20 April, 2024

Blog

සිරිසේන කියන්නේ බොරු: අගමැති ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018.10.29 වන දින ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශය:

ගරුතර මහා සංඝ රත්නය ඇතුළු සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි.

මිත්‍රවරුනි,

2015 ජනවාරි මාසයේ අටවෙනිදා මේ රටේ මහජනතාව ලක්ෂ 62 ක් පොදු පෙරමුණක් හැටියට එකතු වුනේ ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කරන්න. සාමය සහ සහජීවනය ඇති කරන්න. දූෂණයට වංචාවට ඒ වගේම තක්කඩිකම්වලට විරුද්ධව. ඒ වගේම ආර්ථික වශයෙන් සංවර්ධනය වුන රටක් බිහි කරන්න. 

2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා බලවේග ඒ වගේම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ  ප්‍රධාන පූජකතුමන්ලා සහ සිවිල් සමාජය ඒ වගේම හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ සියලු දෙනාම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වශයෙන් පත් කළා. ඊට පස්සේ මාව අගමැති වශයෙන් පත් කරලා ,අපි ආණ්ඩුවක් ගෙන ගියා. 2015 අගෝස්තු මාසයේ මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි මන්ත්‍රීවරයා වශයෙන් මා අගමැති ධූරයට පත් වුණා. 

අපේ ආණ්ඩුව කටයුතු කලේ ජාතික ආණ්ඩුවක් හැටියට. මේ රටේ ජනතාවට අහිමිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස තහවුරු කිරීමට අපි පියවර ගණනාවක් ගත්තා. ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් ඇති කළා. තොරතුරු පනත, විගණන පනත වැනි පනත් මගින් මේ රටේ කිසිදාක නොතිබුනු ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් අප තහවුරු කළා. හැමදෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කරන්නට කටයුතු කළා. ජනමාධ්‍ය නිදහස තහවුරු කළා. යහපාලන ආණ්ඩුව යටතේ අපි ජනතාවට සහන රාශියක් ලබා දුන්නා. වැටුප් වැඩි කළා. රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කළා.

මිත්‍රවරුනි,

ඊයේ සවස ජනතාව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මටත් ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් චෝදනා ගණනාවක් එල්ල කළා. මම ඒ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා වුන බව අපි දන්නවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයායි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාව අමතමින් කියා සිටියේ දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදය සහ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක කරුණු හෙලි වීම නිසා ඔහුට තිබුනු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කිරීම බව. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයායි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු වලට පටහැනිව බහුතර බලයක් නැති අගමැතිවරයෙක් යෝජනා කිරීම ගැන මම කණගාටු වෙනවා. තමන් කල මෙම වැරදි වැඩේ වහගන්න දැන් ඝාතණ කුමන්ත්‍රණ ගැන කියවනවා. පුංචි ළමයෙක්වත් විශ්වාස නොකරන කතන්දර කියනවා. 

ශ්‍රි ලංකා ඉතිහාසයේ මෙතරම්  අවුල් සහගත සහ තීරණාත්මක තැනකට මේ රට යොමු වුනු අවස්ථාවක් අප අසා නැහැ. පසුගිය සිකුරාදා සවස සිදුවුනේ පැහැදිලිවම නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි, අවස්ථාවාදී වැඩපිළිවෙලක්. මෙහි අහිතකර ප්‍රතිඵල අපි ඒ අවස්ථාවේම දැක්කා. ITN, රූපවාහිනි ඒ වගේම ලේක්හවුස් ආයතනවල සිකුරාදා රාත්‍රියේ සිදු වූ සිදුවීම් මේ රටේ මාධ්‍ය නිදහසට සිදුවන දේ පෙන්නුම් කළා. 

අද අපේ රට මුහුණ පා ඇති අවාසනාවන්ත තත්වයට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුව තුළයි. හදිසියේම පාර්ලිමේන්තුව කල් තැබීම සම්ප්‍රදාය විරෝධි බව කථානායකතුමා ලිපියක් මගින් පෙන්වා දුන්නා. අද මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඉල්ලා සිටින්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. ජාත්‍යන්තර ප්‍රජාව කියාසිටින්නේ පවතින නීති රාමුව තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසයි. ඒ නිසා මා ඉතාම ඕනෑකමින් ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස. 

අද තිබෙන අස්ථාවර තත්වය මේ රටට හොඳ නැහැ. මේ නිසා ජනතාවට ඇතිවන හිරිහැර අපිට දැන්ම පෙනෙන්නට තිබෙනවා. පෝලිම් යුගය ආරම්භ වෙලා. රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ඇණ හිටලා. අපි අමාරුවෙන් පාලනය කරගෙන ආ ආර්ථිකය දැන් කඩා වැටීගෙන යනවා. මේ අවාසානාවන්ත විදියට විනාශ වෙන්නේ මේ රටේ ඒ වගේම අපේ දරුවන්ගේ අනාගතයයි. 

එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණ වශයෙන් අප සමග එකතු වී සිටින දේශපාලන පක්ෂත් ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව මම පැහැදිලිවම කියන්න කැමතියි. ව්‍යවස්ථා විරෝධි ඒකාධිපති පාලනයකට මේ රට යටත් කරන්නට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. 

අපේ මේ පුංචි ලංකාවේ ජනතාව පමණක් නෙවෙයි ලෝකයේ රටවල් බොහොමයක් මේ අවස්ථාවේ අප සමග සිටිනවා. ඒ නිසා අවසන් වශයෙන් ඔබ සැමගෙන් මා ඉල්ලා සිටින්නේ පටු දේශපාලන තර්ක විතර්ක වලින් ඉවත් වී අපේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන්, ඒ වගේම ඔබේ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අප සමග එක් වන ලෙසයි. වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අවාසනාවන්ත සහ දුෂ්කර තත්වයෙන් රට ගොඩ ගැනීමට හැකි වන්නේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් පමණයි.

ඔබ සියලු දෙනාටම ස්තුතියි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.