27 April, 2024

Blog

දාහේ කොළයකින් පැලෝපීය නාල වසා ගෙන සිටින ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමය 

ගෘෂා ඇන්ඩ්රූස් –

නමෝ විත්තියෙන්ම කියමි. 

වෛද්‍ය ශාෆි ට සුදු හුණු ගෑමට හෝ, ඔහු වන්ධ්‍යකරණ සැත්කම් 4000 ක් කලේ කෙසේද ආදී ප්‍රශ්න ඇසීමේ ආශාවක් මා තුළ නැත. ඔහු කාන්තාවන් 4000 ක් වඳ කළද නැතද, මුදල් විශුද්ධිකරණය හෝ ඊට සමාන කවර හෝ මුල්‍ය අපරාධයකට සම්බන්ධව ඉන්නට  ඇති බවට ප්‍රමාණික සැකයක් ඕනෑම සාමාන්‍ය බුද්ධිය ඇති කෙනෙකුට වැටහේ. තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් වෛද්‍ය ශාෆි බැදී, කර වී, අළු වී හමාරය. එහෙත්, ලංකාවේ හැටියට ඔහු වෘත්තීය මලගමින් උත්ථානය වී හෙට අනිද්දා නැගෙනහිර ආණ්ඩුකාරයා වැනි තනතුරකට පත් වුවද අප පුදුම විය යුතු නැත. 

ප්‍රශ්නය එය නොවේ.

වෛද්‍ය ශාෆි

වෛද්‍ය ශාෆි සහබ්දීන් ඉලක්ක කරගෙන  රජරට විශ්වවිද්‍යාලයේ ජාතිවාදී මලකුණක් නව පණක් ලැබීමට සමාජය අවුළුවා දැනට දින 10කි. මා විසින් පෙරද යෝජනා කල පරිදි මල මිනී කන එම පරපෝෂිතයන්ගේ නමවත් අප සඳහන් නොකළ යුතුය. මවුන් 4000 ක් වඳ කරන තුරු (කළා නම්) බලා සිට ජාතිවාදයෙන් මියගිය දේශපාලන ජීවිතයට හුස්ම දෙන්නට තැත් කරන  එම අසමත් අවිද්‍යාර්ථීන් ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. 

“වඳ ගල“ මත පැහැරූ ප්‍රසව හා නාරි විශේෂඥ බළල්ලු 

ශ්‍රී ලංකාවේ මුළු මහත් වෛද්‍ය ක්ෂේත්‍රයහිම විශ්වාසනීයත්වය විනාශ කරමින් ජාතික ආපදාවක් තරම් ව්‍යාප්ත වූ මේ දරුණු විනාශය හමුවේ වෘත්තීයවේදීන් ගල මත පැහැරූ බළලුන් වීම ඉතා ප්‍රශ්නකාරී වෙයි.  

ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේදය පිලිබඳව ඇති එකම වෘත්තීය සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයයි. එය ශ්‍රීලංකාවේ ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ පිළිවෙත්, සායනික නිර්දේශ, රෝගී සුරක්ශාව පිලිබඳ රෙගුලාසි, එම විෂය පිලිබඳ පශ්චාද් වෛද්‍ය අධ්‍යාපනය, සිය ක්ෂේත්‍රයේ කීර්තිනාමය සහ විශිෂ්ටත්වය පවත්වා ගෙන යාම ආදී සියලු කරුණු පිලිබඳ තීන්දු තීරණ ගන්න්නා අනභියෝගී, අසහාය සංගමයයි. 

රටේ මවුවරුන් 4000ක් විශේෂඥ වෛද්‍යවරයකුගේ සුපරීක්ෂණය යටතේ සිටි ජ්‍යෙෂ්ට වෛද්‍ය නිලධරයකු (වෛද්‍ය ශාෆි සියබ්දීන්) විසින් වඳ කරනු ලබා ඇති බවට රටම  කම්පා කරවන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමය ගොළුවා කසාය බී වා සේ නිහඬව සිටියි.  මෙම බලවත් සමාජ ප්‍රශ්නය විසඳීම සඳහා ඔවුන් විසින් කළ යුතුව තිබුනේ වහාම (ඉල්ලන තුරු නොසිට) සිය තාක්ෂණික දැනුම සෞඛ්ය අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කිරීමයි. 

රටම ගිනිගෙන , මුස්ලිම් වෛද්‍යවරුන්ගේ ලෙය ඉල්ලන තැනට පාස්කු ප්‍රහාරයෙන් කම්පිත රට අද දමන්නේ නැතිව වහාම එම සංගමයට ප්‍රකාශයක් නිකුත් කළ යුතුව තිබුණි. 

ඒ වෙනුවට සිදු වුයේ කුමක්ද? 

මහාචාර්ය හේමන්ත දොඩම්පහල නමැති එම සංගමයේ කවුන්සිලයේ ද සාමාජිකයකු වන පුද්ගලයකු ශල්‍ය උපකරණ මගින් පැලෝපීය නාල තද කර  වඳ කළ හැකි බවට ප්‍රකාශයක් නිකුත් කිරීමයි. න්‍යායාත්මකව සැලකු විට ඕනෑම ජීවී පටකයක් ශල්‍ය උපකරණයක් ආශ්‍රයෙන් තද කොට පැයක් දෙකක් තැබීමෙන් ලේ ගමනය නැවතී එම පටකය අජීව වන බව ඕනෑම දරුවකුට වුව තේරෙන අතර එවැනි දෙකයි පනහේ තියරි ඉදිරිපත් කිරීමට මහාචාර්ය වාරයකු අවශ්‍යද? එසේ සැලකුවොත් උදර කුහරයේ, ශ්‍රෝණි කුහරයේ හෝ ශරීරයේ ඕනෑම කොටසක සැත්කමක් කළ රෝගියෙක් හෙට මිය ගිය හොත් ශල්‍ය වෛද්‍යවරයා රුධිර නාලයක්, පටකයක් ඕනෑ කමින් තදකර තැබූ නිසා රෝගියා මිය ගිය බවට ඥාතීන්ට චෝදනා කළ හැක. මින්පසුව මුස්ලිම් රෝගියෙකු මිය ගියහොත් සිංහල වෛද්‍යවරයාට ද එම චෝදනාවම එල්ල වනු ඇත. දොඩම්පහල මේ දූෂණය කරන්නේ වෛද්‍ය වෘත්තියේ අනභිභවනීය උදාරත්වයයි. එහි මානුෂීය බවයි. මින් පසු මිනිස් ජීවිත් අනිත්‍ය විය නොහැක. රෝගීන් මිය යා නොහැක. වෛද්‍ය වරයාගේ බෙල්ලට පිහිය තියන තියරිය දොඩම්පහල උගන්වා ඇත. 

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයට සදාචාරයක් තිබේද ?

දොඩම්පහල මෙන්ම හිරු ටීවී, දෙරණ ටීවී තුළින් ශල්‍ය උපකරණ වනමින් ප්‍රකාශ නිකුත් කරන ඉතිරි විශේෂඥයින් කරන්නේද වෛද්‍ය වෘත්තියේ විශ්වාසනීයත්වය වගකීමකින් තොරව කෙලෙසා පොදු ජන හිස්ටීරියාවක් ඇති කිරීමය. ඉහත සිදු කළ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට සදාචාරාත්මක පසුබිමක් එම විශේෂඥ වෛද්‍යවරුන්ට තිබේද? අන්තර්ජාලයේ ටිකක් ගැඹුරට සැරිසරුවොත් ඔබට ඔවුන් කවුදැයි හඳුනා ගත හැක. ඔවුන්ගේ දේශපාලන ආනතිය හඳුනා ගත හැක. මොවුන්ගේ වෘත්තීය ජීවිතයේ කළු පැල්ලම්, රතු පැල්ලම් ඔබට දැක ගත හැකි වනු ඇත.   

මෙම ජාතික ව්‍යසනයේදී ප්‍රධාන වෘත්තීය මැදිහත්කරුවා විය යුත්තේ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයේ සභාපතිවරයාය. වෛද්‍ය ශාෆි සේවය කළේ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයේ සාමාජිකයකු වන විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු යටතේය. එසේ නම් එම විශේෂඥ වෛද්‍යවරයාගෙන් රහස්‍ය  ලෙස හෝ කරුණු විමසා, අභ්‍යන්තර විමර්ශනයක් කර මේ (සිදු වුවා නම්) විපත මවුවරුන් 4000 කට වන තුරු එම වෛද්‍යවරයා කුමක් කළේද, වෛද්‍ය ශාෆි ව සුපරීක්ෂණය කිරීම සඳහා  ගත පියවර කවරේද ආදී වශයෙන් වෘත්තීය මැදිහත් වීමක් සිදු විය යුතුය. ඉන් පසුව අවශ්‍ය කරුණු ජනතාවට හෙළි කර ඒ පිළිබඳව වෘත්තීය මැදිහත්වීමක් ඇති බවට ජනතාවට දන්වා මුළු මහත් වෛද්‍ය වෘත්තීය කෙරෙහිම බිඳ වැටුණු විශ්වාසනීයත්වය ගොඩ නැගීම එම සංගමයේ සභාපතිවරයාගේ සදාචාරාත්මක වගකීම වෙයි. 

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ මහාචාර්ය අතුල කලුආරච්චිට එවැනි සදාචාරාත්මක පසුබිමක් තිබේද? 

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයේ කවුන්සිලයේ සිටින විශේෂඥයින් නම් පහත සඳහන් කරමි. 

වත්මන් සභාපති – මහාචාර්ය අතුල කළුආරච්චි

2020 සභාපති – වෛද්‍ය යූ. දී.පී. රත්නසිරි

2018 සභාපති – මහාචාර්ය පී.එස්. විජේසිංහ 

වත්මන් ලේකම් – වෛද්‍ය හර්ෂ අතපත්තු 

ඉතිරි කවුන්සිල සාමාජිකයන්: වෛද්‍යවරුන් වන – රුවන් සිල්වා, මදුර ජයවර්ධන, සනත් ලැනරෝල්, චන්දන ජයසුන්දර, මංගල දිසානායක, කේ. මුහුන්තන්, රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ, ජානකි කුමාරසිංහ, සමන්ති ප්‍රේමරත්න, මහාචාර්ය සී. රන්දෙනිය, මහාචාර්ය ටිරාන් ඩයස්, එස්. පී . අක්මීමන, දර්ශන අබේගුණවර්ධන, ප්‍රසාද් රන්නුළු, දම්මික සිල්වා, සුදත් සේනාරත්න, එච්.එම්.ජේ.එන්. හේරත්, දිනුක ලංකේශ්වර, සුමිත් වර්ණසුරිය, නලින් රොඩ්රිගෝ, වසන්ත ගලප්පත්ති, පී.එච්.පී.සිල්වා, මහාචාර්ය එස්.එච්. දොඩම්පළහ, ඒ.සීතාම්බරපිල්ලේ, පී.ඩ්.ලියනගම, ඒ.කේ.පී. රණවීර, චමින්ද මාතොට, චමින්ද කඳඋඩ​, මහාචාර්ය ජයන්ත ජයවර්ධන, වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක සහ ගාමිණී පෙරේරාය. 

මගේ සිතෙහි පැන නගින ප්‍රශ්නය නම් මෙම ලයිස්තුවේ සිටින එක විශේෂඥ වෛද්‍යවරයකුට වත්, මෙවැනි වෘත්තීය හා ජාතික ආපදාවකදී අවදි වන හර්ද සාක්ෂියක් නැතිද යන්නයි. ප්‍රසව හා නාරිවේදය පිළිබඳව නොව කිසිදු වෛද්යවරයකුට් මින් මතුවට ජීවිත ආරක්ෂාවක් සහිතව රෝගියා කෙරෙහි සද්භාවයෙන් සිය රැකියාව කළ නොහැකි තැනට වෘත්තීය හෙලා තලා දැමීමට එරෙහි වන්නට චරිත ශක්තියක් ඇති එක් වෛද්යවරයකුවත් මෙම කවුන්සිලය තුල නැත්ද? 

වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන නැති පොදු ජන සමාජය ඉදිරියට ගොස් භීතිකා වපුරමින්, ජාතිවාදය වපුරමින්, විවිධ අවිද්‍යාත්මක අර්ථකතන වලට ඉඩ සලසමින්, අවිශ්වාසය වපුරාමින් උතුම් වෘත්තීය (noble profession) කෙලෙසන මේ අවස්ථාවාදීන් නිහඬ කිරීමට මොවුන් එක්ව පෙරට නොඑන්නේ මන්ද? 

මේ සියලු දෙනා එකට හිඳ , මෙම භයානක් සංසිද්ධිය පිලිබඳ පැහැදිලි මතය ජනගත කිරීමේ හෝරාව ඉක්ම ගොස් ඇත. දැන්වත් ඔවුන් “නොදැක්කා සේ“ තමාගේ ඇඟ බේරාගෙන වෛද්‍ය වෘත්තීය පාවා දීම නතර කල යුතුය. 

දැන්වත් මොවුන් ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වා සමාජයේ දුර්මත දුරැලා, මේ පිලිබඳ මධ්‍යස්ත මතය සහ සත්‍යය ප්‍රකාශ කළ යුතුය. එය කර ගැනීමට තරම් දැනුමක් නොමැති නම්, මොවුන් පාට පාට පශ්චාත් උපාධි ලෝගු දමාගෙන, විදේශ ගත වෙමින්, තමාවම ප්‍රවර්ධනය කර ගනිමින්, සිය තනතුරු මුදල් ඉපයීමට හා චැනල් ගොඩ වැඩි කර ගැනීමට යොදා ගනිමින් මේ ගත කරන පුහු මහේශාක්යත්වයට සුදුසු නැත.

මොවුන් ජනයා ඉදිරියට පැමිණ මෙම දරුණු ජන විනාශනය පිලිබඳ චෝදනාවෙදී තමාගේ කුරුණෑගල  විශේෂඥ වෛද්‍ය සඟයා රකිනවාද? චෝදනා පදනමක් සහිතද නැද්ද පිලිබඳ සිය විශේෂඥ මතය ජනතාවට ප්‍රකාශ කරනවාද? වෛද්‍යවරුන් පිලිබඳ පොදු ජන භීතිකාව සමනය කරනවාද? – ආදී ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය.

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමය දැනට සිටින්නේ දාහේ කොලයකින් රටේම කාන්තාවන්ගේ පැලෝපීය නාල වසා දැමීමට බොළඳ ලෙස තැත් කරමිනි. මොවුන් “මෝඩයාට නොපෙනෙන” සේලය ඇඳගෙන නිරුවතින් වීථි සැරූ අධිරාජයා වැනි විහිළුකාරයින් ගොඩකි. මොවුන්ට සිය වෘත්තීය යුතුකම ඉටු කිරීමට චරිත ශක්තියක් නැත්තේ මොවුන් බොහෝ දෙනෙක් ගත කරන මේ දිලිසෙන ජීවිතය පිටුපස මෙම ලිපියෙන් ඔබ්බට ගිය ලජ්ජා සහගත යතාර්තයන් රැසක් ඇති බැවිනි. මොවුන් බොහෝ දෙනෙක් මෙතැනට පැමිණියේ කෙසේද, පැවතී සිටින්නේ කෙසේද යන්න වෙනම ලිපියකට ප්‍රස්තුතයන් වෙයි. 

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් පිලිබඳ යතාර්ථය 

රජයේ චක්‍ර ලේඛ පැහැදිලිව පවසන්නේ සුපරීක්ෂණයෙන් තොරව වෛද්‍ය ශාෆි වැනි ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධරයන්ට හිතුමතයේ ශල්‍යකර්ම කිරීමට ඉඩ දිය යුතු නැති බවය. නමුත් සත්‍යය නම් ජ්‍යේෂ්ඨ වෛද්ය නිලධාරීන්ට විශේෂඥ වෛද්‍යවරුන් බිය වීමය (සියලු දෙනා එසේ නැත). පශ්චාද් උපාධි පුහුණුව සඳහා ඒකක වෙත පැමිනෙන්නන්ද, සීමාවාසික පුහුණුව සඳහා එන කනිෂ්ට වෛද්‍යවරුන්ද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධරයාට බිය වෙති. එයට  හේතුව පශ්චාද් උපාධි පුහුණු වෛද්‍යවරයාද, සීමාවාසික වෛද්‍යවරයාද ටික කාලෙකින් ආපසු යන්නන් වීමය. රැඳෙන්නේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරයාය. එම නිසා සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයාට අවශ්‍ය වන්නේ තමා සමග රැඳෙන තැනැත්තා සමග සහජීවනයයි. 

විශේෂඥ වෛද්‍යවරයාගේ පෞද්ගලික චැනල් ව්‍යාපාරය සඳහා නිවාඩුව සපයන නොවෙනස් සාධකය ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරයාය. ඒ නිසා සාමාන්‍යයෙන් ඔහුට තද නීති නැත. ඔහුගේ දිනපොත විශේෂඥයා ප්‍රශ්න කිරීමකින් තොරව අත්සන් කරයි. වැඩ කළද නොකලද පැය 120 අතිකාල දීමනාව රෙකමදාරු කර අත්සන් කරයි. උදය කාලයේ කොහේ සිටියද රෑට සියලු බර අද තමාට චැනල් සේවයේ යෙදීමට ඉඩ ලබා දෙන්නේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරයාය. ඒ නිසා සාමන්‍යයයෙන් ඔහුව උදේට සොයන්නේ නැත. (සියලු දෙනා එසේ නැත.) 

පශ්චාද් පුහුණු වෛද්‍යවරුන් නැති කාල වලදී එම බර අදින්නේද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරයාය. කොළඹින් පිට කුරුණෑගල, දඹුල්ල, යාපනය වැනි සේවා ස්ථානවලට පත්වන විශේෂඥයන්ට “අඟහරුවාදා- බ්‍රහස්පතින්දා සින්ඩ්‍රෝමය“ ඇත (Tuesday to Thursday Syndrome). ඔවුන් බොහෝ දෙනා බ්‍රහස්පතින්දා කොළඹ යති. එන්නේ අඟහරුවාදාය. මේවා නිල නොවන හොර නිවාඩුය. ඒ කාලය තුළ විශේෂඥ වෛද්‍යවරයාව රකින්නේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධරයාය. 

ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාර් සර්විස් කිරීම, බොන්නට යාම, විශේෂඥ වෛද්‍යවරයාගේ දරුවන්ගේ පාසල් වැඩ සතියට පාසල් පිරිසිඳු කිරීම, වාහන වල ටයර් මාරු කිරීම ආදී සියලු වහල් සේවය කරන්නේද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධරයාය. ප්‍රසව හා නාරී වෛද්‍යවරුන් මෙන්ම ඇතැම් වෙනත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ චර්යාව ගැන හොඳින් සොයා බලන්න. ඔවුන් සතියට දවස් කීයක්, දවසට පැය කීයක් සේවයට එතිද? මොවුන් තමාගේ රාත්‍රී සේවය තිබෙන දින වලද යාල විල්පත්තු නොයයිද? ඔවුන්ගේ අටෝරාසියක් විනෝදාංශ (ඡායාරූප​ ගැනීම, අප්‍රිකාවේ කොටින් – සිංහයන් බැලීම, නිවාඩු ගත කිරීම, නිවාඩු නිකේතන සෑදීම, වෛද්‍ය සැපයුම් කොම්පැනි පවත්වාගෙන යාම, පන්සල් සෑදීම , රුපවාහිනි වැඩසටහන් වලට යාම, ගීත ගැයීම, බණ කීම) සියල්ල කරන තුරු ඔවුන්ගේ නොපැමිණීම වසන්නේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරයාය. මොවුන් අතර මුදලින්, බලයෙන් සහ “හිතවත් කමින්” බැඳුනු මේ මනුෂ්‍ය සම්බන්ධය ජ්‍යේෂ්ඨ වෛද්‍ය  නිලධරයා අමාරුවේ වැටෙන තුරු ඉතා සුන්දරය. නොවරදින සුළුය . නමුත් වෛද්‍ය ශෆිට මෙන් වැඩ වැරදුනු විට විශේෂඥ වෛද්‍යවරයා සොයා ගන්නට වත් නැත. සිය නෛතික, වෘත්තීය, සදාචාරාත්මක වගකීම භාර ගැනීමට තරම් හැදිච්ච කමක් ඔය විශේෂඥ වෛද්‍යවරයාට නැත. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයටද නැත. 

ශාෆි කෙනෙක් හැදුනේ කොහොමද? 

වෛද්‍ය ශාෆි මේ තරම් පිම්මක් (පැන්නා නම්) පනින්නට තරම් බලවත් වුයේ කෙසේදැයි ඔබ වටහා ගත යුතුය. 

එය ඔහු මුස්ලිම් නිසා හෝ, දේශපාලනය කල නිසා හෝ, කපටි නිසා හෝ ඔහුට ලැබුණු බලයක් නොවේ. වෛද්‍ය ශෆිට එම බලය ලැබුනේ මෙම අපරාධයේ (සිදු වුවා නම්) සැබෑ අපරාධකරුවා වන, නීතියෙන් මේ සියල්ලෙහි වගකීම ගත යුතු, වෛද්‍ය ශාෆි එම සර්වබලධාරී තත්ත්වය ලබා දුන් විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාය. 

කුරුණෑගල පාරේ නාටක කරන, වෛද්‍ය ශාෆි ගේ ලෙය ඉල්ලන, රජයෙන් වන්දි ඉල්ලන, වෛද්‍ය ශාෆි ව එල්ලා මරන්නට කියන මවුවරුන් මෙයට වග කිව යුතු විශේෂඥ වෛද්‍යවරයා මේ ජන ඝාතනය (වුනා නම්) වන තුරු කොහේ සිටියේදැයි ඇසිය යුතුය. 

වෛද්‍ය ශාෆි මිනීමරුවෙක් නම්, දැන දැනම සුරතල් කරමින් ඔහුව හදා, වඩා, කවා, පොවා, ඔහුගේ අතට පිහිය දී, දැන දැනම අහක බලාගෙන “තමාගේ වැඩක් බලා ගෙන සිටි” කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සමාන වන්නේ කාටද? ඔහු සමාන වන්නේ මහා ජන ඝාතනයක් වන බව දැන දැනම ඇස් කන් පියාගෙන තිරුපති ගොස් සිංගප්පූරු ගිය ජනාධිපතිවරයාටය.

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමයේ මහත්වරුනි, 

දැන්වත් දාහේ කොළයෙන් වසාගෙන සිටින ජාතියේ පැලෝපීය නාල ද, ඔබේ නිරුවත ද පිලිබඳ සත්‍යය ජනතාවට කියන්න. දැන්වත් දාහේ කොලයෙන් නොව සදාචාරයේ සළුවෙන් ඔබේ වෘත්තීය නිරුවත  වසා ගන්න. 

ඔබේ වෙස් මුහුණු ගැලවෙමින් පවතී. 

ස්වයං වින්දනය නවතා ස්වයං විවේචනයක යෙදෙන්න. 

ඔබේ වෘත්තීය මෙහෙවර ඉටු කරන්න.  

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්ගේ සංගමය ලෙස ජනයා ඉදිරියට පැමිණ සත්‍යය හෙළි කර ජන භීතිකාව දුරු කරන්න. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.