25 April, 2024

Blog

ජංගි අගමැති 

ගෘෂා ඇන්ඩ්රූස්

ශ්‍රී ලංකාවේ ථෙරවාද බුදු දහමේ මර්මස්ථානයක් වූ කැලණිය රජමහ විහාරයේ අග්‍ර දායිකාවක වූ දිවංගත නාලිනි විජේවර්ධන රනිල් වික්‍රමසිංහ ගේ මවය. ඔහුගේ පියා ජනමාධ්‍ය කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වූ දිවංගත එස්මන්ඩ් වික්‍රමසිංහ ය. 2017 වසරේ ඔස්ට්‍ර්ලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන් රනිල් වෙත පිනට පිදූ නීතිය පිලිබඳ ආචාර්ය උපාධියක්ද වෙයි. ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවි සංසදයෙහි කථිකයෙකි. ලිබරල් ප්‍රජාත්නත්රවාදයේ නියමුවෙකි. රනිල් අපගේ ජනරජයේ අගමැති ද වෙයි. 2019 මාර්තු මස 4 වන දා මේ මිනිසා සිය මෝඩ කම මැනවින් ප්‍රදර්ශනය කලේ බූරුවකු සිහි ගන්වමිනි. 

බින්ගිරිය අපනයන සැපයුම් කලාපයේ පැවති උත්සවයකදී රනිල් විසින් කතාවක් පවත්වන ලදී. එම සභාවේ සිටියේ වැඩිමනත් ම ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රමිකයන්ය. ඒ අතරින් වැඩි පිරිස කාන්තාවෝ වූහ. රනිල්ටම ආවේනික සිංහලයෙන් ඔහු කාන්තා යට ඇඳුම් ජංගි වශයෙන් හඳුන්වමින් ඔහුගේ ධූරයට නොහොබිනා ආකාරයේ කතාවක් කරන්නට යෙදුනි .’ජංගිය’ යනු කුණුහරුපයක් නොවේ. නමුත් එම වචනය යොදන ආකාරය අනුව ඒවා නිපයීමේ කර්මාන්තයේ යෙදී සිටින්නන් හට අවමන් විය  හැකිය.  

රනිල්ගේම වචනයෙන් කියනවානම් “අද ලෝකේ හොඳම ජංගි හදන්නේ ශ්‍රී ලංකාවේ. අහන්න වික්ටෝරියා සීක්රට් ජංගි කොහෙන්ද එන්නේ කියල! කාන්තාවෝ දන්නවා!” මධ්‍යස්තව බැලුවහොත් ඔහු මෙම ප්‍රකාශය නිකුත් කරන්නේ ඇඟලුම් කම්හල් ආරම්භ කළ අවධියේදී ඒවාට “ටේලර් සාපු”, “ජංගි කඩ” වැනි නම් වලින් පරිභව කලද ඒ කාලය පසු කර අප පැමිණි බව කීමටය. 

රනිල්ගේ වචන වලටත් වඩා අසා සිටින්නාගේ හදවත රිදවන්නේ ඔහු ඔලොක්කුවට මෙන් සිනාසීම සහ ඔහුගේ අංග චලනයන්ය. සංස්කෘතික මුග්ධයකු වන රනිල්ට අගමැතිවරයෙකු ලෙස ඔහු මේ පවසන වදන් වලින් අනෙකාගේ සිත රිදෙන බව තේරෙන්නේ නැත. මනුෂ්‍යයකුට තමා ජංගි මසන්නෙකු ලෙස හඳුන්වා දීමේදී සංස්කෘතික පෑරීමක් සිදු වන බවට රනිල් අසංවේදීය. 

ඇත්තටම ඔහුගේ මොලයේ ආබාධයක්ද? වියපත්වීමක්ද? නැතහොත් මේ ඔහුගේ අධිමානයද? 

රනිල් මෙසේ ජංගි ගැන කතා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරී සභාව අමතා කල කතාවේ fuck යන වචනය පාවිච්චි කල සතියෙදීමය. රනිල් ඔහුගේ කොළඹ හතේ ඥාති සහෝදරියන් හෝ මිතුරන්ගේ බිරින්දන් සමග කතා කිරීමේදී ජංගි ගැන කතා කරයිද? ලිංගික අනන්‍යතාවය​ ගැන පර්යේෂණ සඳහා කීර්තිමත් මහාචාර්යවරියක වන සිය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහගේ ඇඳුම් ගැන කතා කිරීමේදී ඔහු ජංගි කතා කියනු ඇතිද? ඔව් – අර ඉහල පැලැන්තියේ, උගත් නිහතමානී සරල එලේනා ජයවර්ධන පණ පිහිටවූ, තිරුපති කෝවිලේ බිත්ති ඉඹිමින් දක්කා ගෙන යන මෛත්‍රී – ඇය ඉදිරියේ රනිල් ජංගි ගැන කතා කරයි ද?  

ඔච්චරටම ලොකු දෙයක්ද ?

රනිල්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ ඇතුළු මම පුරුෂයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කලෙමි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ පැවසුවේ මෙම කියමන සන්දර්භයෙන් පිට වාර්තා කර ඇති අතර අගමැතිවරයා කියන්නට තැත් කරන්නේ මුලදී තිබු ප්‍රතිරෝධය ජය ගෙන ඉතා මිල අධික වික්ටෝරියාස් සීක්රට් යට ඇඳුම් නිමවන රටක් දක්වා අප පැමිණ ඇති බවය.

කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විසින් තැබූ සම්පුර්ණ ෆේස්බුක් සටහන පහත දක්වමි:

“මේ අගමැති මාධ්‍ය ඒකකය අගමැතිගෙ කතාව එවල තිබ්බ විදිය​. 

මම ජංගි කතාවට අදාල කොටස විතරක් දාන්නම්. ඒකෙ හැටියට මෙහෙමයි කියල තියෙන්නෙ: “අප ලෝකය සමග තරඟ කළ යුතුයි. අපි 1977 ආයෝජන කලාප ආරම්භ කරන විට පළමුවෙන් රටට පැමිණියේ ඇගළුම් කර්මාන්ත ශාලායි. ඒවා ටේලර් සාප්පු ලෙසත්, ශ්‍රී ලංකාව යට ඇඳුම් මැසීමට සැරසෙන බවත් එදා ඇතැමුන් කිව්වා. නමුත් අද ලෝකයේ මිල අධිකම, හොඳම ඇඟළුම් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවෙයි. අප විදේශ අපනයන ලබා ගත හැකි විවිධ අංශ හඳුනා ගත යුතුයි. අද වනවිට අප සමස්ත ලෝකයටම ඇඟළුම් සපයනවා. අපි ඒ කර්මාන්තය තුළ විශේෂීකරණයට ලක් වී සිටිනවා.”

නමුත් ඇත්තටම කීවෙ:”අප ලෝකය සමග තරඟ කළ යුතුයි. අපි 1977 ආයෝජන කලාප ආරම්භ කරන විට පළමුවෙන් රටට පැමිණියේ ඇගළුම් කර්මාන්ත ශාලායි. ඒවා ටේලර් සාප්පු ලෙස ඇතැමුන් කිව්වා.තව කට්ටියක් කිව්ව ජංගි මහනව කියල​.’කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා.’ හම්බකරන්න පුලුවන් එකෙන් හම්බකරන්න​​, ඉදිරියට යන්න පුලුවන් එකෙන් ඉදිරියට යන්න​……” 

ප්‍රශ්ණ දෙකක් තියෙනව​: එකක් රනිල්ගෙ කතාවෙ ඇඟලුම් කර්මාන්තය ගැන ඉතාම වැදගත් කරුණු තියෙත්දි සමහර විද්‍යුත් මාධ්‍ය සන්ධර්භයෙන් පිටට ජංගි කතාවක් අරන් මුලු කතාවෙ හරය විකෘති කිරීම​. අනික අගමැති මාධ්‍ය අංශයත් ඇත්තටම කිව්ව වචන පාවිච්චි නොකර වෙනත් පිටපතක් මාධ්‍යයට දීම​. වික්ටෝරියා සීක්‍රට් ගැන කියන කෑල්ල වෙනුවට “නමුත් අද ලෝකයේ මිල අධිකම, හොඳම ඇඟළුම් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවෙයි…” කියල වෙනස් කරල​. 

මොකක් උනත් මුලු කතාවම කියවන කෙනෙකුට මෙතන හාස්‍යයට ලක්කරන්න කිසිවක් නැහැ. ඒ ජංගි කතාව කියන්නෙත් ඇඟලුම් කර්මාන්ත ආරම්භ කරපු කාළයේ ආපු විවේචනයකට පිලිතුරක් විදියට​”.

නමුත් කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘවරයාද පිරිමියෙකි. වැඩිමනත් කාන්තාවන් සිටින එවැනි සභාවක රටක අගමැතිවරයකුගේ වචන භාවිතය තුලින්, අනෙකෙකුගේ, විශේෂයෙන්ම ගැහැණියකගේ සිතෙහි හට ගත හැකි අවමන්හගත පීඩාකාරී සිතුවිල්ල කොයි වැනිද යන්න පිලිබඳ ඔහු විශේෂඥයකු නොවෙයි. පොදුවේ ගත් කල එම කර්මාන්තයටද එය නිග්‍රහයකි. 

ඊටත් වඩා ජුගුප්සාවට කරුණ නම් පුණ්‍යා සමරකෝන් නමැති කාන්තාවක් මෙම වචන ගණන් ගත යුතු නැති බව හඟවා කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ලියා ඇති ලිපියයි. අගමැතිවරයාගේ මුග්ධ භාෂාවෙන්ද අහිභවා යමින් ශ්‍රී ලංකාව ජංගියෙන් චූන් වූ රටක් (මේවා එම ලේඛිකාවගේ වචන මිස මගේ වචන නොවෙයි) ලෙස හඳුනා දෙන මෙම ලේඛිකාව දළ වශයෙන් ප්‍රකාශ කරන්නේ මෙවැනි ‘ජංගි ප්‍රකාශ” ගණන් ගත යුතු නැති බවය. 

2016 ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ඇඟලුම් ශ්‍රමිකයන්ගෙන් (රනිල්ට අනුව ජංගි මසන්නන්) 71% ක් කාන්තාවන්ය. ඔවුන්ගේ පැයක ආදායම ඇමරිකානු ඩොලර් සත 55 කට අඩුය. ඇඟලුම් හල හිමියයන්ගේ සහ රජය ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ප්‍රමිතිගත සේවා ස්ථාන තත්ත්වයන් ගැන කෙසේ පම්පෝරි ගැසුවද පැය 8ක් වැඩ කිරීම තුලින් ඔවුන්ට ජීවිතය පවත්වාගෙන යාමට සෑහෙන වේතනයක් උපයා ගත නොහැකිය (ජීවිතය පවත්වාගෙන යාමට සෑහෙන වේතනය අර්ථ දක්වා ඇත්තේ රු 20 000 ක් වශයෙනි).  ඔවුන් එම වේතනය උපයා ගැනීමට නම් අතිකාල දීමනා සහ ඇතැම් විට බලෙන් සිදු කර ගනු ලබන රාත්‍රී මුර සහ අමතර මුර සේවය කල යුතුය. 

2017 වසරේ ඇඟලුම් කර්මාන්තය ජාතික ආදායම වෙත ඇමරිකානු ඩොලර් බිලියන 4.8ක දායකත්වයක් සිදු කළ අතර අපගේ අපනයනයන්ගෙන් 40% ක් ඇඟලුම් වලින් සමන්විත විය. කර්මාන්ත රැකියා නියුක්තියෙහි වැඩිම දායකත්වය සැපයුයේද ඇඟලුම් කර්මාන්තයයි.

තමා මුහුණ දෙන සෑම දේශපාලන අලකලංචියක් අවසානයේම රනිල් නොවැරදිවම​ කරන එක දෙයක් ඇත. එනම් කොහේ හෝ රටකට “රාජකාරියක් සඳහා” විදේශ ගත වීමය; ඊට ගෙවන්නේ ජංගි මසන්නන්ය. චතුර සේනාරත්නලාට ජනතා දේපළ​ අවභාවිතා කරමින් අරලියගහ මැදුරේ මගුල් කන්නට එම තරු පහේ ශාලා රනිල් විසින් දන් දෙන්නේ ජංගි මසන්නන් රටට ගෙන එන මුදලින්ය. රනිල්ගේ කථිකත්වය සහ දැනට ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වයට අනුව නීතිඥ වෘත්තියේ යෙදුනේ නම් ඔහුට කිසිදා ඉපයිය නොහැකි මුදලක් ඔහු විසින් වෙඩි නොවදින රථ, පරිවාර සේනාව, විදේශ සංචාර ආදිය සඳහා වැය කරයි. ඒවාට ධනය උපයන්නේ ජංගි මසන්නන්ය. ව්‍යවස්ථා කුමන්ත්‍රණ පනස් දින තුල අරලියගහ මැදුරට රැස් වූ එජාප පාක්ෂිකයන්ට ඉන්නට, වතුර පාවිච්චියට, විදුලිය පාවිච්චියට ගෙවමින් රනිල් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බිල් ගෙවන්නේ ජංගි මසන්නන් උපයන ධනයෙන්ය. රනිල් මේවා කරන්නේ ඔහුගේ විජේවර්ධන-වික්‍රමසිංහ බූදලයෙන් නොවෙයි. අපගේ ජාතික ධනයෙනි. ඔහුට, ජාතියට ධනය උපයන්නන්ගේ දහදිය සහ කඳුළු වලට අවමන් කිරීමට අයිතියක් නැත. 

රනිල්, ඔබ ලජ්ජා විය යුතුය.

නොගිනිය හැකි මනුෂ්‍ය පිරිවැය 

රනිල්ගේ මෙම කතාවෙන් පසු ඇඟලුම් ක්ෂේත්‍රයේ අයිතිවාසිකම් සඳහා සටන් වදින “දහදිය සාමූහිකය” සහ “සවිස්ත්‍රී” නම් සංවිධාන දෙකක් ඒ පිලිබඳ විරෝධය ප්‍රකාශ කළහ. ඔවුන් රනිල්ගේ වචන වලින් අවමානයට සහ පසුබෑමට ලක්වූ බවත්, ක්ෂණයකින් ඔහු තමාගේ අභිමානය සිඳ දැමු බවත් ඔවුහු පැවසූහ. එහි එතරම් වරදක් නොදැක්කද ඉන් එහි සිටි කාන්තාවන් අපහසුතාවයට පත් වූ බව එක නියෝජිතවරියක් ප්‍රකාශ කර සිටියාය. 

2011 වසරේදී ඇඟලුම් කර්මාන්ත හිමියන් විසින් රුපියල් මිලියන ගණනක් එම කර්මාන්තය හා බැඳුනු අවමානශීලී සමාජ තත්ත්වය සමනය කිරීම සඳහා ආයෝජනය කර ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.  80 සහ 90 දශකයේ ඇඟලුම් මැසීම සඳහා නිතර භාවිතා කල ජුකී මැෂින් ආශ්‍රිතව එම ශ්‍රමිකයන්ට ‘ජුකී කෑලි’ ආදී නින්දා දනවන වචන භාවිතා වන බව ඔවුන් විසින් හඳුනා ගෙන තිබුණි. ඇඟලුම් සංවිධාන සාමූහිකයහි  (JAAF) එවක සභාප්ති ටියුලි කුරේ විසින් ප්‍රකාශ කල ආකාරයට ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ශ්‍රමිකයන් ගිලිහීමට ප්‍රධාන හේතු 3 කි. 

1. ඇඟලුම් ශ්‍රමිකයන කෙරෙහි වූ නරක ප්‍රතිරූපය (ජුකී කෑලි වැනි වචන භාවිතය)

2. ලිංගික පීඩනය සහ මහා මා ගමන් කිරීමේදී සිදු වන ලිංගික අතවර 

3. ලැබෙන ඇණවුම් වලට අනුව සතියේ දින හතම සේවය කිරීමට සිදු වීම 

ඔහු සඳහන් කිරීමට අමතක කල සත්‍යය මෙයයි. මුදලින් නොගිනිය හැකි මනුෂ්‍ය පිරිවැයක් ඇඟලුම් ශ්‍රමිකයයෝ දරති. තමාගේ රට තුලම ඔහුවූ ‘අවතැන්’ වෙති. කර්මාන්ත අයිතිකරුවන් පම්පෝරි ගසන තත්ත්ව සහතික ක්‍රියාවලියන්ට නොපෙනෙන දැඩි දුක් සහගත තැන් වල ඔවුහු බෝඩින් වී සිටිති, ගමන් කරති. සිය පවුලෙන් වෙන් වෙති. දරුවන්ගෙන් වෙන් වෙති. මවගෙන් වෙන් වෙන දරුවෝ මවු නැති නිවසේ ලිංගික හිංසනය ඇතුළු බොහෝ පිරිපත අත් විඳිති. ශ්‍රමිකයෝ රෝගී වෙති. නිවාඩු අනුමත කරගත නොහැකිව දුක් විඳිති. ලිංගිකත්වය හා බැඳුනු සෞඛ්‍ය සේවා  නොමැතිව දුක් විඳිති. ආත්ම ගෞරවය රැකෙන සේ සැපයෙන උපත් පාලන ක්‍රම නොමැතිව දුක් විඳිති. මාස් හෝල්ඩින්ග්ස්, බ්‍රන්ඩික්ස් වැනි ගෝලීය ආයතන වල තත්ත්වයන් මෙන් නොව කුඩා කර්මාන්තශාලා වල ප්‍රමිතිය ඉතා අවමය. 

ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ශ්‍රමිකයන් ගිලිහී යන්නට හේතු වී ඇත්තේ මෙවැනි මුදලින් ගිනිය නොහැකි මනුෂ්‍ය පිරිවැයයි. එම නිසා ඕනෑම දවසක් ඔවුන්ට අවමන් නොකිරීමට හොඳ දවසකි.

මේ සියල්ල පසෙකින් තබමු. 

රනිල් යනු  රටේ අගමැතිවරයාය. ඔහු සැප විඳින, බලවත්, පිළිගත් පුද්ගලයෙකි. තමාගෙන් පාලනය වන මිනිසුන් ගැහැනුන් ඉදිරියේ ඔවුන්ගේ සිත් පෑරෙන වචනයක් හෝ කීමේ පලය කුමක්ද? ඔහුට ඉන් ලැබෙන නම්බුව කුමක්ද? ‘මම අගමැති – ඔබ ජංගි මසන්නන්’ යයි ඔවුන්ට මතක් කර දීමෙන් ලැබෙන්නේ  කුමක්ද? 

එහෙයින් රනිල්, මොළයක් සොයා ගන්න!

ඔබට මේ රටේ දහදිය වගුරන ශ්‍රමිකයන්ට ‘ජංගිය’ වැනි වචන භාවිතා කර, අත පය ගසමින් අවමන් කරන්නට සිතුනු දිනක ඔබගේ නිවසේ සිටින ලිංගික අනන්‍යතාවය පිලිබඳ කීර්තිමත් පර්යේෂණ සිදු කර ඇති ඔබගේ දක්ෂ බිරිඳ ඉදිරිපිට එහි පෙරහුරුවක් කරන්න. ඔය වචන ඇයටද භාවිතා කර බලන්න. ඔබ පණ පිටින් ඉතුරු වේදැයි බලන්න. 

අවසාන වශයෙන් රනිල් පහත ඔබ වෙත ඔබගේ දෙවන බස වන සිංහලයෙන් වික්ටර් රත්නායක ගායනා කරන ගීයක් ඉදිරිපත් කරමි. දශකයකට එපිට ඇඟලුම් සේවිකාවන් පිලිබඳ සමාජයේ දුර්මත සමනය කිරීමේ ව්‍යාපෘතියකට ඔහු ගායනා කල මෙම ගීතයේ ප්‍රධාන වචන අසන්න.

“අම්මා බඳු  පෙම්මාදර සම්මා ගුණ පිරිපුන් 

එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැ’සකින් ”

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Thank you, Grusha for highlighting these issues pertaining to the women of two or three categories who keep our economy running.
    .
    Could you please next deal with the women working in the Middle-East?
    .
    Can you please suggest ways in which we could bring about change? Some of your articles in this regard were excellent. How should we vote to bring about the changes that we all desire? Unless you tell us that all this talk is of little use.
    .
    I humbly suggest that you do another article on Nagananda Kudituwakku.

  • 1
    0

    Hats off to you for highlighting this issue. When will Sri Lanka and it’s people come out of their slave mentality and start respecting theses girls for what they do? I am a bit surprised colombotelegraph publish such an article as I have seen it as a Ranil/UNP supporter. I guess all the SJ hypocrites and SM warriors will turn the other way as usual as this doesn’t concern this.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.