Colombo Telegraph

‘සත්‍ය කොමිසමක්’ අපිට මොකටද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

යුද්ධයේ අවසන් අදියරේදී එක සිවිල් වැසියෙකුවත් මියගියේ නැතැ යි යන මහා බොරුවෙන් පටන්ගෙන, විදේශීය අතපෙවීම් නැති ‘දේශීය’ පරීක්ෂණ මාර්ගයෙන් පූර්ණ සත්‍ය නිරාවරණය කරගනිමි යි සපථ කොට පත්කරගත් එල්.එල්.ආර්.සී. (උගත් පාඩම් හා සංහිඳියා කොමිසම) නැමැති දේශීය පරීක්ෂණයෙන් ලබා දුන් අවම නිර්දේශ පවා ක‍්‍රියාත්මක නොකර මගහරින බොරුකාර පාලකයන් ‘සත්‍ය කොමිසමක්’ ගැන කතා කරන විට, සිහිබුද්ධිය ඇති කෙනෙකුගේ මුවගට නැගෙන්නේ සිනාවකි.

මෑතක සිට අපේ ආණ්ඩුව ‘සත්‍ය කොමිසමක්’ පත්කිරීම ගැන වටින්ගොඩින් කතා කරයි. මෙය, දකුණු අප‍්‍රිකාවෙන් ඉල්ලා ගත් අදහසකි. එහෙත් දකුණු අප‍්‍රිකානු සත්‍ය කොමිසමේ අත්දැකීම් සහ අප කතා කරන දෙය අතර අහසට පොළොව වන් බරපතල වෙනස්කම් තිබේ. දකුණු අප‍්‍රිකාවේ සත්‍ය කොමිසමක් පත්කිරීමට, මුලින්ම, සත්‍යවාදී නායකයන් පිරිසක් එරට සිටියහ. නෙල්සන් මැන්ඬේලා සහ ඩෙස්මන්ඞ් ටුටු වැන්නන් එහි දී කැපී පෙනුණි. එම සත්‍ය කොමිසම පත්කෙළේ, වර්ණභේදවාදී යුගය තුළ මහජාතියට එරෙහිව රාජ්‍ය බලය හෙබැවූ සුළු ජාතිය කළ අපරාධ සොයා බැලීමටයි. මේ වර්ණභේදවාදය, 1948 සිට 1994 දක්වා පැවතුණි. එයින් එක් සීමිත කාලයක් තුළ, එනම්, 1960 සිට 1994 දක්වා වන නිශ්චිත කාලය තුළ, රාජ්‍ය බලය හෙබැවූ සුදු ජාතික සුළුතරය විසින් කළු ජාතික බහුතරයට එරෙහිව ගෙන ගිය වර්ණභේදවාදී නොපනත්කම් එහිදී සළකා බැලූණි.

එම කොමිසම පත්කෙරෙන 1995 වන විට, දේශපාලන බලය සහ රාජ්‍ය බලය තිබුණේ මහජාතිය අතේ ය. එහි නායකයා වුණේ නෙල්සන් මැන්ඬේලා ය. එහෙත් මේ නායකයා, පරාජිතව සිටි සුළුතරයට එරෙහි වෛරයක් ජයග‍්‍රාහී බහුතරය අතරේ ඇවිළුවේ නැත. ඒ වෙනුවට, සෑම ජන ප‍්‍රජාවක් අතරම සහජීවනය ඇති කිරීම ඔහු සිය ප‍්‍රමුඛ අරමුණ කරගත්තේය. ඔහුට අවශ්‍ය කෙළේ නම්, ජයග‍්‍රහණය කොට දැන් රාජ්‍ය බලය ද හොබවන මහජාතියේ ජනප‍්‍රියත්වය සහ අත්පොලසන් හඬ මැද්දේ, බලයෙන් වීසි වී සිටි සුදු ජාතික සුළුතරයට එරෙහිව, සදාචාර විරෝධී නොවී, නීත්‍යානුකූලවම, ‘පළිගැනීමේ‘ හැකියාවක් තිබුණි. අවුරුදු 27 ක් තමන්ව දඟගෙයි ලෑ එම සුදු ජාතිය කෙරෙහි ඔහුගේ යම් කෝන්තරයක් පෞද්ගලිකව තිබෙන්ට ඇතත්, එය රටේ සහ ජාතියේ කෝන්තරයක් වීමට ඔහු ඉඩ තිබ්බේ නැත. එනිසාම දකුණු අප‍්‍රිකානු සත්‍ය කොමිසම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, සත්‍ය කොමිසමක් විය.

අපේ පාලකයන් උත්සාහ කෙළේ, ජයග‍්‍රහණයෙන් පසුව, උතුරු පළාත් සභාව සඳහා වන ඡුන්දයත් නොපවත්වා සිටීමටයි. උතුරු පළාත් සභාව යනු, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම උතුරේ දෙමළ ජනතාවට, දකුණේ අන් අයට මෙන්ම, හිමිකර දී තිබූ අයිතියකි. එය පවා, ඔවුන්ට නොදී සිටීම, පාලකයන්ගේ අවශ්‍යතාව විය. ඉන්දියාවේ දැඩි බලපෑම නොවන්නට, එම ඡුන්දය අදත් නොපැවැත්වී තිබෙන්ට තිබුණි.

යුද්ධය ජයග‍්‍රහණය කරන අවස්ථාව වන තෙක්, උතුරේ ජනතාව ජාතික ගීය ගායනා කෙළේ ඔවුන්ගේ භාෂාවෙනි. එය පවා මේ නායකයෝ සිය ජයග‍්‍රහණයෙන් පසුව එම ජනතාවගෙන් උදුරා ගත්හ. 1971 දීත්, 1987-90 කාලයේත්, දකුණේ ‘ත‍්‍රස්තවාදය’ යැයි හැඳින්වුණු ව්‍යාපාරය තුළ මියගියවුන් සිහිපත් කිරීමට සෑම අයිතියක්ම දකුණේ ජනතාවට තිබිය දී, එම අයිතියම උතුරේ ජනතාවට අහිමි කෙරුණි. මේ වනාහී, ජයග‍්‍රහණයේ තේජසින් කුල්මත් වූ මහජාතියේ නායකයන් පසුගිය අවුරුදු පහක කාලය තුළ පරාජිත ජාතියට දැක්වූ සැළකිල්ලෙන් ඇබින්දක් පමණි.

එසේ තිබියදී, ලංකාවේ සත්‍ය කොමිසමක් ගැන කතා කරන්නේ කවුද? මුලින්ම, බලය ලබා ගැනීම සඳහා මහ පරිමාණයෙන් බොරු කී පාලකයෙකි. ජේ. ආර්. ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාව කටුගාන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි පසුවත් එය පවත්වා ගැනීමෙන් පමණක් නොව, එම බොරුව කෙබරයක් කොට, ජේ. ආර්. ජයවර්ධනගෙනුත් එහාට ගිය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයකුත් ගෙන ඒමට තරම්, ‘එඩිතර’ වූ නායකයෙකි. එක පැත්තකින්, ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමි යි ප‍්‍රතිඥා දී, අනිත් පැත්තෙන් ඔහු කෙළේ, අවස්ථා දෙකකට පමණක් සීමා කොට තිබූ ජනාධිපති ධුර වාර ගණනත් වැඩි කර ගැනීමයි. මෙයින් පෙනී යන්නේ, ‘සත්‍ය කොමිසමක්’ ගැන අද කතා කරන්නේ, පරාජිත සුළු ජාතීන්ට පමණක් නොව, තමන්ගේ අපරාජිත මහජාතියටත් බොරු කියන සහ බොරු කරන නායකයෙකු බවයි.

තව මාස තුනකින්, යුද්ධය අවසන් කොට වසර පහක් ගතවෙයි. 1948 සිට 1994 දක්වා පැවති දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී යුගය ගැන ආපසු හැරී බැලීම සඳහා පියවර ගැනීමට දකුණු අප‍්‍රිකානු නායකයන්ට ගතවුණේ, බලයට පත්වීමෙන් පසු, එක වසරකි. සමස්ත පරික්ෂණ ක‍්‍රියාවලියට ගතකෙළේ අවුරුදු තුනකි. ඒ සමග සසඳද්දී අපේ පාලකයන් පසුගිය අවුරුදු පහක කාලය තිස්සේ කෙළේ කුමක් ද? මදාවි කමට විදේශිකයෙකු මරා, ඔහුගේ පෙම්වතියට ලිංගික අඩන්තේට්ටම් කළ, පහළම ශ්‍රේණියේ ප‍්‍රාදේශීය සභා සාමාජිකයෙකු පවා නීතිය ඉදිරියට බොරුවට හෝ ගෙන ඒමට ජාත්‍යන්තර තෙරපීමක් එන තෙක් බලා සිටි පාලකයෙකු, මහ පරිමාණයේ වාර්ගික සහ දේශපාලනික අපරාධ මාලාවක් ගැන ‘දේශීය’ සොයා බැලීමක් කරතැ යි කෙසේ නම් විශ්වාස කරන්න ද?

සිදු වී ඇති යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ ආන්දෝලනය අදාළ ඉතා බුද්ධිමත් ප‍්‍රශ්නයක්, මාදුළුවාවේ සෝභිත හිමියන් මෑතක දී මතුකොට තිබුණි. ප‍්‍රශ්නය ඉතා සරළ එකකි. ඒ මෙසේය: ‘‘අපි වරදක් කරලා නැත්නම්, ලෝකයා පරීක්ෂණයක් කරන එකට මොහොකට අපි විරුද්ධ වෙන්න ද?’’

මීට පෙර මේ කොලමේත්, තවත් නොයෙකුත් දෙනා වෙනත් තැන්වලත් බොහෝ වර පෙන්වා දී ඇති පරිදි, ‘සිදු වී යැයි කියන’ අපරාධ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට විරුද්ධ වීමම, එම අපරාධ ‘සිදු වී ඇති බවට’ නොවරදින සාක්ෂියකි. අපරාධ ඉදිරියේ ඇස් කන් වසාගෙන සිටින සමාජයක, බුදුන්ගේ නාමයෙන් මිනී මරන්නැ යි කියන සංඝ සමාජයක් ඇති රටක නායක බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මෙවැනි නිර්භීත ප‍්‍රකාශයක් කිරීම අගේ කළ යුතුය. කෙසේ වෙතත්, ආණ්ඩුවේ ප‍්‍රචාරකයන් මෙම ප‍්‍රශ්නයට දෙන ජනප‍්‍රිය උත්තරයක් තිබේ. එනම්, තමන් එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයකට විරුද්ධ වන්නේ, තමන් වරදක් කර ඇති නිසා නොව, රටක් වශයෙන් ලංකාව සතු ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට හෙවත් රටේ අභ්‍යන්තර කටයුතුවලට පිටස්තරයන් ඇඟිලි ගැසීම වැළැක්වීමට බවයි.

සෑම නිදහස් රටක්ම ස්වෛරී රටක් වන බව ඇත්ත. එවැනි රටක අභ්‍යන්තර කටයුතුවලට පිටරටවල් ඇඟීලි ගැසීමත් හොඳ නැත. එහෙත්, අපේ අවශ්‍යතාව වන්නේ, එම ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම නම්, ඒ බව ඔප්පු කොට පෙන්වීමේ වගකීමත් පැවරෙන්නේ අපටමයි. ඒ සඳහා අවශ්‍ය කරන එකම දෙය වන්නේ, කළා යැයි කියන අපරාධ ගැන සොයා බැලීමට අපම නොවලහා උත්සුක වීමයි. එසේ නොකරන තාක් කල්, ස්වෛරීත්වය යන්න, හුදෙක්, කළ වරදකින් ගැලවීමේ අවසරයක් පමණක් බවත්, සැබෑ හේතුව වන්නේ අප වරදක් කර ඇති බව හැකි තාක් වසං කිරීමට මාන බැලීම බවත්, ලෝකයාට පෙනී යන්නේය.

ඕනෑම බොරුකාරයෙක්, තමන් කියන බොරුව සත්‍යයකැ යි අසන්නා තුළ ගම්‍ය කිරීමට යම් ප‍්‍රයත්නයක් ගනී. එහෙත්, අපේ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් දක්වා වන බලකේන්ද්‍රයේ පොල්මක්කාර පිරිස් බොරු කියන්නේ, තමන් කියන බොරුව සත්‍යයක් සේ ඇඟවීමේ අල්පමාත‍්‍ර හෝ වගකීමක් තමන්ට ඇතැ යි යන මෙලෝ හැඟීමකින් නම් නොවේ. කෙනෙකු එක දිගට එකම බොරුවක් කියන විට, කලක් යද්දී ඔහුටම පවා එම බොරුව සත්‍යයක් සේ පෙනෙන්ට ගන්නේ යැයි සාමාන්‍යයෙන් කියැවේ. එසේ වෙතත්, කොපමණ වාර ගණනක් කීවත්, ඇත්තක් විය නොහැකි බොරු ද තිබේ. අපේ දේශපාලඥයන් කියන්නේම එවැනි බොරු ය.

දැන් පළාත් සභා දෙකක ඡුන්දයක් පැවැත්වීමට යද්දී, අපේ ජනාධිපතිවරයා රට ජාතිය වෙනුවෙන් ‘විදුලි පුටුවට’ වුවත් යාමට තමන් සූදානම් යැයි කියයි. රටේ ප‍්‍රථම සිවිල් නිලධාරියා වශයෙන් සැළකෙන ලලිත් වීරතුංගත් පසුගිය දා පැවති විද්වත් දේශනයක දී එම කතාවම කියා තිබුණි. ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ’ බල සීමාව තුළ විදුලි පුටුවක් තබා, මරණීය දණ්ඩනයක්වත් නැත. මෙය, ජනාධිපතිවරයා සේම, ඔහුගේ ලේකම්වරයා ද හොඳින් දන්නා සත්‍යයකි. එහෙත් එම බොරුවම නැවත නැවතත් කීමට එම සත්‍යවාදී දැනුම ඔවුන්ට බාධාවක් නොවේ.

සෝවියට් දේශයෙන් කැඞී ගිය යුක්රේනියාවේ වර්තමාන නායකයා ද නොයෙක් අයුරින් අපේ ජනාධිපතිවරයාට සමාන ය. විශේෂයෙන්, ජනාධිපති තනතුර තුළ සකල බලය ගොනුකර ගැනීමේ ඒකාධිපති ආශාවෙන් පෙලීම සම්බන්ධයෙන් දෙන්නාම එක සමාන ය. ඊට එරෙහිව දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ එම රටේ ජනතාව පාරට බැස සිටිති. ඊයේ ? (18) එම ජනතාවගෙන් 25 දෙනෙකු මේ නායකයාගේ ආරක්ෂක හමුදාවන් මගින් වෙඩි තබා ඝාතනය කෙරුණි. එම ඝාතනය සාධාරනීකරණය සඳහා අද උදේ ඔහුගේ එක් ඇඟිල්ලක් දිගු කොට තිබෙන්නේ, කෝකටත් තෛලය වන ‘බටහිර රටවල්’ දෙසටයි. අපේ නායකයා එහි කපාපු පලූවක් නොවේද?

වැලිවේරියේ දී අපේ හමුදාවන් ඝාතනය කෙළේ තුන් දෙනෙකු පමණි. ඒ ගැන සිදුකළා යැයි කියන පරීක්ෂණ අනුව මේ දක්වා කිසිවෙකුට දඬුවම් කොට නැත. ඒ තුන් දෙනාම සිංහලයන් ය. බෞද්ධයන් ය.

ඔවුන් පිළිබඳ ‘සත්‍යය’ මත අවශ්‍ය නීතිමය පියවර ගැනීම සිදුවන්නේ එලෙසින් නම්, 40,000 ක් යැයි කියන දෙමළ ජාතිකයන්ගේ ජීවිත ගැන ‘සත්‍ය කොමිසමක්’ අපේක්ෂා කිරීම, ඉබ්බෙකුගෙන් පිහිටු අපේක්ෂා කිරීමට සමාන නොවේද?

Back to Home page