21 September, 2020

Blog

‘පුරවැසි බලය’ පොදු වේදිකාවට

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම කාර්ය භාරය කුමක්දැ යි ඔහු නොහඳුනයි. එක්කෝ නොතකා හරියි. එවැනි ජනතාවක්, අත්තනෝමතික පාලකයෙකුගේ සිතැඟියා ඉටු කරගත හැකි ඉතා පහසු අමුද්‍රව්‍ය බවට පත්වෙති.

ඊට ප‍්‍රතිපක්ෂව, පුරවැසියෙකු යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුනන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තමාගේ අයිතිවාසිකම් සහ වගකීම් හඳුනාගෙන ඒ ගැන ක‍්‍රියාත්මක වන කෙනෙකි. එවැනි මිනිසුන් බහුතරයක් ඇති රටක අත්තනෝමතික පාලකයෙකුට ඇති ඉඩකඩ ඉතා අල්ප ය.

‘පුරවැසි බලය’ ජනාධිපතිවරණය සඳහා ගොඩනැගුණු සංවිධානයක් නොවේ. රාජපක්ෂ පාලනය යටතේ දිනෙන් දින ඛාදනය වෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ අවකාශය තුළ, දියුණු ප‍්‍රජාවක් වශයෙන් වහා මැදිහත් විය යුතු සමාජ භූමිකාවක් අප ඉදිරියේ ඇතැයි යන දැඩි විශ්වාසය නිසා, මේ රටේ කලාකරුවන්, බුද්ධිමතුන් සහ සමාජ ක‍්‍රියාධරයන් පිරිසකගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මුල් පියවර ගැනුණේ මීට සෑහෙන කාලයකට පෙරයි. එය, විවිධ සාකච්ඡුා, සංවාද සහ කතිකාවන් ඔස්සේ පසුගිය කාලය තුළ තව තවත් වර්ධනය කෙරුණි.

විශේෂයෙන්, මේ රටේ ඇති වී තිබෙන දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලඥයා ගැන විශ්වාසයක් තබාගත නොහැකි පරිසරයක් කෙමෙන් වර්ධනය වූ බව අපි දනිමු. දේශපාලඥයන් ජනතාවට දෙන පොරොන්දු, බලයට පත්වීමෙන් පසු මගහැරීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් අපට තිබේ. එසේ වීමට විවිධ හේතු සාධක ඇතත්, ඒ අතරේ ප‍්‍රමුඛතාවක් ගන්නා සාධකය වන්නේ, දේශපාලඥයාව බලයට පත්කරන ජනතාව, ඊළඟ කාලයේදී නිවාඩු ගැනීමයි. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු තමන්ගේ සමාජ සහ දේශපාලනික වගකීම ඉටු කොට අවසන් කෙළේය යන හැඟීමක් සාමාන්‍ය සිත්සන් තුළ මුල්බැසගෙන තිබේ. ජනතාව එසේ නිවාඩු ගැනීම, දේශපාලඥයා තමන්ගේ වාසියට හරවා ගනී. මේ නිසා, ඡන්දයට පෙර සහ ඡන්ද දවසේ පමණක් නොව, විශේෂයෙන් ඡුන්දයෙන් පසුව ‘රාජකාරි’ කරන ජනතාවක් අපට අවශ්‍ය කොට තිබේ. ‘පුරවැසි බලය’ සිවිල් සංවිධානයක් වශයෙන් සැකසෙන්නේ ඒ පසුබිම තුළයි.

‘රාවය’ පුවත්පත මුල් කරගෙන අප ඒ කර්තව්‍යයට ප‍්‍රවිෂ්ට වෙමින් ඉදිරිපත් කළ ප‍්‍රකාශනයට එදා මෙරටේ කලාකරුවන්, බුද්ධිමතුන් සහ සමාජ ක‍්‍රියාධරයන් 120 දෙනෙක් අත්සන් තැබූහ. මේ පිරිස එක දේශපාලන මතයක් දරණ පිරිසක් නොවේ. එහෙත්, රටේ පවතින වර්තමානය ගැන සෑහීමකට පත්විය නොහැකි බවටත්, මීට වඩා ශිෂ්ට සම්පන්න සමාජයක් බවට ලංකාව පත්කර ගැනීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බවටත් ඒ සියල්ලෝම එකහෙලා එකඟ වෙත්. ‘‘පවතින විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ආණ්ඩු ක‍්‍රමයක් ඇති කරගන්නා තැනකට යොමුවන’’ ලෙස එම ප‍්‍රකාශනය මගින් එදා අපි ඉල්ලා සිටියෙමු.

එහිදී, සියළු ජාතීන්ට සහ සියලූ ආගමිකයන්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අවස්ථා ලබාදෙන, තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇතුළු පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සහතික කරන, දූෂණයට, අකාර්යක්ෂමතාවට, පීඩාකාරී හෝ අධිකාරීවාදී පාලනයකට ඉඩක් නොතබන, බලය අයථා ලෙස පාවිච්චි කරන අවස්ථාවලදී බරපතල දඬුවම් ලබාදෙන, කේන්ද්‍රගත දේශපාලන බලය, මධ්‍යම ආණ්ඩුව සහ පර්යන්තය අතර නිසියාකාරව බෙදාහැරෙන, නීතියේ ආධිපත්‍යය සුරකින, මහජනයාගේ පරමාධිපත්‍ය බලය නියම වශයෙන්ම මහජනයාට ලබාදෙන ක‍්‍රමයක් විය යුතු බව එම ප‍්‍රකාශනයෙන් අපි වැඩි දුරටත් කියා සිටියෙමු.

මේ වෙනස ඇති කර ගැනීම සඳහා පවතින පාලනය වෙනස් කළ යුතුව තිබේ. ඉහත කී කිසි කාර්යයක් රාජපක්ෂ පාලනයෙන් බලාපොරොත්තු විය නොහැකි තත්වයක් අද අපි අත්විඳිමින් සිටිමු. ඒ නිසා එම පාලනය වෙනස් කර ගැනීම, ඉහත කී අරමුණු ඉෂ්ට කර ගැනීමේ ප‍්‍රථම පියවර වශයෙන් ගත යුතුව තිබේ.

අළුත් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු ‘පුරවැසි බලය’, හුදෙක් ප‍්‍රකාශන නිකුත් කිරීමෙන් ඔබ්බට ගොස් පාරට කැඳවීමක් අත්‍යාවශ්‍ය කෙරුණි. ඒ සඳහා වන ප‍්‍රචාරක වැඩ පිළිවෙලක් පසුගිය සතියේ මහව නගරයෙන් ක‍්‍රියාත්මක වුණි. එය තවත් ඉදිරියට ගෙන යමින් පසුගිය අඟහරුවාදා (2) කොළඹ හයිඞ් පිටියේදී මහා ජනතා රැුලියක් අපි සංවිධානය කෙළෙමු. දහස් ගණන් ජනතාව ඊට සහභාගී වුණි. ඒ සඳහා පක්ෂ සංවිධාන හරහා බලපෑම් කරමින් මිනිසුන්ව ප‍්‍රවාහණය කිරීමක් සිදුවුණේ නැත. එදා ඊට සහභාගී වූවෝ, උදක්ම වෙනසක් අපේක්ෂා කරන දැනුවත් ජනතාවකි. ‘‘උගුලෙන් ගැලවෙමු’’ යන තේමාව යටතේ, ඒකාධිපතිවාදය, පවුල්වාදය, දූෂණය, ගජමිතුරු ආර්ථික ක‍්‍රමය, මිලිටරිකරණය සහ සමාජ පාදඩකරණයෙන් තොර සමාජයක් එල්ල කරගෙන පැවැත්වූ එම රැුලිය අමතා, ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජෙනරාල් සරත් පොන්සේකා සහ මනෝ ගනේෂන් යන දේශපාලඥයෝ කතා කළහ. එසේම, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, රාවය කර්තෘ කේ. ඩබ්. ජනරංජන, නීති එකමුතුව නියෝජනය කරමින් ජේ. සී. වැලිඅමුණ, වෘත්තීය සමිති ප‍්‍රජාව නියෝජනය කරමින් සමන් රත්නප‍්‍රිය, විශ්ව විද්‍යාල ප‍්‍රජාව නියෝජනය කරමින් චන්ද්‍රගුප්ත තේනුවර, මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරමින් මුජිබර් රහුමාන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් සුනිල් ජයසේකර සහ මේ ලියුම්කරු ද අදහස් දැක්වූහ.

ඊට අමතරව, එම වේදිකාව විවිධ කීර්තිමත් පුද්ගලයන්ගෙන් වර්ණවත් විය. ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, හේමසිරි ලියනගේ, කේ. බී. හේරත්, ලූෂන් බුලත්සිංහල, ඩබ්ලිව්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, එම්. ඞී. මහින්දපාල, සෞම්‍ය ලියනගේ, නලීන් ප‍්‍රදීප් උඩවෙල සහ රවීන්ද්‍ර යසස් ඇතුළු වේදිකාවට සහ සිනමාවට සම්බන්ධ කලාකරුවෝ ද, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ලසන්ත රුහුණගේ, රාජා උස්වැටකෙයියාව, කේලී සේනානායක සහ සන්ධ්‍යා එක්නැලිගොඩ වැනි විද්වත්තු සහ සමාජ ක‍්‍රියාධරයෝ ද, වෘත්තීය සමිති නායකයෝ ද, කරූ ජයසූරිය, අර්ජුන රණතුංග, රවි කරුණානායක, අසාද් සාලි, එම්. කේ. ඞී. එස්. ගුණවර්ධන, නන්දන ගුණතිලක සහ කොළඹ පුරපති ඒ. ජේ. එම්. මුසාමිල් ආදීහුද ඒ අතර වූහ. ඔවුන් සියල්ලන්ම මේ සිවිල් ව්‍යාපාරයට මහත් දිරියක් සහ සෝබාවක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

(මීට වඩා තවත් කලාකරුවන් සහ බුද්ධිමතුන් රාශියක් අපට සමාන මතවාදයක සිටියත්, මෙවැනි මහජන කටයුත්තක් සංවිධානය කිරීමේදී අපට තිබූ ආධුනික බව නිසා අපේ සාර්ථකත්වය ඒ අතින් සීමා විය. එසේම, හුදු අතපසුවීම් ද සිදුවිය. අප සමග මුල සිටම මේ සත්කාර්යට මහත් කැපවීමෙන් කටයුතු කළ, ප‍්‍රවීණ සිනමාකරු බෙනට් රත්නායක වැන්නෙකු අපේ වේදිකාවෙන් මගහැරුණි. ඒ සියල්ලන් සහෝදරාත්මකව අපට කමා කරනු ඇතැ යි අපි අපේක්ෂා කරමු.)

මෙය, ජනතාවට පුරෝගාමීත්වය සැපයීමේ කාර්යයට කලාකරුවන් සහ බුද්ධිමතුන් උරදිය යුතු කාලයයි. ඔවුන් දැන් කතා කළ යුතුව ඇත. එය ගෙදර ආලින්දයට සහ හිත මිතුරන් සමග සාමීචියේදී කරන විවේචනයන්ට සීමා විය යුතු නැත. විවේචනය මහජන වේදිකාවට පැමිණිය යුතුව ඇත. ජනතා කරළියට පැමිණිය යුතුව ඇත. ‘පුරවැසි බලය’ ඉල්ලා සිටින්නේ ඒ ඉදිරිපත් වීමයි. අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ආකාරයේ දන්සැල්වලින් සංග‍්‍රහ කිරීමට පුලූවන් කමක් අපට නැත. එවැනි දන්සැල් වැඳීම ප‍්‍රතිපත්තියක් වශයෙන් ප‍්‍රතික්ෂේප කරන හෝ විවිධ තත්වයන් යටතේ එම දන්සැල් ප‍්‍රතික්ෂේප කිරීමට හයියක් නැතිව ආධ්‍යාත්මිකව විඳවන කලාකරුවන් සහ බුද්ධිමතුන් රාශියක් මේ රටේ වෙසෙන බව අපි දනිමු. ‘පුරවැසි බලය’ තුළ ඔවුන්ට තමන්ගේ අභිමානයට අයිතිය කිව හැකිය. කලාකරුවන් සහ බුද්ධිමතුන් වශයෙන් හිමිකර ගත යුතු අදීනත්වයට අයිතිය කිව හැකිය.

කලාකරුවාට සහ බුද්ධිමතාට ඊට වැඩි සම්පතක් තවත් තිබිය හැකිද?

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.