ ඉල්ලීමක් වශයෙන් ඒ මොහොතේ ඉදිරිපත්ව තිබීමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කඳවුරට පවා එම ඉල්ලීමට යට නොවී සිටීමට එදා නොහැකි විය. හේතුව, 2015 ජනවාරියේ ප‍්‍රකාශයට පත් ශක්තිමත් සදාචාර හයියක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුපස පැවති බැවිනි.

එහෙත් කෙමෙන් කෙමෙන් යහපාලන ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය නාය යාමත් සමග මහින්ද කඳවුර ඒ 19 වැනි ව්‍යවස්ථා සංශොධනයේ කරුණු එකින් එක ගෙන විවේචනය කිරීමට පටන් ගත්හ. අනතුරුව එය එක එල්ලේම කෙරෙන ප‍්‍රහාරයක් බවට පත්කර ගැනීමට ඔවුන්ට ගියේ ඉතා කෙටි කාලයකි. අවසානයේදී, මෛත‍්‍රීපාල සිරිසේන විසින්ම, ඒ 19 වැනි සංශෝධනයේ පැහැදිළිව සඳහන් ව්‍යවස්ථාමය කරුණු උල්ලංඝණය කොට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද ඔහු වැරදිකරුවෙකු කළ පසු, ඔහු ද අර කී මහින්ද රාජපක්ෂලාගේ කඳවුරට එකතු විය. තමාගේ තනතුරේ හෑල්ලූවක් ඇතිව තිබෙන බවක් සිරිසේන දැක්කේ එදා නොව. ඊට කලිනි. එහෙත් එය ඔහුට එදා ප‍්‍රශ්නයක් නොවුණි. මන්ද යත්, අවශේෂ බලතල සමූහයක් තමාගේ පාවිච්චියට ගැනීමට තරම් පුද්ගල දේශපාලනික න්‍යාය පත‍්‍රයක් එදා ඔහුට නොතිබුණු බැවිනි. එහෙත් පසුව ඔහුගේ දේශපාලනික කරණමෙන් පසු, විශේෂයෙන් කේවල හතුරෙකු රනිල් වික‍්‍රමසිංහ තුළින් සොයා ගැනීමෙන් පසු, අර කලින් ජනාධිපති ක‍්‍රමයේ පැවති අඬුපඩු නැති පාඩුව ඔහුට දැනෙන්ට විය. එතැන් සිට අද වන විට, මේ සමස්ත කඳවුරම එළිපිට 19 වැනි සංශෝධය අහෝසි කිරීම වෙනුවෙන් පමණක් නොව, ඒ වෙනුවට, ජනාධිපති තනතුර තවත් ශක්තිමත් කෙරෙන කලින් පැවති 18 වැනි සංශෝධනය ඇති කර ගැනීම වැනි තැනකට ආපසු යා යුතු බව ප‍්‍රසිද්ධියේ කියන්නට තරම් බය හැක නැති තැනකට පත්ව සිටිති.

එහෙම වෙන්නේ ඇයි?

ඉහත කී රාජපක්ෂ-සිරිසේන කඳවුර මේ තරමට පෝෂණය වීමට රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය තදින්ම බලපෑවේය. එසේ වුණේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු, ඉතා සරළව ගත් විට, විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීමේ එක් පියවරක් වශයෙන් පමණක් පැවති තත්වයක් තුළ, එහි තාර්කික අවසානයට හෙවත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවසානය වෙත එය ගෙන යාමට මේ එක්සත් ජාතික පක්ෂය මුල සිටම පියවර ගැනීමෙන් වැළකී සිටීම නිසා ය. ඒ සියල්ලේ ප‍්‍රතිඵලයක් වශයෙන් අද වන විට, 19 ව්‍යවස්ථා සංශෝධනය යනු රටේ පාලනය ගෙන යාමට බාධකයක්ව තිබෙන මරාලයක් ය යන මතය සමාජගත කිරීමට යහපාලන-විරෝධී බලවේගවලට හැකියාව ලැබී තිබේ. ‘ව්‍යවස්ථා සභාව’, රටේ තිබෙන දූෂිතම ආයතනයක් වශයෙන් හැඳින්වීමට, රටේ සිටින දූෂිතම දේශපාලඥයන්ට හැකියාව ලැබී ඇත්තේ එම තත්වය යටතේ ය.

‘ව්‍යවස්ථා සභාව’ සත්තකින්ම දූෂිත ආයතනයක් ද යන්න අප විසින් විමසා බැලීමට තරම්වත් සාධකමය වශයෙන් සනාථ නොවන අභූත චෝදනාවක් බව ඉතා පැහැදිළියි. වැදගත් වන්නේ, එවැනි අභූත චෝදනා පස්සේ පැන්නීම නොව, එවැනි චෝදනා නැගීමට තරම් හයියක් අන්ත දූෂිත දේශපාලඥයන්ට ලැබුණේ කෙසේද යන්න සොයා බැලීමයි. එහිදී අප ඉදිරියේ ඉතා පැහැදිලිව නිරාවරණය වන සත්‍යය වන්නේ, ඉහත කී යහපාලනික පද්ධති ඒවායේ නෛසර්ගික අර්ථයෙන් අවංකව සහ සෘජුව ක‍්‍රියාවේ යෙදවීමට තරම් වන දේශපාලනික සහ සදාචාරමය හයියක් සහ ආදර්ශයක් විය හැකි යහපාලනික නායකයන් මේ පසු ගිය වසර හතරක කාලයක තුළ අපට නොසිටි බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන ඒ යහපාලනික අපේක්ෂා පාවා දුන්නේය. රනිල් වික‍්‍රමසිංහ ඒවා සෙල්ලමට ගත්තේය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.