26 April, 2024

Blog

නග්නයින් දැක රෙද්දේ චූගිය සිසිර මෙන්ඩිස්

නිලන්ත මානවසිංහ

ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා වන විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ඔහු දරණ තනතුරට කිසිම සුසුස්සෙකු නොවන බව ඔහු විසින්ම ඔප්පු කරනු ලැබීය. ඒ, පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන විවිධ පාර්ශවයන් විසින් කරනු ලබන කටයුතු අතර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් පත්කරනු ලැබූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ තමන් කවුරුන්ද යන්න ඔප්පු කිරීමෙනි.

අදාළ ඛේදවාචකය මූලික කර ගනිමින් බොර දියේ මාළු බෑමට උත්සහ කරන බෝහෝ දෙනෙකු සිටිති. ඒකාබද්ධ විපක්ෂය සහ අනෙකුත් පක්ෂ විසින් අදාළ සභාව නියෝජනය කිරීම ප්‍රතික්ෂේප කරණු ලැබුවද, එවැනි විශේෂ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීම වැදගත් තීරණයක් ලෙස පෙනේ. එම තීරණය තාර්කික සහ වැදගත් වුවද අදාළ සභාවට පත් වූ හෝ පත්කරණු ලැබූ ජනතා නියෝජිතයින් පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. ඔවුන්ගෙන් බහුතරයක් බුද්ධි අංශයක් ගැන තබා රටේ සාමන්‍යය කාරණයක් ගැන හෝ පිළිගතහැකි දැනුමක් නැති අමනයින් රැළකි. මේ නිසාම ඔවුහු අසනු ලැබූ ප්‍රශ්න, ඉතාම දුර්වල සහ අදූරදර්ශී යැයි කිවහොත් බොහෝ දෙනෙකු ඊට එකඟ වනු ඇත. මෙවැනි දෙයක් කිරීමේ පිළිවලක් තිබුණි. ආණ්ඩුවේ ඉහළ දේශපාලන ඇවරියේ ඇති කුළල් කාගැනීම ලෝකය හමුවේ යළිත් ඔප්පු කිරීම සඳහා මෙවැනි සභා ඇතිකිරීමෙන් කිසිඳු ප්‍රයෝජනයක් අත්වන්නේ නැත.

මෙහි වාසිය උපරිමයෙන්ම ගැනීමට උත්සහ කරනු ලැබුවේ බොරදියේ මාලුබාන දේශපාලනඥයින්ය. එය ඊයේ දිනයේදී මනාව ඔප්පු කරනු ලැබීය. විශේෂ තේරීම් කාරක සභාව නියෝජනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වලින් විශේෂ ඉල්ලීමක් කරනු ලැබුවද එය ප්‍රතික්ෂේප කරමින්, මාධ්‍යය ඉදිරියට පැමිණ සංදර්ශන පවත්වා ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම මගින් ඔප්පු කරනු ලැබුවේ රටේ ජාතික අවශ්‍යතා වලට මෙම පුද්ගලයින් දක්වන වංක බවයි.

“මිලේනියම් සිටි දෙක” හෝ “බුද්ධි අංශ පාවාදීම ආණ්ඩුවේ සුපුරුදු පුරුද්ද යළි කරළියට” යැයි කියමින් හිස්බස් හෙළීමට වඩා වැදගත් වන්නේ අදාළ කමිටුවට සහභාගී වීමට කතානායකවරයා විසින් කළ ඉල්ලීම පිළිගෙන කමිටුව ඉදිරියේදී තමන්ට ඇති ජාතික කැක්කුම ක්‍රියාවෙන් ඔප්පු කිරීමය. එය නොකොට මාධ්‍යය ඉදිරියට පැමිණ සංදර්ශන කිරීමෙන් රටට සහ ජනතාවට සුගතියක් නැත. නමුත් ඉදිරි මැතිවරණයකදී වාසී ලබාගැනීම සඳහා මෙවැනි සිදුවීම් තමන්ගේ වාසියට භාවිතා කළ හැකිය.

බොරුවක් සමග ජීවත් වී එය තමන්ගේ සහ තම පරපුරේ අදායම් මාර්ගය කරගත් කාලකන්නි කල්ලියකින් රටේ සමස්ථ දේශපාලන ව්‍යුහයම මෙහෙයවන විට ඕනෑම රටක් පත්වන ඉරණම මෙයයි.

මෙවැනි පරිපාලනයක් ඇති රටක මූලික සිදුවීම (එනම් සහරාන් සහ කල්ලිය විසින් සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව) වෙනුවට ඊට අනුයාතව සිදුවන සිදුවීම ප්‍රමුඛ වී ප්‍රධාන සිදුවීම වැසී යන්නේය. එනම්, ප්‍රධාන සිදුවීම යටයන අතර එය වැසීම සඳහා වෙනත් සිදුවීම් පහළ වේ. එය අන්තවාදීන්ට ඉතාම හිතකරය.

හම්බන්තොටින් දේශපාලන ගමන් ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන බලය රැකගැනීම සඳහා අවසානයේදී සහය පැතුවේ කුරුණැගලය. එසේම වෛද්‍යය සාෆි නැමැත්තෙකු විසින් ස්ත්‍රීන් වඳ කළ බවට පුවතක් මවමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවදානම වෙනත් පැත්තකට හැරවීම සඳහා යොදා ගන්නේද කුරුණෑගලය.

මෙම තෝරා ගැනීම් දෙකේ වෙනසක් දැකීමට ඔබට හැකි නම් එය අනර්ඝය. මෙම ලේඛකයාට අනුව නම් මෙම සිදුවීම් දෙකේ ඇති එකම වෙනස වාර්ගිකත්වය පමණි. එසේම, ස්ත්‍රීන් වඳ කිරීමේ සිද්ධියේ ඇති අන්තර්ගතය දෙස බැලුවිට ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැකි කාරණය වන්නේ මෙහි පිටුපස ඇති දේශපලාන හස්තයේ සැබෑ ස්වභාවයයි.

කෙසේ හෝ වේවා, රටේ ජනමාධ්‍යය විසින් තව දුරටත් තම වගකීම් ඉටුකිරීම නොව නිල නොලත් අධිකරණයේ භූමිකාව රඟ පාමින් සිටිති. මාධ්‍යය හිමිකරුවන් උග්‍ර ජාතිවාදයක් වපුරුවා තමන්ගේ ධනය වර්ධනය කරගනිමින් සිටිති. මෙම ශාපකාරී පිරිස ස්වභාවික නීතියෙන් හෝ දඬුවම් ලබා විනාශ වී ගොස් මෙරට අසරණ මිනිසුන්ට සුළු හෝ නිදහසක් ලැබෙන්නේ නම් මනාය.

පොලිතීන් මල්ලක් එල්ලාගෙන පැමිණි බදුර්දීන් කෝටිපතියෙකු වීම, අධිකරණය තමන්ට වුවමණා ආකාරයෙන් හසුරුවා තම අන්තවාදී අභිමතාර්ථයන් සපුරාගන්නා හිස්බුල්ලා, ස්ත්‍රීසොඬකු සහ නැගෙනහිරට අයි.එස්. පැමිණි බව කියමින් අයි.එස්, සංවිධානයේ කොඩි පොටෝෂොප් මාර්ගෙන් සේයාරු වලට දමා ව්‍යාජ බුද්ධි තොරතුරු හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ලබාදුන් අසාද් සාලී, හෙළිදරව් කිරීම නොහැකි වත්කම් හේතුවෙන් අධිකරණය ඉදිරියේ සැකකරුවෙකු වී සිටින විමල් වීරවංශ, විදේශිකයෙකුගේ ධනය කොල්ලකෑමේ වරදට සැකකරුවකු වී සිටින උදය ගම්මන්පිල, රටේ මුදලින් තමන්ගේ මියගිය දෙමාපියන්ට සොහොන් නිර්මාණය කොට අධිකරණය හමුවේ පෙනී සිටිමින් ව්‍යාජ සිහිනයක් ගැන දොඩන ගෝඨාබය රාජපක්ෂ, කොටස් වෙළඳ පොළ තමන්ට වුවමණා අකාරයෙන් කඩාබිඳ දමා රටේ අංක එකේ ධනවතා වන ධම්මික පෙරේරා ( ධම්මික පෙරේරා ඇමෙරිකානු පුරවැසියෙකු වූයේ නම් මේ වනවිට සිර දඬුවම් විඳින රාජරත්නම් හා එක්ව හිරේ බෝල ගසනු ඇත.) සහ හදිසියේ පොහොසතුන් වූ ප්‍රධාන මාධ්‍යය ආයතනවල පුද්ගලයින් අතර වෙනසක් මා හට නම් නොපෙනේ. මොවුන් සියල්ලම එක හා සමාන කුණුගොඩවල් පමණක් නොව, ජාතියක අවාසනාවට පහළවෙන මිනිස් ස්වරූපයගත් මළ පෙරේතයින් කණ්ඩායමකි. කෙසේ හෝ වේවා, මේ ශාපයෙන් රට ගැලවුණු දිනක මෙරට සැබෑ රාජ්‍යයක් බිහිවේ. එතෙක්, අපට කළ හැක්කේ අපේ නූපන් පරම්පරා වෙනුවෙන් හෝ ලියා තැබීම පමණි.

කෙසේ නමුත්, පාස්කු ප්‍රහාරය ගැන විමසීමට කතානායකවරයා විසින් පත්කරනු ලැබූ විශේෂ කාරක සභාව මෙහිදී විමසා බැලීම වැදගත් වේ. මෙහිදී විමසා බැලිය යුතු මූලික කාරණා දෙකකි. පළමුවැන්න සිසිර මෙන්ඩිස් විසින් නිරුවත් කරනු ලැබූ මෙරට බුද්ධි සේවාවල පවතින සැබෑ ස්වරූපයයි. එනම් එහි ප්‍රධානියා තම සේවකයින් වෙනුවෙන් වගකීම් දැරීමට අසමත් සහ දුර්වලයෙකු වූවිට ආයතන වලට මුහුණ දීමට සිදුවන ඉරණමයි. රටේ බොහෝමයක් රාජ්‍යය මෙන්ම පෞද්ගලික ආයතන වලට සිදු වී ඇත්තේ මෙයයි. දෙවැන්න, විශේෂ කාරක සභාවේ ඇති දේශපාලන සංයුතිය සහ එය මෙම බරපතළ ගැටලුව විමසීම සඳහා නුසුදුසු වීමයි.

මෙහිදී පළමුව, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළ අදහස් සහ ඔහුගේ බියගුළු හැසිරීම ගැන විමසීම වැදගත් වේ. ඔහුගේ හැසිරීම දැකීමෙන් පෙනී යන්නේ රට මෙවැනි අඝාදයකට තල්ලු වී ඇත්තේ, දේශපාලනඥයින්ගේ කෙරුවාව නිසා පමණක් නොව විවිධ ස්ථාන වල සිටින නිලධාරීන්ගේ ඇල්මැරුණු, අමන, බියගුළු, සහ රැස්වීමකදී කෑමට පමණක් තම පෙර-මුඛය විවර කරන පිරිස් නිසා බවය. තනතුරට තිබෙන තණ්හාව හැරෙන්නට එම තනතුරේ ඇති බාරධූර වගකීම් සමුදාය ගැන මෙම පුද්ගලයින්ට කිසිම අවබෝධයක් නැත.

සබකෝල පිරිමි ළමයෙකු තම පාසල් දිවියේදී හමුවන කුළුඳුල් ප්‍රේමය ඉදිරියේ තමන්ගේ සත්‍යය පෙම ප්‍රකාශ කිරීමට අර අදින විට තම ඇඳිවතේ සුළුදිය පහවීමට ඔන්න මෙන්න කියා තිබියදී එම වේදනාවෙන් මිදීමට, “මම හරි අවංකයි, අනේ මගේ ප්‍රේමය පිළිගන්නකෝ,” යැයි කියන්නාසේ, සිසිර මෙන්ඩිස්ගේ සමස්ථ හැසිරීම අපුල දනවන සුළුය.

අවාසනාවක මහත නම්, ඔහු එම විශේෂ පාර්ලිමේන්තු සභාවේ සිටි රවී කරුණානායකගෙන් හෝ ඉගෙන නොගැනීමයි. කරුණානායක, මහබැංකු බැඳුම්කර කොල්ලයේදී සාක්ෂි දෙමින් බොහෝ දෑ “මම දන්නේ නෑ” යැයි කියමින් ලිස්සා ගියේය. නමුත්, මෙරට බුද්ධි අංශයේ 1970 දශකයේ සිට කටයුතු කරනු ලැබූ සිසිර මෙන්ඩිස් තම ඇඳිවතේ සුළුදිය පහවූවා සේ හැසිරුණේය.

සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂිය ආරම්භ වූ මොහොතේ සිට අවසානය දක්වාම හෙතම ඔප්පු කරනු ලැබුවේ තමන් එම ධූරයට කෙතරම් නුසුදුස්සෙකුද යන්න පමණි.

මෙන්ඩිස්, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර, අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කළේය. ඉන් පසු 2015 දී, හෙතම විශ්‍රාමික ජෙනෙරාල් කපිල හෙන්දවිතාරණ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු, ජාතික බුද්ධි ප්‍රධානී ධූරයට පත්වූයේය. මාගේ දැනීමේ හැටියට, හෙතම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේද පෙනී සිටියේය.

දශක ගණනාවක් තිස්සේ මෙරට බුද්ධි අංශයේ සේවය කොට ඇති මෙන්ඩිස් මහතා, අදාළ කමිටුව ඉදිරිට පැමිණ ඉදිරිපත් කරනු ලැබූ කාරණා බොහෝමයක් අසත්‍යය වන්නා සේම රටේ බුද්ධි අංශවල ක්‍රමෝපායික ව්‍යුහය හෙළිදරව් කිරීම ඉතාම අඥානය.

ඕනෑම, ඔත්තුකරුවෙකුට තම මූලික පුහුණුවීම වලදී උගන්වන පළමු කාරණය වන්නේ, සතුරා මුලාවේ හෙළීමයි. ඒ මුලාවේ හෙළනු ලබන්නේ රාජ්‍යයේ සහ එහි නායකත්වයේ ආරක්ෂාව උදෙසාය. එසේම රටක බුද්ධි අංශයක මුඛය හෙවත් පළමු අරමුණ වන්නේ බලයේ සිටින ආණ්ඩුව සහ එහි නායකත්වය ආරක්ෂා කිරීමය.

අසංවේදී නමුත් ඇත්ත වන්නේ, ජනතාව සහ අනෙකුත් පාර්ශවයන්ගේ ආරක්ෂාව යනු බුද්ධි අංශවලට පැවරෙන දෙවැනි වගකීම වීමයි. මෙම දෙවැනි වගකීම මූලික වගකීම ලෙස පැවරී ඇත්තේ රටේ බලාත්මක නීතිය ක්‍රියාත්මක කිරීමට නෛතික බලය ඇති පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ වලටය. මාර්ග බාධක දැමීම, සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, සැක සහිත ස්ථාන වැටලීම, සහ ආරක්ෂාව තරකිරීම ආදී කටයුතු පැවරී ඇත්තේ පොලිසියට සහ ඒ හා සමාන බලය දී ඇති ආයතන වලටය. බුද්ධි අංශ වලට කල හැක්කේ ලැබෙන තොරතුරු තක්සේරු කොට සම්ප්‍රේෂණය කිරීමය.

මෙන්ඩිස් මහතා කමිටුව ඉදිරියේ බිය වූ ස්වාභාවයක් මෙන්ම තම නොදැනුවත්කම ඔප්පු වීම නිසා ඉතාම ආපහසුතාවයට පත් වූ ස්වාභාවයක් පෙන්නුම් කරනු ලැබීය. ඔහු, ඉල්සාමීය අන්තවාදීන්ගේ කටයුතු ගැන විමසා බැලීම සඳහා පොලිසියට මෙන්ම අබේගුණසේකර මහතාට දන්වා යැවූ බව ප්‍රකාශ කළේය.

මෙම අබේගුණසේකර යනු කවුද? අබේගුණසේකර යනු ඔසී අබේගුණසේකරයේ පුත්‍රයාය. ඔහු ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පර්යේෂකයෙකු ලෙස කලක් සේවය කළේය. එසේම මැතිවරණයට ඉදිරිපත් වී පරාජ වූ අපේක්ෂකයෙකි. මොහු ඇතුළු මොහුගේ කණ්ඩායම ඉන් පසු, රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ “ප්‍රමුඛතම බුද්ධි මණ්ඩලය” ( තින්ක් ටෑන්ක් ) තමන් පිහිට වූ බව කියමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අධ්‍යනය පිළිබඳ ආයතනය නමින් ආයතනයක් ආරම්භ කරනු ලැබීය. මෙය තනිකරම ප්‍රෝඩාවක් පමණක් නොව ජාතික ධනය විනාශ කරන ආයතනයකි.

එහි ඇති භයානක තත්වය එපමණක් නොවේ. මෙම ආයතනය භාවිතා කරමින් රටේ සංවේදී තොරතුරු තමන් සතුකරන ගැනීමට සහ ඒවායේ උරුමකරුවන් වීමට මොවුන්ට හැකිවීමය. ඉංග්‍රීසි බස හැසිරවීමට ඇති හැකියාව ආයුධයක් කරගනිමින්, තමන් ජාතික ආරක්ෂාව ගැන ඔස්තාර්ලා යැයි ලෝකයට ඉදිරිපත් කොට මෙම කණ්ඩායම සමස්ථ රටම ලෝකය හමුවේ විහිලුවට ලක් කොට ඇත. මොවුන් මෙවැනි ආයතන භාවිතා කරනු ලබන්නේ රටට සේවයක් කිරීමට නොව, විදෙස් සංචාර ලබා ගැනීම ඇතුළු පෞද්ගලික වාසි වෙනුවෙන්ය.

මෙම ප්‍රෝඩාකාරී බුද්ධි මණ්ඩලය එතරම් බුද්ධියකින් හෙබි කණ්ඩායමක් මඟින් කළමනාකරණය වන්නේ නම්, රටේ ජාතික ආරක්ෂාවට අදාලව ඉදිරිපත් කොට ඇති ඔවුන්ගේම හැදෑරීම් මොනවාද යන්න ප්‍රසිද්ධ කළ යුතුය. අන්තර්ජාලයේ ඇති තොරතුරු රැස්කොට ඒවා තමන්ගේ සේ ඉදිරිපත් කිරීම හැරෙන්නට, මොවුන් විසින් සිදුකරන වෙනත් සේවයක් නැත.

සිසිර මෙන්ඩිස්, තම සාක්ෂිදී අබේගුණසේකර විශේෂඥයෙකු කරනු ලබන්නේ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ පුත්‍රයාට අබේගුණසේකර සැලකු නිසා යැයි කියනු ලැබේ. එය සත්‍යය හෝ අසත්‍යයදැයි මා දන්නේ නැත.

නමුත් රාජ්‍යය බුද්ධි සේවයක වසර හතළියකට වඩා සේවය කළ නිලධාරියෙකු, අබේගුණසේකර වැනි ළදරු වලිප්පුකාරයෙකුගෙන් උපදෙස් පැතීම ගැන මතක්වන්නේ කුණුහරප පමණි. මෙම කල්ලිය දැන්වත් රටට පව්නොදී යන ග්‍රහලෝකයට ගොස් ඔවුන්ගේ මෙම “ජාතික ආරක්ෂාව ගැන වූ අධ්‍යන මේනියාව” සපුරා රටේ මිනිසුන්ගේ ධනය, කාලය සහ සැබෑ දක්ෂ මිනිසුන්ට ඇති අවස්ථාවන් විනාශ නොකර සිටින්නේ නම් ලොකු පිනකි.

මෙන්ඩිස් මහතා මීලඟට ඉදිරිපත් කළ කාරණය වූයේ 2015දී රටේ ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස පත්වුවද, තමන්ට නිසි බලයක් නොලැබුණු බවයි. මෙය අමුලික කෙප්පයකි. එය එසේ නම්, අදාළ තනතුරේ 2015 සිට 2019 දක්වා සිටිමින් පුටුව රත්කොට ජාතියට පව් නොදී ඉල්ලා අසුනොවුයේ මන්ද යන්න ඕනෑම අයෙකුට ඇසිය හැකිය. ඔහු බලයක් නොමැතිව වසර හතරක් තිස්සේ පොල් ගෑවේද?

ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් වලදී සහ අනෙකුත් විශේෂ අවස්ථාවන් වලදී මෙන්ඩිස් මහතා කිසිඳු වචනයක් වහරන්නේ නැති නිලධාරියෙක් බව බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත කාරණයකි. කෑමට පමණක් කට අරින නිලධාරියෙකු වන හෙතම වගකීම් ගැනීම වෙනුවට ඒවා තවකෙකු මත තබා ඒවායෙන් නිදහස් වීමට මාන බලන්නෙකි. මෙම කාරණා අසත්‍යය වන්නේ නම් ඔහුට ඔප්පු කළ හැකිය. ජාතික ආරක්ෂක කමිටුවල සී.සී.ටී.වී. දර්ශණ ඇත්තේ නම් ඒවා යළි පරික්ෂා කළ හැකිය.

ඉන් පසු හෙතම තම සක්ෂියේදී කියා සිටියේ, බුද්ධි තොරතුරු ලබාදෙන ලේඛණ ශ්‍රේණිගත කරන ආකාරයයි. ඔහු රාජ්‍යය බුද්ධි සේවය ( එස්.අයි.එස්.) ඉන්දියාවේ රෝ සහ ඇමෙරිකාවේ සී.අයි.ඒ. හා සමාන කළේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාට මෙම ආයතනවල ඇති වෙනස තේරුම් ගැනීමටවත් මොළයක් නැත.

ඉන්දියාවේ රෝ සහ ඇමෙරිකාවේ සී.අයි.ඒ. යනු එම රටවල් වෙනුවෙන් විදෙස් රටවල ඔත්තුසේවා සිදුකිරීමට බැඳී සිටින ආයතන වේ. නමුත් මෙරට රාජ්‍යය බුද්ධි සේවය බැඳී ඇත්තේ මෙරට අභ්‍යන්තර ඔත්තුසේවා කටයුතු උදෙසාය. ඒ සඳහා ලංකාවේ මූලික වගකීම් පැවරී ඇත්තේ යුදහමුදා බුද්ධි අංශයටය.

ඉන්දියාවේ සී.බී.අයි., ඇමෙරිකාවේ එෆ්.බී. අයි. සහ ඊශ්‍රායලයේ ෂින් බෙට් නමින් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ එස්.අයි.එස්. හා සමාන වගකීමක් ඇති ආයතන වේ. බුද්ධි අංශ නිලධාරී මෙන්ඩිස් තෙමට මෙම මූලික වෙනස ගැන අවබෝධයක් නැත. මෙම ආයතනය මෙහෙවන්නේ මෙවැනි ප්‍රධානියෙක් යටතේ නම් බලාපොරොත්තු වියහැකි සේවය කුමක්ද යන්න ගැටලුවකි.

එසේම මෙන්ඩිස් මහතා තම සාක්ෂියේදී “අයිස් ඔන්ලි” ගැන පැහැදිළි කිරීමක් කළේය. මෙන්ඩිස් මහතා සාක්ෂිය දෙන විට පිටු පසින් සිටි කැමරා ශිල්පියා එම ලිපියේ පිටපතක් ලබාගත් අතර එය පසුදින දෙමළ මාධ්‍යයක ප්‍රසිද්ධ විය. එම ලිපිය වර්ග කොට තිබුණේ ” ටොප් සීක්‍රට් සහ අයිස් ඔන්ලි ලෙසය.”

එවැනි ලිපියක් යම් නිලධාරියෙකු වෙත පමණක් යවන්නේ නම්, සත්‍යය වශයෙන්ම වර්ගකරනු ලබන්නේ, “ටොප් සීක්රිට් – ෆො යුවර් අයිස් ඔන්ලි” යනුවෙනි. එසේම එම ලිපිය වෙනත් පාර්ශව අතර සංසරණය වීමට හෝ සාක්ෂියකදී ඉදිරිපත් කිරීම බුද්ධි සේවාවන් සිදුකරන්නේ නැත. මන්ද එම තොරතුර “ෆො යුවර් අයිස් ඔන්ලි” යනුවෙන් සටහන් කොට ලබා දෙනු ලබන්නේ, එය එම නිලධාරීන් දෙදෙනාට පමණක් සීමා කරගත යුතු බැවින් සහ ඉන්පසු ඉතාම බලවත් ක්‍රියාමාර්ග ඊට ගත යුතු බැවිනි. එවැනි තොරතුරක් මාධ්‍යය හෝ ජනතාව ඉදිරියේදී ඉදිරිපත් කරන්නේ නම් එය සංසරණය වූ මූලාශ්‍ර සඳහන් කරන්නේ නැත. ඒ වෙනුවට, “අප සේවාවේ සහ ආයතනයේ ආචාරධර්ම අනුගමනය කරමින් වගකිවයුතු පාර්ශවයන් අහවල් දිනදී දැනුවත් කළේ,” යැයි සඳහන් කළ යුතුය. ඒ හැරෙන්නට වක්කඩේ කැඩුවා සේ දන්නා දේ සහ නොදන්නා දේ සියල්ලම වමාරන්නේ නැත.

කෙසේ හෝ වේවා මෙන්ඩිස් මහතා විසින් හෙළිදරව් කරනු ලැබූ කාරණා වලින් කැපී පෙනන කාරණයක් වන්නේ. රාජ්‍යය බුද්ධි සේවය මෙහිදී තම වගකීම් මනාව ඉටු කොට ඇති බවයි. එනම්, රාජ්‍යය බුද්ධි සේවයට සහ එහි ප්‍රධානියාට ගෙවී ගිය දින කිහිපය තුළදී එල්ල වූ චෝදනා පදනම් විරහිත බවයි. නමුත් මෙන්ඩිස් මහතා සිදුකොට ඇති භායානක කටයුත්ත වන්නේ රාජ්‍යය බුද්ධි සේවය සහ එහි ප්‍රධානියාගේ ආරක්ෂාව තර්ජනයට ලක් කිරීමයි. පසුගිය කාලය තුළදී බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත නැති වූ ආකාරය සහ එහිදී සතුරා අනුගමනය කළ උපායන් ගැන මෙන්ඩිස් මහතා නොදැන සිටීමට හේතුවක් නැත. මේ නිසා ඔහු විසින් මෙහිදී සිදුකොට ඇත්තේ බරපතළ අපහරණයකි.

මෙන්ඩිස් මහතාගේ සාක්ෂියෙන් සහ ඔහුගේ හැසිරීමෙන් පෙනී යන්නේ මෙරට රාජ්‍යය සේවයේ ඉහළ ඇවරියේ සිටින නිලධාරීන්ගේ අදක්ෂකමය. මෙම නිලධාරියා රටක බුද්ධි සේවාවක් පවත්වාගත යුතු මූලික මූලධර්ම ගැන හෝ දැනුමක් නොමැති අයෙකි. එලෙස දැනුමක් තිබුණේ නම්, බුද්ධි මෙහෙයුම් සිදුකරන අන්දම, අනෙකුත් සහෝදර නිලධාරීන්ගේ නම් ඉදිරිපත් කොට ඔවුහු සිදුකරන කටයුතු හෙළිදරව් කිරීම, ආරක්ෂක අංශ ප්‍රධානින් හමුවන දිනයන් සහ වේලාවන් සඳහන් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරුවන ආකාරය, වැනි කරණු සඳහන් කරන්නේ නැත.

මෙවැනි අවස්ථාවකදී හැසිරෙන ආකාරය ඉගෙනගැනීම සඳහා සිසිර මෙන්ඩිස්, ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු එෆ්.බී.අයි.ප්‍රධානි ජේම්ස් කොමි, සෙනෙට් මණ්ඩලයේ බුද්ධි කමිටුව ඉදිරියේ 2017 දී සාක්ෂි දුන් විලාසය බලා ඉගෙනගත යුතුව ඇත. අදාළ සාක්ෂි විමසීමද රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කරනු ලැබීය. එසේම එය ජාතික ආරක්ෂාවට වඩා දේශපාලනික කාරණයකි. නමුත් ජේම්ස් කොමි තමන් සේවයකළ ආයතනයේ ගෞරවය රැකගෙන ප්‍රතිචාර ලබාදෙනු ලැබීය. අසනු ලැබූ ඇතැම් ප්‍රශ්න වලට, තමන්ට හිමි මූලික අයිතිය සහ තමන් නියෝජනය කළ ආයතනයේ මූලික නෛතික රාමුන් සැලකිල්ලට ගනිමින් පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

ඇමෙරිකාවේ කරන දේ කිරීමට ලංකාව දියුණු නැති බව කියමින් මීට ප්‍රතිපක්ෂ තර්කයක් ගොඩ නැගිය හැකිය. එසේම මෙරට දේශපාලන කඳපණුවන්ට එවැනි අවබෝධයක් නැතිබව සඳහන් කළ හැකිය.නමුත්, එවැනි නිදහසට කාරණා මතුකරමින් මෙරට රාජ්‍යය ආයතනවල සේවය කරන ඉහළ නිලධාරීන්ට තම වගකීම් වලින් නිදහස් විය නොහැකිය.

මෙන්ඩිස්ගේ සාක්ෂිදීම ඔස්සේ සමස්ථ රටටම ඔප්පු කරනු ලැබුවේ, මෙම ආයතන වල කඩිනම් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය සහ ඒවා හැසිරවීම සඳහා විෂය ගැන දන්නා නිලධාරීන් පත්කිරීමේ අවශ්‍යතාවයයි. එසේම මෙවැනි නිලධාරීන් කළයුතු වන්නේ, රටේ ජාතික ධනය විනාශ කොට ජනතාව සහ රටේ ගෞරවය කෙලසන්නේ නොමැතිව, සේවයෙන් සමුගැනීමය.

මෙවැනි පුද්ගලයින් නිසා, විෂය ගැන හදාරා ඇති දක්ෂ නිලධාරීන්ට ඉදිරියට පැමිණීමට නොහැකි තත්වයක් උදා වී ඇත. එමඟින් රටට විශාල පාඩුවක් සිදුවී තිබේ. බුද්ධි අංශයක ප්‍රධානියෙක් මේ ආකාරයෙන් තම ආයතනයේ අසූචි තවරණ විට ඕනෑම අයෙකුට මෙම ආයතන වල සැබෑ තත්වය නිගමනය කළ හැකිය.

මෙහිදී පැහැදිලි කළයුතු දෙවැනි කාරණය ගැන මීළඟට අවධානය යොමු කිරීම වැදගත් වේ. එනම් මෙම පාර්ලිමේන්තු විශේෂ කාර්යය සභාවේ සංයුතියය.

විපක්ෂ දේශපාලන පක්ෂවල සාමාජිකයින් ඉතාම අප්‍රබුද්ධ ලෙස තම වගකීම් පැහැර හැර ඇත. එසේම, විෂය ගැන දන්නා අයවලුන් වෙනුවට නොදන්නා අයවලුන් රැස්කොට අදාළ සභාව පිහිටු වීමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කොට ඇත.

මෙම කණ්ඩායමේ සංයුතියට අදාළ පිරිස, රටේ ජාතික ආරක්ෂාව ගැන දන්නේ මොනවාද? ඒ ගැන ඔවුහු සිදුකොට ඇති අධ්‍යයන මොනවාද? යන්න රට හමුවේ හෙළිදරව් කළයුතු කාරණයකි. දේශපාලන බලය ලැබුණු පමණින්, රටේ සෑම ගැටලුවකටම තමන් මැදිහත්විය යුතුය යැයි මොවුන්ට සිතෙන්නේ නම් එය උමතුවක් මිස දේශපාලනයක් නොවේ.

එසේම, මෙම කමිටුව පත්කිරීමට හේතුව, එහි මූලික අරමුණු, එහි සංයුතියට අදාළ පිරිස නියෝජනය කරන පුද්ගලයින්ට අදාළ විෂය ගැන ඇති දැනුම සහ ප්‍රශ්න ඇසීමට ඇති හැකියාව ආදී මූලික කාරණාවලට පිළිතුරු ලබා දිය යුතුව ඇත.

එම කණ්ඩායමේ සිටි බොහෝ දෙනෙකුට, රාජ්‍යය බුද්ධි සේවය ගැන කිසිම දැනීමක් නැත. එසේම ඇසිය යුතු ප්‍රශ්න මොනවාද; නොඇසිය යුතු ප්‍රශ්න මොනවාද; යන්න ගැන අබමල් රේණුවක අවබෝධයක් නැත. කරුණානායක මහතා තම නොදනුවත්බව ඔප්පු කරමින් “ඇලේජ්” යන වචනය ගැන ලෝකයම හිනා ගස්සන ප්‍රතිචාරයක් ලබා දුන්නේය. නීති රාමුවේ ඇති බරපතළකම ගැන යම් ප්‍රමාණාත්මක අවබෝධයක් ඇති ජයම්පති වික්‍රමරත්න මහතා එය පැහැදිළිකොට කරුණානායක මහතා ප්‍රසිද්ධියේ දැනුවත් කිරීම හොඳ ලක්ෂණයකි. කරුණානායක මහතා තමන්ගේ මැදිහත්වීමෙන් මාලදිවයින හරහා ඉස්ලාමීය අන්තවාදීන් මෙරටට රැගෙන විසිත් ඔවුන්ගේ බෝම්බ අටවා පත්තුකළ ආකාරයෙන් හැසිරුණේය. එසේම ඊට සහභගී වූ සියලුම දෙනා තමන්ට පිටසක්වලින් ජීවියෙක් හමුවූවාසේ මෙන්ඩිස් මහතාගෙන් සහ කොට්ටෙගොඩ මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබුහ. වෙනත් වචනවලින් කිවහොත්, ගැටවර වයසේ පසුවන කොල්ලන්ට ගැටිස්සියක් හමුවූවා සේ මෙම ජනතා නියෝජිතයින්ගේ ඔලමොට්ටල හැසිරීම හාස්‍යයජනකය.

තොරතුරු ලැබුණු මූලාශ්‍රය ඇසීම අශීලාචාර ගතියක් පමණක් නොව ඔවුන්ට මෙම සිදුවීමේ බරපතළකම සහ එම සිදුවීම් වලට වගකිව යුතු ආයතන ගැන කිසිඳු අවබෝධයක් නැතිබව විදහා දක්වන්නකි. එසේම, සක්ෂිකරුවෙකුගෙන් ප්‍රශ්න ඇසීමේදී එක් අයෙකු නියමිත කාලයක් වෙන්කර ගතයුතු අතර ඉන් පසු දෙවැනි පුද්ගලයාට ප්‍රශ්න ඇසීම සඳහා අවස්ථාව ලබාදීම සිදුකළ යුතුව තිබුණි. ඉන් පසු තම නියමිත කාලය පැමිණි පසු ලබාදී ඇති නියමිත වෙලාව තුළදී පමණක් දෙවැන්නා අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලබයි. ඒ වෙනුවට මඩවලේ පීනන මීහරක් රංචුවක් සේ එකෙක් තව එකක් පරයන මට්ටමින් උම්බෑ කියන්නේ නැත. සභාවක් ඉදිරියේ හැසිරීමට නොහැකි නම්, එවැන්නක් නොපැවැත්වීම වැදගත් වේ.

දේශපාලනික වශයෙන් මෙම සභාව ඉතාම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතු මූලික කරණු රාශියක් තිබුණි. දැන් මුට්ටිය කැඩුණු පසු එහි කොටස් වලින් එය යළි සකස් කිරීමට යෑමෙන් තමවරද කෙතරම් දුරට නිවැරදි කරගත හැකිදැයි සැකසහිතය. තම තමන්ගේ පටු සහ අමන දේශපාලන අරමුණු වෙනුවෙන් සමස්ථ රටක් විපතේ හෙළීම දැන්වත් නතර කළ යුතුය.

අවසාන විග්‍රහය්දී මෙසේ කිව හැකිය. සිසිර මෙන්ඩිස් මහතාට කළ හැකි විශාලතම ජනතා සේවය නම් ධූරයෙන් ඉවත් කිරීමට පෙර, සිදු වූ වැරදි පිළිවෙලට ලියාතබා තමන්ගෙන් පසු සිටින නිලධාරීන්ට ඒවායෙන් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා නිවසට වී විශ්‍රාමික ජීවිතය ගත කිරීමය. එසේම බුද්ධි අංශ ගැන නොදන්නා මගුල් කතාකිරීමට ගොස් සමස්ථ ජාතියම අනතුරේ නොහෙලා තමන් දන්නා සුපුරුදු හොරකම එසේම සිදුකොට පැත්තකට වී සිටින ලෙස මෙම සභාව නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිරීමට කැමතිය. මේ ප්‍රහසනය දැන්වත් වඳකළ යුතුය.

නිරුවතින් සිටින්නන් (නග්නයකින්) දැක රෙද්දේ චූ යන නිලධාරීන්ගෙන් සහ තම හොරකම් වසා ගැනීම සඳහා නොදන්නා දෑ කිරීමට ගොස් රාජ්‍යයේ ගෞරවය කෙළසන දේශපාලනඥයින්ගෙන් අගතියක් මිස සුගතියක් සිදු නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Excellent article but a tough read. Add bullets and highlight important points to stick into the reader’s mind.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.