Colombo Telegraph

රාජපක්ෂ ආවේශය වැහුණු ට්‍රොට්ස්කිවාදී සම්මෝහයට ලංකාව අගාධයෙන් ගලවා ගත හැකිද?

ගාමිණී වීරකෝන්

සැමරිය යුතු සංවත්සර සේම සැමරීමට තරම් නොවන සංවත්සරද ශ‍්‍රී ලාංකිකයෝ සමරති.

ලංකා සමසමාජ පක්ෂයේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන්, පක්ෂ සභාපති තිස්ස විතාරණ නිකුත් කළ ‘‘ලෝක අර්බුදයක් හමුවේ ශී‍්‍ර ලංකාවේ ඉදිරි මඟ’’ නැමැති ‘පත‍්‍රිකාවක්’ ගැන, ලංකාවේ ‘සියල්ල දත් මහතා’ වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලියූ පුවත්පත් ලිපියක් කියැවීමට ලැබීම හැර වැඩිමනත් හාහෝවක් ඒ නිමිත්තෙන් දැක ගැනීමට නොලැබුණත්, 80 වසරක ඉතිහාසයක් සැමරීමට තරම් ලංකා සමසමාජ පක්ෂයට සුදුසුකම් තිබේ.

කාලෝ ෆොන්සේකා යනු, පෘථුල විෂය පරාසයක් පිළිබඳ අධිකාරියක් සේ සැළකෙන, වර්ණවත් චරිතයකි: දෙවියන්ට ප‍්‍රසිද්ධියේ අභියෝග කරමින් ගිනි පෑගීම සහ යකඩ කොක්කක හතර කොණින් සිරුරක් එල්ලා තැබීමේ රහස කියා දීම, සුනිල් ශාන්තගේ ගේය පදවල ආනන්දය විදහා දැක්වීම, නූතන ලෝකයේ ඩාවින් සේ ගැනෙන රිචඞ් ඩෝකින්ස්ගේ මතවාද දක්වා විහිදෙන චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය වෙනුවෙන් නොසැලී පෙනී සිටීම ආදිය ඔහුගේ ක‍්‍රියාකාරකම් අතර කැපී පෙනේ.

විවිධ ගූඪ විෂයයන් අළලා මැදිහත්වීම ගැන ඔහු බෙහෙවින් ප‍්‍රකට වුවද, ට්‍රොට්ස්කිවාදියෙකු (සමසමාජකාරයෙකු) වශයෙන් එතරම් ප‍්‍රසිද්ධියක් ඔහුට නැත. එහෙත් ඔහු එම පක්ෂයේ සාමාජික පතක් දරණ පාක්ෂිකයෙකි. එසේ හෙයින්, සමසමාජ පක්ෂයට අදාළ කරුණු ගැන වුවත් ඔහුගේ අදහස් උදහස් ‘ප‍්‍රාමාණික’ සේ ගිනිය හැකි වෙයි.

වසංගත මගහැරීමේ විතාරණ සූත‍්‍රය

1845 දී ප‍්‍රකාශයට පත්, කාල් මාක්ස් සහ ෆෙඩරික් එංගල්ස් ලියූ කොමියුනිස්ට් ප‍්‍රකාශනය ගැනත්, අනතුරුව ඇති වු විප්ලව කෙරෙහි එය විසින් ඇති කළ බලපෑම ගැනත් ෆොන්සේකා සඳහන් කරයි. ප‍්‍රංශ සහ ඇමරිකානු විප්ලව කොමියුනිස්ට් ප‍්‍රකාශනයට කලින් සිදු වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ප‍්‍රංශ විප්ලවය විසින් මාක්ස්-එංගල්ස්ගේ කොමියුනිස්ට් ප‍්‍රකාශනයටත් සෘජු බලපෑමක් ඇති කළ බව සමහරු කියති.

එසේ වතුදු, බොහෝ මහද්වීප අරා පැතිරුණේ, සෝවියට් විප්ලවයේ සහ සෝවියට් කඳවුරේ (සෝවියට් අධිරාජ්‍ය යැයිද සමහරු කියති) මහෝඝයයි. කාලෝ ෆොන්සේකා විසින් විතාරණගේ ‘පත‍්‍රිකාව’ කොමියුනිස්ට් ප‍්‍රකාශනය සමග සසඳන්නේ හෝ ඊට සමාන්තර ලක්ෂණ ගෙනහැර පාන්නේ හෝ නැත. එහෙත් ඒ ‘පත‍්‍රිකාව’ තුළ, ‘ලෝක වසංගත පහකින් ශ‍්‍රී ලංකාව ගලවා ගැනීමේ සුවිශේෂී ප‍්‍රතිපත්ති 18 ක වැඩ පිළිවෙලක් ගැන ඉඟි කරන’ බව හෙතෙම කියයි. එහිදී ‘උග‍්‍ර’ අර්බුද තුනක්, එනම්, ආහාර, ඉන්ධන සහ මූල්‍ය අර්බුදත්, තවත් ‘නිදන්ගත’ අර්බුද දෙකක්, එනම්, සංවර්ධන සහ පරිසර අර්බුදත් හඳුනා ගැනේ.

මේ කියන ‘පත‍්‍රිකාව’ හෝ ‘පොත් පිංච’ අප කියවා නැත. එහෙත් විතාරණ කියන සමසමාජ පක්ෂ යෝජනා තුළ අඩංගු ‘සංක‍්‍රමණීය වැඩපිළිවෙල’ අපේ අදහස් දැක්වීම සඳහා සෑහේ.

‘ළඟ එන විනාශයෙන් රට ගලවා ගැනීම සඳහා සමාජ පරිණාමයේ වර්තමාන අවදියේදී’ අවශ්‍ය කෙරෙන කරුණු 18 ක් එහිදී අවධාරණය කෙරේ. නමුත් මෙහිදී අපට පෙනෙන පරහක් තිබේ. එනම්, ‘ළඟ එන විනාශයෙන් රට ගලවා ගැනීම’ සඳහා යෝජිත එකී වැදගත් කරුණු, එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන තිබෙන පොදු ප‍්‍රතිඥාවන්ගෙන් වෙනස් නොවීමයි. ඊටත් වඩා, ඒ සියල්ල, එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ පවා අන්තර්ගත වන්නේය. එම කරුණුවලින් කිහිපයක් මෙසේය: ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් වශයෙන් පැවතීම, නොබැඳි ජාතික ප‍්‍රතිපත්තියක් දැඩිව අනුගමනය කිරීම, ඉතා පොහොසත් සංස්කෘතික විවිධත්වය මැද්දේ සමගිය ස්ථාපිත කිරීම, තිරසාර ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම, ජාතික අවශ්‍යතා ආරක්ෂා වන සේ ආර්ථිකය නියාමනය කිරීම, ජාතික සැලසුම් සම්පාදනය දිරිමත් කිරීම, පෞද්ගලික සහ රාජ්‍ය සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම ආදියයි.

බාගෙ විට, ඉහත කී අංශයන්ට අදාළ අවශේෂ සුළු කාරණා සම්බන්ධයෙන් මේ චින්තනය එක්සත් ජාතික පක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ චින්තනයෙන් වෙනස් විය හැකි වෙතත්, මූලික අරමුණු අරභයා ඒවා එක සමාන ය.

විප්ලවය ගැන කතා කරන කාලෝ ෆොන්සේකා, ඇන්. ඇම්. පෙරේරා වැනි සමසමාජ පක්ෂයේ ආරම්භක නායකත්වය අනුදුටු විප්ලවය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් මිස, ආණ්ඩුව හෝ පවතින සමාජය ප‍්‍රචණ්ඩකාරීත්වයෙන් වෙනස් කිරීමක් නොවන බව පෙන්වා දීමට විශේෂ පරිශ‍්‍රමයක් ගනී.

සාරි පොටේ දේශපාලනය

මේ කාරණය තුළින් මතු කෙරෙන්නේ, 60 ගණන්වලදී හතරවැනි ජාත්‍යන්තරයෙන් පවා පන්නා දැමීමට හේතුවන, දේශීය ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩවසම් දර්ශනය සමග, තම දේශපාලනික පැවැත්ම වෙනුවෙන් සන්ධානගත වීමට මේ පක්ෂය ගත් තීරණය අනුවණ නොවේද යන ප‍්‍රශ්නයයි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ සාරි පොටේ එල්ලීමෙන් සමසමාජ පක්ෂයට අත්වූ සුගතිය කුමක්ද? ඇමතිකම් කිහිපයක් ලැබීමද?

ඊටත් වඩා ප‍්‍රශ්නාර්ථයක් මතු කරන්නේ, දූෂණය මහ දවල් ප‍්‍රකාශයට පත්වූ රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයේදී පවා, එම කඳවුර සමග කල්ලි ගැසීමට බුද්ධිමත් ලංකා සමසමාජ පක්ෂය තීරණය කෙළේ මන්ද යන්නයි. දෙවසරක් තිස්සේ තමන් විසින්ම සභාපතිත්වය දැරූ ‘සර්ව පාක්ෂික සමුළුවේ’ වාර්තා දෙකට අත්වූ ඉරණමෙන්, උගත් තිස්ස විතාරණ කිසිවක්ම ඉගෙන ගත්තේ නැත්ද? වසර දෙකක සර්ව පාක්ෂික ප‍්‍රයත්නයකින් පසු ඔහු ඉදිරිපත් කළ වාර්තා දෙක රාජපක්ෂ විසින් මුළුමණින් නොතකා හැරුණි.

එසේ වුණේ, බලයේ දිගටම රැුඳී සිටීම සඳහා රාජපක්ෂට අවශ්‍ය කළ අධිපති සිංහල දේශපාලන චින්තනයට, එකී වාර්තාවන් හරහා යෝජනා කෙරුණු සංහිඳියා උපාය මාර්ග පරස්පරව සිටි නිසාද? වර්තමාන පාර්ලිමේන්තුවේ එක සමසමාජ මන්ත‍්‍රීවරයෙකු පවා නැති වුවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව නැවත බලයට ගෙන ඒමට තවමත් ඔවුන් යත්න දරන අතරේ, දැඩි එක්සත් ජාතික පක්ෂ විරෝධයක්ද පෙන්වයි. එහෙත්, ලංකාව පත්ව ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා එම පක්ෂයේ නායකයන් දැන් ඉදිරිපත් කරන විසඳුම් සහ පාලක එක්සත් ජාතික පක්ෂ/ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ඉදිරිපත් කරන විසඳුම් අතර මොනම වෙනසක්වත් ඇත්තේද නැත.

මහින්ද රාජපක්ෂව නැවත වරක් දේශපාලනිකව ගොඩගත්තොත්, රට අගාධයෙන් ගොඩගැනීම සඳහා විතාරණ කියන ‘ලෝක අර්බුදය හමුවේ ශ‍්‍රී ලංකාවේ ඉදිරිමඟ’ ප‍්‍රතිපත්ති රාජපක්ෂ විසින් අනුගමනය කරනු ඇතැයි විතාරණ සිතන්නේද? එසේ නැත්නම්, විතාරණගේ ‘සර්ව පාක්ෂික වාර්තාවට’ සැලකූ ආකාරයෙන්ම මේ කාරණය සම්බන්ධයෙනුත් රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි නොසිතන්නේද?

*2015 දෙසැම්බර් 27 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ පළවූ “Can Trotskyite Obsession with Rajapakse Save Lanka from Doom?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page