20 April, 2024

Blog

ඇසි පිල්ලමක් යට අනුර

ගෘෂා ඇන්ඩ්රූස්

හිතවත් අනුර,

මාව නොදන්නා ඔබට මා හිතවත් අනුර යයි අමතන්නේ වෙන දෙයකට නොව මෙම මජර දේශපාලන ගොහොරුවේ අපේ කකියන ලෙයට ගරු කොට දූෂණයට සහ වංචාවට එරෙහිව හඬක් නගන්නට සදාචාරාත්මක අයිතියක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීලා කිහිප දෙනෙක් ගෙන් එක අයෙක් ඔබ බැවිනි.

ඔබ සමග පරණ ඇරියස් නැත

අවස්ථා කිහිපයකදීම ජවිපෙට චන්දයක් දෙන්නට හිතා ගෙන ගෙදරින් පිටත් වුව චන්ද පොලේදී ඔබ ට වඩා ප්‍රතිගාමී අදහස් ඇත්තවුන්ට චන්දය ප්‍රකාශ කර පැමිණ ඇත්තෙමි. එයට හේතුව මගේ ජාතික හැඳුනුම්පතක් ජවිපෙ 88/89 උස්සන් ගියාය , බත් මුට්ටියක් අරන් ගියාය, මගේ ඉස්කොලේ වහලා තිබ්බාය, ට්‍රාන්ස්ෆොමරයකට ගිනි තිබ්බාය වැනි පරණ ඇරියස් නොවෙයි. මගේ කවුරුවත් ජවිපෙන් මරා නැත. යූඑන්පියෙන් හෝ එල්ටීටීයෙන් මරා ද නැත. නමුත් මගේ සහෝදර පුරවැසියෙක් කෲරත්වයෙන් මිය යන හැම අවස්ථාවක්ම මට මරණයකි.

අනුර, ඔබට මේ ලිපිය ලියන්නේ එහෙයිනි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම එක මිනිසකුගේ මළගම ටද වඩා ඉතා භයානක වන බැවිනි.

මා සිතන ආකාරයට නිදහස් මතධාරී අප බොහෝ දෙනෙකුගේ හර්ද සාක්ෂිය ජවිපෙ හද ගැස්ම තුළම තිබෙයි. නමුත් අපි ජවිපෙ වැනි දැඩි මතධාරී දේශපාලන පක්ෂයක සාමාජිකයෝ යතාර්ථය තුල ජීවත් නොවෙති. වසර 40කට වඩා පැරණි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජවිපෙ ඇමතිකම් දරා ඇත්තේ එක ආණ්ඩුවක පමණි. ඔවුන් සංකල්පයීය වශයෙන් ඉතා උසස් දහමක් ඇදහුවද යතාර්ථය තුළ නොපවතිති. ජවිපෙ විසින් අවදි වන හර්ද සාක්ෂියෙන් ආලෝලනය වන මිනිසුන් ඔවුන් හොඳ යයි රෙකමදාරු කරන පක්ෂ වලට චන්දය දෙති. චන්ද්‍රිකා එයට හොඳම උදාහරණයයි.

ඔබ රතු අලියෙක් නොවේ: අපි එය දනිමු

දැනට පවතින තට්ටු මාරු, ආත්මය විකුණන දේශපාලකයන් සියල්ලන් ගැන කලිකිරී හිතු මතයේ ඔවුන්ට අපහාස කිරීම නිදහස් අන්තර්ජාප ලෝකයේ ස්වභාවයයි. බුදු හාමුදුරුවන් වැඩ සිටියානම් අන්තර්ජාල ලෝකයේ අපවාද වලින්ද අකම්පිත වන ලෙස අපට දෙසනු ඇත. ජවිපෙ විසින් අන්තගාමී නොවන දේශපාලන තීරණ ගන්නා හැම අවස්ථාවකම අනුරට රතු අලියා කීමද,ජවිපෙ යූඑන්පී හි තෝල්ක කරුවන් කීමද ජාතික විනෝදාංශයක් වන තරමට ෆේස්බුක් මාෆියාව බලවත්ය. එවැනි ප්‍රපංචයක් පණ නැගෙන හැම විටම සිය අන්තගාමී කොන දෙසට විස්තාරණය වීම ජවිපෙහි ඇති විශාල දුර්වල කමකි.

අන්තවාදී, සන්නද්ධ, මිනීමරු අදහස් දරන පෙරටුගාමීන් අන්තරේද ද ඩහැ ගෙන ඔබෙන් වෙන් වීම විශාල දේශපාලන පසුබෑමක් යයි සිතනුයේ ජවිපෙය. මධ්‍යස්ත ස්වාධීන මතධාරී අපි ජවිපෙ යලි ආයුධ දැරීමට සිතීම හෝ පිළිකුල් කරමු. ඔබට චන්දය දුන්නද නොදුන්නද එය අපි පිළිකුල් කරමු. එම නිසා ඒ අහිමි වීමෙහි පරාජයෙහි හීනමානයෙන් ඔබ දුරස් විය යුතුය. ඔබට දේශපාලනිකව කෙතරම් අවාසි වුවද පෙරට්ටන් විසින් කෲර දේශපාලනයේ බල ඝනය ජවිපෙන් උදුරා ඇනීමෙන් ජවිපෙට කර ඇත්තේ ලොකු උදව්වකි. නැවත ආයුධ අතට ගන්නට හෝ මනුෂ්‍ය ඝාතන නොකරන්නට තරම් මිනිසත් බවක් සහ පරිනත බවක් ඇති මාවතට ජවිපෙ පැමිණීම ඇසට නොපෙනුනද මොලයට පෙනෙන ආයෝජනයකි.

රනිල් වික්‍රමසිංහගෙන් අකමැත්තෙන් හෝ ඉගෙන යුතු දේශපාලන පාඩම් කිහිපයෙන් එකක් නම්, මධ්‍යස්ත මත දරීමෙහි කුරුසය කර තබා ගෙන යාම අපහසු වුවද සමාජය වෙනුවෙන් එය කළ යුතු බවය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නීරස වුවද ඒ වෙනුවෙන් “බටහිර-කුමන්ත්‍රණ”, “NGO සල්ලි”, “අන්තර්ජාතික ප්‍රජාවෙහි ගැත්තා” වැනි අවලාද වින්ද ද එය දිගු කාලීනව සමාජයට යහපත් බවය. එසේ කිරීමේදී රතු අලියා කීවාට එවැනි අවලාද අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කිරීමට ජවිපෙහි ඇති නොහැකියාව අපව ඔබගෙන් ඈත් කරයි. ඒ මක් නිසාද යත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනසම්මතවාදය රනිල් ගේ පෞද්ගලික බූදලයක් නොවෙයි. එය ජවිපෙටද අයිතිය. දෙමල සන්ධානයට ද අයිතිය. විමල් වීරවංශ වැනි දේශපාලන විහිලුකරුවන් අවලාද නැගුවාට ඔබ ඔබේ අයිතිය අත හරිය යුතු නැත.
පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් නැගී සිටීම රනිල් වෙනුවෙන් නැගී සිටීමක් යයි ඔබ පටලවා ගත යුතු නැත. ඔබ එසේ කරුණු පටලවා ගන්නා විට ඔබට තුවෙනි බලයක්ව හෝ දේශපාලනයේ පැවතීමට තරම් මටසිලුටු විචක්ෂණයක් ඇති දැයි ප්‍රශනයක් පැන නැගෙයි.

අනුර, ඔබේ හදවතින් අසන්න

වත්මන් දේශපාලනයේ පැන නැගී ඇති තත්ත්වය පෙනෙන තරම් ව්‍යාකූල නැත. ඉතා සරල යතාර්ථය නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව ව්‍යවස්ථා විරෝධී ලෙස පහ කරන්නට උත්සාහ කළා මදිවාට 2015 දී ඔහු අගමැති ලෙස පත් කිරීමද ප්‍රශ්නයට නගමින් මෙම නින්දිත ජනමතය පාවා දීම සාධාරණීකරණය කිරීමය.

වඩාත්ම ශෝකයට කරුණ නම් ලොකු කුඩා සියලු දේ සියුම් සහ තාත්වික විච්චේදනයට ලක් කිරීමෙහි සමත් ජවිපෙ වීරවංශ, දිලුම් අමුණුගම වැනි දේශපාලන ඇමීබාවන්ගේ තත්ත්වයට වැටී ගිරවුන් සේ එයම පැවසීමය. ඉතින් අපි කවදාක සීනුව ඉදිරියේ හිනැහෙමුද?
2015 ජනාධිපතිවරනයෙදීත්, මහා මැතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය. රනිල් කුරුණෑගලින් මන්ත්‍රිකමට ඉල්ලා, කාගේවත් පුටුවට විද්දේ නැත. එජාපයට වඩා පාර්ලිමේන්තු බලයක් පොදු පෙරමුණට තිබුණි නම් පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදයට අනුව ඔවුන් විසින් කළ යුතුව තිබුනේ කුමක්ද? ඔබ විසින් කළ යුතුව තිබුනේ කුමක්ද? ව්‍යවස්තාවට අනුව විශ්වාස භංගයක් රනිල්ට විරුද්ධව ගෙන ඒමය. එසේ රනිල්ව පරාජය කර පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් හිමි පුද්ගලයා අගමැති ලෙස පත් කර ගැනීමය.

විරසක වුනු පුරුෂයකු සහ භාර්යාවක මෙන්”ඉස්සර කරේ මෙහෙමයි- දැන් කොහොමද- මම යහතින් ඉන්න දෙන්නේ නැහැ” වැනි ඉතා මුග්ධ, පහත්, නූගත් ප්‍රකාශ නිකුත් කිරීම පාර්ලිමේන්තුවේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෞරයවට හෝ පෞද්ගලිකව වැඩිහිටියකු ලෙස ඔබ කිසිවකුගේ පෞරුෂයට සුදුසු නොවෙයි. එදා ඔබ සියලු දෙනාටම නොතිබි ආත්ම ශක්තියක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් රනිල් ට ඇත. ඔහු පුන පුනා පාර්ලිමේන්තුව කැඳවන ලෙසද, එහිදී ඔහු රටේ අගමැති කවුද යන්න විසඳා ගන්නා බවද පවසන්නේ පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය පිලිබ්නද ඔහුගේ ඇති විශ්වාසය නිසාය. අනුර ඔබේ හදවතින් මේ කරුණු සත්‍ය ද, නැද්ද යන්න අසන්න. පාර්ලිමේන්තුවේදී රනිල් දිනුවද, මහින්ද දිනුවද දිනන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි පරාජිතයන් නොමැත.

ඇසි පිය යට

“උනුත් එකයි- මුනුත් එකයි- අපි බලු පොර වලට නැහැ” යන්න ජවිපෙ මතය ලෙස ඔබ විසින් නොබෝදා ප්‍රකාශ කිරීඑම ඉතා භයානකය. මේ කතාවේ ජලභීතික සුනඛයයෝ දෙදෙනෙක් සිටිති. එක අයෙක් ජලභීතික සුනඛ රජා වන මහින්දය. අනෙකා ජලභීතික සුනඛ නකුටා සිරිසේනය. මොවුන් දෙදෙනාම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජන සම්මතවාදයේ පවිත්‍ර ජලය දුටු විට විකල් ව හැසිරෙති. තර්ජන කරති, අමානුෂික මැරයන් නිදහස් කරති. දික්කසාද වන්නට යෙදුනු කෙස් වලු පටලවා ගත් අඹු සැමියන් උසාවි වල කියන ආකාරයේ ආඩපාලි කියා ගනිමින් අපගේ ධීමත් බවට අපහාස කරති.

ඔබ හරිය. ජවිපෙ ඒ බලු පොරයේ නැත. කරුණාකර එය තේරුම් ගන්න. රනිල් වෙනුවෙන් ඔබ අතක් එසවිය යුතු නැත. ඔහුගේ තනතුර ඔහු විසින් රැකගනු හෝ අහිමි කර ගනු ඇත. ගතික යතාර්තයන් හමුවේ දැඩි මතධාරීව ස්ථිතික අදහස් වල එල්බෙන්නෝ සමාජය වෙනස් නොකරති. ඔබ බලු පොරයට සහභාගී විය යුතු නැත. නමුත් ඔබ ප්‍රජාත්නත්‍රවාදී ක්‍රමවේදයට සහභාගී විය යුතුමය. නිෂ්ක්‍රීය, නිෂ්පල ලෙස අත් බැඳ ගෙන මහින්ද ගේ හෝ රනිල් ගේ අලකලන්චියෙන් කාලකන්නි සතුටක් විඳිමින් විනෝද වීම ඔබට හෝ ජවිපෙට සුදුසු නොවේ. ඔබව ධීමත්, ස්වෛරී මනසක් ඇති , ලෝකයේ යතාර්තය අත් විඳින අප කෙරෙන් ඈත් කරන්නේ ඔබ තීරණාත්මක අවස්ථා වල දී ගන්න එවැනි තීරණ ය.
අද ඔබ ජවිපෙ සාමාජිකයින් සහ පොදු ජනතාව සමග ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් නැවතද වීදි බසියි. එය ඉතා වැදගත් ක්‍රියාවකි. එය අපේ කකියන හදට අස්වැසිල්ලක් ගෙන එයි. අපි කැපුවත් කොළ, නිල, රතු නොවෙමු.අපි කැපුවත් ජනසම්මතවාදය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නෝ වෙමු . අපි යූඑන්පී, පොදු පෙරමුණු, ජේවීපී, පොහොට්ටු වහල්ලු නොවෙමු. අපි අවසන් සුසුම තෙක් මනුෂ්‍යත්වයේ සහ සාධාරණත්වයේ වහලුන් පමණක් වෙමු.

අපි ඔබගෙන් ජනසම්මතවාදය වෙනුවෙන් වීදියේහිද, පාර්ලිමෙන්තුවෙහිද එසවුණු අතක් දකිනු කැමැත්තෝ වෙමු. අනුර, වීදියේදී ජනපීඩක ජන ඝාතකයන ට එරෙහිව අත ඔසවා , ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල තුළ අත් බැඳ නොසිටින්න. රනිල් වෙනුවෙන් නොව අපගේ අහිංසක දරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ -සිරිසේන ජලහීතික බලු පොරයට විරුද්ධව ජවිපෙ අත ඔසවන්න.

රටක අනාගතයද, ප්‍රජාතන්ත්‍රවාදයද, ඔබද, මමද , ජනතාවද ක්ෂණයකින් විනාශ විය හැකි මොහොතක ඇසි පිල්ලමක් යට සීරුවන් සිටිමු. අනුර ඔබ ඇසි පිය ගසද්දී මනුෂ්‍යත්වයේ නාමයෙන් , කිසිදු සැපක් නොවිඳම මිය යන පීඩිත ජනතාව ගැන වගකීමෙන් සිතන්න. ඇසි පිය යට මේ මොහොත ගැන තව වරක් සිතන්න.

ඔබේ හිතවත්

ගෘෂා ඇන්ඩ්රූස්

ප:ලි: මවු කුසින් බිහි වුනු සියලු ජනයාට කරන උපහාරයක් වශයෙන් හෝ ඔබ අද දින පවත්වන රැලියේදී කාන්තාවකට ජනතාව අමතන්නට අවස්තාවක් දෙන්න. එවැනි ශිෂ්ට කම් “මහත්මා”යයි කියන රනිල්ට නැත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.