18 June, 2021

Blog

ඩොමිනියන් තත්වය: නැති වූ නිදහස

එච්. එල්. සෙනෙවිරත්න

මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න

මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න

ජාතිකවාදය, විශේෂයෙන් යටත්විජිත-විරෝධය වශයෙන් ප‍්‍රකාශයට පත්වන ජාතිකවාදය, යටත්විජිත පාලනය යටතේ සිටි රටවල් තුළ පොදු ආකර්ෂණයක් ඇති කරවන්නකි. එසේ වීම අස්වාභාවික නැත. එහෙත්, ඒ ගැන මනා වැටහීමක් ලබා ගැනීම සඳහා ඒ ගැන වඩාත් විමසිල්ලෙන් බැලීමක් අවශ්‍ය කෙරේ. එහිදී වැදගත් වන මානයන් දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, සෑම යටත්විජිතවාදයක්ම එක සමාන නොවන බව වටහා ගැනීමයි. යටත්විජිත මර්දනයේ පැවති බරපතල කම, යටත්විජිතවාදියාගේ විශේෂිත වූ දේශපාලනික සංස්කෘතීන් මත වෙනස් වෙයි. එම සංස්කෘතීන් ද, කාලයෙන් කාලයට වෙනස් වී තිබේ. පොදුවේ ගත් විට, මුල් කාලීන යටත්විජිත පාලනයන්, ඒවායේ අධම භාවය සම්බන්ධයෙන් ගත් විට, පසුකාලීන යටත්විජිත පාලනයන්ට වඩා දාමරිකයි. දෙවැනුව, මේ යටත්විජිතවාදී හෙජමොනිය විවිධ යටත්විජිතවාසී ස්ථරයන්ට දැනෙන ආකාරයත් වෙනස් ය. යටත්විජිතවාදයේ බර නියමාකාරයෙන් දැනෙන්නේ යටත්විජිතවාසීන් අතර වෙසෙන ප‍්‍රභූ පංතියට වීම විශේෂ ලක්ෂණයකි. එම ප‍්‍රභූ පංතියේ ඇතැම් කොටස්වලට යටත්විජිතවාදියාට අනුගත විය හැකි විය. ඔහුගේ ඒජන්තයන් බවට පත්විය හැකි විය. එහෙත් එම පංතියෙන් විශාල කොටසක් සිටින්නේ යටත්විජිතවාදියාගෙන් විලෝපනය වූ පිටස්තරයෙකු වශයෙනි. එසේ හෙයින් එය, ජාතිවාදය දළු ලා වැඞීමේ තෝතැන්නක් වෙයි. රටක ජනතාවකගෙන් බහුතරය වන පොදු ජනතාව මේ යටත්විජිතවාදී අධිකාරය ගැන සිටින්නේ වැඩි අවධානයකින් නොවේ. ඒ, වෙන කිසි දෙයකට වඩා, ඔවුන් කවදත් ජීවත්ව ඇත්තේ එවැනි අධිකාරයක් යටතේම වන බැවිනි. එබැවින්, මර්දකයා දේශීය ද විදේශීය ද යන්න, ඔහු සම්බන්ධයෙන් ගත් විට, වැඩි වැදගත්කමක් ඇති කාරණයක් නොවේ. ඇත්තෙන්ම ගතහොත්, යටත්විජිත මර්දකයා බොහෝ විට දේශීය මර්දකයා තරම් නපුරක් නොවිය හැකිය.

Independence Squareයටත්විජිත-විරෝධී ජාතිකවාදයේ තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ, යටත්විජිත පාලකයාගේ උවමනාව සහ පෙළඹවීම මොන තරම් තිබියේ වී මුත්, ඔහු විසින් ඇති කරනු ලබන වැඩදායී ප‍්‍රතිඵල පිළිගැනීමට දක්වන නොහැකියාවයි. යටත්විජිත ජාතීන් යටත්විජිතවාදයට යට වන අවස්ථාවේ ප‍්‍රදර්ශනය කොට තිබෙන සමාජයීය සහ දේශපාලනික ලක්ෂණ, සංස්කෘතිකමය වීමට වැඩි බරක් දක්වයි. පුද්ගලයා සහ සමාජය පිළිබඳ නූතන මතිමතාන්තරවලට විවෘතව නොසිටීම කරණකොටගෙන, එම ජාතීන් ‘ප‍්‍රාග්-නූතන’ වෙයි. විවිධත්වය පිළිබඳව අප තුළ වර්තමානයේ පවතින ජේත්තුකාරී අදහස් උදහස් කෙසේ වෙතත්, සාරධර්ම විනිශ්චයන් ගැන සහ රාජ්‍යය ගැන හඳුන්වා දීමක් අත්‍යාවශ්‍ය කෙරේ. උදාහරණයක් වශයෙන්, පුද්ගල නිදහස තිබීම එය නොතිබීමට වඩා යහපත් ය යන ආකල්පය හඳුන්වා දිය යුතුව තිබේ. එම නිර්ණායකය පාවිච්චි කරමින් සහ එම උදාහණයේම ඉදිරියට යන්නේ නම්, පුද්ගල නිදහස පිළිබඳ ආකල්පය ආයතනගත කිරීමට යටත්විජිතවාදියා තැත් කළ සෑම තැනකම එය, අභිවෘද්ධිදායක මැදිහත්වීමක් වශයෙන් අප හඳුනාගත යුතුව තිබේ.

යටත්විජිතවාදය දෙස එසේ බැලීම හරහා ඒ පිළිබඳ සමාජයීය සහ දේශපාලනික අවබෝධයක් ලබා ගැනීමේ අවශ්‍යතාව අපේ පැත්තෙන් මතු කරවයි. වෙනත් විදිහකින් කිවහොත්, යටත්විජිතවාදය අතීතයට අයත් නපුරු අත්දැකීමක් වන මුත්, ඒ ගැන නැවත නැවතත් ආඬාපාලි කියමින් සිටීමෙන් අත්වන සෙතක් නැති බව අප වටහාගත යුතුය. එසේම, පැරණි යටත්විජිතවාදීන් අපට අණවින කිරීමට හතර පැත්තෙන් මානගෙන සිටිති යි ගැනීම ඊටත් වඩා අමනෝඥ ය. මේ විශ්වාසය පුස්සක් බව මොන තරම් දැන සිටියත්, කපටි දේශපාලඥයන් ඒ කතාව නැවත නැවතත් මතුරන නිසා එම විශ්වාසය නොමැරී පවතී. එම පුස්ස කරේ තියාගෙන යාමෙන් සිදුව ඇත්තේ, යටත්විජිතවාදයේ ප‍්‍රතිලාභ නිසියාකාරයෙන් පාවිච්චි කිරීමට අවශ්‍ය කරන ප‍්‍රායෝගිකත්වය අපෙන් අහිමිව යාමයි. එසේ හෙයින්, අපේ ප‍්‍රථම නිදහස් වැඩපිළිවෙල වූ ඩොමිනියන් තත්වයෙන් ගත හැකිව තිබූ වාසි, 1948 ව්‍යවස්ථාව 1972 අළුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම හේතුකොටගෙන අප අහිමි කරගෙන තිබේ.

ඩොමිනියන් තත්වය සාමාන්‍යයෙන් විස්තර කෙරෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන් අතර ලබා ගන්නා පූර්ණ නිදහස වශයෙනි. එහි නාමික රාජ්‍ය නායකයා වන්නේ, ඡුන්ද බලයෙන් පත්වෙන අගමැතිවරයා විසින් පත්කරනු ලබන අග‍්‍රාණ්ඩුකාරවරයා ය. අගමැතිවරයා යනු, ඡුන්ද බලයෙන් පත්කර ගන්නා පාර්ලිමේන්තුව සමග එකට ගත් විට. රටේ බල කේන්ද්‍රයයි. ඩොමිනියන් තත්වයේ පැවති තවත් ලක්ෂණයක් වන්නේ, එංගලන්තයේ ප‍්‍රිවි කවුන්සිලයට අභියාචනයක් ගෙන යාමට ලංකාවේ වැසියන්ට තිබු අධිකරණමය වරප‍්‍රසාදයයි.

1972 ව්‍යවස්ථාව යුක්ති සහගත කරගත් මූලික තර්කය වුණේ ඒ මගින් ‘සැබෑ නිදහස’ දිනා ගත්තේය යන්නයි. එනම්, 1948 දී ලැබූ නිදහස ‘පූර්ණ නිදහසක්’ නොවන බවයි. 1972 ව්‍යවස්ථාව ඇති කර ගැනීම හරහා තම පක්ෂය ‘පූර්ණ නිදහස’ දිනා ගැනීම සම්බන්ධයෙන් උපස්ථම්භක විණැ යි තිස්ස විතාරණ අවධාරණය කරයි. එහෙත්, කලින් පැවති රාජ්‍යයේ ලෞකික ස්වභාවය අතහැර දමමින්, රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක්කරමින් වැඞී ගොස් මහින්ද රාජපක්ෂගේ බිහිසුණු දේශපාලන සංස්කෘතියට පාර කැපුණේ ඒ 1972 ව්‍යවස්ථාව හරහාම බව තිස්ස විතාරණට නොවැටහෙන සෙයකි. රාජ්‍ය සේවය දේශපාලනීකරණයට යට වීමෙන් සිදුවුණේ අපේ ජාතික සංස්කෘතිය වෙත පසුබෑමකි. එනම්, පාලකයාගේ සේවකයන් බවට රාජ්‍ය නිලධාරියා පත්වීමේ අනාදිමත් පුරුද්ද වෙත ආපසු යාමකි. එසේම, ‘විශේෂ තැනක්’ බුද්ධාගමට පිරිනැමීමෙන්, සුද්දා ඒමට කලින් තිබූ ලංකාවට අපි ආපසු ගියෙමු. එනම්, රාජ්‍යත්වය සමග ආගම ගැට ගැසුණු වකවානුවටයි. ඒ ආකාරයෙන්, ප‍්‍රධාන මර්දකයන් දෙදෙනෙකුට- රාජ්‍යයට සහ විහාරයට- අන්‍යොන්‍යව යැපිය හැකි විය.

කෙසේ වෙතත්, බුද්ධිමත්ව මේ දෙස බැලූවොත් පෙනී යන කාරණය වන්නේ, දෘෂ්ටිවාදීමය වශයෙන් තිස්ස විතාරණ පෙලෙන අගතීන් කෙසේ වෙතත්, ඩොමිනියන් තත්වය අපේ ජනතාවට වඩාත් යෝග්‍ය වන්නට තිබුණු බවයි. එම ක‍්‍රමය පවත්වා ගත්තේ නම්, එය අපේ රටට වඩාත් වැඩදායක වන්නට තිබුණේය යන්නයි.

එසේම, රාජපක්ෂ පාලනය යටතේ අන්තයටම පිරිහුණු අපේ අධිකරණය, එදා ප‍්‍රිවි කවුන්සිලයට අභියාචනා ඉදිරිපත් කිරීමට අපට තිබූ අයිතිය අප ආරක්ෂා කරගත්තේ නම්, මෙතරම් දේශපාලනීකරණය නොවනු ඇත. ඩොමිනියන් තත්වය යනු සැබෑ නිදහස නොවේය යන ලංකා සමසමාජ පක්ෂයේ තර්කය උත්ප‍්‍රාසාත්මක ය. 1972 දී ඇති කරගත් ආණ්ඩුක‍්‍රමය හරහා කෙමෙන් වර්ධනය වූ පාලකයන්ගේ බල අපයෝජනය, විශේෂයෙන් රාජපක්ෂ අපයෝජනය මගින් ජනතාව පෙලීම, ප‍්‍රිවි කවුන්සිලයට අභියාචනා ගෙන යාමේ අයිතිය හරහා යම් තාක් මර්දනය වන්නට තිබුණි. ‘ග‍්‍රව්න්ඞ් වීව්ස්’ වෙබ් අඩවියේ එක් ලිපියකින් මෑතකදී පෙන්වා දී තිබු පරිදි, ඩොමිනියන් තත්වය අප තබා ගත්තේ නම්, අපේ විනිසුරුවරුන් පොදුරාජ්‍ය මණ්ඩලීය කීර්තිමත් විනිසුරන්ගෙන් කොටසක් බවට පත්වනු ඇත. එසේ විණි නම්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අප අත්දකින ඓතිහාසික ගෝලීයකරණ ක‍්‍රියාවලියේ සමීප සහකරුවන් බවට පත්වන්නටත් අපට හැකියාව තිබුණි.

ලංකා සමසමාජ පක්ෂය සහ 72 ආණ්ඩුක‍්‍රමය වෙනුවෙන් පෙනී සිටින වෙනත් අයවළුන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ, ඩොමිනියන් තත්වය හරහා ලංකාවේ ස්වෛරීත්වය යටපත් වුණේය යන්නයි. මෙය වලංගු තර්කයක් නොවේ. මුලින්ම, මේ අයවළුන් කියන ‘ස්වෛරීත්වයේ’ කට්ට ගෙවී ගොස් ඇති බව මෙහිදි අමතක කෙරේ. ස්වෛරීත්වය පිළිබඳ න්‍යාය එදා ජාතික රාජ්‍යයේ හේතුවාචකයක් විය. එහෙත් අද වන විට එහි ජවය දියාරු වෙමින් තිබේ. ඉස්සර එය සතුව තිබූ එහි සමුදයාර්ථය සහ අසහාය භාවය අද ඊට හිමිවන්නේ නැත. තාක්ෂණයේ දියුණුවත් සමග, ලෝකයේ සුපිරි බලවතා යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙන ඇමරිකා එක්සත් ජනපදයට පවා, ඔවුන්ගේ කටයුතුවලට අන්‍යයන්ට ‘මැදිහත් වීමට’ ඇති හැකියාව වැළැක්විය නොහැකිව තිබේ. මෑතකදී ඇමරිකානු සෝනි පරිඝනක ජාලය සැසීමේ සිද්ධියේ දී එය අපට මනාව පෙනුණි. එසේම ඉන්දියාව විසින් අපට පරිප්පු දමද්දී අපේ ස්වෛරීත්වය ගැනත් යම් අවබෝධයක් අපට ලැබුණි. මෙයින් අදහස් වන්නේ ස්වෛරීත්වය යනු පරම දෙයක් නොවන බවයි. එහි විවිධ මට්ටම් ඇත්තේය. ලොකු රටවල්වලට ලොකු පංගුවකුත් පොඩි රටවල්වලට පොඩි පංගුවකුත් ආදී වශයෙනි.

තවද, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් තවමත් ඩොමිනියන් රාජ්‍යයන් වශයෙන් පවතින කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල්, එසේ නොවන රටවල්වලට වඩා ස්වෛරීත්වයෙන් දුප්පත් නැති බවත් අමතක නොකළ යුතුය. ඉතා පුංචි රාජ්‍යයක් වන දකුණු කැරිබියානු අරුබා කොදෙව්ව සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. මෙය, නෙදර්ලන්ත රාජ්‍යයේ නාමමාත‍්‍රික කොටසක් වන්නේය යන්නෙන්, ඊට නෙදර්ලන්තයට අඩු ‘ස්වෛරීත්වයක්’ ඇත්තේය යන්නක් අදහස් නොවේ. විලාසිතා ආලවට්ටම්වලින් ඉවතට ගත් විට, ස්වෛරීත්වය ගැන කියන කතා, තමන්ගේ පටු දේශපාලනික න්‍යාය පත‍්‍ර උඩ වැඩ කරන ලාබ ජාතිකවාදයන්ට වැඩි දෙයක් නොවේ. මේ ලාබ ජාතිකවාදීන්, ඔවුන් සඟ වෙද ගුරු ප‍්‍රභූන් වේවා, ඉංග‍්‍රීසි උගත් නාගරික කුලකය වේවා, තමන්ගේ හෙජමොනිය චිරාත් කාලයක් පවත්වා ගැනීම සඳහා ජාතිකත්වය පාවිච්චි කරන පිරිස් ය. ඔවුන්ගේ ප‍්‍රයත්නයේ අවසන් ප‍්‍රතිවිපාකය වන්නේ, දුප්පතා තවත් අසරණ වීමයි.

එංගලන්තය සමග අපේ තිබෙන ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා ඩොමිනියන් තත්වයක් යටතේ වඩාත් වර්ධනය කරගත හැකිව තිබුණි. අපේ ආර්ථිකයටත්, අධ්‍යාපනික පද්ධතියටත් එයින් ලබාගත හැකිව තිබු ප‍්‍රයෝජන අපමණ ය. විශේෂයෙන්, ආයෝජන සහ තාක්ෂණ දැනුම සම්බන්ධයෙන් අද වැඩි ප‍්‍රයෝජනයක් අපේ ආර්ථික සංවර්ධනය සඳහා අපට උපයෝජනය කරගත හැකිව තිබුණි. එසේ නොමැතිව, ලාබ යටත්විජිත-විරෝධයක් කරපින්නා ගැනීම මොන තරම් බාල දේශපාලන තක්කඩි කමක් ද යන්න, ඒකාධිපති රටවල් සහ කැලෑ ජනරජයන්හි තුරුලට ගොස් බටහිර ලෝකයා සතුරු කරගත් පසුගිය රාජපක්ෂ පාලනයෙන් පෙන්නුම් කෙළේය.

අළුතින් පත්වූ ආණ්ඩුව මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වඩාත් ප‍්‍රායෝගික ආකල්පයක් දරණ බව පෙනෙන්ට තිබීම ආශ්වාදජනක ය. මෙය සැබෑ ආරම්භයක්ම වෙතැ යි අපි ප‍්‍රාර්ථනා කරමු.

*2015 පෙබරවාරි 4 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Dominion Status, The Lost Independence නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.