
‘රාජපක්ෂ දෘෂ්ටිවාදයේ’ බරපතලකම ගැනත්, මැසිවිලි සහ අඳෝනා නැගීම පාදක හේතුවක් ලෙස ජනතාවට මවා පෙන්වමින් දේශපාලනික තීන්දු ගැනීමේ දේශපාලනික හානිය ගැනත් මින් පෙර මා විසින් ලියන ලද ‘මෛත්‍රීගේ මැසිවිලි ලිපිය හා බලු මැක්කන් සමග නැගිටීමේ දේශපාලනය’ යන ලිපියෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෙමි. මේ ‘මැසිවිලි ලිපි සහ ප්‍රකාශ’ නිකුත් කරමින් දේශපාලනික වශයෙන් රටට බලපාන තීරණ ගැනීමේ හෝ නොගැනීමේ පුරුද්ද වත්මන් ජනපතිවරයාගේ නරක භාවිතයක් වන්නේ කෙසේද යන්න ගැන මගේ කියවීම එහි ඇත.
ඇඬියාව සහ පුරවැසි අපි හරක්ද? යන්න
මේ මොහොතේ එය හදිසියේ සිහිපත් වූයේ ලංකාවේ පවතින දේශපාලනික අර්බුදයට පාදක වූ ‘කුමන්ත්‍රණකාරී අගමැති පත් කිරීම’ පසුපස ද කිසියම් ඝාතන ප්‍රයත්න මැසිවිල්ලක් ඇති බවට ඉඟි පළ වූ හෙයිනි. රනිල් වික්‍රමසිංහ ඉවත් කොට මහින්ද අගමැති ලෙස පත් කිරීමට තමා මෙහෙයවූ එක් හේතුවක් වූයේ තමන්ව ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් ඇති බවට කරුණු වාර්තා වීමත්, එම ඝාතනය පසුපස එජාපයේ කුමන්ත්‍රණයක් ඇති බවත් එතුමා කීවේය. එතුමා ඝාතනය කිරීමේ මෙම ‘කූඨ කුමන්ත්‍රණය’ ගැන සාරසුබාවටම දන්නා නිල නොවන ‘බුද්ධි වැඩකාරයෙකු’ ද දවසින් දවස, මොහොතින් මොහොත දිව නැමෙන නැමෙන පැත්තට ප්‍රකාශ නිකුත් කරමින් සිටිනු අපි තවමත් දනිමු. එය මේ දේශපාලනික කුමන්ත්‍රණයේ කපටි වරනැගීමක් ලෙස වර්ධනය වන ආකාරයද අපි අත්දකිමු. ආසන්නතම ‘හෙළිදරවුවට’ අනුව මෙම ඝාතනය පසුපස එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා යන අය ඇති බව අදාළ බුද්ධි වැඩකාරයා කියයි. මේ අතරම, මේ ගැන සාක්ෂි තමන් සතුව නැති බවත්, අවශ්‍ය නම් නාලක ද සිල්වා ගෙන් විමසිය යුතු බවත් ඔහු කියයි. මේ විගඩමේ රඟ අපට තේරෙන්නේ මෙතැනදී ය. මිනිසුන්ට තමන් කැමති දෙයක් කියන්නට හැකි වුවද, සාක්ෂි නොමැති බවද කිසිවෙකු කියන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රකාශයක් පදනම් කරගෙන රාජ්‍ය පාලන යාන්ත්‍රණයක් උඩුයටිකුරු කිරීමේ නිවටකම ප්‍රශ්න නොකර සිටින්නට බැරි ය. විකල්පය ලෙස තමන්ව “අඩි හයක් වළලන්නට” නියමිතව සිටි අයෙකු පත් කිරීමෙන් අදහස් වන්නේ මේ කියන ඊනියා කුමන්ත්‍රණය ඊට වඩා බරපතල හා භයානක එකක් විය හැකි බව නොවේද? මේ ගැන දැනගැනීමට අයිතියක් ජනතාවට නැතිද? මෙය ඉතාම කූඨ කුමන්ත්‍රණයක් බව අප දන්නා නමුදු ‘මරනවෝ’ යන අඳෝනාව හේතුවක් ලෙස පෙන්නමින් රටක අගමැතිවරයෙකු පුටුවෙන් ඉවත් කිරීම අප තේරුම් ගත යුත්තේ පුරවැසියා යනු ‘අමු හරකෙකි’ යන තක්සේරුව මොවුනට ඇති බව නොවේද?
රාජපක්ෂ දෘෂ්ටිවාද විරෝධය මේ මොහොතේ ඇතැම් අය තේරුම් ගන්නට උත්සාහ කරන්නේ ‘රනිල්ට කඩේ යාමක්’ ලෙස වුවද එය අනවශ්‍ය පටලවා ගැනීමක් බවද කිව යුතුය. අප කඩේ යනවා නම් යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට වන අතර එය කරන්නේද ඉතාම කැමැත්තනෙි. රනිල් වික්‍රමසිංහ මේ රටේ පාලනයට කිසිසේත්ම සුදුසු අයෙකු බව අප කල්පනා කරන්නේ නැත. මේ වෙලේ මහින්දගේ කට්ටිය හම ගහණ ‘මහ බැංකු මුව හම’ හරි ය කියන්නේද නැත. එහෙත්, ඒ කිසිදු අපරාධයක් හෝ නුසුදුසුකමක්, මෙරට පුරවැසියාට අභිමානයෙන්, නිවහල්ව සහ ජාතිවාදී, ආගම්වාදී මුග්ධකම්වලින් තොරව ජීවත් වීමට ඇති ඉඩ අහෝසි කළ පාලකයෙකු, මිනී මැරුම් හා මිනිස් අතුරුදන් කරවීම් සම්බන්ධයෙන් බරපතල චෝදනා ලද පාලන යාන්ත්‍රණයක නිර්මාතෘ කෙනෙකු වෙත රට නැවත අත්කර දීමේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කරන්නට යොදා ගැනීමට හැකි බව විශ්වාස කරන්නේද නැත. අප මේ හඬ නගන්නේ මේ මොහොතේ මහින්ද උනෙන් ආතුර වී සිටින උන්මත්තක වහල් ජනතාවගේද හිතසුව පිණිස බව ඔවුන් දිනක වටහා ගනු ඇති(ද?)
මැරවාදය සහ මරාවාදයේ කසාදය?
රාජපක්ෂ දෘෂ්ටිවාදයේ නෛසර්ගික ලක්ෂණ නොහොත් චරිත ස්වභාවය ලෙස මා දකින සමහර කාරණා මෙහි මුලදීම සඳහන් කෙරුණු ලිපියෙහි විස්තර කර ඇති නිසා මෙහ පුනරුච්ඡාරණය කිරීම අවශ්‍ය නැත. එහි මූලික ලක්ෂණය වන විකෘති කරගත් ආගමික පෙරටු කරගත් මැර කල්ලි අමුතු ප්‍රබෝධයකින් මේ මොහොතේ කටයුතු කිරීම අප පරිස්සමට තේරුම් ගත යුත්තකි. පසුගිය කාලයේ ජාතිවාදී කෝලාහල ඇති කරමින්, බහුවාර්ගික ශ්‍රී ලංකාවේ ලස්සන විනාශ කරමින් සහ ශිෂ්ට ලෝකය ඉදිරියේ අප අශිෂ්ට ම්ලේච්ඡ ජාතියක් ලෙස පින්තාරු කරමින් අපරාධවලට සම්බන්ධව සිටි එකා දෙන්නා දැන් දැන් ගුල්වලින් එළියට ඇදෙන්නේ ඇයි? හදිසියේම අමිත් වීරසිංහ නමැති ‘මහසෝන්’ නියෝජිතයාට ඇප ලැබීම විස්මිත ලෙස තේරුම් ගත යුත්තක්දැයි නොදනිමි. මේ අතරම, ජාතිවාදී ලේබලය ආඩම්බරයක් ලෙස භාරගෙන සිටි තවත් බොහො ‘කෙරුමන්’ දැන් පෙරට වඩා එළියට බහිමින් තිබේ. මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට පවා තර්ජනය කළ, රාජ්‍ය නිලධාරීන්ට කුණුහරපෙන් බනිමින් රාජකාරියට බාධා කළ, මරණ තර්ජන කළ, අන්තිම හානිකර විගඩම් නැටූ භික්ෂුව පවා දැන් මෛත්‍රී ජනපතිගේ ‘බුද්ධි වැඩකාරයා’ සමග මාධ්‍ය සාකච්ඡා පවත්වයි. ප්‍රශ්නයක් නැත. පොලිස්පතිද මහින්දගේ සාක්කුවේය!
මේ ටිකක් පමණි. තවත් මෙවැනි බොහෝ චණ්ඩි දැනටමත් සිය උන්මාදය ප්‍රකට කරන ආකාරය බලාගෙන ‘ආතල් එකක් ගැනීම’ හැර අන් දෙයක් දැන් කරන්නට නැත. අප යෝජනා කරන්නේ අඩුවකට ඇති ඥානසාරලා වැනි ඉතිරි තග්ස්ලාද එළියට බැස්සිය යුතු බව ය. මේ ලියන මොහොත වන විටත් හෙට දින (02) ගලගොඩඅත්තේ ඥානසාර නම් ශ්‍රමණ වේශධාරියා නිදහස් කර ගැනීම අරමුණු කරගත් උද්ඝෝෂණයක් වෙනුවෙන් සහභාගී වන මෙන් භික්ෂූන්ගෙන් ඉල්ලන සමාජ මාධ්‍ය සටහනක් ප්‍රසිද්ධ වෙමින් පවතී. මේ සමස්ථ සිදුවීම් නැවත නැවතත් පසක් කරන්නේ කුමක්ද? රාජපක්ෂ දෘෂ්ටිවාදය ආගමක් ලෙස අදහන අය පොදුවේ පිළිගන්නා ‘මැරකමේ වීරත්වය’ නොවේද? මේ තත්ත්වය තුළ මහින්ද යුගය දිගටම ක්‍රියාත්මක වුවහොත් අපට දකින්නට සිදු වන්නේ නැවතත් අර සාපරාධී යුගයම නොවන්නේ යැයි අනුමාන කළ හැකිද?
කොට කලිසම් ඇඳ තීරණාත්මක රාජ්‍ය ආයතනවලට ‘සවුත්තුවට’ මෙන් ගොඩ වැදී රස්නය පෙන්වන්නට යන රජ කුමාරවරුන් ඉන්නා විට එවැනි අනුමාන හුදු පුස්සක් බවට පත් නොවනු ඇති බවද කිව යුතුය.
බොරුව ආගම කිරීම සහ ආගම බොරුව කිරීම
රාජපක්ෂලා තරම් ආගමික ශාස්තෲවරුන්වත් ආගමෙන් වැඩ ගත්තාදැයි පුදුමයකි. අප මේ බව කියන්නේ ගත වූ රාජපක්ෂ රෙජීමය සිහිපත් කරමින් නොව ව්‍යාජ අගමැති ලෙස ඔහු දිවුරුම් දුන් මොහොතේ පටන් සිදු වන දේ නිරීක්ෂණය කරමිනි. කෙනෙකු සමග ඉතාම ඇඟෑළුම්කමින් හිටගන්නා අනිත් අය දෙස බැලීමෙන් කරුණු සිදු වන්නේ කවර දිශානතියට අනුවද යන්න අනුමාන කිරීම අසීරු කාර්යයක් නොවේ. මහින්ද සමග මේ මොහොතේ හිටගන්නේ බුදුන්වහන්සේ විකුණා කමින් බෞද්ධ විරෝධී අපරාධ රට පුරා ව්‍යාප්ත කළ සහ තවමත් කරන්නට අර අදින චණ්ඩි සාදුලාය. මුළු මහත් ලෝකයක්ම පොදුවේ පිළිගන්නා මානව හිමිකම් වැනි දේවල් මිනිස්සුන්ට අවශ්‍ය නැති බවට පාරම් බෑ කාදිනල්ලාය. ආගම සහ ව්‍යාජය අතර පහසුවෙන් ගොඩනැගිය හැකි සම්බන්ධය තුළින් මිනිසුන් ඇන්දවිය හැකි ගැන කප් ගැසූ අයය. එළැඹෙන්නට ඉඩ ඇති යුගය ඉතාම භයානක හා සමාජ හානිකර එකකැයි අපට හිතන්නට ඒ ටිකම ප්‍රමාණවත්ය. තවමත් පෙනෙන්නට නැති නමුදු හෙට අනිද්දාම ජ්‍යොතිශ මිථ්‍යාදෘෂ්ටික මුදලාලිලා ටිකද තමන්ගේ පැවැත්මට ඉතාම හිතකර මහින්දවාදය ප්‍රවර්ධනය කරනු නිසැකය. මිථයාවේත්, බොරුවේත්, බොරුව ඇත්ත ලෙස අකැමැත්තෙන් වුව භාරගන්නා සිදු වීමේ ඛේදවාචකයේත් ගිලී විනාශ වන්නට ශ්‍රී ලංකාව සූදානම් විය යුත්තේ බහුතර පොදු ජන මනසද පහසුවෙන්ම මේ ප්‍රෝඩාකාරයන්ට මුළා වීමට කැමැත්තෙන් සිටින බව පෙන්නුම් කරන නිසාය. සරලවම කියන්නේ නම් ලංකාව කිසිදා වෙනස් නොවන පසුගාමී කොදෙවුවකි!
මා නිතර කියන කතාවක් ඇත. කිසිවෙකු අපාය කියා දෙයක් නොමැති බව කියන්නේ නම් ලෝක සිතියමේ ලංකාව උඩ ඇඟිල්ල තියන්න. අපායක් ඇත. ඒ මෙය ය. එහි ඇති නරුම දඬුවම් ක්‍රමයක් තිබේ. ඒ දඬුවම නම් අපා දුක් විඳින පවුකාරයින් ඒ දුක් සියල්ලටම පණ මෙන් ආදරය කිරීමය. ඒවා දුක් ලෙස අසන්නට ලැබීම ‘අපා දුකක්’ බව සිතීමය. ඒ පවුකාරයන්ට කිසි දා ගැලවීමක් නැත. එය දිව්‍ය ලෝකයක් බවට පරිවර්තනය කරගැනීමට වෙහෙසෙනු වෙනුවට ඔවුහු ඒ අපායේම ‘යළි උපදින්නට හේතු වාසනා වේවා’ යි දිවි හිමියෙන් පතති! එවන් ජාතියක් අබසරණේ පිහිටුවන්නට අමුතුවෙන් ඥානසාරලා අවශ්‍ය නැත!
ගෘෂා ඇන්ඩ්රූස් / November 2, 2018
අශාන් ඔබේ ලිපිය ඉතා උනන්දුවෙන් කියවූවා.මා එයට ඉතා කැමතියි. මෙහි තිබෙන සමහර අදහස් වෙනම ලිපියකට ප්‍රස්තුතයන්. ඔබ ඉතා විචක්ෂණ ලෙස සමහර දේ දකිනවා. එය ඉතාම සතුටට කරුණක්. කරුණාකර දිගටම ඔබේ අදහස් බෙදා ගන්න. ස්තුතියි .
/
common man / November 4, 2018
Mey wage sarvabaladari slfp anduwalata saga egollonge viyaparika palanthiyata moons denna mey Jr,premadasa wage minusu inna unp wage pathola pakshayata bariya. JVP wage ridji pakshayak idiriyata paminiya yuthui. Antha danawadi Slfp andu awanam vithrak kottas welanda polo ussala arthikaya ussanna saha unp wage duppathunge kamkaruwange Andy awama kisi ayojanayak nokara lankawe nanathara karawana lankawe samastha viyapatika palanthiyai egollonge hamputhun wena slfp ekatai moons dennarh unp wage pathola pakdhayata ba.jvp pradana vipakshaya viya yuthui 23% wecha unp eke chanda padanama ekata udavu kala yuthui
/
මෙරිල් ප්‍රනාන්දු / November 5, 2018
අශාන් ඔබ ද්වේශයෙන් , වැරදි
වැටහීමෙන් ලියපු දෙයක් තියනවා…….
කාදිනල්තුමා කියපු මානවහිමිකම් කථාව හරියට තේරුම් ගන්න.. ආගමක් හරියටම අදහනවා නම්, කාගේවත් මානව හිමිකමක්
නැති වෙන්නේ නෑ. එතකොට
මානවහිමිකම් කඩවීමක් ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ
නෑ. මේකයි කාදිනල්තුමා කිව්වේ. ඔබත් මෙහෙම වැරදි විදිහට හිතනවා නම්, ඔබ ලියන දේවල් වල මධ්‍යස්තභාවය සහ විස්වාසය ගැන නැවත හිතන්න වෙනවා…..අනික මහින්ද වටේ ඉන්න චන්ඩි සාදුලාගේ ගොඩට කාදිනල් තුමාව දාපු එක ඔබ කළ බරපතල වරදක්… නැවත හිතලා බලන්න..ඔබේ වටිනාකම හෑල්ලු කරගන්න එපා.
/