25 April, 2024

Blog

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු – 2 කොටස

ගාමිණී වියන්ගොඩ –

ගාමිණී වියන්ගොඩ

පසුගිය සතියට සබැඳේ

ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි. අප පස් දෙනාම ඒකමතික තීරණයකට එළැඹි එකම නවකතාව වුණේ ‘තැප්පා සේම ගිනි’ ය. පස් දෙනාගේම මතයේ හැටියට එය වැටුණේ පස්වැනි ස්ථානයටයි.

‘තැප්පා සේම ගිනි’ නවකතාවේ ඇති බරපතලම දුර්වලතාව වන්නේ අන්තර්ගතයට නොගැළපෙන ආකෘතියක් යොදාගෙන තිබීම යැයි මට සිතෙයි. ලොකු අයියාගේ මරණය ගැන කීමෙන් පටන් ගැනීම, ආකෘතිමය වශයෙන් සාර්ථක විය හැක්කේ, මැරෙන්නේ කෙසේදැ යි අසන ප‍්‍රශ්නයට අපූර්ව පිළිතුරක් එම ප‍්‍රබන්ධය තුළ ගොනු වේ නම් පමණි. නොඑසේව, එම මරණය සිදුවීම අපූර්වත්වයක් නැති පාරක් දිගේ එක දිගටම යාම පාඨකයාව වෙහෙසට පත්කරයි. ඇත්ත, ඒ මාර්ගය නවකතාකරුවා තෝරාගෙන ඇත්තේ, වෙනත් දේශපාලනික කියැවීමක් සඳහා බව පෙනේ. ප‍්‍රශ්නය තිබෙන්නේ, ඒ දේශපාලන ආඛ්‍යානය කාලයක් තිස්සේ සිංහල නවකතාව හැඩිකොට ඇති නිසා පාඨකයාට අළුත් යමක් එයින් ගැනීමට නොතිබීමයි. ලෙනින්වාදය, මා ඕවාදය, ට්‍රොට්ස්කිවාදය වැනි අප බොහෝ විට අසා ඇති විස්තරකථනත්, ඒවායේ සෙවනැල්ල ඔස්සේ නවකතාවේ ගමන්මග මෙහෙයවීමත් වාර්තාමය ස්වරූපයක් ගන්නා බව පෙනේ. එහි දී ‘දේශපාලනික නිරවද්‍යතාවයේ’ රැුඳීමට නවකතාකරුවා විශේෂ උත්සාහයක් ගනී. එය නවකතාවේ අව්‍යාජත්වයට යෝග්‍ය නැත. මීට කලකට පෙර ජනතාවාදී කලාව තුළ බෙහෙවින් යොදාගැනුණු මේ ක‍්‍රමය අද යල්පැන ගොසිනි.

‘කන්දේ වීදිය’ වූ කලී, ඉතිහාස කතාවක් නවකතාවක් කිරීමට ගත් අසාර්ථක උත්සාහයක් වශයෙන් හැඳින්විය හැකිය. උඩරට සහ පහත රට භේදය පිළිබඳ සමාජමය නිරීක්ෂණයක් මේ නවකතාව පසුපසින් අපට හමු වෙයි. එහි දී, ප‍්‍රධාන චරිතයේ පුද්ගල භාවය කෙරෙහි කතුවරයා තුළ පවතින අතිශය ප‍්‍රසාදය නිසා එම නිරීක්ෂණය නවකතාව පුරා ප‍්‍රකාශයට පත්වන්නේ ව්‍යාජ ආකාරයකිනි. මේ නවකතාව ‘සුදු-සුදු නවකතාවක් වශයෙන් මිස කළු-සුදු නවකතාවක් වශයෙන්වත් ගිනිය නොහැක්කේ එබැවිනි. කිසි කළු චරිතයක් නවකතාව තුළ අපට හමු නොවේ. ඉතා අදමිටු යැයි කතුවරයාම කියන එක චරිතයක් පවා නවකතාව තුළ ලියැවෙන්නේ ‘සුදු’ චරිතයක ආකාරයෙනි. නවකතාවක විශේෂයෙන් ඉස්මතු විය යුතු චරිත, සිදුවීම් සහ අවස්ථා කවරේදැ යි නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවාට නිසි අයුරින් සැළකීමට කතුවරයා අසමත්ව ඇති බවක් ද පෙනී යයි. විශාල වැදගත්කමකින් යුක්ත විය හැකිව තිබිණැ යි සිතිය හැකි අවස්ථා, එක වාක්‍යයකින් හෝ දෙකකින් අවසන් කිරීමට කතුවරයා පෙළඹී ඇති ආකාරයක් විටෙක පෙනෙන්ට තිබේ.

මේ නවකතාව කියවා අවසන් කිරීමෙන් පසු, ආපසු හිතන්නට යමක් පාඨකයා තුළ ඉතිරි නොකිරීම, ඇත්තෙන්ම කතුවරයා තෝරාගෙන ඇති මෙකී සුවිශේෂ නිමිත්තට ද කර ඇති අසාධාරණයක් බව කිව යුතුය. උඩරට-පහත රට භේදය, ලංකාවේ කුල ක‍්‍රමය තරමටම නොවෙතත්, විශේෂයෙන් යටත්විජිත සමය තුළ අපේ සමාජ සංවර්ධනයේ ඓතිහාසික සහ දේශපාලනික වැදගත්කමක් උසුළන ප‍්‍රපංචයකි. එහෙත් එය, එහි අදාළ බරසාරතාවයෙන් යුතුව මේ නවකතාවේ දී ප‍්‍රතිනිර්මාණය කෙරී ඇතැ යි සිතිය නොහැක. ඒ නිසා, නවකතාව කියවා අවසන් කළ පසු, පාඨකයා හුදෙක් තවත් එක් කතාවක් කියවා අවසන් කළ තත්වයකින් එහාට නොයයි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත් කීර්ති වැලිසරගේ ‘කාල සර්ප’ මගේ ‘කියැවීමේ’ හැටියට, ‘සාමාන්‍ය’ මට්ටමේ නවකතාවකි. එය කියවා අවසන් වූ පසු යම් කම්පනයක්/අහ්ලාදයක්/ගැස්මක් ඇති නොවුණි. බොහෝ විට සමස්ත නවකතාව තුළ තිබිය යුතු සමානුපාතිකත්වය අහෝසි වී තිබීම ඊට එක් හේතුවක් වශයෙන් මට පෙනේ. මේ ව්‍යුහාත්මක අසමබරතාව විසින් නවකතාවේ සංගතිය බිඳ දමා තිබේ. ඒ නිසා, ආකෘතිකමය වශයෙන් ගත් විට, මෙය කෙටි නවකතා දෙකක් එක පොතක මුද්‍රණය කළ අවස්ථාවක් යැයි මට හැඟුණි.

ගමක් නූතනත්වයට හසු වීමේ දී සිදුවන විපර්යාසය මෙහි නිරූපණය කෙරෙන්නේ අපට බෙහෙවින් හුරුපුරුදු ගතානුගතික සිද්ධි දාමයක් ආශ‍්‍රයෙනි. ඒවා අප ගම්පෙරලියේ පටන් කියවා ඇත. එහෙත් ගම්පෙරලියේ දී හමු වූ එක්තරා ආකාරයක ‘නිරුත්සාහය’ මේ නවකතාවේ දක්නට නැත. ඊට හේතුව වශයෙන් මට පෙනෙන්නේ, කතුවරයා විසින් තමාගේ අභිමතය හෙළිවන ආකාරයෙන් චරිත මෙහෙයවීමට අතපොවා තිබීමයි. එනිසා, කතාවක් කියවාගෙන යාමට අමතර විශේෂ රසයක් එයින් ජනනය කෙරෙන්නේ අල්ප වශයෙනි. ඊටත් වඩා, ධනපති ක‍්‍රමයේ ප‍්‍රාදුර්භූත වීම නිරූපණය කිරීම සඳහා යොදාගන්නා සුලභ උපක‍්‍රම තුළින් (තනිකඩ ගැහැනියගේ පවුලේ ඉඩකඩම් අභාවයට යාම සහ රබර් වගාව එළැඹීම ආදිය) ධනවාදයේ සම්ප‍්‍රාප්තිය නිරූපණයේ නිර්මාණාත්මක අපූර්වත්වය ගොඩනැගෙන්නේ නැත.

එසේ වෙතත්, ඇතැම් චරිත නිර්මාණය අතින් ගත් කල, විශේෂයෙන් ගෙදරට නාකි වන ගැහැනියගේ චරිතයත්, සරසවි ශිෂ්‍යාගේ චරිතයත් නිර්මාණයේ දී මේ නවකතාකරුගේ ප‍්‍රතිභාව පෙන්නුම් කරයි. විශේෂයෙන් ගැහැනියගේ චරිතය ඇතැම් විට ඉතා සියුම් ආකාරයකින් සංඥාකාරක වන්නේය. පවුල් සංස්ථාව ගැනත්, ඊට සහසම්බන්ධීව ගැහැනිය ගැනත් විවිධ මානයන්ගෙන් විපරම් කර බැලීමට ඒ හරහා පාඨකයාව පොළඹවයි. අනිත් අතට, පුද්ගල සමාජ ප‍්‍රගමනය පිළිබඳ තරගයේ දී විශ්ව විද්‍යාල තරුණයා තමා පිළිබඳ ව්‍යාජ චිත‍්‍රයක් ලෝකයාට ප‍්‍රක්ෂේපණය කිරීමට ගන්නා ප‍්‍රයත්නය නව්‍යතාවකින් යුක්ත බවක් හැඟී යයි. ඒ මගින්, අපේ නූතන අධ්‍යාපන ක‍්‍රමය තුළ පුද්ගල විලෝපනය සිදුවන සැටි එක්තරා වෙනස් මානයකින් නිරූපණය කෙරේ.

මා සිතන පරිදි මේ නවකතාවේ ශක්තිමත්ම අංගය වන්නේ අපූරු භාෂාවයි. අවසාන වටයට තේරුණු වෙන කිසි නවකතාවකට වඩා විශිෂ්ඨ භාෂා භාවිතයක් මේ නවකතාවෙන් සිංහල පාඨකයාට මුණගැසේ.

අවසාන වශයෙන්, හැඟීම්බර අවසානයකට අපමණ කාරණා තිබියදීත්, එම අන්තයට තල්ලූ නොවී නවකතාව එක්තරා ආකාරයකින් විවෘතව විසිරී යාමකට ඉඩහසර තබමින් අවසන් කිරීමට තරම් කතුවරයාට දිරියක් තිබීම, හුදෙක් නූතන ‘ශිල්පීය’ සම්ප‍්‍රදායක් ඔස්සේ යාමකට වඩා, ඔහුගේ ‘වැඩිහිටි භාවය’ පෙන්නුම් කරන්නක් යැයි හැෙඟ්.

මේ කාරණය ගැනම කතා කරන එක් විශ්ව විද්‍යාල ආචාර්යවරියක්, එය හඳුනාගෙන තිබුණේ නවකතාවේ දුර්වලතාවක් වශයෙනි. එය, නූතන සාහිත්‍ය ප‍්‍රවණතා පිළිබඳ ඇගේ සීමාව පෙන්නුම් කරන්නක් මිස, නවකතාවේ ප‍්‍රශ්නයක් නම් නොවේ.

මෙවර සම්මාන උළෙලවල් තුනකින් හොඳම නවකතාව වශයෙන් තෝරා ගැනුණු මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං’ මා සළකන්නේ ආධුනික නවකතාකරුවෙකුගේ පැසුණු සහ විශිෂ්ඨ ප‍්‍රයත්නයක් වශයෙනි. එසේ වෙතත්, නවකතාවක් වශයෙන් ගත් විට, මෙය රචනා කළ යුතුව තිබුණේ, ගම්පෙරළිය-කලියුගය-යුගාන්තය මෙන් දීර්ඝ නවකතාවක් වශයෙනි යි ආපසු හැරී බලන විට මට සිතුණි. ඒ තරමට, එහි විෂය පරාසය පුළුල් ය. එසේ නොවීම නිසා, කුලයට අමතරව නවකතාවේ ඉතා ප‍්‍රබල සංඥා පරාසයක් විය හැකිව තිබූ, ආගමික සංස්ථාකරණයේ ඓතිහාසික ප‍්‍රහසණය, එක්තරා දුරකට නාස්ති වී ගොස් තිබේ. අපූර්වත්වයක් තිබෙන වඩාත් ප‍්‍රබලම අනුභූතිය හෙවත්, කුලය සහ ලංකාවේ බෞද්ධ ආගමික සංස්ථාව අතර ඇති ඓතිහාසික සම්බන්ධයේ අනුභූතිය එය විය හැකිව තිබුණු බව මගේ විශ්වාසයයි. සමහර විට, දීර්ඝ සමාජ වෘත්තාන්තයක් හැකි තාක් කෙටියෙන් කියා ඉවරයක් කිරීමට තිබූ ඉස්පාසුවක් නැති කම නිසා එය මගහැරී ගොස් ඇතැ යි සිතේ. එය, වෙනත් අතකින්, නවකතාකරුවාගේ ආධුනිකත්වය සහ අනවශ්‍ය හදිසිය පෙන්වන්නකි.

එසේ වුව ද, සිද්ධි දාමය සහ චරිත නිර්මාණය හරහා කුල පීඩනය නිර්මාණාත්මකව ගෙතීමට කතුවරයා බෙහෙවින් සමත්ව ඇති බව කිව යුතුය. ආර්ථික පීඩනය තුළ ධනපති සමාජයක ආගම වෙත ඇති කෙරෙන ආකර්ශනය (ආගම අබිං), ඊට සමාන ආකාරයකින් කුල පීඩනය සහිත සමාජයකත් ක‍්‍රියා කරන ආකාරය දෙස කතුවරයා අපූර්වත්වයෙන් එබී බැලීම, සමාජය දෙස වෙනස් ආකාරයකින් බැලීමට නවකතාකරුවා සතුව දියුණු දෘෂ්ටියක් ඇතැ යි කියාපාන්නකි. අනිත් අතට එහි මූලික වෙනසක් ද තිබේ: දැඩි කුල පීඩනය විසින් ඇතැම් ප‍්‍රජාවන් ආගමේ අධිකාරී ධූරාවලියෙන් (සියම් නිකායෙන්) පලවා හරිනු ලැබීම සහ වෙනත් කුල තුළ ගොනු කරනු ලැබීමේ (අඩු කුල නිකායන් සහ ‘විනයවර්ධන’ වැනි) ප‍්‍රවාදය අපගේ ජනප‍්‍රිය මතවාදයට පාදක වෙද්දී, එම කුල පීඩනයම අන්ත පීඩිතයාව ආගමේ ‘ප‍්‍රාථමික’ මූලයන් වෙත (බෝ ගස) පෞද්ගලික මට්ටමකින් සහ අසරණ මනුෂ්‍යයෙකු වශයෙන් ආකර්ශනය කැරැුවෙන ආකාරය, මේ නවකතාව තුළ මගේ සිත් ගත් සුවිශේෂයි. නවකතාවේ පියාගේ චරිතය එතරම් ප‍්‍රබල වන්නේ එබැවිනැ යි මට සිතේ.

ලංකාවේ නිකායවාදයෙන් කෙරුණේ, ප‍්‍රාථමික කෘෂිකාර්මික සමාජයේ ඇති කරන ලද ප‍්‍රතිරෝධයන් අඩංගු කර ගනිමින් බුදුන් වහන්සේගේ ධර්මයට එදිරිව බුදුන් වහන්සේගේ සාසනය ස්ථාපිත කර ගැනීමට දායක වීමයි. එය, සියම් නිකායෙන් කරන ලද පිලී පැනීම මත ‘පොදුවේ’ ගමන් කිරීමට අනිත් කුල එකඟත්වය ප‍්‍රකාශ කිරීමකි. සියම් නිකායට අමතර තවත් අන් කුල නිකායන් අපට හමුවන්නේ එබැවිනි. එහෙත් කළ යුතුව තිබුණේ, කුලය ප‍්‍රතික්ෂේප කරන බුදුරදුන්ගේ බුද්ධ සාසනයක් පිහිටුවීමයි. (ධර්මයක් ආයතනිකව ස්ථානගත වීමේ නෛසර්ගය අර්බුදය එතැන ඇති බව වෙනම කාරණයකි).

මෙහි දී, අනුරාධපුර වන්දනා ගමන, පොඩි එකාව පාසලෙන් පලවා හැරීම, බෝ පැළය ආදී සංඥාකාරකයන්, ගැමි සමාජය පිළිබඳ අපූරු කියැවීමකට පාඨකයාට අවකාශ සලසයි. ලෞකික සමාජ සංවිධානයේ නූතනත්වයෙන් (උදා – පාසලෙන්) පලවා හරින සමාජයක වෙසෙන ගිහි කුලහීනයා (දරුවාගේ සීයා) වන්දනාවේ යන්නේ ශ‍්‍රී මහා බෝධියටයි. ඉන් පසු, ඔහු තමන්ගේ වත්තේම පැළ කරගෙන වන්දනාමාන කරන්නේත් ඒ අනුරාධපුරයෙන් ගෙනා බෝ පැළයකටයි. මෙයින් කියැවෙන්නේ කුමක් ද? ලෞකික (පාසල) සමාජ සංවිධානයෙන් පමණක් නොව, පන්සල හෙවත් ආයතනගත සාසනයේ ලෝකෝත්තර භාවයෙන් ද පිළිසරණක් නොලබන කුලහීනයා, වෙනත් ආකාරයකින් ‘මූල බුදුන්’ සොයා යාමකි. කුලහීනයෙකු වීමට අමතරව මේ මිනිසා ‘නූගතෙකි.’ ඔහුගේ කෘෂිකාර්මික භෞතික පැවැත්ම විසින් තීන්දු කර දෙන ලෝක දැක්ම තුළ ඔහු ආගම යනුවෙන් ගන්නා එක්තරා ‘මූලයක්’ තිබේ. ඔහුගේ පීඩිත ලෝකය තුළ තවමත් දූෂ්‍ය වී නැති මූලය එයයි. එය තිබෙන්නේ ස්වභාව ධර්මයේ ය. එනම්, ගස්වැල්වල ය. මේ ගස (බෝ පැළය) ඔහුව මනුෂ්‍යයෙකු වශයෙන් ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත්, සමාජ සංවිධානයක නියෝජිතයෙකු වශයෙන් භෞතිකව ඔහුව ආරක්ෂා කිරීමට හැකියාවක් ද එම ගසට හෙවත් මූල=ධර්මයට නැත. (එහි ප‍්‍රතිඵලය, සිය පණ හානි කර ගැනීම?) එහෙත්, තමාගේ බුදුන්ට එය පිටුදුන් බව ඔහු දනී.

ප‍්‍රාථමික ධනපති සමාජ සංවිධානය සහ ඒ ප‍්‍රාථමික ධනපති ක‍්‍රමයේ ශ‍්‍රම විභජනය විසින් මතු කර දෙන ලද තිරශ්චීන සමාජ පිළිගැනීම් මත පදනම් වුණු ලංකාවේ නිකායවාදී බුද්ධ සාසනය එකට කඳවුරු බැඳ, මේ බෝ ගස මහා ආයතනයක් (පන්සලක්) බවට පත්කරමින් පීඩිතයා කුහුඹුවකු බවට පත්කරන දෘෂ්ඨාන්තයක් නොවේ ද, මෙය? අවසානයේ ඊළඟ පරම්පරාවේ කෙනෙකු සමග අර බෝ පැළය බලන්නට යන කොල්ලාට දකින්නට ලැබෙන්නේ, එතැන ගොඩනැගී ඇති මහ පන්සලේ වත්මන් හිමියන් තුළ එම පන්සලේ ඉතිහාසය ගැන ඇති අල්ප දැනුමයි. එය ව්‍යංගයෙන් කියාපාන්නේ, හුදෙක් පන්සලේ හෙවත් බෝ පැළයේ ඉතිහාසය එම හිමි නම නොදන්නා බව නොව, බුදුන් වහන්සේව නොදන්නා බවයි. මේ අවස්ථාවේ දී ඒ හිමි නම කියන මෙවැන්නක් නවකතාකරුවා අපට කියැවීමට සලස්වයි:

‘‘මං අතට ගනිද්දි මේක ඒ තරං දියණු නැහැ. ඒත් මට පුළුවන් වුණා මේක දියුණු කරලා මේ තත්වෙට ගන්න. දැන් අපි හැම පොසොන් එකටම මේකේ හරි ජයට පිංකං කරනවා. ඒ වගේම දහම් පාසලකුත් පවත්වාගෙන යනවා… බෝධි පූජා තියන්න බොහොම දුර බැහැර ඉඳලත් සෙනග එනවා. අපි ඇත්තු දෙන්නෙක් එක්කලා පෙරහැරක් තිව්වා ගිය පොසොන් මාසෙට. බස්නායක නිලමේ විදිහට කටයුතු කරන්නේ නාගොල්ලේ වලව්වේ සුදු අප්පෝ. සුදු අප්පොලයේ පවුල මේ පන්සල එක්ක බොහොම කිට්ටු සමීපතාවක් තියෙනවා. ඔය සුදු අප්පොලයේ ඥාති වෙන අප්පෝ කෙනෙක් මේ බෝධිය මහ පෙරහරකින් අනුරාධපුරේ ඉඳලා මෙහෙට වඩම්මලා තියෙන්නේ.’’

දැන් කියවන්න: පන්සලේ හාමුදුරුවන් මේ විස්තරය කරන්නේ, මෙම බෝ පැළය සිටුවන මොහොතේ එහි සිටි කොලූවාට ය. එම කොලූවා (අව)ජාතක කෙරුණේ තවත් නිලමේ කෙනෙකු විසිනි. ඒ නිලමේ සහ මේ කියන නිලමේ යනු එක් අයෙකුම ද යන්න පැහැදිළි නැතත්, අප දන්නා නිලමේ මේ කොලූවාගේ අම්මාව සංසර්ගයට පොළඹවා ගත් සහ පසුව ඇයව ඝාතනය කළ තැනැත්තා බව අපි දනිමු. අඩු කුලයේ අසරණත්වය පාවිච්චියට ගනිමින් ගැහැනියකට දරුවෙකු ජාතක කරවන උසස් කුල පිරිමියෙකු තමාගේ නිලමේ කම ආරක්ෂා කරගනු වස් එම ගැහැනියව ඝාතනය කරන අතර, ඔහුම හෝ තවත් එවැනිම නිලමේ කෙනෙකු එම ගැහැනියගේ පවුලේ ‘පෞද්ගලික ඇදහිල්ල’, මහා ආගමික ආයතනයක් බවට පත්කිරීමේ ඓතිහාසික කීර්තියට ද උරුමකම් කියයි. දැන්, ආයතනගත ආගම තිබෙන්නේ කා සමග ද? මිනිසා සමග ද නැත්නම් බලය සමග ද?

අර කියන ‘නිලමේ’ ගැන මේ නවකතාකරු විශේෂ වාර්තාවකට නොයාම, තවත් අගේ කළ යුතු කාරණයකි. මගේ මේ ‘කියැවීම’ ජනනය කරන්නේ නවකතාකරුවාගේ ඒ ‘නොලිවීම’ විසිනි. වෙනත් නවකතාකරුවෙකු සමහර විට ඒ මිනිහා ගැන කර්කශ විවේචනයකට යන්නට තිබුණි. (ඊට ඕනෑ තරම් හේතු කාරණා ද තිබේ) එසේ විණි නම්, පාඨකයෙකු වශයෙන් මගේ ‘කියැවීමක්’ අවශ්‍ය නොකරනු ඇත. මෙවැනි විවිධ කියැවීම්වලට මේ නවකතාව තුළ අවකාශ තිබීම, අනාගතයේ දී විශිෂ්ට ගණයේ නූතන සිංහල නවකතාකරුවන් බිහි වීමට ඉඩ ඇතැ යි යන්න ප‍්‍රබලව ඉඟි කරන්නකි.

මීට අමතරව, වෙනත් අදාළ කරුණු සමග, එම කෘතියේ එන ලිංගික පෙළ පිළිබඳව වෙනම ‘කියැවීමක්’ පසුව කළ යුතුව තිබේ. ‘රමණයම’ මේ නවකතාවේ අරටුව වශයෙන් දකින ලිංගික ව්‍යාධිගත විචාරකයන්ට එවැන්නක් මගින් මෙලෝ සෙතක් වෙතැ යි විශ්වාස කළ නොහැකි වෙතත්, මේ නවකතාවේ ඔය කියන අන්දමේ රමණය උත්කර්ෂයට නංවා ඇති බවක් නම් පෙනෙන්ට නැති බව කිව යුතුය. එහෙත්, ශාන්ති දිසානායකගේ ‘වාලූකා’ සහ මොහාන් රාජ් මඩවලගේ ‘මාගම් සෝලිය’ වැනි නවකතා ද පාදක කර ගනිමින් එවැනි සාකච්ඡුාවක් පසුව කළ හැකිය.

මගේ ප‍්‍රථම තේරීම වුණේ, සුමිත‍්‍රා රාහුබද්ධගේ ‘අත අත නෑර’ නවකතාවයි. මෙම නවකතාව බැලූ බැල්මට දෘෂ්ටාන්තයක් සේ පෙනේ. එහෙත්, දෘෂ්ටාන්තයක දක්නට ලැබෙන උපමේය පිළිබඳ පරිස්සම කතුවරිය තුළ දක්නට නොලැබෙන නිසා, (උපමාව සහ උපමේය විටෙක ගෙඩිය පිටින් ඉදිරිපත් කිරීම නිසා) දෘෂ්ටාන්තයක් පබැඳීම ඇගේ අභිප‍්‍රාය විණැ යි සිතිය නොහැකිය. එයින් මට කම් නැත. මා මෙම නවකතාව කියවන්නේ, කතුවරිය සිය නිර්මාණය තුළ ඉතිරි කොට ඇති විවිධාකාරයේ දොරටු විවෘත කරමින් සහ වසා දමමිනි. සියළු දොරටු වසා ඇති හෙවත්, කතුවරයා/වරිය විසින් පාඨකයාට හුස්ම ගැනීමට සහ ක‍්‍රීඩා කිරීමට අවකාශ නොසපයන ‘ආවෘත’ ප‍්‍රබන්ධවලට වඩා, මෙවැනි ප‍්‍රබන්ධයක ඇති විවෘත භාවය විසින් නූතන සක‍්‍රීය පාඨක අභ්‍යාසයකට ආරාධනා කෙරේ. ‘ලේඛනමය පඨිතයක්’ යම් ‘කියැවීමකට’ යටත් වන විට, මුලින්ම ඝාතනයට ලක්වන සාධකය කතුවරයාගේ අභිප‍්‍රායමයි. කතුවරයා මියගොස් ඇතැ යි යන්නෙන් අදහස් කෙරෙන එක අරුතක් එයයි. මේ නිසා, කතුවරිය අපේක්ෂා කෙළේ කුමක් ද යන්න මට මෙහි දී තීරණාත්මක නැත.

වර්තමානයේ පළවන බොහෝ සිංහල නවකතා තුළ දක්නට නැති අපූරු නිමිත්තක් මිට පාදක වී තිබීම, මෙහි මා දකින ප‍්‍රධාන විශේෂත්වයයි. එකම අනුභූතීන් එකම සන්දර්භයන් තුළ කියවා සිංහල පාඨකයා දැන් සිටින්නේ කෙඩෙත්තුවෙනි. ස්වතන්ත‍්‍ර නිර්මාණවලට වඩා පරිවර්තන කියැවීමේ රුචියක් දක්නට ලැබෙන්නේත් ඒ නිසා විය හැකිය. එසේ තිබිය දී, මේ නවකතාවේ එන දෙබිඩි ජීවිත දෙක හරහා ඇය අපේ ඉතිහාසය, වර්තමානය පමණක් නොව අනාගතය ද ගෙනහැර දැක්වීමක් කෙරෙහි අවධානය යොමු කොට ඇති බවක් පෙනෙන්ට තිබේ.

මේ ‘දෙබිඩි භාවය’ ගැන කතුවරිය අමුනන සමකාලීන වැදගත්මේ සෙවනැල්ල තුළ, මගේ අවධානය යොමු වන්නේ ඒ මගින් පැනෙන යටි පෙළ කෙරෙහි ය. මේ දෙබිඩි බව තුළ පඨිතය පුරා ඉස්මතු වන, සියවස් ගණනාවක් දිග්ගැස්සී එන, එහෙත් මේ දක්වා විසඳී නොපවතින, පුද්ගලයා සහ සාමූහිකය පිළිබඳ අනාදිමත් විවාදය එහි දී අපට දැකගත හැකිය. දෙබිඩි දැරියන් තනි පුද්ගලයන් වශයෙන් ජීවත් වීමට දක්වන ආශාව, ධනපති ක‍්‍රමය තුළ ගැනෙන ප‍්‍රධාන සාධකය වන, එසේම, දර්ශනවාදය තුළ එක දිගට සාකච්ඡුා කෙරී ඇති පුද්ගල භාවය පිළිබඳ ගැටළුව වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමකි. ධනපති ක‍්‍රමය තුළ ‘පුද්ගලයාගේ’ ස්වීයත්වය, පොදු භාවයට පරස්පරව ඉස්මතු කෙරෙන බව අපි දනිමු. මනුෂ්‍යයන් ඉදිරියේ ඒ ‘පොදු භාවය’ සාර්ථක හෝ අසාර්ථක වන අවස්ථා මෙන්ම (පවුල), විශේෂයෙන් දේශපාලනික වශයෙන් සාර්ථක හෝ අසාර්ථක වන අවස්ථා ද ඉතිහාසයේ අඩු වශයෙන් එක වරක්වත් අප දැක තිබේ. නූනත දේශපාලනික ඉතිහාසය තුළ, අවුරුදු 70 ක් ආයු වැළª සමාජවාදයේ අභාවය ඊට එක් උදාහරණයකි. පුද්ගලයා වෙනුවට සාමූහිකය ඉලක්ක කරගත් දේශපාලන ප‍්‍රපංචයක අත්හදා බැලීම අවසන් වුණේ, අසාර්ථකත්වයකිනි. ඒ වෙනුවට, පුද්ගල භාවයට මුල් තැන දෙන ධනපති ක‍්‍රමය විවිධ අර්බුද මැද සියවස් පහකටත් වැඩි කාලයක් තිස්සේ තවමත් නිරුපද්‍රිතව පවතී. මේ කාරණයම, යුරෝපා ආගමික ඉතිහාසය තුළ ‘රෙපරමාදු’ නමින් හැඳින්වෙන රැුඩිකල් ප‍්‍රතිසංස්කරණ යුගයක් වශයෙන් ඉස්මතු වුණි. ශාස්ත‍්‍රීයවාදය සහ කාතේසියානුවාදය යන ගුරු කුල තුළ දර්ශනවාදයේ සාකච්ඡුා කෙරුණේ ද ඒ කාරණයමයි. මේ නවකතාව තුළ පැනෙන දෙබිඩි බව (පුද්ගල/සාමූහික) වාණිජ සංදර්ශන මගින් ඉදිරිපත් කිරීම වනාහී, එක්තරා ආකාරයකින්, පොදු භාවයේ ඛේදවාචකය, පුද්ගලයා ඉස්මත්තට ගැනෙන ධනපති වෙළඳපොළක තබා වෙන්දේසි කිරීමක් හෝ විකිණීමකැ යි සංඥාර්ථකරණය කෙරෙනු මෙහි දී අපට පෙනේ.

මනුෂ්‍යත්වය පිළිබඳ එක්තරා ආකාරයක තෙස්තමේන්තුවක් වශයෙන් මේ නවකතාවේ නිමිත්ත (දෙබිඩි දරුවන්) අප සළකතොත්, පුද්ගල භාවය කෙරෙහි මනුෂ්‍යා තුළ පවතින අභිලාෂය මොන තරම් දැ යි වටහාගත හැකිය. එහෙත් අනිත් පැත්තට, පොදු සමාජයක් තුළ පුද්ගල භාවය සම්බන්ධයෙන් පවතින සීමාකම් ද, එහි සියලූ සෙසු චරිත ඔස්සේ අප ඉදිරියේ නිරාවරණ කිරීමට කතුවරිය තැත් කරයි. බැලූ බැල්මට නොවැදගත් යැයි පෙනෙන මහාචාර්ය සහෝදරයාගේ සහ පවුලේ මහළු අම්මාගේ චරිත ද්වය එහි දී කැපී පෙනේ. පුතාගේ අන්ත පුද්ගලවාදී භාවය, පවුලේ පොදු භාවය තුළ කළමනාකරණය කර ගැනීමට එම මව දරණ අසාර්ථක ප‍්‍රයත්නය වඩාත් කුළුගැන්වෙන්නේ, අවසානයේ ඇති වූ ඛේදවාචකය තුළ ඇගේ (ආච්චි අම්මාගේ) ආකල්පය තුළ යාන්තමින් හෝ අපට දක්නට ලැබෙන වෙනස තුළයි.

වෙනත් බොහෝ සිංහල නවකතාවල දක්නට නොලැබෙන අන්දමේ අවකාශයක්, සංඥාකරණය වෙනුවෙන්, පඨිතය තුළ විවර කර දෙනු ලැබීම මේ නවකතාවේ මා දකින විශේෂත්වයකි. මූලික ප‍්‍රස්තුතයට අමතරව, ඒ හා බැඳුනු අවශේෂ චරිත, විශේෂයෙන් අවිවාහක සොහොරිය, ක‍්‍රිෂ්ණා, ආතම්මා සහ ඔත්තුකාරයා ආදීන්ගේ චරිත නිර්මාණය තුළ, සංඥාර්ථවත් කියැවීම්වලට ඉඩකඩ නොමදව තිබීම අපූරු ය. උදාහරණයක් වශයෙන්, අවසානයේ දී, ඔත්තුකාරයාව ඝාතනය කෙරෙන්නේ ‘පාර්ලිමේන්තු පාරේ’ දී වීම ඉතා ප‍්‍රබල ඉඟියකි. එය වඩාත් සරු වන්නේ, මේ නවකතාවේ කිසි තැනක ස්ථාන නාමයක් විශේෂ වශයෙන් පාඨකයාට ඉදිරිපත් නොකරන කතුවරිය, ඔත්තුකාරයාව ඝාතනය කරන ස්ථානය පමණක් නම් කිරීමට තීරණය කොට තිබීම නිසා ය.

මේ ඔත්තුකාරයා අප නාඳුනන්නෙකි. ඔහු කවුද, කොහේ සිට ආවේ දැ යි දන්නා කිසිවෙකු නැත. කොටින්ම ඔහු, අ-පුද්ගලිකයි. එහෙත් බලසම්පන්නයි. පවුලේ වැඩිමහලූ තරුණියව (දෙබිඩි දැරියන්ගේ මව) පමණක් නොව, ඇගේ අවිවාහක නැගෙණියවත් දැපනේ දමා ගැනීමෙන් නොනැවතී, දෙබිඩි දැරියකට ද වින කිරීමට තරම් ඔහු බලපුලූවන්කාර ය. අප වර්තමානයේ ‘රාජ්‍යය’ යනුවෙන් අදහස් කරන්නේ එවැනි සංස්ථාවක් නොවේ ද? ඉතිං, එවැන්නෙකු ඝාතනය කෙරෙන්නේ ‘පාර්ලිමේන්තු පාරේ දී’ වීම මොන තරම් සංඥාර්ථවත් ද?

නවකතාවක්, ආවෘත වී තිබෙන තරමට, පාඨකයා ඇද වැටෙන්නේ නිශ්ක‍්‍රීය භූමිකාවකටයි. සෙංකොට්ටං වලදී මෙන්ම මෙම කෘතිය පුරා ද තැනින් තැන ඇරුණු දොරවල්, ප‍්‍රවේශ මාර්ග සහ පිටවීම් මාර්ග වශයෙන් වන අවකාශ පාඨකයා ඉදිරියේ දිග හැරේ. ඒ එක එක දොරටුවලින් අවශ්‍ය නම් ඇතුළු වීමටත්, පිටවීමටත් අපට අවසර ඇත. ‘කියැවීමේ ක‍්‍රීඩාව’ වන්නේ එයමයි. යම් නවකතාකරුවෙකු, තමාගේ නිර්මාණය හැකිතාක් ආවරණය කොට පාඨකයාට පිළිගන්වන විට සිදුවන්නේ, පාඨකයා ‘ඔහේ කියවාගෙන’ යාම පමණි.

අනිත් කෘතිවලට වඩා, චරිත නිර්මාණය, සිද්ධි දාමය සහ ඒවායේ සහසම්බන්ධයත්, ව්‍යුහාත්මක සමබරතාවත් මේ නවකතාව තුළ දකින්නට ලැබීම එහි ඇති තවත් විශේෂත්වයකි. ලංකාවේ ඉතිහාස කතා මීට වඩා සංයුක්ත ආකාරයකින් පඨිතය සමග එලීමට කතුවරිය සමත් විණි නම්, නවකතාව වඩාත් ප‍්‍රබල දෘෂ්ඨාන්තයක් වන්නට තිබුණි. එහෙත් එහි දී කතුවරිය පෙන්වන සාර්ථකත්වය බෙහෙවින් සීමිතයි. ඇතැම් විටෙක, එවැනි ඉතිහාස සාදෘෂ්‍යයන් බලහත්කාරයෙන් එල්ලීමට ප‍්‍රයත්නයක් ගෙන ඇති බවක් ද පෙනෙන්ට තිබේ.

මේ නවකතාවේ සමාව දීමට අසීරු ප‍්‍රධාන දුර්වලතාව වන්නේ පුනරුක්තියයි. එකම කරුණ නැවත නැවතත් කීම, සමහර පිටුවක එකම වාක්‍යය පවා, එක වචනයක් පමණක් වෙනස් කොට දෙවරක් ලිවීම, දැකිය හැකියි. ඇත්ත වශයෙන්ම, ‘සෙංකොට්ටං’ සහ ‘අත අත නෑර’ එකම වරදක් දෙයාකාරයකින් කරගෙන ඇති සෙයක් පෙනේ. වඩාත් පුළුල් විය යුතු සහ විස්තීරණ පරාසයක දිග හැරිය යුතු ‘සෙංකොට්ටං’ සංක්ෂිප්ත වී ඇති අතර, මීට වඩා සංක්ෂිප්ත විය යුතුව තිබුණු ‘අත අත නෑර’ දිග් ගැස්සී ඇත.

‘සෙංකොට්ටං’ සහ ‘අත අත නෑර’ තුළ ඉහත ඉදිරිපත් කළ ‘කියැවීමට’ අනුබද්ධ වන සහ වෙනස් වන තවත් ‘කියැවීම්’ ද තිබේ. එසේම, මේ නවකතා දෙක හැරුණු කොට, වෙනත් සාහිත්‍ය උත්සවවල අවසාන වට දක්වා පැමිණි සහ නොපැමිණි තවත් හොඳ නවකතා ද ඇතුවාට සැක නැත. සාහිත්‍ය මාසය අවසන් වූ පසුව කළ යුත්තේ, එවැනි පොත් ගැන සාහිත්‍ය කතිකා බිහි කර ගැනීමයි. සැප්තැම්බර් මාසය පමණක් සාහිත්‍යය සඳහා වෙන් කිරීම ගැන පොත් ප‍්‍රකාශකයන්ට දොස් කියනවා වෙනුවට, එම මාසය තුළ මතු කර ගත හැකි ඉහත කී පොතපත ගැන ඉදිරි මාසවල සංවාද ගොඩනැගීවේ වගකීම පැවරෙන්නේ සාහිත්‍ය ප‍්‍රජාවටයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    /සැප්තැම්බර් මාසය තුළ ඉස්මතු වන පොතපත ගැන සංවාද ගොඩනගන වගකීම පැවරෙන්නේ සාහිත්‍ය පාඨක ප‍්‍රජාවටයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.