Colombo Telegraph

13 වැනි සංශෝධනය සහ දක්ෂිණ චින්තනය

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ, උතුරු-නැගෙනහිර සුළු ජාතිකයන්ට යම් අයිතියක් පැවරීමටයි. එය, දැන් අවශ්‍ය ද නැද්ද යනුවෙන් විමසිය යුතු නම්, එය කළ යුත්තේ ඔවුන් අතරේ ජනමත විචාරණයක් පැවැත්වීමෙන් මිස, සිංහල දකුණේ ජනයාගෙන් ඒ ගැන විමසීමෙන් නොවේ. එසේ නොමැතිව, උතුරට අවශ්‍ය කරන්නේ කුමක් දැ යි තීරණය කරන්නේත් දකුණේ සිංහලයාම නම්, උතුරේ දෙමළා මේ රටේ දෙවැනි පුරවැසියන් වන බවට එයම සාක්ෂියකි. බෙදුම්වාදය උපදින්නේ එවැනි ප‍්‍රභවයන්ගෙනි.

1987 ජුලි 29 වැනි දා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග ලංකාව ‘දේශපේ‍්‍රමීත්වයෙන්’ ගිනි ගත්තේය. එහි දී ජනතා විමුක්ති පෙරමුණ පුරෝගාමී විය. ඔවුන්ගේ ‘දේශපේ‍්‍රමීත්වය’ අවසන් වන විට විනාශ වී තිබූ ජීවිත සංඛ්‍යාව 60,000 කට අධික ය. එහෙත් ඉන්දු=ලංකා ගිවිසුම අවලංගු කෙරුණේවත්, එසේ කිරීමක් ගැන බරසාර සමාජ කතිකාවක් ඇති වුණේවත් නැත.

එදා මේ ‘දේශපේ‍්‍රමීත්වයට’ අවසානයකට පත්කෙළේ රජයේ පොලීසිය සහ ත‍්‍රිවිධ හමුදාවන් ය. එම සාර්ථකත්වය වෙනුවෙන්, අද මෙන් ඔවුන්ට එදා ‘රණවිරු’ සම්මාන පිරිනැමුණේ නැත. වර්තමාන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, මේ ‘දේශපේ‍්‍රමීත්වය’ ඉවරයක් කර දැමීම සඳහා මාතලේ ප‍්‍රදේශය භාරව කටයුතු කළ බව මෑතක දී වාර්තා විය. එනම්, ඔහු එදා සිටියේ ‘ඉන්දු=ලංකා ගිවිසුම’ ආරක්ෂා කර ගැනීම සඳහා දිවි හිමියෙන් සටන් වදිමිනි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු මේ ඉන්දු=ලංකා ගිවිසුමේ කුළුඳුල් සහ එකම දරුවා ය. එය අවලංගු කළ යුතු බවට ජාතිවාදී ව්‍යාපාර අද කෑකෝගසයි. ඔවුන්ට රාජ්‍ය අනුග‍්‍රහය සපයන්නේ, එදා 13 වැනි සංශෝධනය වෙනුවෙන් රජයේ හමුදාව තුළ සටන් කළ වර්තමාන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ය. චම්පික රණවකට අනුව මෙම ගිවිසුම අවලංගු කිරීමට අද එරෙහි වන්නෝ, ‘දේශද්‍රෝහියෝ’ ය. ඊලාම් යුද්ධය ජය ගැනීම සඳහා මෙවර ජීවිත පුජා කළ 24,000 ක් පමණ වන හමුදා රණවිරුවන්ට එවැන්නන් කරන්නේ අවමානයක් ය. මෙවැනි ‘දේශද්‍රෝහීන්ට’ විරුද්ධව මේ රටේ ‘දේශපේ‍්‍රමීන්’ ඉදිරියේ දී පියවර ගනු ඇත. ඔහුට අනුව, එහි දී ලංකාව ලේ විලක් වෙන්නටත් බැරි නැත.
විනාශයට උඩ පනිමින් අත වනන ජාතිවාදයේ මේ වාගාලාපය සහ 1987 ජනතා විමුක්ති පෙරමුණෙන් නිකුත් වූ රණකාමී ‘අවසාන නිවේදන’ අතර කිසි වෙනසක් නැත. එහෙත් එදා සහ අද අතර ඇති යථාවේ බරපතල පරස්පරයක් තිබේ. 13 සංශෝධනයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ එදා ‘දේශපේ‍්‍රමීත්වය’ විනාශ කළ ත‍්‍රිවිධ හමුදාව, 13 ට එරෙහි වර්තමාන උද්ඝෝෂණයේ ආදර්ශ රූපකය (මියගිය 24,000 ක් රණවිරුවන්* කර ගැනීමට චම්පික රණවකට හැකිවීම ගැන ජනතා විමුක්ති පෙරමුණට කිව හැක්කේ කුමක් දැ යි පැහැදිළි නැත. එදා ජනතා විමුක්ති පෙරමුණ කතා කළ ‘දේශපේ‍්‍රමය’ සහ අද චම්පික රණවක කතා කරන ‘දේශපේ‍්‍රමය’ එකක්ම ද, නැත්නම් දෙකක් ද? කෙසේ වෙතත්, දෙගොල්ලන්ම එදා කතා කෙළේ සහ අද කතා කරන්නේත් එකම කාරණයක් (13) මත පදනම් වන ‘දේශපේ‍්‍රමයක්’ ගැන නිසා, 13 ට එදා මෙන්ම අදත් පක්ෂ වන්නන්, මියගිය හමුදා රණවිරුවන්ට අවමානයක් වන්නේ කෙසේද? මේ ප‍්‍රශ්නයට තර්කානුකූල පිළිතුරක් සොයා ගැනීම ජනතා විමුක්ති පෙරමුණට භාරයි. එහෙත්, ඊට දිය හැකි ඉතා සරළ පිළිතුරක් පෘථග්ජනයාට තිබේ.

1987-90 කාලයේ දී සිංහල පොලීසිය සහ සිංහල ත‍්‍රිවිධ හමුදාව දකුණේ සිංහල තරුණයන්ව ඝාතනය කෙළේ, සත්තකින්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ආරක්ෂා කර ගැනීම සඳහා නොව, ‘ත‍්‍රස්තවාදය’ අතුගා දැමීම සඳහා ය. එසේම, 2006=2009 කාලයේ දී සිංහල පොලීසිය සහ සිංහල ත‍්‍රිවිධ හමුදාව උතුරු නැගෙනහිර දෙමළ තරුණයන්ව ඝාතනය කෙළේත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ආරක්ෂා කර ගැනීම සඳහා නොව, ‘ත‍්‍රස්තවාදය’ අතුගා දැමීම සඳහා ය. තවමත් මේ කාරණය නොතේරෙන නරුමයන් වෙතොත්, 13 සම්බන්ධයෙන් වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ස්ථාවරය සළකා බැලිය හැකිය. රෝහණ විජේවීරට වඩා 13 වැනි සංශෝධනයට විරුද්ධව සිටියේ ඔහු ය. මේ දෙන්නාවම ඝාතනය කෙරුණේ, එකම සිංහල හමුදාවෙනි. එය, ඒ තරමට සරළ ය. එසේ නම්, 1987=90 කාලයේ දී ‘ත‍්‍රස්තවාදයට’ එරෙහිව සටන් කළ ත‍්‍රිවිධ හමුදාව ‘රණවිරුවන්’ නොවී, 2006-2009 කාලයේ ‘ත‍්‍රස්තවාදයට’ එරෙහිව සටන් කළ ත‍්‍රිවිධ හමුදාව රණවිරුවන් වුණේ කෙසේ ද? ඉතා සරළව කිවහොත්, ‘ත‍්‍රස්තවාදියාගේ ජාතිය’ නිසා ය.

ඒ අනුව, ත‍්‍රස්තවාදය අතුගා දැමීමට අමතර සාධකයක් ද 2006=2009 යුද්ධය තුළ තිබුණු බව මතක තබා ගැනීම වටී. එය හැඳින්වෙන්නේ ‘ජාතිය’ නමිනි. රණවීරත්වය සහ දේශපේ‍්‍රමය යන ඉහත සඳහන් සිංහල වචනවලින් දකුණේ අපට ඇඟවෙන හෝ, වඩාත් නිවැරදිව කිවහොත්, අඟවනු ලැබීමට යත්න දැරෙන අරුත්, වර්තමාන දෙමළ භාෂාවේ එම වචනවල ඇත්තේ නැත. මේ සංකල්ප, සහසුද්දෙන්ම, දකුණේ සිංහල නිෂ්පාදිතයන් ය. එසේ වීම අස්වාභාවික නැත. එවැනි නව අරුත් හිසින් ගැනීම දකුණේ සිංහලයාගේ වරදක් ද නොවේ. මන්ද යත්, යුද්ධය ආඛ්‍යානගත කෙරුණේම, ‘උතුරට එරෙහිව දකුණ’ හෙවත්, ‘දෙමළාට එරෙහිව සිංහල’ යන තේමාව යටතේම වන බැවිනි. මෙය, කිසි තැනක මේ වචනවලින්ම ලියැවී නොතිබෙන්නට ඇති. එහෙත්, යුද්ධය පසුපස පැවති ‘දක්ෂිණ චින්තනය’ එවැන්නක් බව දකුණේ ජීවත්වන අපි දනිමු. 87-90 සමයේ ‘රණවිරු සම්මානයකට’ හිමිකම් නොකී ත‍්‍රිවිධ හමුදාවක් 2006-2009 සමයේ රණවිරුවන් වන්නේ එයාකාරයෙනි.
දැන්, මෙය ප‍්‍රතික්ෂේප කෙරෙන ප‍්‍රති=තර්කයක් ද තිබේ. එනම්, ඊලාම් යුද්ධය තුළ ‘ත‍්‍රස්තවාදය’ අතුගා දැමීමට අමතරව තිබුණේ ත‍්‍රස්තවාදියාගේ ‘ජාතිය’ නොව, ත‍්‍රස්තවාදියාගේ බෙදුම්වාදය බවයි. ඒ අනුව, මා කියන පරිදි එය, ‘උතුරට එරෙහිව දකුණ’ හෝ ‘දෙමළාට එරෙහිව සිංහලයා’ කළ යුද්ධයක් නොව, අපේ ත‍්‍රිවිධ හමුදාව ත‍්‍රස්තවාදී බෙදුම්වාදයකට එරෙහිව කළ යුද්ධයක් යැයි අර ප‍්‍රති=තර්කවාදීන් පෙන්වා දෙනු ඇත. ඔවුන්ට අනුව, ‘දේශපේ‍්‍රමී රණවීරත්වය’ උපත ලබන්නේ එතැනිනි.

මෙය, 2009 මැයි 18 වැනි දා තෙක්, සංකල්පීය තලයකදීවත්, සැබෑවක් වශයෙන් ගත හැකිව තිබුණි. ජාතිවාදී නොවේ යැයි ගැනෙන, වමටත් බර, බුද්ධිමතුන් යැයි පිළිගැනෙන බොහෝ සිංහලයන් යුද්ධ කාලය තුළ එක දිගටම රැඳී සිටි ස්ථාවරය එයයි. එහෙත්, 2009 මැයි 19 වැනි දා තෙක් සංකල්පීය තලයේ ගොඩනැගූ ඒ ආඛ්‍යානය, එදායින් පසු ප‍්‍රායෝගික තලයක නඩත්තු නොකළහොත්, අවසානයේ එය ස්වයං-ව්‍යාජයකින්ම නතර වනු නියතයි. අද අප අත්දකිමින් සිටින්නේ එම තත්වයයි.

ත‍්‍රස්තවාදය මෙන්ම බෙදුම්වාදයත්, කෙනෙකුට උපතින් පැවරෙන්නක් නොවේ. එසේ නම්, ඒවාට විසඳුම් සෙවිය යුත්තේ, ත‍්‍රස්තවාදය හෝ බෙදුම්වාදය වෙත යමෙකු යොමු කරවන සමාජ තත්වයන් වෙනස් කිරීමෙනි. රෝහණ විජේවීරව සහ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ව ඝාතනය කිරීම පසුකාලීනව හෝ පාලකයෙකුට යුක්ති සහගත කරගත හැක්කේ ඒ ආකාරයෙන් පමණි. මේ දෙන්නාම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිටි අයවළුන් නිසා ද, ඔවුන් දෙන්නාවම ඝාතනය කෙළේ එකම සිංහල හමුදාවක් මගින් වන නිසා ද, මියගිය හමුදා රණවිරුන් ඉදිරියේ, අද 13 වෙනුවෙන් පෙනී සිටින්නන් ‘ද්‍රෝහීන්’ විය හැක්කේ කෙසේද යන ප‍්‍රශ්නයට සපයන පිළිතුර, 13 ගැන වර්තමානයේ මතුව ඇති දේශපාලනික අර්බුදයේ යටි මුහුණුවර හෙළිදරව් කර ගැනීමට උපකාරී වන්නකි.

මතු සම්බන්ධයි

Back to Home page