Colombo Telegraph

ඇයි, උන් කල්ලතෝනි ද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

නවතමයෙන් පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුව, උතුර දකුණ සහ නැගෙනහිර බස්නාහිර සමස්ත ලංකාව නියෝජනය කළ, සුවිශේෂී දේශපාලන අපේක්ෂාවක් කුළුගැන්වූ ඓතිහාසික මොහොතකි. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ගතවූ වසර 36 තුළ, ජනාධිපතිවරයෙකු සහ ඔහු නියෝජනය කළ පක්ෂ පාලනයක් වෙනස් කර ගැනීමට ලාංකීය ඡන්දදායකයාට හැකි වූ දෙවැනි අවස්ථාව මෙයයි. 1977 න් පසු පාලනයේ වෙනසක් ඇති කර ගැනීමට වසර 17 ක් ගතවුණි. ඒ 1994 දී ය. එයින් පසු මෙවර පාලන වෙනස ඇති කරගත්තේ වසර 20 කට පසුවයි. වසර 6 කට වරක් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ අවස්ථාව ලංකාවේ ඡන්දදායකයාට ඇති බව ව්‍යවස්ථාවේ ලියැවී ඇතත්, මේ පවතින ක‍්‍රමය තුළ එය සැබෑවක් කර ගැනීමේ ප‍්‍රායෝගික හැකියාවක් නැති බව එකී ඉතිහාසය විසින් අපට පෙන්වා දෙයි. එකම පාලකයෙකු හෝ පාලක පක්ෂයක් දීර්ඝ කාලයක් බලය හෙබවීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මොන විදිහකින්වත් ගුණ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් තුළ එක පුද්ගලයෙකුට බලයට පත්විය හැකි වාර ගණන සීමා කර ඇත්තේ එබැවිනි.

එහෙත් මහින්ද රාජපක්ෂට අවශ්‍ය කෙළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොව, පාරම්පරාවෙන් පරම්පරාවට යන රාජකීය පවුලක අනාගතයකි. ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව එම අභිලාෂය කුඩුපට්ටම් කළහ. දැන් රාජපක්ෂලා සහ ඔවුන්ගෙන් යැපුණු කූට්ටාලියෝ ආපසු හැරී තම ප‍්‍රවේණිය තමන්ගෙන් පැහැරගත් සැටි, තමන්ගේ ආරයෙන් ජනතාවට කියාදීමට සැරසෙති. ඒ කෙසේද යත්..

ඔවුන්ට අනුව, මෛතී‍්‍රපාල සිරිසේනගේ ආණ්ඩුව, උතුරු-නැගෙනහිර සුළු ජාතීන්ගේ අපේක්ෂාවන් පමණක් කුළුගැන්වූ, දකුණේ සිංහල-බෞද්ධ අභිලාෂයන්ට පයින් ගැසූ මොහොතකි. එය, බෙදුම්වාදී සහ ඩයස්පෝරාවාදී කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයකි. නැවත යුද්ධයකට අතවැනීමකි. මේ කරුණු සනාථ කිරීම සඳහා දැන් සිටම ඔවුන් විසින් දුෂ්-ප‍්‍රවෘත්ති ප‍්‍රචාරණයන් පටන්ගෙන තිබේ. ඒ අනුව, උතුරු නැගෙනහිර පළාත්වල නොසන්සුන්තාවන් ඇති වෙමින් තිබෙන බවට සහ උතුරේ හමුදා කඳවුරු ඉදිරියේ කොටි ධජය එසැවෙන බවට කෙබර පතුරුවා හරිති. මේ සියල්ල හරහා ඔවුන් පෙන්නුම් කරන්නේ, සිංහල-බෞද්ධයා ඇවිස්සීමෙන් බලයට පත්වීමේ හැකියාවක් ඇති බවට ඔවුන් තුළ තවමත් ඇති විශ්වාසයයි.

දකුණේ සිංහල ඡන්දයෙන් පමණක් මධ්‍යම ආණ්ඩු පිහිටුවා ගැනීමේ ජාතිකවාදී නැඹුරුව, මේ ජනාධිපතිවරණයේදී පරාජය කෙරුණි. මෙය, බහු-වාර්ගික සහ බහු-ආගමික රටක් සහ සමාජයක් වශයෙන් අප අගේ කළ යුතු දෙයක් මිස ගර්හාවට ලක්කළ යුතු දෙයක් හෝ කණගාටුවට කාරණයක් කරගත යුතු දෙයක් හෝ නොවේ. එසේම, එම තත්වය, නා නා හේතුවාචක බැඳීමෙන් වැසැංගිය යුතු කාරණයක් ද නොවේ. ඔව්, මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව එක පොදියට ඡන්දය පාවිච්චි කළා තමයි. එසේ වීම වරදක් වශයෙන් සළකන මහින්ද රාජපක්ෂ ඇතුළු ජාතිවාදී නඩය කියන්නේ, උතුරු නැගෙනහිර ජනතාව කල්ලතෝනීන් වශයෙන් සැළකිය යුතු බවක් ද?

1978 න් පසු, දකුණේ සිංහල ඡුන්දයෙන් පමණක් මධ්‍යම ආණ්ඩුවක් පිහිටුවා ගත් එකම අවස්ථාව 2005 මහින්ද රාජපක්ෂ බලයට පත්වූ ජනාධිපතිවරණයයි. එය සාර්ථක කරගත්තේ, මහින්ද රාජපක්ෂ විසින් වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට දෙන ලද යෝධ අල්ලසක් හරහා උතුරු-නැගෙනහිර ජනතාව ඡන්දය පාවිච්චි කිරීමෙන් වළක්වා තබා ගැනීමෙනි. එම දේශපාලන අල්ලස සඳහා වන වියදම ප‍්‍රභාකරන් 2009 මැයි 9 වැනි දා ගෙවා දැම්මේය. යුද්ධය අවසානයකට පත්කිරීමේ ප‍්‍රහර්ෂයෙන් ඔදවැඩුණු රාජපක්ෂලා, ප‍්‍රභාකරන්ගේ වන්දියෙන් පමණක් සෑහීමට පත්වුණේ නැත. මේ රටේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සකල ජනතාවගෙන්ම ඒ සඳහා වන්දියක් ඔවුහූ ඉල්ලා සිටියහ. පසුගිය 8 වැනි දා ජනාධිපතිවරණ තීන්දුව, එම වන්දිය ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීමට ගත් පොදු ජනතා තීන්දුවයි.

ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වන අවස්ථාවේ සිටම, විවිධ රූපවාහිනී නාලිකාවල මැතිවරණ ප‍්‍රතිඵල සිතියම පින්තාරු කෙරුණේ ඉහත කී පොදු සාධකය වැසැංගෙන ආකාරයෙනි. මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළ දිස්ත‍්‍රික්ක නිල් පාටින් ද, මෛත‍්‍රිපාල සිරිසේන ජයග‍්‍රහණය කළ දිස්ත‍්‍රික්ක රතු පාටින් ද වර්ණවත් කෙරුණි. දියුණු යුරෝපා රටවල ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කිරීමේදී මෙවැනි වර්ණවත් සිතියම් පාවිච්චි කරනු ලැබේ. එහිදී දිස්ත‍්‍රික්කයක් හෝ පළාතක් යම් පක්ෂයක් විසින් ජයග‍්‍රහණය කරනු ලැබීම සංකේතවත් කිරීම සඳහා එම පක්ෂය නිරූපණය කෙරෙන තනි වර්ණයක් භාවිත කිරීම ගැටළුවක් නොවේ. මන්ද යත්, එම වර්ණයෙන් එවැනි රටක සංකේතවත් කෙරෙන්නේ හුදෙක් යම් පළාතක් සහ පක්ෂයක් පමණක් වන බැවිනි. එහෙත්, විවිධ ජාතීන් වෙසෙන ලංකාව වැනි රටක, විශේෂයෙන් එවැනි විවිධ ජාතීන් අතර විරසකයන් පවතින ලංකාව වැනි රටක, යම් පළාතක් හෝ දිස්ත‍්‍රික්කයක් එකට ගෙන විශේෂිත තනි වර්ණයකින් සංකේතවත් කිරීම තුළින් සිදුවන්නේ, පොදු ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයකට වඩා වෙනස් අර්ථ ඉස්මතු කැරැුවිය හැකි, ජාතිකවාදී, ආගමිකවාදී සහ ඇතැම් විට ගෝත‍්‍රිකවාදී අදහස් උදහස් උලූප්පා දැක්විය හැකි තර්කයක් ද නිර්මාණය කර දීමයි.

මෙය, වැළැක්විය හැකිව තිබූ තත්වයකි. ඒ, ප‍්‍රතිඵල වෙනස් කිරීමෙන් නොව, ප‍්‍රතිඵල ප‍්‍රකාශන මාදිලිය වෙනස් කිරීමෙනි. උදාහරණයක් වශයෙන්, මේ නිරූපණය තුළ, මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළ සෑම දිස්ත‍්‍රික්කයක්ම නිල් පාටින් නිරූපණය කෙරෙන විට, එම දිස්ත‍්‍රික්කවල මෛත‍්‍රිපාල සිරිසේන ලබාගත් ඡන්ද ප‍්‍රමාණය නිරූපණය කෙරෙන්නේ නැත. එසේම, මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කළ දිස්ත‍්‍රික්ක සියල්ල රතු පාටින් වර්ණවත් කෙරෙන විට එම දිස්ත‍්‍රික්කවල මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද ප‍්‍රමාණය නිල් පාටින් නිරූපණය කෙරෙන්නේ නැත. රාජපක්ෂලා දැන් ජාතිවාදී මහමාරිය පැතිරවීම සඳහා පාවිච්චි කරන්නේ ඒ ඒක-මානීය සිතියමයි. මේ සිතියම තුළ, මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළ දකුණේ දිස්ත‍්‍රික්ක 10 තුළ ඔහුගේ ඡන්ද 31,00000 නිල් පාටින් නිරූපණය කෙරෙන විට, එම දිස්ත‍්‍රික්ක 10 තුළම මෛත‍්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද 25,00000 රතු පාටින් නිරූපණය නොවුණි. එසේම, යාපනය, වන්නිය, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව වැනි සුළු ජාතීන් වෙසෙන පෙදෙස්වල 200000 කට අධික සුළු ජාතික ජනතාවක් මහින්ද රාජපක්ෂ සඳහාත් ඡන්දය පාවිච්චි කොට ඇති බව නිරූපණය නොවුණි. ඒ නිසා දැන් අප විසින් මේ සඳහා වඩාත් යථාර්ථවාදී සිතියමක් සකස් කොට තිබේ. එම සිතියම තුළ, සෑම දිස්ත‍්‍රික්කයකම මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේන යන දෙදෙනාම ගත් මුළු ඡන්ද ප‍්‍රමාණය ඒ ඒ වර්ණයන්ගෙන් ප‍්‍රකාශයට පත්වන අතර, දකුණේ සෑම දිස්ත‍්‍රික්කයකම, රාජපක්ෂගේ නිල් පාට මෙන්ම මෛතී‍්‍රපාලගේ රතු පාටත් හරි හරියට බැබළෙන බවත් එයින් සනිටුහන් කෙරේ.

කෙසේ වෙතත්, මේ කරුණු ගෙනහැර පෑමෙන් අදහස් කරන්නේ, මහින්ද රාජපක්ෂලා අද ඉදිරිපත් කෙරෙන චිත‍්‍රයේ ඇති ඒක-පාර්ශ්වීය භාවයත්, චේතනාන්විතව සිංහල-බෞද්ධ ජනතාව ඇවිස්සීමට ඔවුන් තුළ ඇති අධම අරමුණත් අනාවරණය කිරීමක් මිස, දකුණේ සිංහලයාට වඩා උතුරු-නැගෙනහිර වෙසෙන සුළු ජාතීන් මහින්ද රාජපක්ෂව ප‍්‍රතික්ෂේප කොට ඇති බව නැතැ යි කීමක් නොවේ. අවධාරණය කළ යුතුව ඇත්තේ, සුළු ජාතීන් සහ සුළු ආගමිකයන් එසේ රටක තීරණාත්මක ප‍්‍රජාතන්ත‍්‍රීය සාධකයක් වීම, ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට රුකුලක් මිස අගතියක් නොවන බව ය.

දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් සහ එල්ටීටීඊ හිතවාදි පිරිස් 2005 දී මෙන් මේ ඡන්දයත් වර්ජනය කරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීම බිම් මට්ටමෙන් ක‍්‍රියාත්මක කිරීමට මෙවර එල්ටීටීඊ සංවිධානයක් සිටියේ නැත. එනිසා, දෙමළ ජනතාව එකී ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ඉල්ලීම නොතකා හරිමින්, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රවාහයේ තමනුත් සකී‍්‍රය කොටස්කරුවන් විය යුතු බවට තීරණය කළහ. ඔවුන් ඡන්දය පාවිච්චි කෙළේ, මහින්ද රාජපක්ෂ නැමැති සිංහලයෙකුට/බෞද්ධයෙකුට විරුද්ධව, මෛත‍්‍රීපාල සිරිසේන නැමැති දෙමළෙකු/මුසල්මානුවෙකු සඳහා නොව. මහින්ද රාජපක්ෂ තරමටම සිංහලයෙකු සහ බෞද්ධයෙකු ද වන මෛත‍්‍රිපාල සිරිසේන කෙනෙකුට ය. එසේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා, තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවවත්, අඩු වශයෙන් තමන්ගේ පළාත්වල අද අත්විඳින දෛනික දුෂ්කරතා ඉවත් කරන ලෙසවත් මෛත‍්‍රීපාල සිරිසේනගෙන් පූර්ව කොන්දේසියක් වශයෙන් ඔවුන් ඉල්ලා සිටියේ නැත. ඔවුන්ගේ ඡන්දය වූ කලී, කොන්දේසි විරහිත අනුමැතියකි. (ඒ අනුමැතියේ ස්වභාවය සහ ඊට තුඩුදුන් පසුබිම වෙනම ලිපියක සාකච්ඡුා කිරීමට නියමිතයි).

මහින්ද රාජපක්ෂගේ තර්කය වන්නේ, දෙමළ සහ මුස්ලිම් ජනයා මේ ක‍්‍රියාදාමයෙන් බැහැර විණි නම් හෙවත් ඔවුන් මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි නොකෙළේ නම් තමන් ජයග‍්‍රහණය කරන බවයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මහින්ද රාජපක්ෂ එයින් ගම්‍ය කරන්නේ කුමක් ද? ඒ වෙන කිසිවක් නොව, බෙදුම්වාදයයි. තමන් පාවිච්චි කරන ඡන්දය එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ අවජාතක ඡන්දයක් සේ මහ ජාතිය විසින් සළකනු ලබන්නේ නම්, එම සුළු ජාතීන් පෙරලා අපෙන් එක දෙයක් ඉල්ලා සිටිනු ඇත. ඔබලාගේ ශ‍්‍රී ලංකාව තුළ අපේ ඡන්දය අවජාතක සේ සැළකෙන්නේ නම්, එය ගර්හා කටයුතු දෙයක් සේ ඔබලා සළකන්නේ නම්, අපටත් සුජාත ඡුන්දයක් පාවිච්චි කළ හැකි අපේම රටක් අපට දෙන්න. එවිට මහින්ද රාජපක්ෂට දකුණේ ඡන්දයෙන් පමණක් මේ රටේ අසහාය නායකයා වශයෙන් සමහර විට චිරාත් කාලයක් වැජඹීමට පුලූවන. යුද්ධයක් අවසන් කිරීමෙන් එක්සත් කළා යැයි කියන රටක අනාගත එක්සත් භාවය ආරක්ෂා කරගත යුත්තේ, හම්බන්තොට උත්කර්ෂයට නැංවීමෙන් සහ යාපනය ගර්හාවට ලක් කිරීමෙන් ද?

Back to Home page