13 November, 2019

Blog

‘මතට තිතට’ සහ ‘දුමට තිත’

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ඕනෑම ඉලක්කයක් සඵල වීමේ ස්වභාවය තීරණය වන්නේ, ඒ ඉලක්කය පසුපස ඇති පරමාර්ථයේ ස්වභාවය මතයි. ඉලක්කය උත්තරීතර වෙතත්, ඒ වෙත ගමන් කරන්නේ පටු දෘෂ්ටිවාදයන් ඔස්සේ නම්, අවසානයේ දී අත්කර ගන්නා ඉලක්කයත් ව්‍යාජයක්ම වන්නේය. සිගරට් පැකට්ටුවේ බාහිර ඉඩ ප‍්‍රමාණයෙන් සියයට අසූවක්, දුම්බීමේ ආදීනව දැක්වෙන රූපමය අවවාදයක් ප‍්‍රදර්ශනය කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමත්, සියයට හැටක ප‍්‍රමාණයක් ඒ සඳහා පාවිච්චි කිරීමට අධිකරණයෙන් අවසර ලැබීමත්, මේ කියන කාරණයට හොඳ උදාහරණයකි. මෙය පැහැදිළි කර ගැනීම සඳහා පසුබිම් කතාවකට හැරීම වටී. 

මහින්ද චින්තනයේ එක් ආකර්ශනීය සටන් පාඨයක් තිබුණි. (එහි අඩංගු වූ සියලූ සටන් පාඨ ආකර්ශනීයයි), එය, ‘මතට තිත’ නම් විය. ආකර්ශනීය වන තරමටම, මහින්ද චින්තනයේ වෙනත් ප‍්‍රතිඥා වගේම, එය ද පුස්සක් විය. ‘මහින්ද චින්තනය’ එළිදැක්වුණේ 2005 දී ය. එසේ තිබියදී, නීත්‍යානුකූල මත්පැන් වෙළඳාමෙන් 2007 දී රුපියල් බිලියන 23 ක් උපයා ගත් ආණ්ඩුව ඊළඟ වසරේ දී රුපියල් බිලියන 27 ක් උපයා ගත්තේය. ඒ, බලපත‍්‍ර සහිත මත්පැන් වෙළඳ සැල් 3200 ක ආදායමෙනි. මීට අමතරව, නීති විරෝධී (කසිප්පු) තිප්පොලවල් 200,000 ක් ඇති බව එදා වාර්තා විය. මතට තිතක් තබා කොමාවක්වත් එම කාලය තුළ තබා නොතිබුණු බව එයින් පෙන්නුම් කෙරුණි.

එයින් තවත් අවුරුදු තුනක් ගිය තැන තත්වය කුමක් වී ද? ‘මතට තිත’ එළිදැක්වූ 2005 දී මේ රටේ පැවති අරක්කු පරිභෝජනය, ලීටර් මිලියන 64.15 කි. එම ප‍්‍රමාණය 2010 වන විට ලීටර් මිලියන 75.26 දක්වා ඉහළ නැග්ගේය. 2005 දී ලීටර් මිලියන 3.52 ක්ව පැවති විදේශ මත්පැන් පරිභෝජනය 2010 වන විට ලීටර් මිලියන 6.05 ක් දක්වා ඉහළ නැග්ගේය. ‘මතට තිත’ ප‍්‍රතිපත්තියක් වශයෙන් හුවාදක්වන ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ වන තෙක් මත්පැන් වෙළඳ බලපත‍්‍ර අළුතෙන් නිකුත් කොට නැති එක වසරක්වත් නැත. එය, 2006 දී 35 ක්, 2007 දී 42 ක්, 2008 දී 36 ක්, 2009 දී 40 ක් සහ 2010 දී 51 ක් වශයෙන් වාර්තා වෙයි. ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 2010 වාර්තා පෙන්වන සංඛ්‍යා ලේඛනවලට අනුව, ලෝකයේ වැඩිම මත්පැන් පරිභෝජන ප‍්‍රතිශතය සහිත රට ලංකාවයි. මේ චිත‍්‍රය ඇඳෙන්නේ, ‘මහින්ද චින්තනයේ’ ඉහත කී ‘මතට තිත’ තබා අවුරුදු පහකුත් ගතව තිබියදී ය/ මේ රටේ ලොකුම අරක්කු මුදලාලිත් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු වන අවස්ථාවක එය පුදුමයක් නොවේ. එසේ තිබිය දී, ‘මතට තිත’ ගැන ලොකුවට කතා කිරීම පසුපස ඇත්තේ, සැදැහැති බෞද්ධ ඡුන්දදායකයාව ගොනාට ඇන්දවීම අරමුණු කරගත් බාල දෘෂ්ටිවාදයක් පමණක් බව කෙනෙකුට පැහැදිළි විය යුතුය.

මහින්ද රාජපක්ෂ සිංහල-බෞද්ධ මහරජෙකු සේ වෙස්ගැන්විය යුතුය. ඒ අනුව, මත්පැන් අපේ සිරුරට විස වන්නේ, මත්පැන්වල ඇති යම් විසකට වඩා, එයින් වැළැකීම ශීලයක් වශයෙන් බුද්ධාගමෙන් පැනවෙන නිසා ය

මහින්ද රාජපක්ෂ සිංහල-බෞද්ධ මහරජෙකු සේ වෙස්ගැන්විය යුතුය. ඒ අනුව, මත්පැන් අපේ සිරුරට විස වන්නේ, මත්පැන්වල ඇති යම් විසකට වඩා, එයින් වැළැකීම ශීලයක් වශයෙන් බුද්ධාගමෙන් පැනවෙන නිසා ය

ජාතිකවාදී, දේශීයවාදී, ආගමිකවාදී ඊනියා ශ‍්‍රද්ධාවක (විශේෂයෙන් යුද ජයග‍්‍රහණයෙන් පසුව) අපේ දේශපාලනය ස්ථානගත කොට ඇති තත්වය තුළ, එම ජනතාවගේ සිත් සැනසෙන ආගමික සහ ජාතික විජ්ජාවන් නිරන්තරයෙන් පෙන්වීමේ අවශ්‍යතාව දේශපාලඥයාගේ පැත්තෙන් මතුවෙයි. උදාහරණයක් වශයෙන්, මහින්ද රාජපක්ෂ සිංහල-බෞද්ධ මහරජෙකු සේ වෙස්ගැන්විය යුතුය. ඒ අනුව, මත්පැන් අපේ සිරුරට විස වන්නේ, මත්පැන්වල ඇති යම් විසකට වඩා, එයින් වැළැකීම ශීලයක් වශයෙන් බුද්ධාගමෙන් පැනවෙන නිසා ය. මත්පැන්වලට විශේෂ විරෝධයක් නැති ක‍්‍රිස්තියානි රටවල් ද, මත්පැන් පාලනය කිරීමේ විවිධ ක‍්‍රමවලට යොමු වී ඇති බව මෙහි දී සැළකිල්ලට ගැනීම වටී. ඒ අනුව, මත්පැන් බෝතල්වල, අධික පරිභෝජනය වැළැක්වීම අරමුණු කරගත් විවිධ අනතුරු ඇඟවීම් පළකරනු ලැබේ. ඒ කිසි රටක අරමුණ වන්නේ, මත්පැන් පානය මද පමණට සීමා කර ගැනීම මිස, යම් ආගමික අදහසක් වවාගෙන කෑමක් නොවේ.

‘‘සුරාමේරය මජ්ජපමා දට්ඨාණා’’ නැමැති බුදුන් වහන්සේගේ මේ පැනවීම එන්නේ, ප‍්‍රධාන අකුසල කර්ම පහෙන් පස්වැනි ස්ථානයටයි. එම අකුසල පහෙන්, පළමුවැනි තැනට උන්වහන්සේ වදාළේ, ‘පාණාතිපාතා වේරමනී’ ශික්ෂා පදයයි. එනම්, සතුන් මැරීමෙන් වැළකිය යුතු බවයි. බුද්ධාගම අනුදකින, සත්වයාගේ සමස්ත ලෞකික පැවැත්ම පිළිබඳ කේන්ද්‍රීය ශික්ෂාව එයයි. ඒ අනුව, සතුන් මැරීමෙන් වැළකීම ප‍්‍රථම ස්ථානයටත්, මත්පැන් පානය අවසාන ස්ථානයටත් උන්වහන්සේ වර්ග කෙළේ නිකම්ම නොවන බව පැහැදිළි වෙයි. ‘මහින්ද චින්තනය’ තුළ එකහෙලා කණපිට හැරෙන්නේ එම අනුපිළිවෙලයි. සත්ව ඝාතනය ගැන කතාවක් නැතිව, ‘මතට තිතක්’ රාජ්‍ය ප‍්‍රතිපත්තියට ඇතුලූ වන්නේ එබැවිනි. වරක් ගව ඝාතනයට එරෙහිව එක භික්ෂුවක් ගිනි තබා ගත් සේක. ඒ අතර උන්වහන්සේ වෙනත් සත්ව වර්ග සහ මාළු වර්ග අනුභව කළහ. අපේ ගිහි සමාජයෙන් සහ භික්ෂු සාසනයෙන් කොපමණ සංඛ්‍යාවක්, මස් මාළු අනුභවයෙන් වැළකී සිටිත් ද? ‘ඝාතනයට තිතක්’ යනුවෙන් සටන් පාඨයක් ‘මහින්ද චින්තනයට’ වැද්ද නොගත්තේ ඇයි? එය, දේශපාලනිකව ආකර්ශනීය නොවන බැවිනි.

මේ ‘මතට තිතේ’ ලොකුම විහිළුව ආවේ රූපවාහිනී චිත‍්‍රපටවල එන මත්පැන් සහ දුම්පානය තිබෙන දර්ශන පේ‍්‍රක්ෂකයාට නොපෙනෙන සේ කොටු ගසා වසා දැමීමේ දී ය. අරක්කු වීදුරුව කටට ගන්නා දර්ශනය කොටුවකින් වසන අර පාර්ශුද්ධවාදී බලධාරියා, එම අරක්කු වීදුරුවෙන් මත් වී ගෙදර ගොස් බිරිඳට පහර දෙන ඊළඟ දර්ශනය කොටුවකින් වසන්නේ නැත. එසේම, මේ කියන ‘බෞද්ධ ආණ්ඩුවේ’ සිටින ලංකාවේ අරක්කු විකුණන ලොකු මුදලාලිගේ නම හෝ රූපය, රූපවාහිනී කිසි නාලිකාවක කොටුවක් ගසා වසා දමන්නේ ද නැත.

වර්තමාන ලංකාවේ සිගරට් විරෝධී ව්‍යාපාරය පසුපස ඇත්තේ ද මෙවැනි ඊනියා පාරිශුද්ධවාදී දෙපිටකාට්ටු මෙහෙයුමකි. ‘පිළිකා සරණ සංගමයේ’ සභාපතිවරයා ‘අද’ පුවත්පතට දුන් සම්මුක සාකච්ඡුාවක දී කියන පහත සඳහන් කාරණයෙන් එය මොනවට පැහැදිළි වෙයි. ඔහුගෙන් අසන ප‍්‍රශ්නය මෙයයි: ‘‘රූපමය අවවාද අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු ද?’’ ඔහුගේ උත්තරය මෙයයි: ‘‘ඔව්, මොකද ලංකාව කියන්නේ මේ කලාපයේ තියෙන ඉතාමත් හොඳ සංස්කෘතිය තියෙන රට.’’

වයස දහසයේ සිට මම දුම්පානය කරන්නෙක්මි. දැන් මගේ වයස හැටතුනකි. ඒ හේතුවෙන්, දුම්පානය යහපතකි යි මම නොකියමි. එය මගේ සෞඛ්‍යයට තර්ජනයක් වීමේ ශක්‍යතාවක් සහිත කරදරකාරී ඇබ්බැහියක් බවට කිසි සැකයක් නැත. එසේම දුම්කොළ සමාගම් මේ නීතියට විරුද්ධ වන්නේ ද, තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා පෙරදැරිව මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනතාවක් සතු තේරීමේ නිදහසක් ආරක්ෂා කිරීම සඳහා නොවන බවත්, අවිවාදිත ය. මගේ තර්කය වන්නේ, දුම්පානය සම්බන්ධයෙන් තිබිය යුත්තේ සෞඛ්‍ය සහ ආර්ථික ආදීනව ගැන සැළකිලිමත් වීම මිස, ආගමික හෝ සදාචාර කොක්කක එල්ලීම නොවන බව පමණි. එහෙත් වෙනත් ලෞකික තහංචි සේම, මේ දුම්පාන විරෝධයත් අප වෙත එන්නේ, ඉහතින් කී මත්පැන් විරෝධය සේම, එක්තරා ආගමික/පාරිශුද්ධවාදී හැඟීමකිනි. වරද ඇත්තේ එතැනයි.

‘ප‍්‍රසිද්ධ ස්ථානයක’ දුම්පානය කිරීම ලංකාවේ තහනම් ය. අද සෑම දියුණු රටකම පාහේ එම තහනම තිබේ. ඒ තහනම පසුපස ඇති තර්කය වන්නේ, ‘නිශ්ක‍්‍රීය දුම්පානයට’ ලක්වන්නන් අනිකාගේ දුම්බීමේ ආදීනවවලින් ආරක්ෂා කර ගැනීමයි. එනම්, මා දුම්වැටියක් බොන අවස්ථාවේ, දුම් නොබොන වෙනත් අයවළුන් මගේ දුමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ය. ඒ නිසාම, මේ දුම්බීම තහනම් කෙරෙන ‘ප‍්‍රසිද්ධ ස්ථානය’ යන යෙදුම, ‘ආවරණය වූ පොදු ස්ථානයක්’ වශයෙන් (ප‍්‍රසිද්ධ ගොඩනැගිලි, ප‍්‍රසිද්ධ ප‍්‍රවාහණය ආදී* නීතිය තුළ අර්ථ දැක්වුණි. මන්ද යත්, මගේ සිගරට්ටුවෙන් පිට වෙන දුමක් තවත් කෙනෙකුට සෘජුව බලපෑ හැක්කේ, එවැනි ආවරණය වූ තැනක දීම වන හෙයිනි. එහෙත්, මේ නීතිය යටතේ ලංකාවේ පොලීසිය විසින්, පාරේ සහ පාරක් අසළ තමන්ගේ වත්තේම පවා දුම්බීවේ යැයි කියන අයවළුන් අධිකරණය ඉදිරියට පමුණුවා ඇති අතර අධිකරණයෙන් ඔවුන්ට දඩ ගසා ද තිබේ. මෙවැනි තත්වයක් ඇති විය හැක්කේ, දුම්බීම ‘පාපයක්’ හෝ ‘දුරාචාරයක්’ (ඉහළම සංස්කෘතිය අපේ) වශයෙන් ගන්නා අවස්ථාවක දී පමණක් බව අමුතුවෙන් කිව යුතු නැත.

දැන් ලොකුම සෙප්පඩ විජ්ජාව එන්නේ සිගරට් පැකට්ටුවේ රූපමය අනතුරු ඇඟවීම් පළ කිරීමේ ඝෝෂාව තුළ ය. සිගරට් පැකට්ටුවේ කවරයේ සියයට 80 ක ඉඩක් රූපමය අනතුරු ඇඟවීමක් සඳහා වෙන් කිරීමේ අනුමැතිය අපේ පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත විය. තමන්ගේ අභිමතාර්ථය, එනම්, සිගරට් බොන ජනතාව එම රූපමය අවවාදය තුළින් සිගරට් බීම කෙරෙහි අධෛර්යමත් කිරීමක් මේ කියන පියවර හරහා අත්කරගත හැක්කේ දැ යි සළකා බලනු වෙනුවට, අපේ මන්ත‍්‍රීවරුන් කර ඇත්තේ තමන්ගේ ‘දේශපාලනික නිරවද්‍යතාව’ (අපොයි ඔව්, සිගරට් බොන්න හොඳ නැහැ/ඉහළම සංස්කෘතිය තියෙන රට ලංකාව බව) පෙන්නුම් කිරීම සඳහා එම අවස්ථාව පාවිච්චි කිරීම පමණි.

මා එසේ කියන්නේ ඇයි?

ලංකාවේ දුම්පානය කරන ජනගහනයෙන්, සිගරට් පැකට්ටුවක් වශයෙන් මිළ දී ගෙන දුම්පානය කරන්නේ, සියයට කීයක් ද? එය සියයට දහයක්වත් නැති බව අපේ විශ්වාසයයි. ඒ සියලූ දෙනාම පාහේ මේ රටේ ඉහළ මැද පංතියේ සහ ධනපති පංතියේ දුම්බොන්නන් ය. ලංකාවේ සිගරට් බොන අතිබහුතරය සිගරට් මිළ දී ගන්නේ, සිගරට් එකක් හෝ දෙකක් ආදී වශයෙනි. දැන්, මේ කියන රූපමය අවවාදය සහිත සිගරට් පැකට්ටුවලින් සියයට 90 ක්ම අවසන් වන්නේ, සිල්ලර වෙළෙන්දාගේ කුණු බක්කියෙන් හෝ ධනපතියෙකුගේ සාක්කුවෙන් බව පැහැදිළි විය යුතුය. පණිවිඩය ගියේය. එහෙත් ඒ, දුම්බොන ‘ජනතාවට’ නොවේ, සිල්ලර කඩකාරයාට සහ ධනපති පංතියේ දුම්බොන්නාට ය. මේ නීතිය වෙනුවෙන් මෙච්චර කෑකොස්සන් ගහන්නේ, අපේ ධනපතියන් අතලොස්සක් දුම්බීමෙන් වළක්වා ගැනීම සඳහා ද?

සිගරට් සිල්ලරට විකුණන කිසි රටක් අද බටහිර දියුණු ලෝකයේ නැත. ඒ හැම රටකම දුම්බොන්නා මිළදී ගන්නේ පැකට්ටු වශයෙනි. ඉතිං, ඒ රටවල් මේ කියන අවවාද සහ රූපමය අනතුරු ඇඟවීම්, සිගරට් පැකට්ටුවේ සියයට 60 ක හෝ 80 ක හෝ 100 කම වුව මුද්‍රණය කිරීම අපට තේරුම් ගන්නට පුලූවන. එසේ වූ පමණින් අපත් එම විධික‍්‍රමයම අනුගමනය කළ යුතු ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවා ‘බටහිර අනුකාරකවාදයක්’ යැයි කියන ඊනියා ‘ජාතික චින්තකයන්’ මේ අනුකරණය දකින්නේ කෙසේදැ යි අපි නොදනිමු. එහෙත් එක සිගරට්ටුවත් දෙකට කඩාගෙන බොන ලංකාවේ, පැකට්ටුවේ රූපමය අවවාද, ‘ජනතාවගේ’ ජීවිතය සහ මරණය අතර ප‍්‍රශ්නයක් සේ හුවාදැක්වීමට වළිකන අපේ වෛද්‍ය විශේෂඥයන්, බුද්ධිමතුන් සහ දේශපාලඥයන් මේ කාරණය ගැන ඊට වඩා යෝනිසෝමනසිකාරයෙන් බැලිය යුතුව තිබුණි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.