Colombo Telegraph

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලියට අදාළව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදු විය. එවැනි දේවල් මේ වර්ෂයට පමණක් සීමා නොවන අතර, ස්වර්ණ පුස්තක ක‍්‍රියාවලියට පමණක් සීමාවන දේවල් ද නොවේ. හැම වසරකම, සාහිත්‍ය මාසය, චෝදනා සහ ප‍්‍රතිචෝදනාවන්ගෙන් පිරී පැවතීමෙන් එය පැහැදිළි වෙයි. ඒවායින් බොහොමයක් පෞද්ගලිකත්වයන් සහ පෞද්ගලික කෝන්තර මුල් කොට පවතී. සාහිත්‍ය සම්භාෂණයක තිබිය යුතු වැදගත් කරුණු සාකච්ඡුාවට ලක් කෙරෙන්නේ අතරින්පතර පමණි. සාහිත්‍ය මාසය අළලා මෑතක් වන තෙක් ඇවිළුනු සංවාදය, සිංහල සාහිත්‍යයේ ප‍්‍රවර්ධනය සඳහා වැඩිමනත් දායක විය හැකි වැදගත් ක්ෂේත‍්‍රයන් වෙත යොමු වී නම් ඒ ඉතා අල්ප වශයෙන් බවක් පෙනෙන්නේ එබැවිනි.

රුපියල් ලක්ෂ පහක් වැනි විශාල මුදලක් නවකතාවකට පිරිනැමීම නිසා අනවශ්‍ය පොරයක් සහ දබරයක් ඇති වන බව, මේ සම්මාන උළෙල පිළිබඳ විවේචනය කරන ඇතැමුන් කියනු අසන්නට ලැබේ. මගේ අදහස වන්නේ, මීටත් වැඩි මුදල් ත්‍යාග පිරිනැමෙන තවත් සාහිත්‍ය උළෙලවත් මේ රටේ පැවැත්විය යුතු බවයි. එය, අර කී පොරකෑම හෝ දබරය අසත්‍යයකැ යි බැහැර කිරීමක් නොව, එම ‘දබරය’ පවා යම් අවස්ථාවක දී සිංහල සාහිත්‍යයට හිතකාමී විය හැකි බවට ඇති දුරස්ථ විශ්වාසයක් ප‍්‍රකාශ කිරීමක් පමණි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයේ විනිශ්චය මණ්ඩලයට මා ද ඇතුළු පස් දෙනෙක් සහභාගී වූහ. ඒ, ආරියවංශ රණවීර (සභාපති), මහාචාර්ය අනුර වික‍්‍රමසිංහ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ ආචාර්ය හර්ෂන රඹුක්වැල්ල යන මහත්වරුන් ය. ප‍්‍රථම වටයේ සහ දෙවැනි වටයේ විනිශ්චය මණ්ඩලවල තවත් සාහිත්‍යකාමීන් 17 දෙනෙක් කටයුතු කළහ. ප‍්‍රථම වටයෙන් පොත් 12 ක් තෝරාගනු ලැබූ අතර, දෙවැනි වටයේ විනිශ්චය මණ්ඩලයෙන් පොත් 5 ක් තෝරා ගැනුණි. වසරේ ප‍්‍රශස්ථ නවකතාව අප පස් දෙනෙකුගෙන් යුත් අවසාන විනිශ්චය මණ්ඩලය මගින් තෝරා ගැනුණේ ඒ පොත් 5 අතරිනි.

මෙවැනි, අදියර කිහිපයකින් කෙරෙන තේරීම් ක‍්‍රියාවලියක දී, එකිනෙක අදියරේ කටයුතු කරන අයට, ඊට කලින් අදියරේ කටයුතු කළ අය පිළිබඳ යම් විවේචන තිබිය හැකිය. තමන් විසින් තේරීම් කරන ලද්දේ, තමන්ට ‘ලැබුණු පොත්’ අතරින් යැයි බොහෝ විට කියැවෙති. ඉන් ව්‍යංගාර්ථවත් කෙරෙන්නේ, තමන්ගේ තේරීමේ යම් ගැටළුවක් ඇතොත්, ඊට යම් අර්ධ පිළිතුරක්, එකී සාධකය තුළින් සොයාගත යුතු බවයි. මේ තර්කයම, මුල් අදියරේ විමර්ශකයන්ට ද ගෙනහැර දැක්විය හැකිය. එනම්, ඔවුන්ට තේරීමට ලැබුණේ ද, ‘ඒ වසරේ පොත්’ පමණක් බවයි. යම් කිසි වසරක හොඳ නවකතාවක් නැත්නම්, එම සමීක්ෂකයන්ට හොඳ පොතක් අළුතෙන් ලියා දීමට පුළුවන් කමක් නැත. ඉතිං, ඔවුන් කරන්නේ ද, ‘තිබෙන නරක පොත් අතරින්’, අඩු නරකින් යුත් යම් පොතක් හෝ පොත් කිහිපයක් තෝරා දීමයි.

මේ අතර, යම් වසරක ‘හොඳ’ පොතක් නැත්නම් එම වසරේ හොඳම පොතක් වශයෙන් කිසිවක් නොතෝරා සිටිය යුතුය යන්න සමහරෙකුගේ අදහසයි. නොබෙල් ත්‍යාගය සම්බන්ධයෙන් අවස්ථා හතරක දී කෙනෙකු තෝරාගෙන නැත. ඊට විවිධ හේතු ඒ ඒ අවස්ථාවලදී, (ලෝක යුද්ධ සමය වැනි)  පාදක වී ඇතත්, ඉහත කී හේතුවත් අඩු වශයෙන් එක් වරක්වත් ගෙනහැර දක්වා ඇති බව අපට පෙනේ. මෙය, ලෝකයේ ඉහළම සාහිත්‍යධරයා තේරීම සම්බන්ධයෙන් අදාල වන තරමට, ලංකාව වැනි පුංචි රටක පුංචි පාඨක ප‍්‍රජාවක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්තියක් නොවේ.

කෙසේ වෙතත්, මේ අදහස දරන්නන් පෙන්වා දෙන එක් වැදගත් කාරණයක් නිකම්ම ප‍්‍රතික්ෂේප කිරීමට පුළුවන් කමක් ද නැත. එනම්, ‘නරක’ පොතක් ‘හොඳම’ පොත වශයෙන් තෝරා ගැනීම නිසා අනාගතයට වැරදි පූර්වාදර්ශ සැපයිය හැකි බවයි. එහි යම් සත්‍යයක් තිබේ. ඒ නිසා කළ යුතුව ඇත්තේ, නරක පොතක් තේරුවත් ‘නරකම’ පොතක් නොතෝරා සිටීමයි. ලංකාවේ නවකතාකරුවන් සම්බන්ධයෙන් සළකා බලන විට, ‘නරකම’ පොත් නොතෝරා සිටීමට අවශ්‍ය තරමේ ‘නරක’ පොත් ඇති නිසා, කිසි පොතක් නොතෝරා නොසිටීමට පුලූවන් කම තිබේ.

අනිත් අතට, ‘හොඳම’ පොත නිරපේක්ෂ පොතක් වන්නේ ද නැත. මට ‘හොඳම’ පොත, මා වැනිම තවත් කෙනෙකුට ‘නරක’ පොතක් විය හැකිය. එවිට, අප සියල්ලන්ට එකඟ විය හැකි ‘හොඳම’ නවකතාව හෙවත් පරමාදර්ශී නවකතාව බිහිවන තෙක් සාහිත්‍ය සම්මාන නොදී සිටීමට අපට සිදුවනු ඇත. මේ නිසා, හද්ද අවර ගණයට නොවැටෙයි නම්, ‘ප‍්‍රශස්ත’ නවකතාවකට සම්මාන දීම යථා යෝග්‍ය බව මැදිහත් පාඨකයන් පිළිගනු ඇත.

මේ සියල්ලට අමතරව, ඕනෑම තේරීම් ක‍්‍රියාවලියක් සෑහෙන දුරට පුද්ගලබද්ධ වන බව ද අප තේරුම්ගත යුතුය. පුද්ගලබද්ධ වීම යන්නෙන් අදහස් වන්නේ, යමෙකු කෙරෙහි ඇති ප‍්‍රසාදයක් හෝ අප‍්‍රසාදයක් වැනි පුද්ගලික කාරණා පෙරදැරිව සම්මානයක් දීම හෝ නොදීම පමණක් නොව, (එය මොන විදිහකින්වත් ඉවසිය යුතු නැත), ඒ ඒ පුද්ගලයාගේ සාහිත්‍යමය මැණීම් ඔහුගේ හෝ ඇගේ ‘කියැවීම් මාදිලිය’ මත තීන්දු වන බවයි. සාහිත්‍ය විනිශ්චයන් සඳහා උපයෝගී කරගන්නා නිර්ණායක ගැන බොහෝ විට ගැටළුවක් නැතත්, (එවැනි නිර්ණායක පද්ධතියක් අපේ විනිශ්චය ක‍්‍රියාවලිය තුළ ද තිබුණි) එම නිර්ණායක, අර කී එකිනෙක පුද්ගලයාගේ ‘කියැවීම් මාදිලිය’ තුළ ස්ථානගත කර ගැනීමේ ස්වභාවය, බොහෝ විට පුද්ගලබද්ධ වන්නේය. තවත් විදිහකින් කිවහොත්, ‘චරිත නිරූපණයේ අව්‍යාජත්වය’ යන්න තුළ ඇති ‘අව්‍යාජත්වය’ වටහා ගැනීම, සාහසික වන තරමට, පුද්ගලබද්ධ ද වෙයි. මේ නිසා, ඕනෑම පොතක් තෝරා ගැනීමේ දී එය විවේචනයට හසු වීමට ඇති ඉඩකඩ, එසේ නොවීමට ඇති ඉඩකඩට වඩා ඉහළයි.

මේ සියල්ල කීවේ ‘සාධාරණ විවේචන’ ගැන සිතාගෙන ය. එහෙත් අසාධාරණ සහ පදනම් විරහිත විවේචන කියා දෙයක් ද තිබේ. අපේ සාහිත්‍ය මාසයේ දී බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ දෙවැනුව කී විවේචන විශේෂයයි. ඒවායේ තිබෙන්නේම පුද්ගල කෝන්තර සහ පිටකසා ගැනීම් ය. තව පැත්තක, තමන්ට නොලැබෙන දෙයක් අනුන්ට ලැබීම ඉවසා සිටීමට තරම් පුරුද්දක් නැති කමත් තිබේ. තමන්ගේ පොත නොතේරේ නම්, එයම සමස්ත විනිශ්චයම සදොස් සේ දැකීමට හේතුවක් කර ගැනේ. ගාර්සියා මාර්කේස් ගේ ‘කොලරා කාලේ ආලේ’ කෘතියේ තැනක එන, කවි තරගයෙන් පරාජයට පත්වූවන් දෙන්නෙකු එම ශෝකයම පෙරදැරිව එකට හඩාවැළපී අවසානයේ ලිංගික සංසර්ගයෙන් එක්වීම තුළ අර ශෝකය දියකර හරින සිද්ධියක් තිබේ. එවැනි සුන්දර අන්‍යොන්‍ය වන්දියක් අපට නැති නිසා, අප යොමු වන්නේම හඩා වැළපීමෙන් නොනැවතී, අනිකාට වෛර කිරීමට සහ පහර ගැසීමටමයි.

ඒ හැරුණු කොට, කැලෑ පත්තර සම්ප‍්‍රදාය ‘විචාරය’ මැයෙන් එළිදැක්වීමත් මේ කාලයේ දී දක්නට ලැබේ. මෙවැනි පිරිස්වලට ‘ද්වේෂ සහගත විවේචනය’ විදග්ධ ‘විචාරයක්’ ද වන්නේය. මෙවැනි එක් ‘විචාරකයෙකුට’ අනුව, මෙවර හොඳම නවකතාව වශයෙන් සම්මාන උළෙල තුනක දීම තේරුණු ‘සෙංකොට්ටං’ කෘතිය ‘අපුල්ලන්නන්ගේ රමණයකට’ වැඩි දෙයක් නොවේ. මේ යෙදුමෙන් ධ්වනිත කෙරෙන කුල පීඩිතයා පරිභවයට ලක්කිරීම මොන තරම් සාහසික ද යත්, අදාළ ලේඛකයා තුළ ඇතැ යි සිතෙන අසාමාන්‍ය ලිංගික භීතිකාවේ සේයාව මොහොතකට පැත්තකින් තිබ්බත්, තමා මාක්ස්වාදියෙකු, මාවෝවාදියෙකු ඈ බොහෝ බරසාර පට්ටම් ගසාගැනීමේ ලෝලයකින් පෙළෙන පුද්ගලයෙකුගේ ඊනියා පංති හැඟීම මොන තරම් පුස්සක් දැ යි විදහාපාන්නක් ද වෙයි. සාහිත්‍ය විචාරයකට තබා, පොදු මිනිස් චර්යාවක් අරභයා ශිෂ්ට සම්පන්න සමාජයක නොගත යුතු තරමේ අමානුෂිකත්වයක් ද එම කියමන තුළ ගැබ්වන බැවිනි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චයේ සිටියෝ මෙවැනි ‘විචාරකයන්ට’ අනුව, දුදනෝ ය. ඔහුට අනුව, ඉන් එක් සමීක්ෂකයෙක්, යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දෙයක් සාහිත්‍ය ක්ෂේත‍්‍රය හරහා දිනා ගැනීමට මානබලන්නෙකි. තව සමීක්ෂයෙක්, ඉතිහාස මහාචාර්යවරයෙකි. තවත් කෙනෙක් කවියෙකි. තවත් කෙනෙක් ‘බැරල්වාදයක්’ කරපින්නා ගත් චිත‍්‍රකාරයෙකි. මේ කියන ‘විචාරකයාට’ අනුව, මේවා සාහිත්‍ය සමීක්ෂකයෙකු වීමට ඇති ‘නුසුදුසුකම්’ ය. සාහිත්‍ය සමීක්ෂකයන්ව වෙනම බෝ කරන කොරටු වර්ගයක් ලෝකයේ කොහේවත් නැත. ඒ නිසා සාහිත්‍ය ඇගැයීම් සඳහා සමීක්ෂකයන්ව තෝරා ගැනීමට වන්නේ, සාහිත්‍යකරුවන්, සාහිත්‍ය රසිකයන් සහ සාහිත්‍ය න්‍යායධරයන් අතුරිනි. සාහිත්‍යකරුවා සහ සාහිත්‍ය රසිකයා හෝ සාහිත්‍ය න්‍යායධරයා එක විට තවත් ඕනෑම පුද්ගලයෙකු විය හැකිය. අපේ රටේ ප‍්‍රවීණ සාහිත්‍ය විචාරකයන් අතර මහාධිකරණ විනිසුරුවරු සිටිති. දක්ෂ නවකතාකරුවන් අතර දන්ත වෛද්‍යවරු සිටිති. මහා රදළයෙකුගේ සාහිත්‍යය, කම්කරු පංති සමාජවාදයේ කැඩපතක් වශයෙන් වරක් ලෙනින් දැක්කේය. ඉතිං, කවදා හෝ දවසක පූර්ණ කාලීන සාහිත්‍ය විද්වතුන්ගේ පරම්පරාවක් ‘බෝ කරගන්නා’ තෙක් (පරමාදර්ශී කලා දේශයක) වෙනත් ක්ෂේත‍්‍රවලින් සාහිත්‍ය සඳහා බාහිර සේවාවන් ලබා ගැනීමට අපට සිදු වෙයි.

ඉහත සඳහන් පළමු චෝදනාව ඉලක්ක කොට තිබුණේ මට බව පෙනේ. තිස් අවුරුදු යුද්ධයේ හමුදාමය ජයග‍්‍රහණය, මගේ දෘෂ්ටිවාදය යුද පිටියකින් පරාජයට පත්කිරීමක් වශයෙන් ගැනීම මට මොන විදිහකින්වත් ලැජ්ජාවක් නොවේ. මන්ද යත්, යුද්ධයෙන් පසුවත් මට ‘මනුෂ්‍යයෙකු’ සේ සමාජයට මුහුණදිය හැකි බැවිනි. මා සිටියේ මිනිස් ඝාතනයට හෙවත් යුද්ධයට එරෙහිවයි. එහි යම් ලැජ්ජාවක් තිබේ නම්, ඒ වූ කලී, එම මිනිස් ඝාතනය වළක්වා ගැනීමට මට නොහැකි වීම ගැනයි. ඉතිං, එම කාරණය සහ සාහිත්‍ය සමික්ෂකයෙකු වීම අතර ඇති අදාළත්වය කුමක් ද? මේ අයුරින්ම, කවියා, ඉතිහාස මහාචාර්වරයා සහ ‘බැරල්’ චිත‍්‍රශිල්පියාට, එසේ වීම නිසාම, සාහිත්‍ය රසාස්වාදයකට සහ සාහිත්‍ය විනිශ්චයකට ඇති නුසුදුසුකම කවරේද? අපේ සාහිත්‍ය සංවාදයේ ‘විචාර’ වශයෙන් හුවා දැක්වෙන්නේ එවැනි මන්ද බුද්ධික විකාරයන් ය.

සාහිත්‍ය කලා සමීක්ෂණ වූ කලී, එක්තරා ආකාරයක ‘පිරිසුදු’ ශීලයක් ආරක්ෂා කළ යුතු අභ්‍යාසයකියි ගන්නා තව මිථ්‍යාවක් ද මේ දිනවල සංසරණය වෙයි. එම බොල් අදහසට අනුව, මෙවර ස්වර්ණ පුස්තක විනිශ්චය සඳහා තෝරාගෙන ඇත්තන්, ‘දෘෂ්ටිවාදීන්’ පිරිසක් යැයි කියති. මෙම අදහස මතු කරන පුද්ගලයන්, එකී යෙදුම පාවිච්චි කරන්නේ, මාක්ස්වාදී සාහිත්‍යයේ ‘දෘෂ්ටිවාදය’ යන වචනයෙන් පැනෙන සම්භාව්‍ය අර්ථයෙන් නොව, ඊට වඩා ඉතා ප‍්‍රාථමික අර්ථයකිනි. ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපාගෙන් එක් පුවත්පතක සාහිත්‍ය පිටු සම්පාදකයෙක් මෙවැනි ප‍්‍රශ්නයක් අසයි:

‘‘මේ විනිශ්චය මණ්ඩලයේ දෙවැනි හා තුන්වැනි මණ්ඩල සැළකූ විට ඔවුන් අතර තීරණාත්මක බහුතරය දෘෂ්ටිවාදීන් බව ප‍්‍රකට කරුණක්. සාහිත්‍ය කෘති විනිශ්චයට දේශපාලන ක‍්‍රියාධරයන් පත්වූ විට ඔවුන් කෘතිවල සොයන්නේ සාහිත රස නොව, මතවාදයනුයි’’

‘දෘෂ්ටිවාදියා’ සහ ‘දේශපාලන ක‍්‍රියාධරයා’ යන යෙදුම් දෙක මේ මාධ්‍යකරුවාට අනුව, පර්යාය අර්ථයන් වන බව මෙයින් පෙනේ. එපමණක් නොව, මෙකී මණ්ඩලවල සාමාජිකත්වය ගැන සඳහන් කරන සන්දර්භය තුළ, එය පවා, විකල්ප දේශපාලන මත දරණ සහ ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් යන්නට ලඝු කෙරේ. එවැනි ‘එක්තරා’ දේශපාලනයක් කරන අයවළුන් පමණක් ‘දෘෂ්ටිවාදින්’ බවට පත්කිරීම, ලේඛකයාගේ න්‍යායික අනවබෝධය ප‍්‍රකට කරනවාට අමතරව, එක්තරා කෛරාටික පිළිවෙතක් ප‍්‍රදර්ශනය කිරීමක් ද වන්නේය. වැරදිලාවත්, දේශපාලනික වචනයක් ප‍්‍රසිද්ධියේ කටින් පිට නොකරන, ‘පතෝලයන්’ පමණක්ම, මේ අර්ථය තුළ, සාහිත්‍ය සමීක්ෂකයන් වශයෙන් සුදුසුකම් ලැබිය යුතුය. මේ අනුව, නූතන සමස්ත සාහිත්‍ය විචාරාත්මක ඥාන පද්ධතියම කුණු කූඩයට දැමිය යුතුව තිබේ. හේතුව, එහි කිසි තැනක, ‘දෘෂ්ටිවාදීන්’ නොවන විචාරකයන් හෝ විචාරයක් බෙහෙතකටවත් සොයා ගැනීමට නැති බැවිනි.

සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කරන මගේ මිතුරෙක්, මට ඇති හිතෛශී භාවය නිසාම, මේ සමීක්ෂණ මණඩලයෙන් මා ඉවත් විය යුතු බවට පෙරැුත්ත කොට එස්.එම්.එස්. පණිවිඩ ගණනාවක් එව්වේය. ඒවා දළ වශයෙන් මෙසේය:

‘‘පාදඩ ධනවාදයේ කොටසක් වන අවර ගණයේ ස්වර්ණ පුස්තක තේරීම් ක‍්‍රියාවලිය තුළ ඔබ වාඩි වන්නේ කෙසේ ද?’’
‘‘ආණ්ඩුව විවේචනය කරන්නෙකු වශයෙන් ඔබ සිංහල නවකතාවේ ඉහළ ගුණය නසමින් සිටින පාදඩ පුස්තකයේ කොටස්කරුවෙකු වන්නේ කෙසේද?’’
‘‘දැන් ඔබ සේවය කරන්නේ පොත් කඩකාරයන්ටයි. ඔබේ හෘද සාක්ෂිය කෝ?’’
‘‘සිංහල නවකතාවේ පරිහානියට ඔබ වගකිව යුතුයි. මන්ද යත්, ඔබ කාමකතා, නවකතා වශයෙන් ඔසවා තබන බැවිනි.’’
(පුද්ගල නම් සඳහන් වන බැවින් ඉතිරි එස්.එම්.එස්. පණිවිඩ දෙක මෙහි සඳහන් නොකරමි).

‘පාදඩ ධනවාදය’ ගැන (දේශපාලනය ගැන), මා ආණ්ඩු විවේචකයෙකු වීම ස්වර්ණ පුස්තකයේ සමීක්ෂකයෙකු වීමට ‘නුසුදුසුකමක්’ වීම ගැන (යන්නේ කොහේද මල්ලේ පොල් ගැන), පොත් කඩකාරයන්ට සේවය කිරීම ගැන (අප සේවය ‘නොකරන්නේ’ කාටද යන්න ගැන) සහ කාමකතා නවකතා වශයෙන් ඔසවා තැබීම ගැන (ලිංගික භීතිකාව ගැන) වෙනම රචනා අවශ්‍ය කෙරේ.

ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලිය තුළ පළමු පොත් 12 ප‍්‍රකාශයට පත්කෙරුණේ ජුනි 21 වැනි දා ය. එම වසරේ නවකතා 116 අතර ඔහුගේ නවකතාවක් තිබුණි. ඔහුගේ නවකතාව පළමු නවකතා 12 අතරට ගැනුනේ නැත. තේරීම් කි‍්‍රයාවලිය ආරම්භයේ සිට, ඔහුගේ නවකතාව ඉවත් කෙරුණු මේ කියන දිනය දක්වා, මිතුරෙකු වශයෙන් එහි ඇති ‘පාදඩ‘ කම මට පෙන්වා දී මාව එයින් ඉවත් කර ගැනීමට ඔහු වෙහෙස නොගත්තේ මන්දැ යි මට ප‍්‍රශ්නයකි. ඊළඟට, ස්වර්ණ පුස්තකය ‘පාදඩ‘ පුස්තකයකැ යි ඔහු සැබවින්ම සිතන්නේ නම්, එම සම්මාන ක‍්‍රියාවලියෙන් මුල සිටම තමන්ගේ නවකතාව ඉවත් කර ගැනීමට (‘පාදඩ‘ හේතුව යටතේම නොවුණත්, කැත්ලීන් ජයවර්ධන කරන්නාක් මෙන්) ඔහු පියවර නොගත්තේ ඇයි?

විවේචනය, විචාරය, ගුණදොස් දැක්වීමාදී සියලූ දේවල් පටු පුද්ගලත්වයක් තුළ ලඝු වන සැටි මේ නිදසුන්වලින් මනාව පෙන්නුම් කෙරේ. මීට අමතරව, අර්ධ බොරු ද ඇතැම් පුවත්පත් මගින් වපුරනු ලැබේ. ඊළඟට ඒ අර්ධ බොරුව මත මහා සංවාදයක් ගොඩනැගේ. මෙම ස්වර්ණ පුස්තක විනිශ්චය ක‍්‍රියාවලියේ දී, මාත්, හර්ෂන රඹුක්වැල්ලත් කීවා යැයි කියන ප‍්‍රකාශයක් ඊට එක් උදාහරණයකි. යම් නවකතාවක් පිටුවක් දෙකක් පමණක් කියවා විනිශ්චයකට එළැඹිය හැකි බව අප කීවේ ලූ. විනිශ්චය මණ්ඩල තුනම එකට රැුස්වූ මුල් අවස්ථාවක යමෙකු මේ අදහස ඉදිරිපත් කළ බවක් මට මතකයි. ඒ මා නොවේ. එහෙත්, එම අදහස සමග මගේ කොන්දේසි සහිත එකඟතාවක් තිබේ. එය, මේ පුවත්පත්කරුවන් පාඨකයාට දීමට අපේක්ෂා කරන සරළ අර්ථයෙන් නොවේ. ඉතා දුර්වල නවකතාවක්, පිටු කිහිපයක් කියවා අවබෝධ කර ගැනීමේ හැකියාවක්, තියුණු පාඨකයෙකුට ඇති බව එවැනි පාඨකයෝ දනිති. එහි දී මුළු නවකතාවම කියැවිය යුතු නැත. අනිත් අතට, බරසාර නවකතාවක ගැඹුර ස්පර්ශ කිරීම, එහි විශාල පදාසයක් කියැවීමකින් මෙහා කළ නොහැකි බවත්, විචාරශීලී පාඨකයා දනියි. ඉහතින්, මා හෝ වෙනත් කෙනෙකු කළා යැයි කියන ප‍්‍රකාශය වටහාගත යුත්තේ, මේ අන්ත දෙක අතර තුලනයක පිහිටා සිටිමිනි.

කෙසේ වෙතත්, මේ සියලූ කරුණු දැක්වීම්, ස්වර්ණ පුස්තක සම්මානයේ සාරාර්ථ විශිෂ්ඨත්වයක් වෙනුවෙන් පෙනී සිටීමක් නොවන බව කිව යුතුය. එහෙත් එය, වෙනත් සම්මාන ක‍්‍රියාවලීන්ගෙන් (විද්‍යෝදය, ගොඩගේ සහ රාජ්‍ය) වෙන් කොට, විශේෂ පහත්කමකින් හෝ ගර්හාවකින් (පාදඩ) යුතුව සැළකිය යුතු ද නැත. සෑම සම්මාන ක‍්‍රියාවලියකම අඩුපාඩුකම් තිබේ. එය ස්වර්ණ පුස්තක සම්මානයටත් පොදුයි. ඒ තරමට ඒවා විවේචනයට ලක්කිරීම වැරදි නැත. ඒ හැරුණු කොට, ස්වර්ණ පුස්තක සම්මාන සංවිධායකයන් හෝ පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය හෝ ඒවාට අදාළ කිසි සාමාජිකයෙකු විසින් මොනම අවස්ථාවකවත්, මේ විනිශ්චය ක‍්‍රියාවලිය කෙරෙහි මොනම මැදිහත් වීමක් හෝ බලපෑමක්වත් නොකළ බව ඉඳුරා කිව යුතුය. ඇත්තෙන්ම, තෝරා ගත් නවකතා ගැන ප‍්‍රශ්න කළ යුත්තේ, මා සිතන පරිදි, වෙනත් තලයකයි. එනම්, සාහිත්‍යමය කියැවීමක් තුළයි.

නොසිදුවිය යුතු සිදුවීම් දෙකක් මේ ක‍්‍රියාවලිය තුළ සිදුවුණි. එකක් වුණේ, පළමු විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් තමන්ගේ තේරීම් සහ එම මණ්ඩලය තුළ කටයුතු කළ ආකාරය අරභයා ‘රාවය’ පුවත්පතට ලිපියක් ලිවීමයි. සම්පූර්ණ ක‍්‍රියාවලිය අවසන් වන තෙක් එවැනි පෞද්ගලික අදහස් දැක්වීමක් ඔහු විසින් නොකළ යුතුව තිබුණි. දෙවැනි සිදුවීම වන්නේ, දෙවැනි මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු තමාගේ හොඳම නවකතාව මේ යැයි ‘සිළුමිණ’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡුාවක දී රටට දන්වා සිටීමයි. එය ද කෙරුණේ, සමස්ත තේරීම් ක‍්‍රියාවලිය අවසන් වීමට කලිනි. ඊට අමතරව, එම දෙවැනි මණ්ඩලයේ වගකීම වුණේ, තමන් කැමති ‘හොඳම නවකතාව’ තේරීම නොව, නවකතා පහක් තේරීම බව කෙනෙකු අමතක නොකළ යුතුය. එක පොතක් තේරීමේ වගකීම පැවරෙන්නේ, අවසාන විනිශ්චය මණ්ඩලයටයි. එසේ තිබියදී, එම අවසාන විනිශ්චය ප‍්‍රකාශයට පත්වීමට කලින් දෙවැනි මණ්ඩලයේ එකී සාමාජිකයා හොඳම නවකතාව වශයෙන් එක පොතක් ප‍්‍රසිද්ධියේ හුවා දැක්වීම සුදුසු නැත. කෙසේ වෙතත්, මෙය මා සළකන්නේ, වැරදි ප‍්‍රශ්නයකට අව්‍යාජ පිළිතුරක් දීමට හදිසි වීමෙන් සිදු වූ ප‍්‍රමාද දෝෂයක් වශයෙන් මිස, මෙම ක‍්‍රියාවලියට යම් හානියක් කිරීමේ අරමුණකින් කළ ප‍්‍රකාශයක් වශයෙන් නොවේ. දැන් අවශ්‍ය කරන්නේ, ඉදිරියේ දී එවැනි තත්වයක් ඇති නොවීමට ගත යුතු පාඩම් උගෙනීමයි.

අවසාන වශයෙන්, වැදගත්ම කාරණය වන සාහිත්‍යමය කියැවීම දෙසට යොමු වෙමු. අපේ සාහිත්‍ය ප‍්‍රවර්ධනයට උපයෝගී විය හැක්කේ එවැන්නකි. නැවතත් මෙය, ‘කියැවීමේ පුද්ගලබද්ධතාවක්’ භජනය කරන බව දත යුතුය. මගේ කියැවීම ‘නිවැරදි’ නොවිය හැකිය. එසේම, වෙනකෙකුගේ කියැවීමත් ‘නිවැරදි’ නොවිය හැකිය. එහෙත් ඒ සෑම ‘කියැවීමක්ම’ අප කවුරුත් කියැවිය යුතුය.

අවසාන මණ්ඩලය වශයෙන් නවකතා සමීක්ෂණයට භාජනය කෙළේ දළ නිර්ණායක පද්ධතියක් මාර්ගෝපදේශයට තබාගෙනයි. සිතියමක් අතේ තිබුණු පමණින් කෙනෙකුට නිවැරදි ගමනාන්තයට ළඟා විය නොහැක. සිතියම නිවැරදිව කියවා ගැනීමේ හැකියාවක් ද තිබිය යුතුය. සාහිත්‍ය නිර්ණායක සම්බන්ධයෙන් ගත් විට, ‘නිවැරදිව’ කියවා ගැනීම යනු සාපේක්ෂ අරුතක් ගන්නා අභ්‍යාසයක් බව අපි දනිමු. මාර්ගයක ගමනාන්තයක් පිළිබඳ නිශ්චිත වූත්, ඒකාන්ත වූත් ස්ථානයක් තිබෙන නිසා, මාර්ග සිතියම නිවැරදිව කියවාගෙන ඇත් ද නැද්ද යන්න, ගමනාවසානයේ දී ඔප්පු කරගත හැක. එහෙත්, සාහිත්‍ය විනිශ්චයක් තුළ එවැනි ‘ඔප්පු කිරීමක්’ ගැන නිශ්චිත භාවයක් නැති නිසා, එක ‘කියැවීමකට‘ වඩා තවත් කියැවීමක් ‘නිවැරදි’ වෙනවාට වඩා ‘යෝග්‍ය’ වන්නේ යැයි කීම සාධාරණ යැයි සිතේ. මගේ කියැවීම භාරගැනීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම කළ යුත්තේ එකී කරුණු හිතේ තබාගෙනයි.

අවසාන වටයට තේරී තිබුණු නවකතා පහ මෙසේය: අත අත නෑර (සුමිත‍්‍රා රාහුබද්ද), සෙංකොට්ටං (මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල), කාල සර්ප (කීර්ති වැලිසරගේ), කන්දේ වීදිය (කපිල කුමාර කාලිංග), තැප්පා සේම ගිනි (සමරවීර විජයසිංහ).

*ඉතිරි කොටස ලබන සතියේ

 

Back to Home page