Colombo Telegraph

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය (2)

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක් විය හැකි ද?

මේ ප‍්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම සඳහා, පසුබිම් කාරණා කිහිපයක් පැහැදිළි කරගත යුතුව තිබේ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ‘සුදු අලියෙකු’ යැයි කියන කතාව දකුණේ ජනප‍්‍රිය ප‍්‍රවාදයක් බවට පත්ව තිබේ. එම ප‍්‍රවාදයට තර්කානුකූල පදනමක් නැතිවා නොවේ. එක පැත්තකින්, මේ පළාත් සභාවලින් කෙරෙන ‘ඇහැට පෙනෙන’ වැඩක් නැති ගානයි. තවත් පැත්තකින්, කුණු වී ඇති ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළට තවත් කුණු දේශපාලඥයන් පැලැන්තියක් එක්ව ඇති බව රටවැසියාට පැහැදිළිව පෙනෙන්ට තිබේ. ජාතික තලයේ ‘මහා දේශපාලඥයන්’ සමග හරි හරියට, මේ කියන ප‍්‍රාදේශීය දේශපාලඥයන් ද, අර කී කුණු දේශපාලනයේ නියැළෙති. කැළණියේ මර්වින් සිල්වා යකා නටන විට, ගාල්ලේ මුතුහෙට්ටිගම නැමැති දේශපාලඥයෙකු ද ඊට නොදෙවැනිව කැපී පෙනුණි. ඒ මාර්ගයෙන් ඔහු ජාතික තලයේ දේශපාලන ‘චරිතයක්’ බවට පත්ව පාර්ලිමේන්තුවටත් ගියේය. මර්වින් සිල්වා රජයේ සේවකයෙකුව ගස් බඳින විට, තවත් ප‍්‍රාදේශීය දේශපාලඥයෙක් ගුරුවරියක්ව ඇගේම පංතියේ ළමුන් ඉදිරියේ දණ ගැස්සුවේය. ඒ දේශපාලඥයා දැනට ඉල්ලා අස්වී ඇතත්, මීට පෙර වරක් ඉල්ලා අස්වූ මර්වින් සිල්වා පසුව කැබිනට් අමාත්‍ය ධුරයකට උසස්වීමක් ලැබු බවත් අපට මතකයි. නිවාඩුව ගත කිරීමට ලංකාවට පැමිණි යුරෝපීය තරුණියකට අඩන්තේට්ටම් කිරීමට ගිය තවත් දකුණේ ප‍්‍රාදේශීය දේශපාලඥයෙක් ඇගේ යුරෝපීය පෙම්වතාව ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටී. කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මේ ප‍්‍රාදේශීය දේශපාලඥයා දැන් නිදැල්ලේ ය. ‘මහා දේශපාලඥයන්ගේ’ නොසණ්ඩාලකම්වලින් සහ අසංවරත්වයෙන් හෙම්බත් වී සිටින රටක, ‘ක්ෂුද්‍ර දේශපාලඥයා’ ද, කුණු කන්දරාවක් මැද්දේ මහේශාක්‍යව වැජඹෙන විට, ජනතාවගේ පැත්තෙන් මහ එකාට වඩා පොඩි එකා ගැන අප්පිරියාවක් ඇති වීම ස්වභාවිකයි. පළාත් සභාවලට එරෙහි ජනතා කලකිරීමක් අද ඇත්නම්, එයින් විශාල පදාසයක් ගොඩනැගෙන්නේ, මේ කියන අප‍්‍රසන්න සමාජ අත්දැකීම් ආශ‍්‍රයෙනි.

ඒ පොදු මැසිවිල්ල හැරුණු විට, පළාත් සභාවලින් ‘ඇහැට පෙනෙන’ බිම් මට්ටමේ කිසිවක් සිදු නොවීම ද, පළාත් සභා ක‍්‍රමයට එරෙහි දකුණේ ජන විඥානය කෙරෙහි කෙලින්ම බලපායි. එය ‘සුදු අලියෙකි’ යි බොහෝ දෙනා කියන්නේ එබැවිනි. එහෙත්, එසේ ‘සුදු අලියෙකු’ වීමේ වගකීම, ඉහත කී අසංස්කෘතියේ වගකීම පැවරෙන විදිහටම, ක්ෂුද්‍ර දේශපාලකයා සහ ඒ කියන ප‍්‍රාදේශීය දේශපාලන සංස්කෘතිය කෙරෙහි පැවරිය හැක්කක් නොවේ.

මෙය සරළ උපමාවකින් පැහැදිළි කරගමු. බලය යනු, පොල් ගෙඩි දහයක තනි හිමිකාරීත්වයක් යැයි සිතන්න. ලංකාවට අදාළ දේශපාලනය තුළ, එය විධායක ජනාධිපති ක‍්‍රමය වශයෙන් හැඳින්විය හැක. එනම්, පොල් ගෙඩි දහයේම අයිතිකරුවා විධායක ජනාධිපතිවරයා ය යන්නයි. සම්ප‍්‍රදායික ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය තුළ බල විභජනය යනුවෙන් ගැනෙන සංකල්පයක් තිබේ. ඒ අනුව, අර පොල් ගෙඩි දහයෙන්, හතරක්, පහක් හෝ හයක් ජනාධිපතිවරයා අතේ තියාගෙන, ඉතිරි පොල් ගෙඩි පහ හෝ හතර හෝ තුන, ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) සහ අධිකරණය වෙත බෙදා හැරේ. මෙය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ මූලික බලය බෙදා හැරීමේ මාදිලියයි.

විවිධ ජාතීන් වෙසෙන ඉන්දියාව හෝ ලංකාව වැනි රටක, ඉහත කී ආයතන තුනට (විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ) අයත් පොල් ගෙඩි දහයෙන් යම් ප‍්‍රමාණයක්, ප‍්‍රාදේශීය අයිතියකටත් පවරා දෙනු ලැබේ. පළාත් සභා ක‍්‍රමය යනු එයයි.

දැන්, පළාත් සභා ක‍්‍රමයක් නැති මධ්‍යම ආණ්ඩුවක් ගැන සිතාගන්න. අද ලංකාවේ පාර්ලිමේන්තුවට සහ අධිකරණයට අර කී පොල් ගෙඩි දහයෙන් කීයක් ඇත්තටම අයිති ද? 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු, එකක්වත් අයිති නැත. ප‍්‍රායෝගික අර්ථයකින් ගත් විට, පොල් ගෙඩි දහයේම අයිතිය තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාටයි. දැන්, මේ තත්වය තුළ, පාර්ලිමේන්තුව සහ අධිකරණය ‘සුදු අලියෙකි’ යි අපි කියමු ද? එසේ කියා, ඒවා අහෝසි කරන්නැයි කවුරුවත් ඉල්ලා සිටිත් ද? 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු වර්තමාන පාර්ලිමේන්තුව සහ අධිකරණය එසේ නපුංසක වී ඇත්නම්, ‘පිරිමි’ කම සෙවිය යුත්තේ, එම ආයතන දෙක අහෝසි කිරීමෙන් නොව, ඒ ආයතන දෙකේ බලයත් පැහැරගෙන ‘මහා පුරුෂයෙකු’ වී ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් හෝ සංශෝධනය කිරීමෙනි.

දැන්, පළාත් සභා ක‍්‍රමයක් සහිත ලංකාවට එන්න. මධ්‍යම ආණ්ඩුව (විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය) සතු යම් බලයක් පළාත් නවයකට පැවරීම, 13 වැනි ව්‍යවස්ථාවේ ව්‍යුහාත්මක මාදිලියයි. මධ්‍යම ආණ්ඩුව සතුව පැවති අර පොල් ගෙඩි දහයෙන් දෙකක් හෝ තුනක් එවිට පළාත්බදව බෙදාහැරිණැ යි සිතන්න. එවිට, මධ්‍යම ආණ්ඩුව සතුව පැවති පොල් ගෙඩි සංඛ්‍යාව අටක් හෝ හතක් දක්වා අඩු විය යුතු නේද? එසේ නොවන්නේ නම්, පළාත් සභා ක‍්‍රමය, අප ඉහතින් කී පාර්ලිමේන්තුව සහ අධිකරණය වාගේම නපුංසකයෙකු හෝ සුදු අලියෙකු වීම වැළැක්විය හැකි ද? එසේ වීමේ වරද, පළාත් සභා ක‍්‍රමයේ ද, එසේ නැතිනම්, ‘පවරා දෙන ලදි’ යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ අකුරෙන් ලියා තබා, ප‍්‍රායෝගිකව එම පොල් ගෙඩි දහයම තනියෙන් භුක්ති විඳින මධ්‍යම ආණ්ඩුවේ (එනම්, විධායක ජනාධිපති ක‍්‍රමයේ* ද?

පළාත් සභා ක‍්‍රමය පරිපාලනමය අරුතකින් අද ‘සුදු අලියෙකු’ වී ඇත්තේ එනිසා ය. තවත් විදිහකින් කිවහොත්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඇති රටක, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමත් සාර්ථක විය නොහැකි බවයි. 18 වැනි සංශෝධයෙන් කෙරෙන්නේ බලය එක අතකට (ජනාධිපතිවරයාගේ අතට) සංකේන්ද්‍රගත කිරීමකි. 13 වැනි සංශෝධනයෙන් අදහස් කෙරෙන්නේ, බලයෙන් කොටසක් එක අතකින් වෙනත් අත්වලට (පළාත් සභාවලට) මාරු කිරීමකි. මේ දෙකම, එකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ තිබෙන විට සහ ඊටත් වඩා, පාලකයා අසාමාන්‍ය බල කාමයකින් ද මත්වන විට, 13 වැනි සංශෝධනය හඳුනාගත යුතුව ඇත්තේ, ‘අසාර්ථක වූ’ ක‍්‍රමයකට වඩා, ‘අසාර්ථක කළ’ ක‍්‍රමයක් වශයෙනි. ඊට හොඳම උදාහරණය වන්නේ, යුද්ධය අවසන්ව ගතව ඇති අවුරුදු හතරක කාලය තුළ, ජාතීන් අතර සහ ආයතන අතර බලය බෙදාහැරීම අරභයා කිසි පියවරක් ගෙන නැති ජනාධිපතිවරයා මේ වසර හතර තිස්සේම කර ඇත්තේ, වෙනත් ආයතනවල (පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ) බලයත් 18 වැනි සංශෝධනය හරහා තමන්ගේ අතට ගනිමින් නොනැවතී, 13 හරහා පළාත් සහ ජාතික මට්ටමෙන් සංකල්පීය වශයෙන් බෙදාහැර තිබූ බලයත් දැන් තමන්ගේ අතට ගැනීමට මාන බැලීමයි.

ලංකාවේ ජාතීන් අතර දීර්ඝ කාලීන ගැටුමක් තිබීම හේතුකොටගෙන, ලංකාවේ රාජ්‍යය ප‍්‍රතිසංවිධාන කිරීම, එක දිසාවක් ඔස්සේ නොව, දිසා දෙකක් ඔස්සේ විහිදෙයි. අර කලින් කී මූලික ව්‍යුහයේ ආයතනික බල විමධ්‍යගත කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක කොහොමත් තිබිය යුතු අංගයකි. එනම්, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුන අතර නිසි පංගුවෙන් බලය විමධ්‍යගතව තිබීමයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, එම එල්ලය කරා තැබූ එක් යහපත් ප‍්‍රාථමික පියවරකි. ලංකාව වැනි ජාතික ප‍්‍රශ්නයක් ඇති රටකට අවශ්‍ය කරන දෙවැන්න වන්නේ, සුළු ජාතික ප‍්‍රජාව මූලික වශයෙන් ඉලක්ක කරගෙන, පළාත්බදව බලය බෙදාහැරීමකි. 13 වැනි සංශෝධනය ඇති කරගත්තේ ඒ සඳහා ය. පළමුව කී බල විමධ්‍යගත වීම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආපස්සට හැරවුණි. අද ආණ්ඩුවේ සිටින සියලූ දේශපාලන පක්ෂ ඊට පක්ෂව අත් ඉස්සූ නිසා, ඔවුන් අර කලින් කී මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනික බල බෙදාහැරීමටත් විරුද්ධ පිරිසක් වශයෙන් ගිනිය යුතුය. මේ වෙනස ඇති වුණේ, යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව වීම වැදගත් ය. යුද්ධයේ ජයග‍්‍රහණයට පෙර 17 වැනි සංශෝධනය ඇති කර ගැනීමට තරම් ඉදිරිගාමී වීමත්, යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසු ඒ 17 කටුගා දමා 18 වැනි සංශෝධනය ඇති කර ගැනීමට තරම් ජනාධිපතිවරයාගේ පැත්තෙන් තණ්හාධික වීමත්, ආණ්ඩු පක්ෂයක් වශයෙන් නියාලූ වීමත් යන කාරණය මෙහි දී අවධාරණය කළ යුතුව තිබේ. මන්ද යත්, යුද්ධය පසුපස පැවති, 13 සම්බන්ධයෙන් අප කතා කිරීමට යන දේශපාලනයටත්, එම වෙනස කෙලින්ම අදාළ වන බැවිනි.

(ලබන සතියට)

Back to Home page