1 June, 2023

Blog

මරණ තුනේ තාජුදීන් සහ දහස්වර මිය යන තාජුදීන්ගේ දෙමවුපියන් 

ගෘෂා ඇන්ඩ්රූස්

තථාගතයනි, දරු දුක සම මස් නහර විද, ලෙය තුළට වැද, ඇට තුළට වැද, ඇට මිදුළු තුළ කකියවමින් සදා දුක් දෙවයි”~ (රාහුල කුමරුන්ව ඔහුගේ මවගේ සහ වැඩිහිටියන්ගේ අවසරයෙන් තොරව ගෞතම බුදුන් විසින් පැවිදි කළ අවස්ථාවේයලි වෙනත් දරුවකුව එසේ පැවිදි නොකරන ලෙස ඉල්ලමින් ශුද්ධෝදන රජුන් බුදුන්ගෙන් කළ ඉල්ලීම බෞද්ධ සාහිත්‍යයේ ලියවී ඇති අයුරු)

මේ ලිපිය කියවන අප සියලු දෙනා පියෙකුට දාව මවු කුසකින් උපන් හෙයින් දරු පෙම විඳ ඇත්තෙමු; දැක ඇත්තෙමු; දරු දුකෙහි ප්‍රතිපල ද වෙමු. මෙලොව අප ලබන කිසිදු අධ්‍යාපනයක්, ධීක්ශාවක් හෝ කාල්පනික අභ්‍යාසයක් අපගේ මවගේ හෝ පියාගේ මරණයට අපව පරිපුර්ණව සූදානම් නොකරයි. වැඩි හිටියන් අපගේ ජීවිත කාලය තුළ අපගේ ඇස් පනාපිට ජරා, මරණ, රෝ දුක් වලට ගොදුරුව මියයාම සොබාදහමේ නීතියයි. එසේ වුවද, අපි සත්‍ය වශයෙන්ම අපගේ දෙමවුපියන්ගේ මරණයට මුහුණ දීමට අවශ්‍ය සියලු මානසික මෙවලම් වලින් සන්නද්ධව නොසිටිමු. අපට පෙර මිය යාමට නියමිත අපගේ දෙමාපියන්ගේ මරණය අපට දැනෙන්නේ එසේ නම්, අපේ දරුවකු අපේ ජීවිත කාලය තුළ අපට මිහිදන් කරන්නට සිදු වුව හොත් එය කවර ආකාරයක  සදාතනික දුකක් දැයි ඔබට සිතිය හැකිද? 

තාජුදීන්

වසීම් තාජුදීන් ගේ ආගම ද වන ඉස්ලාම් දහමේ “හදිත්” පරිච්චේදයක දරු දුක ගැන මෙසේ සඳහන් වෙයි. එක්තරා පුතෙකු සිය මව තමා උස මහත් කොට ආදරයෙන් රැක බලා ගැනීම ට ප්‍රති උපකාරයක් කිරීමට සිතුවේය. එතුලින් අල්ලාහ් දෙවියන් කෙරෙහි  සිය භක්තිය පෙන්වීමට ද ඔහු සිතුවේ මාපිය උපස්ථානය දෙවියන්ට ඉතා ප්‍රිය වන හෙයිනි. තමාගේ  භක්තියෙහි සංකේතයක් ලෙස ඔහු සිය මව තමාගේ කරපිට තබා ගෙන සැතපුම් දහස් ගණනාවක් නිරුදක කාන්තාරයේ මාස ගණනාවක් අපරිමිත දුක් විඳිමින් සිය මව ඔසවා ගෙන  ගිය ඔහු ඇයව මක්කම වන්දනා කිරීමට ගෙන ගියේය. නැවත ආපසු කාන්තාර පසු කර ගෙන ඇයව කර පිටින් ගෙන ආවේය. එම වන්දනාව අවසානයේ ඔහු මුහම්මද් වක්තෘ තුමාට තමා කළ සත් ක්‍රියාව දන්වා සිටියේය .

ඉතා මෘදු ලෙස සිනාසුමු මුහම්මද තුමා කරුණාවෙන් ඔහුට පැවසුවේ “ඔබ කර ඇත්තේ ඉතා විශිෂ්ට කෘත ගුණ සැලකීමක්. ඔබ කුඩා කාලයේ ඔබ රෝගීව සිටි විටක ඔබේ මව නිදි නොවරා ඔබ ලග පහන් කළ එක එක රැයකදී ඇයගේ හදවත තුළ ඔබ වෙනුවෙන් හට ගත් ප්‍රේමයට පමණක් ඔබ ඔබ ගේ සත් ක්‍රියාවෙන් වන්දි ගෙවා ඇත. ඔබේ මාස ගණනාවක සත් ක්‍රියාව එක රැයක මාතෘ ප්‍රේමයට හිලව් කළ හැකියි”. 

මාතෘ ප්‍රේමය එවැනිය. පීතෘ ප්‍රේමයද එවැනිය. එහි ඉම සෙවීම විශ්වයේ ඉම සොයන්නා සේ නිෂ්පලය. අපේ සිතට අපේ දරුවන් දරුවන් කෙරෙහි උතුරා යන ආදරයක් දැනුනු විට ඇසට කඳුළු උනන්නේ දරු පෙමද, දරු දුකද එකක් ම වන බැවිනි. අපට අපේ මවු පියන්ගේ ප්‍රේමයට කිසිදා වන්දි ගෙවිය නොහැකි සේම, අපි අපගේ දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමයද අනන්ත වෙයි. එය ඔබටද මටද එක සේය; සතා සීපාවාටද එලෙසය. 

මෛත්‍රිපාල සිරිසේනට සහ මහින්ද රාජපක්ෂටද එලෙසමය. 

ඉතින් අපි අමතක නොකරමු. 

දරු දුක වසීම් තාජුදීන්ගේ මවටද පියාටද එලෙසය. 

දහම් සිරිසේන රාත්‍රී සමාජශාලාවක් කුඩු කළ විට මෛත්‍රිපාල සිරිසේන ඔහුව රකින්නේ දරු දුක යහපාලනයට ඉස්සර වන බැවිනි. තමාගේ මනුෂ ඝාතක පුතුන් තාජුදීන් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කළද ඔවූන්ව මහින්ද රැක්කේ මාතෘ භූමියට පෙර දරු දුක ඉස්සර වන බැවිනි. තාජුදීන් ඝාතන දිනයේදී ශිරන්ති රාජපක්ෂගේ දුරකතනෙන් එය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන්නන්ට ඇමතුම් රැසක් කෙරෙනුයේ දාරක ප්‍රේමය නීතියට ඉස්සර වන බැවිනි.

නමුත් අමතක නොකරමු: වසීම් තාජුදීන් ගේ මවගේ ද පියාගේද දරු දුකද එලෙසමය. 

රතුපස්වල වෙඩි කා පොලව බදා ගෙන මිය ගිය 18 හැවිරිදි තරුණයාගේ මවගේ දරුදුක ද එලෙසමය. 

නිදහස් වෙළඳ කලාපයේ වෙඩි කා මිය ගිය රොෂේන් චානකගේ මවගේ දරු දුකද එලෙසමය. 

යුද්ධයෙන් මිය ගිය අතු සෙවීලි කළ ගෙවල් වල ජීවත් වන සොල්දාදුවන්ගේ මවුවරුන්ගේ දරු දුකද එලෙසමය. මනෝරානි සරවනමුත්තු ගේ දරු දුකද, ත්‍රීමාවිතානගේ අම්මාගේ දරු දුකද එලෙසමය. 

එල්ටීටීඊ කාරයාගේ ද, ළමා සොල්දාදුවාගේද මවගේ පියාගේ දරු දුක එලෙසමය. 

සමාජ, දේශපාලන ස්ථර, ධනය බලය ආදී සියලු සීමා අතික්‍රමණය කරමින් අප  සියලු දෙනා හමු වන පොදු බිම දරු දුකය. නමුත් එක මවකගේ, පියකුගේ දරු දුක වෙනුවෙන් අන් දරුවන් දිවි දිය යුතුද? සමහර ජීවිත අන් ජීවිත වලට වඩා වටිනවාද? 

වසීම් තාජුදීන් ගේ ප්‍රථම මරණය: 2012 මැයි 17 දින 

නාමල්, යෝෂිත, චිචි යන රාජපක්ෂ ‘කුමාරවරුන්ගේ’ කලක මිතුරෙකු, පසුව පසමිතුරකු වූ වසීම් තාජුදීන් අභිරහස් ලෙස “රිය අනතුරකින්” නාරන්හෙන්පිට ශාලිකා පිට්ටනිය අසල 2012 මයි 17 වන දින මිය ගියේය. ඒ ඔහුගේ පළමු මරණයයි. එදින සිය හුස්ම වැටුනද, නාඩි වැටුනද, තාජුදීන්ගේ මවුපියන්ද ඔහු සමග මිය යන්නට ඇත. සිය ලෙයින් සැදී දරුවකුගේ මරණය මවුපියන්ගේ මරණයද වන බැවිනි. මෙම අභිරහස් මරණයේ තතු පාර්ලිමෙන්තුවෙදී එජාප මන්ත්‍රී මුජීර් රහුමාන් විසින් හෙළි කරන අවස්ථාවේ පොදු ජන එක්සත් පෙරමුණු මන්ත්‍රීන් වනජොන්ස්ටන් ප්‍රනාන්දු (දැන් පැවසෙන ආකාරයට සතොස “මුදල් සොරකම් නොකළ” මන්ත්‍රී ), ඉන්දික අනුරුද්ධ සහ සනත් නිශාන්ත රහුමාන් ට මරණ තර්ජන එල්ල කරමින් පාර්ලිමේන්තුව ඇමතීම වැලක්වූ බව පමණක් කෙටියෙන් සඳහන් කරමි. එම ඝාතනය පිලිබඳ කරුණු පුන පුනා නොලියන්නේ මෙම මරණය සාමාන්‍ය දැනුමක් බැවිනි.  

වසීම් තාජුදීන් ගේ දෙවන මරණය : 2015 අගෝස්තු මස 10 දින

යහපාලනගේ වැඩිම ලන්සුවක් හිමි වූ තාජුදීන් ගේ මළ මිනිය 2015 අගෝස්තු මස 10 වන දින දෙහිවල සුසාන භූමියෙන් නැවත ගොඩ ගත්තේ ශෝකී ඉස්ලාම් ස්තෝත්‍ර මුමුනමින් මෞලවියන් වට කරගෙනය. තාජුදීන්ගේ මවගේ පියාගේ සොහොයුරියගේ දෑසින් වැටුණු කඳුළු අපි දුටුවෙමු. ආණ්ඩුව ගොඩ ගත්තේ මල මිනියකි.නමුත් ඉන් පණ ලැබුවේ තාජුදීන්ගේ දෙමවුපියන්ගේ තුනී වුනු ශෝකයයි. ඒ දේහය ගොඩ ගැනුමත් සමග යුක්තිය පිළිබඳව අපේ බලාපොරොත්තුවද පණ ලැබුවේය. 

නමුත් එය සිරිසේන-රාජපස්සහ ඩීල් ගණනාවක තවත් එක ඇස් බැඳුමක් පමණක් විය. 

ඝාතක කුමාරවරු, සිරිලිය වාහන, ශිරන්තිගේ දුරකථන ඇමතුම්, අධිකරණ වෛද්‍ය වාර්තා, ව්‍යාජ වාර්තා සැපයු අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර ගේ අත්අඩංගුව සහ ඔහුට “හර්දයාබාදයක්” වැළඳීම වැනි ඇසට වැලි ගැසීම් අතර හිත පිත් නැති ලෙස නැවත තජුදීන් ව වලලා දැමු සිරිසේන තාජුදීන් ගේ දෙමවුපියන්ව දෙවන වරටද නොමරා මැරීය. මේ ඩීල් පිටුපස සිටියේ කවුදැයි දැන් පැහැදිලිය. 

වසීම් තාජුදීන් ගේ තෙවන සහ ශෝකජනකම මරණය: 2018 ඔක්තෝම්බර් 26 

දරුවන් තිදෙනෙක්  සහ මිනිබිරියන් දෙදෙනෙක් සිටින මෛත්‍රිපාල සිරිසේන තජුදීන්ගේ මිනිය සිය දේශපාලන කර මත තබාගෙන එය අලවි කළේය. සොහොන් හාරා මල මිනී වල මුදු මාල සොරකම් කරන චෞරයකුටත් වඩා තක්කඩි ලෙස තාජුදීන් ඇස්, ඉස්, මස්, ලේ, පෙනහළු, ඇටකටු භාවිතා කළේ මිනී කන්නෙකුට වඩා ගිජුවය. එම මරණයෙන් සෑම සියලු දේශපාලන ප්‍රයෝජනයක්ම ගත් එම ඵෙතිහාසික​ නින්දිතයා 2018 ඔක්තෝම්බර් මස 26 වන දින තාජුදීන්ගේ මරණය නැවත නැවත ලියු ජනඝාතක කුමාරවරුන් තිදෙනා ගේ පියා සහ, තමාගේද “වෙන්ඩ ඝාතක” ලෙස පුන පුනා  හඳුන්වා දුන් මහින්ද රාජපක්ෂව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධී අගමැති ලෙස පත් කළේය. 

මේ නින්දිත ජනාධිපති 2018 ඔක්තෝම්බර් 26 වන දින තාජුදීන්ගේ ආත්මය සදා නොසන්සුන් කරමින් ඔහුව තුන් වන වරටත් මරා දැමුවේය. කොට්ටයක හිස තබා රෑ දහයට තාමත් ඔහුගේ  ඇස පියවී නින්ද එනවාද? තාජුදීන්ගේ අම්මාගේ, තාජුදීන්ගේ පියාගේ සුසුම් කණ ලඟින් ඇහෙන්නේ නැතිද? ගැස්සී ඇහැරෙන්නේ නැතිද මේ ජනාධිපතිට?  

රාජ්‍ය සේවයේ තාජුදීන්ලා වෙත, 

රාජ්‍ය සේවකයනි, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරයනි, මේ කුඩා සටහන මේ සමගම තබමි. තාජුදීන් යනු රාජ්‍ය යානත්‍රනය සමග එතරම් සමීප නොවුනු, දෛවෝපගත ලෙස රගර් සහ ඝාතක කුමාරවරුන් සමග සිය ජීවිතයේ  අහම්බයකින් පැටලුනු අවාසනාවන්ත මරණයකි. 

රාජපක්ෂ යුගයක ඔබ සියලු දෙනා රාජ්‍ය සේවයේ තාජුදීන්ලා වෙති. රාජපක්ෂ යුගයක බරපතල අල්ලස් දූෂණ සෙවූ, නීතියේ ආධිපත්‍යය සුරැකි, නීති ගරුකව කටයුතු කළ සියල්ලන්ගේ සැබෑ මරණය ලියවී ඇත. වසර 4 කට ආසන්න කාලයක් ඇදී ඇදී තිබුණු නඩු සියල්ලෙන් ඝාතක කුමාරවරුන් නිදහස් වනු ඇත. ඔවුන් ඔබගේ හිසට තුවක්කුව තබන විට “අපේ පාඩුවේ ඉමු” “අපි ජීවත් වෙන්නේ අපි හම්බකරොත්” වැනි බොළඳ කතා වලින් වැඩක් නැති වනු ඇත. දේශපාලකයන්ට ගහ මරා ගන්නට දී අපි දොරවල් තදින් වසා ගෙන හිඳ, ඉන්ද නොනැවතී පැස්බරුන් මෙන් දේශපාලන වැල්ලේ හිස ගසාගෙන සිටීමෙන් පලක් නැත. 

මේ ඉතිහාසයේ තාජුදීන් මොහොතයි. මේ සියලු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිය යුතු මොහොතයි. මේ රනිල්ගේ හෝ සජිත්ගේ හෝ මොහොත නොවෙයි. මෙය මරණ තුනක් හිමි වූ වසීම් තාජුදීන් සහ දස දහස් වර නොමැරී මැරෙන තාජුදීන්ගේ දෙමවුපියන්ගේ දරු දුක විසින් අවදි කරන අපගේ හර්ද සාක්ෂියේ මොහොතයි. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.