29 October, 2020

Blog

විදුලි පුටුවේ ස්වභාවය කෙසේද යත්..

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණවලින් ජයගන්නා තරමට, එය තමන්ගේ බලපුලුවන්කාරකම වෙනුවෙන් සැපයෙන අවසර පත‍්‍රයක් සේ ගැනීමට පුරුදුව සිටී. දේශීය වශයෙන් සිදුකෙරෙන මර්දනකාරී ක‍්‍රියාවන් සඳහා වන ශක්තිය සඳහාත්, ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් එල්ල වන බලපෑම් නොතකා හැරීම සඳහාත් ආණ්ඩුව පාවිච්චි කරන්නේ, එසේ වරින් වර ලබාගන්නා මැතිවරණ ජයග‍්‍රහණයන් ය. තනි පළාත් සභා ඡුන්දයක් මුළු රටේ එක විට නොපවත්වා, කඩින්කඩ ඒවා පවත්වන්නේ එම අරුත තීව‍්‍ර කිරීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී හැම ආයතනයක් සහ ප‍්‍රතිපත්තියක්ම, ඒවා ඇති කළ මූලික අභිමතාර්ථයන් කෙලෙසන පරිදි පාවිච්චියට ගැනීම, තුන්වැනි ලෝකයේ බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දේශපාලඥයන්ගේ සහජාස පුරුද්දක් බවට පත්ව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ක‍්‍රමය ලංකාවට වඩා බෙහෙවින් ශක්තිමත් ඉන්දියාවේ පවා තත්වය එයයි. කෙසේ වෙතත්, මේ රටවල ජනතාව, දේශපාලඥයන්ගේ මෙම සූදුව, දැන් දැන් අවබෝධ කර ගනිමින් සිටිත්. ඉන්දියාවේ කෙජ්රිවාල් වැනි ‘සිවිල්’ අපේක්ෂකයන් වෙනුවෙන් දිල්ලියේ ජනතාව පසුගිය කාලයේ ඡුන්දය පාවිච්චි කෙළේ, දේශපාලඥයන් ගැන ඇති වූ ඒ ජුගුප්සාව පෙරදැරිව ය. දැන්, ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වන ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’, ඉන්දියානු දේශපාලඥයන් සහ ජනතාව අමතා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කොට තිබේ. එහි, මෙවැනි අදහසක් ඇත:

‘‘ඉන්දියාවට අද අවශ්‍ය කරන්නේ, පිරිසුදු සහ දයාන්විත, කාර්යක්ෂම සහ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ආණ්ඩුවකි. ජනතාවට හිරිහැර කරන ආණ්ඩුවක් වෙනුවට, ජනතාවට සේවය කරන ආණ්ඩුවකි. බාධාකාරී ආණ්ඩුවක් වෙනුවට, කටයුතු පහසු කරවන ආණ්ඩුවකි. තෝරාගත් සුළු පිරිසකට වරප‍්‍රසාද සලසන ආණ්ඩුවක් වෙනුවට, වැඩිම ජනතාවකට අවස්ථා සලසාලන ආණ්ඩුවකි. අණක්ගුණක් නැති, කෝන්තරකාරී ආණ්ඩුවක් වෙනුවට, සාධාරණ සහ සමබර ආණ්ඩුවකි. බිය පතුරුවන ආණ්ඩුවක් වෙනුවට, අපේක්ෂා දල්වන ආණ්ඩුවකි. පුරෝගාමී ජවය සහ ව්‍යවසායකත්වය නසන ආණ්ඩුවක් වෙනුවට, ඒවා දිරිමත් කරවන ආණ්ඩුවකි’’

මෙය, ඉන්දියාවටත් වඩා ලංකාවට සහ ලංකාවේ දේශපාලඥයන්ට කියාපු වට්ටෝරුවකි.

දැන් ජිනීවා නුවර දී ඉදිරිපත් වන ලංකාවට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ ලොක්කන් කියන්නේ, තමන්ව බලයට පත්කරන ජනතාව කෙරෙහි මිස වෙන කිසිවෙකු කෙරෙහි තමන් වගකීමකින් බැඳී නොසිටින බවකි. අපේ හාල් ටික, අපේ පොල් ගෙඩිය සහ කරවල කෑල්ලේ සිට, අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ආදිය අපේම ධනයෙන් සහ සම්පත්වලින් සපයාගත හැකි නම් ද, අපේ තේ, පොල්, රබර් ටිකේ සිට ඇඟලූම් නිෂ්පාදිතයන් දක්වා නව අපනයනයන් සහ මැද පෙරදිග ශ‍්‍රමයත් අපේම රටේ පාවිච්චියට ගත හැකි නම් ද, මේ අදහස තරමක් දුරටවත් නඩත්තු කරගත හැකි වන්නට තිබුණි. ඊළඟට, පාලන බලය හොබවන දේශපාලඥයන්ගේ කෙලකෝටි ගණන් ධනස්කන්ධය ලංකාවේම වියදම් කළ හැකි නම් ද, ඒ කිසිවෙකුගේ දේපල සහ වත්කම් වෙන රටක නැතිනම් ද, ලංකාවේ මුහුදු තීරයෙන් එහාට අඩියක් නොතියා ඉන්නට ඒ කාටත් හැකියාව ඇත්නම් ද, එම අදහස තරමක් දුරටවත් යථාර්ථවත් වන්නට තිබුණි. කොටින්ම, අප වචනයේ පරිසමාප්ත අර්ථයේ ‘කොදෙව්වක්’’ විණි නම්, එවැනි අදහසකට අනුව ජීවත් වීම පහසු වන්නට තිබුණි. අවාසනාව වන්නේ, අද ලෝකයේ කොදෙව්වක් හෙවත් ¥පතක් වීමට, හතර වටේ මුහුදක් තිබීම පමණක් ප‍්‍රමාණවත් නොවීමයි. ඒ මහා සාගරයත් පරයන මහ බලවේග දෙකක්, ඉතිහාසයේ පෙර නොවු විරූ අයුරින් අද ක‍්‍රියාත්මක වෙයි. එකක් වන්නේ, දේශසීමා නැති, ජාතියක් ජන්මයක් නැති, ප‍්‍රාග්ධනයයි. දෙවැන්න වන්නේ, සර්ව භෞමික තොරතුරු තාක්ෂණයයි. මේ සාධක දෙක හරහා, ලංකාව නැමැති කොදෙව්ව, ඉන්දියාවට සහ ඇමරිකාවට මෙන්ම, තූත්තුකුඩියටත් යා කොට තිබේ.

ඊළඟට, පාලකයෙකු සම්බන්ධයෙන් තීරණාත්මක වන එකම සාධකය, එම පාලකයා වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කරන ජනතාව නම්, අපේ රට සම්බන්ධයෙන් ඒ සමීකරණය අනිටු ප‍්‍රතිවිපාක අත්කර දීමටත් සමත් විය හැකි බව පාලකයන් තේරුම්ගත යුතුය. විශේෂයෙන්, යුද්ධය අවසානයෙන් පසුව, ලංකාවේ දේශපාලනය තුළ, සුසමාදර්ශී වෙනසක් ඇති විය යුතුව තිබුණි. එය, සිංහල සහ අනිත් ජාතීන් අතර, විශේෂයෙන් යුද්ධයෙන් විනාශයට පත් දෙමළ ජාතිය අතර එතෙක් පැවතිි සම්බන්ධතාවේ ව්‍යුහාත්මක වෙනසක් සනිටුහන් කළ යුතුව තිබුණි. එය, එක පැත්තකින් ආයතනික ප‍්‍රතිසංස්කරණ සඳහා යොමු විය යුතු වූ අතර (උදා: 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය), අනිත් පැත්තෙන් චින්තනමය විපර්යාසයකට තුඩුදිය යුතුව තිබුණි.

චින්තනමය වෙනසේ ප‍්‍රාරම්භය විය යුතුව තිබුණේ, යුද්ධය යනු ත‍්‍රස්තවාදයක ප‍්‍රතිඵලයක් වශයෙන් ගැනීම සපුරා බැහැර කිරීමයි. ඒ වෙනුවට, ජාතීන් අතර පැසවමින් තිබූ ව්‍යුහාත්මක ව්‍යාධියට ආමන්ත‍්‍රණය කළ යුතුව තිබුණි. ඉතා සරළව කියතොත්, අදින් පසු සිංහලයන් සහ දෙමළ/මුස්ලිම් ජාතීන් අතර මොනම හෝ වෙනසක්වත් ඇති බවට වන හැඟීමක් පවා, කිසි දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු තුළ ඇති නොවන තැනට පාලකයන් වගබලාගත යුතුව තිබුණි. ඒ සඳහා, ජයග‍්‍රහණයේ අමන්දානන්දය, සතියක හෝ දෙකක කිරිබත් කෑමෙන් පසු පසෙකින් තැබීමත්, එක ජාතියක ජයග‍්‍රහණයේ සහ තවත් ජාතියක පරාජයේ ‘රුධිරමය සංකේතය’ වන හමුදාවන්, උතුරු නැගෙනහිරින් ඉවත් කිරීමත් වහා කළ යුතුව තිබුණි. මේ සමස්ත ප‍්‍රශ්නයට පාලකයා දුන් ‘දේශීය’ පිළිතුර සංකේතවත් කෙරුණේ, එතෙක් දෙමළ ජාතිකයන් තමන්ගේ භාෂාවෙන් ගයමින් සිටි ජාතික ගීයත් අද පටන් ජයග‍්‍රාහී සිංහලයාගේ භාෂාවෙන් ගායනා කළ යුතු බවට නීති පැනවීමයි.

මේ සන්දර්භය යටතේ, දකුණේ සමස්ත මැතිවරණ ප‍්‍රතිඵලය, මහජාතියේ ‘ඓතිහාසික යුද ජයග‍්‍රහණය’ නිරූපණය කෙරෙන භාවාර්ථයක් ජනනය කෙරෙන විට, උතුරේ මැතිවරණය තුළ සංකේතවත් කෙරෙන්නේ එහි සපුරා ප‍්‍රතිපක්ෂය නම්, එය, යුද්ධය වෙනුවෙන් දෙපාර්ශ්වය හැලූ සෑම ලේ බිංදුවකම වටිනාකම සාපරාධීව නාස්ති කිරීමක් වන්නේය. තවත් විදිහකින් කිවහොත්, තවත් ඉදිරි පරම්පරා ගණනාවක ලේවලට අතවැනීමක් වන්නේය. මහින්ද රාජපක්ෂ ඇතුළු වර්තමාන පාලකයන් දකුණේ අද පවත්වන ඊනියා මැතිවරණ ජයග‍්‍රහණයන්ගෙන් අහ්ලාදයට පත්වීම තුළ අනාගතයට එක් කරන නග්න සත්‍යය එයයි.

යුක්රේනියාවට අයත් ක‍්‍රිමියාව නැමැති එරටේ දකුණු ප‍්‍රාන්තයේ වෙසෙන ජනගහනයෙන් සියයට 97 ක්, එම රටින් කැඞී වෙන් වී, අසල්වාසී මහජාතික රුසියාවට එක්වීමට, ජනමත විචාරණයකින් පසුගිය දා තීන්දු කළහ. මේ වෙන්වීම, රුසියාව හැරුණු කොට, ලෝකයේ වෙන කිසි රටක් මේ දක්වා පිළිගෙන නැත. එහෙත් ලෝකයා එය ප‍්‍රතික්ෂේප කිරීම තමන්ට බාධාවක් නොවන බව රුසියානු ජනාධිපතිවරයා කියා තිබේ. මේ මූලික තොරතුරු ලංකාවේ උතුරේ වෙසෙන දෙමළ ජනතාවගෙන් වැසැංගීමට පුලූවන් කමක් රාජපක්ෂ ආණ්ඩුවටවත්, ඉන්දියාවේ දකුණුදිග ජනතාවගෙන් වැසැංගීමට පුලූවන් කමක් ඉන්දියාවේ මන්මෝහන් සිං ආණ්ඩුවටවත් ඇත්තේ නැත. එය, ඉන්දියාව කෙසේ වෙතත්, අපේ පාලකයන් සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණයකි.

ඒ අර්බුදය මුල් කරගෙන අද වන විට, රුසියාවේ සහ යුක්රේනයේ දේශපාලඥයන් 40 කට අධික සංඛ්‍යාවකගේ ඇමරිකාවේ තිබෙන දේපල සහ මුදල් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාව තීරණය කොට තිබේ. එසේම, යුරෝපා හවුලත්, තවත් එවැනි රුසියානු සහ යුක්රේනියානු ජාතිකයන් 20 කට අධික සංඛ්‍යාවකගේ යුරෝපයේ තිබෙන දේපල සහ මුදල් අත්අඩංගුවට ගැනීමට තීරණය කොට තිබේ. මේ අය අතරට, රුසියාවේ වර්තමාන නියෝජ්‍ය අගමැතිවරයා ද අයත් ය. ඒ කිසිවෙකුට, මින් මතුවට, යුරෝපයේ කිසි රටකට හෝ ඇමරිකාවට ඇතුළු වීම තහනම් ය. ලෝකයේ ඕනෑම තැනක ජීවත් වන දේශපාලඥයන් සම්බන්ධයෙන් ගත් විට අතිසංවේදී ප‍්‍රවෘත්තියක් වන එයට ඇස්කන් වසාගෙන ඉන්නට පුලූවන් කමක් තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවෙන් කීයෙන් කී දෙනෙකුට ද?

රටක් සහ ජනතාවක් වශයෙන් අප දැනටමත් වාඩි වී සිටින්නේ විදුලි පුටුවක් උඩ ය. අඩුවකට ඇත්තේ, තවම එහි ස්විචය ඔබා නොතිබීමයි. ඊට අමතරව, පාලකයන් සම්බන්ධයෙන් ගත් විට සැබෑ විදුලි පුටුව වන්නේ, අවසානයේ කී, රුසියාවේ දේශපාලඥයන්ගේ සාදෘෂ්‍යයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.