17 June, 2021

Blog

බුද්ධිමය චෞරත්වය

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

දේශපාලඥයෝ මහ දවල් බොරු කියති. කලඑලියේ කෛරාටික වෙති. බුද්ධිමතුන් එසේ නොවිය යුතු යැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. මහාචාර්ය ජී. ඇල්. පීරිස් කෙරෙහි තරම් වන අපුලක් මර්වින් සිල්වා කෙරෙහි හුදී ජනයාට නොහැෙඟන්නේ එබැවිනි. මහාචාර්යවරු, ආචාර්යවරු ආදී ශාස්ත‍්‍රාලීය බුද්ධිමතුන් තමන් විශේෂඥ වෙතැයි විශ්වාස කරන විෂය පථයක් හරහා පෞද්ගලික න්‍යාය පත‍්‍ර පාරට්ටු කිරීමට තැත් කිරීම වඩාත් අශෝභන ය. වෛද්‍ය විශේෂඥයෙකු හෝ ඉංජිනේරුවෙකු, පෞද්ගලික දේශපාලනික න්‍යාය පත‍්‍රයක් මත පිහිටමින්, පවතින පාලන තන්ත‍්‍රයක් හෝ විපක්ෂයක් ගැන අදහස් උදහස් දැක්වීම හෝ විශ්ලේෂණය කිරීම, එම අදහස් උදහස් මොන තරම් සාවද්‍ය වෙතත්, ඔහුගේ විද්වත් විෂය පථයට විශේෂ හානියක් නොකරන්නේය. අනිත් අතට ඡුන්දදායකයා ද, වෙනත් විෂය පථයක විශේෂඥයෙකු දේශපාලන ක්ෂේත‍්‍රයේ විශ්ලේෂණ කරන විට, ඔවුන්ගේ කටවචන එයාකාරයෙන් භාරගන්ට පෙළෙඹෙන්නේ නැත. එහෙත් දේශපාලන විද්‍යාඥයෙකු යැයි සැළකෙන කෙනෙකු හෝ ත‍්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු යැයි කියාගන්නා කෙනෙකු, අර කී පෞද්ගලික න්‍යාය පත‍්‍රය තම දේශපාලන විශ්ලේෂණය සඳහා හෝ ත‍්‍රස්තවාදයේ දේශපාලනය පැහැදිළි කිරීම සඳහා යොදාගන්නා විට ඔහුගේ ආචාර්ය, මහාචාර්ය සුපිළිපන් භාවය ගැන සැකසාංකා පහළ වෙයි.

ත‍්‍රස්තවාදය පිළිබඳ ‘ජාත්‍යන්තර විශේෂඥයෙකු’ යැයි ලංකාවේ මාධ්‍ය හුවාදක්වන රොහාන් ගුණරත්න, මහින්ද රාජපක්ෂට වැරදුණු තැන දැන් සති කිහිපයකට පෙර පෙන්වා දී තිබුණි. ඔහුගේ කරුණු දැක්වීම කියවාගෙන යද්දී බුද්ධිමත් පාඨකයෙකු නිතැතින් අපේක්ෂා කරන කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ, මහින්ද රාජපක්ෂ පාලනය ගැන හෝ ත‍්‍රස්තවාදය ගැන අප මෙතෙක් සිතා නැති අළුත් අදහසක් ඔහුගෙන් දැන ගැනීමයි. දෙවැන්න වන්නේ, එසේ අළුතෙන් දැන ගන්නා ‘සත්‍යය’, ලෞකික දේශපාලන ඥානයක හෝ පොදු තර්කණයක සහාය සහිතව, තවදුරටත් සිතා බැලීමට තරම් වන අදහසක් විය යුතු බවට, බැලූ බැල්මට පෙනෙන්ට තිබීමයි.

එසේ තිබියදී, ‘ත‍්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ’ රොහාන් ගුණරත්න අපට පෙන්වා දෙන, මහින්ද රාජපක්ෂට වැරදුණු තැන, ඔහුගේ වචනවලින් මෙසේ ය: ‘‘මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කළ ලොකුම වැරැුද්ද වන්නේ, යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු, දෙමළ ජාතික සන්ධානයට ලංකාවේ දේශපාලනය කිරීමට ඉඩ දීමයි’’

මෙතැනින් පසු, ත‍්‍රස්තවාදය පිළිබඳ මේ ‘ජාත්‍යන්තර විශේෂඥයා’ සමග, ලංකාවේ දේශපාලනය ගැන හෝ ජාතික ප‍්‍රශ්නය ගැන හෝ ත‍්‍රස්තවාදය ගැන කතා කිරීමේ ඇති පුස්ස කෙනෙකුට ඉබේ වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම ඔහු කියන අර්ථයෙන් ගත් විට, ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් සහ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඔහුට වඩා නිපුණ ‘විශේෂඥයෙකු’ විය යුතුය.

තවත් දේශපාලන විද්‍යාඥයෙකු වන දයාන් ජයතිලක ඌව පළාත් සභා ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු එය විශ්ලේෂණය කොට තිබුණි. ඌවේ දී විපක්ෂය ලද සාපේක්ෂ සාර්ථකත්වය බොහෝ දෙනා නොසිතූ විරූවකි. මෙපමණ කලක් ජම්ම පුරුද්ද වුණේ, විපක්ෂයේ අන්ත පරාජයන් ගැන පශ්චාත්-මරණ පරීක්ෂණ පවත්වමින් රාජපක්ෂලා චිරාත් කාලයක් වැජඹෙනු ඇති බවට අපේක්ෂා දල්වා ගැනීමයි. උදාහරණයක් වශයෙන්, හරින් ප‍්‍රනාන්දු මනාප ඡන්ද 50,000 ක් ලබා ගතහොත් තමා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල කියා තිබුණි. දැන් එම සංඛ්‍යාව තුන් ගුණයකිනුත් අභිභවමින් මනාප ඡන්ද 173,993 ක් හරින් ප‍්‍රනාන්දු ලබා ඇති තත්වය තුළ මෙවැන්නෝ මබ්බෝද වෙති.

දයාන් ජයතිලකගේ දේශපාලන විශ්ලේෂණ යොමු වන්නේ, එය ලියන මොහොතේ ඔහුගේ පුද්ගල අපේක්ෂාවන් හරහා බව දැන් නොදන්නෝ විරල ය. රාජපක්ෂ තන්ත‍්‍රයෙන් තනතුරු ලැබෙන තාක් එය මුරුංගා අත්තේ තැබූ ඔහු, ඒ ඉල්ලම හිඳෙන විට, එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ ස්වේච්ඡුා පුරෝහිත කමට අතගැසුවේය. එහිදී, ඔහු කැරකෙන අක්ෂය වුණේ, රනිල් පලවා හැර සජිත් පේ‍්‍රමදාසව විපක්ෂ නායකත්වයට ගෙන ඒමයි. ආර්. පේ‍්‍රමදාස පාලන කාලයේ තමන් භුක්ති වින්ද බලය, සජිත් පේ‍්‍රමදාසගේ අනාගත පාලන කාලයක් තුළ නැවත රස බැලීමට ලැබෙති යි දයාන් තුළ වන ආශාවක් ඊට බලපානවා ඇති.

එක්සත් ජාතික පක්ෂය එක දිගටම මැතිවරණවලින් පරාජයට පත්වීමේ එක හේතුවක් වශයෙන් සජිත් පේ‍්‍රමදාස ඇතුළු ඔහුගේ සමීපතමයන් දකින්නේ, මහින්ද රාජපක්ෂ තරමට සිංහලයන්ට සහ බෞද්ධයන්ට ඇඟෑලූම් වීමට රනිල් වික‍්‍රමසිංහ දක්වන නොහැකියාවයි. හෙවත්, ඡන්දදායකයා ඉල්ලා සිටින තරමට රනිල් වික‍්‍රමසිංහ සිංහල-බෞද්ධ නොවීමයි. කෙසේ වෙතත්, ඌවේ ප‍්‍රතිඵල විග‍්‍රහ කිරීමේදී, එක්සත් ජාතික පක්ෂයේ අනපේක්ෂිත සාර්ථකත්වය පසුපස සජිත් පේ‍්‍රමදාස සිටියේ යැයි දයාන් කීම අරුමයක් විය යුතු නැත. සජිත් පේ‍්‍රමදාස ඌවේ මැතිවරණ ව්‍යාපාරය තුළ පෙනී සිටියේ ඉතා සීමිත ආකාරයකින් බවත්, ඔහු පෙනී සිටි මැතිවරණ රැුළි තුන සංවිධානය කොට තිබූ ආසන තුනම එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ බවත්, මැතිවරණ ව්‍යාපාරයේ අවසාන සතියේ ඔහු ඌව පැත්ත පළාතක පෙනෙන්ට නොසිටි බවත් යන බිම් මට්ටමේ සාධක, එක්සත් ජාතික පක්ෂයේ ඌව සාර්ථකත්වය වෙනුවෙන් සජිත්ගෙන් ලැබිණැයි කියන දායකත්වය උඩ දැමීමට දයාන් වැන්නෙකුට බාධාවක් නොවීමත් අරුමයක් නොවේ.

එතැනින් නොනවතින ඔහු, එක්සත් ජාතික පක්ෂයට සජිත් යෝජනා කරන ජාතිකවාදී දෘෂ්ටිවාදය නැවත වරක් ‘වලංගු’ වී ඇති බවත්, ඌවේ ප‍්‍රතිඵල හරහා අපට පෙන්වා දීමට තැත් කරයි. එක්සත් ජාතික පක්ෂය, ඇතැම් අවස්ථාවල සිංහල බහුතරයේ අප‍්‍රසාදයට පත්වෙමින් පවා, සුළු ජාතීන්ට බර ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා, පක්ෂය අපේක්ෂා කරන සුළු ජාතික ඡුන්ද වාසියවත් අවසානයේදී පක්ෂයට අත්නොවන බව, ඌවේ ප‍්‍රතිඵල හරහා ඔහු මතු කරන එක් තර්කයකි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ දෙමළ ඡුන්ද තීරණාත්මක වන ආසන තුනම මෙවර ආණ්ඩු පක්ෂය විසින් ජයගෙන තිබීම, දයාන්ට අනුව, සුළුජාතික ඡන්ද කෙරෙහි එක්සත් ජාතික පක්ෂය තබන අපේක්ෂාවන්හි බොල් බව කියාපාන්නකි.

මේ තර්කයේ ඇති සදාචාර දේශපාලනය වෙනම කතා කළ යුත්තකි. එනම්, සුළු ජාතීන් කෙරෙහි මහ ජාතික පක්ෂයක් කටයුතු කළ යුත්තේ, එම සුළු ජාතිය එකී මහ ජාතික පක්ෂයේ මැතිවරණමය බලය සඳහා කොතෙක් දුරට උපස්ථම්බක විය හැකිද යන්න මත නම්, ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට මේ කපේදී විසඳුමක් නොලැබෙන බව නොකිවමනා ය. කෙසේ වෙතත් එම කාරණය දැනට පසෙකින් තබා, දයාන් කියන ඌව ප‍්‍රතිඵලය, එනම්, වතුකරේ දෙමළ ජනතාව මෙවර ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබීම, ලංකාවේ දෙමළ ප‍්‍රජාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාවිච්චි නොකරතියි නිගමනය කිරීමටත්, එක්සත් ජාතික පක්ෂය අදට වඩා සිංහල බෞද්ධ වීමට එය හේතුවක් කරගත යුතු යැයි ව්‍යංගයෙන් යෝජනා කිරීමටත් ඇති සාක්ෂි කවරේද?

වතුකරේ දෙමළ ජනතාව සහ උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව අතර ඇති බරපතල දේශපාලනික, සමාජයීය සහ සංස්කෘතික වෙනස්කම් කවුරුත් දනිති. වතු දෙමළ ප‍්‍රජාව, උතුරු-නැගෙනහිර අර්ථයෙන් ගත් විට, තවම ‘දේශපාලනික’ නැත. උතුරේ පළාත් සභා ඡන්ද ප‍්‍රතිඵලය සමග වතුකරේ දෙමළ චර්යාව සන්සන්දනය කිරීම ඊට හොඳටම සෑහේ. වතුකරේ දෙමළ ජනතාව සාමාජිකත්වය දරණ දේශපාලනය, බොහෝ කොට, වැඩවසම්වාදී ය. ඔවුන්ගේ දේශපාලනය තුළ තවමත් ඔවුන්ට සිටින්නේ, තොන්ඩමන් ආදී නම්වලින් හැඳින්වෙන ‘රදළ’ හාම්පුතුන් ය. එම හාම්පුතුන්ගේ නියෝගය මත එකී ජනතාව ආණ්ඩුවට පක්ෂපාතීව ඡුන්දය පාවිච්චි කිරීම සමස්ත ලංකාවේ දෙමළ දේශපාලනයේ මැතිවරණමය ආදර්ශ මාපකයක් වශයෙන් ගැනීමත්, එක්සත් ජාතික පක්ෂයේ සිංහල-බෞද්ධ මාත‍්‍රාව වැඩි කළ යුතු බවක් ඇඟවීමට එය සාක්ෂියක් කර ගැනීමත්, බුද්ධිමය වංචනිකත්වය මිස වෙන කිසිවක් නොවේ.

සම්ප‍්‍රදායික මුස්ලිම් නායකත්වය එම ජනතාව විසින් මෙවර ඌවේදී ප‍්‍රතික්ෂේප කොට තිබීම, මේ කාරණය තවත් පැත්තකින් පැහැදිළි කරවයි. ගලගොඩඅත්තේ ඥානසාරට සහ ගෝඨාභය රාජපක්ෂට පින්සිදුවන්ට, වතුකරේ දෙමළ ජනයාගේ තත්වයට ආසන්නයේ සිටි මුස්ලිම් ප‍්‍රජාව දැන් යම් තාක් ‘දේශපාලනික’ වෙමින් ඇති සැටියක් පෙනේ. සුළුජාතික විඥානයේ ගතිකත්වයන් සහ පරිණාමයන්, ඒවායේ සැබෑ අරුතින් නොගෙන, පටු දේශපාලනික අභිමතාර්ථ සාධනය සඳහා වංචනික ආකාරයෙන් විග‍්‍රහ කිරීමට යාම, බුද්ධිමය චෞරත්වයක් මිස අන් කුමක් ද?

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.