23 January, 2021

Blog

සජින් වාස් මදිවට, මොහාන් පීරීස් ද වතිකානු යාම

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට පහර දුන් විදේශ අමාත්‍යාංශයේ මොනිටර් මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනව, එම අශෝභන සිද්ධියේ හාහෝව පහවීමටත් කලින්ම, පාප් වහන්සේ වැඳපුදා ගැනීමේ සවාරියට ජනාධිපතිවරයා විසින් සහභාගී කරගෙන තිබීම ගැන පසුගිය සතියේ සාකච්ඡුා විය. දණ්ඩ මුක්තිය හෙවත් විපාක නොවිඳ වැරදි කිරීමට මේ රාජපක්ෂ පාලනය යටතේ ඇතැමුන්ට ලැබී තිබෙන වරය ගැන එහි දී අවධාරණය කෙරුණේ, එහි තවත් පැත්තක් ද පෙන්වා දෙමිනි. එනම්, ගුටි කෑම සහ ඝාතනය වීම, ආණ්ඩුවේ විවේචකයන්ට පමණක් නොව, රාජපක්ෂ පවුලේ මාන්නයට රිදවන ආණ්ඩුවේම හෙංචයියන්ට වුවත්, එක්තරා අවස්ථාවකින් පසු අදාළ විය හැකි බවයි.

සජින් වාස් ගුණවර්ධනව වතිකානු සංචාරයට එක් කර ගැනීම මගින් ජනාධිපතිවරයා රටට දුන් ආදර්ශය අළුත් එකක් නොවේ. මීට පෙර, මිනීමැරුම් චෝදනා ලද විත්තිකරුවන් ද, මිනිමැරම් චෝදනාවන්ට වැරදිකරුවන් වී හිරේ සිටි තම පාක්ෂිකයන් ද ජනාධිපතිවරයා විසින් නිදහස් කොට ගෙදර යැවු අවස්ථා තිබේ. චන්දන කත‍්‍රිආරච්චි සහ මිල්රෝයි මහත්මිය වැනි නම් එවිට අපේ මතකයට එයි. රටට ආදර්ශයක් වශයෙන්, නරක ආශ‍්‍රයෙන් හැකි තාක් ඈත්ව සිටිය යුතු රටේ ප‍්‍රධාන පුරවැසියාව අප දැක තිබෙන්නේ නරක භජනයට ලෝලියෙකු වශයෙනි.

ක‍්‍රිස් නෝනිස් යනු පසු ගිය කාලයේ රාජපක්ෂලාගේ කෙරුවාවන්ට යුරෝපයේ සුදු හුනු ගාමින් සිටි ප‍්‍රමුඛයෙකි. උතුරේ පැවති යුද්ධය කාලයේදීවත්, යුද්ධයෙන් පසුවවත්, රටේ මානව හිමිකම් උල්ලංඝනය වී නැති බව ඔහු දස අතේ දිව්රා කීවේය. එසේම, ලංකාවේ නීතියේ ආධිපත්‍යයත් වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව හොඳින් ක‍්‍රියාත්මක වන බවත් ලෝකයාට විවිධාකාරයෙන් පෙන්වා දුන්නේය. දැන් ඔහු නිකංම මන්ත‍්‍රීවරයෙකුගෙන් ප‍්‍රසිද්ධියේ ගුටිකෑවේය. එය අමුත්තක් නොවේ. අද පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත‍්‍රීවරු අයි.ආර්.සී. කාරයන්ගෙන් වෙනස් වන්නේ, අයි.ආර්.සී. කාරයන් දුප්පතුන් වීම සහ බොහෝ විට හිරේ සිටීමත්, මේ මන්ත‍්‍රීවරුන් පොහොසත් වීම සහ බොහෝ විට පාර්ලිමේන්තුවේ සිටීමත් නිසාම පමණි.

එහෙත්, ක‍්‍රිස් නෝනිස් පිළිතුරු සෙවිය යුතු එක් වැදගත් ප‍්‍රශ්නයක් තිබේ. එනම්, ඔහුට පහර දීම ගැන අද ඔහු අපේක්ෂා කරන පරීක්ෂණය සම්බන්ධයෙන් අදාළ වෙතැ යි සිතිය හැකි නීතියේ ආධිපත්‍යයක් ලංකාවේ ඇතැ යි දැන් ඔහුට පෙනේ ද යන්නයි. තමාට පහර දීම ගැන සාධාරණත්වය ඉටු වීමක් අද ඔහුට අපේක්ෂා කළ නොහැකි නම්, මෙපමණ කලක් රාජපක්ෂ පාලනය යටතේ පීඩාවට පත්, විශේෂයෙන් උතුරේ දහස් ගණන් වන සාමාන්‍ය ජනතාව සහ ඝාතනයට පත් අයවළුන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වී ඇත්තේ කෙසේද යන්න ගැන යම් හැඟීමක් මේ වන විට ඔහු තුළ තිබිය යුතුය.

අඩුම වශයෙන්, ඔහුට කළ පහර දීම ගැන පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්නයක් මතු කිරීමට පවා, කිසි පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ අද ඉඩක් නැති බව ක‍්‍රිස් නෝනිස් මේ වන විට දනී. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මේ ගැන ප‍්‍රශ්න කිරීමට සැරසෙන විට, නියෝජ්‍ය කතානායකවරයා, එය, තවත් මන්ත‍්‍රීවරයෙකුට අදාළ ‘ජාතික වශයෙන් වැදගත් නොවන’ කාරණයක් වශයෙන් සළකා ඒ ප‍්‍රශ්න කිරීමට ඉඩ දුන්නේ නැත. මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ දී හුදු ප‍්‍රශ්න කිරීමක් පවා රාජපක්ෂලා නොරුස්සන්නේ නම්, ක‍්‍රිස් නෝනිස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන අදාළ ආයතන සම්බන්ධයෙන් රාජපක්ෂලා ක‍්‍රියා කරනු ඇත්තේ කවරාකාරයෙන් ද යන්න ගැන යම් ඉඟියක් අපට ලබා ගත හැක. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් නොපෙනෙන අන්ධයන්ට, ඉඟිවලින් වැඩක් නැති බව වෙනම කතාවකි.

මර්වින් සිල්වා දැන් හොස්ස ළඟින් මැස්සෙකු යන විටත්, මේ ආණ්ඩුවෙන් ඉවත් වන බවක් කියයි. දීර්ඝ කාලයක් තිස්සේ ඔහුගේ කල්ක‍්‍රියාව, අවසානයේ දවසක ඔහුගේ පුතා වෙතටමත් කැරකී පැමිණීමෙන් පසු, තම කෙරුවාවන්ට ඉස්සර තරම් පිළිගැනීමක් හාම්පුතාගෙන් නොලැබී යාමට පටන් ගැනීමෙන් පසු, මර්වින් සිල්වා දශරාජ ධර්මයක් සඳහා පේවීම අප තේරුම් ගන්නේ කෙසේද? මර්වින් සිල්වා සහ ක‍්‍රිස් නෝනිස් වැන්නන්, අද කතා කරන ‘අයුක්තිය’, සැබවින්ම ස්වාර්ථ සිද්ධිය අරභයා ඇති කරගන්නා ගිරාමාරුවකි. ක‍්‍රිස් නෝනිස් මුහුණදුන් සිද්ධියේ හතර කොණ ගැන ටක්කෙටම ඔහුට මතක් කර දුන්නේ, බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා විසිනි. ඔහු ක‍්‍රිස් නෝනිස්ට මෙසේ කී බව ගිය සතියේ මාධ්‍ය වාර්තා කෙළේය: ‘‘මානව හිමිකම් උල්ලංඝණයන් ගැන ශ‍්‍රී ලංකාව ගැන අපි මෙච්චර කෑගහන්නේ ඇයි කියන එක දැන් ඔබට තේරෙනවා ඇති.’’

මේ ප‍්‍රශ්න අප මතු කරන්නේ ක‍්‍රිස් නෝනිස් වැන්නන්ගේ ඔලූගෙඩිවලට තර්ක ඥානය ඇතුළු කිරීමට හෝ තමන්ට කලින් රට ගැන සහ රටේ ජනතාව ගැන සිතිය යුතු බව එවැන්නන්ට පෙන්වා දීමට හෝ නොවේ. මේ රටේ බුද්ධිමත් ජනතාවට, රාජපක්ෂලා ගැනත්, ලංකාවේ දේශපාලන සදාචාරය ඔවුන් යටතේ කෙතරම් අශිෂ්ට අඩියකට වැටී ඇත් ද යන්නත් පෙන්නුම් කිරීමට ය.

සජින් වාස් ගුණවර්ධනව පමණක් නොව, ලංකාවේ අග‍්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස්වත් මේ වන්දනාවට ජනාධිපතිවරයා එක් කරගත්තේය. නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ම්ලේච්ඡුතම දඩයම, අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව ගෙනා දෝෂාභියෝගයෙන් අපි දැක්කෙමු. මොහාන් පීරිස් යනු, එම දෝෂාභියෝගයෙන් පසු, නීතියේ ආධිපත්‍යයත්, අධිකරණයේ ස්වාධීනත්වයත් සම්බන්ධයෙන් වන සකල ප‍්‍රතිපදාවන් සහ සුසිරිත් උල්ලංඝනය කරමින් සහ එසේ ඒවා උල්ලංඝනය කෙරෙන බව රටවැසියා සහ ලෝකයා දැන ගැනීම ගැන වගක් නැතිව කරන ලද ඉහළම අධිකරණ පත්වීමට වරම් ලද්දෙකි. ඊට පෙරත් මෙවැනි පත්වීමක් කර තිබුණි. ඒ, අද මේ ජනාධිපතිවරයා තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නෙමැ යි කියන සරත් නන්ද සිල්වාව එවක ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිණිය විසින් අගවිනිසුරු පදවියට පත් කළ අවස්ථාවයි. එතැන් සිට ඔහු විශ‍්‍රාම යන තෙක් කෙළේ, ලංකාවේ අධිකරණය අළුත්කඬේ සිට මරියකඬේ දක්වා ගෙන ඒමයි. නීතිය හැරුණු කොට අනිත් සෑම පුද්ගල හැඟීමක් සහ බැඳියාවක්ම ‘යුක්තිය පසිඳලීමේ නීතිය’ බවට පත්කර ගත් මොහු, අද මහින්ද රාජපක්ෂගේ තුන්වැනි වාරයට එරෙහිව ‘නීතිය ඉදිරියට’ යන බව කියයි. ඔහු එන තෙක් මොහාන් පීරිස් දත කට මැදගෙන සිටින බවට කිසි සැකයක් නැත.

වතිකානු ගමන, ලංකාවේ අධිකරණයට හෝ නීතිය පසිඳලීමේ ක්ෂේත‍්‍රයට මොන අයුරකින්වත් අදාළ කටයුත්තක් නොවේ. එසේ තිබියදී, දේශපාලනික පත්වීමක් ලද අගවිනිසුරුවරයෙකු, එම අධිකරණය දේශපාලනිකව හැසිරවීමේ රැුහන් පට අතින් ගත් ජනාධිපතිවරයෙකු සමග, සවාරියක් යාම සංකේතවත් කරන්නේ, මේ රටේ බුද්ධිමත් පුරවැසියන් දැන් කාලයක් තිස්සේ දකිමින් සිටින අශෝභන ක‍්‍රියාවලියක තවත් එක් අඳුරු දර්ශනයකි. එයින් කියැවෙන්නේ, අධිකරණය යනු විධායකයම මිස වෙන කිසිවක් නොවන බවයි. පවතින සම්ප‍්‍රදායන් සහ පිළිගත් සුදුසුකම් නොතකා මහින්ද රාජපක්ෂගෙන් මෑත කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීම් ලද ඇතැම් විනිසුරුවරුන් කැබිනට් ඇමතිවරුන්ව සිය නිවෙස්වලට ගෙන්වා මධුපානෝත්සව පැවැත්වූ අවස්ථා පසුගිය කාලයේ වාර්තා විය.

ඌව පළාත් සභා මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී, මොනරාගල පවුල්වලට රුපියල් 2500 බැගින් වන නියං සහනාධාර බෙදා දීම මැතිවරණමය අයථා ක‍්‍රියාවක් බව මැතිවරණ කොමසාරිස්වරයා තීන්දු කොට තිබියදී, මේ මොහාන් පීරිස්ම මුලසුන දැරූ ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමසාරිස්වරයාගේ එම තීන්දුව ආපස්සට හරවමින්, පාලක පක්ෂයේ ඒ අයථා ක‍්‍රියාවට ඉඩ ලබා දුන්නේය. ලංකාවේ නියඟයට හසු වුණේ මොනරාගල පමණක් නම්, ඡුන්දයක් මුවවිට තිබීම හේතුවක් කරගෙන එම අනාථයන්ට නොසළකා සිටීම ඔවුන්ගේ අයිතියක් පැහැර ගැනීමක් වන්නට තිබුණි. එහෙත් මොනරාගල මෙන්ම එම නියඟයට හසු වුණු තවත් දිස්ත‍්‍රික්ක 6 ක් තිබුණි. ඒ කිසි දිස්ත‍්‍රික්කයකට ඉහත කී නියං සහනාධාරය දුන්නේ නැත. එම සාධකය හරහා පමණක් වුවත්, පාලක පක්ෂයේ කූට උපාය වටහා ගැනීම අපහසු නැත. එසේ තිබියදීත්, මේ අගවිනිසුරුවරයා දැනුවත්වම ආණ්ඩුවේ ඒ අයථා ක‍්‍රියාව අනුමත කළා පමණක් නොව, ලෝකයා හිනාගස්සන ‘අවවාදයක්’ දීමටත් අමතක නොකෙළේය. එනම්, එම ආධාර බෙදා දීමේ උත්සවවලට දේශපාලඥයන් සහභාගී නොවිය යුතු බවයි.

දැන්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ජනාධිපතිවරයාට එරෙහිව නඩු කීමට යන්නේ, මේ කියන මොහාන් පීරිස්ගේ අධිකරණය ඉදිරියටයි. ඔහේ යද්දෙන්.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.