28 October, 2020

Blog

ලංකාවට ‘මැග්නා කාර්ටා’ (මහජන) ප‍්‍රඥප්තියක් අවශ්‍ය කර තිබේ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගිය සතියේ ඉන්දියාවේ අර්වින්ද් කෙජ්රිවාල් සහ අන්න හසාරේ ගැන ලීවේ, රටක දේශපාලන බලවතුන් විසින් එරටේ ජනතාව දිගින් දිගට ගසාකද්දී සහ රවටද්දී, එකී පාලන තන්ත‍්‍රය (මහින්ද රාජපක්ෂ) පමණක් නොව, එකී පාලන ක‍්‍රමයත් (විධායක ජනාධිපති ක‍්‍රමය සහ 18 වැනි සංශෝධනය ආදියත්), වෙනස් කර ගැනීම සඳහා ජනතාව පෙළගැසිය යුතු මාදිලිය මේ යැයි පෙන්නුම් කෙරෙන පූර්වාදර්ශයක් ඔවුන් දෙන්නා මගින් අපට පෙන්නුම් කෙරෙන බව අවධාරණය කිරීමටයි. එය, අපේ අසල්වැසි රටෙන් ගිය මාසයේ අපට කියා දුන් පාඩමකි.

වෙනත් ඓතිහාසික සන්දර්භයක, ඊට තරමක් සමාන පාඩමක්, මීට සියවස් අටකට පෙර අපට හමු වෙයි. එය, ‘මැග්නා කාර්ටා’ නම් වෙයි. එම වචනවල තේරුම ‘මහා ලියවිල්ල’ යන්නයි. එය, එංගලන්තයේ ජෝන් රජතුමා සහ එරට රදළයන් අතර 1215 දී ඇති කර ගත් ගිවිසුමකි.
මේ කියන කාලයේ, යුරෝපයේ බලය බෙදී ගියේ ප‍්‍රධාන ආයතන තුනක් අතරේ ය. ඉන් ප‍්‍රධාන වන්නේ රජතුමා ය. ඊළඟට, බලය ගියේ පල්ලියට සහ රදළ පැලැන්තියටයි. පල්ලියේ සහ රදළ පැලැන්තියේ සහායෙන් තොරව රටක් පාලනය කරගෙන යාම එදා රජෙකුට පහසු කටයුත්තක් නොවුණි. මේ නිසා බලය නැමැති කේක් ගෙඩියෙන් සෑහෙන පදාසයක් මේ ආයතන සහ සමාජ කොටස්වලට පිරිනැමීමට රජුට සිදු විය. ඒ තරමට, එකී ආයතන දෙකේ හොඳ හිත රැුකගැනීම රජෙකුට අනිවාර්ය කෙරුණි.

පල්ලිය එතරම් බලවත් වුණේ ඇයි යන ප‍්‍රශ්නය මෙහි දී මතුවෙයි. හේතුව, මේ කියන කාලය, ආගම මගින් මිනිසුන්ව අසීමිත ලෙස බිය ගන්වා තිබුණු යුගයක් වීමයි. මේ ආත්මයට/ජීවිතයට වඩා, ඊළඟට තමන් යන ආත්මය/ජීවිතය ස්වර්ගය ද නරකාදිය ද යන්න තීරණය කරනු ලැබූ එකම ආයතනය පල්ලිය විය. එදා මිනිසාට විද්‍යාත්මක දැනුමක් තිබුණේ නැත. ඒ නිසා, තමන්ගේ පැවැත්ම පිළිබඳ අවසාන විනිශ්චය ආගම හරහා මිස වෙනත් මාධ්‍යයක් හරහා ලබා ගැනීමට ඔහුට හැකියාවක් නොතිබුණි. මේ තත්වය තුළ, පල්ලිය අභ්‍යාස කළ අසහාය බලය, රටවැසියාට පමණක් නොව, රටේ රජතුමාටත් එක සේ බලපෑවේය. පල්ලිය සහ රජු අතරේ විටින්විට යුද කෝලාහල ඇති වී තිබෙතත්, තමන්ට නොවැටහෙන ඊළඟ ආත්මය පිළිබඳ ප‍්‍රශ්නයේ දී බලවත් රජෙකු වුවත් පල්ලිය ඉදිරියේ අසරණයෙකු විය.

ඊළඟට, රජුට අවශ්‍ය කරන භෞතික ධනය සහ රජුගේ හමුදාවට අවශ්‍ය මිනිස් බලය සැපයුණේ රදළයන්ගෙනි. මේ නිසා එක පැත්තකින්, ආධ්‍යාත්මික පැවැත්ම සඳහා පල්ලියටත්, අනිත් පැත්තෙන් ලෞකික පැවැත්ම සඳහා රදළ පංතියටත් යුරෝපයේ රජවරු නතු වුණි. ඒ තත්වය තුළ, පල්ලිය සහ රදළයන් සමග රටක රජෙකු පවත්වාගෙන ගිය ඇයිහොඳයියේ තරම තීරණය වුණේ, යම් රජෙකු විසින් පල්ලියටත්, රදළයන්ටත් සලසන වරදානවල පරිමාව සහ ස්වභාවය අනුවයි.

13 වැනි සියවසේ එංගලන්තය පාලනය කළ ජෝන් රජු බොහෝ යුද්ධවලට පැටලූනි. එකල ප‍්‍රංශයේ උතුරුදිග ඇතැම් පළාත් අයත් වුණේ එංගලන්තයටයි. ඒවායේ ආදායම්, රජුට සේම එංගලන්තයේ රදළ පැලැන්තියටත් බෙදී ගියේය. මේ නිසා රජ කෙනෙකු සාර්ථක අන්දමින් යටත් ප‍්‍රදේශ අත්පත් කරගන්නා තෙක් සහ ඒවා දිගටම තමන් සන්තකයේ තබා ගන්නා තෙක් රදළ පංතියේ ආශීර්වාදය සහ සහයෝගය රජුට ලැබුණි. එහෙත් ජෝන් රජුගේ පාලන කාලයේ දී මේ කියන ප‍්‍රංශ යටත් ප‍්‍රදේශ ජෝන් රජුගෙන් ගිලිහී ගියේය. ඒවා ආපසු අත්පත් කර ගැනීම සඳහා තව තවත් ධනය ඔහුට අවශ්‍ය කෙළේය. ධනය එක්රැුස් කර ගත හැකි ප‍්‍රධාන මාර්ගය වුණේ ජනතාවගෙන් සපයා ගන්නා බදුවලිනි. රජ කෙනෙකුට ඒවා සපයා දෙන්නේ රදළ වංශාධිපතියන් විසිනි. දැන් ප‍්‍රංශ ප‍්‍රදේශ ආපසු අල්ලා ගැනීම සඳහා තමන්ට තව තවත් ධනය සපයා දෙන මෙන් රජු රදළයන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත්, මේ වන විට ටිකෙන් ටික තම ධන බලය සහ දේශපාලන බලය පිරිහෙමින් ඇති බව වටහාගෙන සිටි රදළයෝ, රජුට තවදුරටත් බදු එකතු කර දීම සහ රජුගේ හමුදා සේවයට මිනිසුන් සපයා දීම ප‍්‍රතික්ෂේප කළහ.

මේ වන විට කතෝලික පල්ලියත්, වෙනත් හේතු මත, රජුට එරෙහිව කටයුතු කරමින් සිටියේය. ඒවා කෙතෙක් උග‍්‍ර වී ද යත්, පාප් වහන්සේ රජතුමාව ආගමෙන් පළවා හැරියේය. එසේ වීමේ ඇති බරපතල කම බෞද්ධයන්ට වටහා ගැනීම පහසු නැත. මන්ද යත්, බෞද්ධ සමාජය තුළ, බුද්ධාගමෙන් නෙරපා හැරීමක් නැති නිසාත්, කෙනෙකු ස්වේච්ඡුාවෙන් බුද්ධාගම අතහැර ගියත් එය අනිවාර්ය අපායේ දොරටුවක් වශයෙන් ගැනීමක් බුද්ධාගමේ නැති නිසාත් ය. එහෙත් ක‍්‍රිස්තියානි විශ්වාසය තුළ, කෙනෙකු ආගමෙන් පන්නා දැමුවහොත් ඔහුට හෝ ඇයට නිරය අනිවාර්ය වන බවට විශ්වාසයක් තිබේ. මේ නිසා දැන් ජෝන් රජුට සිදුවුණේ, මරණයෙන් පසු ස්වර්ගයට යාමට තිබූ අවස්ථාව අහිමි වීමයි. මෙසේ දෙපැත්තෙන්ම වට කරනු ලැබ දුර්වල අඩියක සිටි ජෝන් රජුගේ පාලනය පෙරලා දැමීමට සිතූ රදළයෝ, එංගලන්තයේ අගනගරය වූ ලන්ඩන් නුවර වට එහි බලය අල්ලා ගත්හ. එහි දී රටේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා රජුට තිබුණේ එකම ක‍්‍රමයකි. එනම්, රදළයන් සමග සාම ගිවිසුමකට එළැඹිමයි. ‘මැග්නා කාර්ටා’ යනු, රජු සහ රදළයන් අතර ඇති කර ගැනුණු එම ගිවිසුමයි.

මේ ගිවිසුමේ හරය වශයෙන් පැවතියේ, නීතිය සැමට සාධාරණ විය යුතු බවයි. එනම් අපක්ෂපාතී අධිකරණයක් ඉදිරියට යාමට සහ යුක්තිය ඉෂ්ට කරවා ගැනීමට කෙනෙකුට ඇති අයිතියයි. ඒ දක්වා නීතියට උඩින් සිටි රජතුමාව පළමු වරට නීතියේ සීමාට තුළට ගෙන එන ලද්දේ මේ ගිවිසුම මගිනි. එහෙත්, රජතුමාව පවා නීතිය යටතට ගත් එම ගිවිසුමේ ‘සැමට’ යන්න තුළට සියලූ රටවැසියන් අයත් වුණේ නැත. ඊට අයත් වුණේ නිදහස් වැසියන් පමණි. නිදහස් වැසියන් යනු, ප‍්‍රවේණිදාසයන් නොවන්නන් ය. කෙසේ වෙතත් පසු කලෙක එය ‘සියලූ වැසියන්’ වශයෙන් අර්ථ ගැන්වුණි.

දැන් අපේ එක පාඩමක් මෙයයි. එනම්, නීතියට උඩින් සිටි ‘සර්ව බලධාරී’ රජෙකුව මීට වසර 800 කට පෙර, එනම් අද තරම් දියුණු සංස්කෘතික සහ දේශපාලනික පරිසරයක් නොවුණු අවධියක දී නීතියෙන් ගැටගසා ගත් ඓතිහාසික අත්දැකීමක් තිබියදීත්, 21 වැනි සියවසේ ලංකාවාසීන් වන අපේ රටේ නායකයාව අප විසින් ‘ව්‍යවස්ථානුකූලවම’ නීතියට උඩින් තබනු ලැබ තිබීමයි. ඊටත් වඩා තවත් නපුරක් රටකට අවශ්‍ය නැත. එහෙත්, අද රටට ලැබී ඇත්තේ, ඒ ව්‍යවස්ථානුකූලත්වයේ ‘සුජාත අරුතින්’ පවා සෑහීමකට පත්නොවන නායකයෙකි. උදාහරණයක් වශයෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වෙතැ යි යන පිළිගැනීම තුළ පිහිටා, එම ව්‍යවස්ථාව තමාගේ සහ තම පවුලේ උත්තරීතර භාවය ස්ථාපිත කරගනු වස් ඔහු විසින් අවභාවිත කරනු ලැබෙමින් තිබීම ගත හැකිය. ඔහු විසින් අගවිනිසුරුවරියක් ගෙදර හැර අධිකරණයක් තම බලයට නතු කර ගැනීම, ඒ අනුව, ‘ව්‍යවස්ථානුකූල’ ය. කිසිවෙක් අනවශ්‍ය කාලයක් බලය හෙබවීම තුළ අනර්ථයක් ඇතැ යි යන නූතන ලෝක සම්මතය, 18 වැනි සංශෝධනය හරහා, ඕනෑ තරම් වාර ගණනක් තමන්ට බලයේ සිටිය හැකි යැයි වෙනස් කර ගැනීම, ඒ අනුව, ‘ව්‍යවස්ථානුකූල’ ය.

ව්‍යවස්ථාවක් යනු, කිසි විශේෂිත පුද්ගලයෙකුගේ හෝ විශේෂ පුද්ගල කණ්ඩායමක අත්තනෝමතිකත්වයට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා රටක් සම්මත කරගන්නා ලියවිල්ලකි. සියලූ බලය තමන් සතු වන ආකාරයේ 18 වැනි සංශෝධනයක් එම ව්‍යවස්ථාව තුළට ඔබා ගත් විට, ඉහත කී ඊනියා සුජාත අර්ථය පවා එම ලියවිල්ලෙන් ගිලිහී යයි. අද ‘ව්‍යවස්ථානුකූල’ ඒකාධිපතියෙකු ලංකාව නිර්මාණය කර ගනිමින් සිටින්නේ එලෙසිනි.

දෙවැනි පාඩම මෙයයි. මෙවැනි ‘රජවරුන්ව’ හීලෑ කිරීමට ඉදිරියට එන වංශාධිපති රදළ පැලැන්තියක් අද නැත. එදා ‘රාජ උෂ්ණය’ මැඩලීමට රදළයන් කෙවිට අතට ගත්තේ, අද අරුතින් සැළකිය හැකි ‘මහජනතාවක්’ නොසිටි බැවිනි. ඒ මහජනතාවගේ ස්වෛරීත්වයේ නාමයට කැප වුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්, අද මෙන්, ලිඛිතව හෝ අලිඛිතව, එදා නොතිබුණු බැවිනි. නීතියක ස්වාධිපත්‍යයක් නොතිබුණු බැවිනි. රජෙකු යනු, මහජන ස්වෛරිත්වයේ ‘තාවකාලික භාරකරුවෙකු’ පමණක් වෙතැ යි යන පිළිගැනීමක් නොතිබුණු බැවිනි. අද ඒ සියල්ල ‘මහජනතාවට‘ තිබේ.

අන්න හසාරේ සහ අර්වින්ද් කෙජ්රිවාල් යන ඉන්දියානුවන් දෙන්නා ඊයේ පෙරෙයිදා පෙන්නුම් කෙළේ, එම නිදහස සහ අයිතිය ‘මහජනතාව’ විසින් අභ්‍යාස කළ යුත්තේ කෙසේ ද යන්නයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.