Colombo Telegraph

‘‘නූගත් පාඩම්’’ සමග ජිනීවා යාම

ගාමිණී වියන්ගොඩ –

ගාමිණී වියන්ගොඩ

‘‘අපේ ආණ්ඩුව ස්ථාවරයක් ගනීවි. ලංකාවේ විදේශ කටයුතු ඇමති ජී. එල්. පීරිස් මහත්මයාට දැනට මං කියලා තියෙනවා, ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න කියලා. මානව හිමිකම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ලංකාව දියුණුවක් ලබලා තියෙනවා නං, ඒ ගැන ඇමරිකාවට දන්වලා, ඡුන්ද විමසීමකට නොයන, හැමෝටම එකඟ විය හැකි පොදු යෝජනාවකට එන්න කියලා මං කිව්වා.’’

එසේ කියන්නේ ඉන්දියාවේ විදේශ ඇමති සල්මන් කුර්ෂිඞ් ය. ඔහු තවදුරටත් මෙසේ ද කියයි:

‘‘මේක මානුෂික ප‍්‍රශ්නයක්. එහෙම නැතුව, ලෝකෙට පරකාසයක් විදිහටවත්, කාගේ හරි ඔලූව පුම්බ ගන්නවත් මුහුණදිය යුතු වැඩක් නෙවෙයි.’’

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ලංකාවේ තත්ත්වය ප‍්‍රශ්නයක් බවට මුල් වරට පත්වුණේ, 2009 වසරේ යුද්ධය අවසන් වූ ආසන්න වකවානුවේ ය. එහි දී, ලංකාවට එදිරිවාදී යෝජනාවක් සම්මත කරගැනීමට කිසිවෙකුට නොහැකි වුණේ, ලංකාව පිළිබඳ සැකසාංකා ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ නොතිබූ නිසා නොව. යුද්ධයෙන් ගොඩ ආ ගමන් ඕනෑම රටකට තමන් පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒමට යම් සාධාරණ කාලයක් අවශ්‍ය කරන බවටත්, ඒ සාධාරණ කාලය තුළ ලංකාවේ ආණ්ඩුව එකී ප‍්‍රශ්නවලට තිරසාර විසඳුම් සෙවීම සම්බන්ධයෙන් සැබෑ ප‍්‍රයත්නයක් ගනු ඇති බවට ජාත්‍යන්තරය තුළ පැවති විශ්වාසයත් නිසා ය. මේ කාරණය ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට එදා ජිනීවා නුවර සිටි ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත දයාන් ජයතිලකට හැකි විය.

ඉන් පසු 2012 දී ජිනීවා නුවරට රැුස්වූ ජාත්‍යන්තර ප‍්‍රජාව, අළුතෙන් ගෙනා යෝජනාවක් මගින් ලංකාව කෙරෙහි වන සිය අප‍්‍රසාදය සහ නොසෑහීම පළ කර සිටියහ. එතෙක් ජාත්‍යන්තර කරලියේ ලංකා ආණ්ඩුවේ ආරක්ෂාවට සිටි ඉන්දියාවත් එම යෝජනාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීම මගින්, ලංකාවේ පාලකයන්ව වික්ෂිප්ත කෙළේය.

මහින්ද රාජපක්ෂ යනු දේශපාලනික කොදෙව් වාසියෙකි. එහි අදහස වන්නේ, මුහුදෙන් මෙහා කාලගුණයෙන් තමන්ට හෙම්බිරිස්සාවක්වත් බෝවෙන්නේ නැති තාක් කල්, මුහුදෙන් එහා සුනාමියක්වත් වැඩියෙන් ගණන්ගත යුතු නැතැ යි සිතන දේශපාලඥයෙකි. එය වීරත්වයක් නොව, බුදුන්ගේ ධර්මයෙන් කිවහොත් මෝහයකි. මෙය, ක්ෂණික ප‍්‍රතිවිපාක අත්කර නොදෙන්නේ, ලංකාව කොදෙව්වක්ම වීම නිසා ය. උදාහරණයක් විදිහට හතර වටේට ගොඩබිම් රටවල් හත අටකින් වටවූ රටක් ගන්න. ඒ එකිනෙක සීමා රටවල් විසින් ඉතා පහසුවෙන් ඇති කැරැුවිය හැකි බාහිර බලපෑම් ගැන, දිනපතාමත් පාලකයෙකුට දෙවරක් සිතන්නට වන්නේය. තමන්ගේ වැසියන්ව රවටා තබාගන්නා අතරේම අර වටේ සිටින සෑම රටකම පාලකයන්වත් යාප්පුවෙන් තබා ගැනීමට ඔහුට සිදුවෙයි. එවැනි ප‍්‍රශ්නයක් ලංකාවට නැත. ඉන්දියාව පවා ලංකාවට ප‍්‍රශ්නයක් වී ඇත්තේ, වාර්ගිකත්වයෙන් ලංකාවේ දෙමළ ජනයාට නෑකම් කියන හත්කෝටියක ජනගහනයක් ඉන්දියාවේ වෙසෙන නිසා ය.

හැබැයි, පසුගිය දශක ගණනාව තුළ, පාලකයා සහ වැසියා අතර පැවතිය යුතු සම්බන්ධතාවේ ප‍්‍රශස්ත ප‍්‍රමිතිය, අද ලෝක කතිකාව තුළ විප්ලවීය වෙනසකට භාජනය වී තිබේ. කලෙක සර්වබලධාරීව සිටි රාජ්‍ය නායකයන්ව, තවත් කලෙක කුදලාගෙන ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබේ. තවත් රාජ්‍ය නායකයෝ ඒ ඉරණමට බියෙන් තමන්ගේ රටෙන් අඩියක්වත් එළියට නොතියත්. ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ දී, සිවිල් වැසියන්ගේ ජීවිත විනාශය අවම කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම් නොකළ බවට, අද අළුතෙන්ම විත්ති කූඩුවට නංවා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයමයි. චාර්ල්ස් පෙටී‍්‍ර වාර්තාව තුළ, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බරපතල දෝෂ දර්ශනයට ලක්කෙරේ.

මේ නිසා, මොන තරම් මහා සාගරයක් මැද්දේ වුවත්, කොදෙව්වක් වශයෙන් පවතින්නට පුලූවන් කමක් කිසි රටකට අද නැත. රටක ස්වෛරීත්වය මැනෙන්නේ, රටක් පාලනය කිරීමට පාලකයෙකුට පැවරෙන නෛතික අයිතියෙන් (බහුතර ඡුන්දයෙන් තේරී පත්වීමෙන්* නොව, එම රටේ වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පාලකයාට ඇති වගකීම කොපමණ දුරට ඉටුවන්නේ ද යන්න මත ය. මාස 20 ක කාලයක් තුළ සිරියාවේ පාලකයා එරට වැසියන් 20,000 ක් ඝාතනය කොට ඇත. අද වන විට දසලක්ෂයක් ජනතාව සරණාගතයන් වශයෙන් එම රට හැර වෙනත් රටවලට පළා යති. එම තත්ත්වය තුළ, එරට ජනාධිපති අල් අසාද්ට තර්කයක් වශයෙන් මතු කළ හැකි ස්වෛරීත්වය (තමාගේ රටේ කටයුතුවලට පිටස්තරයෙකුට ඇඟිලි ගැසීමට අයිතියක් නැති කම*, කුකුල් කොටුකාරයාට කුකුළන් සම්බන්ධයෙන් ඇති අයිතියට සමාන එකක් විය යුතු යැයි අපි සිතිය යුතු ද?

ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නැ යි ජාත්‍යන්තර ප‍්‍රජාව ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම ලංකාව ප‍්‍රතික්ෂේප කරන්නේ කාරණා දෙකක් මතයි. එකක්, එවැන්නක් සිදු වී නැති බව ය. දෙවැන්න, එවැන්නක් සිදුවුණත්, ඒ පිළිබඳව ජාත්‍යන්තරය ඇඟිලි ගැසීම අපේ රටේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසීමක් වන බව ය. මේ කියන දෙවැනි කාරණය, ඉහත විස්තර කළ නූතන ජාත්‍යන්තර නෛතික ප‍්‍රතිපත්ති අනුව, අපබ‍්‍රංසයක් බව කෙනෙකුට පෙනෙනු ඇත. වර්තමාන ලෝකයේ එවැනි තර්කයකට ඉඩක් නැත. ඊළඟට, පළමු කාරණය ඇත්තක් නම්, එසේ නම්, ඒ ස්ථාවරය සම්බන්ධයෙන් පවා රටක් අනුගමනය කළ යුතු යම් පිළිවෙතක් තිබේ. පළමුව, යුද අපරාධ සිදු වී නැති බව, තමන්ගේම වන ස්වාධීන පරීක්ෂණ මාර්ගයෙන් ලෝකයාට ඔප්පු කළ යුතුය. එය, හොරාගේ අම්මාගෙන් පේන අහන්නා සේ, යුද අපරාධ පිළිබඳ චෝදනාවන්ට ලක්ව සිටින හමුදාව විසින්ම කරනු ලබලන පරීක්ෂණයකින් ඔප්පු කළ හැක්කක් නොවේ.

කෙසේ වෙතත්, මේ යුද අපරාධ චෝදනා පැත්තකින් තියන්න. 2009 සිටම ජාත්‍යන්තර ප‍්‍රජාව අපෙන් ඉල්ලා සිටින තවත් දෙයක් තිබේ. එනම්, ජනාධිපතිවරයාම පත්කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ මගින් යෝජිත නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසයි. මෙම කොමිසම පත්කරන ලද්දේ, සිදු වී ඇති වැරදි කවරේ ද, ඒවා නිවැරදි කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග කවරේ ද යන්න නිර්දේශ කිරීමට ය. එම කොමිසම සමන්විත වුණේ අපේම මිනිසුන්ගෙනි. එසේ නම්, ඒ මගින් දෙන ලද නිර්දේශ ක‍්‍රියාත්මක නොකර සිටීමට ආණ්ඩුවකට පුලූවන් කමක් නැත. ඒ ගැන ජාත්‍යන්තරය විසින් අපට මතක් කර දීමත් අපේ රටේ ෙසේවරීත්වයට ඇඟිලි ගැසීමක් ද?

මෙහි දී මතක තබාගත යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, මේ කියන කොමිසම රජයට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන ප‍්‍රධාන චෝදනාවෙන් ආණ්ඩුව නිදහස් කළ බව ය. රජයේ හමුදා චේතනාන්විතව කිසි යුද අපරාධයක් සිදුකොට නැති බව එහි නිගමනය විය. එසේ තිබිය දී, ඊට අමතරව, එහෙත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, යහපාලනයට සහ ජාතීන් අතර අනාගත සමගියට අත්‍යාවශ්‍ය යැයි කොමිසම විශ්වාස කරන, තවත් නිර්දේශ ගණනාවක් තිබුණි. එවා පවා ආණ්ඩුව ක‍්‍රියාත්මක නොකර සිටී නම් එහි අදහස වන්නේ, දැනට පවතින ක‍්‍රමය වෙනස් කෙරෙන මොනම ප‍්‍රතිසංස්කරණයක් සඳහාවත් වර්තමාන පාලකයන් සූදානම් නැති බව නොවේ ද?

උදාහරණයක් වශයෙන්, උතුරු පළාතේ ජීවත් වන වැසියන් 5 දෙනෙකුට ආරක්ෂක අංශ සාමාජිකයන් 1 අයෙකු බැගින් අද එම පළාතේ රැුඳී සිටීමේ තත්ත්වය වෙනස් කළ යුතු යැයි කොමිසම නිර්දේශ කෙළේය. ඊළඟට, පොලීසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කොට ස්වාධීන ආයතනයක් වශයෙන් ක‍්‍රියාත්මක කළ යුතු යැයි ඉල්ලා සිටියේය. මේ කාරණා දෙකම, විශේෂයෙන් ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහාත්, පොදුවේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත් අත්‍යාවශ්‍ය වන බව කොමිසමේ අදහස විය. මේ ගැන ආණ්ඩුව තවමත් නිද්‍රාශීලී ය.

තවද, ත‍්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් 5 දෙනා ඝාතනය කිරීමත්, ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක (‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතය’* සේවයේ යෙදී සිටි 17 දෙනෙකු මුත්තූරු ප‍්‍රදේශයේ දී ඝාතනය කිරීමත් පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ කොමිෂන් සභාවේ වාර්තාව අනුව කටයුතු කරන ලෙස මේ කොමිසම ඉල්ලා සිටියේය. ඒ ගැන කටයුතු කරනවා තබා අර කී කොමිෂන් වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට පවා අද දක්වාමත් ආණ්ඩුව සූදානම් නැත.
මෙසේ ‘උගත් පාඩම්’ පිළිබඳ ලෝකයාට පෙනෙන්නට කොමිෂන් සභා පිහිටුවා, ඉන් පසු කිසිම පාඩමක් ඉගෙන ගන්නේ නැතිව ජිනීවා නුවරට ගොස්, අපට විරුද්ධ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් එහි ක‍්‍රියාත්මක වෙතැ යි ලංකාවේ සිංහල ඡුන්දදායකයාට කීම, බොරුවකට වඩා, දැනුවත්ව ජප කරන වංචාවක් ද වන බව අමුතුවෙන් කිව යුතු ද?

Back to Home page